Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගඕමා -සුනන්ද දේශප්‍රිය

ඕමා -සුනන්ද දේශප්‍රිය

by

ජායාරූපය: ඕමා ජිවත්වන්නේ ඇල්පයින් කඳුවැටියෙන් අලංකාර වූ ඔස්ට්‍රියායෙහි ටිරෝල් ප්‍රාන්තයේ ය.

‘නත්තලට එන්න, මේ ආරාධනය මගේ හදවතින්’ යැයි ඕමා දුරකථනයෙන් කීවේ දෙසැම්බර් නිවාඩු දවස් කෙසේ ගත කරම්දැයි දෙකට දෙවාරනයේ සිටි දවසක ය.

සය පැයක් දුම්රියෙන් ගොස් ඇය ජීවත්වන ගමේ කුඩා දුම්රිය පළෙන් බැස, තරප්පු පෙළ නැගී වමට හැරී පාලම පසු කර දකුණට ඇති ඉන්ධන පිරවුම්හල ළගින් වමට හැරී එන්නැයි මාර්ග ළකුණු ද කියා දුන්නේ ඇයගේ මුණුපුරා ය.

ඕමා යනු ජරමානු බසින් ආත්තම්මා නැත්නම් ආච්චී ය. ඇයට දැන් වසය 88කි. ඇයගේ සැමියා දස වසරකට පෙර දෙව් තුරුළට ගොස් ය. ඕමා කතෝලික භක්තිකාවියකි. ඇය ජිනීවාහි මගේ කුඩා මිතුරාගේ ඕමා ය.

ඕමා ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත නොහැරීමේ සංකේතයක් වැන්න.

නව වසර උදාව එක්ව ගත කිරීමට ජර්මනියේ සිට අප මිතුරන් දෙදෙනෙකු ද ආහ. ඉන් අයකු මුළුතැන්ගොට ගොස් ‘ ඔබ අකමැති බව දන්නවා. ඒත් උදව්වක් දෙන්නද?’ කියා ඇසුවේ ය. ‘ මං වයසට ගියහම’ යැයි ඇය සිනවෙමින් කීවා ය. ඇය තවම මනසින් තරුණ ය.
සිය සැමියා සමඟ හවුලේ පාවිච්චි කළ පරණ ඩීසල් කාරය අබලන්ව ගොස් තිබූ බැවින් ඇය යුරෝ 12,000ට අලුත්ම ටොයොටා යාරිස් කාරයක් ගත්තේ මාස තුන හතරකට පෙර ය. එය රතුම රතු ය.

දුර බැහැර කාරයෙන් යන විට ඇය අධිවේගී මාර්ග මඟ හරී. ගම මැද ඇති ජාතික මාර්ගයෙන් යන විට උපරිම වේගය පැයට කිලෝමීටර 60කි. ‘ මට ඒක පහසුයි’ කියා ඇය කියන්නේ සිනහවෙමිනි. ‘වයසයිනේ’. ඒ සමගම මෙසේ කිය යි. ‘මගේ ගමේ නම් ඇස් දෙක වහගෙන උනත් එළවන්න පුලුවන්’. ගමක් යැයි කීව ද ඇය ජීවත් වන්නේ ද ජාතික තලයේ පා පන්දු කණ්ඩායමක් ද ඇති කුඩා නගරයක ය.

කිලෝමීටර විස්සක් දුරින් ඇති නගරයට ඇය අඩුම ගණනේ දෙසතියකට වතාවක් සිය කාරයෙන් යයි. ඒ සම්භාව්‍ය සංගීත ප්‍රසංගයන්ට සවන් දීමට ය. ඒ සදහා තමා වාර්ශික අවසර පතක් ලබා ගෙන තිබෙන බවත්, සංගීතය තමා මනස නිවන බවත් ඇය කිය යි. ‘ මං කැමැතියි බීතෝවන්ගේ සංගීතය අහන්න’ කියන ඇය ඒ වුණාට ‘දක්ෂ සංගීතඥයින් තවත් ඉන්නවා’ යැයි කියන්නේ සංතෝශයෙනි.

