Sri Lanka Brief
විවරණව්‍යවස්ථානුකූල ආන්ඩුක්‍රමය සහ ශ්‍රී ලංකාව (2) – මහාචාර්ය නවරත්න බණ්ඩාර

ව්‍යවස්ථානුකූල ආන්ඩුක්‍රමය සහ ශ්‍රී ලංකාව (2) – මහාචාර්ය නවරත්න බණ්ඩාර

by

1833 සිට දිවයිනේ යටත් විජිත පාලන ක්‍රමය තුළට ව්‍යවස්ථානුකූල ආන්ඩුක්‍රමයේ මූලික ලක්ෂණ ඇතුල්වූ ආකාරය පසුගිය ලිපියෙන් පැහැදිලි කළෙමි.

අභ්‍යන්තර ස්වයංපාලනය මෙරට නායකයන්ට පැවරීම සඳහා 1947 දී පිහිටුවන ලද සෝල්බරි ව්‍යවස්ථාව 1931 දක්වා සංවර්ධනය වූ ව්‍යවස්ථානුකූල ආන්ඩුක්‍රමයේ මූලික ලක්ෂණ තවදුරටත් ඉදිරියට ගෙන ගියේය. එම ව්‍යවස්ථාවේ පාලන සංවිධානය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය අනුගමණය කළ බැවින් කැබිනට් ක්‍රමයට ආවේනික ‘සීමිත ආන්ඩුව’ පිළිබඳ මූල ධර්ම ද එයට එක් විය.

‘සීමිත ආන්ඩුව’ පිළිබඳ මූල ධර්ම

මෙම ව්‍යවස්ථාව පිටුපස දේශපාලන අරමුණු කිහිපයක් ද පැවතුනි. වාමාංශික ව්‍යාපාරයට එරෙහිව සිංහල, දෙමළ සහ මුස්ලිම් ජන කන්ඩායම් නියෝජනය කළ සියලු දක්ෂිණාංශික නායකයින් ව්‍යවස්ථා සම්මුතියක් මගින් එක්සත් කිරීම එක් අරමුණකි. 1931 පාලන සමයේ අවසානය වන විට බ්‍රිතාන්‍ය පාලකයන්ගේ හිත දිනා ගෙන සිටි ඩී එස් සේනානායක මහතාගේ බලය ශක්තිමත් කිරීම තවත් අරමුණක් විය. මෙහි ප්‍රතිඵලය වූයේ ලිබරල් ආන්ඩුක්‍රම මූල ධර්ම යම් ආකාරයක දියාරු කිරීමට (Dilution) ලක් කිරීම ය. එම දියාරු කිරීම් පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, නියෝජන ක්‍රමය සහ දෙවන මණ්ඩලය පිළිබඳව යොදන ලද විධිවිධාන තුළ පැහැදිලිව දක්නට ලැබුනි.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාකරණයේ දී සාමාන්‍යයෙන් සිදුකරන්නේ පුද්ගලයා මූලික කර ගෙන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට විධිවිධාන යෙදීමය. එහිදී ආගමික හෝ ජනවාර්ගික කංඩායම් වලට වි‍ශේෂ පිළිගැනීමක් ලබා දෙන්නේ නැත. නමුත් සෝල්බරි ව්‍යවස්ථාවට සුලුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන්ගේ අයිතිවාසිකම්වලට රැකවරණයක් සැපයීමට මේවා පිළිබඳ යම් පිළිගැනීම් ඇතුල් කිරීමට සිදු විය. එම ව්‍යවස්ථාව මේ සඳහා කරනු ලැබුවේ පුද්ගල අයිතිවාසිකම් පුද්ගලයකු අයත්වන ආගමික කංඩායම හෝ වෙනත් ප්‍රජාවක් සමග සම්බන්ධ කොට සලකා බැලීමට පියවර ගැනීමය. මෙය ප්‍රකාශයට පත්වූ ව්‍යවස්ථාවේ අසමාන සැලකිලි ඇතිකිරීම වැළක්වීමේ වගන්තිය (the nondiscrimination clause) වූ 29වන වගන්තිය මගිනි. එම වගන්තිය අනුව පාර්ලිමේන්තුවට කිසියම් ආගමික කංඩායමක් හෝ කිසියම් ප්‍රජාවකට අයත් පුද්ගලයකුට තවත් ප්‍රජාවකට අයත් පුද්ගලයකුට නොමැති විශේෂ වරප්‍රසාද හෝ අසාධාරණ සැලකිලි ඇති කරන නීති පැණවීමට නොහැකි බව සඳහන් විය. එවැනි පටහැනිතාවයක් යම් නීතියකින් ඇති වුවහොත් එම නීති එම පටහැනිතාවයේ ප්‍රමාණයට බල රහිතවන බව එහි සඳහන් විය. මේ නිසා එබඳු නීති පිළිබඳ ප්‍රතිනිරීක්ෂණයක් සිදු කිරීමටත් ඒවා බලරහිත කිරීමටත් අධිකරණයට එම වගන්තිය මගින් ව්‍යුත්පන්න බලයක් හිමි විය.

