Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගරාජපක්ෂ සහ රාජපක්ෂ – සුනන්ද දේශප්‍රිය

රාජපක්ෂ සහ රාජපක්ෂ – සුනන්ද දේශප්‍රිය

by

(Image from |Asian Times)

දැන් රාජපක්ෂවරු දෙදෙනෙකි. ජනාධිපති ය. අගමැති ය.  පෙනුමෙන් ද දේශපාලන මතයෙන් ද පණිවිඩයෙන් ද අසමාන ය. ජාතිකවාදයෙන් ද සමාජ පදනමින් ද සමාන ය.

රාජපක්ෂවරුන්ගේ පවුලේ දේශපාලන ලාංචනය ලෙස සැළකෙන කුරහන් සාටකය ගොඨාභය නොපළදී. මහින්දගේ සිට නාමල් දක්වා අදින සුදු සරම සහ සුදු කුර්තාව ඔහු අදින්නේ ද නැත. කළිසම සහ අත් කොට කමීසය පමණකි. තවම ජනපතිවීමෙන් පසු නම් ඉංග්‍රිසි පන්නයට කබායක් සහ ටයි පටියක් හෝ පැළද නැත.

මා දන්නා රාජපක්ෂ

රාජපක්ෂවරුන් අතරින් මා පුද්ගලිකව දන්නේ මහින්ද රාජපක්ෂ පමණි.  බොහෝ කළක් ඔහු කෙරෙහි යම් ඇල්මක් ද මා තුළ තිබුණි. කොළඹ ලිප්ටන් වට රවුමේ ජන ඝෝෂාව කළේ අප එකට ය. මහින්ද රාජපක්ෂ නලාවක් පිඹමින් සිටි අතර අප  මුව තුළට ඇගිළි දමා හෝ හෝ ශබ්ද නැගුවෙමු. එකළ මහින්ද රාජපක්ෂ යම් වාම නැඹුරුවක් පෙන් වූ වීදි සටන් කෙරෙහි ඇල්මක් දැක් වූ දේශපාලනඥයකු විය. පසුව අතහැර දමන ලද කම්කරු ප්‍රඥාප්තිය ඉදිරිපත් කළේ ඔහු ය.  නුගේගොඩ අසළ වූ ඔහුගේ නිවසෙහි අපි මාධ්‍යවේදීන් ලෙස කා බී ද ඇත්තෙමු. ‘ චන්ද්‍රිකාට කියන්න නැතුව ඇවිත් හමුවෙන්න’ යැයි දවසක් ඔහු මට කීවේ ඇය ජනාධිපති කාලයේ ය. 2008 වසරෙහි අගෝස්තු මාසයේ වර්ධනය වෙමින් තිබූ ජනමාධ්‍ය මර්ධනය ගැන කතා කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ලෙස අවස්ථාවක් ඉල්ලු වහාම ඔහු අවස්ථාවක් දී අපට නියෝජිත පිරිස ඉතා මිත්‍රශීලී පිළි ගත්තේ ය. ඒ කාලයේ ම උපන්දිනය දා මට කතා කොට ඔහු සුභ පැතූ අවස්ථා ද විය.

2009 යුද්ධාවසානයෙන් පසු මහින්ද රාජපක්ෂ හමුවෙහි ඇති අභියෝගය චන්ඩාශෝක චරිතයෙන් ධර්මාශෝක චරිතය කරා මාරුවීම යැයි මම ලීවෙමි. නමුත් ඔහු, ඉතිහාසය විසින් ඔහු වෙනුවෙන් සකස්කර තිබූ වේදිකාව මත වැජඹීම තෝරා ගත්තේ ය. ඉතිහාසය වෙනස් කරමින් පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාව නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත් කිරීමට ඔහු සූදානම් නොවී ය. ඒ වෙනුවට අප දුටුවේ පුද්ගලාභිවාදනය මත පදනම් වෙමින් පවුල් බලය ගොඩ නගමින් අර්ධ ඒකාධිපති බලතල ලබා ගැනීමට 18වන සංසෝධනය ගෙන ආ රාජපක්ෂ කෙනෙකි. ඒ කොතෙත් ද යත් රාජපක්ෂට, මහරාජනනී යැයි ගීයක් ගැයූ ලා බාල තරුණියකගේ නමින් මාවතක් පවා නම් කැරුණේ රජුන් දුන් ගම්වර සිහි ගන්වමිනි. ‘මිහින් ලංකා’ මහින්දෝදය, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගන, වරාය, ගුවන් තොට ඈ කී නොකී හැම දෙයක්ම මහින්ද විය. බලය විසින් දුෂණය ඇති කරයි යන කියමන සිය වරක් සැබෑ විය.

