Sri Lanka Brief
පුවත්විවරණවිජේදාසගේ ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිගේ දේශපාලන අභිලාශයයි. – පාඨලී චම්පික රණවක

විජේදාසගේ ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිගේ දේශපාලන අභිලාශයයි. – පාඨලී චම්පික රණවක

by

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා 21 හා 22 වැනි ලෙස ව්‍යවස්ථා සංශෝධන දෙකක් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙනවිත් ඇත. එමගින් දැනට දිස්ත්‍රික්ක පදනමින් පවත්වන අනුපාත මැතිවරණවලදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් ලබා ගැනීමට අවම වශයෙන් සළකා බැලීම සඳහා අවශ්‍ය වන 5% ක ඡන්ද සීමාව 12.5% දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇත. එමෙන්ම අධිකරණයේ විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති, රාජ්‍යසේවා කොමිසම, මැතිවරණ කොමිසම ආදියට සිදුකරන පත්වීම් ව්‍යවස්ථාදායක සභාවෙන් උදුරාගෙන ජනාධිපති (ඇගමැති විමසීමකින්) අතට නැවත පත්කර ගැනීමටත් යොජනා කර ඇත. ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට ගැනීම අනෙක් යෝජනාවය.

වත්මන් ආණ්ඩුව පවතින්නේ එළැඹෙන මාර්තු 01 වැනිදා දක්වා පමණකි. එම නිසා ඉහත කී යෝජනා කිසිඳු ආකාරයකින් පාර්ලිමේන්තුව තුළ විධිමත්ව සම්මත කර ගැනීමට කාලයක් නොමැත. මෙය පැහැදිලිව ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන එහිදී 2/3 බලයක් ඉල්ලීම සඳහා මහමැතිවරණ වේදිකාව යොදාගැනීමේ උත්සාහයකි. ජනාධිපතිතුමාගේ රාජාසන කතාවෙන් ද, ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාවය අවධාරණය කළ අතර, දේශපාලන කසකරුවන් විසින් ද එය අවධාරණය කරමින් සිටිති. සුපුරුදු ලෙස ජඩ මාධ්‍ය අධිපතීන් විසින් තවත් කූට නාටකයක ප්‍රසාංගික අවස්ථාවක් ලෙස මෙය වේදිකාගත කරමින් ඇත.

මෙය පැහැදිලිවම ජනාධිපතිතුමාගේ දේශපාලන අභිලාශය බව සක්සුදක් සේ පැහැදිලිය.

ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් සමානුපාත ඡන්ද ක්‍රමය හඳුන්වා දුන් මුල් අවස්ථාවේ සෑම පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශයකම අවම ඡන්ද සීමාව ලෙස 12.5% නොහොත් 1/8ක ඡන්දයක් අනිවාර්ය කර තිබිණි. වැදගත්ම දෙය නම් එකී මැතිවරණ කොට්ඨාශය දිස්ත්‍රික්කය නොවීමය. උදාහරනයක් ලෙස කොළඹ දිස්ත්‍රික්කය පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශ 03කටත්, ගම්පහ කොට්ඨාශ 02කටත් බෙදා තිබුණි. එහි තර්කය වූයේ අවම වශයෙන් එක් පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශයකට මන්ත්‍රීන් 08ක් හෝ ලැබීම සහතික කර 12.5% සාධාරණීකරනය කිරීමය. මෙය වෙනස් කරනු ලැබුවේ 1988 ජනාධිපතිවරණය අභියසදීය. එම මැතිවරණය සඳහා අෂ්රෆ් මහතාගේ මුස්ලිම් කොන්ග්‍රසය සිරිමාවෝ මැතිණියට සහය දෙන සාකච්ඡාවක නියැලී සිටියේය. එහිදී කොළඹ නගරය හා දෙහිවල-කොලොන්නාව කොට්ඨාශය සිය ගස ලකුණින් මහ මැතිවරණයට තරඟ කිරීමට නවක අෂ්රෆ් මහතාට අවශ්‍ය විය. මෙයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුස්ලිම් ජ්‍යෙෂ්ඨයින් වූ ෆවුසි, හලීම් ඉෂාක්, අලෙවි මවුලානා තරයේ විරුද්ධ විය. අෂ්රෆ් පසුව ලලිත් ඇතුලත්මුදලි හමුවී සිරිමාවෝගේ පුළුල් සන්ධානය බිඳලීම සඳහා 12.5% සීමාවත්, දිස්ත්‍රික්කය කොටස්වලට වෙන් කිරීමේ යොජ්නාවත් ඉවතට දැමීමට යෝජනා කළේය. ජනාධිපතිවරණයේදී අෂ්රෆ්ගේ සහය ලබා ගැනීම සඳහා ප්‍රේමදාස මහතා එය ඉටු කළේය. ප්‍රේමදාස මහතාට සිරිමාවෝ මැතිණියට වඩා ලැබුනේ ඡන්ද ලක්ෂ 2 1/2ක් වන අතර, 50% සීමාව ඔහු පැනගත්තේ ඡන්ද 23,000කිනි. අෂ්රෆ් නොසිටින්නට එය ඔහුට ඉටුකරගත නොහැකිවීමට ඉඩ තිබිණි. මේ දේශපාලන නාටකය එදා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය වෙනුවෙන් එකී සාකච්ඡාවලට සහභාගී වූ මා හට අළුත් අත්දැකීමක් විය. (එදා සාකච්ඡාවලට සහභාගී වූ දිනේෂ් ගුණවර්ධන හා රුක්මන් සේනානායක මහත්වරු එයට ජීවමාන සාධක වන අතර සෙසු සියල්ලෝ දැන් මිය ගොසිනි)

