Sri Lanka Brief
පුවත්විවරණආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් දුන්නොත් මොනවා වෙයිද? ඒක මල්ලිගෙයි අයියගෙයි ප්‍රශ්ණයක්!

ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් දුන්නොත් මොනවා වෙයිද? ඒක මල්ලිගෙයි අයියගෙයි ප්‍රශ්ණයක්!

by

මෛත්‍රී – රනිල් ආණ්ඩුව දිගින්දිගට ම ජාතික සම්පත් විකුණා දැම්මේ ය. හම්බන්තොට වරායේ සිට මත්තල ගුවන් තොටුපළ දක්වා සියල්ල චීනයට, ඉන්දියාවට දෙන්න හදපු උත්සාහයන් රටේ කවුරුත් දනිති. පෞද්ගලිකකරණය සහ විදේශ සමාගම්වලට රාජ්‍ය සම්පත් විකුණා දැමීම ඔවුනගේ ප‍්‍රතිපත්තිය විය. පාස්කරලිංගම්, චරිත රත්වත්තේ වාගේ අය සිටි ආර්ථික කළමනාකරණ කමිටුවේ ප‍්‍රතිපත්තිය වුණේ එයයි. එක ම දේ වුණේ, විකුණන හෝ බදු දෙන බව ඔවුහු ප‍්‍රසිද්ධියේ ම කියා සිටියහ. එය තමන්ගේ ආර්ථික ප‍්‍රතිපත්තිය බව විවෘතව ම කීහ. ගෝඨාභය රාජපක්‍ෂගේ ආණ්ඩුව බලයට එන්න කලින් පුන පුනා කිව්වේ, තමන්ගේ ප‍්‍රතිපත්තිය එය නොවන බව ය. විකිණිල්ලට තදින් ම විරුද්ධ බව අවධාරණය කොට කිව්වේ ය. එහෙත්, බලයට පත් වෙලා මාසයක් යන්නත් මත්තෙන් කොළඹ ඉතා ම වටිනා ඉඩමක් සිංගප්පූරු සමාගමකට බදු දුන්නේ ය. ආණ්ඩුව බලයට ගේන්න කත්ඇදපු දේශප්‍රේමී, ජාතිමාමක යැයි කියා ගත් කිසිවෙක් වචනයක් හෝ ඒ ගැන කතා කරන්නේ නැත. මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ, රතන හාමුදුරුවෝ, බෙංගමුවේ නාලක හාමුදුරුවෝ, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හාමුදුරුවෝ, ඔය කවුරුවත් වචනයක්වත් ඒ ගැන කතා නොකරති. ඒ වෙනුවට හැම දා ම හැමෝ ම කතා කරන්නේ, රන්ජන් රාමනායකගේ කුණුහරුප හඬපට ගැන ය. ඒවා ගැන වැඩිපුර ම විද්‍යුත් නාළිකාවල විවරණ සපයන්නේ හාමුදුරුවන් වහන්සේලා ය. ප‍්‍රවෘත්ති කියන්නේ, උන් වහන්සේලා ද යන තරමට ම ඒ ගැන වදාරති.

මේ සියල්ල කළේ සරල බහුතරයවත් නැති ආණ්ඩුවකි. සරල බහුතරයවත් නැතිව මෙහෙ ම කරන්නේ නම්, තුනෙන් දෙකේ බලයක් තිබුණොත්, මොනවා නොකරාවි ද? ප‍්‍රශ්නය ඇත්තේ, එතැන ය. පසුගිය 2010-15 අතර කාලයේ දී මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට ද තුනෙන් දෙකේ බලයක් තිබිණි. මැතිවරණයේ දී එවැනි බලයක් ලබා දුන්නේ නැත. ඒත්, බලය පාවිච්චි කරලා, අනෙක් පැත්තෙන් කණ්ඩායමක් අරගෙන එවැනි බලයක් සාදා ගත්තේ ය. එදා දහඅට වැනි සංශෝධනය සම්මත කර ගත්තේ, ඒ බලය පාවිච්චි කර ගැනීමෙනි. උසාවිවලට බලපෑම් කළේ, ඒ බලය යොදා ගනිමිනි. රට තුළ මහා පරිමාණ හොරකම්, වංචා සිද්ධ වෙද්දී, ඒ කිසිවකට නීතිය ක්‍රියාත්මක නොවුණේ, එකී බලයෙන් ඒවා යටපත් කළ නිසාවෙනි. යුද්ධය අවසන් වීමෙන් රටක් විදියට ලැබූ වාසිය පාවිච්චි කර ගනිමින්, රට හදන්නට තිබූ අනගිතම අවස්ථාව මඟහැරියේ ය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය පමණක් නොව පළාත් සභා සියල්ලේ ද බලය එදා රාජපක්‍ෂ ආණ්ඩුවට තිබිණි. එහෙත්, රටට වෙච්ච සෙතක් නැත. සෙතක් වූවා නම්, ඒ රාජපක්‍ෂ පවුලේ අයට සහ ඔවුන්ගේ ම හිතමිතුරු හෙන්චයියලාට පමණි.

