Sri Lanka Brief
පුවත්කොරොන වසංගතයේ බිහිසුණු ආර්ථික ප්‍රතිවිපාක

කොරොන වසංගතයේ බිහිසුණු ආර්ථික ප්‍රතිවිපාක

by

කොරොන වසංගතය ලැව් ගින්නක් මෙන් පැතිරෙයි. එහි ආර්ථික ප්‍රතිවිපාක දරුණු ; ඉහළ යමින් තිබෙන අතර විපාක පෙර දැකිය නොහැකි ය. එය අවපාතයකට වඩා නරක ය. එය ගෝලීය ආර්ථික වසා දැමීමක් සා සමාන වන අතර එය ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි ලෙස බලපානු ඇත.

බරපතල තර්ජනය

එහි අන්තර්ජාතික බලපෑම් පැතිරුණු පුළුල් පරාසයක පවතී. එහි කාලසීමාව තවමත් අවිනිශ්චිත වන අතර වසංගතය කල්තියා පාලනය කිරීමක් හා ජාත්‍යන්තර ආර්ථිකයේ පුනර්ජීවනයක් ඇතිවීමේ අපේක්ෂාවක් නොමැත. එන්නතක් ඉක්මනින් සංවර්ධනය කළත්, එය ලොව පුරා ලදායී ලෙස භාවිතා කිරීමට වසරක් පමණ ගත වනු ඇත. මේ අතර, රජයන් විසින් ගනු ලබන ක්‍රියාමාර්ග විසින් ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී කරන අතර ආර්ථිකයන් අවපාතය ලක් කරනු ඇත.

ලෝක ආර්ථිකය

ලෝක ආර්ථිකය දැන් ආර්ථික අංශභාග තත්වයක් කරා ගමන් කරමින් සිටී. ලෝකයේ සෑම ප්‍රදේශයකම පැතිරී ඇති කොරොන වෛරසය මාසයකට පෙර බලාපොරොත්තු වූවාට වඩා දැන් ලෝක ආර්ථිකයට බරපතල තර්ජනයක් වී තිබේ. එය අවපාතයකට වඩා වැඩි ය. එය සැබවින්ම ගෝලීය ආර්ථික වසා දැමීමක් හා සමාන ය.

ආර්ථික කටයුතු නතර වී ඇත; සංචාරයන් බරපතල ලෙස සීමා වී තිබේ; පාසල්, විශ්ව විද්‍යාල සහ සේවා ස්ථාන වසා ඇත; හෝටල් සහ අවන්හල් වැසෙමින් තිබේ; අමුද්‍රව්‍ය සැපයීම සහ සැපයුම් දාම කඩාකප්පල් වේ. මෙම තත්වය යටතේ ලොව පුරා රැකියා, ආදායම් සහ ජීවනෝපායන් බරපතල ලෙස තර්ජනයට ලක්ව ඇත.

තෙල් සඳහා ඇති ඉල්ලුම අඩුවීම නිසා තෙල් සඳහා මිල වේගයෙන් පහත වැටී ඇති අතර තෙල් අපනයනය කරන රටවල ආදායම අඩු වී තිබේ. මෙය තෙල් ආනයනය කරන රටවලට යම් ප්‍රතිලාභයක් ලබා දෙන අතරම අනෙක් අතට  එම රටවල භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම අඩු කරයි.

ශ්‍රී ලංකාවට ඇති කරන බලපෑම

ගෝලීය ආර්ථික කඩාකප්පල් වීම ශ්‍රී ලංකාවේ ආනයන අපනයන ආර්ථිකයට බොහෝ ආකාරවලින් බලපානු ඇත. වෙළඳ ශේෂයට හා ගෙවුම් ශේෂයට සිදුවනු ඇති අහිතකර ප්‍රතිවිපාක ශ්‍රී ලංකා ආර්ථිකයට වඩාත්ම බරපතල බලපෑමයි.

