Sri Lanka Brief
පුවත්විදේශ ඇමැති දිනේශ් ගුණවර්ධන ජිනිවාහි දී කළ සම්පුර්ණ ප්‍රකාශය

විදේශ ඇමැති දිනේශ් ගුණවර්ධන ජිනිවාහි දී කළ සම්පුර්ණ ප්‍රකාශය

by
මානව හිමිකම් කවුන්සිලය/43 වැනි සාමාන්‍ය සැසිවාරය. ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා, නිපුනතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ (ශ්‍රී ලංකා නියෝජය කණ්ඩායමේ නායක) ප්‍රකාශය.
(2020 පෙබරවාරි 26 වැනි දින, ජිනීවා)

සභාපතිතුමියනි,

මහ කොමසාරිස්තුමියනි,

මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයිනි, නියෝජිතවරුනි,

නෝනාවරුනි, මහත්වරුනි,

මෙම කවුන්සිලය දන්නා පරිදි, 2019 නොවැම්බර් මාසයේ දී, “ඵලදායි පුරවැසි පරපුරක සිව් වැදෑරුම් ප්‍රතිඵල; තෘප්තිමත් පවුලක්, විනයගරුක, සාධාරණ සමාජයක් හා සමෘද්ධිමත් ජාතියක්” අරමුණු කරගත් ප්‍රතිපත්ති රාමුවක් ඔස්සේ කටයුතු කිරීමට, ශ්‍රී ලංකාවේ ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ප්‍රබල ජනවරමක් ලබා දුණි.  “අපගේ ජනතාවට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පාවා නොදී ජාතික ආරක්ෂාව” තහවුරු කිරීම සඳහා රට තුළ ස්ථිර සාර ලෙස පවත්නා තිරසාර සංවර්ධනය හා සාමය සහතික කිරීම අපේක්ෂා කෙරේ.

  1. මීට පෙර ශ්‍රී ලංකාව මුහුණ දුන් පැවැත්ම පිළිබඳ තර්ජනය

දශක තුනක් මුළුල්ලේ දිග්ගැස්සුනු ත්‍රස්තවාදී ගැටුම පැවති අවධියේ කෲර ත්‍රස්ත ප්‍රහාර එල්ල කරමින් සහ දස දහස් ගණනක් අහිංසක සිවිල් ජනතාව‍ මරා දමමින්- එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය විසින් උතුරු හා නැගෙනහිර පළාත්වල  එල්.ටී.ටී.ඊ ආධිපත්‍ය දරන ප්‍රදේශවල පමණක් නොව මුළු මහත් රටේම ජනතාවගේ මූලික නිදහස ද ප්‍රතික්ෂේප කරන ලදී. ජනවාර්ගික පවිත්‍රකරණ ව්‍යාපාර, සියලු ජනවර්ගයන්ට අයත් ප්‍රජාතන්ත්‍රවාදීව තේරි පත් වූ දේශපාලන නායකයන් සියයකට අධික සංඛ්‍යාවක් ඝාතනය කිරීම, කුඩා දරුවන් සටන්කාමීන් ලෙස බඳවා ගැනීම, සිවිල් ජනතාව ජීවත්වන ප්‍රදේශවල අවිචාරවත් ලෙස බිම් බෝම්බ වැළලීම හා ඉතා වැදගත් යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම එල්.ටී.ටී.ඊ. යේ දරුණු ම්ලේච්ඡ ක්‍රියා අතරට අයත් විය.  මෙම සම්භාවනීය සභාව හොඳින් දැනුවත් වී ඇති පරිදි, ශ්‍රී ලංකාවේ අනුයාත ලෙස පත් වූ රජයන් විසින් සාම සාකච්ඡා සඳහා දැරූ ප්‍රයත්න පහක් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් ඒකපාර්ශ්විකව නිශ්ප්‍රභා කරන ලද අතර ඔවුහු මෙම සටන් විරාම, නැවත සන්නද්ධවීමට, නැවත කණ්ඩායම්ගත වීමට හා ආපසු යුද්ධ කිරීමට භාවිතා කළහ.

2006 ජුලි මාසයේදී නැගෙනහිර පළාතේ දස දහස් ගණනක් වූ ජනතාවට ජලය ලබා ගැනීම අහිමි කරමින් අත්‍යාවශ්‍ය සොරොව්වක් වසා දැමීම නිසා එවකට පැවති රජයට, එල්.ටී.ටී.ඊ දැඩි ග්‍රහණයෙන් ශ්‍රී ලංකා ජනතාව මුදවා ගැනීමට සහ එහි නිමක් නැති ත්‍රස්ත ව්‍යාපාරයෙන් සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරලීමට මානුෂීය මෙහෙයුමක් දියත් කරනවා හැර වෙනත් විකල්පයක් එවකට පැවති රජයට නොතිබිණි.  සාම ක්‍රියාවලිවල සම සභාපතිවරුන් හා එක්සත් ජාතින්ගේ නියෝජිතායතන ඇතුළු වෙනත් ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සහභාගී වූ මානුෂීය සහාය පිළිබඳ උපදේශන කමිටු (CCHA) රැස්වීම්වල වාර්තා මගින්, ශ්‍රී ලංකාව, මානුෂීය මෙහෙයුම        අතරතුරදී අත්‍යාවශ්‍ය  සැපයුම් ලබාදීමට හා ගැටුම් පැවති ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට දැරිය හැකි සියලුම ප්‍රයත්න දැරූ බව පැහැදිළිව දක්වාලීය.