එසේ නම්, දැන් ගෝඨාභය එවැනි බලයක් නැවත ඉල්ලන්නේ, මොනවා කරන්නට ද? එය පැහැදිලිව ම රටට ඉදිරිපත් කළ යුතු ය. දැනට කරන්න බැරිව ඇත්තේ මොනවා ද? දහනව වැනි සංශෝධනය ගැන දිගින්දිගට ම විවේචන එල්ල කරමින් සිටියි. දහනව වැනි සංශෝධනය සිදු කළේ ජනාධිපතිවරයා සතු වූ අසීමිත බලය අගමැති හා පාර්ලිමේන්තුව වෙත පැවරීමට ය. මෛත්‍රීගේ අන්තිම කාලයේ කිව්වේ, රනිල් තමන්ට ලොකු බාධාවක් බව ය. එනම්, අගමැතිගේ බලතල ලොකු බාධාවක් බව ය. තත්ත්වය එසේ නම්, දැන් බාධාව වී ඇත්තේ, මහින්ද රාජපක්‍ෂ ද? ගෝඨාභයට අත-පය දිගහැරලා වැඩ කරන්න නොදෙන්නේ මහින්ද විය යුතු ය. ඒ කවර අවස්ථාවල දී ද? මොන මොන වාගේ දේවල්වල දී ද යන්න ජනතාව දැනගත යුතු ය.

දහනවය බාධාවක් නම්, ඒ මහින්දගෙන් බව ඉතා පැහැදිලි ය. එනම්, එය අයියා-මලෝ දෙන්නාගේ ප‍්‍රශ්නයක් ය. එසේ නොමැතිව එය දහනවයේ ප‍්‍රශ්නයක් නොවේ ය.

ජනතාවාදී දේවල් සිදු කරන්නට අසීමිත බලයක් අවශ්‍ය නොවේ. තුනෙන් දෙකේ බලයකින් කරන්න යන හොඳ දේවල් දැන් වුවත්, කළ හැකි ය. ඒවාට විපක්‍ෂයට විරුද්ධ වීමේ හැකියාවක් නැත. උදාහරණයක් විදියට වැට් බදු සියයට පහළොවේ ඉඳලා අටට අඩු කිරීම ගත හැකි ය. හරි නම්, වැට් බදු වෙනස් කිරීම පාර්ලිමේන්තුවෙන් අනුමත විය යුතු ය. ඒ සඳහා වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ද ඇත. එහෙත්, බදු අඩු කිරීමකට කිසිවකුට විරුද්ධ විය නොහැකි ය. එසේ විරුද්ධ වී ද නැත. එය ඉතා පහසුවෙන් පාර්ලිමේන්තුවේ අනුමත වන බව ස්ථිර ය. එවැනි ජනතාවට හිතකර  ඕනෑ ම පනතක් හෝ යෝජනාවක් ගෙන එන්නේ නම්, පූර්ණ අනුමැතිය ලබා ගත හැකි ය. ප‍්‍රශ්නය වන්නේ ජනතාව විරෝධය එල්ල කරන අණපනත්වලට ය. එවැන්නක් සම්මත කර ගන්නට බලහත්කාරය අත්‍යවශ්‍ය වේ. තමන්ගේ ම පැත්තේ අයගෙන් පවා කැමැත්ත ගන්නට බලහත්කාරය අවශ්‍ය වේ. එවැනි ජනතා ද්‍රෝහී වැඩ සම්මත කර ගන්නට තුනෙන් දෙකේ බලයක් ඕනෑ බව පැහැදිලි ය. ඉතිහාසයේ අත්දැකීම්වලින් ද එය මනාව ඔප්පු වී ඇත. ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවට හයෙන් පහේ බලයක් ලැබීමෙන් මුළුමනින් ම එදා තිබුණු ආණ්ඩුව ජනතා ද්‍රෝහී එකක් වුණේ ය. ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට පවා වැඩ කරන්නට සිදු වූයේ ඉල්ලා අස්වීමේ ලිපිය ජේ.ආර්.ට ලබා දීමෙන් පසුව ය. රට තුළ මුළුමනින් ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කර දැම්මේ, ඒ බලය යොදා ගනිමිනි. අවසානයේ ලලිත් – ගාමිණීලා වාගේ අයට එකී බලයට විරුද්ධව එළියට බහින්න පවා සිදු වුණු බව හොඳට මතක ය.

