Sri Lanka Brief
පුවත්මාක්ස් නම් මාධ්‍යවේදියා සහ ඔහුගේ ජනමාධ්‍යවේදය

මාක්ස් නම් මාධ්‍යවේදියා සහ ඔහුගේ ජනමාධ්‍යවේදය

by

මාක්ස් බොහෝ විට දේශපාලන ආර්ථික විද්‍යාඥයෙකු හෝ දාර්ශනිකයෙකු ලෙස සිහිපත් කැරේ.. එහෙත් ඔහු මාධ්‍යවේදියෙකු ලෙස ද සිය සළකුණ තැබීය.

දේශපාලන ආර්ථික විද්‍යාඥයෙක්. දාර්ශනිකයා. මාධ්‍යවේදියා? ඔහුගේ උපතින් වසර දෙසීයකට පසු, මාක්ස් බොහෝ දේ නමින් සිහිපත් කැරේ නමුත් බොහෝ විට සිව්වන රාජ්‍යයේ සාමාජිකයෙකු ලෙස නම් නොවේ.

ජේම්ස් ලෙඩ්බෙටර් දකින්නේ එය වැරැද්දක් ලෙස ය. 2008 “ඩිස්පැවස් ෆෝ ද නිව් යෝර්ක් ට්රිබියුන්’ නම් මාක්ස්ගේ පුවත්පත් කලාව පිළිබඳ වෙළුමේ සංස්කාරක ලෙඩ්බෙටර් විවාදාත්මක අදහසක් ඉදිරිපත් කරමින් කියන්නේ මාක්ස් ප්‍රථමයෙන් සහ හා ප්‍රධාන වශයෙන් දැකිය යුත්තේ මාධ්‍යවේදියකු ලෙස බවයි. එම පොත නිකුත් වූ සැණින් ස්ටීවන් ෂර්මන් විසින් පවත්වන ලද පහත දැක්වෙන සම්මුඛ සාකච්ඡාවේදී, ලෙඩ්බෙටර් මාක්ස්ගේ දිගු මාධ්‍ය භාවිතයේ අන්තර්ගතය සහ වැදගත්කම සාකච්ඡා කරයි.

එස්.එස් (ස්ටීවන් ෂර්මන්):

සමහර විට මෙම ලේඛනවල වඩාත්ම පුදුමයට පත් කරවන කරුණ නම් මාක්ස් සිය ලිපි එක්සත් ජනපද පුවත්පතක පළ කිරීම ය. මාක්ස් සිය පුවත්පත් කලාවට පිවිසියේ කෙසේද?

ජේ.එල් (ජේම්ස් ලෙඩ්බෙටර්):

මාක්ස් ඔහුගේ වැඩිහිටි ජීවිත කාලය පුරාම වාගේ මාධ්‍යවේදියෙකු විය. ඔහු 1842 දී රයිනිස් සයිතුංපුවත්පතට ලිවීමට පටන් ගත් අතර 1848 දී තමාගේ ම පුවත්පතක් ආරම්භ කළේ ය. “ට්රිබියුන්පුවත්පතට ඔහුගේ ලිවීම ආරම්භ වූයේ ඔහුට ඇමරිකානු පුවත්පත් කතුවරයකු වන චාල්ස් ඩනා (පසුව නිව්යොර්ක් සන්’ සංස්කරණය කළ) හමුවූ බැවිනි. 1848 දී කොලෝන් හි දී හමුව ඉන් වසර කිහිපයකට පසු ජර්මනියේ තත්වය පිළිබඳව නිව් යෝර්ක් ට්රිබියුන්” පුවත් පතට ලිපි කිහිපයක් ලියන ලෙස ඩනා මාක්ස්ට ආරාධනා කළේ ය.