ශ්‍රී ලංකාව, දශකයකට වැඩි කාලයකට පෙරාතුව, එනම් 2009 මැයි 18 වැනි දින, දශක තුනක් පුරා පැවැති ගැටුම හා දුක් වේදනා අවසාන කරමින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජයක පත් කළාය.  මෙම කුරිරු ගැටුමේ අවසානය මගින්, සිංහල, දමිළ, මුස්ලිම් හා වෙනත් සියලුම ශ්‍රී ලාංකිකයන්ට ජීවත්වීමේ අයිතිය යන එක් මූලික මානව හිමිකමක් වැඩි දියුණුකොට ආරක්ෂා කර දෙන ලදී.  2009 මැයි මාසයේ සිට බෙදුම්වාදී ත්‍රස්තවාදය නාමයෙන් කිසිදු වෙඩි උණ්ඩයක් ශ්‍රී ලංකාවේ පත්තු නොකළ බව ආඩම්බරයෙන් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.  අදවන විට, රටවල් 32ක් විසින් එල්.ටී.ටී.ඊ. ය තහනම් කර ඇති අතර, එම රටවල් එල්.ටී.ටී.ඊ. ය අනුගමනය කළ පිළිකුල් සහගත ත්‍රස්තවාදී මාවතට ලෝකය ලබා දී ඇති පිළිගැනීම පිළිබඳව කථා කරයි.

  1. ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබූ පශ්චාත් ගැටුම් පියවර

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහි ගැටුමේ අවසානය, එක් රැයකින් සදාකාලික සාමයක් බවට පත්වනු ඇතැයි ශ්‍රී ලංකාව කිසිසේත්ම මුලා වී නොසිටියාය.  මෙම කවුන්සිලය කටයුතු කරන බොහෝ ගැටුම් තත්ත්ව මෙන් ශ්‍රී ලංකාව ජාතිය ගොඩනැගීමේ සිද්ධියක් නොවූවත්, තිරසර සාම හා සංහිඳියා වැඩ සටහනක කොටසක් වශයෙන්, දැනට පවත්නා ව්‍යුහයන් සම්බන්ධයෙන් යම් යම් සමාලෝචන හා ශක්තිමත් කිරීම් ශ්‍රී ලංකාවට අවශ්‍ය වූ බවට අපි සවිඥානක වුනෙමු.

එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ වූ හා වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරය හෙබවූ රජය, ගැටුම සිදුවෙමින් පවතින අතර තුර ආරක්ෂාව පතා රජයේ පාලන ප්‍රදේශවලට පැමිණීම ආරම්භ කළ සිවිල් ජනතාව සිය දහස් ගණනකගේ සුරක්ෂිතභාවය සහතික කළේය.  මෙම ගැටුමේ අවසාන අදියරේ දී මානව පළිහවල් ලෙස රඳවාගෙන සිට පසුව එල්.ටී.ටී.ඊ ග්‍රහනයෙන් මිදුණු සිවිල් ජනතාව 300,000කට අධික සංඛ්‍යාවකට ත්‍රස්තවාදී පරාජය හමුවේ අවශ්‍ය වූ මානුෂීය සහායද කඩිනමින් සපයන ලදී.  ඉන් අනතුරුව එම අවධියේ වූ මූලික යථාර්ථයන් සඳහා නිසි පිළියම් ලබාදෙමින් “සුවපත් කිරීම හා සාමය ගොඩනැගීම” සඳහා තිරසර සංහිඳියා ක්‍රියාවලියක් ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලදී.  සම්පත්වලින් පොහොසත් රටවලට පවා විසඳුම් ලබාදීමට සහ සාක්ෂාත් කර ගැනීමට දශක කිහිපයක් ගත වී ඇති හෙයින් මෙම ක්‍රියාවලිය වර්ධිත හා සියල්ල අන්තර්ගත ක්‍රියාවලියක් ලෙස සළකනු ලැබීය.

මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ එවක ශ්‍රී ලංකා රජය, සංහිඳියාව, නැවත ගොඩනැගීම, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපනය උදෙසා කටයුතු කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කළේය.  මෙම ක්‍රියාවලිය මගින් සිවිල් ජනතාවගේ ජීවිත ගැටුමෙන් පසුව නගා සිටුවීම හා රට යථා තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් සියලුම පැතිකඩවල් ඔස්සේ සැලකිය යුතු ප්‍රගතියක් අත් කරදෙන ලදී.

i) දශක තුනක් පැරණි ගැටුම අවසාන වීමේ ප්‍රතිඵලයක් වශයෙන්, එල්.ටී.ටී.ඊ.ය විසින් සිවිල් ජනතාව සිටින ප්‍රදේශවල අතුරන ලද බිම් බෝම්බ හා පුපුරා නොගිය පුපුරන ද්‍රව්‍ය ඇතුළත් තුවක්කු (UXOS) ඉතා ඉහළ             ප්‍රමාණයකින් යුත් උතුරු හා නැගෙනහිර ඉඩම් විශාල ප්‍රමාණයක් (වර්ග කිලෝ මීටර 1311) ඉතිරි  විණි.   ගැටුමෙන් පසුව තම ගම් බිම් බලා ආපසු පැමිණි පවුල් කඩිනමින් නැවත පදිංචි කිරීම සඳහා මෙය ප්‍රධාන     බාධකයක් විය.  බිම් බෝම්බ සිතියම්ගත කිරීම් හා බිම් බෝම්බ අතුරා ඇති ස්ථාන  සළකුණු කිරීම්              නොමැතිවීම මගින් මෙම ගැටළුව තව දුරටත් සංකීර්ණ කරන ලදී.  මෙම අභියෝගයෙන් ජය ගැනීම      සඳහා  ආරක්ෂක හමුදාවෝ උතුරු හා නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ විස්තීරණ මෙහෙයුමක් දියත්     කළහ.              මෙම මෙහෙයුම සඳහාද විදේශීය රජයන් හා ජාත්‍යන්තර නියෝජිතායතන කීපයකගේ තාක්ෂණික සහාය ලැබිණි.  2014 දෙසැම්බර් වන විට, එනම් මහින්ද රාජපක්ෂ රජය එහි ධුර කාලය අවසාන කරන විට, බිම් බෝම්බ ඉවත් කිරීමෙන් 94% ක් අවසන් කර තිබූ අතර දැන් එය 98.7%  දක්වා වැඩි වී තිබේ.   මෙහි        ප්‍රතිඵලයක් ලෙස, අභ්‍යන්තර වශයෙන් අවතැන්වූවන්   තම ගම් බිම්වල පදිංචි කිරීමෙන්  අනතුරුව සිවිල්  ජනතාවට තුවාල සිදු කරමින් බිම්බෝම්බ පිපිරීමේ කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැත.

ii) ශ්‍රී ලංකාව, අභ්‍යන්තර වශයෙන් අවතැන්වූවන් 440,000 කට වැඩි පිරිසක් තම ගම් බිම්වල නැවත පදිංචි කිරීම් හා ගැටුමෙන් විනාශයට පත්  ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් සුවිශේෂී ප්‍රගතියක්   අත් කරගෙන තිබේ.  මෙය, 2012 අගෝස්තු මස, මානුෂීය කටයුතු සම්බන්ධීකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සම්බන්ධීකරණ හා ප්‍රතිචාර දැක්වීමේ අංශයේ අධ්‍යක්ෂවරයා උතුරු ප්‍රදේශයේ නියැළුණු සංචාරයෙන් පසු එතුමාගේ පැසසුමට ලක්විය.  2014 දෙසැම්බර් වන විට නැවත පදිංචි කිරීම්වලින්     71%ක් අවසන් වී තිබූ අතර මේ වන විට එම අගය 93.76% දක්වා වැඩි වී තිබේ.

iii)        ගැටුම පැවති අවධියේදී, ආරක්ෂක හමුදාව විසින් භාවිතා කළ ඉඩම් කඩිනමින් නිදහස් කිරීම කෙරෙහි මෙම             රජය ඉතා ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී තිබේ.  2014 දෙසැම්බර් වන විට, පුද්ගලික ඉඩම්වලින් 71.01%ක්             සම්පූර්ණයෙන්ම ඒවායේ හිමිකරුවන් වෙත ආපසු ලබා දී තිබෙන අතර මේ වන විට එම අගය 92.22% දක්වා වැඩි වී තිබේ.

