Sri Lanka Brief
පුවත්විවරණසහස්‍ර අභියෝගතාවේ වංක අරමුණු හා කුහක තර්ක -ධනුෂ්ක සිල්වා

සහස්‍ර අභියෝගතාවේ වංක අරමුණු හා කුහක තර්ක -ධනුෂ්ක සිල්වා

by

සහස්‍ර අභියෝගතා ගිවිසුමෙන් (Millennium Challenge Compact)  ඇමරිකන් ඩොලර් බිලියන හාගයක සංවර්ධන ආධාරයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට යෝජනා වී තිබේ. ගිවිසුමේ අරමුණු ලංකාවේ ආර්ථික සමෘද්ධිය ඇතිකිරීම යැයි සදහන් කර තිබේ. ගිවිසුමේ විස්තර වාක්‍ය මෙසේය: “ගිවිසුමේ පාර්ශවයන් අතර හුවමාරු කරගැනීමට අපේක්ෂිත අරමුණු මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමට බලාපොරොත්තු වේ󠇯. මෙහිදී මිලේනියම් චැලේන්ජ් සමායතනය මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ යහපාලනය, ආර්ථික නිදහස හා ආයෝජන ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.” ඒ අනුව ගිවිසුමේ මුඛ්‍ය අරමුණු ලංකාවේ ආර්ථික තත්වය උසස් කිරීමයි!

සාමාන්‍යයෙන් මේ සා විශාල මුදලක් ඇමරිකාව වැනි රටක් වෙනත් රටකට ආර්ථික සමෘද්ධිය ඇතිකිරීම වැනි ශුද්ධ අරමුණකින් ප්‍රදානය නොකරන බව සාමාන්‍ය දැනීමක් ඇති ඕනෑම කෙනෙකුට වැටහෙයි. එහෙත් සාමාන්‍යයෙන් අපට වැටහෙන දෙයට ප්‍රතිවිරුධ දෙය ලොව සිදුවෙමින් පවතී. එසේ සිදුවන්නේ දෙනු ලබන මුදල් ප්‍රදානයක් සීමාකාරී හෝ ව්‍යංග කොන්දේසිවලට යටත් කිරීමෙනි. එම කොන්දේසි අසද්භාවී අරමුණු මාලාවකින් වටකර තිබෙනු ඇත.

2010 වසරේ සිට මෙරට ක්‍රියාත්මක වන විවිධ සංවර්ධන ව්‍යාපෘති සදහා මහජන චීනය විවිධ අවස්ථා වලදී ණය හා ආධාර වශයෙන් ඇ. ඩො. බි. 2.5ක් මෙරටට ලබාදී තිබේ. ණය ලබාදීම යනු මිලිටරි බලය යොදා දියත් කළ සම්ප්‍රදායික යටත්විජිතකර්ණ ව්‍යාපෘතිය නූතන ලෝකයට ගැළපෙන සදාචාරවත් ආකෘතියකට කල්පවත්වා ගැනීමට කෲර ධනපති රාජ්‍යයන් (Crony Capitalist States) අනුගමනය කරන සූක්ෂ්ම ප්‍රතිපත්තියකි. ණය ලබාදීම හා විවිධ ප්‍රමාණයේ සංවර්ධන ව්‍යාපෘති සදහා තාක්ෂණික දායකත්වය සපයමින් චීනය මෙරට තුළ පවත්වාගෙන යන ආර්ථික ආධිපත්‍ය යම් තරමකට තනුක කිරීමට ඇමරිකාවට අවශ්‍යය. එසේම ආසියාව, අප්‍රිකාව, මැද පෙරදිග හා යුරෝපය යා කරමින් 2013 වසරේ සිට ක්‍රියාත්මක කරමින් සිටින One Road-One Belt ව්‍යාපෘතිය හරහා චීනය ප්‍රබල ආර්ථික ප්‍රාග්ධනයක් උපයාගනිමින් සිටී.

