Sri Lanka Brief
විවරණව්‍යවස්ථානුකූල ආන්ඩුක්‍රමය සහ ශ්‍රී ලංකාව (1) – මහාචාර්ය නවරත්න බණ්ඩාර

ව්‍යවස්ථානුකූල ආන්ඩුක්‍රමය සහ ශ්‍රී ලංකාව (1) – මහාචාර්ය නවරත්න බණ්ඩාර

by

ඇරිස්ටෝටල් විසින් ල් ‘polity’ නමින් හැඳින්වූ පාලන ක්‍රමය වර්තමානයේ දී ක්‍රියාත්මක වන්නේ ‘ව්‍යවස්ථානුකූල ආන්ඩු ක්‍රමය’ යනුවෙන් හඳුන්වන පාලන ක්‍රමය යටතේ බව පසුගිය ලිපියේ සඳහන් කරන ලදි.

ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව, ආන්ඩුවේ ත්‍රිවිධ බලතල එකිනෙකින් වෙන්වන ආයතන තුනකට පවරා දී එක් ආයතනයක් අනිත් ආයතනයේ බලය තුලනය කිරීම සහ සංවරණයට ලක් කිරීම, ස්වාධීන අධිකරණය, වරින්වර පවත්වන ඡන්ද විමසීම්වලින් පාලකයන් තෝරා ගැනීම සහ නීතිය ඉදිරියේ සමානත්වය ‘ව්‍යවස්ථානුකූල ආන්ඩුක්‍රමයක’ මූලිකාංග අතර වෙයි. අද කථා කරන්නට මුල පුරන්නේ ව්‍යවස්ථානුකූ ආන්ඩු ක්‍රමය ලංකාවට හඳුන්වා දුන් අන්දම සහ පසු යටත් විජිත යුගයේ එහි ක්‍රියාකාරීත්වය ගැනය.

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමය

ලංකාවට ව්‍යවස්ථානුකූල ආන්ඩුක්‍රමයේ මූලිකාංග හඳුන්වා දීම සිදුවූයේ අපේ සමාජය ධනේශ්වර යටත් විජිතකරණයට ලක් කළ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී ය. 1815 දී ලංකාව සිය යටත් විජිතයක් බවට පත් කර ගත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මුල් කාලයේ දී මෙරට යටත් විජිත ප්‍රතිපත්තිය සකසා ගෙන තිබුනේ යුරෝපයේ ක්‍රියාත්මකවූ වානිජ ධනවාදී අවශ්‍යතාවලට අනුවය. එම කාලයේ දී අවශ්‍ය වූයේ තමන් මෙම දිවයිනෙන් අපේක්ෂා කළ ඉන්දීය සාගරයේ යුද ආරක්ෂක අවශ්‍යතා ඉටු කර ගන්නා අතර මෙරට දේශීය සමාජයේ පරිභෝජනයෙන් පසු ඇතිවන අතිරික්ත නිශ්පාදනය සිය රට ගෙන යාමය. ඒ සඳහා රාජ්‍ය රෙගුලාසි, රාජ්‍ය ඒකාධිකාර සහ සෘජු රාජ්‍ය මැදිහත්වීම යොදා ගන්නා ලදි.

