Sri Lanka Brief
පුවත්2019 ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ Human Rights Watch වාර්තාව

2019 ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ Human Rights Watch වාර්තාව

by

හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) සංවිධානය මඟින් ලොව පුරා රටවල මානව හිමිකම් භාවිතය හා තත්වය පිළිබඳව වාර්ෂිකව එළිදැක්වෙන වාර්තාව මේ වසරේදීද “2020 ලෝක වාර්තාව” නමින් නිකුත් කොට තිබේ. ඒ අනුව මෙවර වාර්තාව හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් නිකුත් කොට ඇති 30 වන වාර්ෂික සමාලෝචනය බවට පත්වේ. මෙවර පිටු 652 කින් සමන්විත වෙළුම රටවල් 100 කට ආසන්න සංඛ්‍යාවක මානව හිමිකම් භාවිතයන් සහ ප්‍රවණතා සමාලෝචනය කොට තිබේ.

මෙවර වාර්තාවේ සිය මුඛ්‍ය හැඳින්වීමේදී හියුමන් රයිට්ස් වොච්හී විධායක අධ්‍යක්ෂ කෙනත් රෝත් පවසන්නේ බලයේ රැඳී සිටීම සඳහා මර්දනය මත රඳා පවතින චීන රජය දශක ගණනාවක් තුළ ගෝලීය මානව හිමිකම් පද්ධතියට වඩාත්ම දරුණු ප්‍රහාරයක් එල්ල කරන බවයි. බෙයිජිං හි ක්‍රියාවන් ලොව පුරා අත්තනෝමතික ඒකාධිපතිවාදීන්ගේ දිරිගැන්වීම් සහ සහාය ලබා ගන්නා අතර, චීන බලධාරීන් ඔවුන්ගේ ආර්ථික ශක්තිය වෙනත් රජයන්ගෙන් විවේචන වලක්වා ගැනීමට යොදා ගන්නා බවත්ය.

මෙය ඉතා වැදගත් කොට තැකිය යුතු කරුණකි. ශ්‍රී ලංකාවේ පැවති හා විශේෂයෙන්ම නැවත බලයට පත්ව ඇති රාජපක්ෂ ආණ්ඩුව නිරන්තරයෙන්ම චීනය සමඟ දැඩි මිත්ත්‍රත්වයක් පවත්වා ගෙන යනු ලබයි, ඊටත් වඩා ඔවුන්ගේ ආර්ථික බලය මත ණය සහ සහන ලෙස විශාල සංවර්ධනය ව්‍යාපෘති රැසක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් ඇති අතර රටේ භූමියට අයත් සුවිශේෂී කොටස් දිර්ඝ කාලීනව බද්දට දීමටත්, චීන රජයට විකුණා දැමීමත් ශ්‍රී ලංකාවේ පැවතී රජයන් කටයුතු කොට තිබේ.

පිටු තුනකින් සමන්විත ශ්‍රී ලංකා වාර්තාවට පදනම්ව ඇත්තේ 2019 වසරේදී ශ්‍රී ලංකාව තුළ සිදුවූ සිදුවීම් හා ඒවා විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වයට සිදු වී ඇති බලපෑම්ය. ඒ අනුව හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් “ශ්‍රී ලංකාව” සම්බන්ධව ඉදිරිපත් කොට ඇති සම්පුර්ණ සංක්ෂිත වාර්තාව මෙසේ විකල්ප විසින් සිංහලට පරිවර්තනය කරනු ලදුව පහතින් පළ කරමු.

