Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගඅපේ කාලයේ ගැහැණියක්: ලතා බගවාන් කාරේ – සුනන්ද දේශප්‍රිය

අපේ කාලයේ ගැහැණියක්: ලතා බගවාන් කාරේ – සුනන්ද දේශප්‍රිය

by

ඡායාරූපය:ලතා බගවාන් කාරේ.

ඉන්දියාවෙහි මහාරාෂ්ඨ ප්‍රාන්තයෙහි බුල්දහානා ගමෙහි ජීවත් වන හැට පස් හැවිරිදි ලතා බගවාන් කාරේ සහ ඇයගේ පුරුෂයාට දියණියන් තිදෙනෙකු සිටියෝ ය. දියණියන් තිදෙනා ලොකු මහත් කිරීමට දෙදෙනාම එකසේ දුක් මහන්සි වී වැඩ කළහ. දෙදෙනා එක්ව උපයා ගත් සෙච්චම් මුදල ඔවුන් කාරකාර බන්දවා දීමට වැය විය. අනතුරුව දෛනික වැටුපට වැඩ කරමින් දෙදෙනා යාන්තමට ජීවත්වීමට සෑහෙන මුදලක් සොයා ගත්හ.

දිනක් හදිසියේ ම ඇගේ පුරුෂයාට නොසන්සුන් බවත් දැනුණි. ඔහුට බරපතල රෝග තත්වයක් ඇතැයි ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරු කීහ. ඇය අන්දමන්ද විය. කුමක් කරම්දොයැයි සිතා ගත නොහැකි වූයේ අතේ සතයක් හෝ නොතිබූ නිසා ය. ඇය ඔහු රැගෙන ගිය කුඩා රෝහලේ බලධාරීහු ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා බරාමතීහි පිහිටි ප්‍රාන්ත රෝහලට ගෙන යන ලෙස ලතාට කියා සිටියා ය.

(ලංකාවට ගිලන්රථ පරිතයාග කරන නමුත් ඉන්දියානු ආන්ඩුව එරට දුර බැහැර පලාත්වලට එවැනි පහසුකම් සපයා නැත.)

නමුත් ඇයට ඔහු රැගෙන යාමට මුදල් තිබුණේ නැත. ඇයගේ දෑසින් කදුළු කඩා වැටුණි. මහත් ආත්ම අනුකම්පාවකින් ඇය සසළ විය. දශක ගණනාවක් එක්ව දිවි ගෙවූ තම පුරුෂයා සිය දෑත්හි මිය යනු ඇතැයි ඇයට මහා බයක් ඇති විය. තම අසරණ බව එතරම් ඇයට දැනුණ දිනයක් නැත.

කිසි දිනෙක නොකළ දෙයක් කිරීමට තීරණය කළ ඇය හිත හදාගෙන සිය අසල්වාසීන්ගෙන්, ඥතීන්ගෙන් සහ දන්නා කියන හැම කෙනෙකුගෙන්ම මුදල් අයැදිමින් ගියා ය. යට එකතු කර ගත හැකි වූ සුළු මුදලෙන් සිය පුරුෂයා බාරාමති කරා ගෙන යැමට ඇය අවසානයේ දී සමත් වූවා ය.

ඔහු පරික්ෂාවට ගෙන ගිය අතරවාරයේ හිමින් සීරුවේ පිටත බංකුවක වාඩි වූ ඇය සිය පුරුෂයාගේ ජීවිතය බේරා දෙන ලෙස ඇය දෙවියන්ට යාඥා කළා ය. ඇය සැමවිට ම සිටියේ තෙත් වූ දෑසිනි. අහෝ, දෙවියන්ට යාඥාව නොඇසී ගියා සේ ය. එළියට එන වෛද්‍යවරිය දෙස ඇය දෑස් දල්වා බලා සිටියේ සතුටුදායක ආරංචියක් අපේක්ෂාවෙනි. එනමුත් දෛවය ඉරණම් කර තිබුණේ වෙනත් උරුමයකි. ඇයගේ පුරුෂයාගේ රෝග විනිශ්චය පිනිස වඩා වියදම් සහිත පරීක්ෂනයක් අවශ්‍ය බවත් ඒ සඳහා වියදම් සහිත ඔෘෂධ අවශ්‍ය වන බවත් වෛද්‍යවරිය කීවේ ය. එම වියදම් දැරීමට රෝහලට නොහැකි බව ද ඇය කීවා ය.