කඳු තරණය කිරීම සිය විනෝදංශය කර ගත් ඇයගේ පුත්‍රයා වයස 22 දී පය ලිස්සා කන්දකින් වැටී මිය ගියා ය. අනතුරුව සැමියා දෙව්තුරුලට ගිය යෑමෙන් පසු ඇය තනි වූවා ය. සිය පුත්‍රයා සහ දියණිය වැඩි දුර අධ්‍යාපනය සඳහා වියනා නගරයට ගිය පසුත් සෑම දිනකම ඔවුන් පාසල ඇරී ආ සවස දෙකට නිවසේ සීනුව නාදවෙනු ඇසීම ඇයට නතර කර ගන්නට බැරි විය. ‘පස්සේ මං හවස 2.00 වෙන්න කලින් ඇවිදින්න යන්න පටන් ගත්තා.’ ඇය කියයි.
තේ මේසයේ වාඩි වී ආ ගිය කතා කියන අතරවාරයේ තමාට ඥති සොයුරු සොයුරියන් 52නෙකු ද සිටි නමුත් අද ජීවිතය ගෙවෙන්නේ තනිව බව ඇය පවසන්නේ අතීතය ගැන කාන්සාවකින් මුත් කණස්සල්ලකින් නොවේ.

ඒ හැම දෙනාගෙන්ම දැන් ඉතිරිව සිටින්නේ පස් දෙනයි. අපි පස්දෙනා අව්රුද්දකට පස් වතාවක් එකිනෙකාගේ නිවෙස්වලදී හමුවෙනවා. මං මගේ ගෙදර ඔවුන් එන දවසට ‘නසි ගෝරිං’ කෑමට ලැහැස්ති කරනවා. තව කෙනෙක් ඇයගේ ගෙදර ‘පිත්සා’ හදනවා. අයියා කෙනෙක් ආඳ මාලු කෑමක් හදනවා…’
‘මගේ සතිය ඉක්මනට ගෙවෙනවා. සදුදා මගේ මිතුරිය සමඟ කදුකර මාවතේ ඇවිදින්න යනවා. අගහරුවාදා ඉංග්‍රීසි පන්තියට නගරයට යනවා. ඒක අවසන් වුනහම මිතුරු මිතුරියන් සමඟ කෝපි බොන්න යනවා. බ්‍රහස්පතින්දා නිවෙස පිරිසිදු කරන ස්ත්‍රිය එනවා. ඉරිදාට දේවස්ථානයට යනවා.’

මේ ජනයාගේ ජීවිතය සැළැස්මකට ගෙවී යයි. වසන්ත ඍතුව පැමිණෙන විට ඕමා රතු සහ කහ පාට කුඩා මල් පිපෙන පෝච්චි 200ක් පමණ පිළසකර කර ජනෙල් කවුලු පිටත දාරයේ පිළිවෙලට තැන්පත් කරයි. වසන්තයේ දී විකසිත වන මේ මල්පැල සිසිර ඍතුවට පෙර පැමිණෙන සරත් ඍතුවෙහි දී මිය යන්නට පටන් ගනී. එවිට මේ සියළුම පෝච්චි ඇය යටිබිම් මහලේ පිළිවෙලට තැන්පත් කරයි.

වසන්ත සමයෙහි ඕමා සිය ගෙවත්තේ බෝංචි, කැරට්, කොළ ගෝවා, සළාද සහ තක්කාලි වගා කරයි. ඒවා පළ දරන්නේ ගිමිහාන ඍතුවෙහි දී ය. ඇයගේ මිදුළෙහි ලොකු රෝස පඳුරක් ද ඇපල් ගස් දෙකක් ද තිබේ. මේ ශිත කාලයෙහි රෝස පඳුර හිමයෙන් රැක ගනුවස් එය විනිවිද පෙනෙන දැලකින් වසා ඇත. ඇපල් ගස් දෙකෙහි පලදාව සීතල යටි බිම් මහලේ එකක් උඩ එකක් නොසිටින සේ තැන්පත් කර ඇය වසර පුරාම වාගේ ඒවා භුක්ති විඳී. ‘ කව්රුත් නැත්නම් මං දවාලට කන්නේ ඇපල් ගෙඩියක් විතරයි’ කියා ඇය කීයේ අප තේ මේස පිළිසඳරකදී ය.

