Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගජිනීවා යෝජනාව මෙතැනින් කොතැනටද ? – සුනන්ද දේශප්‍රිය

ජිනීවා යෝජනාව මෙතැනින් කොතැනටද ? – සුනන්ද දේශප්‍රිය

by

පසුගිය 26 දා ආන්ඩුව ජිනීවාහි දී කන්දක් විළිලා කෙන්දක් වැදුවේ ය. එ ඒදින විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන කළ කතාව සහ පසුගිය 20 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රකාශය අතර එතරම් වෙනසක් නොතිබුණි. ඔහු අලුතෙන් කැපි පෙනන කරුණු දෙකක් සදහන් කළේ ය. ඉන් එකක් නම් ඒ 2015ට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය සම්මත කළ යෝජනාවන්ට සහාය දුන් රටවල් වලට ප්‍රහාරයක් එල්ල කිරීම ය. අනෙක නම් පාස්කු ඉරිදා ප්‍රහාරයන් සිදුවූයේ ජීනීවා යෝජනාව නිසා බවට ඉදිරිපත් කරන ලද අලුත්ම සොයා ගැනීම යි.

ඔහු මෙසේ කීවේ ය:

ත්‍රස්තවාදය පරාජය කිරීම සහ ප්‍රවේශමෙන් සමතුලිත සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවළියක් තුළින් ස්ථාවරත්වය, මානුෂීය සහන සහ කල්පවත්නා සාමය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාවෙහි ප්‍රයත්නයන් අගය කිරීමට අපොහොසත් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් ගණනාවක් 2012, 2013 සහ 2014 දී ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී අඛණ්ඩව යෝජනා සම්මත කළහ.”

2015ට තිබූ පිම්ම

විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා තර්කාණුකූලව කල්පනා කළ යුතුව තිබුණේ එළෙස පිට පිටම සම්මත වූ යෝජනා 2015 වසරෙහි දී රාජපක්ෂවරුන්ම බලයේ සිටියා නම් කුමණ පිම්මක් ගන්නට ඉඩ තිබුනේ ද යන්නයි. එකළ තිබූ තත්වය අනුව එම යෝජනාවන්හි ඊළඟ පියවර විය හැකිව තිබුණේ අන්තර් ජාතික යුද අපරාධ පරීක්ෂනයක් සදහා යෝජනාවක් සම්මත වීම ය. 2015 යෝජනාවට විදේශගත ආන්තික අදහස් දරණ දෙමළ සංවිධාන විරුද්ධත්වය පළ කළේ එම පදනම මත ය.

පාස්කු ඉරිදා ප්‍රහාර ගැන ඔහු මෙසේ කීවේ ය:

එකී යෝජනාව නිසා“ඇතිවූ ජාතික ආරක්ෂක දුර්වලතාවයන් දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර ගනිමින් 2019 අපේ‍්‍රල් මාසයේ ඇති වූ විදේශිකයන් ද ඇතුළුව ජීවිත හානි සිදු කළ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට දායක වී ඇති බව සැළකේ.”

ජීනීවා යෝජනා අහලකවත් නොතිබූ සමයන්හි මෙරට ජනාකීර්ණ පෙදෙස්හි මෙවැනිම දරුණු බෝම්බ ප්‍රහාරයන් ඇති වූ බව දිනේශ් ගුණවර්ධන දැන සිට නැත.

ශවේන්ද්‍රගේ තහනම නිසා නොවෙයි!

එපමණක්ම නොවේ. රාජපක්ෂ ආන්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ ශ්‍රී ලංකා ආන්ඩුව සම දායකත්වයෙන් 2015 ඔක්තතෝබර් මාසයේ දී සම්මත කරන ලද ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, ප්‍රති සන්ධානය සහ වගවීම පිළිබද 30/1 සහ ඉන් අනතුරුව එය ඉදිරියට ගෙන යාම පිනිස සම්මත කරන ලද 34/1 සහ 40/1 යන යෝජනාවන්ගෙන් ඉවත්වීමට තීරණය කිරීමට හේතුව වශයෙන් කියා සිටියේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට යුද අපරාධයන් සම්බන්ධයෙන් පනවන ලද සංචාරක තහනම ය.

