Sri Lanka Brief
පුවත්ජාතික ගීය පබැඳූ ආනන්ද සමරකෝන්ට නො සැළකුණ හැටි!

ජාතික ගීය පබැඳූ ආනන්ද සමරකෝන්ට නො සැළකුණ හැටි!

by

ජාතික ගීවල පසුබිම් කතා අතරින් වඩාත් අනුවේදනීය කතාව ඇත්තේ අපේ ය. ඒ කතාව ඇරඹෙන්නේ 1948 පෙබරවාරි 4වැනිදා බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමත් සමගය. ඒ වන විට අපට ජාතික ගීයක් තිබුණේ නැත. ඒ නිසා ජාතික ගීයක් තැනීමේ අවශ්‍යතාව මතුවිය. එය මතුකරන ලද්දේ එවකට මුදල් ඇමැතිව සිටි දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතා විසිනි. ඒ නිසා ඊට අවශ්‍ය කටයුතු කිරීම ඇමැති මණ්ඩලය ඔහුටම බාරකළේය. ජනතාව අතරින් නිර්මාණ කැඳවා ඒවායින් වඩාත් සුදුස්සා තෝරාගැනීම ඔහුගේ අභිප්‍රාය විය. ඒ සඳහා විශේෂඥ කමිටුවක් පත්කෙරිණ. ලැබුණු නිර්මාණ අතරින් හොඳම නිර්මාණය ලෙස කමිටුව තෝරාගත්තේ සංගීතඥයකු මෙන්ම පාලි, සංස්කෘත හා සිංහල භාෂාත්‍රයෙහිම නිපුණයකු වූ ගම්පළ පි.බී. ඉලංගසිංහ නොතාරිස් රාලහාමි පැබඳූ ගීතයයි. එහෙත් එතුමා තමන් පත් කළ කොමිටියේ සාමාජිකයකු වූ නිසා ඒ තේරීම සාධාරණ නැතැයි තීරණය කළ ජේ.ආර්. ජයවර්ධන මහතා, ඒ කමිටු නිර්දේශය ප්‍රතික්ෂේප කර ඒ ගැන යළි විමසීමක් කරන්නට යෝජනා කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආනන්ද සමරකෝන්ගේ ‘නමෝ නමෝ මාතා‘ ගීතය තෝරාගැනුණි. ඇමැති මණ්ඩලය එය ජාතික ගීය කළයුතු බවට අනුමැතිය දුන්නේ 1951 නොවැම්බර් 22 වැනිදාය. 1952 පෙරබරවාරි නිදහස් දින දා මුල්වරට වාදනය කරන ලද්දේ ඒ ගීතයයි.

ඒ ගීතයේ පදමාලාව ආනන්ද සමරකෝන්ගේ නමින් පළවූ ගීත පොතක පසු කවරයෙහි පළකර තිබුණි. එතුමා ලියූ ඒ ගීත එකතුව පළකිරීමට දී තිබුණේ මරදානේ පී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන නම් ප්‍රකාශකයකුටය. වරක් පොතේ මුද්‍රණය ගැන සොයා බලන්නට එහි ගිය ආනන්ද සමරකෝන් ඒ පොතේ කවරයේ පසුපස පාළුව මකාලන්නට ඒ ගීතයත් දමන්නයි කියා ලියා දී තිබේ.

ජාතික ගීය ලෙස එය තෝරාගත් පසු රජයෙන් ඊට ප්‍රදානයක් පිරිනැමිණ. මෙය තමා මුද්‍රණය කළ පොතේ පසුපස කවරයෙන් උපුටා ගත් බව දැනගත් ප්‍රකාශකයා ඒ ගීතයේ හිමිකරු තමා බවත්, ප්‍රදානය තමාට ලැබිය යුතු යැයි කියමින් උසාවි ගියේය. ඒ ගීතය පසුව එක්කළ එකක් බවත් ගිවිසුම් ප්‍රකාරව මුල් ගීතවලට අයත් නැතය යන්න උසාවිය නොපිළිගත්තේය. ඒ නිසා ප්‍රදානයෙන් අඩක් ප්‍රකාශකයාට ගෙවන ලෙස සමරකෝන්ට නියම විය. වාසනාවට ගීතයේ හිමිකාරත්වය ප්‍රකාශකයාට දුන්නේ නැත.

