Sri Lanka Brief
පුවත්උදයංග වීරතුංග නඩුව: අවුරුදු 5 ක් විමර්ශනය සිදුකළ නිලධාරියා ඉවත් කළේ ඇයි? – මහේස්ත්‍රාත් රංග දිසානායක

උදයංග වීරතුංග නඩුව: අවුරුදු 5 ක් විමර්ශනය සිදුකළ නිලධාරියා ඉවත් කළේ ඇයි? – මහේස්ත්‍රාත් රංග දිසානායක

by

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවූ බව කියන සිද්ධියට අදාළව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සම්බන්ධ නඩුවේ වසර පහක් විමර්ශනය කළ විමර්ශන නිලධාරියා ඉවත් කළේ මන්දැයි පැමිණිල්ලෙන් ප්‍රශ්න කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා එම නිලධාරියා නැවත පත්කිරීමට හැකියාවක් නොමැතිනම් ඊට හේතුව අධිකරණයට දැනුම් දෙන ලෙස වැඩ බලන පොලිස්පතිවරයාට ඊයේ (17) නියෝග කළේය.

අධිකරණයේ පැවැති නඩුවේ සටහන් සමග මෙම නියෝගය වැඩ බලන පොලිස්පතිවරයා වෙත වහාම යොමු කරන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළේය.

පොදු දේපළ පනත ප්‍රකාර වරදකට අදාළව පොලිස් අධිකාරිවරයකුගේ සහතිකයක් ඉදිරිපත් නොකිරීම විමර්ශනයේ අසාමාන්‍ය තත්ත්වයක් බවත්, පැමිණිලි පාර්ශ්වය වශයෙන් නීතිපතිවරයාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් දෙපිලක් ලෙස සිටීම අසාමාන්‍ය තත්ත්වයක් බවට නිරීක්ෂණය වන බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

පොදු දේපළ පනත යටතට ගැනෙන වරදක් සිදු කර ඇති බවට වසර පහක් පුරා අධිකරණයට කරුණු වාර්තා කළ පැමිණිල්ල, සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමේදී කුමන චෝදනාවක් යටතේ විමර්ශනය කරනවාද යන්න නොදන්නා බව පැවසීමෙන් සැකකරුට ඇප ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් හිතාමතාම සකස් කරන බව පෙනී යන බවට ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සැකකරුට ඇප ලබා දීමේදී ඔහු සිදුකර ඇති වරද ලංකා රජයට අලාභයක් බවට පැමිණිල්ල මුල සිටම පොදු දේපළ පනත ප්‍රකාරව කරුණු වාර්තා කර තිබීමත්, මෙම වරදේ බරපතළකම නිසා මහජන කැළඹීමක් ඇති නොවේ යැයි නිගමනය කළ නොහැකි බවත් සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා සැකකරු තවදුරටත් ලබන 26 වැනිදා තෙක් රක්ෂිත භාරයට පත් කිරීමට ද මෙහිදී නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (17) යළි අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

මෙහි සැකකරු ලෙස ඉකුත් 14 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත භාරයට පත්කර සිටින උදයංග වීරතුංග බන්ධනාගාරය මගින් ඊයේ (17) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ උදාර කරුණාරත්න යන මහත්වරුන් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරා, කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නීතිඥ චන්දිමා අරුමප්පෙරුම, පොලිස් පරීක්ෂක සංජීව යන නිලධාරීහු සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් ද සමගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා සමග නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර, නීතිඥ ගුණරත්න යන මහත්වරු අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.

මෙහිදී නඩුව ආරම්භයේදී අධිකරණය පැමිණිල්ලෙන් ප්‍රශ්න කළේ මෙසේය.