ශ්‍රී ලංකාව

අප්‍රේල් මස 21, පාස්කු ඉරිදා දින, කොළඹ සහ තවත් නගර දෙකක කතෝලික පල්ලි සහ හෝටල්වලට එල්ල කරන ලද ඉස්ලාමීය මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ප්‍රහාරය හේතුවෙන් කාන්තාවන්, පිරිමින් සහ ඇතුලු ළමුන් 250 කට වැඩි පිරිසක් මිය ගිය අතර තවත් සිය ගණනක ප්‍රමානයක් තුවාල ලැබූහ. එයින් පසු එළඹී මාස හතර සඳහා රජය විසින් හදිසි තත්වය පනවන ලදී . ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිය ගණනක් දෙනා ඒ අනුව කිසිදු චෝදනාවකින් තොරව රඳවා ගනු ලැබීය. මුස්ලිම් විරෝධී මැරයන්, ඇතැම් තැන්හි ජාතිකවාදී දේශපාලන නායකයන් සමඟ ද සම්බන්ධ වී, අන්තවාදී බෞද්ධ භික්ෂූන්ගේද උසිගැන්වීම මත, මුස්ලිම්වරුන්ගේ දේපළවලට පහර දුන්හ. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යද ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් සහ ශ්‍රී ලංකාවට පැමිණ සිටින සරණාගතයින් අපකීර්තියට පත්කෙරෙන අකාරයකින් කටයුතු කිරීම නිසා ඔවුන් අවදානමකට ලක්විය.

නොවැම්බරයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස තේරී පත් විය. 2005-2015 දක්වා ඔහුගේ සොහොයුරා වන මහින්ද රාජපක්ෂගේ පරිපාලනයේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ලෙස මාධ්‍යවේදීන්ට සහ ක්‍රියාකාරීන්ට පහරදීම ඇතුලුව අපරාධ රැසකට ඔහුට චෝදනා එල්ල වී ඇති අතර, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබේ.

ජනවාර්ගික ගැටුමින් වින්දිත භාවයට පත් වූ දෙමළ ජාතික කණ්ඩායම් විසින් කළ මතක සැමරුම් සහ සිදු වූ ගැටුම් අතර තුර සිදු වූ උල්ලංඝනයන් ආමන්ත්‍රණය කිරීමට සහ ඒවාට සහන ලබා දීමට රජය අපොහොසත් වීමට එරෙහිව විරෝධතා දක්වමින් රජය සහ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය අතර වූ යුද්ධය අවසන් වී වසර 10 ක් ගතවීම සලකුණු කළහ.

අගෝස්තු මාසයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදා ප්‍රධානියා ලෙස පත් කළ අතර එය එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් විසින් “වින්දිතයින්ට කරන ලද අපහාසයක්” ලෙස විස්තර කරන ලදී. 2009 අවසන් සටනේදී ඔහු යුධ අපරාධ ගණනාවකට සම්බන්ධ වූ හමුදා අංශයකට අණ දෙන ලදී.

මරණීය දණ්ඩනය පිළිබඳ වසර 43 ක නිල නොවන තහනම අවසන් කර නැවත මරණ දඩුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති සිරිසේන ජුනි මාසයේදී නිවේදනය කළේය.

සමලිංගික, ද්වීලිංගික සහ සංක්‍රාන්ති ලිංගික (LGBT) පුද්ගලයින් වෙනස් කොට සැලකීමෙන් ආරක්ෂා කිරීමට එකඟත්වය පළ කරන ප්‍රකාශ කළද , සමලිංගික හැසිරීම අපරාධයක් බවට සඳහන් කරන දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 ඒ වගන්ති රජය විසින් අවලංගු නොකළේය.

සංක්‍රාන්ති යුක්තිය සහ ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ

මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මුති යෝජනාවට සහාය දුන් අතර, 2015 පෙර යෝජනාවක දක්වා ඇති ක්‍රියාමාර්ග රජය විසින් “සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස” ඉල්ලා සිටිමින් “කාලානුරූපීව ක්‍රියාත්මක කිරීමේ උපාය මාර්ගයක් අනුගමනය කිරීම” දිරිමත් කළේය. වසර 26 ක සිවිල් යුද්ධය තුළ සිදු වූ හිංසනයන් සඳහා යුක්තිය සහ වගවීම සඳහා වූ කැපවීම් ගණනාවක්, අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක්, වන්දි ගෙවීමේ කාර්යාලයක් හරහා සහ ජාත්‍යන්තර විමර්ශකයින්, නඩු පවරන්නන් සහ විනිසුරුවන් ඇතුලු ස්වාධීන වගවීමේ යාන්ත්‍රණයක් සැකසීම මෙයට ඇතුළත් විය.