  1. iv) ගැටුම පැවති කාලයේදී නම් කරන ලද අධි ආරක්ෂිත කලාප, ගැටුම අවසන්වීමෙන් ටික කලකදී අහෝසි විය. යාපන අර්ධද්වීපයේ ආරක්ෂක හමුදා නියෝජනය ද 2014 අවසාන වන විට බොහෝ සෙයින් අඩු වී තිබුණි.
  2. v) “දරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ (CRC) ක්‍රියාත්මක වීම” නම් තේමාව පිළිබඳව මෙම ඉහළ මට්ටමේ රැස්වීමේදී සාකච්ඡා කරන හෙයින්, මෙම ගැටුම අවසානවීමෙන් පසුව, එල්.ටී.ටී.ඊ. ය විසින් බඳවාගෙන තිබූ ළමා සොල්දාදුවන් සියල්ලම, 2012 වන විට සාර්ථකව පුනරුත්ථාපනය කර යළි සමාජගත කළ බව මෙම සම්භාවනීය සභාවේ අවධානයට යොමු කිරීම වැදගත්වේ යැයි මම විශ්වාස කරමි.
  3. vi) ගැටුම අවසානයේ දී හමුදාව වෙත භාර වූ කළින් එල්.ටී.ටී.ඊ. සටන්කාමීන්ව සිටි 12,000 ක් පමණ ද පුනරුත්ථාපනය කර සමාජගත කරන ලදී. ඇත්ත වශයෙන්ම, මෙම සටන්කාමීන් ස්වෛරී, ප්‍රජාතන්ත්‍රවාදී           රාජ්‍යයකට එරෙහිව බෙදුම්වාදී යුද්ධයක් කරගෙන ගියද, දශක ගණනාවක ගැටුම්වලින් පසුව මෙමගින් සංහිඳියාව මග පෑදෙනු ඇතැයි තීරණය කරන ලද හෙයින් මෙම සටන්කාමීන්ගෙන් අති බහුතරයකට එරෙහිව රජය පළිගැනීමේ යුක්තිය පසිඳලූවේ නැත.

vii)       උතුරු නැගෙනහිර පළාත් නිදහස් කරගත් වහාම, එහි ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සේවා ලබාදීම සහතික කරමින් ප්‍රවාහන හා මහා මාර්ග, දුම්රිය, වාරි මාර්ග හා කෘෂිකර්මය, ධීවර, විදුලිබල සැපයුම, අධ්‍යාපනය හා මුල්‍ය           සේවා ආදී ක්ෂේත්‍රවල විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමෙන් සීඝ්‍ර යටිතල පහසුකම් සංවර්ධන වැඩ සටහනක් දියත් කරන ලදී.  පෞද්ගලික අංශය කේන්ද්‍රකොටගත් මෙම ආයෝජනවල ප්‍රතිඵලයක් වශයෙන්, ගැටුමෙන් විනාශයට පත් ප්‍රදේශවල ප්‍රාදේශීය දළ දේශීය නිෂ්පාදනයේ කැපී පෙනෙන වර්ධනයක් ඇති වූ     අතර 2012 වසරේදී එම අගය ජාතික දළ දේශීය නිෂ්පාදනයේ අගය අභිබවා ගියේය.

viii)      1987 වසරේදී පළාත් සභා හඳුන්වා දී තිබියදී, 1989 සිට, එල්.ටී.ටී.ඊ.ය විසින් උතුරු පළාතේ පදිංචිකරුවන්ට උතුරු පළාත් සභාව සඳහා ඡන්ද බලය පාවිච්චි කිරීමේ අයිතිවාසිකම ප්‍රතික්ෂේප කරන ලදී.   වසර 25කට පසුව 2013 වසරේ දී උතුරු පළාතේ වැසියන්ට ඔවුන්ගේ ඡන්ද බලය භාවිතා කිරීමට හැකිවීම යථා     තත්ත්වය ස්ථාපිත කිරීමේ සුවිශේෂී පියවරක් වු අතර මෙසේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් විය.  නැගෙනහිර       පළාත මුදවා ගැනීමෙන් ස්වල්ප කළකට පසුව එනම් 2008 මැයි මස දී, නැගෙනහිර පළාත් සභා මැතිවරණය ද පවත්වන ලදී.

  1. ix) මීට සමගාමීව, ගැටුම අවසාන වූ වහාම පැවති තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ජනතාවට ලබාදුන් පොරොන්දුවලට අනුව, වගවීම, නීතියේ ආධිපත්‍ය හා මානව හිමිකම්වලට අදාළවන දෑ ඇතුළුව අදාළ පශ්චාත් ගැටුම් ගැටළුවලට විසඳුම් ලබාදීම සඳහා දේශීය යාන්ත්‍රණ /කොමිෂන් සභා කිහිපයක් ස්ථාපනය කරන ලදී.  උගත් පාඩම් හා ප්‍රති සන්ධාන කොමිෂන් සභාව හා පරණගම කොමිෂන් සභාව මගින් දේශීයව සකසාගත්           සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳව යාවත් කාලීන කිරීම් ලබා දී තිබේ.

