Sri Lanka Brief
පුවත්අධිකරණයේ නඩු නවත්වන්න ගෝඨාභයගේ කොමිසමට බලයක් නැහැ – නීතීපති

අධිකරණයේ නඩු නවත්වන්න ගෝඨාභයගේ කොමිසමට බලයක් නැහැ – නීතීපති

by

නීතීපතිවරයාට නියෝග දීමේ ව්‍යවස්ථාපිත හෝ නෛතික බලයක් ජනාධිපති විමර්ශන කොමිසමකට නොමැති බව නීතීපති. ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ජනාධිපති විමර්ශන කොමිෂන් සභා පනත යටතේ පිහිටුවනු ලැබු ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවකට අධිකරණයක් හමුවේ විභාග කෙරෙන නඩු කටයුත්තකට අදාළව නියෝග දීමේ හෝ වාරණය කිරීමේ නීතීමය බලයක් හෝ අයිතියක් නොමැති බවද නීතීපතිවරයා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට ලිඛිතව කළ දැනුම් දීමේදී අවධාරණය කොට ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීලට් වසන්ත කරන්නාගොඩ සහ රියාද් අද්මිරාල් ඩී.කේ.පී දසනායක යන දෙදෙනාට එරෙහිව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවරා ඇති නඩුව ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ අවසන් නිර්දේෂ නිකුත් කරනතුරු ඉදිරියට පවත්වාගෙන යෑම වළකාලමින් ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව කළ දැනුම්දීම සම්බන්ධයෙන් පිළිතුරු සපයමින් නීතීපතවරයා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට ලිඛිතව මේ බව දැනුම් දී ඇත.

2015 ජනවාරී 08 වැනිදාත් 2019 නොවැම්බර් 16 වැනිදාත් අතර කාලය තුළ සිදුවී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබදව පරීක්‍ෂා කොට තොරතුරු ලබාගැනීම සදහා පත් කළ මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාමාජිකයින් වශයෙන් විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න (සභාපති) විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක හා විශ‍්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප‍්‍රනාන්දු යන මහත්වරුන් කටයුතු කරයි.

මෙම කොමිසමට පසුගිය 22 වැනිදා පළමු පැමිණිල්ල ඉදිරිපත් කොට ඇති වසන්ත කරන්නාගොඩ සහ ඩී.කේ.පී. දසනායක යන දෙදෙනා විසින් දේශපාලන බලපෑම් මත තමන්ට එරෙහිව නඩු කටයුතු ආරම්භ කොට ඇති බවට පැමිණිලි කොට ඇති බව දැනුම් දී තිබු අතර ඒ සම්බන්ධයෙන් 23 වැනිදාම විමර්ශනය කළ කොමිසම වසන්ත කරන්නාගොඩ සහ ඩී.කේ.පී. දසනායක යන මහත්වරුන්ට එරෙහිව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවරා ඇති නඩුව ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ අවසන් නිර්දේෂ නිකුත් කරනතුරු ඉදිරියට පවත්වාගෙන යෑම වළකාලමින් නියෝගයක් නිකුත් කොට තිබිණි.

ඒ සම්බන්ධයෙන් නීතීපතිවරයා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට ලිඛිතව පිළිතුරු සපයමින් නීතීපතිවරයා අධිකරණය හමුවේ නඩු පවරනු ලබන්නේ විමර්ශනවලදී ඉදිරිපත් වන සාක්කි පදනම් කරගෙන මිස වෙනත් පරිබාහිර කරුණු පදනම් කරගෙන නොවන බව දැනුම් දී ඇත.

මෙම විත්තිකරුවන් දෙදෙනා ඇතුළු විත්තිකරුවන් 14 දෙනෙකුට එරෙහිව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පවරනු ලැබ්වේ සියළුම නෛතික ක‍්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් අනතුරුව තමන් වෙත පැවරී ඇති නීතීමය බලතල අනුව බව කොමිසමට පෙන්වා දී ඇති නීතීපතිවරයා තමන්ගේ ඉල්ලීමකට අනුව මෙම විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කොට ඇති බවද පෙන්වා දී ඇත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 04 සී හා 105 වැනි වගන්තීන් අනුව අධිකරණ නියෝගයකින් තොරව තමන්ගේ රාජකාරී කටයුත්තක් වන පැමිණිල්ල මෙහෙයවීම නතර කිරීමට කොමිසමකට කිසිඳු නෛතික ප‍්‍රතිපාදනයක් නොමැති බව කොමිසමට පෙන්වා දී ඇති නීතීපතිවරයා කොමිෂන් සභා පනතේ 16 වැනි වගන්තිය යටතේ පිහිටුවනු ලැබු ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවකට නීතීපතිවරයාට නියෝග දීමේ ව්‍යස්ථාපිත හෝ නෛතික බලතල නොමැති බවද වැඩිදුරටත් පෙන්වා දී ඇත.

නීතිපතිවරයාගේ මෙම පිළිතුරු ලිපිය අනුව පැහැදිලි වන්නේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වූ වහාම පිහිටුවනු ලැබූ මෙ ජනාධිපති කොමිසම ආරම්භයේදීම තමන්ට ලැබී ඇති පළමු පැමිණිල්ලේ සිටම රටේ නීති රීති අතික්‍රමණය කරමින් ආරෝපිත බලයක් සහිතව කටයුතු කිරීමට ආරම්භ කර ඇති බව.

ඒ අනුව මෙම කොමිසම ඉදිරියේදී කුමන ආකාරයෙකින් හැසිරෙනු ඇත්දැයි තේරුම් ගත හැකි බවත් මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් නීතිය පිළිබඳ ජනතා විශ්වාසයටත් එල්ල කරන බලවත් මරු පහරක් බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

(ලංකා ට්රුත්)

Back to Top