රාජපක්‍ෂ ආණ්ඩුව ද තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා, සිදු කර ගත්තේ තමන්ගේ පැවැත්මට අදාළ දේවල් ය. ජනතාවාදී කිසිවක් එකී බලය යොදා ගනිමින් ඉටු කළේ නැත. ඒ කාලයේ දී හකීම්ලා, රිෂාඩ්ලා, තොණ්ඩමන්ලා ඔක්කො ම හිටියේ ඔය කියන බලය ඇතුළේ ය. දැවැන්ත වන විනාශයක් වුණා යැයි කියන විල්පත්තුව කැලය විනාශ කරන්න බලය දුන්නේ ද එකී තුනෙන් දෙකේ ආණ්ඩුව ය. මෛත්‍රීපාල සිරිසේන පක්‍ෂයේ මහා ලේකම් තමන්ගේ තනතුර පවා අත්හැරලා එළියට ආවේ එකී බලය දරා ගන්නට බැරිව ය. එදා තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා, ආණ්ඩුව මුළුමනින් ම ජනතාවට විරුද්ධව ගිය නිසා ම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ සංවාදය ඉහළට ම ආවේ ය. විධායක ජනාධිපතිකම අහෝසි කරන තැනට ම ජනතා මතය හැදුණේ, ඒ තත්ත්වය තුළ ය. එසේ නම්, නැවත එවැනි තත්ත්වයක් රටේ ජනතාව කිසිසේත් ම බලාපොරොත්තු වන්නේ නැත. රටක් ලෙස ආපස්සට යන්නට කිසිවකු එකඟ වන්නේ නැත.

ඩලස් අලහප්පෙරුම කියන්නේ, ආණ්ඩුවට විරුද්ධව එකසියතිස්පහක් ම පාර්ලිමේන්තුවේ සිටින නිසා මොනවාවත් කර ගන්න බැරි බව ය. මෙය පට්ටපල් අමූලික බොරු කතාවකි. මේ වන තෙක් ආණ්ඩුවේ කිසිවකට පාර්ලිමේන්තුවෙන් බාධා එල්ල වී නැත.

වතු කම්කරු වැටුප, ගොවීන්ට පොහොර නොමිලේ දීම, බදු සහන දීම, නොමිලේ ලබා දෙන පාසල් නිල ඇඳුම් දීමනාව වැඩි කිරීම ආදී වූ ඕනෑ ම යෝජනාවක් හෙට ගෙනාවත් පහසුවෙන් ම සම්මත කර ගත හැකි ය. එවැන්නකට කාටවත් විරුද්ධ විය නොහැකි ය. ඩලස් කියන විදියට ඒ ජාතියේ මොනවාවත් තවම ගෙනැල්ලා ද නැත. එහෙම බලන කොට මේ බොරු හිතලුවක් පමණ ය. ආණ්ඩුවක් පවත්වාගෙන යන්න පාර්ලිමේන්තුවේ සරල බහුතරය තිබෙන එක පහසු ය. ඒ ගැන විවාදයක් නොමැත. එබැවින්, තුනෙන් දෙකේ අසීමිත බලයක් අවශ්‍ය වන්නේ නැත.