ඇය මා සමඟ කතා කරන්නේ ද ජර්මානු- ඉංග්‍රීසි ශබ්ද කෝශය ළගින් තියා ගෙන ය. ඉංග්‍රීසියෙන් නොදන්නා වචන සඳහා ඇය ශබ්ද කෝෂයට හැරෙයි. ඒ ඉඳහිට ය. ඇය ඉංග්‍රීසි ඉගෙන ගන්නට පටන් ගත්තේ වයස 82ක් වූ විට ය. තවමත් ඇය ඉංග්‍රීසි පන්තියේ ගෙදර වැඩ වරද්දන්නේ නැත. ‘ඇයි දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්න හිතුවේ?’ කියා මම වරක් ඇසුවෙමි. ‘ ඔබ වැනි අය එක්ක කතා කරන්න’ යැයි ඇය සිනහ වෙමින් කීවා ය. වසර පහක් පුරා ඉංග්‍රිසි පන්ති යන ඕමාට දැන් ලෙහෙසියෙන් මා සමඟ අදහස් හුවමාරු කර ගත හැකිය. ‘ මට Vacation සහ Holiday කියන වචන දෙක පැටලෙනවා. වෙනස මොකක්ද?’ කියා ඇසුවේ අපේ පිළිසඳරකදී ය. ඇය ඒ තරමටම උනන්දු ය.

ජරමානු භාෂාවට අමතරව ඉතාලි බස ද හොදින් දැන සිටි නමුත් භාවිතාවක් නැති කමින් එම බසෙහි ඇය දැන් චතුර නැත.

ඇයගේ සතිපතා කෙරන ඇවිදීමට මා ද දිනක් එක් වුණෙමි. කාරයෙන් පැය බාගයක් පමණ වංගු සහිත මාවතක ගමන් කිරීමෙන් පසු කදුකර මාවත ඇරඹෙයි. ඒ වනාහී අපූරු දසුන්වලින් පිරි, දෙපස කැලෑ සහ එළවලු වගාබිම් විසින් වසාගත් මනස්කාන්ත පෙදෙසකි. පා ගමන නොදැනීම ගෙවෙයි. වගාව කපා ගැනීමෙන් පසු ඉතිරි කර ගොස් ඇති මඳක් නරක් වූ ලීක්ස්, ගෝවා සහ සැලරි දකින මා සිත ‘අපරාදේ’ යැයි වික්ෂිප්ත වෙයි. ගමන අඩුම වශයෙන් දෙපැයකි. නතරවීමක් නැත. කදු මැදිනි. ඉදිරියට හමුවන හැමට අපි ‘හලෝ’යැයි කියමු. වට රවුමකින් ආරම්භය කරා පැමිණේ. ගමන පුරා විස්තර කරන ඇය ඈත පෙනෙන ගම්මානයක් පෙන්වා එය සිය ප්‍රාන්තයේ සීමාව බව කියයි.

විවාහයට පෙර රොහල් කාර්ය මණ්ඩලීය සේවිකාවක් වූ නමුත් දරුවන් බලා ගැනීමට ඇය රැකියාවෙන් ඉවත් විය. එසේ වුවත් ඇය විශ්‍රම වයසට එළඹි විට ඇයට විශ්‍රාම වැටුපක් හිමි බව නගර සභාව කියා එවුවා ය. ඒ දරුවන් දෙදෙනෙකු ලොකු මහත් කරමින් ගෙදෙර දෙර වැඩ බලා කියා ගත් නිසා බව එහි සඳහන් වී තිබුණි. තමන්ගේ ම තෙමහල් නිවසක ජීවත්වන බැවින් ලැබෙන විශ්‍රාම වැටුප ඇයට සුව පහසු ජීවිතයකට ප්‍රමාණවත් ය.