අනෙක් අතට සිය ආර්ථික යටත් විජිත නඩත්තු කිරීම උදෙසා චීනයත් ඇමරිකාවත් කලක සිට එළිපිටට නොපෙනෙන ප්‍රතියුක්ත යුද්ධයක (Proxy War) යෙදී සිටී. වෙනත් රටවල් විවිධ උපක්‍රම මගින් සිය වසගයට ගනිමින් එමගින් ප්‍රතිමල්ලවයා කෙරෙහි යම් සංකේතීය ආධිපත්‍යයක් මුදාහැරීම මෙවැනි යුද්ධයක ස්වභාවයයි. දළුලමින් වැඩෙන චීන ආර්ථික ආධිපත්‍ය ඇමරිකාවට අභියෝගයකි. සිය ප්‍රතිමල්ලවයා මෙල්ල කිරීමට ඇමරිකාව විසින් විවිධ මාදිලියේ උපක්‍රම අනුගමන කරයි. ඒ අතර ණය ආධාර ලබාදීම, තාක්ෂණික ඥාන පරිත්‍යාගය හා බටහිර ප්‍රජාතන්ත්‍රවාදය නඩත්තු කිරීම වැනි උපක්‍රම තිබේ. ඉහතින් දක්වා තිබෙන ගිවිසුමේ විස්තර වගන්තිය නැවත හැරී බලන විට සහස්‍ර අභියෝගතා ගිවිසුම යනු එවැනි උපක්‍රමික ගිවිසුමක් බව පෙනේ. යහපාලනය, ආර්ථික නිදහස වැනි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වංක අරමුණු සදහා ක්‍රියාවේ යොදවමින් වෙනත් වෙනත් අරමුණු වෙත ළගාවීමට එයින් උත්සහ කරන බව පැනේ.

වංක අරමුණු

ඵජජ ගිවිසුමේ අරමුණු වගන්තියේ අනුවගන්ති ගැන විමසිලිමත් වීමේදී එය ප්‍රධාන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව දක්වයි. ඉන් පළමුවැන්න ක්‍රියාකාරී යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියයි. දෙවැන්න මෙරට ඉඩම්වල නෛතික හිමිකාරීත්වය ලබාගැනීමෙන් සම්පූර්ණ කෙරෙන ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යි. පළමු ව්‍යාපෘතියෙන් මූලික වශයෙන් සිදුකෙරෙන්නේ කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා අධිවේගී මාර්ගයක් නිර්මාණය කිරීමයි. බලයට පත්වීමට කළින් මෙම ආණ්ඩුවේ ක්‍රියාකාරී කොටස් මෙම මාර්ගය “මිලිටරි ‌කොරිඩෝවක්” ලෙස හැදින්වීය. මෙම අධිවේගී මාර්ග කලාපය තුළ ඇමරිකන් හමුදා ක්‍රියාකාරකම් සදහා සුවිශේෂ වරප්‍රසාද හිමිවේ. මේ අනුව හිටපු රාජ්‍ය තාන්ත්‍ර නිළධාරිනී තමාරා කුනනායගම් සදහන් කරන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ප්‍රධානව සමස්ත ගිවිසුම ජාත්‍යන්තර නීතියටත් ලංකාවේ ස්වාධිපත්‍ය සංකල්පයටත් දැඩි බලපෑමක් ඇති කිරීමට හැකි බවයි.

ණය අධාර හෝ ගිවිසුම් මාදිලියෙන් මෙරටට පැමිණෙන සියලු නව යටත්විජිත ධාරාවන් පිළිබද සැළකිළිමත් විය යුතු අතර මේ මොහොතේ ඇමරිකන් Mcc කුරුමාන පිළිබද වැඩිමනක් විමසිලිමත් විය යුතුය. පසුගිය යහපාලන රජය ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සූදානම්ව සිටියේය. මෙරට යම් නිශ්චිත සිදුවීම්වලදී ඇමරිකානු හමුදා කාණ්ඩ මෙරටට තාක්ෂණික සහයෝගය සදහා පැමිණි අතර සම්මත පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩකරමින් රටට බලපෑ අතිශය වැදගත් මාතෘකා සංවාදයට ගැණුනු අවස්ථාවක ඇමරිකන් ඉහළ පෙළ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් පාර්ලිමේන්තු ගැලරියේ අසුන්ගත්හ. පැමිණිය හැකි ඇමරිකන් ආධිපත්‍ය පිළිබද සංඥා එවැනි සිදුවීම් මගින් නිරූපනය විය.