ලතාගේ හිස කර කැවෙන්නට පටන් ගත්තේ ය. ලෝකය ඇගේ දෙපා මුල බිඳවැටී තිබුණි. හදවතේ ගැස්ම නතර වූවාක් වැනි විය. මුදල් ද නැත. අහළක පහළක යාමට තැනක් ද නැත. දුක දරාගත නොහැකිව ඇය එක දිගට ම හඩා වැටුණා ය. වෙන කුමක් කරන්න ද?

බර වූ හදවතින් යුතුව ඔවුහු රෝහලෙන් පිටතට පැමිණ, යමක් කෑම පිනිස අසල තිබූ සමෝසා විකුණන්නකු වෙත ගියා ය. පුවත්පත් කැබැල්ලක ඔතන ලද සමෝසා දෙකක් ලැබුණි. නමුත් ඇයගේ ඇස් දිව ගියේ එකී කොළ කැබැල්ලේ මරාති බසින් වූ ශිර්ශ පාඨය වෙතට යි. ඇගේ දෑස් ආලෝකමත් විය. හදවත ගිඩි ගිඩි ගෑවේ ය. එම සිරස්තලය මෙසේ විය: “බාරමති මැරතන් සහ ත්‍යාග මුදල”. ඇය ඇස් පියා ගත්තේ ය. තෑගි මුදල ලදොත් සිය පුරුෂාට ප්‍රතිකාර ලබා දිය හැක. නමුත් ඇය කවරදාකවත් තරඟයට දිවීමක් ගැන සිතාවත් නොතිබුණි. ඇත්ත වශයෙන් ම නම් දිවීමත් තරඟයක් විය හැකි බවවත් ඇය ඒ පත්තර කෑල්ල කියවන තුරු දැන සිටියේ නැත. තරඟ අතර වැඩිහිටි තරඟ ඉසව්වක් ද තිබුණි. දැන් ඇය සිතුවිලි සාගරයක ගිලී ගියේ ය. තමාට වසය 65ක් බව ද ඇයට සිහි විය. ඇය ඇවිදිනවා විනා කවරදාකවත් දිව්වේ නැත.

ඊළඟ දවසේ බාරමතී මැරතන් තරගය ආරම්භ වීමට නියමිතව තිබුණි. බොහෝ දෙනෙකු ඔවුන්ගේ ක්‍රීඩා සපත්තු, සුව පහසු කොට කලිසම් සහ ධාවන පථ ඇදුම්, දහඩිය උරා ගන්නා ටී ෂර්ට් හැඳ ජැන්ඩියට පැමිණ සිටියහ. ලතා බගවාන් කාරේ  වැඩිහිටි ඉසව්වට දිවීමට පැමිණියේ අවසාන මොහොතේ ය. ඇය ඉරී ගිය සාරියක් ඇඳගෙන, පැවහන් නැති දෙපයින් පැමිණි සිටියේ කඳුළු පිරි දෑසිනි. ඇය තරඟයට ලියා පදිංචි වී සිටියේ නැත. තමාට දිවීමට ඉඩ දෙන්නැයි ඇය සංවිධායකයින් සමඟ වාද විවාද කළා ය. ඇයට මැරතන් තරඟයට සහභාගී වීමට ඉඩ දීමට නොහැකි යැ යි ඔවුහු තද ස්ථාවරයක සිටියහ. පසුව ඇය ආයාචනා කළාය. අයැද සිටියා ය. කෙසේ හෝ අවසානයේ දී තමාට තරඟයට සහභාගීවීමට ඉඩ දීමට ඇය ඔවුන්ව පොළඹවා ගත්තා ය.