අපනයන ඉපැයීම් අඩුවීමට ඉඩ ඇත. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ඉපැයීම් තියුනු ලෙස පහත වැටෙනු ඇති අතර විදෙස්ගත ශ්‍රමික පිරිස් එවන මුදල් (ප්‍රේෂණ) අඩු වනු ඇත. මෙය විශාල ගෙවුම් ශේෂ හිඟයකට තුඩු දෙනු ඇති අතර එමඟින් විශේෂයෙන් ගෙවිය යුතු පොලී අනුපාත සඳහා ඉහළ වාරිකයක් තිබේ නම්, විදේශ ණය බැඳීම් ආපසු ගෙවීම වඩාත් බරක් වනු ඇත,

අපනයන

අවපාතයට ලක්ව ඇති ජාත්‍යන්තර ඉල්ලුම සහ නිෂ්පාදනය හා අපනයනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම අඩාල වීම හේතුවෙන් අපනයන අඩුවනු ඇත. අපනයන තියුනු ලෙස පහත වැටීම වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස වැඩි කරයි.

සංචාරක ව්‍යාපාරය

ගෙවුම් ශේෂයට හා ආර්ථිකයට ඇති බරපතලම පසුබෑම වනු ඇත්තේ පසුගිය වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පුනර්ජීවනයක් අපේක්ෂා කරන ලද සංචාරක කර්මාන්තයයි. කොවිඩ් 19 හේතුවෙන් ජාත්‍යන්තර සංචාරයන් සඳහා දිගින් දිගටම එල්ල වනු ඇති තර්ජන නිසා එවැනි පුනර්ජීවනයක් ඇති වීමට ඉඩක් නැත.

2018 දී ඇමරිකානු ඩොලර් බිලියන 4.4 සිට පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 3.6 දක්වා සියයට 18 කින් පහත වැටුණු සංචාරක ඉපැයීම් මේ වසරේදී තවදුරටත් අඩුවනු ඇත. චීන සංචාරකයින් පැමිණිමෙහි විශාල අඩුවීමක් සිදුවනු ඇත. වීනය ශ්‍රී ලංකාවට වැඩිම විශාලතම සංචාරකයින් පැමිණෙන දෙවන රට වන අතර එ දිවයිනට එන සංචාරකයින්ගෙන් සියයට 10 ක් පමණ වේ.

වසංගතයෙන් පීඩාවට පත්වන බැවින් යුරෝපා රටවලින් එන සංචාරකයින් ද අවම වනු ඇති අතර සංචාරක තහනමක් සහ වීසා බලපත්‍ර සීමාවන් ද  තිබේ. කොවිඩ් -19 මෙන්ම පහත යන තෙල් ආදායම නිසා මැද පෙරදිග සංචාරකයින් ද පහත වැටෙනු ඇත.

සංචාරක ඉපැයීම්

සංචාරක ඉපැයීම් තවදුරටත් පහත වැටීම ගෙවුම් ශේෂයට බරපතල අහිතකර ලෙස බලපානු ඇත. මෙම වසරේ සංචාරක ඉපැයීම් තක්සේරු කිරීම දුෂ්කර නමුත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 කින් ඉපැයීම් පහත වැටෙනු ඇතැයි යන නිල තක්සේරුව අනුව පවා 2020 ගෙවුම් ශේෂය උග්‍ර ඉමකට තල්ලු කරනු ඇත. ඇමරිකානු ඩොලර් බිලියන 2 ඉපැයීම් සංචාරක ව්‍යාපාරයෙන් අඩුවීම නිසා 2020 ගෙවුම් ශේෂය ඊටත් වඩා බරපතල වනු ඇත.

ප්‍රේෂණ

විදෙස්ගත සේවකයින්ගේ ප්‍රේෂණ (මුදල් එවීම) රටේ ගෙවුම් ශේෂයට සැලකිය යුතු දායකත්වයක් සපයයි. වසර ගණනාවක් තුළ, විදෙස්ගත ශ්‍රමික ශ්‍රමිකාවියන්ගේ ප්‍රේෂණ මගින් විශාල වෙළඳ හිඟයන් පියවා ඇත. අඩු ආදායම්ලාභී පවුල් සඳහා ද ඔවුන් සැලකිය යුතු දායකත්වයක් සපයයි.

පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 300 කින් පහත වැටුණු විදෙස්ගත කම්කරුවන්ගේ ප්‍රේෂණ තවදුරටත් හැකිලීමට ඉඩ ඇත්තේ ශ්‍රී ලංකික කම්කරුවන් දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය වැනි රටවලට සංචාරක සීමා පැනවෙනු ඇති නිසා ය. තවද, තෙල් සඳහා මිල පහත වැටීම හේතුවෙන් බටහිර ආසියාවේ අඩු ආදායම නිසා ද ප්‍රේෂණ අඩු වෙනු ඇත.

එකී කම්කරුවන්ගේ ප්‍රේෂණ පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 6.7 සිට මේ වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 3.5 දක්වා පහත වැටෙනු ඇත. මෙම පහත වැටීම විශාල ගෙවුම් ශේෂ ගැටලුවක් නිර්මාණය කරනු ඇත.

ගෙවුම් ශේෂය

අපනයන අඩුවීම, සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ඉපැයීම් සහ සේවකයින් ප්‍රේෂණ අඩුවීම විශාල ගෙවුම් හිඟයකට තුඩු දිය හැකිය. මෙය රටේ විදේශ සංචිත දුර්වල කරන අතර දැනටමත් දුෂ්කර වී ඇති විදේශ ණය බැඳීම් ආපසු ගෙවීම වඩාත් වෙහෙසකාරී වනු ඇත. රට ජාත්‍යන්තර ණය ගැනීමේ දී පොලී අනුපාත සඳහා ඉහළ වාරිකයක් තිබේ නම් මෙය විශේෂයෙන් නරක් වනු ඇත.

සමනයන්

ගෙවුම් ශේෂය සමනය කළ හැකි වර්ධනයන් කිහිපයක් තිබේ. මේවායින් වැදගත්ම දෙය නම් මෑත කාලයේ පහළම මට්ටමට වැටුණු ජාත්‍යන්තර තෙල් මිල තව දුරටත් වේගයෙන් පහත වැටීමයි. මෙම ලිපිය ලියන අවස්ථාව වන විට තෙල් මිල බැරලයකට ඇමරිකානු ඩොලර් 30 ක් පමණ විය.

සාමාන්‍යයෙන් වාර්ෂික ඉන්ධන ආනයන බිල්පත සමස්ත ආනයන බිලෙන් සියයට 15 ත් 20 ත් අතර ප්‍රමාණයක් අවශෝෂණය කරයි. එබැවින් මිල පහත වැටීම ආනයන බිල්පත සැලකිය යුතු ලෙස අඩු කරනු ඇත. කෙසේ වෙතත් ජාත්‍යන්තර තෙල් මිල ආපසු ඉහළ යාමේ හැකියාව පිළිබඳව අප දැනුවත් විය යුතුය. ආර්ථික ක්‍රියාකාරකම්වල පහළ මට්ටම, විශේෂයෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් අඩුවී තෙල් ඉල්ලුමේ විශාල පහත වැටීම හේතුවෙන් තෙල් මිල වේගයෙන් පහත වැටුණි. මෙය ඉක්මණින් වෙනස් වීමට ඉඩක් නොමැති අතර, ඔපෙක් සහ අනෙකුත් තෙල් නිපදවන රටවල් තුළ මිල ඉහළ නැංවීම සඳහා නිෂ්පාදනය අඩු කිරීමේ අපේක්ෂාවක් පවතී.

තවද, තෙල් අපනයනය කරන රටවල අඩු ආදායම නිසා තේ සඳහා ඇති ඉල්ලුම, විදේශයන්හි සංක්‍රමණික රැකියා සහ සංචාරක ඉපැයීම් අඩු විය හැකිය.

ජීවනෝපායන්

මෙම තීරුවේ අවධානය යොමු වී ඇත්තේ කොවිඩ් 19 හි ආර්ථික ප්‍රතිවිපාක කෙරෙහි වන අතර, මානුෂීය ඛේදවාචකය සහ ජනතාවගේ ජීවනෝපායන් කෙරෙහි ඇති කරන බලපෑම සැළකිල්ලට ගෙන නැත. ලොව පුරා සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ රැකියා, ආදායම් සහ ජීවනෝපායන් ඛාදනය වෙමින් පවතී. අඩු ආදායම් ලබන අය වඩාත් පීඩාවට පත් වනු ඇත.

