Sri Lanka Brief
පුවත්විවරණවැඩ කරන විරුවා සහ බඩු කිරන විරුවා – උදන් ප්‍රනාන්දු

වැඩ කරන විරුවා සහ බඩු කිරන විරුවා – උදන් ප්‍රනාන්දු

by

චීනයේ වූහාන් ප්‍රාන්තයේ කොරෝනා කලබගෑනිය සිරිලකට සැළ වූ සැණින් ජනපති ගෝඨාභය රාජපක්ෂ (මින් පසු ජගෝරා, කෙටි පදයක ලෙස) වහා ම එහි සිටින ලාංකීය සිසු සිසුවියන් මව් රටට ගෙන්වා ගනු පිණිස නියෝගයක ශ්‍රී ලන්කන් ගුවන් සමාගමටත් විදේශ ලේකම්ටත් කළ බව මාධ්‍ය අපට කීය. මෙය බොහෝ ලක් දනට අස්වැසිල්ලක් පමණක නොව “අපේ ලොක්කා වැඩ්ඩා වැඩ්ඩා එක්ක සෙල්ලම් වානා” වැනි ප්‍රෞඪ ජාතික හැඟුමක ජනනය කළේ ය. ෆේස්බුක්දන මේ අරම්භයා දිගට හරහට මීම තොරන් ගැසූ හ. පසුව ය කවුරු හෝ කට කැඩිච්ච කතාවක කීවේ ඒ සිසු පිරිස අතර අමාත්‍ය වි. වීරවංශගේ පුතණුවන් ද සිටින බව. උග්‍ර සමජවාදීහු තම දරුවන් වැඩිදුර අධ්‍යාපනයට යවන්නෝ කුමන්ත්‍රණකාරී බටහිරට නොව සමාජවාදී සමූහාණ්ඩුචක වන මහජන චීනයට යි. කොරෝනාවටත් වඩා දරුණු ජාතිවාදී හා අවස්ථාවාදී වයිරසයෙන් එතුමා ආසාධනය වුනේ තම මුල් ගෙය වූ ජවිපෙ හැරපියා මැදමුලනේ කාල්ටන් නිවසේ ඇනෙක්සියක පදිංචි වූ පසුව යි. එහෙත් එතුමාගේ බොක්ක තවමත් සමාජවාදී බව ඔප්පු වුනේ කොරෝනාවූහාන් එපිසෝඩයත් සමගයි.

ජගෝරා සමතෙකු බව අවිවාදිත ය

කෙසේ හෝ කාර්ය සාධනයේ ජගෝරා සමතෙකු බව අවිවාදිත ය. ඒ ගැන තවත් කතාවක් කොළඹ කෝපි බොන්නන් අතර සංසරණය වේ. ඒ මෙසේ ය. තේ කර්මාන්තයේ ජගතෙකු වූ රොහාන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් හී සභාපති ධුරයට පත් කළ බව සති දෙකකට පමණ පෙර වාර්තා විය. ප්‍රනාන්දු මයාගේ තේ නිෂ්පාදනය, තේ අපනයනය හා ප්‍රවර්ධනයේ හසල දැනුම සම්භාරය හා පරිනත අත්දැකීම ගැන මොනවට දන්නා කාගේත් කුකුස වූයේ යසට තේ හදන්න දස්සයාව ටැලිපෝන් කරකවන්න දැම්මේ ඇයි ද යන්නයි. පරසිඳු විද්වත් මඬුල්ල ලේඬි පනාවකින් පීරා අතිශය විද්‍යාත්මක ලෙස තෝරා ගන්නා ක්‍රමවේදයට කුමක වුවා ද යන්නයි. ඉරිසියාවන්තයින් පදයක් හැදුවේ ප්‍රනාන්දු මයාගේ අඹුව ජගොරාගේ ජනපතිවරණ කැම්පේනය කළ බවයි. යුක්තිය සාධාරණය ගැන සමාජ මාධ්‍යය තුල නිතර ලොරිකථන දෙසන එතුමිය එවැන්නක් සිහිනෙකින්වත් කළා යී සිතිය නොහේ. එසේ නම් එය සිදු වුණේ කෙලෙස ද ? ඒ පිළිබඳ අධිතාත්වික ප්‍රබන්ධයක මා සමග එසේ පැවසූ මනස් පුතුගේ බසින් ම කියතොත් මෙසේ ය: “මෙහෙමයි, අන්කල්. ඔය ගැන කතා කරද්දී කිව්වලු අහවලා ව එස්එල්ටී එකට දාන්ඩ කියලා. ඇත්තට ම ටී කියලා අදහස් කළේ ටී බෝඩ් (ශ්‍රී ලංකා තේ මණ්ඩලය) එක ගැනලු. අන්කල් රෝහාන්ගේ එක්ස්පටිස් එක තියෙන්නේ ටී ගැන නේ, නේ ද? ඒත් සෙකට්‍රිලා හිතලා තියන්නේ ටෙලිකොම් කියළ ලු.ඉතිම් ඕම තමා උනේ” .