නමුත් 19වන සියවස මුල් කාර්තුවේ දී වානිජ ධනවාදී අවශ්‍යතා යටපත් කරමින් කාර්මික ධනවාදය ජය ගැනීමෙන් පසුව එම ප්‍රතිපත්ති අත්හැරීමට බල කරන ලදි. එහි ප්‍රතිඵලය වූයේ ආර්ථික කටයුතුවලින් රාජ්‍යය ඉවත්වීම, සියලු රාජ්‍ය රෙගුලාසි ඉවත් කිරීම, සියලු වෙළඳ ඒකාධිකාර අවසන් කිරීම, සම්ප්‍රදායික සමාජයේ දි සේවා සහ ඉඩම් භුක්ති ක්‍රමයේ පදනම වූ රාජකාරි ක්‍රමය අවලංගු කිරීම යනාදී ක්‍රියාමාර්ග සඳහා මුල පිරීමය. මේ සඳහා නිර්දේශ ඉදිරිපත් කළේ 1828 මෙහි පැමිණි කෝල්බෘක්-කැමරන් කොමිසන් සභාවන් ය. ලංකාව තුල නිදහස් වෙළඳපල ක්‍රමය මත පදනම් වූ යටත් විජිත ධනාවාදී ක්‍රමයක් ස්ථාපිත කිරීමට මුල පිරුවේ ඒ අන්දමටය. විදේශීය ආයෝජන මෙහි කැඳවා ගැනීමට සියලු අනුග්‍රහ ලබා දිය යුතු යයි කෝල්බෘක්ගේ නිර්දේශය විය. මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පරිදි විදේශ ආයෝජකයන් කැඳවීමට නම් යටත් විජිතයේ පාලන සංවිධානය බ්‍රිතාන්‍යයේ පැන නැගී තිබුනු ලිබරල්වාදී ආන්ඩුක්‍රම න්‍යායට ගැලපෙන පරිදි සකස් කිරීම අවශ්‍ය බව ද පෙන්වා දෙන ලදි. එහි ප්‍රතිඵලය වූයේ කෝල්බෘක්-කැමරන් කොමිසන් සභා විසින් ව්‍යවස්ථානුකූල ආන්ඩු ක්‍රමයේ මූල ධර්ම මෙරටට හඳුන්වාදීමට පියවර ගැනීමය.

කෝල්බෘක්ගේ අවධානය යොමුවූයේ ආන්ඩුකාරවරයා සතු ව්‍යවස්ථාදායක සහ විධායක බලතල ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතට ගැනිමට ය. ඒ සඳහා ඔහු යෝජනා කළේ ව්‍යවස්ථාදායක සභාවක් සහ විධායක සභාවක් පිහිටුවා ආන්ඩුකරුට තම බලතල එම සභාවන්ගේ උපදෙස් සහ අනුමතිය ඇතිව ක්‍රියාත්මක කිරීමට නියම කිරීමට ය. අධිකරණය ගැන සාකච්චා කළ කැමරන් කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ නීතියේ රැකවරණය සියලු දෙනාට ලැබෙන අන්දමට අධිකරණ පද්ධතිය සකස් කළ යුතු බවය. විදේශිකයන් සඳහා වෙනම අධිකරණයක් පැවතීම සහ මුද්දර ගාස්තු ගෙවන මුදල් ඇති අයගේ නඩුවලට ප්‍රමුඛතාවය දීම සහ නීතිය පිළිබඳ විශේෂඥතාවයක් රහිත පුද්ගලයින් හා රාජ්‍ය පරිපාලකයන් විසින් අධිකරණ මෙහෙයවීම සහ ආන්ඩුකාරවරයාට නඩු තීන්දු වෙනස් කිරීමට මැදිහත්වීම වැනි කාරණා නිසා නීතියේ සර්ව සාධාරන බව ඉටු නොවන බව පෙන්වා දෙන ලදි. ඔහුගේ නිර්දේශය වූයේ සියලු අධිකරණ අහෝසි කර ශ්‍රෙෂ්ඨාධිකරණය ප්‍රධාන අධිකරණය වන පරිදි අධිකරණ පද්ධතිය නැවත ස්ථාපිත කිරීමට ය. සියලු අධිකරන පැවතිය යුත්තේ අග්‍රවිනිශ්චයකාරවරයාගේ නායකත්වයෙන් බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් මහා බ්‍රිතාන්‍ය ආන්ඩුව විසින් පත් කළ යුතු බවත් සඳහන් කරන ලදි. අධිකරණය ආන්ඩුකාරවරයා සහ ව්‍යවස්ථාදායක සභාව යන ආයතන දෙකින්ම ස්වාධීනව ක්‍රියාත්මක වීමට පදනම දැමීම මෙම යෝජනාවල අරමුණ විය.