2015 ජනවාරිය එළඹුණේ, අප කව්රුත් දන්නා පරිදි, එකී සමස්ත පිරිහීමට ප්‍රතිචාරයක් වශයෙනි. යහපාලනය බඩ කපාගෙන සියදිවි නසා ගැනීමෙන් පසු දැන් ඒ මහින්ද රාජපක්ෂත් එකළ මර්දනයේ ලාංචනය වූ ගෝඨාභය රාජපක්ෂත් යන දෙදෙනාම රට කරවන ජනපති – අගමැති දෙපළ ලෙස අප ඉදිරියේ දිස්වෙයි.

අනෙක් රාජපක්ෂ

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගත්තේ සිය වැර වෑයමිනි. පවුලේ පරිත්‍යාගයක් ලෙස නොවේ. ඔහු ජය ලැබුවේ 2010 රාජපක්ෂ ලද ජන්ද ප්‍රමාණය ඉක්මවා යමිනි. ගෝඨාභයට වාම මුහුණූවරක් හෝ වීදි සටන් අත්දැකීම් හෝ නැත. ඔහුගේ සමාජීය ආත්මය යුද සෙබෙළෙ අත්දැකීම ය. ඔහුගේ දේශපාලනය ඊට වෙනස් ය. ඔහු රනිල් වික්‍රමසිංහටත් වඩා දේශපාලන දැක්මෙන් නව ලිබරල්වාදී ය. එනම් ඔහු සළකන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මුල්තැන්හි තැබූ ලිබරල්වාදය යල් පැන ගිය එකක් ලෙස ය. මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ තැනක් තිබුණේ ම නැත.

ගෝඨාභය දැක්ම, ඔහු ‘ද හින්දු’ පුවත්පතට කී ලෙසම ඍජු ය.  මෙරට දෙමළ ජනයාගේ අයිතීන්ට මත පදනම් වූ දේශපාලන විසඳුමක් අපේක්ෂා කරන බවට අගමැති නරේන්ද්‍ර මෝඩි තමා හමුවෙහි කළ ප්‍රකාශයට ඔහු ඉන්දියාවෙහි දී ම පිළිතුරු දුන්නේ ඉහත කී ‘ද හින්දු’ පුවත් පතට දුන් සාකච්ඡාවෙහිදී ම ය. ‘ අව්රුදු 70ක්ම බලය බෙදීම, බලය බෙදීම යැයි කිය කිය හිටියාට වැඩක් වුණේ නැහැ.  උතුරට මා ලබා දෙන සංවර්ධනයෙන් අව්රුදු පහකට පස්සේ මා මනින්න’ යැයි ඔහු කීවේ ය. ‘ඒකීය රටක් තුළ උපරිම බලය බෙදීමට’ තමා සූදානම් යැයි මහින්ද රාජපක්ෂ කියන කතාවට ඔහු තිත තිබ්බේ ය.

මහින්ද රාජපක්ෂ පාලනයේ ළකුණ වූ පුද්ගලාභිවාදනය  දැනට නම් ගෝඨාභයගේ නැත. (මහින්ද රාජපක්ෂ නමින් සෑම දිසාවකම පාසල් 25ක් ඇති කරන බව අධ්‍යාපන ඇමැති දැනටමත් කියා තිබේ.) ගෝඨාභය සිය රූපය වන්දනාමාන කිරීමට අවසර දී නැත. සිරිසේන ද එළෙසම පටන් ගත් නමුත් පහු පහු වන විට කොහු කොහු විය. නමුත් සිිරිසේනට තමන්ගේ කියා ඉදිරි දැක්මක් තිබුණේ නැත. ගෝඨාභයට තිබේ.