2015 යෝජනාවලියෙන් පසු වැදගත් ආරම්භක වර්ධනයන් තිබියදීත්, කතා කිරීමේ නිදහස සහ සමාගමයේ නිදහසට දැඩි තහංචි ඉවත් කිරීම, උපදේශන පැවැත්වීම, හමුදාව සතුව තිබූ සමහර සිවිල් ඉඩම් නිදහස් කිරීම සහ ස්වාධීන රජයේ මානව හිමිකම් කොමිසමක් නැවත ස්ථාපිත කිරීම ඇතුලුව ඒවායේ ප්‍රගතිය සැලකිය යුතු ලෙස මන්දගාමී වී ඇත.

වන්දි ගෙවීමේ කාර්යාලයට අප්‍රේල් මාසයේදී කොමසාරිස්වරුන් පත් කරන ලදී. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) 2018 දී තම කාර්යයන් ආරම්භ කළ අතර, සිද්ධීන් 14,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ නමුත් ඔවුන් සිටින ස්ථානයන් සොයා ගැනීමේදී අත්කරගෙන ඇත්තේ සුළු ප්‍රගතියකි. බලහත්කාරයෙන් අතුරුදහන් වූ අයගේ ඥාතීන් විසින් OMP යට විරෝධය දක්වමින් එහි අධිකාරිත්වය සහ ස්වාධීනත්වය ප්‍රශ්න කළහ.

2006, ත්‍රිකුණාමලයේ දී ද්‍රවිඩ සිසුන් පස් දෙනෙකුට වෙඩි තැබීමේ චෝදනාවට ලක්වූ “ට්‍රින්කෝ ෆයිව් (Trinco Five) ” නමින් හැඳින්වෙන නඩුවේ පොලිස් නිලධාරීන් 13 දෙනාම “සාක්ෂි නොමැතිකම” හේතුවෙන් ජූලි මාසයේදී අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරන ලදී. 2006 මුත්තූර් හි දී ආධාර සේවකයින් 17 දෙනෙකු ඝාතනය කිරීම සහ 2009, කොළඹ දී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගේ ඝාතනය යන මේ දෙකම රජයේ ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධ වූවත්, ඒ සම්බන්ධව කිසිවෙකු අත්අඩංගුවට ගැනීමක් සිදු වී නැත.

2008 සිට 2009 දක්වා කාලය තුළ ද්‍රවිඩ තරුණ තරුණියන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 14 දෙනෙකු පොලීසිය විසින් හඳුනාගෙන තිබේ. හිටපු නාවික හමුදාපති, අද්මිරාල් වසන්ත කරන්නගොඩ ඇතුළුව ඒ සියලුම සැකකරුවන් නාවික නිලධාරීන් ය.

ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය කිරීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA ) අවලංගු කිරීම රජය විසින් ඉටු නොකරන ලද වෙනත් බැඳීම් වේ. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ප්‍රති ත්‍රස්ත පනතක් (CTA) කෙටුම්පත් කරන ලද නමුත් අපයෝජනයට පහසුකම් සපයන විධිවිධාන ද එහි අඩංගු වේ.

සුළු ජාතීන්ට සැලකීම

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් ඉක්බිතිව මුස්ලිම් විරෝධී මැරයන් විසින් එක් පුද්ගලයෙකු ඝාතනය කරන ලද අතර නිවාස හා ව්‍යාපාරවලට විශාල හානියක් සිදු කළහ . පාකිස්තානයේ සිට පීඩා විඳි අහමදියා ආගමික ප්‍රජාවේ සාමාජිකයින් සහ සරණාගතයින් සේම රැකවරණය පතා පැමිණි මුස්ලිම් සරණාගතයින් 1,100 ක් පමණ හිරිහැර හා තර්ජනයන්ට ලක් වූ අතර, ජනාකීර්ණ හා අපිරිසිදු තාවකාලික සරණාගත කඳවුරුවල රැකවරණය ලබා ගැනීමට ඔවුන්ට සිදුවිය.

මීට පෙර 2018 දී මහනුවර දිස්ත්‍රික්කයෙදී පවා මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රහාර ඉලක්ක කර තිබියදීත්, රජය අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් ප්‍රමාණවත් ලෙස ආරක්ෂා කිරීමට, ප්‍රහාරකයින්ට එරෙහිව නඩු පැවරීමට හෝ දරුණු මුස්ලිම් විරෝධී වෛරී ප්‍රකාශනයන්ට ප්‍රමාණවත් ලෙස පියවර ගත්තේ නැත.