මෙම සියල්ල ඇතුළත් සහ දේශීය වශයෙන් සැලසුම් කර ඇති ශ්‍රී ලංකාවේ සියලු දෙනා රැගෙන යන පියවරයන් නොතකා, ත‍්‍රස්තවාදය පරාජය කිරීමට සහ ප‍්‍රවේසමින් සමතුලිත කරන ලද ප්‍රතිසන්ධාන ක‍්‍රියාවලියක් තුළින් ස්ථාවරත්වය, මානුෂීය සහන සහ කල්පවත්නා සාමය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රජය දැරූ උත්සාහයන් අගය කිරීමට අපොහොසත් වෙමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයින් කණ්ඩායමක් අනුගාමී වශයෙන් 2012, 2013 සහ 2014 වර්ෂවල දී ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී රටට විශේෂිත වූ යෝජනා සම්මුති ඉදිරිපත් කරන ලදී.

  1. 30/1 යෝජනා සම්මුතිය

2015 ජනවාරි මස දී ශ්‍රී ලංකාවේ බලයට පත් වූ රජය, ඵල දරමින් පැවති මෙම ගෘහස්ථ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය අත්හැර දැමීය. මානව හිමිකම් කවුන්සිල ඉතිහාසයේ පෙර නොවූ විරූ පියවරක් ලෙස, රටට විශේෂිත වූ යෝජනා සම්මුති පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය වෙනස් කරමින්, මෙම රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීය.

මහින්ද රාජපක්ෂ රජය විසින් සිදු කරන ලද ඉහත සඳහන් ඉතා වැදගත් අංග හෝ ක්‍රියාකාරකම්, 2015 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන වාර්තාව හෝ 30/1 යෝජනාව මඟින් ඉදිරිපත් කොට නොමැත. 2015 ට පෙර ආරම්භ කොට අනුගමනය කරමින් පැවති ප්‍රතිසන්ධානය, වගවීම සහ හා තිරසාර සාමය සහතික කිරීම සඳහා වූ කාර්ය රාමුව, ශ්‍රී ලංකාවට අවාසිදායක වන පරිදි නොසලකා හරින ලදි.

මූලික වශයෙන්ම, මෙම 30/1 යෝජනාව පමණක් නොව, මෑත කාලයේ දී ත්‍රස්තවාදය පරාජය කළ එකම ජාතික ආරක්ෂක ආයතනය විය හැකි වීරෝදාර ශ්‍රී ලාංකික ආරක්ෂක හමුදාවන්ට අසාධාරණ ලෙස අපවාද නැඟීමට ද යොදා ගත්, බොහෝ දෝෂ සහිත, ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ විමර්ශන වාර්තාව පසුගිය රජය විසින් “අගය කොට සලකමින් සටහන් කොට” තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන කාර්යාලය පිහිටුවා ඇත්තේ “මානව හිමිකම් පරීක්ෂණයක් මිස අපරාධ පරීක්ෂණයක්” සඳහා නොවන බව වාර්තාව විසින්ම පිළිගෙන තිබියදීත්, එය මූලාශ්‍රය හෝ එහි විශ්වසනීයත්වය තහවුරු කර ගත නොහැකි තොරතුරු සහ සාක්ෂි මත පදනම් විය. තවද, ඊට පටහැනිව සාක්ෂි උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව (LLRC) සහ පැහැරගැනීම් සහ අතුරුදහන් වීම් පිළිබඳ පැමිණිලි සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව (විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් ‘පරණගම කොමිසම’) වැනි ගෘහස්ථ වාර්තාවල ප්‍රමාණවත් තරමින් තිබේ. අනෙකුත් කරණු අතර, නසෙබි සාමිවරයා විසින් එක්සත් රාජධානියේ සාමි මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද තොරතුරු මඟින්, එක්සත් ජාතීන්ගේ කණ්ඩායමේ වාර්තා, එක්සත් රාජධානියේ හිටපු ආරක්ෂක කටයුතු පිළිබඳ විශේෂ කාර්ය භාර නිලධාරීගේ සංදේශ මෙන්ම, කොළඹ සිටි තානාපතිවරුන් කළ ප්‍රකාශ ඇතුළු මූලාශ්‍ර ගණනාවක් මත පදනම් වූ, අතිශයෝක්තියෙන් දක්වන ලද සිවිල් ජීවිත හානි සංඛ්‍යා පිළිබඳ ව්‍යාජ ආඛ්‍යානයන් ද ප්‍රතික්ෂේප කොට තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අන්තර්ජාතික රතුකුරුස සංවිධානය ඇතුළු ජාත්‍යන්තර නියෝජිතායතනවල වාර්තා මෙන්ම හෙළිදරව් වී ඇති වෙනත් රාජ්‍යතාන්ත්‍රික විදුලි පණිවුඩ මඟින් ද  මෙම කරුණු ව්‍යාජ බවට සනාථ කරයි.

