Sri Lanka Brief
පුවත්විවරණස්විස් තානාපති සේවිකාව පැහැරගැනීමේ චෝදනාව: ආන්ඩුවේ සහ මාධ්‍යයන්හි ප්‍රචාරයන්ගෙන් වැදගත් ප්‍රශ්න යට ගැසෙයි – සමන් ගුනදාස

ස්විස් තානාපති සේවිකාව පැහැරගැනීමේ චෝදනාව: ආන්ඩුවේ සහ මාධ්‍යයන්හි ප්‍රචාරයන්ගෙන් වැදගත් ප්‍රශ්න යට ගැසෙයි – සමන් ගුනදාස

by

ශ්‍රී ලංකාවේ හා ස්විට්සර්ලන්තයේ ආන්ඩු අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ලෙසට වර්ධනය වූ කොලඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සහකාර ආගමන විගමන නිලධාරී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් පැහැරගෙන යාමේ චෝදනාව, දෙරට අතර මතුපිට මට්ටමින් රාජ්‍ය තාන්ත්‍රික ලෙස “‍සමථයකට”‍ පත් කර ගැනීමේ උත්සාහයක් ප්‍රකාශයට පත්වී තිබේ.

පොලිස් පරීක්ෂන මධ්‍යයේ අත්අඩංගුවට ගැනුනු එම සේවිකාව සති දෙකකට පමන පසුව ඇප මත නිදහස් කිරීම ගැන ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය ජනවාරි පලවනදා නිකුත් කල ට්විටර් පනිවිඩයකින් ලංකාවට ප්‍රශංසාව පල කල ද මුලින්ම ඉදිරිපත් කල පැහැර ගැනීමේ චෝදනාව එලෙසම පවතී. ඉහත පනිවිඩයේ සඳහන් නොවුනද, සිය සේවිකාවගේ ආරක්ෂාව වෙනුවෙන් ස්විට්සර්ලන්ත රජය දිගට ම පෙනී සිටින බවට එහි අන්‍ය ප්‍රකාශයන්ගෙන් පැහැදිලි වෙයි.

පැහැර ගෙන යාම පිලිබඳව එල්ල කෙරුනු චෝදනාව ගැන විධිමත් පරීක්ෂනයක් පැවැත්වීමටත් පෙරාතුව එය අසත්‍යයක් යයි ප්‍රකාශයට පත් කිරීමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආන්ඩුවේ ඉහල නායකයන්ගේ ඉදිරිපත් වීම, සිද්ධිය ගැන මොනම සොයා බැලීමක්වත් නොමැති ව ලංකාවේ ජනමාධ්‍ය ආන්ඩුවේ හා පොලිසියේ ප්‍රකාශ හුවා දක්වමින් ගෙනගිය ප්‍රචාරය, පොලීසියේ ක්‍රියා කලාපය හා අවසානයේ සමථයක මවාපෑම අතිශයින්ම සැක කටයුතු ය.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නොවැම්බර් 27 දින ඉදිරිපත් කල පැමිනිල්ලට අනුව නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් මෝටර් රථයකට නැගීමට අනවා තම සේවිකාවට බරපතල ලෙස තර්ජනය කරමින් තානාපති කාර්යාලයට අදාල තොරතුරු හෙලි කිරීමට ඇයට බලකර ඇත.

පැහැරගත්තවුන් තමන්ට ලිංගික හිරිහැර කල බවත්, මෙම සිදුවීමට දිනකට පෙර අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ (සීඅයිඩී) ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාට සහ ඔහුගේ පවුලේ අයට ලබා දී ඇති වීසා බලපත්‍ර සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රශ්න කල බවත් ෆ්‍රැන්සිස් කියා සිටියා ය. මෑතකදී ස්විට්සර්ලන්තයේ රැකවරන ඉල්ලා සිටි ශ්‍රී ලාංකිකයන්ගේ නම් හෙලි කිරීමට ඇයට ජංගම දුරකථනය විවෘත කිරීමට බල කෙරුනු බව ද වාර්තා විය.