කළමනාකරණය පිළබඳ මම මොඩියුල කිහිපයක් විවෘත විශ්ව විද්‍යාලයේ එම්බීඒ පාඨමාලාවට ඉඳහිට උගන්වමි. මාගේ ශිෂ්‍යයෝ අභිරුචියෙන් උගෙන ගන්නෝ නායකත්ව විලාසයන් හා ආකෘති ගැන මොඩියුලය ය. කළමනාකරණ සම්ප්‍රදායේ ප්‍රධානියා ලෙස කලකට පෙර භාවිතයේ තිබුනේ ජෙනරල් මැනේජර් නම් වූ ආකෘතිය යි. එහෙත් පසු කලෙක එය ප්‍රධාන විධායක නිලධාරී හෙවත් සීඊඕ හෙවත් චීෆ් එක්සෙකෙටිවූ ඔෆිසර් ලෙස නාමකරණය විය. සීඊඕවරයා සමාගමක මග පෙන්වන ගුරුතරුව වේ. සමාගමේ දැක්ම, මෙහෙවර හා උපායික දිශානතිය පිළිබඳව නායකත්වය ගන්නේ සීඊඕ ය. එම තනතුර දරන්නාට ප්‍රායෝගික විචක්ෂණභාවයක් තිබීම වාසියක වුව ද සීඊඕගේ භූමිකාව දුව පැන ඇවිද වැඩ කිරීම නොවේ. එසේ කිරීම සඳහා සීඕඕ හෙවත් චීෆ් ඔපරේටින් ඔෆිසර් නම් තනතුරක වේ. සීඕඕ විසින් දෙන ලද උපාය මාර්ගික පරාමිතික තුල සමාගමේ ප්‍රතිපත්තිය ප්‍රායෝගික තලයේ කාර්ය සාධනය කරන්නේ සීඕඕ ය.

සීඊඕ ආකෘතිය මූලිකව හා බහුල ව භාවිතා වූයේ ව්‍යාපාරික ලෝකයේ ය. එහෙත් පසු කලෙක එය ආණ්ඩුකරණ ක්ෂේත්‍රයේ ද යොදාගනු දක්නට ලැබිණ. විශේෂයෙන් සුභසාධන රාජ්‍ය ආකෘතිය බිඳ වැටී පුද්ගලික අංශය ආර්ථිකයේ ගාමක බලවේගය ලෙස රූපාන්තරණය වූ නව්‍ය ලිබරල් ප්‍රවේශය තුල, රට සමාගමක ලෙස ද එහි නායකයා ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද මෙටෆොරික ව අර්ථ ගැන්විණ. මෙය වාච්‍ය අර්ථයෙන් ද ක්‍රියාවට නැංවුයේ ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ සිව් වරක් මහා ඇමති ලෙස බලය ලද චන්ද්‍රබාබු නායිඳු ය. තොරතුරු තාක්ෂණ හෙවත් අයිටී ක්ෂේත්‍රයේ රුසියෙකු වූ නායිඳු කෙටි කලකින් හයිද්‍රබාදය සිලිකන් වැලියක කළේ ය. එකල අයිටී පතාකයින් වූ මයික්‍රොසොෆ්ට්, ඔරැකල්, අයිබීඑම් වන් සමාගම් අන්ද්‍රාවේ විශාල ආයෝජන කරන තත්ත්වයකට ඔහු ගෙන ආවේ ය. එක්තරා ආකාරයකට වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ද ගුජරාටයේ මහා ඇමති ලෙස අගමැති වන්නට පෙර අනුගමනය කළේ නායිඳුගේ සීඊඕ ප්‍රවේශය යි. දැනුදු මෝදීගේ ප්‍රවේශය එය යි.