මැරතන් තරය ආරම්භ විය. ඇය සිය සාරිය ඇගේ වළලුකරට මදක් උඩින් සිටින සේ සකසා ගැට ගසා ගත්තා ය. ඇය දිව ගියේ හරියට මායාකාරියක් මෙනි. නැත්නම් 16 හැවිරිදි යෞවනියක මෙනි. දිවීම ගැන මිස ඇය වෙන කිසිවක් නොසිතුවා ය. ඇය දුටුවේ සිය පුරුෂයාගේ ජීවිතය තමා ඉදිරියෙන් එල්ලී ඇති සැටි ය. තෑගි මුදල සිය ඇස ඉදිරියෙන් ඇති සැටි ය. ඇයගේ දෙපා රිදවූ පාෂාණ හා ගල් කැට ගැන ඇය තැකීමක් කළේ නැත. ගල් වලට කැපී ලේ ගලන පාද වලින් ඇය දිවුවා ය. දිවුවා ය. නොනැවත එක හුස්මට ම දිව්වා ය.

මඟ දෙපස ජනයා පාවහන් නැති දෙපයින් පිම්මේ දුවන මේ කැහැටු ගැහැණියට ජය ඝෝෂා කළෝ ය. ඇය තබන සෑම පියවරකට ම අත්පොළසන් දෙන්නට වූහ. සිදුවිය නොහැක්කක් සිදුවෙමින් තිබුණි. ඇය දිවූ වීදිය පවා විකසිතව හිනැහෙන්නට වූවා ය.

කිසි දිනෙක තරඟයක් දිව නොතිබූ ලතා බග්වාන් කාරේ මැරතන් තරගයේ වැඩිහිටි ඉසව්වෙන් පළමුවැනියා විය. ඇය ත්‍යාග වූ ඉන්දියානු රුපියල් 5,000 දිනා ගත්තා ය. ඇයට එය ජීවිතයක් ලැබුණා හා සමාන විය. දැන් තම පුරුෂයා ප්‍රතිකාර නොලබා මිය නොයන බව ඇයට සහතිකයක් ලැබුණි.

ඇය ජයග්‍රාහී මුදල ලබා ගත් වහාම තම පුරුෂයාට නිසි ඔෘෂධ ලබා දීමට ඇය වග බලා ගත්තා ය. ඇය දිවූවා නොවේ. කළේ ආදරය පෙන්වීමකි. මහත් කැපවීමකි. ඇයට අවශ්‍ය වූයේ එක් දෙයක් ගැන පමණි. එනම් සිය පුරුෂයාට ප්‍රතිකාර ලබා දීමයි.

මේ තරඟය පැවැතියේ 2013 වසරේ දීය. ඇය ඉන් පසු තවත් තරඟ දෙකක් ජය ගත්තා ය. “මං හැමදාම උදේට ඇවිදින්න ගියා. ඒත් කවදාවත් දිව්වේ නැහැ. දුවන්න හිතුවේවත් නැහැ.පාවහන් නැතුව දුවන කොට චකිතයක් තිබුනා. මං කවදාවක් පාවහන් දාල නැහැ.  පාවහන් දැම්මොත් ලිස්සල යයි කියළ බයයි” යනුවෙන් ඇය පසුව මාධ්‍යවේදියකුට කියා තිබුණි.

ඇය ම ඇයගේ චරිතය රඟපාන සිනමා පටයක් ද 2020 බිහිව්ය. එය ඇයගේ ආත්ම කථනයකි.

ලතා බගවාන් කාරේ වනාහී කවර දුෂ්කර තත්වයක් යටතේ වුව බලාපොරොත්තු අත නොහැරීම පිළිබඳ ආදරවන්ත කතාවකි. එවැනි ආදරවන්ත කැපවීමක් ගැහැණියකගෙන් මිස අනෙකෙකුගෙන් ලැබෙනු ඇත්තේ අතිශය කලාතුරකිනි.

(BBCඅතුලු විදෙස් පුවත් විශේෂංග අසුරිණි. ඡායාරූප අන්තර් ජාලයෙනි)

Back to Top