අගමැති රාජපක්ෂ පසුගිය 19වනදා නිවේදනයක් නිකුත් කරමින් කීවේ මෙසේ ය: “වෙනත් රටවලට අපගේ ආරක්ෂක හමුදා සාමාජිකයන් මේ ආකාරයට මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයන් හැටියට නම් කිරීමට අවකාශය ලැබුණේ, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ගිය යහපාලන ආණ්ඩුව 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ අංක 30/1 යෝජනාවට සම අනුග්‍රහයකත්වය දැක්වීමෙන් කළ ඓතිහාසික පාවාදීම නිසාය.”

අදෝමැයි! දිනේශ් ගුනවර්ධන 26වන දින ජිනීවාහී දී කළ කතාවෙහි ශ්‍රවේන්ද්‍ර සිල්වාට පැනවූ තහනම ගැන හෝ ඇමෙරිකාවට විරුද්ධව හෝ අකුරක්වත් තිබුණේ නැත. පුදුම නමුත් ඇත්ත ය.

ශ්‍රී ලංකාවේ සිදු වූ බවට කියැවෙන යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික අධිකරණ බලය හෝ පාවිච්චි කර අපරාධකරුවන්ට දඩුවම් දිය යුතු බව මෙයට පෙර සිටි මානව හිමිකම් මහ කොමාසරිස්වරයා ශ්‍රී ලංකාව පිළිබදව ඇය විසින් මෙයට පෙර ඉදිරිපත් ඛළ වාර්තාවෙහි සඳහන් කර තිබුණි. මෙවර ඇයගේ වාර්තාව මෙසේ කිය යි:2020 ජනවාරි 20 වන දින ජර්මානු අධිකරණය විසින් ශ්‍රී ලංකාවේ හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිර්ගමාර් ඝාතනය සම්බන්ධයෙන් දෙමළ ඊලාම් විමුක්ති කොටි සාමාජිකයෙකු (එල්ටීටීඊ) වරදකරු කොට වසර 6 යි මාස 10 ක සිර දඩුවමක් නියම කළේය. විදේශීය අධිකරණ බලතල යටතෙහි යුද්ධයේ සියලු පාර්ශවයන් විසින් සිදු කරන ලබන අපරාධ සම්බන්ධයෙන් වගවීම තහවුරුකිරීමේ වැදගත්කම මෙම නඩුව මගින් අවධාරණය කරයි.”

මෙම සම්පුර්ණ වාර්තාව මහ කොමාසාරිස් මිෂේල් බශලේ විසින් 26වන දින මානව හිමිකම් කවුන්සිලයෙහි සාකච්ජාවට ඉදිරිපත් කරයි.

කරන නොකරන දේ

ශ්‍රී ලංකාන්ඩුව 30/1, 34/1,40/1 යෝජනාවන්හි සමදායකත්වයෙන් ද එකී යෝජනාවන්ගෙන්ද ඉවත් වන බව 26වන දින විදේශ ඇමැති දිනේශ් ගුණවර්ධන කවුන්සිලයට කීවේ ය. ඔහු එමගින් ශ්‍රී ලංකාව අදහස් කරන්නේ කුමක්දැයි සංයුක්තව කරුණූ වශයෙන් ඉදිරිපත් කළේ නැත. 30/1 යෝජනාවෙහි හරය වන්නේ සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම යි. ඒ අනුව යුක්ති යාන්ත්‍රණයන් හතරක් පිහිටුවීමට නියමිත විය. දැනට අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය සහ හානිපූර්ණ කාර්යාලය පිහිටුවා ඇත්තේ ඒ අනුව ය. යුක්ති යාන්ත්‍රණය සහ සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයන් තවම පිහිටුවිය යුතු ය. දැන් එම සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමයට මඟ පෑදූ ජිනීවා යෝජනාවන්ගෙන් ඒකපාර්ශවිකව ඉවත් ව ඇති නිසා රාජපක්ෂ ආන්ඩුව එම යාන්ත්‍රණ අහෝසි කර දමන්නේ ද?

මානව හිමිකම් කවුන්සිලයේ මෙම සැසිවාරය දෙස් දෙනු ඇත්තේ අමත්‍ය ගුණවර්ධන විසින් අලුත් වටයකින් ජනවාර්ගික පමනක් නොව අන්තර් ජාතික ධ්‍රැවීකරණයකට ද ඉන්ධන සපයා ඇති බවයි.