ජාතික ගීය බවට පත්වූ එම ගීතය තමා රචනා කළ හැටි ගැන එහි නිර්මාතෘ ආනන්ද සමරකෝන් 1951 නොවැම්බර් 25 වැනිදා, ‘ඉරිදා ලංකාදීප’ පුවත්පතට ‘නිදි නැති රාත්‍රියක මා කළ ප්‍රාර්ථනාව’ නමින් ලිපියක් ලියමින් මෙසේ සඳහන් කර ඇත.

ඉන්දියාව පුරා සැරිසැරූ දින කිහිපයේ මවුබිමේ ස්වභාව සෞන්දර්යය, නටබුන්, නරවරයන් මතකයට නැගීමෙන් පිස්සෙකු වීමි. ඉන්දියාවේ සිට ලංකාව බලා එද්දී ඒ හැඟීම් යළි යළිත් බුර බුරා නැගුණි. ස්වදේශානුරාගය පුබුදු කළ හැකි සමූහ ගීතයක අඩුපාඩුව දැනුණු අතර ටී.ඩී. ජයසූරිය මහතා එවැනි ගීතයක අවශ්‍යතාව පෙන්නුම් කර දුන්නේය. එදා සවස ගෙදර ගියෙමි. මගේ දිවයින පිළිබඳ ඇතිවූ උදාර සිතුවිලි හා සෞන්දර්යය පිළිබඳ රසික හැඟීම් කෙළවරක් නැත. කල්පනා කළෙමි. ඒ මේ අත ඇවිද්දෙමි. රාත්‍රි 10 පමණ සිට පහන් නිවා කළුවරේම ඇඳට වී කල්පනා කළෙමි. තරමක නින්දක් ගියේය. අඩ සිහිනයකින් පෙනී ගිය පරිදි තනුවත් එයට සරිලන පදමාලාවත් සමග ‘නමෝ නමෝ මාතා’ ගීය මනසේ සටහන් විණ. පසුදා උදේ එය ලීවෙමි. මේ ජාතික ගීය ප්‍රබන්ධ වූ සැටියි.”

එහෙත් මෙම ගීය ඔහු ලියූවේ ජාතික ගීයක් ලෙස ඉදිරිපත් කිරීමට නොවේ. 1940 දී ඔහු අලුතින් පත්වීමක් ලැබ ගිය ගාල්ලේ මහින්ද විදුහලේ ළමයින්ට දේශානුරාගී ගීතයක් පුහුණු කරවීමේ අදහසිනි. එදා ඒ ගීතය ළමයින්ට පුරුදු කළ මහින්ද විදුහල් ශාලාව ඉදිරිපිට ඒ බව සඳහන් කළ නාම පුවරුවක් ද අද ස්ථාපිත කර තිබේ.

මේ ගීය නිර්මාණය කරන්නට මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ ආභාසය නිසැකව ම ආනන්ද සමරකෝන්ට ලැබෙන්නට ඇත. ඒ එතුමාගේ මෙරට සංචාරයෙන් පසු ඇතිවූ උද්යෝගය අනුව

බෙංගාලයේ පිහිටි තාගෝර්තුමාගේ ශාන්ති නිකේතනයට යන්නට තීරණය කළ මෙරට තරුණයන් අතරින් ඔහුද එක් අයකු වූ නිසයි. 1936 දී ඔහු ශාන්ති නිකේතනයට ගියේ චිත්‍රකලාව හදාරන්නටයි. එහිදී නන්දලාල් බෝස්ගෙන් චිත්‍රකලාවත්, රවීන්ද්‍ර සංගීතයෙහි නිපුණයකු මෙන්ම, ලේඛකයකු, ගායකයකු, නළුවකු හා නැටුම් ශිල්පියකු වූ සාන්තදේව් ගෝෂ්ගෙන් සංගීතය හා නැටුම් ආදියත් ඉගෙන ගත්තේය. එහෙත් මුදල් අගහිඟකම නිසා ඔහුට ඒ පාඨමාලා සම්පූර්ණ කරගත හැකි වූයේ නැත. 1937 දී ඔහු ආපසු ලංකාවට ආවේ මුලින් තිබූ නම වූ එගොඩහගේ ජෝර්ජ් විල්ප්‍රඞ් අල්විස් සමරකෝන් යන්න අත හැර ‘ආනන්ද සමරකෝන්’ යන නමිනුයි.