ව්‍යවස්ථානුකූලව, මෙම යෝජනා සම්මුතිය මඟින්, සිය ව්‍යවස්ථාමය රාමුව තුළ ඉටු කළ නොහැකි වගකීම් ශ්‍රී ලංකාව මත පැවරීමට උත්සාහ දරන අතර, එය ශ්‍රී ලංකාවේ ජනතාවගේ ස්වෛරීභාවය උල්ලංඝනය කොට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය උල්ලංඝනය කරයි. මෙය, මෙම සම අනුග්‍රාහකත්වය පිළිබඳ සිය ස්ථාවරය නැවත සලකා බැලීම සඳහා ශ්‍රී ලංකාව පොළඹවන ලද තවත් සාධකයකි.

ක්‍රියාපටිපාටියට අනුව, 30/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමේ දී, පසුගිය රජය විසින් සියලු ප්‍රජාතන්ත්‍රවාදී පාලන මූලධර්ම උල්ලංඝනය කරන ලදී. කෙටුම්පත ඉදිරිපත් කිරීමටත් පෙර සිටම මෙම යෝජනාවට සහාය දෙන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, ජාත්‍යන්තර ආයතනයක නියෝග පිළිපැදීමට ශ්‍රී ලංකාව බැඳීමකට ලක්කිරීම සඳහා එම රජය අමාත්‍ය මණ්ඩලයීය අනුමැතිය ඉල්ලා සිටියේ නැත. එවැනි සම අනුග්‍රාහකත්වයකට අදාළ ක්‍රියාවලිය, පවරාගැනීම් හා ප්‍රතිවිපාක පිළිබඳව පාර්ලිමේන්තුවට කිසිදු සඳහනක් නොකෙරුණි.

වඩාත්ම වැදගත් කරුණ වන්නේ, රටේ උත්තරීතර නීතිය වන ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම නිසා එහි අන්තර්ගත නීතිවිරෝධී භාවය හේතුවෙන්, ලබා දිය නොහැකි ප්‍රතිපාදන මෙම යෝජනා සම්මුතියේම ඇතුළත් වීමයි. මෙහි දී වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයින්, විද්වතුන්, මාධ්‍ය සහ සාමාන්‍ය ජනතාව විසින් දක්වන ලද විරෝධතා ද ප්‍රතික්ෂේප කරන ලදී. එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද කියා සිටියේ එම අවස්ථාවේ දී තමාගෙන් ඒ පිළිබඳව විමසීමක් නොකළ බවයි. එය අද දක්වාම ශ්‍රී ලංකාවේ ස්වෛරීයත්වයට හා අභිමානයට සිදු වූ කැළලක් ලෙස පවතී.

මෙම කැපවීම මඟින්, ඊට එරෙහිව දැඩි විරෝධයක් සහ පවරා ගන්නා ලද කටයුතු බොහොමයක් සිදු කළ නොහැකි බවට සාක්ෂි තිබියදීත්, හුදෙක් රටවල් කිහිපයක් සතුටු කිරීම සඳහා මෙම ප්‍රායෝගික නොවන, ව්‍යවස්ථා විරෝධී සහ ප්‍රතිඵල ලබා දිය නොහැකි අත්හදා බැලීම සිදු කිරීමට රට බැඳී ඇත.

රටේ කීර්ති නාමයට සිදුවූ හානිය සම්බන්ධයෙන් ගත් කල, එය ශ්‍රී ලාංකිකයින්ට ජාත්‍යන්තර ක්‍රමය කෙරෙහි ඇති විශ්වාසය සහ සමස්තයක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව තුළ ශ්‍රී ලංකාව පිළිබඳව පවතින විශ්වසනීයත්වය ද සෝදාපාළුවට ලක් කොට ඇත. මෙම වගකීම් විරහිත ක්‍රියාව දිගුකාලීනව පෝෂණය වූ කලාපීය සබඳතා සහ නොබැඳි මෙන්ම දකුණු ආසියානු සහයෝගීතාවයට ද හානි කළේය. හුවමාරු කිරීම් හරහා හිතාමතාම සිදු කිරීමට උත්සාහ දැරූ ධ්‍රැවීකරණය හේතුවෙන්, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ‘ලකුණු බින්දුවක ක්‍රීඩාවක්’ දක්වා පහත හෙළීමත්, මගේ රට ගෝලීය දේශපාලනයේ චෙස් පුවරුව මත ‘ඉත්තෙකු’ බවට පත් කිරීමත්, අනවශ්‍ය ලෙස ශ්‍රී ලංකාව එහි සාම්ප්‍රදායික මධ්‍යස්ථභාවයෙන් ඉවතට ඇද ගැනීමත් සිදුවිය.

වඩාත් බැරෑරුම් ලෙස පෙනී යන්නේ, 30/1 ට අනුකූලව රට තුළ සිදුකරන ලද වෙනස් කිරීම් මඟින්,  ජාතික අභිලාෂයන්ට හානිවීම, ජාතික බුද්ධි මෙහෙයුම් හා අදාළ ආරක්ෂක විධිවිධාන දුර්වල කිරීම ඇතුළුව ජාතික ආරක්ෂාව අඩාල කිරීම නිසා ඇති වූ අඩුපාඩුකම් හේතු කොට ගත් බව සැලකෙන 2019 අපේ‍්‍රල් මස පාස්කු ඉරුදින එල්ල වූ පල්ලි සහ හෝටල් ඉලක්ක කරගත් ත්‍රස්ත ප‍්‍රහාර නිසා විදේශීය ජාතිකයන්ගේ ද ඇතුළුව ජීවිත අහිමි වූ අතර, එමඟින් ජාතික ආරක්ෂාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා අපේ රජයට අභියෝග එල්ල වී ඇත.