රාජ්‍ය නිර්බාධවාදය

මෙහි සිටි බාන්ස් ආන්ඩුකාරයාගේ විරුද්ධත්වය මධ්‍යයේ බ්‍රිතාන්‍ය ආන්ඩුව මෙම යෝජනා ක්‍රියාත්මක කළේය. රාජ්‍ය නිර්බාධවාදය යනුවෙන් හැඳින්වූ මුල් ලිබරල් වාදය මේවන විට බ්‍රිතාන්‍ය රාජ්‍ය ප්‍රතිපත්තිය බවට පත්වී එරට ආන්ඩු පාලනය නව ව්‍යවසායක ධනපතියන් විසින් මෙහෙයවීම ඇරඹී තිබුන බැවින් මෙම පරිවර්තනය සිදුවීමට පදනම් විවෘත විය. මේවායේ ඉලක්කය වූයේ මෙම ව්‍යවසායකයන්ට අවස්ථාව ලබා දීම සඳහා “විදේශීය ආයෝජනකයන් මෙහි කැඳවා ගැනීමට අවශ්‍ය ලිබරල් සමාජ ආර්ථික පරිසරයක්” නිර්මාණය කිරීමය. කාර්මික ධනවාදය විසින් මෙරට යටත් විජිත ප්‍රතිපත්තිය නිදහස් වෙළඳපල ධනවාදය ගොඩ නැගීම දෙසට යොමු කරනු ලැබූවේ ඒ අන්දමටය.

අධිරාජ්‍ය අවශ්‍යතාවන් ආරක්ෂා කරන අතර ධනේශ්වර නිදහස් වෙළඳ පලක් සඳහා පහසුකම් සපයන්නට හැකියාව ඇති බුද්ධිමත් නිලධාරි පංතියක් ද ඒ සමගම අවශ්‍ය විය. පරිපාලකයන් විසින් මෙහෙයවනු ලැබූ පරිපාලන රාජ්‍යයක් බවට මෙරට යටත් විජිතය පරිවර්තනය කිරීම සඳහා මේ කාලයේ දී නායකත්වය දුන්නේ ලංකා සිවිල් සේවාවය. වැඩිකල් නොගොස් එය තරඟකාරී විභාගවලින් තෝරා ගන්නා විශ්ව විද්‍යාල උපාධිධාරීන්ගෙන් සමන්විත නිලබල ක්‍රම නායකත්වයක් බවට පත්විය. කොළඹින් විමධ්‍යගත වන පරිපාලන බලතල පළාතේ දී යළි කේන්ද්‍ර ගත කරනු ලැබූ කච්චේරි පරිපාලන සංවිධානය පිහිටුවීම මගින් ලංකාව පරිපාලන රාජ්‍යයක් (An Administrative State) බවට පත්විය.

මේ සියල්ලේ ප්‍රතිඵලය වූයේ ලංකාව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් පාලනයවීම ඇරඹීමය. විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන ත්‍රිවිධ බලතල බෙදීම ආන්ඩුක්‍රමයේ මූලික ලක්ෂණය බවට පත්විය. ව්‍යවස්ථාදයකය පනවන නීති අනුව පිළියෙල කරන පරිපාලන රෙගුලාසි ඇතුලත් සිවිල් සේවා සංග්‍රහයක් මගින් සමාජය ඉහළ සිට පහළටත්, නගරයේ සිට ගම දක්වාත් දිවෙන මධ්‍යගත පාලනයක් ක්‍රියාවට නැගීමට ඒ මගින් අවස්ථාව සලසන ලදි.

අධිකරණය මේ කාලයේ දී තමන් විසින් පනවන පටිපාටි සහ නඩු තීන්දු මගින් පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලදි. මහා බ්‍රිතාන්‍යයේ දී හඳුන්වාදුන් හෙබයාස් කෝපස් නීතිය, රිට් සහ මැන්ඩාස්මුස් ආඥා නිකුත් කිරීම සිය අධිකරණ පටිපාටි මගින් හඳුන්වා දෙන ලදි. යටත් විජිත පාලන සමයේ දී සිවිල් අයිතිවාසිකම් පැන නැගීමට මේ අන්දමට ස්වාධීන අධිකරණයක පැවත්ම හේතු විය.