ගෝඨාභයට ස්වකීය සිතැඟි පරිදි  සිය අණසක යටතේ රට පාලනය කිරීමට අවශය ය. සිංගප්පූරු ආදර්ශය එයයි. මෑතක් වන තුරුම එරට තිබුණේ නොනිල තනි පක්ෂ පාලනයකි. ලොව වැඩිම කළක් සිරගතව සිටි ජනමාධ්‍යවේදියා සිටියේ ද එරට සිර ගෙදරක ය. සිවිල් සහ දේශපාලන අයිතීන් යටපත් කොට සිංගප්පූරුව ආර්ථික සංවර්ධනය ලබා ගත් සමාජ දේශපාලන සහ ආර්ථික සාධක අද ලෝකයෙහි නැත.

දැන් නීතිය නොතකා රහස් පොලිස් නිලධාරීන් පමනක් නොව ඉන් සමහරකුගේ දරැ පවුල් පවා රටින් පිට යෑමට වැට බැඳ තිබේ. විදේශයන්හි පුරවැසිබව ලබා ලංකාවට එන ශ්‍රී ලාංකිකයින් ගුවන් තොටෙහි දී අමතර පරීක්ෂාවන්ට ලක්වේ. උතුරු නැගෙනහිර මානව හිමිකම් ක්‍රියාකාරීන්ද මිත්‍රශීලී ප්‍රශ්ණ කිරීම් වලට ලක්වෙයි. කොළඹ රාජ්‍ය නොවන සංවිධානවලටද විවිධ වේශයෙන් ඔත්තු සේවා නිලධාරීහු පැමිණෙති.   යුද හමුදාව වන්දනාමාන කරන චිත්‍ර තාප්ප පුරා දැන් ඇදෙන්නේ යළි 2009 සිහි කරවමිනි.

බෙල්ලන්විල හාමුදුරුවන් සමඟ කළ සාමීචිය   ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මුහුණූවර ජනාධිපති රාජපක්ෂ ලෙස තහවුරු කිරීමක් හා සමාන  විය. කුණූ කරත්ත පස්සෙන් පොලිස් නිලධාරින් ගමන් කරන්නට පටන් ගත්තේ සද්දයක් නැතිව ය. කොළඹ දඩාවතේ යන බල්ලන්ද අතුරුදහන් ය‍. යාචකයින් ද අතුරුදහන්වනු ඇත්තේ ද එළෙස ය‍. ‍ලැයිස්තුව අනුව වීදි වෙසඟණන් ද අතුරුදහන්වීමට නියමිත ය‍. පිලිපීනයේ මෙන් සිල්ලරට කුඩු විකුණනන්නන්ද අන්තර්ස්ධාන වනු ඇත. එවිට අතුරුදහන්වීම සුචරිතවාදී වචනයක් වීමටත් ඉඩ තිබේ.

නොපෙනෙන දෙය

මේ සියලු කරුණු එක පෙළට තැබූ විට නොපෙනෙන දෙයක් සමාජයෙහි සිදුවෙමින් ඇති බව තේරුම් ගැනීම අමාරු නැත.

ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රථම දින දහය තුල ගත් වැදගත්ම තීන්දු 12ක් දක්වන මොහාන් සමරනායක 9 වැනි අංකය යටතේ මෙසේ කියයි: ‘ සිංහල ඡන්ද පදනම මත විශ්වාසය පළ කිරීම සහ එම ඡන්ද පදනමට දායක වී රට ගොඩ නැගීමට එක්වන ලෙස සියලු ජාතිකයින්ට ආරාධනා කිරීම’. ( මෙහි පේලි අතර ඇති වචනය සිංහල බෞද්ධ යන්නයි). සිංහල බෞද්ධ ප්‍රාව අතර සිය ජනප්‍රියත්වය රඳවා ගැනීම සහ වර්ධනය කර ගැනීම ගෝඨාභය දේශපාලනයේ තීරණාත්මක එල්ලය වනු ඇත.  පසුගිය කාලය පුරා සිංහල බෞද්ධ මතවාදයේ පෙරමුණූ බළ ඇණි වූ බොදු බල සේනා, සිංහල රාවය, මහසොන් බලකාය, වැනි පිරිස් ඉවත් කිරීමෙන් තොරව එම මතවාදී නියකත්වය ගෝඨාභය සතු කර ගැනීම දුෂ්කර ය. එපමණක් නොව සිංගප්පූරු මාදිලිය කරා ගමන් කරමින් සංස්කෘතික සහ ආර්ථික සමානාත්මතාවය ඇති කිරීමට ද සිංහල බෞද්ධ මතවාදී අධිපත්‍ය තමන් සතු කර ගෙන එය පාලනය කිරීම ද අවශ්‍ය ය.

