Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගඒ අපූරු කතාව – සුනන්ද දේශප්‍රිය

ඒ අපූරු කතාව – සුනන්ද දේශප්‍රිය

by

ජනාධිපති රාජපක්ෂ විසින් කරන ලද නිදහස් දින කතාව අපූරු කතාවකැයි කියා තිබුණේ වෙනින් කව්රුවත් නොව මංගල සමරවීර ය.

ඉංගිරිසි බසින් ඔහු කියා තිබුණේ මෙසේ ය: “අද ජනාධිපතිගේ කතාව මරේ මරු. දැන් ඔහුට තිබෙන්නේ කතාවට කකුල් හයි කරන්න. ශක්තිමත් නායකයෙක් කියන්නේ දුෂ්කර තීරණ ප්‍රජාතන්ත්‍රවාදි රාමුවක් ඇතුළේ ක්‍රියාත්මක කළ හැකි කෙනෙක්. 48 ඉදළම අපේ ගමන පිරිල තියෙන්නේ හොඳම හොඳ කතාවලින්. දැන් තියෙන්නේ කතාවේ හැටියට වැඩේ දෙන එකයි.”

මෙතැන පමණයි!

ඊට පසු දා වන විටම පෙරදා එම කතාව පැවැත් වූ තැනට හූවක දුරින් වැඩේ දී තිබුණි. එහි සවි කරන ලද පුවරැවක කියා තිබුණේ උද්ඝෝෂන කරන තැන මෙතැන බවයි! ආණ්ඩුවේ දිනමිණ පත්තරයට අනුව මෙසේ එක් තැනක් වෙන් කර දී ඇත්තේ “ කොළඹ ලෝටස් පාර, ගාලුමුවදොර, පුරහල ලිප්ටන් වටරවුම වැනි අතිශයින් ජනාකීර්ණ ස්ථාන මෙම උද්ඝෝෂණ සඳහා තෝරාගැනීම හේතුවෙන් අධික වාහන තදබදයත්, සාමාන්‍ය ජන ජීවිතයට දැඩි පීඩා එල්ලවීමත් නිතරම සිදුවන නිසා ය.”

යුඇන්පී ආණ්ඩුවටත් මේ වැඩේ කරන්න හොදටම උවමනාව තිබුණි. ඒ ගැන පනතක් වගේ දෙයක් පාර්ලිමේන්තුවට ගෙන එන කතාවකුත් තිබුණි. සමහර විට ඒ අවස්ථාවෙහි වැඩේ දෙන්න බැරිවුණේ ව්‍යවස්ථා නීති රීති සම්මත කරන සභාව වන පාර්ලිමේන්තුවට ඒ නීතිය දා ගන්න ටිකක් බය හිතෙන්න ඇති නිසා ය. දැන් ගෝඨාභය ක්‍රමය අනුව නාම පුවරුව පොළවෙන් උඩට මතුවන තුරැ සමාජය ඒ ගැන හංකාවිසියක්වත් දන්නේ නැත.

මේ වැඩේ කිසිම සද්දයක් බද්දයක් නැතුව දී ගන්න පුලුවන් වුණේ නිදහස් දින කතාවේ මෙන්න මෙහෙම කියපු සහ ඒ විදියට ම හිතන නිසා ය.

මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවන් ක්‍රියාත්මක කිරීමට මම බැඳී සිටිනවා. ඒ මාගේ වගකීම හා යුතුකමයි. එය ක්‍රියාත්මක කිරීමට කිසිම බාධාවක් රාජ්‍ය නිලධාරීන්ගෙන්, ව්‍යවස්ථාදායකයන්ගෙන් හෝ අධිකරණයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ.” ( දිනමිණ)

ගෝඨාභය කියන දේ කරන කරන දේ කියන දේශපාලනඥයකු බව ඔහු ආරක්ෂක ඇමැති වශයෙන් සිටි සමයේ ජනමාධ්‍යවේදීන් ගණනාවකට ගටම දැනුණේ ය. තමන් සංහිදියාව ඇති කිරීමට හෝ මානව හිමිකම් කෙළෙසීම් ගැන යුක්තිය ඉෂ්ඨ කිරීමට වැඩ කරන්නේ යැයි ඔහු බොරු පූච්චානම් දොඩන්නේ ද නැත. ඔහු කළ නිදහස් දින කතාවේ හරි හොඳ අදහස් ගොඩක් ම තිබුණේ ය.

අත පුච්ච ගන්න එපා!

ගෝඨාභය කෙලින්ම කියන්නේ තමන් හොඳ වැඩ හුඟාක් කරන්න යන බැවින් ඒ්වාට අධිකරණය හෝ වස්ථාදායකය අත දාලා අත පුච්ච ගන්න එපැයි කියා ය. රටක අධිකරණය තියෙන්නේ විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ කටයුතු රටෙහි ව්‍යවස්ථාවට අනුකූල ද නැත්ද යන්න විමසා බැලීමටත් ය. උසස්ම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලිකම කාර්ය භාරය එයයි.