මෙම සිදුවීමට දිනකට පෙර 2005-2014 මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ අපරාධ සම්බන්ධයෙන් ඉහල පෙලේ නඩු විභාග කරමින් සිටි අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ස්විට්සර්ලන්තයේ රහසින් රැකවරන ලබාගත් බව ප්‍රකාශිත ය. ද සිල්වා යනු, එම ආන්ඩුව සමයේ සිදුවූ රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනය, උතුරු නැගෙනහිර යුද්ධය රුදුරු ලෙස දියත් වෙද්දී සිසුන් ඇතුලු‍ තරුනයන් 11 දෙනෙකු මරා දැමීම (මේ සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් කීප දෙනෙකු චෝදනා ලබා සිටී), සන්ඬේ ලීඩර් කර්තෲ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම පිලිබඳ සිද්ධීන් පිලිබඳව දිගු කලක් විභාග කල ප්‍රධාන පෙලේ පොලිස් නිලධාරියෙකි.

ආන්ඩුව සිල්වාගේ පලායාම පිලිබඳව විවෘතවම කෝපයට පත් විය. ජනාධිපති රාජපක්ෂ රහස් පොලීසියේ නිලධාරීන් 704 දෙනෙකුට විදේශගත වීම වහාම තහනම් කලේය.

පොලිස් පරීක්ෂක සිල්වා අත තිබේයැයි සැකකෙරෙන රහස් පරීක්ෂන තොරතුරු ගැන ආන්ඩුව බියපත්වීම පුදුමයට කරුනක් නොවේ. එවන් අපරාධවලට තමන් හෝ චෝදනා ලැබසිටින මිලිටරියේ නිලධාරින් මොනම ආකාරයකින් වත් සම්බන්ධයක් නැතැයි ද එම චෝදනා හුදෙක්ම දේශපාලන දඩයමක කොටසක් යයිද ආන්ඩුව කියා සිටී.

ඇමරිකාව හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලයන් සිය භූදේශපාලන උවමනාවන් සඳහා මහින්දගේ පාලනයට විරුද්ධව මානව හිමිකම් උල්ලංඝනය කුහක ලෙස යොදාගත් සැටි වත්මන් රාජපක්ෂගේ ආන්ඩුව හොඳින් දනී. වොෂින්ටනය මහින්දගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට හා යුද්ධයට මුලසිට සහාය දුන්නේය. එහෙත් ඔහු මුල්‍ය හා මිලිටරි ආධාර පතා බෙයිජිනයට නැඹුරුවීමෙන් චීනය කොලඹ පාලනය මත බලපෑම වැඩි දියුනු කර ගැනීම ගැන වොෂින්ටනය විරුද්ධ විය.

චීනයෙන් දුරස්ථ වන ලෙස මහින්ද ගේ ආන්ඩුවට බලපෑම් දැමීම සඳහා මානව හිමිකම් උල්ලංඝනය ගැන එජා මානව අයිතීන් පිලිබඳ සංවිධානයට යෝජනා ඉදිරිපත්කරමින් සිටි වොෂින්ටනය, අවසානයේ ඔහු බලයෙන් ඉවත් කොට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බලයට ගෙන ඒමට තන්ත්‍රමාරු මෙහෙයුමක යෙදුනේ ය.

අධිරාජ්‍යවාදී බලයන්, අවශ්‍ය වුවහොත් යලි ව්‍යාජලෙස පසුගිය යුද අපරාධ ඇතුලු‍ මානව අයිතීන් උල්ලංඝනය යොදාගැනීමේ හැකියාව ගැන රාජපක්ෂ ආන්ඩුව සැලෙමින් සිටින බව නිසැක ය.