අධිකරණය: පැහැදිලි කිරීමක් කරගන්න ඕනෑ. මෙම නඩුව මුලින්ම ඉකුත් 2015 මාර්තු මස 26 වැනිදා පළමු වරට අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළා. පසුව අවසන් වරට 2020 ජනවාරි මස 21 වැනිදා වාර්තා කළා. එම සියලු වාර්තා අත්සන් කර තිබුණේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් කියන නිලධාරියා. ඔහු වසර පහක් පුරා මෙම විමර්ශනය සිදුකළා. ඒ නිලධාරියා කෝ?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව: ඔහු ස්ථාන මාරු කර තිබෙනවා මීගමුව කොට්ඨාසයට. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් තමයි මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකළේ. පසුව එම කොට්ඨාසයත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු යටතට ගත්තා. ඉන් පසුව තමයි මෙම විමර්ශන අප යටතට ගත්තේ. මෙම විමර්ශනය සම්බන්ධයෙන් මේ වනවිට කටයුතු කරන්නේ පොලිස් පරීක්ෂක සංජීව කියන නිලධාරියා.

අධිකරණය: වසර පහක් පුරා විමර්ශනය කළ විමර්ශන නිලධාරියා මේ නඩුවෙන් අයින් කරන්න හේතුව කුමක්ද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව: මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සී.අයි.ඩීය යටතට පත්වුණාට පස්සේ තමයි මේ විමර්ශන නිලධාරියා ස්ථාන මාරු ලැබිලා ගියේ. මේ නිලධාරියා විතරක් නොවෙයි තවත් නිලධාරීන් පිරිසක් ඒ විදිහට ස්ථාන මාරු ලැබී ගියා.

නීතිපතිත්පොලිස්පතිත් දෙයාකාරයකින් හැසිරීම වහා නිරාකරණය කරගත යුතුයි

 

නීතිපතිවරයාත් පොලිසියත් අධිකරණයක් තුළ දෙයාකාරයෙන් හැසිරීම තුළින් වන අනවබෝධය වහාම නිරාකරණය කරගන්නා ලෙසත්, එසේ නොමැතිනම් එය නඩුවලට විශාල ගැටලුවක් වන බවත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (17) අධිකරණයේදී සඳහන් කළේය.

පැමිණිල්ලක් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටින්නේ ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් නම්, පැමිණිල්ල දෙයාකාරයකින් අධිකරණයේදී කරුණු ඉදිරිපත් කිරීම ගැටලුවක් බවත්, ඇතැම් කරුණුවලදී නීතිපතිවරයා නොදන්නවා යැයි පැවසීම තුළින් සිදුවන අගතිය වහාම විසඳා ගත යුතු බවත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මිග් යානා ගනුදෙනුවට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ(17) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල දෙයාකාරයකින් හැසිරීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා මෙසේ ප්‍රකාශ කළේය.

යම් විමර්ශනයක් සිදුකිරීමෙන් පසුව නීතිපති උපදෙස් ලබාගන්නේ ​චෝදනා ගොනු කිරීමේදී බවත්, වර්තමානය වනවිට විමර්ශනවල මැදදී ද නීතිපතිවරයා උපදෙස් ලබා දෙන බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, නීතිපති ලබාදෙන උපදෙස් පිළිපැදීමට නොහැකි නම් පොලිසිය නීතිපති උපදෙස් නොපතන ලෙසත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

එසේ හෙයින් නීතිපතිවරයාත්, පොලිසියත් පැමිණිල්ල එක පාර්ශ්වයක් මිස දෙපාර්ශ්වයක් නොවිය යුතු බවත්, යම් නඩුවකට නීතිපතිවරයා පෙනී සිටිනවා නම් පොලිසිය නීතිපති උපදෙස් පිළිපැදිය යුතු බවත්, එසේ නොමැතිව  දෙපැත්තක් ගෙන කටයුතු කිරීම වහාම විසඳා ගත යුතු ප්‍රශ්නයක් බවත් මහේස්ත්‍රාත්වරයා පැමිණිලි පාර්ශ්වය වූ නීතිපතිවරයාට සහ පොලිසියට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