රාජාණ්ඩුවාදය සහ රදළවාදය දේශපාලන ක්‍රමය වූ සමාජයන්හි සියලු බලය කේන්ද්‍රගතව තිබුණේ රජකු හෝ ප්‍රාදේශීය රදළයකු අත ය. ඊට විරුද්ධව බලය බෙදීම නැත්නම් මිශ්‍ර ආණ්ඩුව පිළිබද අදහස මුලින්ම කීයේ 6වැනි සියවසෙහි ග්‍රීසියෙහි ජීවත්වූ ලොව අද්විතීය දර්ශණවාදියකු වන ඇරිස්ටෝටල් ය. පසුව එය වඩා ක්‍රමවත්ව 15වන සියවසෙහි දී ප්‍රංශ ජාතික (දේවගැති) ජෝන් කැල්වින් විසින් දියුණු කරන ලදී. එය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයක අත්‍යවශ්‍යම අංගය ලෙස විස්තරාත්මකව තහවරු කරන ලද්දේ බොහෝ දෙනෙකු අසා ඇති 16වන සියවසෙහි ජීවත් වු ප්‍රංශ විනිසුරුවරයකු වු මොන්ටෙස්කු විසිනි.

18 නම් ගුංඩුව

18වන සංසෝධනය රාජපක්ෂවරුන් විසින් මෙම බල විභේදනය අබල දුබල කිරීමට නෙ ආ ගුංඩුව ය. විධායකට උපරිම බලකල ලැබෙන පරිදි අධිකරණය සහ පාර්ලිමේන්තුව දුර්වල කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ සොහොන් ළකුණු ය. තුනෙන් දෙක්ක අරං 19වන සංසෝධනය ඉවත් කරන්නට මාන බලන්නේ යළි 18 බලගතු කරන්නට ය.

ජනාධිපති ගෝඨාභය‍ සිය කතාවෙහි දී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක විධායක ය, ව්‍යවස්ථායක ය සහ අධිකරණය අතර තිබිය යුතු මෙකී බල විභේදනය තමා ද අනුගමනය කරන බව කිව්වේ ය. නමුත් ඔහු කිරි කළයට ගොම තලියක්ම දා ගත්තේ ඉහත කී තරමක අනතුරු හැඟවීම අධිකරණයට සහ පාර්ලිමේන්තුවට එල්ල කිරීම මගිනි. ගොම බිංදුවක් වැටුන විට සිදුවන්නේ කිරි කළයම බිමට හලන්නට ය. අප අසා ගත යුතු ප්‍රශ්ණය නම් ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර වන බල විභේදනය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට අත්‍යවශයම බව පිළිගන්නා අතර “මගේ වැඩවලට ඇගිළි ගහන්න එන්න එපා’ යැයි අනෙක් බල කේන්ද්‍ර දෙකට ම අනතුරු හැගෙව්වේ ඇයි ද කියා ය.

රාජපක්ෂවරුන් තමන්ට නොනැමෙන අධිකරණයට සළකන හැටි අප ඉගෙන ගත්තේ අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායකට කළ අවමානයෙනි. ඇත්ත වශයෙන්ම නම් රාජපක්ෂවරුන් විසින් ඇය අගවිනිසුරු ධූරයට පත්කරන ලද්දේ ඇයට දශක ගණනාවක් එම තනතුරෙහි රෑදී සිටීමට හැකි අයුරිනි. ඇය “හෝල්ඩ් මී කන්ටෙම්ට්” නම් කෘතියෙහි සදහන් කරන්නේ බැසිල් රාජපක්ෂගේ දිවි නැගුම නඩුව මෙන්ම සරසවි ශිෂ්‍ය පිරිසක් විසින් පවරණ ලද “ඉසඩ් ස්කොර්” නඩුව සම්බන්ධයෙන් දෙන ලද තීන්දු ද තමාට එළව එළවා පහර දීමට හේතු වන්නට ඇති බවයි.

කන්දෙන් ‌පෙරළා මැරීම

ඇඟළි නොගැසීමට කරන අනතුරු හැඟවීම අධිකරණ ක්ෂේත්‍ර තුල කෙළෙස දෝංකාර දෙනු ඇත්දැයි ඇය එම පොතෙහි සඳහන් කරන මේ කාරණයෙන් තේරුම් ගන්න පුලුවන.

(මා පිළිබඳ) පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව ක්‍රියාත්මක වෙමින් පැවැති අතරතුර ඉතා වැදගත් ගමනක් ඇති විය. ඒ දෙසැම්බර් 08 දා අපි මහනායකහිමිවරු බැහැ දැකීමට නුවර ගියෙමු. අපේ වාහනය පසුපස වෙනත් වාහනයක් එන බව අපි දැනගත්තෙමු. ඇත්ත වශයෙන්ම නම් පෙරදා රැයෙහි මා ලද පණිවිඩයකින් කියැවුණේ අප හදිසි අනතුරකට ලක්වීමට ඉඩ ඇති බැවින් හදුනා ගත් නොහැකි වෙනත් වාහනයකින් ගමන යන ලෙස යි. අනතුර අටවන ලද උගුලකි. එනමුත් මම නිල වාහනයෙන් ම යෑමට තීරණය කළෙමි.