කෙසේ වෙතත්, අද දිනයේ 5%ට වඩා (1/20) ඡන්දය ගතහොත් ස්ථිරවම පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් සහතික වන්නේ කොළඹ (ආසන 20) හා ගම්පහ (ආසන 21) පමණි. සෙසු දිස්ත්‍රික්කවල එයට ඇත්තේ සම්භාවිතාවය පමණි.

1988ට පෙර තිබුණු ලෙස දිස්ත්‍රික්කය මැතිවරණ කොට්ඨාශ කීපයකට වෙන් නොකරන තත්ත්වය තුළ දිස්ත්‍රික්කයේ සීමාව 12.5% කළහොත් සිදුවන්නේ කුමක් ද? සිංහල නොවන මෙන්ම, වෙනස් දේශපාලන මතවාද සහිත (ජවිපෙ, ජා.හෙ.උ) පක්ෂ ද, උතුරු හා නැගෙනහිර ප්‍රධාන පක්ෂවල ද පාර්ලිමේන්තු නියෝජනය අහිමි වීමය. දකුණේදී සිංහල නොවන දේශපාලන පක්ෂවලට හා වෙනස් දේශපාලන මතවාද සහිත පක්ෂවලට ප්‍රධාන පක්ෂ සමග එක්වීමට සිදුවන අතර, උතුරේදී පොහොට්ටුවට හා අලියාට දෙමළ සන්ධානය හා එක්වීමට සිදු වනු ඇත.
සන්ධාන ගත නොවීමට කැමැත්ත ඇති පක්ෂවලට සිදුවන්නේ, පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනුවට විරෝධතා හෝ සන්නද්ධ විකල්පය තොරා ගැනීමටය. උතුරු හා නැගෙනහිර සුළුතර සිංහල, දෙමළ, මුස්ලිම් පක්ෂ තනි දෙමළ තමිල් අරසුකච්චි දේශපාලනයට ගොදුරුවනු ඇත. රට දේශපාලන ලෙස බෙදී යෑමට මෙයට වඩා තවත් සුදුසු ක්‍රමයක් ඇත් ද?

එමෙන්ම දැනට පළාත් සභා හා ප්‍රාදේශීය සභා මැතිවරණවල මෙවැනි සීමාවක් නැතිව අපූරුවට නියෝජිතයින් පත් වේ. ඇත්ත වශයෙන්ම කළ යුත්තේ පාර්ලිමේන්තුව සඳහා ද මේ සීමාව ඉවත් කිරීමය.