මාක්ස් සහ එංගල්ස් ට්රිබියුන්” දෙස බැලුවේ ඔවුන්ගේ අදහස් ප්‍රසිද්ධියට පත් කිරීමට සහ පාඨකයිකයන් විශාල සංඛ්‍යාවක් සමඟ විවාදයක් ඇති කර ගැනීමේ මඟක් ලෙස ය. මාක්ස් හට මුදල් වශ්‍ය තිබූ බව ද කිව යුතුය. මාක්ස් උපයා ඇති එකම ස්ථාවර ආදායම නම් (එංගල්ස් වෙතින් නිරන්තරයෙන් ගත් “ණය” ගණන් නොගන්නේ නම්)”ට්රිබියුන්” ලිපි වලට ලද ගෙවීම් පමණි.

එස්.එස්:

ඔහු ලිපි ලියූ නිව් යෝර්ක් “ට්රිබියුන්” පුවත්පත ගැන විස්තර කළ හැකිද?

ජේ.එල්:

නිව්යෝර්ක් ට්රිබියුන්” 1841 දී හොරස් ග්රීලි විසින් ආරම්භ කරන ලද අතර එය ඉතා ඉක්මනින් ලෝකයේ විශාලතම පුවත්පත බවට පත්විය. (මාක්ස් දායක වූ කාලය තුළ දෙලක්ෂයකට එය අධික පිටපත් සංඛ්‍යාවක් මුදුණය කරන ලදී.) එමෙන්ම එය එක්සත් ජනපදයෙහි වහල් සේවයට විරුද්ධ ප්‍රමුඛතම මාධ්‍ය ද විය. සාහිත්‍ය විචාරයන් ඇතුළත් වූ පළමු කොටස මෙන්ම මාක්ස් ඇතුළු විදේශීය වාර්තාකරුවන් ලිපි ලියූ ඇතුලු නව්යකරණ ගණනාවක් එහි අන්තර්ගත විය.

1850 ගණන්වල අග භාගයේදී මෙම පුවත්පත යම් දුෂ්කර මූල්‍ය අර්බූදයකට මුහුණ දුන් අතර, සිවිල් යුද්ධය ආරම්භ වන විට එහි ප්‍රධානීන් අතර යුද්ධයට සහය දැක්වීම සහ ලින්කන්ට සහාය දැක්වීම පිළිබඳව විශාල මතභේදයක් ඇති විය. (මාක්ස්ගේ වූ කර්තෘ ඩනා මේ කාලය තුළ පුවත් පතින් ඉවත්ව ගියේ ය).

එස්.එස්:

ඔහු ලන්ඩනයේ ජීවත් වූ බැවින් ඔහු බ්‍රිතාන්‍ය පුවත්පතක් සඳහා නොලීවේ ඇයි?

ජේ.එල්:

ඔහු චාර්ටිස්ට් ්‍යාපාරයට අනුබද්ධ බ්‍රිතාන්‍ය පුවත්පත වූ පීපල්ස් පේපර්” (මහජනයාගේ පුවත්පත) සඳහා නිතිපතාම වාගේ ලිවීය. බොහෝ විට එම ලිපි ට්රිබියුන්” වැනි වෙනත් තැනක ප්‍රකාශයට පත් කරන ලිපිවල අනුවර්ථනයන් වැනි විය. සංස්ථාපිත බ්‍රිතාන්‍ය පුවත්පත් සම්බන්ධයෙන් ගත් කල, මම හිතන්නේ නැහැ, ඔවුන් ලිපි රචකයකු ලෙස මාක්ස් ගැන එතරම් උනන්දුවක් දැක්වූ බවක්.

එස්.එස්:

කොමියුනිස්ට් ප්‍රකාශනයේ කතුවරයා ලෙස මාක්ස්ගේ තත්වය එකල ප්‍රසිද්ධ වී තිබුණි ද? ඔහුගේ ලිපිවලට එක්සත් ජනපදයෙහි දී ලැබුණේ කුමන පිළිගැනීමක් ද යන්න පිළිබඳව ඔබට යම් අවබෝධයක් තිබේද?