අයිවර් ජෙනින්ස් සැලැස්ම

බහූතර ජන කොටසේ ආධිපත්‍යයක් ඇතිවී තමන්ට අසමාන සැලකිලි ඇති කිරීම සිදුවනු ඇතැයි සුලුතර කංඩායම්වල නායකයින් විසින් සෝල්බරි කොමිසම ඉදිරියේ කළ කරුණු දැක්වීම් මෙම පියවර කෙරෙහි බලපෑවේය. “සුලුතර නායකයින් විසින් ඉදිරිපත් කළ සැක සංකා මවා ගත් දේවල් වන්නට ඉඩ තිබුනත් හරියට හෝ වැරදියට හෝ එම නායකයින් එසේ සිතන්නේ නම් එම සැක සංකා දුරු කිරීම සඳහා යම් ව්‍යවස්ථා රැකවරණ යෙදීම අවශ්‍යවනු ඇතැයි” සෝල්බරි කොමිසම සිය වාර්තාවේ සඳහන් කළේය.

සෝල්බරි ව්‍යවස්ථාව පාර්ලිමේන්තු නියෝජන ක්‍රමය සකස් කළේ ද සුලුතර නායකයින් තමන්ගේ ව්‍යවස්ථාදායක බලය දුර්වල වෙන බවට කළ කරුණු දැක්වීමට ප්‍රතිචාරාත්මක වශයෙනි. ඒ සඳහා එකල බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වූ සමාන ඡන්දදායක සංඛ්‍යාවක් සෑම ආසනයකටම ඇතිවන පරිදි ආසන බෙදීමේ මූල ධර්මය බැහැර කරන ලදි. ඒ වෙනුවට පිළිගත්තේ සර් අයිවර් ජෙනින්ස් විසින් ඉදිරිපත් කළ සැලැස්මට අනුව සෑම පළාතකටම එහි ජනගහණයේ සෑම 75,000කට එක් ආසනයක් ද පළාතේ භූමියේ වර්ග ප්‍රමාණයෙන් සෑම වර්ග සැතපුම් 1000කට එක් ආසනයක් ද වශයෙන් පළාතේ ජනගහණය සහ භූමිය මුල් කරගෙන ආසන බෙදීම සිදු කිරීමට ය. මේ අන්දමට ඡන්දදායක සංඛ්‍යාව වෙනුවට ජනගහණය සහ භූමිය මුල් කර ගෙන ආසන බෙදීම සිදුකිරීමෙන් සුලුතර ජන කොටස්වලට, විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වල දී දෙමළ සහ මුස්ලිම් ජනකොටස්වලට, තම ඡන්දදායක සංඛ්‍යාවට අතිරේක වශයෙන් ආසන ප්‍රමාණයක් හිමිවන බව ප්‍රකාශ කරන ලදි. මැතිවරණයකට පසුව නියෝජනයක් නොලැබුනු සුලුතර ප්‍රජාවන් සඳහා මන්ත්‍රීවරු හය දෙනෙක් අගමැතිවරයාගේ නිර්දේශ පිට පත් කිරීමට ද එම ක්‍රමය මගින් නියම කරන ලදි.