අධිකරණයට ​​අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් නියමව සිටි ප්‍රකට භික්ෂුවක් හා සටන්කාමී මුස්ලිම් විරෝධී සංවිධානයක නායකයෙකු වූ ඥානසාර හිමියන්ට ජනාධිපති සිරිසේන විසින් මැයි මාසයේදී ජනාධිපති සමාව දුන්නේය.

ද්‍රවිඩයන්, විශේෂයෙන් උතුරු පළාතේ, දිගින් දිගටම හිරිහැර හා දැඩි ආවේක්ෂණයන්ට (intrusive Surveillance) මුහුණ දුන්හ.

මානව හිමිකම් ආරක්ෂකයින්

විශේෂයෙන් රටේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ක්‍රියාකාරීන් සහ සිවිල් සමාජ සාමාජිකයින්, වැඩි වශයෙන් ආවේක්ෂණ හා හිරිහැරවලට ලක් විය. සාමකාමී එක්රැස්වීමේ සහ සමාගමයේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ක්ලෙමන්ට් නයිලෙට්සෝසි වවුලේ (Clément Nyaletsossi Voulé)මේ පිලිබඳ වූ අත්‍යවශ්‍ය නොවන පරිදි සිදු වී ඇති අයිතිවාසිකම් සීමා කිරීම් වාර්තා කළේය.

යුද්ධයේ දී බලහත්කාරයෙන් අතුරුදහන් වූ ඇතැම් පුද්ගලයින්ගේ පවුල් වල ඥාතීන් හමුදා සාමාජිකයින් විසින් බිය ගැන්වීම් වාර්තා විය. දෙමළ අනුස්මරණ උත්සව සඳහාද හමුදාව විසින් බාධා කිරීම් සිදු කොට තිබුණි. මැයි මාසයේදී, අම්පාරේ දී අතුරුදහන් වූවන්ගේ පවුල් සිහිපත් කිරීමේ උත්සවයකට සහභාගී වී තිබු අතර හමුදා සෙබළුන් පැමිණ එහි තිබු බැනර් සහ සැරසිලි විනාශ කිරීම හෝ ඉවත් කිරීමත්, සහභාගී වූවන් අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කිරීමත් කොට තිබුණි.

විශේෂයෙන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල LGBT අයිතිවාසිකම්, අතුරුදහන් කිරීම්, ඉඩම් අයිතිවාසිකම් සහ පශ්චාත් ගැටුම් ප්‍රතිසංහිදියාව ඇතුලු විෂයයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට යෝජනා කරන සංගම් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලද අතර ඒවා හදිසි සෝදිසි කිරීම් හා බිය ගැන්වීම් වලට භාජනය වී තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මෙම ගැටලුව උග්‍ර වූ බව ක්‍රියාකාරීන් පැවසු බව වවුලේගේ වාර්තාව තුළ මතු කොට තිබේ .

කාන්තා හා ගැහැණු ළමයින්ගේ අයිතිවාසිකම්

1951 මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමට රජය එකඟ විය. ක්‍රියාකාරීන් පවසා සිටියේ සංශෝධිත නීතියෙන් විවාහ වන අවම වයස සීමාව අවුරුදු 18 ක් විය යුතු අතර ව්‍යතිරේකයකින් තොරව කාන්තාවන්ට විවාහ වීමට භාරකරුගේ අවසරය ලබා ගත යුතු නැති බවට එය සංශෝධනය විය යුතු බවයි. වයස අවුරුදු 12 ට වැඩි විවාහක මුස්ලිම් ගැහැණු ළමයින් දූෂණය කිරීම සඳහා වූ දඬුවමින් නිදහස් කිරීම ඉවත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටි අතර, දැනට කාන්තා විනිසුරුවරුන් නොමැති කාති අධිකරණවල ක්‍රියාකාරිත්වය ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා සිටියහ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව, මුහුණු ආවරණ තහනම් කිරීමට රජය නියෝගයක් නිකුත් කළේය. විශේෂයෙන් ඇතැම් මුස්ලිම් කාන්තාවන් විසින් පැළඳ සිටින මුහුණු අවාරණය ඊට අයත්ය. මෙම නියෝගයෙන් පසුව, හිස් වැසුම් සහ අබායා වැනි වෙනත් ඇඳුම් ඇඳ සිටින මුස්ලිම් කාන්තාවන්ටද තම රැකියා ස්ථානයේදී සහ පොදු ස්ථානවලදී හිරිහැරවලට මුහුණ දීමට සිදු වූ අතර ඇතැමුන්ට පාසල්, රෝහල් සහ විශ්වවිද්‍යාල වැනි පොදු ස්ථාන සඳහා ප්‍රවේශයද අහිමි විය.