ජේ.එල්:

මෙය තීරණාත්මක කරුණක්. සියලු මාක්ස් මියගොස් වසර පහකට පසුවත් 1888 වනතුරු කොමියුනිස්ට් ප්‍රකාශනයේ ඉංග්‍රිසි පරිවර්තනයක් නොතිබුණි. (ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය සඟරාවක් ඊට පෙර පරිවර්තනයක් ප්‍රකාශයට පත් කර තිබූ නමුත් ඇමරිකානුවන් අතළොස්සකට වඩා එය දැක තිබෙන්නට ඇතැයි බව මට සිතාගත නොහැකියි.

මෙම පරිවර්තන ප්‍රමාදය මාක්ස්ගේ දීර්ඝ පොත් බහුතරයක් සඳහා ද අදාළ විය. ජර්මානු භාෂාව කියවන ඇමෙරිකානු පාඨකයන් කිහිප දෙනෙකු ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ දර්ශනය පිළිබඳ මාක්ස්ගේ මුල්කාලීන ලියැවිලි ගැන දැන සිටින්නට ඉඩ තිබූ නමුත් ඔවුන්ගේ සංඛ්‍යා ඉතා අල්ප වන්නට ඇති. එබැවින් බොහෝ ට්රිබියුන්” පාඨකයින් දුටු කාල් මාක්ස්ට ඊට පෙර ඇමෙරිකාවෙහි දී කීර්තියක් නොතිබුණි.

එස්.එස්:

පුවත්පත් කලාව සමිබන්ධයෙන් මාක්ස්ගේ ප්‍රවේශය ගැන ඔබට ටිකක් කතා කළ හැකිද?

ජේ.එල්:

මාක්ස් විසින් ප්‍රකාශයට පත් කරන ලද ලිපි අද පුවත්පත් කලාව ලෙස ප්‍රකාශයට පත් වන දේට බොහෝ සෙයින් වෙනස්. බොහෝ ආකාරවලින් ඒවා දහනව වන සියවසේ දී ඇන්ග්ලෝඇමරිකානු පුවත්පත් කලාව ලෙස ප්‍රකාශයට පත් කරන ලද ඒවාට සමාන වේ.

එනම්, අද දින “වාර්තාකරණය” ලෙස හඳුන්වනු ලබන කිසිවක් ඒවායේ අඩංගු නොවේ: විශාල හෝ කුඩා සිදුවීම් පිළිබඳ ඇසින් දුටු වාර්තා නොමැත; නිල හෝ නිල නොවන පුද්ගලයින් සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡා නොමැත. ඒවා බ්‍රිතාන්‍ය පුස්තකාලයේ ඇති පර්යේෂණ අමු ද්‍රව්‍යයන්ගෙන්, මාක්ස්ගේ බොහෝ කෘති මෙන්ම, ගොඩනඟා ඇති විවේචනාත්මක රචනා වේ.

මෙයින් මාක්ස් ලිපි කාලෝචිත නොවේ යැයි අදහස් නොවේ. ඇත්ත වශයෙන් ම, ඔහු පෞද්ගලික ලිපි හුවමාරුවලින් හෝ ඊළඟ පුවත්පතෙන් ලබාගත් අවසාන මිනිත්තුව දක්වාම ඔහුගේ ලිපි යාවත්කාලීන කිරීමට සෑහෙන වෙහෙසක් දරා තිබේ. ( අද මෙන් නොව නිව්යෝර්ක් කරා දුම් නැවෙන් යවන ලද බැවින් එම ලිපි පළ වුයේ ලියා දින දහයකට පහළොවකට පසුව ය).