ස්විස් තානාපති කාර්යාලය විසින් ගානියා ෆ්‍රැන්සිස් වෛද්‍යාධාර සඳහා ස්විට්සර්ලන්තයට යැවීමට කල ඉල්ලීම ප්‍රතික්ෂේප කල ආන්ඩුව ඇය ශ්‍රී ලංකා නීතියට යටත් බව අවධාරනය කරමින් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ පරීක්ෂනයකට ලක් කර ගත්තේය. ස්විස් තානාපති කාර්යාලය සිය සේවිකාවගේ සෞඛ්‍ය තත්වය පිලිබඳව සැලකිලිමත් වන ලෙස පුන පුනා කල ඉල්ලීම් තිබියදී දින තුනක් තුල දිවා රාත්‍රී පැය 30 ක ප්‍රකාශ සටහන් කර ගැනිනි.

ඇයගේ ශාරීරික හා මානසික තත්වය පිලිබඳ හෝ ලිංගික අතවර වලට ලක් කිරීම ගැන වෛද්‍ය කන්ඩායම් විසින් කරන ලදැයි කියන කිසිදු පරීක්ෂන වාර්තාවක් බලධාරීන් විසින් මාධ්‍ය වෙත නිකුත් කර නැත. ෆ්‍රැන්සිස් විසින් දෙනලද ප්‍රකාශ පරස්පර විරෝධී බව පොලිසිය ප්‍රකාශ කල අතර ආන්ඩුව අපහසුතාවට පත්කිරීමට අසත්‍ය තොරතුරු ගොතා ඇතැයි නිගමනය කල නීතිපති ඇය සිරභාරයට ගැනීමට නියෝගයක් ලබා ගත්තේ ය. පසුව ඇය ඇපමත මුදා හැරුනේ දැඩි කොන්දේසිවලට යටත් කරමිනි.

ඇයගේ නීතීඥ උපුල් කුමරප්පෙරුම අධිකරනයේ ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් පොලිසියේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරතිබේ. කුමරප්පෙරුම අධිකරනයට කියා සිටියේ චෝදනාවට ලක්වූ තැනැත්තිය වෙනුවෙන් පෙනී සිටින බැවින් තමන් බිය ගැන්වීමේ ව්‍යාපාරයක් දියත්වූ බවයි. වින්දිතයා අපකීර්තියට පත් කරමින් ඇතැම් අසත්‍ය තොරතුරු නිකුත් කර ඇති බවත් වින්දිතයාගේ සේවා යෝජකයා වන ස්විස් තානාපති කාර්යාලයට සහ එහි කාර්ය මන්ඩලයට එරෙහිව ද වැරදි තොරතුරු ඉදිරිපත් කර ඇති බව ඔහු පැවසීය.

සත්‍යය කුමක් ද යන්න සෙවීමට පෙරම දියත්වූ අනෙක් ව්‍යායාමය වූයේ සිද්ධිය ගෙතූ අසත්‍යයක් බවට ප්‍රචාරය ඉහලම මට්ටම් වලින් ඇරඹීමයි. ස්විස් තානාපති කාර්යාලයේ පැමිනිල්ලෙන් දින දෙකකට පසුව එනම් නොවැම්බර් 28 වන දින කිසිදු විමර්ශනයක් පැවැත්වීමට පෙරාතුවම අගමැති මහින්ද රාජපක්ෂ මාධ්‍යයට පැවසුවේ “‍මෙය අපේ ආන්ඩුව අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රනයක කොටසක් විය හැකි යැයි මම සැක කරමි”‍ යනුවෙනි. දැන් වනවිට මාධ්‍ය ඇතුලු‍ සංස්ථාපිතය විසින් චිත්‍රනය කරනු ලැබ ඇත්තේ මෙයයි.