මරණ දණ්ඩනය

මරණ දණ්ඩනය නියම වූවන්ට එය ක්‍රියාත්මක කිරීමට නැවත ආරම්භ කිරීමට ජනාධිපති සිරිසේන ගත් තීරණය විශාල පසුබෑමක් විය. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ සිරකරුවන් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය නියම කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා තිබේ.

ප්‍රධාන ජාත්‍යන්තර භුම්කා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව විසින් තම මානව හිමිකම් බැඳීම් ක්‍රියාවට නැංවීමට අපොහොසත් වීම දැඩි ලෙස විවේචනය කළ අතර, “ අඛණ්ඩව දණ්ඩ මුක්තිය නිමා නොකිරීම වාර්ගික හෝ අන්තර් වාර්ගික ප්‍රචණ්ඩත්වයට හා අස්ථාවරභාවයට හේතු වේ” යනුවෙන් අනතුරු ඇඟවීය. ශ්‍රී ලංකා හමුදාවන්හි ප්‍රධානියා ලෙස ජෙනරාල් සිල්වා පත් කිරීම හේතුකොටගෙන අත්‍යවශ්‍ය නොවන ශ්‍රී ලාංකික හමුදා සාම සාධක භටයන් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත අනියුක්ත කිරීම අත්හිටුවා තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව ඉදිරිපත් කරන ප්‍රධාන කණ්ඩායම (කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ සහ එක්සත් රාජධානිය) ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ තම බැඳීම් සපුරාලීම සඳහා “ජාතික සමගිය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ” යන අත්‍යවශ්‍ය අභිලාෂ මුදුන් පමුණුවා ගැනීම සඳහා පැහැදිලි කාල රාමුවක් සකස් කරන ලෙසයි.

එක්සත් ජනපදය, ඉන්දියාව සහ යුරෝපීය රජයන් සමඟ ශ්‍රී ලංකාවට මිලිටරි හා ආරක්ෂක සහයෝගීතාවයක් ඇතත්, ජෙනරාල් සිල්වාගේ පත්වීමෙන් පසු මෙය සීමා කරන බවට එක්සත් ජනපදය අනතුරු ඇඟවා තිබේ. GSP + යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව යුරෝපා සංගමය සමඟ වෙළඳාම් කිරීම හරහා මානව හිමිකම් සහ ශ්‍රම ප්‍රමිතීන්ට වඩා හොඳ වෙළඳපළ ප්‍රවේශයක් සම්බන්ධ කොට තිබේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා අයිතිවාසිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන්, යුරෝපා සංගමයද, අනෙකුත් විදේශීය හවුල්කරුවන් මෙන්ම නිහඬ පිළිවෙතක් අනුගමනය කොට තිබේ.

ශ්‍රී ලංකාව වෙත නිර්මාණය වෙමින් ඇති ණය බර පිළිබඳ කනස්සල්ලට කරුණක් වුවද, චීනයේ “Belt and Road” ක්‍රියාවලියට ශ්‍රී ලංකාව සහභාගිව සිටියි. උදාහරණයක් ලෙස දැනටමත් ශ්‍රී ලංකාව දක්ෂිණ හම්බන්තොට වරාය සම්බන්ධව ගතහොත් අනු නම අවුරුද්දක පාලනයක් සඳහා චීනයට ලබා දී තිබේ.

(-විකල්ප)

Back to Top