ස්වාධීන අධිකරණය, පොලිසිය, රාජ්‍ය සේවය හා මැතිවරණ සේවය සඳහා වූ පත් කිරීම් ජනාධිපති යටතට ගැනීමෙන් බලාපොරොත්තු වන්නේ සහමුලින්ම එකී ක්ෂේත්‍ර දේශපාලනීකරණය කිරීමය. දැනටමත් පත්කර ඇති ඇතැම් පිරිස් එවැනි දේශපාලන අතකොළුය. දූෂණ චෝදනා නිසා යැයි කියා මහින්ද හිතවාදී සුදර්මන් රදලියගොඩ ඉවත් කළාට, ජනාධිපති ලේකම්ගේ සිට ලේකම්වරු කීප දෙනෙක්ට රාජ්‍ය ආයතන සභාපතිවරු කී දෙනෙක්ට සුදර්මන්ට වඩා චෝදනා ඇත්ද යන්න වෙනම කොමිසමකින් සොයා බැලිය යුතුව ඇත. මේ ක්‍රියාවලියේ අරමුණ ඊනියා වියතුන් ඉහත පත්වීම්වලට පත් කිරීම නොව සිය අණ පිළිපදින, පරිපාලන හා මූල්‍ය රෙගුලාසි (AR,FR) ගණන් නොගන්නා බැරැක්ක පාලනයක් අධිකරණයේ සිට සමස්ථ රාජ්‍ය සේවය පුරාම ව්‍යාප්ත කරලීමය. දැනටමත් පොලිස් කොමිසම ආදිය නොතකා පොලිසිය භාර නිලධාරීන් ක්‍රියා කරන අතර, ඉදිරියේදී පියවරින් පියවර සියළු ක්ෂේත්‍ර සඳහා හමුදා මැදිහත්වීම සිදුවනු ඇත. (දැනටමත් කසළ කළමනාකරණය ප්‍රාදේශීය සභාවලින් පොලිසියට හා හමුදාවටත්, රාජ්‍ය සේවයේ දූෂණ සෙවීම හමුදා බුද්ධි අංශවලටත් පවරා ඇත) 2015දී මේ රටේ මධ්‍යස්ථ උගත්, වියත්, වැදගත් ජනයා රාජපක්ෂ පාලනයට එරෙහි වූයේ රාජ්‍ය සේවය පවුල්වාදයෙන්, ගජමිතුරුවාදයෙන්, බැරැක්කකරණ යෙන් මුදවා ගැනීමටය. මේ උත්සහය එය ආපසු හරවා පවුල්වාදය, ගජමිතුරුවාදය හා බැරැක්ක වාදය රාජ්‍ය සේවය තුළ ව්‍යාප්ත කරලීමටය.

ඉදිරි මහා මැතිවරණය විපක්ෂ එජාපයට පමණක් නොව ආණ්ඩුවට ද අභියෝගයකි. ආණ්ඩු පක්ෂය තුළ දැනටමත් පිල් තුනක් ඇතිවී ඇත. ජනාධිපතිගේ කල්ලිය, පොහොට්ටු කල්ලිය හා ශ්‍රිලනිප කල්ලිය ලෙසය. පක්ෂයේ බලය ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටු කල්ලියට වන නිසා ඔවුන් සිය ඡන්ද ව්‍යාපාරයේ සංඛේතය බවට මහින්ද රාජපක්ෂ මහතා පත්කරගනු ඇත. ඊනියා ජාතිකවාදීන් හා වියත්මං කල්ලි මනාපයෙන් පරාජය කිරීමත්, ශ්‍රිලනිපයට මන්ත්‍රී ආසන ජය ගැනීම අසීරු කිරීමත් ඔවුන්ගේ අරමුණය. මේ ගැටුම ඉදිරියෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන් ලක්ෂ 20ක පමණ මධ්‍යස්ථ උගත් ජනයා නිශ්ක්‍රිය වීම අනිවාර්ය වනු ඇත. එජාපය සිදුකළ යුත්තේ සැබෑලෙසම සිය මුහුණුවර වෙනස් කර නව පෙරමුණක් ලෙස මැතිවරණයට යෑමය. එමගින් 2/3 වැළැක්වීම ඔස්සේ රට මිලිටරිවාදී, පවුල්වාදී ඒකාධිපති වියරුවක අවධානමෙන් රට බේරා ගැනීම පමණක් නොව අවශ්‍ය අවස්ථාවක ආණ්ඩුවේ ස්ථාවර භාවයට බලපෑම් කිරීමට තරම් ප්‍රමාණවත් මන්ත්‍රීධූර ප්‍රමාණයක් එයට ලබා ගැනීමට හැකිවනු ඇත.

(FB)

Back to Top