සිවිල් අයිතිවාසිකම් ව්‍යාප්තවී‌ම

1870 දශකයේ දී ආගමික සහ සමාජ උද්ඝෝෂන ව්‍යාපාර පැන නැගීම මගින් සිවිල් අයිතිවාසිකම් පැන නැගීමේ ප්‍රතිඵල පෙන්නුම් කළේය. අදහස් පළ කිරීමේ නිදහස, ප්‍රකාශණ පල කිරීමේ නිදහස, යෑමේ ඒමේ නිදහස, සංවිධාන පිහිටුවා ගැනීමේ නිදහස සහ නිදහසේ ආර්ථික කටයුතුවල නිරතවීම වැනි සිවිල් අයිතිවාසිකම් ව්‍යාප්තවී‌ම නිසා ඇතිවන සමාජ පිබිදීම මෙම උද්ඝෝෂණවලින් පෙන්නුම් කළේය. මීළඟ යුගයේ දි කම්කරු ව්‍යාපාරය සහ වාමංශික ව්‍යාපාරය වැනි සමාජ ව්‍යාපාර පැන නැගින. සිවිල් අයිතිවාසිකම් වලින් ඇරඹුණු මෙම අයිතිවාසිකම් ගොඩ නැගීම 1928 දී කම්කරු ව්‍යාපාරයේ බලපෑම නිසා සර්ව ජන ඡන්ද බලය ප්‍රදානය කිරීම සමග දේශපාලන අයිතිවාසිකම් පැන නැගීම දක්වා ඉදිරියට ගියේය. නිදහස සඳහා උද්ඝෝෂණයක් වාමාංශික ව්‍යාපාරය මගින් ඉදිරියට පැමිණි අතර දේශීය ධනේශවරය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට සීමා කොට තිබුනු ජාතික ව්‍යාපාරයේ නිම් වළලු පුලුල් කිරීම ඒ මගින් සිදුවිය.

නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාව සහ සමාජ සේවා සුබසාධනය රාජ්‍ය වගකීම් වශයෙන් පිළිගැන්වීමට වාමංශික ව්‍යාපාරය සමත් විය. මෙහි ප්‍රතිඵලය වූයේ සමාජ අයිතිවාසිකම් පැන නැගීම 1931 – 1947 අතර කාලයේ දී සිදුවීම ය. 1936 ට නියමිතව තිබුනු ඡන්දය 1947 දක්වා කල් දැමීම හැරුනුවිට නිතිපතා පවත්වන මැතිවරණ දේශපාලන ක්‍රමයේ ලක්ෂණයක් බවට පත්විය.

වාමංශික ව්‍යාපාරයේ ඉතිහාසයේ සඳහන් වන සුප්‍රසිද්ධ බ්‍රේස්ගර්ඩිල් සිද්ධියේ දී ශ්‍රේෂ්ඨාධිකරණය ආන්ඩුකාරවරයාගේ පිටුවහල් නියෝගය අවලංගු කිරීම එදා අධිකරණය සතු බලය සහ ස්වාධීනත්වය පෙන්වා දුන්නේය. සමසමාජ ව්‍යාපාරයට සම්බන්ධවී සිටි බ්‍රේස්ගර්ඩ්ල් නැමති යුරෝපීය ජාතිකයාව පිටුවහල් කිරීමට ආන්ඩුකාරවරයා දුන් නියෝගය බල රහිත කිරීම, විධායකයේ නීති විරෝධී ක්‍රියාවන් පාලනය කිරීමට සහ පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අධිකරණයට තිබූ ශක්තිය පෙන්නුම් කළේය. 1931 – 1947 කාලයේ දී ව්‍යවස්ථාදායකය වූ රාජ්‍ය මණ්ත්‍රණ සභාව විසින් ආන්ඩුකාරවරයාගේත් අමාත්‍ය මංඩලයේත් රාජ්‍ය පරිපාලකයන්ගේත් පාලනය සංවරණය කිරීමට සිදුකළ මැදිහත්වීම් වලදී පෙන්නුම් කළේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ බලතල බෙදීමේ මූල ධර්මය විසින් අසීමිත බලය නොව සීමිත බලය ආන්ඩුකරණයේ මූලික ලක්ෂණය වශයෙන් පවත්වා ගැනීමට සමත්වූ අන්දමය.

මේ අන්දමට සිවිල්, දේශපාලන සහ සමාජ අයිතිවාසිකම් පිළිවෙලින් වර්ධනවීමත් ඒවා සමාජය විසින් අත්පත් කර ගැනීමත් නිසා ‘ව්‍යවස්ථානුකූල ආන්ඩුක්‍රමය’ යටත් විජිත කාලය තුළ සමාජය විසින් පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණය බවට පත්විය. 1947 දී සෝල්බරි ව්‍යවස්ථාව සකස් කරන විට මෙම මූලධර්ම සහිත ව්‍යවස්ථානුකූල ආන්ඩුක්‍රමයනට පදනම දැමූ අතර එහි ඉලක්කය වූයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රජයනයක් ඇති කිරීමය.

Back to Top