Sri Lanka Brief
පුවත්ජනපති අධිකරණයට කළ අනතුරු හැඟවීම ඒකාධිපතිත්වයකට අත වැනීමක්ද? – නීතිඥ දුලාන් දසනායක

ජනපති අධිකරණයට කළ අනතුරු හැඟවීම ඒකාධිපතිත්වයකට අත වැනීමක්ද? – නීතිඥ දුලාන් දසනායක

by

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් දින උළෙලේ ඔහු විසින් පැවත්වූ දේශනය තුළදී ජනතා ඡන්දයෙන් තේරී පත් වුනු ඔහු සිදුකරන ක්‍රියාවන්ට බාධා නොකරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. එකී ඉල්ලීම ඔහු විසින් නැවතත් පසුගියදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පැවැත්වූ ජාතික නීති සමුළුවේදී වෙනස් ආකාරයකින් සිදු කරන ලදී.

ජනාධීපතිවරයා එහිදී ප්‍රකාශ කලේ විධායකය හා ව්‍යවස්ථාදායකය මහජන ඡන්දයෙන් තේරී පත්වන ආයතන බැවින් එකී ආයතනයන් ජනතා ව වෙනුවෙන් කටයුතු සිදු කරන බැවින් අධිකරණය ඊට බාධා කිරීමක් තමා අපේක්ෂා කරන බවයි. ජනාධිපතිවරයා මෙය ප්‍රකාශ කරන්නේ අගවිනිසුරුවරයාත් නීතිපතිවරයාත් ඇතළු නීති ක්ෂේත්‍රෙය් තවත් බොහෝ ප්‍රවීණයන් ඉදිරිපිටදීය.

ඇත්තවශයෙන්ම ජනාධීපතිවරයා මේ කියන්නේ කුමක්ද? ජනතාව වෙනුවෙන් සිදු කරන කටයුතු වට මීට පෙර මෙරට අධිකරණය බාධා කර ඇත්ද? මෙරට අධිකරණය ජනතාව වෙනුවෙන් විධායකය හා ව්‍යවස්ථාදායකය සිදු කරන කටයුතුවලට බාධා කිරීමක් නිරන්තරයෙන් සිදු කිරීමක් වාර්තා වන්නේනම් ජනාධීපතිවරයාගේ මේ කතාව අපට ඇත්තවශයෙන්ම ජනතාවට සේවය කිරීම පිණිස ජනාධීපතිවරයා විසින් සිදු කරන ඉල්ලීමක් ලෙස සැලකිය හැක.

නමුත් ලංකාවේ අධීකරණයේ ඉතිහාසය පරීක්ෂා කරන ඕනෑම අයකුට පෙනී යන්නේ එලෙස රජයක ජනතාවාදී කටයුතු පාලනය කිරීමට අධිකරණය කටයුතු කර නොමැති බවයි.

නමුත් ජනාධීපතිවරයා ප්‍රකාශ කරන්නේ විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ කටයුතුවලට අධිකරණයට බාධා නොකර සිටින ලෙසයි. රටේ නිතීයට අනුව විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ ඇතැම් තීරණවලට බාධා කිරීමට හැකියාවක් ඇති බව ජනාධිපතිවරයා නොදන්නවා නොවේ.

19ට හා අධිකරණයේ බලයට එල්ල කරන අභියෝගය

ජනාධිපතිවරයා මේ සිදු කරන්නේ අධිකරණය විසින් රටේ සංවර්ධන කාර්යයන්ට හා ජනතාව වෙනුවෙන් සිදු කරන කටයුතු වලට බාධා පමුණුවන බවට සමාජ මතයක් නිර්මාණය කිරීමේ කාර්යයි. ඒ හරහා 19වන සංශෝධනය මගින් මෙරට නිර්මාණය වී ඇති සංවරණ තුලන ක්‍රමයටත් 19වන සංශෝධනය නොමැතිව වුවද මෙරට අධිකරණයට පැවැති ව්‍යවස්ථාපිත වගකීම හා බලයටත් පහරක් එල්ල කිරීමයි.

විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ ක්‍රියා පාලනයට අධිකරණයට ඇති ව්‍යවස්ථාපිත බලය

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 118 වන ව්‍යවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට අයත් බලතල විස්තර වෙයි. එහි අ) හා ආ) හි දැක්වෙන්නේ පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලබාවය සම්බන්ධයෙන් හා මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අධීකණ බලය ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි වන බව පැහැදිලිව දක්වයි.

120 ව්‍යවස්ථාවට අනුව යම් පනත් කෙටුම්පතක් නැතහොත් පනත් කෙටුම්පතක යම් විධිවිධානයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල දැයි තීරණය කිරීමේ තනි හා අනන්‍ය අධිකරණ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. ඒ අනුව ව්‍යවස්ථාදායකයට ඕනෑම පනතක් සම්මත කර ගැනීමට නොහැකි අතර ශ්‍රේෂ්ඨාධිකරණයට ඒවාට බාධා කිරීමේ අයිතිය හිමි වෙයි. මෙතෙක් ඉතිහාසය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය එම බලය ප්‍රශස්ත ලෙස භාවිතා කර ඇත. මහින්ද රාජපක්ෂ මහතානම් මේ තත්වය හොඳින්ම දන්නා අතර ඔහු විපක්ෂයේ සිටියදී මේ සම්බන්ධ පෙත්සම් ඕනෑ තරම් ඉදිරිපත් කර ඇත. පසුගිය පාලන සමයේදී ද ඔවුන් එසේ කටයුතු කරන ලද අතර ව්‍යවස්ථාදායකය විසින් සම්මත කිරීමට උත්සහ කල පනත් ගණනාවකට සංශෝධන එකතු කිරීමට ඒ හරහා හැකි විය.

126 ව්‍යවස්ථාවට අනුව විධායක හා පරිපාලන ක්‍රියාවක් මගින් සිදුවන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් හෝ උල්ලංඝනය වීමට අත්‍යසන්න තත්වයක් පිළීබඳ විභාග කොට තීරණය කිරීමේ තනි හා අනන්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ඇත.

මෙම ව්‍යවස්ථාව ප්‍රකාරව විධායකය විසින් ජනයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිදු කිරීමට උත්සහ කල හා සිදු කල බොහෝ ක්‍රියාවන්ට අධීකරණය විසින් බාධා පමුණුවා ඇත.

විධායකයේ ක්‍රියාවන්ට අභියාචනාධිකරණයට මැදිහත් වන්නේ රිට් ආඥා හරහාය. විධායකය විසින් සිදු කරන ඇතැම් ක්‍රියාවන් නැවත්වීමට හෝ නොකරන ක්‍රියාවන් කරවා ගැනීමට රිට් ආඥා මගින් ජනතාවට අධීකරණය මගින් බලය හිමි වී ඇත.

ජනාධිපතිවරයා මේ අභීයෝග කරන්නේ මෙම ව්‍යවස්ථාපිත බලයටයි.

අධිකරණය බාධා කලේ ජනතාව වෙනුවෙන් කල කටයුතු වලටද?

මෙරට අධිකරණය ඇතැම් අවස්ථාවලදී විධායකය හා ව්‍යවස්ථාදායකය විසින් කරනු ලබන කටයුතු වලට ඉහත කී පරිදි බාධා කර ඇත. ඒ කුමන කාටයුතු වලදීද? ඒ ජනයාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන ජනයා පීඩාවට පත් කරන කටයුතු වලදීය. ඉසෙඩ් ස්කෝර් ගැටලුව මගින් විශ්ව විද්‍යාල සිසුන් අතිවිශාල ප්‍රමාණයකට විශ්ව විද්‍යාල වරම් අහිමි වී තිබියදී මූලික අයිතිවාසිකම් මගින් එකී සිසුන්ට සහනය ලබා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. ශ්‍රේෂ්ඨාධිකරණය එවක ආණ්ඩුවට හිසරදයක් වූයේ ඒ නිසයි. අධිකරණය රජය ඒ වන විට ගත් තීරණය අභියෝගයට ලක් නොකර සිටියේ නම් අදටත් සිසුන් විශාල සංඛ්‍යාවකට අත්තනෝමතික ලෙස විශ්ව විද්‍යාල වරම් අහිමි වීමට ඉඩ තිබුණි. ගෝල් ෆේස් පිටිය සංවර්ධනයේ නාමයෙන් පෞද්ගලික අංශයකට විකිණිමට සැරසෙද්දී එය වළකාලනු ලැබුවේ අධිකරණයේ මැදිහත් වීමෙනි. එප්පාවල ෆොස්පේට් නිධිය බේරා ගත්තේ අධිකරණයයි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වළලනු ලැබූ හිටපු ජනාධීපතිගේ තීරණය ආපස්සට හැරවිය හැකි වූයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයටයි.