අධිකරණය: අවුරුදු පහක් විමර්ශනය කළ නිලධාරියා නැතුව සැකකරු ආවාම දැන් ඉන්න නිලධාරියා මේ ගැන තොරතුරු දන්නවාද? නඩුව සම්බන්ධයෙන් අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න මේ නිලධාරියා දන්නවාද? සැකකරුට ඇප ලබා දීමේදී ද මේ පිළිබඳව සලකා බලන්න සිදුවෙනවා. මෙතෙක් මෙම නඩු ගොනුවේ කවුරුත් අත්සන් කර නැහැ. ශ්‍රී ලංකා පොලිසියට මොකක්ද මේ වෙලා තියෙන්නේ?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව: මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක සංජීව විමර්ශනය සිදුකරනවා.

අධිකරණය: මෙම සිද්ධිය විමර්ශනය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් මෙහි විමර්ශන ඉවර කළා නම් හොඳයි කියලා හිතනවාද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව: මේ නිලධාරියා පමණයි මේ විමර්ශනය තනිවම සිදුකර තිබෙන්නේ. වෙනත් කිසිදු නිලධාරියකු මේ සඳහා සම්බන්ධ කරගෙන නැහැ. ඒක තමයි ගැටලුව.

අධිකරණය: පොලිස්පතිගෙන් හෝ සී.අයි.ඩීයෙන් අහන්න වෙනවා ඇයි මේ නිලධාරියා මේ නඩුවෙන් එළවන්නේ කියා. ඔහුට ආපසු මෙය භාරදෙන්න පුළුවන්ද? සී.අයි.ඩීයේ අධ්‍යක්ෂවරයා උසාවියට ඇවිත් කියනවා මේ විමර්ශනයට අදාළව සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගන්න දවස් දහයක් විතර යයි කියලා. ඔයාලට දවස් කීයක් ඕනෑද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව: වැඩ බලන පොලිස්පතිවරයා තමයි ස්ථාන මාරු ලබා දී තිබෙන්නේ. මෙම සිද්ධියට අදාළ ගිණුම් 33ක් තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා: මූලික වශයෙන් මෙම සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම තමයි සිදුකරන්න තිබෙන්නේ. මෙම විමර්ශනය ඉතා සංකීර්ණ එකක් නිසා කාලයක් අවශ්‍යයි.

අධිකරණය: මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නේ කුමන නීතියක් යටතේ කුමන වගන්තියක් යටතේ ද කියා තේරෙන්නේ නැහැයි සී.අයි.ඩී. අධ්‍යක්ෂ අධිකරණයට ඇවිත් කියනවා. මේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන චෝදනාව මොකක්ද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා: මෙම සැකකරු ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 454, 457 සහ 1982 අංක 12 දරන පොදු දේපළ පනතේ 5 වන වගන්ති ප්‍රකාරව වරදක් සිදුකර ඇති බවට ඉකුත් 2016 ඔක්තෝබර් මස 11 වැනිදා අධිකරණයට වැඩිදුර බී වාර්තාවක් ඉදිරිපත් කළා.

අධිකරණය: මේ නඩුවට අදාළව ශ්‍රී ලංකා රජයට හිමිවිය යුතු යැයි කියන එනම් අලාභය කොපමණද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා: ඇමරිකානු ඩොලර් මිලියන 7ක පමණ අලාභයක්.

අධිකරණය: ඇමරිකානු ඩොලර් මිලියන 7ක අලාභයක් ශ්‍රී ලංකා මුදලින් විශාල ප්‍රමාණයක්. එතකොට ශ්‍රී ලංකා මුදලින් රුපියල් විසිපන්දහසකට වඩා වැඩි මුදලක් කියලා තේරුම් ගන්න බැරි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක් කොහොමද මේ විමර්ශනය කරන්නේ? පොදු දේපළ පනත ප්‍රකාරව වරදක් නම් මේ චෝදනාවට අදාළව සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ සහතිකයක් තිබෙනවාද?

රහස් පොලිසිය: නැහැ ස්වාමිණී.