එදින අප පසුපසින් වාහනයක් හඹා එන බව අපි දැ ගත්තෙමු. පේරාදෙණිය තානායමෙහි දහවල් ආහාර ගන්නා විට පවා අපි එය දුටුවෙමු. අප නුවරින් පිටත්වන විට පමා වූ අතර කඩුගන්නාවෙහි ඩොසන් කුලුණ කරා ළඟාවන විට කළුවර වැටෙමින් තිබුණි. එතැන් සිට මාර්ගය ඉතා අනතුරුදායක බැවින් ද කට්ට කලුවර වැටී තිබූ බැවින් ද මම සැළෙන්නට වීමි. තරමක මීදුමක් ද තිබුණ ද අප පසුපසින් අප හඹා ආ වාහනය යළි මතුව එනු දැක ගැනීමට අපට හැකි විය. එය අසාමාන්‍ය වේගයකින් අප කරා පැමිණෙමින් සිටියේ අනතුරුදායක පරිදි ය. මගේ වම් පසින් තිබුණේ කඩුගන්නාව බෑවුමේ ගැඹුරු ප්‍රපාතයයි. එකෙනෙහි ම එම වාහනය අපේ ගමන් ගත් කාරයේ දකුණු පස දෙසට හරවනු මට පෙනුනි. නිමේෂයකින් එය අප කාරයේ වදින්නට ඉඩ තිබියදී අපේ රියදුරා කාරය පාර ගැට්ටෙහි වහා නතර කර ගත්තේ ය. හඹා ආ වාහනය දකුණට කපා වේගයෙන් යන්නට ගියේ ය. අප ටික වේලාවක් නතර වී සිට වාහන ගණනාවක් අප පසුකර ගිය පසු අනෙක් වාහන සමඟ මිශ්‍ර වී ආපසු ආවෙමු. ටික වේලාවකට පසු රියදුරා කතා කරන්නට වී කීයේ දවස පුරාම අප පසුපස හඹා ආ ඒ වාහනය ආ වේගය ගැන ඔහුට සැක සිතුණු බව යි. ඒ වනාහී අනූනමයෙන් බේරිමකි. අනතුරින් ගැලවීම හුදෙක්ම වාසනාවක් විය. පේ ඉරණමව තිබුණේ ඒ දෙසැම්බරයේ මරණයට නොව දෝශාභියෝගයට මුහුණ දීමට ය.”

අග විනිසුරුවරිය කඩුගන්නාව බෑවූමකින් පහළට පෙරළා ඝාතනය කිරීමට ආ මේ මාරක වාහනකරුවන් තවමත් යහතින් සිටිනවා ද ඇත. කදුබෑවුම් හි විනිසුරන් සංචාරය කරනවා ද ඇත. ඇඟිළි නොගසනු යන දොංකාරය කදු මුදුන් මතින් නොඇසෙනු ඇතැයි කිව හැක්කේ කාට ද? සමහර විට එම දෝංකාර අතර මරා දමන ලද තාජුඩීන්ගේ වාහනය ගසක හපප්වා ගිනිගැන්වූවන්ද ඝෝෂා නොකරනු ඇත් ද?

එසේ වෙන්නත් නොවෙන්නත් පුලුවන. නූනොත් හොඳකි. උනොත් විපතකි.

අන්තිමට අර ගාලු මුවදොර පිටිය අසළ මතු වූ බෝඩ්ඩෙක ගැනත් යමක් කියන්න ඕනෑ ය. එනම් මේ බෝඩ් ලෑල්ල ජනාධිපති ගෝඪාභයට බරපතල පරීක්ෂණයක් වීමට ඉඩ තිබෙන බවය. දැනටමත් එය කල් ඉකුත් වී ගොසිනි. එය මතු වූ දවසේම උද්ඝෝෂණකරුවෝ අහක බලා ගත්හ. බෝඩ් ලෑල්ල පය්සෙකටවත් ගණන් ගත්තේ නැත. දැන් එක්කෝ බෝඩ් ලෑල්ල කපුටන්ට මලපහබර ආ විට වාඩී වී ඒ වැඩේ කර ගන්න ඉතිරි කළ යුතු ය. නැත්නම් ගලවා ගෙන ගොස් පරණ බඩු වලට විකිණිය යුතු ය. මුල්බැසගත් උද්ඝොෂණ සම්ප්‍රදායක් ඇති ශ්‍රී ලංකාවෙහි උද්ඝෝෂන එතැනට හෝ එවැනි තුන් හතර පලකට සීමා කිරීමට නම් අර අනතුරු හැඟවීම ක්‍රියාත්මක කරන්නට වෙනවා ඇත. මන්ද යත් අධිකරණය මෙම බෝඩ් ලෑල්ල නීත්‍යානුකූල යැයි කියන්නට ඉඩක් නැති නිසා ය. එය එසේ නොවීමට නම් දබරැඟිල්ලේ දේශපාලනය යුද්ධ ලාංචන සමඟ කළවම් වෙන්නට ඉඩ තිබේ.

නොවේවායැයි පතමු! උනොත් නපුරකි.

Back to Top