26වනදා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා නියෝජිතයාගෙන් අපෙක්ෂා කළේ එවැනි නිශ්චිත ප්‍රශ්ණ වලට පිළිතුරු ය. නමුත් විදේශ ඇමැති දිනේශ් ගුණවර්ධන කළේ වටේ යෑම පමණ ය. (27වන දින ඔහු එම ප්‍රශ්ණවලට යම් තරමක් පිළිතුරු සැපයීය)

රාජපක්ෂවරුන් තමන් ජිනීවා යෝජනාවන්ගෙන් ඉවත්වන බවට ප්‍රකාශයක් කරන විටත් මහ කොමසාර්ස්වරියගේ වාර්තාව (ඉංග්‍රිසි බසින්) අන්තර් ජාලයට මුදාහැර තිබුණි. එහි මෙසේ සදහන් වෙයි.

මහ කොමසාරිස්වරියගේ ඉල්ලීම

ශ්‍රී ලංකාවේ වර්ධනයන් අඛණ්ඩව අධීක්‍ෂණය කරන ලෙසත් 30/1 යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා රජය සමඟ අඛණ්ඩව කටයුතු කරන ලෙසත් මහ කොමසාරිස්වරිය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකාවේ සැම දෙනා වෙනුවෙන් ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, දැනට ලබා ඇති ජයග්‍රහණයන් ආරක්ෂා කර තවදුර වර්ධනය කර ගැනීම පිනිස මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයන් සමඟ අඛණ්ඩව ධනාත්මකව කටයුතු කරනු ඇතැයි මහ කොමසාරිස්වරියබලාපොරොත්තු වේ.

එබැවින් සාමකාමී හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීම සඳහා 30/1 යෝජනාවෙන් අපේක්‍ෂා කරන පියවරයන් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව මහ කොමසාරිස්වරිය සලකයි. මෙම යෝජනාව මගින් වගවීම සහ ප්‍රතිසන්ධානය ඉදිරියට ගෙනයාමත් සහ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කර ශක්තිමත් කිරීම සඳහාත් පුළුල් මාර්ග සිතියමක් සකස් කරයි. යෝජනාවේ මූලික අංග බොහොමයක් ම පරිණාමය වූයේ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රියාවලිය හරහා ය. එබැවින් යෝජනාවට ශ්‍රී ලංකාව ලබා දුන් සම අනුග්‍රාහකත්වය සියලු ශ්‍රී ලාංකිකයන් සහ ජාත්‍යන්තර ප්‍රජාව සඳහා වූ සුවිශේෂී කැපවීමක් නියෝජනය කළ අතර දශක තුනක විනාශකාරී ගැටුමෙන් පසු සාමය ගොඩනැංවීමේ ක්‍රියාවලියක් සඳහා සහාය දෙන බවට පොරොන්දු වීමක් විය.”

තවදුරටත් යෝජනාවෙහි වැදගත්කම අවධාරණය කරන මහ කොමසාරිස්වරිය කියන්නේ “ 30/1 යෝජනාවේ වැදගත් අරමුණු ආරක්ෂා කර වර්ධනය කර ගත යුත්තේ වින්දිතයින්ට යුක්තිය සහ සහනය ලබා දීම, මානව හිමිකම් උල්ලංඝනය කිිරීමේ අතීත රටාවන් පුනරාවර්තනය නොවන බවට සහතික කිරීම සියල්ල ඇතුළත් සහ තිරසාර සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ය.”

මානව හිමිකම් නැති තිරසාර සංවර්ධනය

උක්ත යෝජනාවන්ගෙන් ඉවත්වීම සමතුලනය කිරීමට ආන්ඩුව ඉදිරිපත් කරන සාධකය නම් තමන් 2030 තිරසාර සංවර්ධන ඉලක්ක ඉටු කිරීමට කැපවන බවට ය. එසේ නමුත් තිරසාර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට නම් මානව හිමිකම් සුරැකෙන ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වටපිටාවක් අවශ්‍ය ය. ඉහත ජේදයෙන් පෙන්වා දී ඇත්තේ පශ්චාත් යුද්ධ සමාජයක තිරසාර සංවර්ධනය යන්නට වගවීම, විනිදිතයිනට යුක්තිය සහ හානිපූර්ණය ලබා දීම යනාදී පියවරයන් අත්‍යවශ්‍ය බවයි. නමුත් ආන්ඩුව උත්සාහ කරන්නේ තිරසාර සංවර්ධව සටන් පාඨයට මුවා වී මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳ ප්‍රශ්ණය යටපත් කිරීමට ය.

