Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගඉන්දියාව හා ලංකාව: ශක්තිමත් රාජ්‍යය/සභ්‍යත්ව රාජ්‍යය යන සංකල්පයම ෆැසිස්ට්වාදී එකකි. – ජයදේව උයන්ගොඩ

ඉන්දියාව හා ලංකාව: ශක්තිමත් රාජ්‍යය/සභ්‍යත්ව රාජ්‍යය යන සංකල්පයම ෆැසිස්ට්වාදී එකකි. – ජයදේව උයන්ගොඩ

by

ඡායාරූපය: ඉන්දියාවේ හින්දුත්වා අන්තවාදයේ පදනම සභ්‍යත්ව රාජ්‍යයි.

1980 සහ 1990 ගණන්වල ඉන්දියානු මාධ්‍යවේදීන් අතර ජනප්‍රිය, ලංකාව සම්බන්ධ දෘෂ්ටාන්තයක්, නැතහොත් උපදේශක කතාන්දරයක් තිබිණ. එය නම්, ‘හෙට ඉන්දියාවේ සිදු නොවිය යුතු දේ කවරේදැයි කල් තියා හඳුනාගැනීමට අද අවශ්‍ය නම්, කෙනකු කළ යුත්තේ අද ලංකාවේ සිදුවන දේ කවරේදැයි බලා සිටීමයි.’ මේ ලංකාවේ ජනවාර්ගික යුද්ධය, දේශපාලන ප‍්‍රචණ්ඩත්වය, දේශපාලන අස්ථාවරභාවය, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පරිහාණිය, ජනවාර්ගික කණ්ඩායම් අතර වෛරය හා සැකය යනාදිය උත්සන්න වූ කාලයයි.

ලංකාව ගැන ඉන්දියාවේ තිබි ඒ දෘෂ්ටාන්තය, දැන් ලංකාවේ අපට ඉන්දියාව ගැනද කිව හැකිවේ. බීජේපී/මෝඩි/අමිත් ෂා පාලනය යටතේ ඉන්දියාවේ සිදුවන ශීඝ‍්‍ර ප්‍රජාතන්ත්‍රවාදී පරිහාණියත්, නවෆැසිස්ට්වාදී රාජ්‍ය පරිවර්තනයත්, හින්දුමුස්ලිම් වාර්ගික වෛරයෙන් දේශපාලන ප්‍රයෝජන ගැනීමේ දේශපාලනයත්, පසුගිය අවුරුදු 70ක් තුළ ගොඩනැගුණු නූතන ඉන්දියානු දේශපාලන සභ්‍යත්වයෙන් සම්පූර්ණයෙන්ම කැඩී වෙන්ව, අලූත් දේශපාලන නිර්සභ්‍යත්වයක් කරා ගෙන යන දේශපාලන ව්‍යාපෘතියක කොටසකි. එවැනි ඉරණමකට ලංකාවද පාත‍්‍රවීමේ ඓතිහාසික ඉඩකඩ, වර්තමානයේ අප රටේ ගොඩනැගෙන නව දේශපාලන ප්‍රතිවිරෝධතා විසින් විවෘත කරනු ලැබීමට හොඳටම ඉඩකඩ තිබේ. එබැවින් ඉන්දියාවේ දිග හැරෙන ක්‍රියාවළිය පිළිබඳ විචාරාත්මක අවබෝධයක් ඇති කර ගැනීම ප්‍රයෝජනවත්ය.

සභ්‍යත්ව රාජ්‍යයක්?

ම තේමාව ගැන සාකච්ඡා කරන මෙම ලිපියේ ‘සභ්‍යත්ව රාජ්‍යය’ යන යෙදුම භාවිත කෙරෙන්නේ, හුදෙක් විස්තර කිරීමේ සංකල්පමය උපකරණයක්, වශයෙනි. එයින් විස්තර කෙරෙන්නේ අපගේ අල්ලපු රට වන ඉන්දියාවේ දැනට අත්හදා බලන්නා වූත්, ලංකාවේද අත්හදා බැලිය යුතු යැයි සිංහල ජාතිකවාදී මතධාරීන් ගොඩනගමින් යන්නා වූත්, එකිනෙකට සමානකම් ඇති දෘෂ්ටිවාදී ව්‍යාපෘතියකි. ‘ශක්තිමත් රාජ්‍යයක්’ යනුවෙන් මේ දිනවල ලංකාවේ පෝස්ටර් මගින් ප්‍රසිද්ධිය ලබමින් සිටින්නේත්, එම දෘෂ්ටිවාද ව්‍යාපෘතියේම ශාඛාවකි.

