Sri Lanka Brief
පුවත්විවරණමානව අයිතිවාසිකම්; එදා සහ අද – අසංක අබේරත්න

මානව අයිතිවාසිකම්; එදා සහ අද – අසංක අබේරත්න

by

සෑම වසරකම දෙසැම්බර් 10 “මානව අයිතිවාසිකම් දිනය” ලෙස නම්කර ඇත. එයට හේතූවූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1948 දෙසැම්බර් 10 මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සම්මතකර ගැනීමයි. එතැන් සිට 21 වන සියවසේ දෙවන දශකයේ අවසන් දෙසැම්බර් 10 දිනට මානව අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශනයට හැත්තෑඑක් වසරක් සපිරේ. සාමාන්‍යයෙන් යම් පුද්ගලයෙකුගේ වයස අවුරුදු හැත්තෑවක් පමණ වන විට ‘එයාට දැන් ගොඩක් වයසයි’ යනුවෙන් බොහෝ දෙනා සලකතත් මිනිසෙක් වීම නිසාවෙන්ම කෙනෙකුට හිමිවන අයිතිවාසිකම් එලෙස වයසට නොයයි. එයට හේතු අප ජීවත්වන සමාජ ආශ්‍රයෙහිම පවතී. බොහෝ දෙනෙකු සිතන ආකාරයට මානව අයිතිවාසිකම් තවමත් ආගන්තුක හා පිටස්තර දෙයක් ලෙස සලකති. මෙම තත්ත්වය ලාංකීය සමාජ සන්ධර්භය තුළ ඉතා සියුම්ව හසුකර ගත හැකිය. ලංකාව් පමණක් නොව පෙරදිග වෙසෙන බොහෝ ජාතීන් මානව අයිතිවාසිකම් පිළිබද යම් කුකුසකින් පසුවන බවක් පෙනෙන්නට තිබේ. මෙවැනි පසුබිමක මානව අයිතිවාසිකම් පිළිබද සාකච්ඡාව කුමන දිශාවක් කරා යොමු කළ යුතුද යන්න කරදරවන පුද්ගලයන්ට සහ සමාජ ක්‍ෂේත්‍රවලට එය ඉතා වෙහෙස ඇතිකරවන සුලු කටයුත්තක් වනු ඇත. සමාජ අර්බුදවල ප්‍රතිඵල ලෙස ජනිත කෙරෙන පීඩනය, අසහනය, ආන්තීකරණය සහ ප්‍රචණ්ඩත්වය මානව අයිතිවාසිකම්වල වලංගුභාවය අත්හිටුවන අතර යුක්තිය සහ සාධාරණය පිළිබඳ අවශ්‍යතාවය ද එකවිට මතු කරමින් සිටී.

මානව අයිතිවාසිකම් පිළිබඳ කථිකාව

මානව අයිතිවාසිකම් පිළිබඳ ගෝලීය සාකච්ඡාව මෙරට සමාජය තුළ ඉතා ප්‍රාථමික ලෙස සලකන බවක් දක්නට ලැබෙන අතර බොහෝවිට එය මානව අයිතිවාසිකම් බටහිර සංකල්පයක් ලෙස ගෙන නුරුස්සන ප්‍රතිචාරයන් ප්‍රදර්ශනය කෙරේ. විශේෂයෙන්ම යුද්ධයෙන් පසු මෙරට දේශපාලන සමාජය මුහුණ පා සිටින මානව හිමිකම් ගැටලුව ජාතිකවාදී දෘශ්ටියකින් ද තවත් විටෙක ජාතිමාමක වේශයන් හා ප්‍රචන්ඩකාරී හැසිරීම් මගින් ද සිදුව ඇත්තේ මානව අයිතිවාසිකම් ආශ්‍රිතව ගොඩනැගී තිබෙන, එහි පදනම් මූලධර්ම වන විශ්වීයත්වය, ගරුත්වය, ස්ථාවරත්වය, ප්‍රතිපෝෂණය, සමානත්මතාව සහ සහභාගිත්වය, වගවීම හා නීතියේ ආධිපත්‍යය යනාදී වටිනාකම් දේශීයත්වයට මුවාවෙමින් නොසලකා හැරීමයි. ජනවාර්ගික යුද්ධවල මෙන්ම දේශපාලන අරගලවලදී පවා බොහෝවිට මෙම වටිනාකම් බැහැරකොට ඇත. එහෙත් මානව අයිතිවාසිකම් මඟින් අවධාරණය කරන ප්‍රජාතන්ත්‍රවාදී ඇගයුම් හා පුද්ගල වටිනාකම් මේ කුමන සන්ධර්භයකදී වුවද බැහැර කිරීම සාධාරණීකරණය කළ නොහැකිය.