වත්මන් ආණ්ඩුව බලය ලබාගත්තේ රටට අහිතකර කිසිදු ගිවිසුමක් අත්සන් නොකරන බවට මහජනයා ඉදිරියේ ප්‍රතිඥා දෙමිනි. මේ වන විට ජනාධිපතිවරයා ගිවිසුම පුනරීක්ෂණය කිරීමට කමිටුවක් පත් කර තිබේ. මේ දක්වා ක්‍රියාත්මක වූ සාකච්ඡා වාර වලදී වත්මන් රජය ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප කර ඇති අතර මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට පමණක් එකගවී තිබේ. එහෙත් ඉඩම් ව්‍යාපෘතියට එකගතාවය නොදෙන්නේ නම් මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට පමණක් ඇමරිකන් බලධාරීන්ගේ අනුමැතිය නොලැබේ. 2019.01.23 හිරු බලය වැඩසටහනේදී පාර්ලිමේන්තු මංත්‍රී උදය ගම්මන්පිල මේ මතය සනාථ කළේය. ගිවිසුමේ අරමුණු වගන්තියේ දක්වා ඇති පරිදි ලංකාවේ ආර්ථික සමෘද්ධිය ඇමරිකාවේ ශූද්ධ අපේක්ෂාව නම් ඉඩම් ප්‍රතිසංස්කරණය මුවාවෙන් ඒවායේ නීත්‍යනුකූල අයිතිය ලබාගැනිමට වෙහෙසෙන්නේ ඇයි? ඉන් ඔවුන්ගේ වංක අරමුණු හෙළිවෙයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මැයි මාසයේ වැදගත් යෝජනාවක් සම්මත කරන ලදී. ඒ බ්‍රිතාන්‍ය ඉන්දීය සාගර කලාපය තුළ පිහිටි දීගෝ ගාර්සියා ප්‍රදේශය යුධ මුක්ත ප්‍රදේශයක් කිරීමටයි. (“Resolution adopted by the General Assembly on 22 May 2019”UN General Assembly. 22 May 2019. Retrieved 6 June 2019).  දීගෝ ගාර්සියා යනු ඇමරිකාව හා බ්‍රිතාන්‍ය එකාබද්ධව යුධ අභ්‍යාස කරන මිලිටරි පාලන ප්‍රදේශයකි. යෝජනාවට අනුව විට එම ප්‍රදේශයේ සියලු යුධ අභ්‍යාස 2036 වන විට මුළුමනින්ම අවසන් කළ යුතුය (https://www.stripes.com/news/un-ruling-raises-questions-about-future-of-us-mission-in-diego-garcia-1.571709) එමනිසා ඇමරිකාව ආසියාව කේන්ද්‍රකරගත් නව යුධ අභ්‍යාස මධ්‍යස්ථානයක් කෙරෙහි අවධානය යොමු කරමින් සිටී. ඇමරිකාව දිගුකාලීන මිලිටරිමය අරමුණු ඇතිව මෙවැනි වූ ගිවිසුම් හරහා මෙරට භූමියයේ අයිතිය ලබා ගැනීමට උත්සහ නොකරයි කියා කාට කිව හැකිද?

මාර්ග සංවර්ධනය

වත්මන් ආණ්ඩුව බලය ලබාගැනීමට පෙර ඔවුන් විපක්ෂයේ සිටියදී ගිවිසුම නයින්ට අදුකොළ මෙන් විය. එහෙත් බලය ලබාගැනීමෙන් පසු ඇතැම් කොටස්වලට පූර්ණ අනුමැතිය දියයුතු යැයි ආණ්ඩුවේ ක්‍රියාකාරී දේශපාලඥයෝ කියති. මෙහිදී ගිවිසුමේ “යහපත් කොටස” ලෙස ඔවුන් අල්ලාගෙන සිටින්නේ එහි අරමුණු වගන්තියේ දක්වා ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘතියය. ඉඩම් සංවර්ධන ව්‍යාපෘතිය “අයහපත්” ලෙස බැහැර කරයි. මෙහිදී මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සාධාරණ කිරීම යනු හරිහැරි කරුණු නොදැන හෝ දැනගෙන සමාජය නොමග යවමින් ඒ වටා සුදුහුණු ගෑමක. අනෙක් අතට කුහක තර්කයකි.