එහෙත් සිය නිව්යෝර්ක් ට්රිබියුන්” තීරු ලිිපි සදහා මාක්ස්ගේ මූලික ප්‍රවේශය වූයේ මැතිවරණයක්, මහජන නැගිටීමක්, දෙවන අබිං යුද්ධය, ඇමරිකානු සිවිල් යුද්ධය පුපුරා යාම වැනි ප්‍රවෘත්තිමය සිදුවීමකි. ඔහු එම සිදුවීම දේශපාලනයේ හෝ ආර්ථික විද්යාවේ මූලික ප්‍රශ්ණ කිහිපයක් දක්වා සාරංශ කර එය ලිපියෙහි සාකච්ජාවට ගත්තේ ය. ඊට පසු එම ප්‍රශ්න වලට ඔහුගේ තීන්දුව සටහන් කළේ ය. මේ අර්ථයෙන් ගත් කල, මාක්ස්ගේ පුවත්පත් කලාව අද දින මතවාදී සඟරාවල පළ වන සමහර ලියවිලි වලට සමාන වෙයි. ඒවා එතරම් සැර ද නැත.

පොතෙහි එකතු කර ඇති ලිපි ආවරණය කර ඇති කරුණු ගණනාවක් සමකාලීන ලෝකයේ ප්‍රශ්න සමඟ අනුනාද වේ. ඒවා නම් නිදහස් වෙළඳාම පිළිබඳ ප්‍රශ්න, යුද්ධය සාධාරණීකරණය කිරීම, යටත් විජිතවාදයේ බලපෑම යනාදිය යි. තවද, මාක්ස්ගේ කාලයෙහි වූ දේශපාලන ව්‍යාපාරයන්හි දේශපාලන භූ දර්ශනය යම් ආකාරයකින් වර්තමාන තත්වයට සමාන බව කෙනෙකුට පැවසිය හැකිය. එනම්, ක්‍රමවත්, පහසුවෙන් හඳුනාගත හැකි ඉදිරියට යන හෝ් පසුබසින දේශපාලන ව්‍යාපාරයක් වෙනුවට බොහෝ ස්ථානයන්හි නොසන්සුන්තාවය හා ගැටුම පමණක් පැවැතීම ය.

එස්.එස්:

නිදහස් වෙළඳාම පිළිබඳ ප්‍රශ්නය ඔහු දුටු ආකාරය ගැන ඔබට ටිකක් කතා කළ හැකිද? චීනය සමඟ බ්‍රිතාන්‍යයේ යුද්ධ? යුරෝපයේ නොසන්සුන්තාව? ඉන්දියාවේ යටත් විජිතවාදයේ හා විරුද්ධකම් පෑමේ බලපෑම?

ජේ.එල්:

නිදහස් වෙළඳාම” යන්න, ඇඩම් ස්මිත්ගේ ලිවීම් විවිධ භාෂාවලට පරිවර්තනය වී තිබූ සංදර්භය තුළ රජයන් තීරුබදු අඩුකිරීම් අත්හදා බැලීමට පටන් ගත් විට සහ නැගී එන ධනේශ්වරය, පංතියක් ලෙස ආර්ථික හා දේශපාලනික වශයෙන් එහි බලපෑම තහවුරු කළ වීට, දහනව වන ශතවර්ෂයේ මුල් භාගයේ යුරෝපයේ වඩාත් ම ප්‍රමුඛ ආර්ථික දෘෂ්ටිවාදය බවට පත් විය. මේ කාලය තුළ මාක්ස්ගේ ආර්ථික ලිවීම් වලින් බොහොමයක් නිදහස් වෙළඳ චින්තනයේ වැරැදි ලෙස ඔහු දුටු දේ හෙළි කිරීමට වෙන් වී තිබේ, ඒවායින් සමහරක් පැහැදිලිව පෙනුන අතර සමහර ඒවා සැඟවී තිබුණි. මාක්ස්ගේ මතය අනුව, සමස්තයක් ලෙස ධනවාදය අසාර්ථක වීමට නියමිත විය. ඒ අනුව මාක්ස්ට, නිදහස් වෙළඳ ප්‍රතිපත්ති අනුගමනය කිරීම මගින් නිර්මාණය කරන ලද ධනය නැවත බෙදා හැරීම වැඩිම වශයෙන් තාවකාලික ප්‍රපංචයක් පමණක් විය, එමෙන්ම නිදහස් වෙළඳ සමීකරණයේ පත්ලේ රැදුණු රටවල හා ජනගහන කොටස්වලට දරිද්‍රතාවයේ බලපෑම ගැඹුරින්ද පුළුළින් දැනේනට පටන් ගෙන තිබුණි.

