Sri Lanka Brief
පුවත්විවරණශ්‍රී ලංකාවේ බියකරු කුණාටුමය වෙනසක්; යුරෝපා සංගමයේ ප්‍රතිපත්ති පිළිබඳ පූර්ණ සමාලෝචනයක් අත්‍යාවශ්‍ය යි – අන්තර් ජාතික අර්බුද කණ්ඩායම

ශ්‍රී ලංකාවේ බියකරු කුණාටුමය වෙනසක්; යුරෝපා සංගමයේ ප්‍රතිපත්ති පිළිබඳ පූර්ණ සමාලෝචනයක් අත්‍යාවශ්‍ය යි – අන්තර් ජාතික අර්බුද කණ්ඩායම

by

ඡායාරූපය‍: මානව හිමිකම් කවුන්සිල සැසි වාරයක් අතරතුර සමාන්තර රැස්වීමකට සහභාගිවන ශ්‍රී ලාංකික මානව හිමිකම් ක්‍රියාදර දෙදෙනෙක්.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ප්‍රසිද්ධ කරන අන්තර් ජාතික අර්බූද කණ්ඩායම, ‘ශ්‍රී ලංකාව විසින් 2015 යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ යාවත්කාලීන කරන ලද වාර්තාව මානව හිමිකම් කවුන්සිලය සලකා බලන විට යුරෝපා සංගමයේ පළමු අභියෝගය පෙබරවාරි මස අගදී පැමිනෙනු ඇත’ යැයි ද “එළඹෙන මානව හිමිකම් කවුන්සිල සැසි වාරයේ දී 30/1 යෝජනාව විධිමත් ලෙස ප්‍රතික්ෂේප කිරීම හා ආපසු හැරවීම සඳහා ශ්‍රී ලංකාව යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම්, යුරෝපීය කවුන්සිලයේ සාමාජික රටවල් තරඟකාරී ඡන්දයක් දිනා ගත හැකි සන්ධානයක් ගොඩනැගීම සඳහා සිය උත්සාහයන් දැරිය යුතුය. ශ්‍රී ලංකාව එවැනි යෝජනාවක් ඉදිරිපත් නොකරන්නේ නම්, රටේ දීඝකාලීන ස්ථාවරත්වයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස ශ්‍රී ලංකාව එකඟ වූ ප්‍රතිසන්ධානය සහ වගවීමේ න්‍යාය පත්‍රය සඳහා යුරෝපා සංගමයේ සාමාජික රටවල් තම ශක්තිමත් සහයෝගය නැවත අවධාරණය කළ යුතුය” යැයි ද කියා සිටී.

එම වාර්තාව මෙසේ ද සදහන් කරයි:

2019 නොවැම්බර් 16 වන දින ඔහු තේරී පත් වූ දා සිට, ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභ රාජපක්ෂ සහ ඔහුගේ සහෝදර අගමැති මහින්ද රාජපක්ෂ, ජනවාර්ගික සබඳතා, අවුරුදු 26 ක සිවිල් යුද්ධයේ උරුමය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ප්‍රතිපත්තිවල මූලික වෙනස්කම් ආරම්භ කර තිබේ.

මහින්ද මීට පෙර ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙසත් ගෝඨාභ ආරක්ෂක ඇමති ලෙසත් කටයුතු කර ඇති අතර, රටේ සිවිල් යුද්ධයේ කුරිරු අවසන් අදියරේදී, ඔවුන්ගේ අණ යටතේ සිටි හමුදා මෙන්ම ඔවුන් සටන් කළ බෙදුම්වාදී දෙමළ කොටින් ද බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනයන් කර ඇති බවට විශ්වාස කෙරේ. පශ්චාත් යුධ සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සහ යුරොපා සංගමයට දුන් පොරොන්දු ද ඇතුළුව, පෙර පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ ප්‍රධාන ව්‍යවස්ථාදායක ජයග්‍රහණ සහ ප්‍රතිපත්තිමය කැපවීම් අතහැර දමා හෝ ඒ්වා ආපසු හැරවීම සිය අභිලාශය නව රාජපක්ෂ රජය හෝ ප්‍රකාශයට පත් කර ඇත.