2015 ඔක්තෝම්බර් මාසයේ දී 30/1 යෝජනා සම්මුතියට සම අනුග්‍රහය දැක්වූ පෙර රජය විසින් වසර 4 කට පෙර මෙම යෝජනාවට සම අනුග්‍රහය දක්වන ලද අවස්ථාවේ දී නොසලකා හරින ලද ඉතා තාත්ත්වික බාධාවන් පිළිගනිමින්, 2019 මාර්තු මාසයේ දී මගේ පූර්වගාමියා විසින් මෙම කවුන්සිලය වෙත කරන ලද ප්‍රකාශය මගින් සිය නියෝග ඉවත් කරගැනීමේ හැරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම හාස්‍යයට කරුණකි. එම ප්‍රකාශය මඟින් මෙම යෝජනා සම්මුතිය සඳහා වූ සම අනුග්‍රාහකත්වයේ පරාමිතීන්ට යෝග්‍යතාවය ලබා දීමට උත්සාහ කරන ලදී. එමඟින්, 30/1 යෝජනා සම්මුතිය මඟින් විදහා දක්වන ගැටුමේ ස්වභාවය සහ ඇස්තමේන්තුගත මරණ සංඛ්‍යාව ප්‍රශ්න කිරීම, ආරක්ෂක හමුදාවන්හි වරදකාරී බවට සිදුකෙරෙන චෝදනා පසුපසට තල්ලු කිරීම, ඉල්ලා සිටින ලද ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණයේ බලපෑම සීමා කිරීම සහ යෝජිත අධිකරණ යාන්ත්‍රණයේ විදේශීය විනිසුරුවන් සහ නඩු පවරන්නන් මැදිහත් වීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් වළක්වන බව අවධාරණය කිරීම සිදුවිය. මෙම පිළිගැනීම නොතකා, 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහයෝගය ලබා දුන් හිටපු රජය සිය සම අනුග්‍රාහකත්වය දිගටම පවත්වාගෙන ගියේය.

  1. යෝජනා සම්මුතිය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ නව ස්ථාවරය

අති විශාල බහුතරයකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තේරී පත්වීමත් සමඟ, ශ්‍රී ලංකාවේ ජනතාව රට වෙනත් මාවතක් ඔස්සේ ඉදිරියට ගෙන යාමේ අපේක්ෂාව පිළිබඳව පැහැදිලි සඥාවක් ලබා දී තිබේ. ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් සැමරුම් උළෙලේ දී කළ සිය දේශනයේ දී ප්‍රකාශ කළ පරිදි, “සෑම ශ්‍රී ලංකා පුරවැසියෙකුටම ඔහුගේ හෝ ඇයගේ තේරී පත් වූ නියෝජිතයන් හරහා දේශපාලන හා පාලන ක්‍රියාවලීන්ට සහභාගී වීමේ අයිතිය අපි සැමවිටම ආරක්ෂා කරන්නෙමු”.

ශ්‍රී ලංකාවේ ජනතාවගේ අභිමතයට අනුව, නොබැඳි, මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ‘ආරක්ෂාව සහ සංවර්ධනය තුළින් සමෘද්ධිය’ සඳහා වන සිය න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයාම සහ සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ යහපත උදෙසා සමකාලීන අභියෝග ජය ගැනීම සඳහා ගෘහස්ථ විසඳුම් සෙවීම පිණිස අපගේ රජය නැවත වරක් මෙම ගැටළු පිරික්සා බැලීමට කැපවී සිටී.

2015 ඔක්තෝබර් මස 30/1 හා 2017 මාර්තු මස 34/1 යන පූර්වගාමී යෝජනා සම්මුති ඇතුළත් කර සකස් කරන ලද ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ 40/1 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාව ගත් තීරණය වාර්තාගත කිරීමට මා අදහස් කරන්නේ මෙම සන්දර්භය තුළය.