මෙම ඉදිරි දර්ශනය චීනයෙහි සහ ඉන්දියාවෙහි බ්‍රිතාන්‍ය ක්‍රියාමාර්ග පිළිබඳ ඔහුගේ දෘෂ්ටියට බෙහෙවින් බලපෑවේ ය. මාක්ස්ගේ මතය අනුව, දහඅටවන සියවස අවසානයේ හා දහනව වන ශතවර්ෂයේ ආරම්භයේ දී විශාල වශයෙන් ඉහළ නැගි අබිං වෙළඳාම, වෙව්ළුමිකමින් තිබූ තිබූ බ්‍රිතාන්‍ය ආර්ථිකයට මුක්කු ගැසීමට අත්‍යාවශය විය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාක්ස් විශ්වාස කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය (බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම සමඟ ක්‍රියා කරමින්) ඉන්දියානුවන්ට අබිං සදහා පොපි වගා කිරීමට බල කරමින් සහ චීන ජාතිකයින්ට අබිවලට ඇබ්බැහි වීමට බල කරන්නේෙ නිදහස් වෙළඳාමේ නාමයෙන් බවයි.

නැගිටීම් සම්බන්ධයෙන් ගත් කල, ඒවා විටෙක “ආතතියක්” ලෙස ද විටෙක “ප්‍රතිවිරෝධතාවක්” ලෙස ද මාක්ස් ගේ ලියැවිලිවල හැඳුන්වා තිබෙනු දැකගත හැකි ය. ප්‍රංශයේ සහ වෙනත් තැන්වල 1848 විප්ලවය තලාපෙලා දැමීම මාක්ස්ගේ ජීවිත කාලය තුළ සිදු වූ, නිසැකවම පළමු ත්‍යන්තරය දියත් කිරීමට හා 1871 දී පැරිස් කොමියුනය පිහිටුවීමට පෙර, වඩාත්ම දේශපාලනික වශයෙන් වැදගත් සිදුවීම බවට මම තර්ක කරන්නට කැමැත්තෙමි. 1848 න් පසු මාක්ස් ප්‍රතිවිප්ලවයේ බලය තේරුම් ගත් අතර, සාපේක්ෂව දැනුවත් හා සංවිධානාත්මක නිර්ධන පංතියක් ඒ සඳහා බලමුලු ගැන්විය හැකි වන තෙක් පවත්නා රාජ්‍ය හා ආර්ථික පද්ධති පෙරලා දැමිය නොහැකි බව විශ්වාස කිරීමට පටන් ගත්තේ ය. යම් යම් රටවල එවැනි සංවිධාන පැවතිය ද ඒවා සිටින්නේ දශක ගණනක් පසුපසින් බව එන්න එන්නම පැහැදිලි විය.