අධිකරණය: ලියුම් කවර දාහක් හොරකම් කළා කියලා කිව්වොත් රජයේ මුදල් රුපියල් 25,000කට ටිකක් වැඩියෙන් හොරකම් කළා කිව්වොත් සහකාර පොලිස් අධිකාරීවරයකුගේ සහතියක් ඉදිරිපත් කරන රහස් පොලීසිය මේ ඇමරිකානු ඩොලර් මිලියන 7ක මුදලට සහතිකයක් ඉදිරිපත් නොකළේ ඇයි? වැඩි ගණනක් නිසාද ඒ සහතිකය දැම්මේ නැත්තේ? සැකකරුවා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමේදී මෙය දාන්න ඕනෑ. ඇයි එය දැම්මේ නැත්තේ? අද දින අධිකරණයට ඉදිරිපත් කරන බී වාර්තාවෙත් තිබෙනවා අලාභය ඇමරිකානු ඩොලර් මිලියන 7යි කියලා. රටේ මිනිස්සු බලාගෙන ඉන්නේ ඔයගොල්ලන් දිහා. ඒ මිනිස්සුන්ට මේ අධිකරණයට ඇවිත් කරුණු දක්වන්න බැහැ. ඔයාලා තමයි මේකට කරුණු කියන්න ඕනෑ. නඩුව ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් සැකකාරයා අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඇවිත් කියනවා මේ නඩුව ගැන අපි දන්නේ නැහැලු. මොකක්ද මේ වෙන්නේ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙච්චරකල් මේ අධිකරණයට ආවේ ඇයි?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා: උදර්පන නීතිය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු මෙරටට රැගෙන ආවේ නිලධාරීන් කණ්ඩායමයක් ඩුබායි රටට ගිහිල්ලා. එහිදී පොලිස් පරීක්ෂක සංජීව කියන නිලධාරියා සැකකරුගෙන් ප්‍රකාශයක් ගත්තා අත්අඩංගුවට ගත්තාට පසුව. එම නිලධාරියාට දෝෂාරෝපණයක් කරන්න බැහැ. අවුරුදු කිහිපයක් ගත වුණත් මේ නඩුවේදී පැමිණිල්ලට විතරක් නොවෙයි විත්තියටත් සාධාරණයක් වෙන්න ඕනෑ. ඒ නිසා මෙම නඩුව විමර්ශනය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් සහ එය අධීක්ෂණය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පවිත්‍ර දයාරත්න යන නිලධාරීන් දෙදෙනා ද මේ සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන සඳහා අවශ්‍ය වෙනවා. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 වගන්ති ප්‍රකාරව වැඩ බලන පොලිස්පතිවරයාට නියෝගයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා එම නිලධාරීන් දෙදෙනා නැවත මෙම විමර්ශනය සඳහා යොදවා ගන්නා ලෙස.