ශ්‍රී ලංකාවේ වර්ධනයන් අඛණ්ඩව අධීක්‍ෂණය කරන ලෙසත් 30/1 යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා රජය සමඟ අඛණ්ඩව කටයුතු කරන ලෙසත් මහ කොමසාරිස්වරිය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටියේ ය.

ඇත්ත වශයෙන්ම නම් දිනේශ් ගුනවර්ධන විසින් ඉදිරිපත් කරන ලද්දේ යම් ආකාරයක සම්මුතියකි. ආන්ඩුව මානව හිමිකම් කවුන්සිලය සමග ගැටුමක් ඇති කර ගැනීමට සූදානම් නැති බව ඔහුගේ කතාවේ අවසාන පණිවිඩය විය. මෙම යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වුවද, වගවීම සහ මානව හිමිකම් පිළිබඳ තිරසාර සාමය හා සංහිඳියාව සඳහා ශ්‍රී ලංකා ජනතාව විසින් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට ආන්ඩුව කැපවී සිටින බව ප්‍රකාශ කරන ලද්දේ එවැනි සම්මුතියක පදනම වශයෙනි. එමෙන්ම දේශීයව සැලසුම් කරන ලද ප්‍රතිසන්ධාන සහ වගවීමේ ක්‍රියාවලියක් යළි ආරම්භ කරන බවටත් ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විමර්ශන කොමිෂන් සභාවක් පත් කරන බවටත් දිනේශ් ගුණවර්ධන මානව හිමිකම් කවුන්සිලයට පොරොන්දු විය. මානව හිමිකම් හා ජාත්‍යන්තර මානූෂීය නීතිය උල්ලංඝනය වීම් පිළිබඳ චෝදනා විමර්ශනය කළ පූර්ව ශ්‍රී ලාංකික විමර්ශන කොමිසම් වාර්තා සමාලෝචනය කිරීමටත්, ඒවායෙහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය තක්සේරු කොට නව රජයේ ප්‍රතිපත්තිය ප්‍රකාර ක්‍රියාත්මක කරනු පිණිස, ක්‍රියාත්මක කළ හැකි පියවර යෝජනා කිරීමටත් එම කොමිෂන් සභාවට බලය පැවරෙනු බවත් ඔහු තව දුරටත් කියා සිටියේ ය.

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාරව?

මෙම සියලුම යෝජිත පියවරයන්හි එක් පරහක් තිබේ. එනම් සෑම පියවරක්ම, නිර්දේශයක්ම ඉදිරිපත් විය යුත්තේ නව රජයේ ප්‍රතිපත්තිය ප්‍රකාරයෙන් යැයි යන කියමනයි. ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාරව යුද සමයේ සිදුවූ කවර මානව හිමිකම් කෙළෙසීමකට හෝ නීතිමය පියවර ගැනීමට ඉඩක් නොමැති බව පසුගිය මාස තුන තුළ ඕනෑවටත් වඩා පෙනී ගොස් තිබේ.

යෝජනාවන්හි සමදායකත්වයෙන් ඉවත්වන බවට තමන් ප්‍රකාශ කළ ද එය අවසානයක් නොවන බව ආන්ඩුව දන්නා බව පෙනෙන්නේ පහත සඳහන් ප්‍රකාශයෙනි. “එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යවල සහයෝගය ඇතිව යෝජනා සම්මතය අවසන් කිරීමට කටයුතු කිරීමෙහිලා ශ්‍රී ලංකා රජය තුළ ඇති ආධ්‍යාශය ප්‍රකාශයට පත්කිරීම”. දිනේශ් ගුණවර්ධන මහතා එම ප්‍රකාශය 26 දා කළේ ය. නමුත් එම අපේක්ෂිත සහයෝගය යථාර්තයක් බවට පත් කර ගැනීමට අවශ්‍ය ඊළග පියවර ශ්‍රී ලංකාව තවම රැගෙන නැත. එනම් මානව හිමිකම් කවුන්සිලය තුළ යෝජනා සම්මතයක් මගින් 30/1,34/1 සහ 40/1 යන යෝජනා ප්‍රතික්ෂේප කිරීම යි.