ඕමාගේ පාසල් කාලය ගෙවුණේ දෙවැනි ලෝක යුද්ධය මැදිනි. වරක් අප ඇවිදින්නට ගිය අවස්ථාවක දී ඇය, මා පියන් ජීවත් වූ ගම වටා අප සමඟ ගමන් කළා ය. එකළ ඇය කිලෝමීටර තුනක් පමණ පාසලට ඇවිද ගිය බවත් බෝම්බ හෙළන යානාවලින් සැඟවීමට දිව ගිය තැන් පවා පෙන්වූවා ය.
මා මේ සටහන ලියන්නට ගත් දිනට පෙරදා නිවැසියෝ හිම ක්‍රීඩා සඳහා ගොස් තිබූ බැවින් දෙපැයක් ඇවිදින්නට යමුදැයි ඇය මට යෝජනා කළා ය. සිය සැමියා මිය ගිය පසු ඇය හිම ක්‍රීඩාවන්ට යෑම නතර කර තිබේ. ඔවුන් දෙදෙනා හමුව තිබුණේ හිම ක්‍රීඩා අතර තුර ඔහු වේගය නතර කළ අවස්ථාවක විසිරී ආ හිම ඇයගේ මුහුණට වැදීම නිසා ය.

අපේ දෙපැයේ පා ගමන ඉතිහාසයක් දිග හැරීමක් බදු විය. ඇය වම් පස වූ දීර්ඝ ඇල්පයින් කදු වැටිය පෙන්වා මෙසේ කීවා ය. ‘ මේ ගමේ අපි ඉන්න පැත්ත. අපට හොඳට ඉර එළිය වැටෙනවා. බලන්න ඒක දිළිසෙන හැටි. අපි ඉසව් සොයා ගන්නේ කඳු දිහා බලල. ඇල්පයින් කදුවැටියේ කඳු එකිනෙකින් වෙනස්. අව්ව වැටෙන හැටිත් වෙනස්.’

‘අපේ පරම්පරාව ලෝක යුද්ධ දෙකකින් බැට කෑවා. ආයෙත් නම් යුද්ධයක් ඕනෙම නෑ.’ යැයි ඇය කියන්නේ යුද්ධයෙන් මිය ගිය සිය යහළු යෙහෙලියන් ද ඥාතීන් ද සිහිකරමිනි. අපේ දෙපැයේ පා ගමනෙහි දී ඇය සිය පවුලේ ඥාතීන් නිදන සොහොන් බිමට ද මා කැඳවා ගියා ය. ඇයගේ සැමියාගේ සොහොන් කොත ඉදිරියෙහි රතු රෝස මල් තුනක් තවමත් පරනොවී තිබුණි. ‘ ඔබ ද ඒවා තිබ්බේ’ මම ඇසුවෙමි. ‘ඔව්, එයාගේ උපන්දිනේ තිබුණෙ සති දෙකකට කලින්’ කියා මට ඒ සටහන පෙන්වූවා ය. ක්‍රමවත් සහ පිරිසිඳු සෙහොන් බිම කඳුකර පසුබිමෙහි අභිමානයෙන් මෙන් නැගී සිටියේ ය.

‘මං සතියක් වියනා නගරයට ගියා පසුගිය ගිම්හානායේ දි. දේවස්ථානයක ඉතා ප්‍රසිද්ධ සංගීතඥයෙක් ගෙ සන්ධනියක් තිබුණා. ඊට සවන් දෙන්න හැම ආගමකම වගේ විවිධ රටවල අය පොදි කෑව. පූජකතුමා මුලින්ම යාඥාවක් කරන කොට හැම ආගමකම අය දණ ගැහුව. ඉදිකට්ටක් වැටෙන සද්දයක්වත් ඇහෙන්නේ නැති නිහඩතාවයක් ඇතිවුණා. අප හැමෝටම ඉන්නේ එක දෙවියෙක් කියළ යාඥාච අවසන් වෙන කොට මගේ ඇතුලාන්තය සිසිල් වුණා.’
‘ඒක අපූරු සංගීතයක්. අප හැමෝම ධ්‍යානයකට වගේ සමවැදුන. එකම මිනිස් ජාතිය. මගේ සංචාරයේ අරමුණ සඵල වුණා වගේ හිතුණ.’

ඇය කතා කළේ සංකේත භාෂාවකින් නොවේ දැයි මසිත තවම විපිළසර වෙයි.

ඕමාවරැනි, ඔබ සැමට දීර්ඝායු වේවා!

Back to Top