ඉන්දියානු ‘සභ්‍යත්ව රාජ්‍ය’ ව්‍යාපෘතිය, ඍීී නම් අන්ත වර්ගවාදී හින්දු සංවිධානය 1920 ගණන්වල පටන් ආරම්භ කර, දැනට බලයේ සිටින බීජේපී ආණ්ඩුව විසින් ක්‍රියාවට නගනු ලබන්නකි. එම දෘෂ්ටිවාද ව්‍යාපෘතියේ ආරම්භකයා වූයේ ආර්එස්එස් සංවිධානයේ ප්‍රධාන මතවාදී ගුරුවරයා වූ විනායක් දමෝදාර් සවර්කාර්ය. බීජේපීයේ නිල මතවාදය වන, ලංකාවේ ජාතික චින්තන ව්‍යාපාරයටද අනුප්‍රාණය ලබාදුන්, ‘හින්දුත්ව’ මතවාදයේ ආරම්භකයා සහ න්‍යායාචාර්යවරයා වූයේ සවර්කාර්ය. සවර්කාර් සහ ආර්එස්එස් සංවිධානය ගාන්ධි නායකත්වය දුන් නිදහස් සටන් ව්‍යාපාරයටත්, වර්ගවාදී නොවන සහ මානුෂිකවාදී ජාතිකවාදයටත් තරයේ විරුද්ධ වූහ. ඉතාලි ෆැසිස්ට්වාදයෙන් අනුප්‍රාණය ලැබූ සවර්කාර් ප්‍රජාතන්ත්‍රවාදයට බුද්ධිමය සහ මතවාදීමය වශයෙන් විරුද්ධ කෙනෙක්ද විය. 1947 දී මහත්මා ගාන්ධි ඝාතනය කෙළේ, සවර්කාර්ගේ අන්ත වර්ගවාදී මතවාදයෙන්අනුප්‍රාණය ලැබූ නතුරාම් විනායක් ගොඞ්සේ නම් තරුණයාය.

සභ්‍යත්වයේ වර්ගවාදය

බීජේපී ආණ්ඩුව එහි දෙවැනි ධුරකාලයේදී වේගයෙන් ක්‍රියාත්මක කිරීමට පටන්ගෙන ඇත්තේ හින්දු සභ්‍යත්වවාදී රාජ්‍ය හා දේශපාලන ප්‍රතිසංවිධාන ක්‍රියාදාමයකි. විවෘතවම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාද සහ සමාජවාද විරෝධීන් වන බිජේපීආර්එස්එස් සන්ධානය අත්‍යන්තයෙන්ම හින්දු වර්ගවාදීය. එමෙන්ම, දේශපාලන වශයෙන් ෆැසිස්ට්වාදීය. එය හින්දු බහුතරයේ ආධිපත්‍යය නියෝජනය කරන පරිදි, ඉන්දියාවේ නූතන රාජ්‍යය පරිවර්තනය කිරීමට කැපවී සිටියි. එම ක්‍රියාවළියේදී අගමැති මෝඩි සහ ස්වදේශ ඇමති අමිත් ෂා හවුලේ නායකත්වය දෙන බීජේපී ආණ්ඩුව දියත් කර ඇති රාජ්‍ය/දේශපාලන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ප්‍රධාන අංග දෙකක් තිබේ. පළමුවැන්න, ඉන්දියාවේ පශ්චාත්යටත්විජිතවාදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවළිය අවසානයකට ගෙන ඒමයි. මේ වනාහි අතිශයෝක්ති හෝ සතුරු ප්‍රකාශ නොවේ. ඉන්දියාවේ දැනට සිදුවන දේශපාලන පරිවර්තනය පිළිබඳ බැරෑරුම් නිරීක්‍ෂණයන්ය. ඉන්දියාවේ දැනට සිදුවන දේශපාලන පරිවර්තනයේ ප්‍රධාන ක්‍රියාවලීන් තුනක් තිබේ. ඒවා නම්,