ශ්‍රී ලංකාවේ සිංහල=බෞද්ධ බහුතරය අතර ඇති වාර්ගිකජාතිකවාදය තුළ මුල් බැසගෙන ඇති මෙම ප්‍රතිපත්තිමය වෙනස ජනවාර්ගික හා ආගමික ආතතීන් වැඩි කිරීමට හේතු කාරක වනු ඇති අතර විධායක හා රාජ්‍ය බලය සම්බන්ධයෙන් ඇති තුලනයන් භයානක ලෙස දුර්වල කරයි.

මෙම වෙනස්කම් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් ප්‍රතිපත්තියට ගැඹුරු අභියෝගයකි. යුරෝපා සංගමයේ ප්‍රතිපත්තිය වූයේ සියලු දෙනා ඇතුළත් කරගත් පාලනයක් තුළ පදනම් විය යුතු ජනවාර්ගික සංහිඳියාව, මානව හිමිකම් සහ දේශපාලන ස්ථාවරත්වයට සහාය වීමය. දැන් රටේ නායකත්වය ඊට හරස් අරමුණු කරා ගමන් කරයි. මෙම පසුබිමට එරෙහිව, යුරෝපා සංගමය සහ සාමාජික රටවල්, අයිතිවාසිකම්වලට ගරු කරන පාලනය සහ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම සඳහා පසුගිය පරිපාලනය විසින් දෙන ලද පොරොන්දුවලට ගරු කරන ලෙස ආණ්ඩුවට දිගින් දිගටම බලපෑම් කළ යුතු . එමෙන්ම දේශපාලන මර්දනය හෝ ජනවාර්ගික හා ආගමික සුළුතරයන්ට එරෙහිව වෙනස් කොට සැලකීම දිරිමත් කරන වැඩසටහන් සඳහා යුරෝපා සංගමය සහාය නොදක්වන බව ශ්‍රී ංකා ආණ්ඩුවට පැහැදිලිව කියා සිටිය යුතු ය.

විශේෂයෙන් යුරෝපා සංගමය සහ සාමාජික රටවල් කළ යුත්තේ:

30/1 (2015) යෝජනාව අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයහි දී ශ්‍රී ලංකාව එකඟ වූ ප්‍රතිසන්ධාන හා වගවීමේ න්‍යාය පත්‍රයට නැවත සහයෝගය දැක්වීම සහ 2021 දී යෝජනාව කල් ඉකුත් වීමෙන් ඔබ්බට අඛණ්ඩව මානව හිමිකම් කවුන්සිලයේ මැදිහත්වීම සහතික කරනු පිනිස කවුන්සිලය තුළ සහයෝගය ගොඩනැගීම.

නව ශ්‍රී ලංකා රජය සමඟ එළඹෙන ඉහළ මට්ටමේ රැස්වීම්වලදී යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන (“ජීඑස්පී +” ලෙස හැඳින්වෙන) පොදු වරණීය වෙළඳාම් සහ තීරුබදු සහන පිළිබඳ අවිධිමත් සමාලෝචනයක් ආරම්භ කර ඇති බවත්, ආණ්ඩුව වර්තමාන ගමන් මගෙහි දිගටම ගමන් කරන්නේ නම් එකී ප්‍රතිලාභ දිගටම ලැබීම අවදානමට ලක්විය හැකි බවත් පැහැදිලිව සන්නිවේදනය කිරීම.

එක්සත් ජාතීන්ගේ පරිපාලනය යටතේ ඇති, ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩ අන්තවාදය වැළැක්වීම සඳහා වන අරමුදල් සමාලෝචනය කිරීම; මුස්ලිම්වරුන් කෙරෙහි වෙනස් කොට සැලකීමක් සහිත ක්‍රියාකාරකම් සඳහා සහාය නොවීම සහ සටන්කාමී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටින මුස්ලිම්වරුන් ඉලක්ක කරගත් සැලසුම් සහගත “පුනරුත්ථාපන” වැඩසටහන් තුළ දැඩි මානව හිමිකම් ආරක්ෂණ ක්‍රියාත්මක නොවන්නේ නම් ඒ්වා සමඟ කිසිදු ක්‍රියාකාරී සම්බන්ධයක් පවත්වා නොගැනීම .