මානව හිමිකම් කවුන්සිලයේ තීරණ ගනු ලබන කණ්ඩායමට අයත් වන්නේ සාමාජික රටවල්හි ජන්දයෙන් කලාපීය අනුපාතයක් ඇතිව තෝරා ගැනෙන රටවල් 47කි. මෙම වසරෙහි එම මණ්ඩලය මෙසේ ය: (2020 පෙබරවාරි 24 සිට මාර්තු 20 දක්වා) සාමාජික රටවල් 47 පහත දැක්වේ: 1.ඇෆ්ගනිස්ථානය, 2.ඇන්ගෝලාව, 3.ආර්ජන්ටිනාව, 4.ආර්මේනියාව, 5.ඕස්ට්‍රේලියාව, 6.ඔස්ට්‍රියාව, 7.බහමාස්, 8.බහරේන්, 9.බංග්ලාදේශය, 10.බ්‍රසීලය, 11.බල්ගේරියාව, 12.බුර්කිනා ෆාසෝ, 13.කැමරූන්, 14.චිලී, 15.චෙක් ජනරජය, 16.කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, 17.ඩෙන්මාර්කය, 18.එරිත්‍රියාව, 19.ෆීජි, 20.ජර්මනිය, 21.ඉන්දියාව, 22.ඉන්දුනීසියාව, 23.ඉතාලිය, 24.ජපානය, 25.ලිබියාව, 26.මාෂල් දූපත්, 27.මොරිටේනියාව, 28.මෙක්සිකෝව, 29.නැමීබියාව, 30.නේපාලය, 31.නෙදර්ලන්තය, 32.නයිජීරියාව, 33.පාකිස්තානය, 34.පේරු, 35.පිලිපීනය , 36.පෝලන්තය, 37.කටාර්, 38.කොරියානු ජනරජය, 39.සෙනෙගාලය, 40.ස්ලොවැකියාව, 41.සෝමාලියාව, 42.ස්පාඥය, 43.සුඩානය, 44.ටෝගෝ, 45.යුක්රේනය, 46.උරුගුවේ සහ 47.වෙනිසියුලාව.

දැනටමත් සම්මත කර ඇති මානව හිමිකම් පිළිබඳ යෝජනාවකට විරුද්ධව මෙම මණ්ඩලයෙහි බහුතර බලයක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවට ඉතා දුෂ්කර ය. එබැවින් ප්‍රායෝගික වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට බල රහිත එකක් බවට පත්වේ.

ශ්‍රී ලංකාව වැටෙන තැන

එසේ වුවහොත් ශ්‍රී ලංකාව ද මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කර ඇති යෝජනාවක් අනුව කටයුතු කිරීම ප්‍රතික්ෂේප කර ඇති මියන්මාරය, සිරියාව, යේමනය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සහ බුරුන්ඩි යන රටවල් අතරට එක් වෙයි. එය කිසිසේත්ම යහපත් තත්වයක් නොවේ.

ජිනීවා යෝජනාවන්ගෙන් ඉවත්වීම පිනිස ආණ්ඩුව ඉදිරිපත් කරන සම්මුතිය අන්තර් ජාතික වශයෙන් දැනටමත් සැකයට භාජනය වි තිබේ. විශේෂයෙන්ම පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාව රාජපක්ෂවරුන් විසින් පාලනය කළ දස වසර තුළ දී නොපිහිටුවන ලද විශ්වසනීය වගවීමේ යාන්ත්‍රණයක් දැන් පිහිටුවනු ඇතැයි පිළිගැනීමට අන්තර් ජාතික ප්‍රජාව සූදානම් නොවනු ඇත. පසුගිය මාස තුනෙහි රාජපක්ෂවරුන්ගේ දේශපාලන භාවිතය විසින් පෙන්වන්නේ තමන්ට අවශ්‍ය පරිදි නැටවිය හැකි පොලීසියක්, නීතිපති දෙපාර්ථමේන්තුවක් සහ අධිකරණයක් ඇති කර ගැනීම එහි අභිලාශය බවයි. එවැනි දේශපාලන භාවිතයක් තුළ යුද සමයෙහි සිදු වූ බවට කියැවෙන යුද අපරාධ විමර්ශනය කිරීම කිසිසේත්ම සිදුවිය නොහැක්කකි.