  • විසිවැනි සියවසේ ඉන්දියානු ජාතික නිදහස් ව්‍යාපාරය සමග ගොඩනැගුණු නූතනවාදී ප්‍රජාතන්ත්‍රවාදී, සමූහාණ්ඩුවාදී, බහුත්වවාදී සහ නිරාගමිකවාදී දේශපාලන, සංස්කෘතික සහ මතවාදී උරුමය අතහැර දැමීම පළමුවැන්නයි.
  • දෙවැන්න, ඉන්දියාවේ හින්දු වාර්ගික ආධිපත්‍යවාදී සමාජයක්, සංස්කෘතියක්, නිල දෘෂ්ටිවාදයක් සහ රාජ්‍යයක් නිර්මාණය කිරීමයි.
  • තෙවැන්න, ඉන්දියාවේ නූතනත්වයේ දේශපාලන උරුමය වූ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ ලිබරල් සමූහාණ්ඩුවාදයත්, නිරාගමිකවාදයත් වෙනුවට නවෆැසිස්ට්වාදී වර්ගවාදී දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමයි.

ගැටුම

අද ඉන්දියාවේ දිගහැරෙන දේශපාලන ගැටුම් ක්‍රියාවළිය, මෙම බීජේපීආර්එස්එස් ව්‍යාපෘතියත්, එයට එරෙහි සමාජ බලවේගත් අතර ඇති ගැටුමක්ද වෙයි.

මෙම ඉන්දියානු දේශපාලන බලවේග අතර ගැටුමට සම්බන්ධ ප්‍රධාන ප්‍රතිවිරෝධයේ, ලංකාවට අදාළ ලක්‍ෂණයක්ද තිබේ. එය නම්, ඉන්දියාවේ ‘සභ්‍යත්වයේ’, නැතහොත් ශිෂ්ටාචාරයේ උරුමය පිළිබඳ එකිනෙකට වෙනස් අර්ථකථන දෙකක ගැටුමක්ද වීමයි. එයින් පළමුවැන්න ගාන්ධිනේරුවාදී අර්ථකථනයයි. දෙවැන්න, සවර්කාර්මෝඩිවාදී අර්ථකථනයයි. ‘සභ්‍යත්ව රාජ්‍යයක්’ යන ෆැසිස්ට්වාදී සංකල්පය ඉන්දියාවේ දේශපාලන විවාදය තුළ තවමත් මතුවී නැතත්, දැනට මතුවී තිබෙන ගැටුම තුළ උද්දීපනය වන කරුණක් නම්, ඉන්දියාවේ ෆැසිස්ට්වාදී ‘සභ්‍යත්ව රාජ්‍යයක්’ සඳහා ඉන්දියානු ජනතාව නිහඬව ඉඩ දිය යුතුද, නැද්ද යන්නයි.

මෝඩි ව්‍යාපෘතියට ඉන්දියාව තුළින්ම මතුවන විරෝධය (නිව් ඉන්ඩියා එක්ස්ප්‍රස්)

පසුගිය සති කිහිපය තුළ ඉන්දියාවෙන් මතුවන පණිවුඩය නම්, ඉන්දියානු ජනතාව තුළ ඒ සඳහා විශාල විරෝධයක් පැනනැගී තිබෙන බවයි. එම විරෝධය  ප්‍රසිද්ධියේ ප්‍රකාශවීම මෝඩිඅමිත් ෂා ආණ්ඩුව මෙතෙක් මුහුණ දී තිබෙන බැරෑරුම්තම දේශපාලන අර්බුදය බවටද දැන් පත්වෙමින් පවතියි.

සභ්‍යත්ව රාජ්‍යය’ සහ ෆැසිස්ට්වාදය

සභ්‍යත්ව රාජ්‍යය යන සංකල්පයම ෆැසිස්ට්වාදී එකකි. එසේ වන්නේ ඇයි? ඒ සඳහා, වර්තමාන ඓතිහාසික සන්දර්භය තුළ හේතු දෙකක් තිබේ. ඒ දෙක කවරේදැයි කෙටියෙන් විමසා බලමු. ඒ දෙකම ‘සභ්‍යත්වවාදය’ යන දේශපාලන පරිකල්පනයේ ඇති විශේෂ ලක්‍ෂණ දෙකක්ද වෙයි.