අධිකරණය සෑම විටම විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ කටයුතුවලට බාධා එල්ල කර ඇත්තේ ජනතාවගේ පැත්තේ සිට ගනිමින්ය. ජනාධිපතිවරයා ලංකාවේ අධිකරණ ඉතිහාසය සොයා බැලීම වටී.

දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණලට සිදු කරන අියෝගය

දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ප්‍රධාන ලක්ෂණයක් නම් රාජ්‍ය පාලනයේදී සංවරණ හා තුලන ක්‍රමයක් ක්‍රියාත්මක වීමයි. රාජ්‍යයේ ප්‍රධාන ආයතන තුනවන විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය එකිනෙකෙන් පාලනය වීම වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ලක්ෂණයකි. 19වන සංශෝධනය මගින් ස්වාධීන අධිකරණයක පැවැත්ම තහවුරු වීම සිදු විය. ඒ හරහා බලපෑමකින් තොරව ජන පීඩක විධායක ක්‍රියාවන්ට බාධා කිරීමේ හැකියාව අධිකරණයට ලැබුණි. ජනාධිපතිවරයාට මේ හැකියාව නොරිස්සන බව පෙනෙයි.

ජනාධිපතිවරයා සිය ප්‍රකාශය මගින් පැහැදිලිවම සිදු කරනනේ නීතියේ ආධිපත්‍යයට අභියෝගයකි. වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නම් සිදු කල යුත්තේ මෙම සංවරණ හා තුලන ක්‍රමය තවදුරටත් ශක්තිමත් කිරීමයි. ජනතාවට වුවත් අධිකරණය මෙල්ල කර ගැනීමේ පාඩුව දැනෙනු ඇත්තේ තමන්ගේ තිබෙන අයිතිවාසිකම් කිහිපයටත් පාලකයන් අභියෝග කල විටය. අධිකරණයට එවිට ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් විධායකයට බාධා කිරීමට නොහැකි වූ විට වහල් දිවියකට ජනයාට ලේසියෙන්ම පියවර තැබිය හැක. මෙම ලිපිය අවසාන කිරීමට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සිය ෆේස් බුක් පිටුවේ ඕස්ට්‍රේලියාවේ අගවිනිසුරුවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශනයක උපුටනයක සිංහල පරිවර්තනය ඉදිරිපත් කරමි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂකයන් ලෙස අධිකරණයට ඇතැම් අවස්ථාවල නීති සම්පාදකයන්ගේ හා ආණ්ඩුවේ බලාපොරොත්තු බිඳ වැට්ටවීමට සිදු වේ. මෙය අපේ සංවරණ හා තුලන ක්‍රමයේ කොටසකි. දේශපාලන බලය අභ්‍යාස කරන හා ජනතාවගේ කැමැත්ත නියෝජනය කරන බව පවසන පුද්ගලයන් සංවරණයට හා තුලනයට අකමැතිය

සංවරණය හා තුලනය නොමැති වීම අන් යමක් නොව පාලකයා ඒකාධිපතිත්වයකට තල්ලු වීමකි.

 (ජනපති අධිකරණයෙන් කල ඉල්ලීම ඒකාධිපතිත්වයකට අත වැනීමක්ද? යන මැයෙන් අයිතිය ‌වෙබ් අඩවියේ පළ වු ලිපියකි)

 

Back to Top