එහෙත්, මාක්ස්ගේ “ට්රිබියුන්” ලිපි කියවීමෙන් ඔබට යුරෝපයේ සහ ඉන්දියාවේ ඇති වූ සමහර කැරලි සහ අර්බුද පිළිබඳව ඔහු දැක් වූ, හදිසිය, උද්දීපනය සහ නොවඉවසිලල්ලක් දැක ගත හැකිය. ඇතැම් විට ඔහු ලියා ඇත්තේ බඩ ඉරිඟු මිල ඉහළ යාම හෝ ග්‍රීසියේ බලධාරීන් සමඟ ඇති වූ සුළු ආරවුලක් විප්ලවය අවුලුවාලන ගිනි පුපුරක් විය හැකි බවයි. එළෙස හැගී යාම නිසා කෙනෙකුට මාක්ස් පිට වරදක් පැටවිය නොහැකි ය. ඇත්ත වශයෙන් ම, මෙම කාල පරිච්ජේදය තුළ යුරෝපයේ ඔටුනු පැළඳි රාජකීයන් පෙරළී පෙරළී ගිය අතර විවිධ තත්වයන් යටතේ අවම වශයෙන් ලිබරල් විප්ලවයන් හෝ සිදුවිය හැකි යැයි පෙනෙන්නට තිබුණි. නමුත් ඔහුගේ චින්තනයේ විනය ඔහුගෙන් ඉවත්ව ගිය බවක් පෙනෙන්නට ඇති අවස්ථා ද තිබේ. විප්ලවය සිදුවිය හැක්කේ ජනතාව සුදානම් වූ විට පමණක් බවත්, නමුත් ජනතාව විප්ලවයක් නිර්මානය කරන තෙක් ජනතාව සූදානම් දැයි අපට නිශ්චිතව දැනගත නොහැකියයි ඔහු ලීවේ ය. විටෙක ඔහු පුනරුච්චාරණ දෝශයෙන්ද නිදහස් නොවී ය.

එස්.එස්

විසිවන සියවසේ මාක්ස්වාදයේ ගමන් මඟ අනුව එක්සත් ජනපදය පිළිබඳ මාක්ස්ගේ දෘෂ්ටිය තරමක් පුදුම සහගත බව ඔබ සටහන් කරයි. එය ඔබට විස්තර කළ හැකිද? ඇමරිකානු සිවිල් යුද්ධය පිළිබදවත් එය බ්‍රිතාන්‍ය පුවත්පත් විසින් ආවරණය කරන ආකාරය පිළිබඳත් ඔහුගේ අදහස කුමක්වී ?

ජේ.එල්

මාක්ස් කවදාක හෝ එක්සත් ජනපදය පිළිබඳ සිය සම්පූර්ණ අදහස් ඉදිරිපත් කළ තනි රචනයක් ලියා ඇති බවක් මම නොදනිමි. එබැවින් සිවිල් යුද්ධයේ දී ඔහු ලියූ රචනාවලින් මෙන්ම ඇතැම් කරුණු වලින් ද අප නිගමනයන්ට එළඹිය යුතුය. ඔහු 1864 දී නැවත තේරී පත්වීම ගැන සුබ පැතුම් එක් කරමින් ජත්‍යන්තර කම්කරු සංගමය ඒබ්රහම් ලින්කන් වෙත යැවූ ලිපියක මාක්ස් විිසින් ද අත්සන් කිරීම එවැනි එක් කරුණකි. එමෙන්ම මාක්ස් කිසි දිනෙක එක්සත් ජනපදයට නොගිය බව ද කිව යුතුය.

එසේ වුවද,ඇමෙරිකානු ජීවිතයේ අවම වශයෙන් අංශ දෙකකට මාක්ස් ආකර්ෂණය වූ බව පැහැදිලි ය: එනම් රාජාණ්ඩුවක් නොමැතිකම සහ ස්ථාපිත වංශාධිපති පෙළැන්තියක් නොමැතිකම ය. මාක්ස් ඇමරිකාවේ දේශපාලනය ගැන ඉතා උනන්දුවක් දැක් වූ අතර රිපබ්ලිකන් පක්ෂය ආරම්භ කිරීම සහ ලින්කන් තේරී පත්වීම ඇමරිකානු ඉතිහාසයේ ප්‍රධාන, තත්ව වෙනසක් වන සිදුවීම්කැයි විශ්වාස කළේය. සිවිල් යුද්ධය පිළිබඳ බ්‍රිතාන්‍ය පුවත්පත්හි ආවරණය සම්බන්ධයෙන් ඔහු එල්ල කළ ප්‍රහාරයන් පැන නැගුනේ ඔවුන්ගේ පැත්තේ වූ දැඩි කුහකකම නිසා ය. රෙදිපිළි කර්මාන්තය බ්‍රිතාන්‍ය ආර්ථිකයේ දැවැන්ත එන්ජිමක් විය. (එය විසින් එංගල්ස් ද සේවයේ යොදවන ලදී.) එය රඳා පැවතියේ වහල් සේවය මත පැවැති ඇමරිකානු දකුණේ ලාභ කපු මත ය. රැඩිකල් හෝ ප්‍රමාණවත් තරම් රැඩිකල් නොවූ බවට (පොදු නිරීක්ෂණයක් වූයේ ඇමෙරිකානු සිවිල් යුද්දයේ දී උතුර සැබවින්ම වහල්භාවය අහෝසි කිරීමට උත්සාහ කරනවා නොව වහල් සේවය තවමත් පැවැති ප්‍රාන්තයන්ට එම අයිතිය දෙමින් හුදෙක් සංගමය එනම් උතුරු දකුණු එක්සත්කම ආරක්ෂා කර ගැනීමට අරමුණු කරන බවයි.) බ්‍රිතාන්‍ය පුවත්පත් ලින්කන් විවේචනය කළ විට ඒ වනාහී ලාභ කපු ගලා ඒම පවත්වා ගැනීම සඳහා වූ හුදු කුහකකමක් ලෙස මාක්ස් එම පුවත්පත්හි ආවරණය හෙළා දැක්කේ ය.