පළමුවැන්න නම්, ‘සභ්‍යත්වය’ යන්න දේශපාලන සිතීමක් බවට පත්කිරීම තුළ ඇති අත්‍යන්ත වර්ගවාදී සහ අත්‍යන්ත ආගම්වාදී දේශපාලන අභිලාෂ පද්ධතියයි. එය නූතන ධනවාදී ජාතික රාජ්‍ය ක්‍රමයේ අභ්‍යන්තර අර්බුදයෙන් ගොඩඒමට, ජාතික රාජ්‍යවල සිටින බහුතර ජනවාර්ගික සහ ආගමික කණ්ඩායම්වල බුද්ධිමතුන් විසින් ගොඩනගනු ලබන මතවාදී ව්‍යාපෘතියකි. එය දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්වන්නේ පසුවය. ඉන්දියාවේ හින්දු සභ්‍යත්වවාදී රාජ්‍ය සිහිනය මතවාදී ලෙස ගොඩනැගුවේ, අප ඉහතදී දුටු පරිදි, විනායක් දමෝදාර් සවර්කාර්ය. එය ක්‍රියාවට නගන්නේ මෝඩි සහ ෂා ය.

ලංකාවේ ‘සභ්‍යත්ව රාජ්‍යයක’ දේශපාලන මතවාදය නිර්මාණය කෙළේ ගුණදාස අමරසේකර සහ නලින් ද සිල්වාය. එම මතවාදී ව්‍යාපෘතිය දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්කරන දේශපාලන නායකත්වයක් නිර්මාණය කිරීමේ කාර්යය තවමත් සිදුවෙමින් පවතින බව පෙනේ. මෙම මතවාදය මෙතෙක් ඉදිරිපත් කර ඇති ‘සභ්‍යත්වය’ පිළිබඳ දැක්ම වනාහි, ඉන්දියානු සහ ලාංකික සමාජවල සංස්කෘතික, චින්තනමය සහ ශිෂ්ටාචාරමය අතීතය තුළ තිබි බහුත්වවාදී සංයුතිය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමයි. සාකල්‍යයෙන්ම ඒකත්වවාදී ලෙස අතීතය අර්ථකථනය කිරීම තුළින් ගොඩනගන, ඒකත්වවාදී වර්තමානයක් පිළිබඳ මිථ්‍යාව වෙතට දේශපාලන සුජාතකරණයක් ප්‍රදානය කිරීමයි. මෙය දහඅට සහ දහනවවැනි සියවස්වල ජර්මන් රොමෑන්තිකවාදී සභ්‍යත්වවාදී චින්තකයන් ආරම්භ කළ, ජර්මනියේ හිට්ලර් විසින් උරුම කරගන්නා ලද, විසිවැනි සියවසේ යුරෝපීය ෆැසිස්ට්වාදයේ දෘෂ්ටිවාදමය උරුමයයි. 1920 ගණන්වල ආරම්භ වූ ජපානයේ ෆැසිස්ට්වාදයද ගොඩනැගුණේ එවැනි සභ්‍යත්වවාදී පරිකල්පනයක් ආශ‍්‍රයෙනි.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන සැකය

සභ්‍යත්වවාදය’ පිළිබඳ දේශපාලන පරිකල්පනයේ දෙවැනි ලක්‍ෂණය නම් එය නූතන ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් දක්වන සැකය හා කෝපයයි. එම සැකය සහ කෝපය පදනම් වන්නේ, නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ අත්දැකීම පිළිබඳව ඇති විවේචනයන් වෙතිනි. එම විවේචනයේ පහත සඳහන් තර්ක තිබේ.