මෙම වර්ධනය මානව හිමිකම් කවුන්සිලයේ දැන් පැවැත්වෙන 43වන සැසිවාරය තුළ ද ප්‍රකාශයට පත්වනු ඇත. 27 දා ශ්‍රී ලංකාව පිළිබඳ කන්ඩායම, එනම් ජර්මනිය, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ මොන්ටෙනීග්‍රෝ සාමූහික ප්‍රකාශයක් ඉදිරිපත් කරනු ඇත. (මෙම සටහන ලියන්නේ 26වන බදාදා සැන්දැවෙහි බව සළකන්න.) එමෙන්ම යුරොපා සංගමය ද ප්‍රකාශයක් කරනු ඇත. මෙම සැසිය හුදෙක් රටවල් පහක් ගැන පවත්නා එකකි. එබැවින් දිර්ඝ සඳහන් කිරීම් අපේක්ෂා කළ නොහැක. ශ්‍රී ලංකාව උක්ත යෝජනාවන්ගෙන් ඉවත්වීමට ගත් තීරණය සමඟ ඔවුන් එකඟ නොවනු ඇති අතර හුදෙක් දේශීය යාන්ත්‍රණයන් සමඟ එකඟ නොවනවාද ඇත.

රාජපක්ෂවරුන් විසින් අන්තර් ජාතික තෙරපුම නිසාම පත් කරන ලද උගත් පාඩම් සහ ප්‍රතිසංන්ධාන කොමිෂමේ (එල්එල්ආර්සී) අත්දැකීම මේ සම්බන්ධයෙන් අගනා නිදසුනකි. එහි වාර්තාව 2011 නොවැම්බර් මාසයේ දී සම්පූර්ණ කරන ලදී. අනතුරුව එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා තවක් සැළැස්මක් සකස් කර මානව හිමිකම් කවුන්සිලයෙහි බෙදා හරින ලදී. අද එල්එල්ආර්සී කොමිෂම වෙනුවෙන් පිහිටුවන ලද වෙබ් අඩවිය පවා නැත. එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමටයැයි සකස් කරන ලද සැළැස්ම වෙබ් අවකාශයේ සොයා ගැනීමට ඇත්තේ මුදලට විකුණන අඩවියක පමණි! ඊටත් වඩා එහි සදහන් කාලරාමු සහිත නිර්දේශ ක්‍රියාවට නැගීම තියෙන්නේ බිංදුවේ ය. පසුගිය ආන්ඩුව විසින් ක්‍රියාවට නංවන ලද එල්එල්ආර්සී නිර්දේශයක් වූ ජාතික ගීය දෙමළ බසින් ගැයීම නතර කරන ලද්දේ දැන් නව දේශීය වගවීමේ යාන්ත්‍රණයක් පිහිටුවන බවට කටින් බතල කොළ හිටුවන රාජපක්ෂ ආන්ඩුවයි. තමන් විසින පත් කරන ලද එල්එල්ආර්සී සහ පරණගම යන කොමිෂන් සභාවන්හි නිර්දේශ පවා රාජපක්ෂවරු ක්‍රියාවට නැංවූයේ නැත.

එල් එල් ආර් සී නිර්දේශ කුණු කූඩයට දැමූ රාපක්ෂවරුන්ගේන් තවත් කොමිෂමක් කුමට ද?