දෙවන මන්ඩලයට මන්ත්‍රිවරු පත් කරන විට සුලුතර නියෝජනය ගැන සැලකිළිමත්වීම අපේක්ෂා කරන ලදි. ඒ අතර සෙනෙට් සභාවේ මුලු මන්ත්‍රීධූර සංඛ්‍යාවෙන් භාගයක් අගමැතිවරයා විසින් කරන නාම යෝජනයෙන් පත් කිරීමට ඉඩ සලසන ලදි. මෙසේ සිදුකලේ අගමැති වශයෙන් පත්වේ යයි අපේක්ෂා කළ ඩී එස් සේනානායක මහතාගේ අත ශක්තිමත් කිරීමට බව ලංකාවේ අවසාන ආන්ඩුකාරවරයා වූ මන්ක් මේසන් මූවර් සිය මතක සටහන්වල ලියා තිබේ.
සංශෝධන කිහිපයකට යටත් කිරීමෙන් පසුව 1948 දී නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව බවට මෙම ව්‍යවස්ථාවම පත් විය. ආන්ඩුවේ ත්‍රිවිධ බලතල ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ යනුවෙන් පංගුකිරීම සහ ස්වාධීන අධිකරණය මෙම ව්‍යවස්ථාවේ ද මූල ධර්ම විය. අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා අධිකරණ ඇමතිවරයා සෙනෙට් සභාවෙන් පත් කිරීමට නියම කරන ලදි. පහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ පත්වීම්, මාරු කිරීමි සහ විනය පාලනය පිළිබඳ කටයුතු ස්වාධීන අධිකරණ සේවා කොමිසමකට පැවරුනි.

මෙම ව්‍යවස්ථාව විසින් හඳුන්වා දුන් ආන්ඩුක්‍රමය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ආන්ඩුක්‍රමයේ ආකාරයට පාලන ක්‍රමය සංවිධානය කර තිබුනි. විධායකය, නාමික සහ දේශපාලන වශයෙන් බෙදී තිබුනි. නාමික විධායක වූයේ බ්‍රිතාන්‍ය රජු හෝ රැජින ය. බ්‍රිතාන්‍ය කිරීටය සතු එම වගකීම් ඉටු කිරීමට අග්‍රාණ්ඩුකාරවරයකු, රජු/රැජින විසින් අගමැතිගේ උපදෙස් පිට පත් කරන ලදි. දේශපාලන විධායකය වූයේ අගමැති ප්‍රමුඛ කැබිනට් මන්ඩලයයි. මේ අන්දමට විධායකය තුළ බෙදීමක් ඇති කිරීම කැබිනට් ක්‍රමයේ ලක්ෂණයකි. දේශපාලන විධායකය වන අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය නීතිය ඉක්මවා යාම සංවරණය කිරීමට නාමික විධායකගේ තනතුරක පැවත්ම විසින් ඉටුවනු ඇතැයි එහිදී අපේක්ෂා කරනු ලැබේ.

ද්වි මණ්ඩලික ව්‍යවස්ථාදායකය 

මහා බ්‍රිතාන්‍යයේ ආකාරයටම ව්‍යවස්ථාදායකය ද්වි මණ්ඩලික විය. මහජන නියෝජිතයන්ගෙන් සමන්විත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට පළමු මණ්ඩලය විය. දෙවන මන්ඩලය වූයේ උත්තර මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් සභාවයි. එයට පළමු මන්ඩලයේ නීති සම්පාදනය සංවරණයට ලක් කිරීමට සීමිත බලයක් හිමිවිය. පළමු මණ්ඩලය සම්මත කරන සාමාන්‍ය පණතක් මාස 6ක කාලයකට ද මුදල් පණතක් මාසයක කාලයකට ද පමා කිරීමේ බලයක් එයට හිමි විය. මේ අන්දමට බලතල බෙදීම ආන්ඩුක්‍රමයේ මූලික ලක්ෂණය වන අතරම ව්‍යවස්ථාදායක සහ විධායක බලතල ක්‍රියාවට නැගීමේ දී එකිනෙක ආයතන තුළ පැවති ආයතනික බෙදීම් මගින් ද සංවරණයකට ලක් කිරීම ද අපෙක්ෂා කරන ලදි.

දෙමළ සහ මුස්ලිම් නායකයින් මෙම ව්‍යවස්ථාවේ රැකවරණ කෙරෙහි විශ්වාසය තබා 1947 සැප්තැම්බර් මාසයේ දී පැවත්වූ මැතිවරණයෙන් පසුව ජාතික සමගි ආන්ඩුවක් පිහිටුවීමට ඩී එස් සේනානායක මහතාට සහය දුන්නෝය. එම අගමැතිවරයා සමග ගිවිසුම් කිහිපයකට අත්සන් තබා අධිරාජ්‍ය පාලකයන් ලංකාවට 1948 පෙබරවාරි 4වන දින නිදහස ලබා දීමට පියවර ගත්තේය.