“‍සුදු වෑන්”‍ (පැහැරගැනීම් ඇඟවුම් කරමින්) නැවත ක්‍රියාත්මක වන බවට චෝදනා කිරීමට මෙම සිද්ධිය යොදා ගෙන ඇති බැවින් එහි සැබෑ ගොදුර වන්නේ තමා බව දෙසැම්බර් 19 දා මාධ්‍ය ප්‍රධානීන් අමතා ගෝඨාභය රාජපක්ෂ පැවසීය. ඔහු මෙසේ කීය: “එය සම්පූර්නයෙන්ම ගොතන ලද්දක් බව පැහැදිලි ය. ඇය එසේ කලේ ඇයි දැයි මම නොදනිමි.”‍

රාජපක්ෂම පිලිගන්නා පරිදි, මෙතරම් රාජ්‍ය තාන්ත්‍රිකව බලපාන මට්ටමේ පැහැරගැනීමක් සිදුවූ බවට කතාවක් ගෙතීමට ෆ්‍රැන්සිස් ට ඇති අභිප්‍රාය හෙලි කිරීමට හෝ එසේ නම් සමස්ත කාරනාවම පිටුපස සිටින කුමන්ත්‍රනකරුවන් හෙලි කිරීමට කිසිවෙකු සමත් ව නැත!

මෙම සිදුවීම ප්‍රබන්ධයක් ලෙස හංවඩු ගැසීමටත් එය ආන්ඩුව අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රනයක් ලෙස පෙන්වා දීමටත් රාජපක්ෂ ආන්ඩුවට පැවති අවශ්‍යතාවයට සේවය කිරීමට දේශීය මාධ්‍ය සංස්ථාපිතය නොපිරිහෙලා ඉදිරිපත් විය. ලංකාවේ ජනමාධ්‍ය ජාත්‍යන්තර මාධ්‍යයන්ට ද ආදර්ශයක් වන සේ ක්‍රියා කර ඇතැයි ජනාධිපති රාජපක්ෂ ප්‍රසංශා කලේ නිකමට නොවේ.

ලොව පුරා ආන්ඩු වල අභිචෝදකයන් බොහෝ දෙනෙකු මෙන්, ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු වල අභිචෝදකයන් ඒවායේ අවශ්‍යතාවන් උදෙසා නඩු හැසිරවීමේ දක්ෂතාවයෙන්ද, කරුනු සහ සාක්ෂි සැඟවීමට නොහැකි නම්, නඩු නොනවත්වාම ඇදගෙන යාමට සැලැස්වීමේ හා අවසානයේ අතහැර දැමීමේ හැකියාවෙන් ද යුක්ත බව රහසක් නොවේ. දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි වාර්ගික යුද්ධයේදී හා ඉන් පසුව අපරාධ සැඟවීමට මෙම ක්‍රම ලංකාව තුල යොදාගෙන ඇත.

මෙවන් නඩු අතර කැපී පෙනෙන දෙකක් වනුයේ, 2006 ත්‍රිකුනාමලයේදී තරුනයින් පස් දෙනෙකු ඝාතනය කිරීම හා පැරිස් හි පදනම් වූ ඇක්ශන් කොන්ට්රේ ලා ෆෙම් හි (කුසගින්නට එරෙහි ක්‍රියාකාරී සංවිධානය) ලංකාවේ කාර්ය මන්ඩලයේ 17 දෙනෙකු ඝාතනය කිරීම යි. ලංකාවේ බන්ධනාගාර වල කිසිවිටෙකත් කිසිදු අපරාධයකට චෝදනා ගොනුකර නොමැති දෙමල රැඳවියන් විශාල සංඛ්‍යාවක් සිටිති. තාජුඩීන් මරනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තරුනයන් 11ක් පැහැරගෙන යාම, එක්නැලිගොඩ අතුරුදහන් වීම ආදී චෝදනා ගෙතූ ඒවා ලෙස කන පිට පෙරලීම ඇරඹී තිබේ.