අධිකරණය: මේ අය පත්කිරීම විමර්ශනයට බාධාවක්ද කියලා මට අහන්න වෙනවා. ඒ වගේම මට පුළුවන් දැනට පත්කර තිබෙන අය ඉවත් කරන්න. නමුත් පනත ප්‍රකාරව මට පත් කරන්න බලයක් නැහැ. මට පුළුවන් පත් කරන කරන කෙනාව ඉවත් කර කර ඉන්න. නීතිපති මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරන්නට පෙර මටත් පෙනී ගියේ මේ කරුණ ගැනයි. මුල සිටම මෙම සිද්ධිය විමර්ශනය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් යන අය මේ නඩුවට අවශ්‍යයි. එබැවින් විමර්ශන නිලධාරියාත් අධීක්ෂණ නිලධාරියාත් මෙම විමර්ශනයට පත් කළ හැකිද යන්න සහ එසේ හැකියාවක් නොමැති නම් ඊට හේතු ඉදිරිපත් කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරමි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා: මෙම සැකකරු සම්බන්ධයෙන් ඇප ලබා දීමට නොහැකි වන ලෙස පැමිණිල්ලෙන් සහතිකයක් ඉදිරිපත් කර නැහැ. ඒ නිසා ඇප පනතේ ප්‍රතිපාදන සැලකිල්ලට ගත හැකියි. මේ විමර්ශනය සාධාරණව පැවැත්වුණා ද කියා සැකයක් තිබෙනවා. පොදු දේපළ පනත ප්‍රකාරව චෝදනා නගා තිබුණා. ඒත් සහතිකයක් නැහැ. සැකකරු සාක්ෂිවලට බලපෑම් එල්ල කරනවා කියා කියන්න බැහැ. තාම ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරලත් නැහැ. අවස්ථා දෙකකදී අධිකරණයෙන් ඉල්ලුවා වරෙන්තු ආපසු කැඳවන්න අපි අධිකරණයට එන්නම් කියලා. ඒත් එය සැලකිල්ලට ගත්තේ නැහැ. මගේ සේවාදායකයා රටවල් විශාල සංඛ්‍යාවක තානාපති ලෙස සේවය කර තිබෙනවා. ඒ වගේම රුසියාවේදී ඔහු ආපනශාලාවක් මෙන්ම සංචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා. අවුරුදු තිහක්ම ඔහු එම රාජකාරිය කළා. එහෙත් ඔහුට එරෙහිව මුදල් විශුද්ධිකරණයට අදාළව චෝදනා නගා තිබුණා. එම නිසා අවස්ථානුගත කරුණු සැලකිල්ලට ගෙන සැකකරුට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.  

අධිකරණය: (ජනාධිපති නිතීඥවරයාගෙන් විමසයි)

දැන් දැනගත්තා නේද පැමිණිල්ල පොදු දේපළ පනත දාන්නේ නැහැ කියලා. අද දින වාර්තාවෙත් තිබෙනවා පොදු දේපළ පනත ප්‍රකාරව වරදක් සිදුකළා කියලා. එහෙම නම් සහතිකයක් ඉදිරිපත් කළේ නැත්තේ ඇයි? (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසයි.)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව: මේ නඩුවට අදාළව මා මාසයක් තිස්සේ කියවා විමර්ශනය කළා. මෙම සැකකරු කුමන චෝදනා යටතේ ඉදිරිපත් කරනවාද නැද්ද කියලා ගැටලුවක් ආවා. මේ විමර්ශනය කළ නිලධාරියා තනිවම තමයි මේ විමර්ශනය සිදුකර තිබෙන්නේ. මේ නිලධාරියාට විදේශයකින් පැමිණි මහත්වරුනුත් උදව්වක් කළා කියා කියනවා. කුමන හේතුවක් නිසා හෝ විමර්ශන නිලධාරියා මිය ගියා නම් වෙනත් නිලධාරියකු මේ නඩුව කරන්න ඕනෑ නේද?

අධිකරණය: හරි, එහෙනම් පොදු දේපළ පනත යටතේ චෝදනා නැගුවා නම් සහතිකය කෝ?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව: මා මේ විමර්ශනය සම්බන්ධයෙන් කටයුතු කරන්න ගත්තේ මාසයක සිටයි. මෙයට කාලයක් ඕනෑ.