දැන් මේ හදන්නේ, එවැනි බලයක් නැතිව මොනවාවත් කර ගන්න විදියක් නැහැ යැයි බොරු මතයක් හැදීම ය. බලය ලැබිලා ආණ්ඩුවක් කරපු කෙටි කාලය තුළ කියපු, කරපු දේවල් ද ආණ්ඩුවට අහිතකරව බලපා ඇත. එම්.සී.සී. ගිවිසුම, සිංගප්පූරුවට ඉඩම් විකිණීම, සංස්ථා, මණ්ඩල හා රාජ්‍ය ආයතනවලට පරණ හොරුන් ම නැවත පත් කිරීම, තෙල් මිල ඉහළ දාන්න වෙන බව කීම වාගේ දේවල්වලින් දැනටමත් සවුත්තු වී ඇත. තව යන්න යන්න තව තවත් සවුත්තු වන්නේ ය. ඒවා යට කර ගන්නට රන්ජාගේ හඬපටවලින් පමණක් නොහැකි ය. ඒවා වලංගු වන්නේ කෙටි කාලයකට පමණක් ය. දැන් වෙන කොට මිනිස්සුන්ට ඒවා අප්‍රිය වී ඇත. දැන් අවශ්‍ය වන්නේ කියපු දේවල් කිරීම ය. එහෙම නැතිව ගැබිණි මවුවරුන්ට දුන්න පෝෂණ මල්ලත් කපා දැමීම නොවේ ය. රන්ජාගේ හඬපට අස්සේ පෝෂණ මල්ලට වැඬේ දීපු එක යට ගියේ ය. මහ බැංකු වංචාකරුවන්ට දඬුවම් දීම ගැන දැන් කතාවක්වත් නැත. සහරාන්ගේ බෝම්බයේ වගඋත්තරකරුවන්ට දඬුවම් දීම ද යට ගසා ඇත. එදා කිව්වේ, ආපු ගමන් ඒවා කරන බව ය. එහෙත්, අද වෙන කොට මහ බැංකු කොල්ලය ගැන අර කියන හාමුදුරුවන් වහන්සේලාවත් කතා කරන්නේ නැත. සියල්ල උඩුයටිකුරු වී ඇත. ගෙවිච්ච කෙටි කාලයට මෙහෙ ම නම්, ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් නැරඹිය හැකි ය.

තමන්ගේ බැරිකම්, දුර්වලකම් සියල්ල වසා ගන්න හදන්නේ, තුනෙන් දෙකේ බලයක් ඉල්ලා සිටීමෙන් ය. එවැනි බලයක් ලැබුණොත්, ඔක්කො ම හරි යැයි කියා තවත් කැරට් අලයක් පෙන්වමින් යයි. එදා කිව්වේ, ගෝඨාභය ජනාධිපති කරපු ගමන් සියල්ල විසැඳෙන බව ය. එහෙත්, අද කියන්නේ, වෙනත් කතාවක් ය. ගෝඨාභය ජනාධිපති වූ පළියට සියල්ලට උත්තර ලැබෙන්නේ නැති බව අත්දැකීම්වලින් ම දැන් පැහැදිලි ය.

දැන් මේ කරන්නේ, ඊ ළඟ ඡන්දයේ දී ඡන්ද ටික ලබා ගන්න බොරු මතයක් හැදීම ය. විජේදාස රාජපක්‍ෂගේ ව්‍යවස්ථා සංශෝධනවල අරමුණ ද එයයි. ඔහු ගෙනෙන සංශෝධන කිසිවක් පාර්ලිමේන්තුවේ මේ මොහොතේ සම්මත කර ගත නොහැකි ය. ඒ බව ඔහු හොඳින් දනී. දැන දැන ඒවා ගෙනෙන්නේ ඒ සඳහා වූ මතයක් හැදීමට ය. ඉන් ඡන්ද ටික වැඩි කර ගන්නට ය. රතන හාමුදුරුවෝ ගෙන ආ මුස්ලිම් අයට අදාළ විවාහ නීතිය ද එවැන්නකි. දැනටමත් ඒ සඳහා වූ නීති සැකැසීමට අදාළ කැබිනට් අනුමැතිය ලැබී ඇත. එය සිදු වී මාස පහකටත් වැඩි ය. එසේ තිබිය දීත්, එය ජාතිවාදී මතයක් අවුස්සා, ඡන්ද ලබා ගන්නට කරන උප්පරවැට්ටියක් බව පැහැදිලි ය. ගෝඨාභය රාජපක්‍ෂ හාල් කඩේට පැන්නේ ය. එහෙත්, හාල් මිල බැස්සේ නැත. ළූනු කඩේට පැන්නේ ය. එහෙත්, ළූනු මිල බැස්සේ ද නැත. කොළඹ මහා ඉස්පිරිතාලයට පැන්නේ ය. එදායින් පස්සේ පෝලිමේ වරු ගණන් රස්තියාදු නොවී ලෙඩ්ඩුන්ට ඇති වෙන්න බෙහෙත් ලැබුණේ ද නැත. වෙනත් පුද්ගලයෙක් ජනාධිපති පුටුවේ වාඩි වුණා යැයි රටක් මුහුණ දී ඇති මහා දැවැන්ත ආර්ථික අර්බුදයට උත්තර ලැබෙන්නේ නැත. අද සිද්ධ වෙලා තියෙන්නේ, මෛත්‍රී හිටිය පුටුවේ ගෝඨාභය වාඩි වීම පමණකි. එදා සිට ක්‍රියාත්මක වූ ආර්ථික ක‍්‍රමය තවමත් එසේ ම ය. එහි හරයෙන් කිසිවක් වෙනස් වී නොමැත. හරයෙන් සිදු වන්නේ එදා සිද්ධ වූ දේවල් ටික ම ය.