  • ප්‍රජාතන්ත්‍රවාදය, වාර්ගික සුළුතර කණ්ඩායම්වල ග්‍රහණයට හසුවී තිබේ. එය දැන් වාර්ගික/ආගමික/ සභ්‍යත්වමය බහුතර ප්‍රජාවට හානිදායක දේශපාලන ක‍්‍රමයක් බවට පරිවර්තනය වී තිබේ. බහුතර ප්‍රජාවගේ පැත්තෙන් බලන විට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන/ආණ්ඩු ක්‍රමයකට විකල්පයක් ගොඩනැගිය යුතුව තිබේ. එය පශ්චාත්ප්‍රජාතන්ත්‍රවාදී එකක් විය යුතුය.
  • ප්‍රජාතන්ත්‍රවාදය විශේෂයෙන් මෑත කාලයේ බිහිකර ඇත්තේ දුර්වල, අදක්‍ෂ, දූෂිත දේශපාලනඥයන්ද, සිවිල් නිලධරතන්ත්‍රයක්ද සහිත ආණ්ඩුක්‍රමයකි. එම ආණ්ඩුක්‍රමයට තවදුරටත් ඉදිරියට යා නොහැකිය. දේශපාලන පංතියද, නිලධර ව්‍යුහයද අලූතින් නිර්මාණය කළ යුතුව තිබේ. එම පිරිස් තෝරා ගත යුතුව තිබෙන්නේ, අදක්‍ෂ, අකාර්යක්‍ෂම හා දූෂිත දේශපාලනඥයන්ගෙන්ද, නිලධරතන්ත්‍රවලින්ද පිටතින් සිටින නව ව්‍යාපාරිකයන්, නව වෘත්තිකයන්, ආගමික පූජකයන් සහ යුද හමුදාව යන ස්තරවලිනි. සියලූම අපේක්‍ෂකයන් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා කරමින්, මීට අවුරුදු දහයකටපහළොවකට පමණ පෙර, ජාතික හෙළ උරුමය ඉදිරිපත් කළ මාදිලිය, දැනට මතුවන බව පෙනෙන ක්‍රියාවළියක පෙරගමන්කරුවකු වූ බව පෙනේ.

ලංකාවේ ‘සභ්‍යත්ව රාජ්‍යය’ප්‍රවාදය පිළිබඳව ගැඹුරු සාකච්ඡාවක් ආරම්භ කළ යුතුව තිබේ. එවැන්නක් දැන් ඉන්දියාවේද ආරම්භ වී තිබේ. එවැන්නකදී සාකච්ඡා කළ යුතු ප්‍රශ්ණ කිහිපයක් තිබේ. ඒවා මෙසේ සාරාංශ කළ හැකිය.

  • නූතන ප්‍රජාතන්ත්‍රවාදය අප රටේ විසිවැනි සියවසේ වර්ධනය වූ දේශපාලන ශිෂ්ටාචාරයේ අභේද්‍ය අංගයකි. සභ්‍යත්ව රාජ්‍ය ප්‍රවාදය තුළ එම ශිෂ්ටාචාරමය උරුමය සමග ගනුදෙනු කරන්නේ කෙසේද?
  • සභ්‍යත්ව රාජ්‍ය’ සිහිනයේ ඇති ෆැසිස්ට්වාදී සහ අධිකාරවාදී විභවතාවට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

ඉන්දියාවේ හින්දුත්වවාදී රාජ්‍ය පරිවර්තන ව්‍යාපෘතිය දැන් මුහුණ දෙන අර්බුදය වෙතින් යළිත් අවධාරණය කර ඇති බහුසංස්කෘතිකවාදයේ, බහුත්වවාදයේ සහ රාජ්‍යය නිරාගමික වීමේ අදාළතාව වෙතින් ඉන්දියාවද ලංකාවද ඉගෙන ගත යුතු පාඩම් මොනවාද?

  • දුර්වල වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ එහි අර්බුද ඉදිරියේ පශ්චාත්ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප වෙනුවට, ප්‍රජාතන්ත්‍රවාදයම යළි පරිකල්පනය කිරීමේ ප්‍රයත්නය ආරම්භ කළ යුත්තේ කොතැනින්ද?
  • ශක්තිමත් රාජ්‍යයක්’ පිළිබඳ ප්‍රවාදය ප්‍රජාතන්ත්‍රවාදී අර්ථකථනයකට භාජනය කළ හැක්කේ කෙසේද?

මේවා වනාහි අපේ යුගයේ දේශපාලන ප්‍රශ්ණයි. ඒ සඳහාප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සාකච්ඡාව මතුපිටින් ගෙනයාම නොව, ගැඹුරු කිරීම අත්‍යවශ්‍යය.

(අනිද්දා)

Back to Top