සහයෝගය ලබා දීම, ගැටුම් වැළැක්වීමේ සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපීය ‍අරමුණු වලට අනුකූලව දරන ප්‍රයත්නයන් සඳහා පමණක් බවට සහතික කර ගැනීම පිනිස, සංවර්ධන සහයෝගිතාව සහ එක්සත් ජාතීන් පරිපාලනය කරන සාමය ගොඩනැඟීමේ සැලැස්මට දායකවීම ද ඇතුළුව ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රතිපත්ති හා වැඩසටහන් පිළිබඳ පූර්ණ සමාලෝචනයක් දියත් කිරීම.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් ප්‍රතිපත්ති විසින් සිංහල බෞද්ධ බහුතරවාදය ආපසු හරවන්නේවත්, රාජපක්ෂයන් දැනටමත් ක්‍රියාත්මක කර ඇති ඒකාධිපති පාලනයට නැවත පැමිණීමේ ක්‍රියාදාමය වළක්වන්නේවත් නැත. සිංහල හා බෞද්ධ ජාතිකවාදයට ගැඹුරු මූලයන් තීබේ. සිංහල ජාතිකවාදයට ශ්‍රී ලංකාවෙන් පිටතින් එල්ල වන අභියෝග විසින් ජාතිකවාදී සංවේදීතාවන් තව දුරටත් අවුලුවනු ඇත.

එසේ වුවද, සියලු ශ්‍රී ලාංකිකයන් අතර සංහිඳියාව සහ නීතියේ ආධිපත්‍යය අත්හැරීමෙන් ඇතිවිය හැකි අන්තරායන් අවධාරණය කිරීම සහ විශේෂයෙන් වෙනස් කොට සැලකීම් සහ මිලිටරිවාදී ප්‍රතිපත්තිවලට පුරවැසියනට අභියෝග කළ හැකි වන පරිදි විවෘත ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් තබා ගැනීමේ වැදගත්කම සහ වාර්ගික ධ්‍රැවීකරණයට මුහුණ දීම පිනිස අන්තර්ජනවාර්ගික දේශපාලන සන්ධාන ගොඩනැඟීම වැදගත් ය. යුරෝපා සංගමයට, ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්ව, ඔවුන්ගේ අරමුදල් හෝ වෙනත් සහයෝගයන්, එමඟින් ප්‍රචණ්ඩ ගැටුම් අවදානම උග්‍ර කරනු ඇති සුළු ජාතීන් තවදුරටත් කොන් කිරීමේ සහ ඔවුන්ගේ අයිතිවාසිකම්වලට තර්ජනයක් වන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නොදැනුවත්වම උදව් නොකරන බව සහතික කළ යුතු .

එළඹෙන මානව හිමිකම් කවුන්සිල සැසි වාරයේ දී 30/1 යෝජනාව විධිමත් ලෙස ප්‍රතික්ෂේප කිරීම හා ආපසු හැරවීම සඳහා ශ්‍රී ලංකාව යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම්, යුරෝපීය කවුන්සිලයේ සාමාජික රටවල් තරඟකාරී ඡන්දයක් දිනා ගත හැකි සන්ධානයක් ගොඩනැගීම සඳහා සිය උත්සාහයන් දැරිය යුතුය. ශ්‍රී ලංකාව එවැනි යෝජනාවක් ඉදිරිපත් නොකරන්නේ නම්, රටේ දීඝකාලීන ස්ථාවරත්වයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස ශ්‍රී ලංකාව එකඟ වූ ප්‍රතිසන්ධානය සහ වගවීමේ න්‍යාය පත්‍රය සඳහා යුරෝපා සංගමයේ සාමාජික රටවල් තම ශක්තිමත් සහයෝගය නැවත අවධාරණය කළ යුතු. තව ද, 2021 දී ඒම යෝජනාව කල් ඉකුත් වන විට පසු විපරම් සඳහා සන්ධානයක් ‌ගොඩ නැගීමට වැඩ ආරම්භ කළ යුතු ය.

ඉංග්‍රිසි බසින් ඇති සම්පූර්ණ වාර්තාව ‌ සදහා ‌මෙතැන ‌ here කොටන්න. එමවාර්තාවෙන් උපුටා ගත් කොටස්හි සිංහලානුවාදය ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙතිනි.

Back to Top