ජනාධිපති ලෙස ස්වකීය සමාජ දේශපාලන දැක්ම ඉදිරියට ගෙන යාමට නම් ගෝඨාභයට අත්‍යවශ්‍ය එක් කොන්දේසියක් තිබේ. එනම් 19වන සංසෝධනය අහෝසි කොට යළි ජේ.ආර්. පන්නයේ ජනාධිපති බලතල ලබා ගෙන  ජනාධිපති ධුරකාල සීමාව ද භංග කර ගැනීමයි. එවිට අධිකරණය ද පොලීසිය ද අනෙක් ස්වාධීන කොමිසන් සභා ද නැටවෙනු ඇත්තේ ජනාධිපති අත්ලෙහි ය. සිවිල් දේශපාලන අයිතීන් යටපත් කොට වේගවත් ආර්ථික සංවර්ධනයක් ලබා ගැනීමේ ගෝඨාභය දැක්ම ක්‍රියාවට නැංවීමට නම් ජේ්‍. ආර්. පන්නයේ, ඊටත් එහා යන බලයක් අවශය ම ය.

බැසිල් ද ගෝටා ද 19වන සංසෝධනය අහෝසි කළ යුතු බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබේ. නමුත් දැන් මහින්ද රාජපක්ෂවාදී වාසුදේව නානායක්කාර කියන්නේ එය අහෝසි නොකළ යුතු බවයි. 19 වන ව්‍යවස්ථාව අහෝසි කර 18 වන සංසෝධනය යළි බලසතු කළ හොත් මහින්ද රාජපක්ෂ දි.මු. ජයරත්න කෙනෙක් බවට පත් වෙයි. එනම් පතෝල අගමැතිවරයෙකි.

‘දරදඬු පාලනයක්’ මගින් ශ්‍රී ලංකාව අනම් මනම් නැති විනය ගරුක සංවර්ධිත සමාජයක් බවට පත් කිරීම, යන දැක්ම අයත් වන්නේ මහින්ද රාජපක්ෂට නොව ගෝඨාභය රාජපක්ෂට ය. ඔහුට ඡන්දය ලැබුණේ ඍජු, දරදඬු, කියන දේ කරන පාලකයකු වී රට ආර්ථික වශයෙන් සුඛිත මුදිත කිරීමට ය. ගෝඨභයගේ ප්‍රථම සහ එකම පුවත්පත් සාකච්ජාවෙහි දී මහින්ද රාජපක්ෂ කීවේ ‘ අපි දෙන්නා ඒක බෙදා ගෙන කරන්නම්’ කියා ය. බෙදා ගත්ත ද කරන්නට ඇත්තේ ගෝඨාභය සැළැස්මයි.

වට පිටාව ලස්සන සහ තාප්ප අවලස්සන කිරීමත් සමාජයම ඔත්තුසේවා ග්‍රහණයට ගැනීමත් හැරුන විට සමාජ – දේශපාලන – ආර්ථික ක්‍රියාවලියන් සිය අණසකට ගැනීමට 19 වන ව්‍යවස්ථාව ජනාධිපතිවරයාට ඉඩ දෙන්නේ නැත. මහ මැතිවරණයෙන් ගොඩ නැගෙනු ඇත්තේ මහින්ද රාජපක්ෂගේ දේශපාලන බලය යි.  රාජපක්ෂ සහ රාජපක්ෂ අතර වන ප්‍රතිවිරෝධයෙහි වඩා බලගතු වන්නේ සංහිදියාව ද ගැටුම ද යන්න තීරණාත්මක වනු ඇත්තේ එවිට ය.

මට පෙනෙන හැටියට නම් දැනට සංහිදියාව තීරණාත්මක සාධකය වනවා ඇත.

 

 

Back to Top