සංචාරක කර්මාන්තයට සම්බන්ධ සත්කාරක සේවා හා ආර්ථික ක්‍රියාකාරකම්වල යෙදෙන සේවක සේවිකාවන් විශාල සංඛ්‍යාවක් රැකියා විරහිත වනු ඇති අතර එමගින් ඔවුන්ගේ ආදායම අහිමි වනු ඇත. ඒ හා සමානව, විදෙස් ගත ශ්‍රමික ශ්‍රමිකාවියන් එවන ප්‍රේෂණයන්ගෙන් වැඩි ප්‍රමාණයක් යන්නේ දුප්පත් ග්‍රාමීය කුටුම්භවලට ය. ප්‍රේෂණ අඩුවීම අඩු ආදායම්ලාභීන්ට සහ දුප්පත් කුටුම්භයන්ට නිශ්චිත ආදායමක් අහිමිවීමකි. රටේ ආර්ථික වර්ධනය පහත වැටෙනු ඇති අතර, අඩු ආදායම්ලාභී පවුල්වල ආදායම බරපතල ලෙස අඩපණ වනු ඇත.

සාරාංශ

ලෝක ව්‍යාප්ත කොරෝනා වයිරස් වසංගතයේ ප්‍රතිලයක් ලෙස ශ්‍රී ලංකාවේ අපනයන මිත්‍රශීලී නොවන ලෝක වෙළඳපොළකට දැන් මුහුණ දී සිටී. පහළ යන ඉල්ලුම සහ අලෙවිකරණ යාන්ත්‍රණ කඩාකප්පල් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කාර්මික අපනයන හා තේ සඳහා ඇති ඉල්ලුම පහත වැටෙනු ඇත.

අමුද්‍රව්‍ය නොමැතිකම, ජාත්‍යන්තර සැපයුම් දාම කඩාකප්පල් වීම සහ පහත වැටුණූ ඉල්ලුම රටේ නිෂ්පාදනවලට ද අහිතකර ලෙස බලපානු ඇත. ජාත්‍යන්තර සංචාරකයන් හා සංචාරක කර්මාන්තයේ තියුණු සංකෝචනය සංචාරක ව්‍යාපාරයට දැඩි ලෙස බලපා ඇති අතර සංචාරක ඉපැයීම් තියුනු ලෙස පහත වැටෙනු ඇත.

මෙම අඳුරු ආර්ථික වලාකුළු අතර ඇති එකම රිදී රේඛාව වන්නේ වෙළඳ හිඟය ලිහිල් කරන ඉන්ධන මිල පහත වැටීමයි. කෙසේ වෙතත්, මෙය පවා තේ අපනයනය හා කම්කරුවන්ගේ ප්‍රේෂණ කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇත. තෙල් මිල ආපසු හැරවීම මගින් මෙම ප්‍රතිලාභය අතුගා දැමෙන්නට  ඉඩ තිබේ.

නිගමනය

රට මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා බරපතල ය. අපනයන, සංචාරක සහ විදෙස්ගත ශ්‍රමික ශ්‍රමිකාවියන්ගේ ප්‍රේෂණ වැනි ආර්ථිකයේ ප්‍රධාන අංශ පහත වැටෙනු ඇත. එබඳු දුෂ්කර ආර්ථික සන්දර්භයක් තුළ දුෂ්කරතා අවම කර ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය විචක්ෂණ ලෙස කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වේ. මූල්‍ය හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මගින් ආර්ථික දුෂ්කරතා උග්‍ර නොකළ යුතුය.

(නිමල් සදරත්න විසින් සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලියන ලද Horrendous economic consequences of the corona pandemic නම් ලිපියේ සිංහල අනුවාදය ශ්‍රී ලංකා බ්‍රීෆ් ව්සිනි)

Back to Top