එස්.එස්.

මෙම ලේඛනවලට නිරාවරණය වීමෙන්, ඔබ සිතන අන්දමට, මාක්ස් පිළිබඳ අපගේ අවබෝධය යළි හැඩ ගැසෙනු ඇත්තේ කෙසේ ද?

ජේ.එල්:

ක්‍රම කිහිපයකින්. එකක් නම්, මාක්ස්ගේ ආර්ථික හා දාර්ශනික ලියවිලි කියවන්නන් මාක්ස් වියුක්ත චින්තකයෙකු බවත්, මූලික වශයෙන් න්‍යාය ගැන සැලකිලිමත් වූ බවත් ඔහු ජීවත් වූ සමාජයේ තිබූ හදිසි ගැටලුවලින් බැහැර වූ බවත් නිගමනය කරයි. ඇත්ත වශයෙන් ම, මාක්ස් බොහෝ දෙනෙකුට වඩා වියුක්ත විය. නමුත් ෙමා නම් සිතන්නේ මෙම ලියවිලිවලින් පෙනී යන්නේ මාක්ස් දහනව වන ශතවර්ෂයේ මහජන ජීවිතය ගැන උනන්දුවෙන්, උද්යෝගයෙන් සහ ඉතා පෘතූළව කටයුතු කළ බව කියා ය. ඇත්ත වශයෙන් ම, සමහර සමකාලීන නිරීක්ෂකයින් තර්ක කරන්නේ මාක්ස් පුවත්පත් කලාවේ නියැලීම, ඔහුගේ පුළුල්, දීර්ඝ ලෙස ලිවීමේ වැඩකටයුතුවලට සැලකිය යුතු ලෙස බලපා ඇති බව ය. එම තර්කය අනුව විමර්ශනයක් කිරීම වටින්නේ යැයි මම සිතමි.