රාජපක්ෂ පොරොන්දු

මෙම අත්දැකීම මත රාජපක්ෂවරුන් විසින් දෙන පොරොන්දු පිළිගැනීමට අන්තර් ජාතික ප්‍රජාව සූදානම් නැති බව මානව හිම්කම් කවුන්සිලයේ දැන ්පැවැත්වෙන 43 වන සැසි වාරය අතර තුර හොදින්ම පෙනී යනවා ඇත. මෙම සිකුරාදා ප්‍රධානතම අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන තුනක් වන හියමන් රයිට්ස් වොච්, ඇමෙනෙස්ටි ඉන්ටනැෂනල් සහ ඉන්ටර්නැෂනල් කොමිටි ඔෆ් ජූරිස්ට්ස් එක්ව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සමාන්තර රැස්වීමක් පැලේ ද නැසියොන් (මානව හිමකම් කවුන්සිල ගොඩනැඟිල්ල) හිදී පවත්වයි. අනතුරුව මාර්තු 12වනදා අන්තර් ජාතික වශයෙන් මහත් පිළිගැනිමක් ඇති ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති යුක්ති ක්‍රියාදාමය සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා සම්බන්ධ වී සිටි ප්‍රමුඛ ස්වාධීන විශේෂඥයින් කථිකයින් ලෙස සහභාගී වන තවත් එවැනිම රැස්වීමක් පැවැත්වෙයි. මීට අමතරව විදේශගත දෙමළ කන්ඩායම් විසින් එවැනි රැස්වීම් 10ක් පමණ ද ජාතිකවාදී සංහල කන්ඩායම් විසින් තවත් රැස්වීම් දෙකක් සඳහා ද ශාලා වෙන් කර ගෙන තිබේ.

විදේශගත ශ්‍රී්‍ ලාංකික දෙමළ ප්‍රජාවෙහි ආන්තික කන්ඩායම් ආන්ඩුවේ මෙම පියවර දකින්නේ තමන් ලද අවස්ථාවක් ලෙස ය. ශ්‍රී ලංකාවෙහි ආන්ඩුව හුදෙක්ම සිංහල බහුතරයේ ප්‍රකාශණයක් බවත් එබැවින්ම දෙමළ ජනයාට කොළඹ ආන්ඩුවෙන් කිසිදු යුක්තියක් ඉටු නොවනු ඇති බවටත් ඔවුන් දිගටම කියා සිටියේ ය. ආන්ඩුවේ මෙම පියවර ඔවුන්ගේ තර්කය සනාථ කරයි. ආන්ඩුව ජිනීවා යෝජනාවන්ගෙන් ඉවත්වීම පිළිබඳ ප්‍රකාශයක් කළ විදේශගත දෙමළ ඊළාම් ආන්ඩුවේ අගමැති රැද්‍රකුමාරන් කියා සිටින්නේ ශ්‍රී ලංකාණ්ඩුව අන්තර් ජාතික යුද අධිකරණයට ගෙන යෑමත් වෙනම රටක් සදහා සටන් කිරීමත් හැර අන් විකල්පයක් දැන් නැති බවයි.

එපමණක් නොව දෙමළ ජාතික සන්ධානයේ ජේෂ්ඨ නායකයකු වනු මාවෙයි සේනාධිරාජා කියන්නේ ද ආන්ඩුවේ මෙම පියවර දෙමළ දේශපාලනයට නව බලයක් ලබා දෙන බවයි.

මානව හිමිකම් කවුන්සිල අමතමින් විදේශ ඇමැති ගුණවර්ධන කියා සිටියේ ජිනීවා යෝජනා නිසා ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ධ්‍රුවීකරණයකට මඟ පෑදුන බවයි. මානව හිමිකම් කවුන්සිලයේ මෙම සැසිවාරය දෙස් දෙනු ඇත්තේ අමත්‍ය ගුණවර්ධන විසින් අලුත් වටයකින් ජනවාර්ගික පමනක් නොව අන්තර් ජාතික ධ්‍රැවීකරණයකට ද ඉන්ධන සපයා ඇති බවයි.

ශ්‍රී ලංකාව අන්තර් ජාතික තලයේ නව හුදකලාවීමක් කරා ගමන් කරන බව මානව හිමිකම් කවුන්සිලය හමා එන සුළග කියන පනිවිඩයයි. ප්‍රශ්ණයේ හරය යෝජනාවන්ගෙන් ඉවත්වීම නොවේ. එය පිටුපස ඇති දේශපාලනය යි. එම දේශපාලනයේ හරය සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය වන අතර එහි ස්වරෑපය යුදහමුදා නිල ඇදුම සහ අන්තවාදී චීවරය යි.

(මෙම ලිපිය ලියන ලද්දේ 26වන දින බව සළකන්න. 27වන දින මහ කොමාසාරිස්වරිය විසින් කරන ලද ප්‍රකාශය ඇතුලු අනෙක් වර්ධනයන් ලබන සතියේ සාකච්ජා කැරෙනු ඇත)

Back to Top