කලින් සදහන් කර ඇති පරිදි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියෙන් මූලික වශයෙන් අවධානය යොමු කෙරෙන්නේ කොළඹත්‍රිකුණාමලය දක්වා නව අධිවේගී මාර්ගයක් ඉදිකිරීමටය‘. ලංකාවේ අධිවේගී මාර්ග පුරාණය දෙස බැලීමේදී මෙරටට තවත් අධිවේගී මාර්ගයක් අවශ්‍යද? යන්න ප්‍රශ්නාර්ථයකි. ලංකාවේ මෙතෙක් ඉදිවූ කොළඹකටුනායක හා දක්ෂිණ අධිවේගී මාර්ග නිරීක්ෂණය කර ඒ පිළිබද කදිම විශ්ලේෂණයක් මාර්ග විෂයෙහි ප්‍රකට විද්වතෙකු සේ සැළකෙන මහාචාර්ය අමල් කුමාරගේ ගෙන ආවේය. ලංකාවේ අධිවේගී මාර්ග තැනීමට යොදාගෙන ඇති පැරණි තාක්ෂණය, අධිවේගී මාර්ගයක් තැනීමට ලංකාවේ වැයවන දැරිය නොහැකි වියදම හා ස්වභාව සෞන්දර්යයේ පැවැත්මට එමගින් ඇතිකරන බලපෑම යනාදී කරුණු හේතුවෙන් මෙරටට අධිවේගී මාර්ගයක්  තැනීම අතිශයින් බරපතල ලෙස සැළකිල්ලට ගත යුතු යැයි මහාචාර්යවරයා නිගමනය කරයි.

මෙහිදී ලංකාවේ දැනට ඇති පස් ගොඩගැසීම මගින්  කොළඹත්‍රිකුණාමලය අධිවේගී මාර්ගය නිර්මාණය කරන්නෙ නම් ඒ වෙනුවෙන් අධිකතර ස්වභාව සම්පත් ප්‍රමාණයක් වැයකිරීමට සිදුවනු නිසැකය. ඊට අමතරව ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය හා ලෝක බැංකුව මෑතදී ඉදිරිපත් කරන ලද පර්යේෂණ වාර්තාවක දැක්වෙන්නේ ප්‍රශස්ත මංතීරු හතරේ අධිවේගී මාර්ගයක් තැනීම සදහා වියදම් වන උපරිම මුදල ඇ. ඩො. මි. 7,9 බවය. ඊට වඩා වියදමක් වේ නම් ඒ දූෂණය හා අක්‍රමිකතා නිසාය. ලංකාවේ දැන් තිබෙන අධිවේගී මාර්ග දෙකෙහිම කි.මී සදහා ඊට වැඩි මුදලක් වැය වී තිබේ. ලංකාව වැනි පසුගාමී ආර්ථිකයක් හිමි රටකට එවැනි අධික මුදලක බර කරට ගත හැකිද? ඒ මුදල් නැවත් ගෙවිය හැකි මග කුමක්ද? තවත් අමතර මෙන්ම වැදගත් අංශයක් වන අධිවේගී මාර්ගයක් තැනීමෙන් ඇතිවන පාරිසරික බලපෑම සුළුිකොට තැකිය නොහැකිය. සත්ව අභිජනන භූමි විනාශ වීම, ස්වභාව සම්පත් හායනය, සත්ව සංචරණ රටා වෙනස් වීම, අලිමංකඩ හරස් වීම හා සත්ව ලෝකයට එරෙහි මනුෂ්‍යයන් ඇවිලීම (අලිමිනිස් ගැටුම වැනි) පුළුල් කලාපයන් දක්වා මෙවැනි මහාපරිමානික ඉදිකිරීමක් බලපෑ හැකිය.

ඊළගට කොළඹත්‍රිකුණාමලය යා කළ හැකි දුම්රිය මාර්ගයක් දැනටත් අප සතුව තිබියදී (කොළඹ පොල්ගහවෙල හරහා ගල් ඔයත්‍රිකුණාමලය දක්වා) අපට නව අධිවේගී මාර්ගයක් අවශ්‍ය වන්නේ ඇයි? මෙහිදී වඩා ප්‍රඥාගෝචර පියවරක් වන්නේ මේ දුම්රිය මාර්ග පද්දතිය තවත් දියුණු කර විදුලි දුම්රිය සේවාවක් හෝ නූතන ලෝකය හා වඩා හොදින් යාවෙන බුලට් දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගැනීමය.

මේ කරුණු අනුව නිගමනය කළ යුත්තේ ගිවිසුමේ ඇතුළත් ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය මෙන්ම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ද එක හා සමාන වංක අරමුණු සමග බැදී ඇති බවය. මෙහි මාර්ග ව්‍යාපෘතිය ඇමරිකන් ඉඩම් අවශ්‍යතාවය සපුරාගැනීමට ඉදිරියට දමන ලද දවටනයක් පමණ. එමනිසා මාර්ග ව්‍යාපෘතිය යහපත් යැයි කෙනෙක් තර්ක කළත් ගිවිසුමේ වංක අරමුණු පාරිශූද්ධ වන්නේ නැත.

Back to Top