දෙවනුව, සමකාලීන මාක්ස්වාදීන් තමන්ගේ චින්තනය න්‍යායික හා විද්‍යාත්මක ලෙස නිරූපණය කිරීම පොදු දෙයකි. ඔවුහු, ලිබරල්වාදීන් සහ වෙනත් අයව ක්‍රියාවට පොළඹවන හැඟීම්බර, සදාචාරාත්මක සිතීමෙන් සිය ච්න්තනය වෙන් කරති. ඊට යම් හේතුවක් තිබේ. නිසැකවම මාක්ස් වෙනත් සන්දර්භයන්හි දී ඔහුගේ කෘති විද්‍යාත්මක ක්‍රමයට සමාන ලෙස නිරූපණය කළේය. එහෙත්, ඔබ මෙම වෙළුමෙහි එන වඩා උද්යෝගිමත් හා ඒත්තු ගැන්වෙන ලිපි කියවා බැලුවහොත්, ඒවා පොදුවෙහි ඉලක්ක කර ඇත්තේ අවම වශයෙන් මතුපිටින් සදාචාරාත්මක අවශ්‍යතාවයන් හා සමාන වන හේතු වෙනුවෙනි. එනම් වහල්භාවය අවසන් කිරීම, අබිං වෙළඳාම සහ ඒ නිසා ඇතිවන ඇබ්බැහි වීම අවසන් කිරීම; පොදු ජනයාට ආණ්ඩුකරණයේ හඩක් ලබා දීම, දුප්පත්කම අවසන් කිරීම යනාදිය යි. ගැටුම්කාරී අන්තර් ජාතික බලවේගයන්ගේ නොවැළැක්විය හැකි ප්‍රතිඵලයක් ලෙස ඉතිහාසය නිරූපණය කිරීම සහ ඉතිහාසය තමන්ගේ අතට ගැනීමට උත්සාහ කිරීමට මහජනයා බලමුළු ගැන්වීම අතර පැහැදිලි පරස්පරතාවයක් ඇති බව පැවසීම මාක්ස් පිළිබඳ ප්‍රථමවරට කැරෙන නිරීක්ෂණයක් නොවේ. (It might be called the determinism fallacy) අවම වශයෙන්, මෙම ලේඛනවලින් පෙනී යන්නේ මාක්ස් කිසි විටෙකත් ඉතිහාසය එහි ගමන් මඟ ගන්නා තුරු වාඩිවී සිටිමින් සෑහීමකට පත් නොවූ බවය; ඔහුගේ ලෝක දෘෂ්ටිය වඩාත් ම පෙන්නුම් කැරෙන සාක්ෂි වශයෙන් ප්‍රවෘත්ති කවයන්හි සිය ක්‍රියාකාරිත්වය යොදා ගැනීමට ඔහුට පෙළඹී තිබුණි.

මෙය අවසාන කරුණට මග පාදයි: මාක්ස් අද ආර්ථික න්‍යායවාදියකු ලෙස සහ යම් දුරකට දේශපාලන චින්තකයෙකු ලෙස, ඉතිහාසඥයෙකු හා දාර්ශනිකයෙකු ලෙස ද උගන්වනු ලැබේ. එම සෑම ප්‍රභේදයක්ම වලංගු ය. එමෙන්ම සෑම එකක්ම අසම්පූර්ණ ද වේ. කෙසේ වෙතත්, ඓතිහාසික කරුණු අවම වශයෙන් තවත් ප්‍රභේදයක් යෝජනා කරයි. එනම් මාක්ස් පිළිබඳව වෘත්තීය ලේඛකයෙකු සහ මාධ්‍යවේදියෙකු ලෙස සිතිය යුතු බවයි. මා සංස්කරණය කළ පෙන්ගුයින් සම්භාව්‍ය වෙළුම හුදෙක් නියැදියක් පමණි. මාක්ස් විසින් එංගල්ස්ගේ සහාය ඇතිව “ට්රිබියුන්” සඳහා ලිපි පන්සියයකට ආසන්න ප්‍රමාණයක් ලියන ලද අතර, ඒ වනාහී දෙදෙනාගේ ලිපි අංඩඟු වෙළුම් පනහක එකතුවෙහි වෙළුම් හතකි. මාක්ස් මාධ්‍යවේදියෙකු ලෙස සිතන්නේ නම් මාක්ස්ගේ කෘතීන්හි ඇති අලංකාරෝක්තීන් හි වැදගත්කම තේරුම් ගැනීමට අපි සමීප වන්නෙමු.

(https://www.jacobinmag.com/2018/05/karl-marx-journalism-writings-newspaper වෙතින් උපුටාගෙන සිංහල බසට අනුවර්ථනය කරන ලද්දේ ශ්‍රී ලංකා බ්‍රීෆ් විසිනි.)

Back to Top