සරල බහුතරයවත් නොමැතිව ඉඩම් ටික විකුණා දමන්නට ක්‍රියා කළ ආණ්ඩුවක් තුනෙන් දෙකේ බලයක් ගත්තොත්, කරන්න යන දේ සිතා ගත හැකි ය. කොහො ම වුණත්, මැතිවරණයෙන් එවැනි බලයක් ලබා ගන්නට නොහැකි බව ස්ථිර ය. යුද්ධය අවසන් වූ මොහොතේ උපරිම වාසිය තිබිය දී පවා රාජපක්‍ෂලාට තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් ලැබුණේ නැත. එදා හකීම්ලා, රිෂාඩ්ලා, තොණ්ඩමන්ලා ඔක්කො ම එකතු කරගෙනත් ලැබුණේ, එකසිය හතළිස්දෙකකි. අද එවන් තත්ත්වයක් පෙනෙන තෙක් මානයක ඇත්තේ නැත. ගෝඨාභයට හැටනව ලක්‍ෂයක් ඡන්දය දෙද්දී, එයට විරුද්ධව හැට ලක්‍ෂයක් ඡන්දය දී ඇති බව මතක් කර ගත යුතු ය. අද වෙන කොට ඒ තත්ත්වය ද වෙනස් වී ඇත. අප්‍රේරල් මාසය වනවිට තව තවත් වෙනස් වනු ඇත.

එබැවින්, තුනෙන් දෙකේ බලයක් ගැන කියන කතාවලට බිය විය යුතු නැත. එවැන්නක් කිසිසේත් ම ලැබෙන්නේ නැත. යූ.එන්.පී.යෙන් එහාට පැන්න ද, එවැනි බලයක් සාදා ගැනීම පහසු නැත.

අනෙක් පැත්තට කිසිදු ආණ්ඩුවකට එවැනි අසීමිත බලයක් කිසිදා ලබා දිය යුත්තේ ද නැත. ඉතිහාසයේ සිදු වුණාක් මෙන් මුළුමනින් ම ජනවරමට පයින් ගහන්නේ, එවැනි බලයකිනි. එවිට එය ආපස්සට හරවන්නට ජනතාවට බලයක් නැත්තේ ය. ‘ගිය හකුරට නාඬන්නේ, තියෙන හකුර රැක ගන්නේ’ යැයි කියමින් පසුතැවෙන්නට පමණක් සිදු වන්නේ ය. පෙරළා ජනතා විරෝධය මැද තවත් අවුරුදු පහක් ඒකාධිපති පාලනයකට පාර කැපීම නොකළ යුත්තේ ය. දැන් තියා ම එය නතර කරන්නට උත්සාහ දැරිය යුත්තේ ය. ජනතාවාදී දිශාවට පාර්ලිමේන්තුව මෙහෙයවා ගන්නට හැකි බලතුලනයක් ඇති කර ගැනීම මෙයට ඇති එක ම උත්තරයයි.

ලංකා ඉරිදා සග්‍රහය

Back to Top