ඒවා විභාග කල සිල්වා හා පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර දේශපාලන උවමනාවන්ට අනුව මෙහෙයවුනු බවට හා නීති විරෝධීව ක්‍රියා කල බවට ප්‍රචාරය උත්සන්න වී ඇත. ලංකාවේ පොලිසිය පාලනයේ මුදුනන්ට අවශ්‍ය පරිදි චෝදනා වල දැමූ බව, ගෙතූ බව, යලි ගොඩගත් බව, අවශ්‍යනම් යලි වල දැමූ බව දැන් සහ ඉදිරියටද කරන බව සිතන මතන කම්කරුවන්ට තරුනයන්ට අමුතුවෙන් කිව යුතු නැත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ආන්ඩුව බලයට පැමිනියේ එවන් අපරාධකරුවන් සොයා ඔවුන්ට දඬුවම් දෙන බව ප්‍රකාශ කරමිනි. පාලක පන්තියේ තවත් කන්ඩායමක් නියෝජනය කල එම අධිරාජ්‍ය ගැති ආන්ඩුව එම පොරොන්දු යට ගැසීමට කල හැකි සියල්ල කලේය. එය පෙර පැවති ආන්ඩුවල ජුගුප්සාජනක ක්‍රියාවල තවත් ඉහලකි.

ෆ්‍රැන්සිස් පැහැරගැනීම ඇත්තෙන්ම සිදුවූයේ ද? රාජ්‍ය ඔත්තු කල්ලියක් එය සිදුකර වැරදී ගියපසු එය වහංගු කිරීමේ ව්‍යායාමය දියත් වූයේද? යන ප්‍රශ්න ඉතිරිව පවතී. ලංකාවේ කුනුවී ගිය පන්ති පාලනය තුල මෙම ප්‍රශ්නවලට පිලිතුරු ලබාගත නොහැක.

ඔත්තු බැලීම පිලිබඳ එක්සත් ජනපද කුරිරු නීතිය යටතේ නඩු පැවරීම සඳහා එක්සත් ජනපදයට උදර්පනය කිරීමට නියමිතව වර්තමානයේ එක්සත් රාජධානියේ බෙල්මාශ් බන්ධනාගාරයේ සිරකර සිටින එක්සත් ජනපද යුද අපරාධ හෙලි කල ධෛර්ය සම්පන්න මාධ්‍යවේදියෙකු වන ජූලියන් අසාන්ජ් ට එරෙහි ස්වීඩන් අධිචෝදකයින් විසින් ගොතන ලද ස්ත්‍රී දූෂන නඩුව ජාත්‍යන්තර තලයේ අභිචෝදකයන්ගේ හැසිරීම පිලිබඳ මෑතම සිද්ධියකි. 2010 සිට 2019 දක්වා කිසිදු පදනමක් නොමැතිව අසාන්ජ් ට එරෙහි මෙම චෝදනාව එල්ල කල ද කිසිදු නඩුවක් ගොනු නොකෙරිනි. ලොව පුරා අසාන්ජ් ආරක්ෂා කිරීම සඳහා වැඩෙන සහයෝගය සීමා කිරීම සඳහා එය භාවිතා කරන ලද අතර අවසානයේ ස්වීඩන් අභිචෝදකයන් නිවේදනය කලේ මෙම නඩුව ඉවත දමන ලද බවයි.

එක් ඉන්දියානු මාධ්‍යකරුවෙක්, රාජපක්ෂ සිය ජනාධිපතිවරන උද්ඝෝෂනය අරඹා පැවැත්වූ ප්‍රථම පුවත්පත් සාකච්ඡාවේදි ඔහුට එල්ල වී ඇති අතීත චෝදනාවන් පිලිබඳව නොනවත්වා ප්‍රශ්න නැගුවේය. රාජපක්ෂ මෙසේ උත්තර දුන්නේය: “‍ඔබලා ප්‍රශ්න කරන්නේ අතීතය ගැනයි. මම තරඟ කරන්නේ අනාගත ජනාධිපති වීමටයි. අනාගතයේ මම කරන්නේ මොනවා දැයි අහන්න.”‍

මිලිටරිය මත වාරුවී, සිංහල බෞද්ධ වර්ගවාදීන්ගේ පිටුබලය ලබමින් සටන්කාමි කම්කරුවන් මඩින ඒකාධිපති පාලනයකට මාරුවීමට සූදානම්වන රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ තන්ත්‍රයට තමන් වාරුවන සන්නද්ධ හමුදා හා ඔත්තු සේවා වලට නිදැල්ලේ කටයුතු කිරීමට ඉඩදීම අවශ්‍ය ය.

(WSWS)

Back to Top