  1. ඉදිරි ගමන් මඟ

මෙම යෝජනා සම්මුතියේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වුවද, වගවීම සහ මානව හිමිකම් පිළිබඳ තිරසාර සාමය හා සංහිඳියාව සඳහා ශ්‍රී ලංකා ජනතාව විසින් තබා ඇති අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටී. මෙම අන්තය දක්වා;

අ) රජයේ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව, පවත්නා යාන්ත්‍රණයන් සුදුසු ලෙස අනුවර්තනය කිරීම ඇතුළුව, සියල්ල ඇතුළත් දේශීයව සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසන්ධාන හා වගවීමේ ක්‍රියාවලියක් තුළින් තිරසාර සාමය ළඟා කර ගැනීම සඳහා වන සිය කැපවීම ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කරයි. මීට පෙර පැවති මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය (IHL) උල්ලංඝනය කිරීමේ චෝදනා පිළිබඳව විමර්ශනය කළ ශ්‍රී ලාංකික විමර්ශන කොමිෂන් සභාවල වාර්තා සමාලෝචනය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විමර්ශන කොමිෂන් සභාවක් (COI) පත් කිරීම, නව රජයේ ප්‍රතිපත්තියට අනුකූලව ඔවුන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි ක්‍රියාමාර්ග යෝජනා කිරීම මෙයට ඇතුළත් වේ.

(ආ) 2030 තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) ද ඇතුළුව ශ්‍රී ලංකාවේ කැපවීම්වලට අනුකූල වන පරිදි, රජය විසින් කැපී පෙනෙන අනෙකුත් ගැටළු විසඳීමට කටයුතු කරන අතර, අවශ්‍ය අවස්ථාවල දී ආයතනික ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනු ඇත. පවතින නීතිය යටතේ පුද්ගල හා සාමූහික අයිතිවාසිකම් සහ ආරක්ෂණ ඉදිරියට ගෙන යාම, යුක්තිය සහ සංහිඳියාව සහතික කිරීම සහ සමාජයේ අවදානමට ලක්විය හැකි කොටස්වල ගැටළු විසඳීම මඟින්, ජනතාව කෙරෙහි රජය දක්වන කැපවීම තුළ මුල් බැස ඇති ප්‍රතිපත්ති අපි ක්‍රියාත්මක කරන්නෙමු. රජයේ ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීමේදී පාරිසරික ආරක්ෂාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ. ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ 8 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරයේ සමාරම්භක අවස්ථාවේ දී සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ දී “එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛ රටවල් අතරට ගෙන ඒම” පිළිබඳ සිය දැක්ම අවධාරණය කළේය. ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක අතර මේ වන විටත් සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහිදී තිරසාර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වීම පිණිස අදාළ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සම්බන්ධ කිරීමට එකඟ වී තිබේ.

ඇ) ශ්‍රී ලංකාව, සිය ගෘහස්ථ ප්‍රමුඛතාවයන්ට අනුකූලව, ධාරිතා වර්ධනය හා තාක්‍ෂණික සහාය සඳහා නිත්‍ය මානව හිමිකම් බලතල/ආයතන සහ යාන්ත්‍රණ ඇතුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි නියෝජිත ආයතන සමඟ එක්ව කටයුතු කරමින් ඒවායෙහි සහාය දිගටම ලබා ගනු ඇත.

ඈ) එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජිකයන් සමඟ එක්ව, මෙම යෝජනා සම්මුතිය අවසන් කිරීම සඳහා කටයුතු කිරීමට ශ්‍රී ලංකාව උත්සාහ දරනු ඇත.

ශ්‍රී ලංකා රජයට වඩා, ශ්‍රී ලංකාවේ බහු වාර්ගික, බහුභාෂා, බහු-ආගමික හා බහු සංස්කෘතික ජනතාවගේ හදවතට සමීපව සිටින යහපැවැත්මක් වෙනත් කිසිවකුගේ නොමැත. මෙම පෙළඹවීම මගින් අපගේ කැපවීමට මඟ පෙන්වනු ලබන අතර පුළුල් ප්‍රතිසන්ධානයකට සහ අපේ ජනතාවට ස්ථාවර සාමය හා සමෘද්ධිමත් යුගයක් කරා ගමන් කිරීමට අධිෂ්ඨාන කර ගත හැකිය. එබැවින්, ශ්‍රී ලංකාවේ දේශීය ප්‍රමුඛතා සහ ප්‍රතිපත්තිවල රාමුව තුළ ඉහත සඳහන් ක්‍රියාමාර්ග යථාර්ථවාදී වනවා පමණක් නොව, ඒවා ක්‍රියාවට නැංවිය හැකි බව ද අපගේ දැඩි විශ්වාසයයි.

මෙම ප්‍රයත්නය සඳහා ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස අපි මේ සම්භාව්‍ය සභාව තුළ සහ ඉන් පිටත සිටින සියලුම පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

බුදුරජාණන් වහන්සේගේ වදන් උපුටා දක්වමින් මම අවසන් කරමි,

“සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා”.

සියලු සත්ත්වයෝ සුරක්ෂිත වෙත්වා,

සියලු සත්ත්වයෝ දුකින් නිදහස් වෙත්වා,

සියලු සත්ත්වයෝ සුවයෙන් හා සතුටින් වෙත්වා.

ස්තුතියි.

Back to Top