අධිකරණය: මෙම සැකකරු සම්බන්ධයෙන් පැමිණිල්ල විසින් පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර තිබෙනවා. වරදේ වටිනාකම රුපියල් 25,000ට වැඩි නම් සහකාර පොලිස් අධිකාරිවරයකුට වැඩි නිලයකින් සහතිකයක් ඉදිරිපත් කළ යුතුයි. එහෙම එකක් නැත්නම් සැකකරුට ඇප ලබාදීමේදී අදාළ වන්නේ ඇප පනත. සිද්ධියට අදාළව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නේ වසර පහකට පස්සේ. දැන් පැමිණිල්ල අහනවා කුමන පනතට අනුවද විමර්ශනය කරන්නේ කියලා. මෙය අසාමාන්‍ය තත්ත්වයක්. කවුරු කළත් මෙය ශ්‍රී ලංකා පොලිසියයි කළේ. වසර පහක් කළ විමර්ශනය වසර පහකට පස්සේ නුහුරුවීම පුදුම සහගත කරුණක්. අලාභය වෙලා තිබෙන්නේ රජයටයි. අදාළ වාර්තාව ඉදිරිපත් නොකිරීම පැහැදිලිවම පැමිණිල්ල හිතාමතා කළ දෙයක් කියා තේරෙනවා. සැකකරුට ඇප ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම විමර්ශන නිලධාරීන් විසින් සකස් කර දීලා තිබෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 7ක් යන වරද මහජන කැළඹීමක් ඇති නොවන වරදක් කියා කියන්නේ කොහොමද? එසේම, මෙම සිද්ධියට අදාළව නීතිපති පෙනී සිටිනවා නම් මේ ප්‍රශ්නවලටත් උත්තර ලබා දෙන්න ඕනෑ. පොදු දේපළ පනත ප්‍රකාරව චෝදනා නැගුවා නම් කෝ සහතිකය? ඒක කියන්න නීතිපති  ඉන්නවා. මොකද නීතිපති පෙනී සිටින්නේ පැමිණිල්ලට නම්, පැමිණිල්ල දෙවිදියක් වෙන්න බැහැ. එබැවින් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරමි. මෙම සිද්ධියේ සැකකරුගෙන් ප්‍රකාශ ගන්න ඕනෑ කියා ඉකුත් නඩු දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එහිදී ඔහු කිව්වා දවස් 10ක් විතර යයි කියලා. ඒ වගේම ඔහු කිව්වා බන්ධනාගාරය ඇතුළේ මේ කටඋත්තර ගන්න බැහැ කියලා. අද පැමිණිල්ල ඉල්ලීමක් කරන්නේ නැද්ද කටඋත්තර ගන්න අවසර දෙන්න කියලා. මොකක්ද පොලීසිය මේ කරන්නේ?

මෙහිදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 26 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර, එදිනට අධිකරණය වෙත වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මෙම සිද්ධියේ සැකකරුට අයත් මෙරට පිහිටි බැංකු ගිණුම් 16ක තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 1.7ක මුදලක් සම්බන්ධයෙන් සහ ඔහුගේ ඥාතීන් 05 දෙනෙකුගේ බැංකු ගිණුම් 50කට ආසන්න ප්‍රමාණයක ගනුදෙනු සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මුලින්ම අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

එමෙන්ම, සැකකාර උදයංග වීරතුංග මහතා නමින් විදෙස් බැංකු ගිණුම් 04ක් සම්බන්ධයෙන් මෙන්ම මිග් යානා ගනුදෙනුවේ සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන්ම රටවල් 15කින් කැඳවා තිබූ එම්.එල්.. වාර්තා මේ වනවිට තම කොට්ඨාසය වෙත ලැබී ඇති බව ද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණය වෙත දැනුම් දී තිබිණි.

මෙම සිද්ධියේ පළමු සැකකරු වූ උදයංග වීරතුංග යන අයට අයත් රුපියල් හයකෝටි පනස්ලක්ෂයක් වටිනා දේපළ විකිණීම, අන්සතු කිරීම හෝ පැවරීම තහනම් කරමින් මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඉකුත් 2019 වසරේ ජනවාරි මස 19 වැනිදා නියෝගයක් ද නිකුත් කර තිබිණි. , උදයංග වීරතුංග මහතාට අයත් වූ දොම්පේ පිහිටි ඉඩම් දෙකක් සහ බොරැල්ලේ පිහිටි මහල් නිවසක් මෙලෙස විකිණීම හෝ පැවරීම හෝ අන්සතු කිරීම තහනම් විය.

(නිමන්ති රණසිංහ)/ ලංකාදීප/18/02/20

Back to Top