ආනන්ද සමරකෝන්ගේ ජීවිතයේ හොඳම සමය එළඹුණේ මේ කාලයේයි. ඔහු ගායකයකු, සංගීතඥයකු හා ගීත රචකයකු වශයෙන් නමක් දිනාගත්තේත් මේ කාලයේ දීය. 1939 දී එච්එම්වී තැටියකට මුල් ම ගීතය ගැයූ ඔහුගේ ගීවලට එදා ග්‍රැමෆෝන් යුගයේ ලොකු ඉල්ලුමක් ඇතිවිය.

එතෙක් පැවති මිශ්‍ර සිංහල කඨෝර වදනින් ලියවුණු ගීත වෙනුවට සරල සිංහල වදන් යොදා පිටිසර ගැමි පරිසරය චිත්‍රණය කරන රචනාවලින් හා හින්දුස්ථාන හා කර්ණාටක තනු අනුකරණය කළ තාල වෙනුවට සරල ස්වරමාලාවන්ගෙන් යුත් ඔහුගේ ගීත සිංහල ගීතය නව මඟකට යොමු කළේය.

ජාතික ගීය නිර්මාණකළාටත් වැඩි සේවාවක් ආනන්ද සමරකෝන්ගෙන් ඉටුවූ බව අද ජීවත්වන බොහෝ දෙනෙක් නොදනිති. ඒ අද අප හැම රස විඳින ගීත කලාවට ඔහුගෙන් වූ සේවයයි. මේ නව ගේය පද කලාවේ පුරෝගාමියා වූයේ ඔහුය. එසේ ම ඔහු නව යුග ගී සම්ප්‍රදායක් ද බිහිකළේය. ඔහු සමග මුල් යුග ගී ගැයූ ලීලාවතී අකාලයේ මියයාම නිසා ඔහු ඊළඟට සහාය ගායිකාව ලෙස යොදාගත්තේ ස්වර්ණා ද සිල්වායි. ඇය පසුකලෙක ප්‍රසිද්ධ සංගීතඥයකු හා බටනලාවාදකයකු වූ ඩන්ස්ටන් ද සිල්වාගේ සොහොයුරියකි. සමරකෝන් මුලින්ම ‘නමෝ නමෝ මාතා’ ගීතය ගායනා කළේ ද ඇය සමගය. ‘සිරි සරු සාර කෙතේ ගොයම් පැසීලා මහිමේ’ හා ‘පොසොන් පොහෝ දින පුන් සඳ පායා‘ ඇය සමඟ ඔහු ගැයූ තවත් ගීත දෙකකි.

සිය එකම පුතු පස් හැවිරිදි වියේ දී මියගියෙන් ඇති වූ ශෝකය දරා ගත නොහැකි වූ නිසා 1948 දී ඉන්දියාවට ගිය ඔහු හද සනසා ගන්නට චිත්‍ර ඇදීම තෝරාගත්තේය. දකුණු ආසියාවේ රටවල චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වීය.

ඔහු ආපසු ලංකාවට ආවේ 1951 දීය. ගීත රචනයෙන් හා ගායනයෙන් ජීවත්වූ ඔහුට ගුවන් විදුලියේ පාසල් සේවයෙන් වැඩසටහනක් කිරීමටද පැවරුණි. ඒ කාලයේ චිත්‍රපට ගීත ලියන්නටත්, ගයන්නටත් අවස්ථාව සැලසුණේය.

1955 තිරයට ආ ‘සැඩසුළං’ චිත්‍රපටයේ ලතා මංගේෂ්කාර් ගයන ‘ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමී’ ගීතයේ රචනය හා තනුව ආනන්ද සමරකෝන්ගේය. ඉතා දිග ගීයක් වන එහි වදන් ඉන්දියාවේ දී ලතා මංගේෂ්කාර්ට පුහුණු කළේද ඔහුයි.

ඔහු 1957 දී ‘අමරණීය ලංකා’ නමින් ගීත හා නැටුම් ඇතුළත් ප්‍රසංගයක් ද නිර්මාණය කළේය. ‘පුදමු මේ කුසුම්’, ‘පුංචි සුදා සුදු කැටියා’ වැනි ගීත නැටුම් සමග ඉදිරිපත් කරමින් අද අප අතර බොහෝ ජනප්‍රිය ප්‍රාසාංගික අංගයට ආරම්භය දුන්නේ ඒ ප්‍රසංගයෙනි. එහෙත් එය අද මෙන් මුදල් ගරන ප්‍රාසාංගික අංගයක් නොවීය.