එහෙත් ව්‍යවස්ථාව පිටුපස පැවති ජාතික සමගිය පිළිබඳ දේශපාලන අරමුණ සාර්ථක කිරීම වෙනුවට ආන්ඩුවේ නායකයින් සිය පුද්ගලික සහ පවුල් බලය ශක්තිමත් කිරීම සහ සුලුතර දේශපාලන නායකයින්ගේ බලය දුර්වල කිරීම අරමුණු කර ගෙන කටයුතු කිරීම නිසා ඇතිවූ ජාතික සමගිය සහ දේශපාලන සාභාගය වසර තුනක දී බිඳ වැටුනි. ආන්ඩුවේ ප්‍රබලයකු වූ බණ්ඩාරනායක මහතා 1951 දී ආන්ඩුවෙන් ඉවත් විය. ඔහුගේ සගයින් ‘උන්ගේ නෑයන්ගේ පක්ෂය’ යන අන්වර්ථ නාමය (එ ජා ප යේ කෙටි ඉංග්‍රීසි නාමය යූ ඇන් පී යන්න යොදා ගෙන) ප්‍රදානය කළේ එම බල අරගලයේ සැබෑ හේතුව පැහැදිලි කරමිනි.

1948/49 පුරවැසි සහ ඡන්ද බල පණත් සම්මත වන විට ව්‍යවස්ථාවෙන් තමන්ට සැපයූ රැකවරණ මායාවක් බව සමහර සුලුතර නායකයින් වටහා ගත්තෝය. ඉදිරියේ දී ශ්‍රී ලංකා ජාතික රාජ්‍යය එක් ජනවර්ගයක ආධිපත්‍යය ප්‍රකාශයට පත්වන තවත් පියවරයන් ගනු ඇතැයි පුරෝකථනය කරමින් එස් ජේ වී චෙල්වනායගම් ‍ෆෙඩරල් පක්ෂය නමින් නව පක්ෂයක් පිහිටුවා ගෙන ආන්ඩුවට සහයෝගය දෙමින් සිටි ප්‍රධාන දෙමළ පක්ෂය වූ සමස්ථ ලංකා ද්‍රවිඩ සංගමයට විරුද්ධ දේශපාලනයක් උතුරේ දියත් කළේය.

මේ අතර මෙම ව්‍යවස්ථා විධිවිධාන පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍යය දුර්වල කිරීමටත් රට තවදුරටත් බ්‍රිතාන්‍ය සමග ව්‍යවස්ථානුකූලව ගැට ගසා තැබීම වසන් කිරීමටත් යොදන ලද විධිවිධාන වශයෙන් හැඳින්වීමට වාමාංශික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියා කළෝය. 1956 දී සිංහල බෞද්ධ ජාතිකවාදය දේශපාලනය වෙතට කැඳවාගෙන පැමිණි ශ්‍රිලනිප නායකත්වය 1952 මැතිවරණයේ දී ප්‍රකාශ කළේ තමන් පාර්ලිමේන්තු ස්වාධිපත්‍යය තහවුරු කරන ජනරජයක් පිහිටුවා බ්‍රිතාන්‍යය සමග පැවති ව්‍යවස්ථා සම්බන්ධතා අත් හැරීමට අපෙක්ෂා කරන බවය. මේ අන්දමට දේශපාලන නිදහස සම්පූර්ණ කිරීමට ජනරජයක් පිහිටුවීමේ ඉල්ලීම සමග ඉදිරියට පැමිණි මෙම නව දේශපාලනය විසින් ව්‍යවස්ථානුකූල ආන්ඩුක්‍රමයට අදාලව 1948 ව්‍යවස්ථාවේ පැවති විධිවිධාන හඳුන්වා දුන්නේ ජනතාවගේ අපේක්ෂාවන්ට බාධා කරන සීමාවන් වශයෙනි. (තව කොටසක් මීළඟට)

පළවෙනි ‌කොටස ‌කියැවීමට ‌මෙතැන ‌කොටන්න

Back to Top