Sri Lanka Brief
පුවත්සිවිල් සමාජය අදේශපාලනිකයි කීම ප්‍රජාතන්ත්‍රවාදයට සහ ජනතාවට විරුද්ධයි. – ආචාරිනී හරිණි අමරසුරිය

සිවිල් සමාජය අදේශපාලනිකයි කීම ප්‍රජාතන්ත්‍රවාදයට සහ ජනතාවට විරුද්ධයි. – ආචාරිනී හරිණි අමරසුරිය

by

ඡායාරූපය: හරිණි අමරසූරිය (පුස්තකාල ජායාරූපයකි/jvpsrilanka.com)

සිවිල් සමාජය පැවතිය යුත්තේ මේ දේශපාලන අවකාශයෙන් බාහිරව යැයි අපි සිතන්නට යොමු වෙලා තියෙනවා. ඇත්තෙන්ම, සිවිල් සමාජය සහ දේශපාලනය යන්න දෙකක් ලෙස අප සිතන්නට පටන් ගත්තේ කවදා සිටද? මෙයින් අදහස් වන්නේ සිවිල් සමාජය තුල දේශපාලනය නැති බව හෝ එය අදේශපාලනික බවද? සිවිල් සමාජය පැවතිය යුත්තේ දේශපාලන අවකාශයෙන් බාහිරව යැයි ඉදිරිපත් කරන අදහස සැබවින්ම ප්‍රජාතන්තවාදී සහ ජනතා විරෝධී ප්‍රවනතාවයක්” යැයි ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ආචාරිනී හරිණි අමරසුරිය පවසයි. ඇය මෙම අදහස් ප්‍රකා කර සිටියේ මීගමුවේ පවතී ජනාවබෝධය කේන්ද්‍රයේ 40 වසර සැමරීමේ උත්සවයේ ආරාධිත දේශනය කරමිනි.

වැඩිදුරටත් කතා කල ආචාර්ය හරිණි අමරසුරිය:

දේශපාලනය කියන්නේ සිවිල් සමාජයෙන් පරිබාහිරවූ වෙනත් අවකාශයක් බව අප සිතන්නට පටන්ගත්තේ කවදා සිට කුමන පදනමක් මත සිටද යන්න අප විසින් විමසා බැලිය යුතුය. අද දේශපාලනය කියන වචනය ඇසෙන විටම අපිට පිළිකුලක් ඇතිවෙනවා. මක්නිසාදයත්, අපි හිතනවා එය ඉතාමත් නරක දුෂිත දෙයක් බව. එනිසා සිවිල් සමාජය පැවතිය යුත්තේ මේ දේශපාලන අවකාශයෙන් බහිරව යැයි අපි සිතන්නට යොමු වෙලා තියෙනවා. මෙය අහම්බෙන් සිදුවූ දෙයක් නොවෙයි එහෙත් මෙය ඉතාමත් භයානක ප්‍රවනතාවයක්.

අද අපි නව ලිබරල්වාදී ආර්ථිකයක් ගැන කතා කරනවා එය ඉතාමත් භයානක ප්‍රවනතාවයක්! මෙම නව ලිබරල්වාදී පසුබිම තුල දේශපාලනය සහ සංස්කෘතිය හැසිරිය යුතු ආකාරය පිලිබදව අපට බොහෝ බලපෑම් සිවෙමින් පවතිනවා.

මෙහි එක් පියවරක් තමයි සිවිල් සමාජය හිතාමතාම අදේශපාලනික කර තිබීම. එසේත් නැතහොත් සිවිල් සමාජයට දේශපාලනය කිරීම අකැපයි යන අදහස මතු කිරීම. නවලිබරල්වාදී ක්‍රමය තුල තියෙන ප්‍රධාන විශ්වාසයක් වන්නේ රජය සහ රජයට සම්බන්ධ සියලුම පාර්ශවයන් සමාජයට අහිතකර බව. එයින් අදහස් වන්නේ රජයත්, රජයට සම්බන්ධ සියල්ලෝම දුෂිතයි යන බව ය. එනිසා ඔවුන් මතයක් ඉදිරිපත් කරනවා සියල්ල වෙනස් විය යුත්තේ වෙළදපොල මැදිහත් වීම තුලින් කියා. ඔවුන් අවධාරණය කරනවා සිවිල් සමාජය දේශපාලනයට සම්බන්ධ වුනොත් එයත් දුෂණයට පත්වෙනවා එබැවින් එය දේශපාලන අවකාශයෙන් පිටත පැවතිය යුතුයි කියා.

මෙය මොන තරම් භයානක තැනකට පැමිණිය ඇතිදැයි කියනවානම්, මේ වනවිට අපි අපේ ප්‍රශ්න විසිදීම මුළුමනින්ම වෙළදපොලට සහ තාක්ෂණික යොමුවීම් වලට භාර දීලා, දේශපාලනය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන තත්තවයකට පත්වෙලා ඉන්නවා. මෙය සැබවින්ම ප්‍රජාතන්තවාදී සහ ජනතා විරෝධී ප්‍රවනතාවයක්! මක්නිසාදයත් අද අපි ජනතාව ගැන විස්වාසය තබන එක ඇත හැර දමා තියනවා.

ප්‍රජාතන්තවාදයේ මුලික පදනම ජනතාව කෙරෙහි විස්වාසය තැබීමයි. වෙනස් වීම් සහ පරිවර්තන සිදුවිය යුත්තේ ඔවුන් තුලිනි. නමුත් දේශපාලන පක්ෂ සහ දේශපාලකයින් ප්‍රතික්ෂේප කිරීම මගින් අපි ජනතාව ප්‍රතික්ෂේප කරනු ලබනවා.”

සාමාන්‍ය ජනතාව මෝඩයි, ඔවුන්ට හරි තීරණ ගන්නට බැහැ කියල අපි හිතනවා. එනිසා බලය තිබිය යුත්තේ බුද්ධිමත්, උගත් සහ තාක්ෂණික දැනුම ඇති ප්‍රභූ පිරිසක් මත බවට අදහසක් ඇතිවෙමින් පවතිනවා. එය ප්‍රජාත්‍රන්තවාදය ප්‍රතික්ෂේප කරන අධිපතිවාදී පාලන පැලැන්තියක් භාර ගැනීමට ජනතාව යොමුකරවීමක්! මෙය ප්‍රගතිශීලී වාමාංශික කණ්ඩායම් ගැඹුරින් අවදානය යොමුකළයුතු දෙයක්.”

නව ලිබරල්වාදී බලවේගවලට අපි යට උනාද? එම බලවේග පරාජය කරන්න අපට හැකිවේද? මේ ජනතාව බල ගැන්වීමේ කාර්යට අප ඇත ගැසූ මොහොතේ ඊට මුල්වූ පරමාර්ථයන් තුලම අප තවමත් රැදී සිටියිද? එසේ නැතිනම් අප එහි ගොදුරක්වී සිටියිද?

(ජනාවබෝධ වෙබ් අඩවියෙනි)

Back to Top