ස්ථිර රැකියාවක් නොවූ නිසා ඒ කාලයේදී ඔහුගේ ආර්ථිකය නරක අතට හැරුණේ ය. ඔහුට ජීවත්වීමට ආධාරයක් හැටියට එකල ‘ජනතා‘ පත්‍රයේ කාටූන් චිත්‍ර තීරුවක් දිනපතා අඳින්නට එහි ප්‍රධාන කර්තෘ පදවිය හෙබ වූ ඩෙන්සිල් පීරිස් විසින් ඉඩකඩ සලසා දෙනු ලැබීය. ඔහු ජීවිතයේ අවසාන වසර කීපය ගත කළේ කාටූන් චිත්‍ර ශිල්පියකු වශයෙනුයි.

මේ කාලයේදී ඔහුගේ සිත් කම්පාකරවන තවත් දෙයක් සිදුවිය. 1960 බලයට පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රම්‍රඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය විසින් මේ රටේ දියුණුවට බලපාන ප්‍රධාන බාධකයක් ලෙස ජාතික ගීයේ මුලින් යොදා ඇති වදන්වල ඇති ගණ දෝෂය හඳුනාගනු ලැබීය.නමෝ නමෝ මාතා’ ගීයේ ආරම්භක වදන් අසුබ ගණයක් වූ ජගණයෙන් යොදා තිබීමත්, එසේ ම එය අපායක්ෂරයකින් ආරම්භ වීමත්, නිසා ඒ දෝෂවල බලපෑමෙන් රටට කරදර බාධක ඇතිවන බවත්, ජනතාවගේ උද්යෝගය අඩුවී ජනතාව තුළ නිද්‍රාශීලී ස්වභාවයක් ඇති වන බවත් කියා එය රටට අගුණ යයි ගෙනා තර්කයක් නිසා ඔහුටත් නොකියා එවකට පැවති රජය විසින් ඒ ගීතයෙහි ආරම්භය ‘ශ්‍රී ලංකා මාතා’ යනුවෙන් වෙනස් කරනු ලැබීය. ඒ සඳහා දායකත්වය සැපයුවේ එවකට රජයේ සිටි ප්‍රබල ඇමැතිවරයකු වූ ටී.බී. ඉලංගරත්න ය. එහෙත් එදා සුබ ගණයක් වූ මගණයෙන් ආරම්භ වන ලෙස ජාතික ගීය වෙනස් කළා කියා කිසිදු විශේෂ සෙතක් නොවූ බව අපි දැන් දනිමු. එහෙත් මේ සිද්ධිය ආනන්ද සමරකෝන්ගේ බලවත් සිත්තැවුලට හේතුවිය.

අපේ ජාතික ගීය ආනන්ද සමරකෝන් නම අමරණීය කරන්නට සමත් වුණත් ඔහුගේ අකල් මරණය වළක්වන්නට එය සමත්වූයේ නැත. ඒ නිසා ලද සිත් තැවුලෙන් සිටි ඔහු 1962 අප්‍රේල් 5 වැනිදා නිදි පෙති පමණ ඉක්මවා ගැනීමෙන් මරණයට පත්විය. අපේ ජාතික ගීයේ පසුබිම් කඳුළු කතාව එතැනින් අවසන් විය.

එදා සිට අද වනතෙක් විවිධ පණ්ඩිතයන් ජාතික ගීයේ විවිධ දොස් දැක්කත් අපට සුදුසු වෙනත් ආදේශකයක් සොයාගැනීමට ඒ කිසිවකුත් තවමත් සමත් වී නැත. ඒ නිසා නිදහස් ලංකාවේ ජාතික ගීයේ නිර්මාතෘ ලෙස ඔහුගේ නම තවමත් අමරණීයව පවතියි.

පර්සි ජයමාන්න විිසින් ලංකාදීප පුවත් පතෙහි පල කරන දිර්ඝ ලිපියකින් ‌සංස්කරණය ‌නොකොට උපුුුවා ගැනිණ.

Back to Top