සුජාත පොල්මක්කරුවා

පොතේ හැටියට යට කී ප්‍රවේශයේ ලාංකීය සුජාත පොල්මක්කරුවා විය යුතුව තිබුණේ රනිල් වික්‍රමසිංහ ය. අතේ දුරින් තිබුන ද කුමන හෝ හේතුවකට හෝ අහේතුවකට වික්‍රමසිංහට එම ගෙඩිය කඩා ගැනුමට බැරි විය. සීඊඕ මොඩලය මහින්ද රාජපක්ෂට අකැප වන්නේ එය නූතන ප්‍රවේශයක හෙයිනි. ගිරුවාපත්තු මනසින් හෙබි රාජපක්ෂ තෝරාගත්තේ වැඩවසම් අප්පුච්චා ප්‍රවේශය යි. ඔහුගේ මලනුවන් වූ ගෝඨාභය යට කී ගිරාපත්තු විලංගුවෙන් ගැලවුනේ යුද්ධයට පින් සිද්ධ වන්නට ය. ඒ ඔහු යුද්ධය අතරතුර කුමන හෝ හේතුවකට රට හැර දා ලොස් ඇන්ජලිසයට විගමනය වීම නිසා ය. එය අප තේරුම් ගත යුත්තේ දැයේ පිනක ලෙස ය. ජගෝරා එකල කැලිපෝනියානු සිහින නොදිටි නම් අප රට තවත් වතාවකට අප්පුච්චිකරණය වීමට ඉඩ තිබිණ. සිලිකොන් වැලියේ සිසිලස විඳි ජගෝරා මෙරටට නැවත වරක් ආගමනය වන්නේ මහවැලියත් සිලිකොන් වැලියක් කරමී යන පාරමී පුරා ගෙන ය. දැන් ඊට ඔහුට අවස්තාව ලැබී තිබේ. බය්යන් ලෙස හැඳින්වෙන පසුගාමී ගැමි පිරිසක එතුමාට කොට ඇද්ද ද, පෙරහැරේ යන්නේ බය්ටෝ යන නමින් හඳුනාගත හැකි බයිටොයි දෙමුහුන් අලි ප්‍රභේධයකි. බය්ටන් ට දිරවන්නේ අප්පුචු මාළුපිනි නොව සීඊඕ බර්ගර් ය. ඒ අරුතින් ජගෝරා ලාංකීය චන්ද්‍රබාබු නායිඳු ලෙස අභිෂේක ලද හැක. එහෙත් සූටි අවුලක් තියේ. එනම් එතුමා සීඊඕ භූමිකාවට වඩා සීඕඕ වැඩ කරන්නට නැමියාවක් දැක්වීම යි වූහාන් වෙත අහස් යාත්‍රා යවන්න අණ කළ යුත්තේ සෞඛ්‍ය ඇමති ය. ආරෙම්වියට යා යුත්තේ ප්‍රවාහන ඇමති ය.”බඩු කිරන විරුවා” ලෙස අමනයන්ගේ කඩුප්පුලි කතා අසා හෑල්ලු වන්නට එතුමාට සිදු වන්නේ අතන මෙතන හාල් කිරන්න යන නිසා ය.

(මුල් ලිපියේ ‌හෙඩිම: ආණ්ඩුකරණය සීඕඕකරණය වීම Udan Fernando FB)

Back to Top