අනෙක් අතට මානව අයිතිවාසිකම් ආශ්‍රිත සාකච්ඡා සහ ක්‍රියාකාරකම් හුදෙක් රාජ්‍යය නොවන සංවිධානවල අරමුණු මත යැපෙන දෙයක් ලෙස දැකීමට පුරුදුව සිටින සම්ප්‍රදායික කණ්ඩායම් මානව අයිතිවාසිකම් පොදු සමාජ අවකාශයෙන් ඉවත්කර තැබීමට උත්සාහ දරයි. එසේත් නැතිනම් එය ගැරහුමට ලක් කරයි. එහෙත් යථාරථයනම් මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ මූලික වගකීම දරන ආයතනය ලෙස රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව නිතර විමසිලිමත්ව සිටීමට රුචියක් දක්වන සංවිධානවල ක්‍රියාකාරීත්වය නිදහස් සමාජයක පැවැත්මට අත්‍යවශ්‍ය වීමයි. මන්දයත් වරෙක මානව අයිතිවාසිකම් මගින් රාජ්‍යය සහ පුරවැසියා අතර සම්බන්ධතාවය ද තවත් විටෙක රාජ්‍යයේ, පුද්ගලයකුගේ හෝ පුද්ගල කණ්ඩායමක බලහත්කාරීත්වයකින් තොරවීමේ නිදහසත්, විසම්මුතියේ අයිතියත්, සමාජ දේශපාලනයේ නියැලීමටත් තිබෙන හිමිකම අවධාරණය කෙරේ. නූතනයේ බොහෝ රාජ්‍යයන් එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශනය ද සිවිල් හා දේශපාලනය අයිතිවාසිකම් ද ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් යන අන්තර්ජාතික සම්මුතීන් දෙක පිළිගෙන තිබේ. නමුත් එසේ තිබියදී වුවද මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන තවත් විටෙක අවභාවිතා කරන පාලන තන්ත්‍රවල අත්දැකීම් මෙම සමාජවල සුලබව දක්නට ලැබේ.

තද පාලන තන්ත්‍ර සහ මානව අයිතිවාසිකම්

ගැටුම් සහ අවුල්සහගත තත්ත්වයන් යටතේ අයිතිවාසිකම් පනත්, අයිතිවාසිකම් ආශ්‍රිත ආයතන ශක්තිමත් කිරීම යන අයිතිවාසිකම් යාන්ත්‍රණය කෙරෙහි පසුගිය කාලය තුළ රාජ්‍යයේ අවධානයට හසුව තිබේ. විශේෂයෙන්ම ගැටුම් සහ ආරවුල් සහිත රාජ්‍යවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මානව අයිතිවාසිකම් නොයිවසන අතර ඒවායින් බොහෝමයක් ව්‍යවස්ථාපිත අධිකාරිවාදී පාලන තන්ත්‍ර ලෙස කටයුතු කරයි. එහෙත් ගැටුම් හා ආරවුල් මැදින් වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නැවත සකස්කර ගන්නා තත්ත්වයන් යටතේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ අරමුණින් මානව අයිතිවාසිකම් ආශ්‍රිත ආයතන සවිබල ගැන්වීමේ උත්සාහයන් ද ගැටුම්වලින් පසුව දැකගත හැකිය. නේපාලය (2015), ටියුනීසියාව සහ ඊජිප්තුව (2014), වියට්නාමය සහ සිම්බාබ්වේ (2013), සෝමාලියාව (2012), දකුණු සුඩානය (2011) වැනි රාජ්‍යවල අයිතිවාසිකම් ව්‍යවස්ථාපිතකර ගනු ලැබූවේ රාජ්‍යයේ ගැටුම් සහ ආරවුල් සහිත පාලන තන්ත්‍ර බලයෙන් පහ කිරීමට නැගී සිටිමින් එහි යම් ජයග්‍රහණයක් ලෙස සම්මතකර ගන්නා ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින්ය. සහජීවනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ශක්තිමත් අයිතිවාසිකම් එමගින් අවධාරණය කිරීම අරමුණ වී තිබේ. දකුණු අප්‍රිකාව, නැගෙනහිර ටිමෝරය, ඉක්වදෝර්, බොලීවියා හා කෙන්යා වැනි රටවල්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල පසුකාලීනව වුවද ඇතුළත්කර තිබෙන අයිතිවාසිකම් විධිවිධාන ප්‍රගතිශීලී සහ නව්‍ය අයිතිවාසිකම් ලෙස සලකති. නමුත් මානව අයිතිවාසිකම් පිළිබඳ පරිපාලන යාන්ත්‍රණ රාජ්‍ය ක්‍රියාකාරිත්වය සහ මැදිහත්වීම තුළ අකාර්යක්ෂම කිරීම සහ නාම මාත්‍රික වීමේ අවධානම සහිතව මිනිස් නිදහස, යුක්තිය සහ සාදාරණත්වය නොයිවසන තද පාලකයන්ගේ ජනප්‍රියභාවය මානව අයිතිවාසිකම් මත දැඩි තෙරපුමක් ඇති කරයි.

තද පාලන තන්ත්‍රවල මෙන්ම ආණ්ඩුව අරාජිකවන කාලවල ද නිලබල පීඩාව ඇති කරන නිලධාරීවාදි අකටයුතුකම් නිසා මානව අයිතිවාසිකම් ගනන් නොගන්නා තත්ත්වයන් පොදුවේ අත්දැකීමට හැකිව තිබේ. වාර්ගිකත්වය, භාෂාව සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත විභේදිත පුරවැසියන් සිටින රාජ්‍යයක පුරවැසියන්ට ඔවුන්ගේ ගරුත්වය හා හිමිකම් අතින් එක සමාන සැලකිල්ලක් නොලැබී යයි. විශේෂයෙන් දකුණු ආසියාව සහ අරාභි කලාපයේ ව්‍යවස්ථාපිත බොහෝ නීති, ගරුත්වය සහ සදාචාරය තුළ පිරිමියා ස්ත්‍රිය ඉක්මවා යන තත්ත්වයක් ද, එක් ජනවර්ගයක් තවත් ජනවර්ගයක් යටකර ගෙන යාම, තවත් ආකාරයකින් භාෂාවක ආධිපත්‍යය මගින් වෙනත් භාෂාවක් පොදු සමාජය තුළ යටපත් කිරීම හමුවේ මානව අයිතිවාසිකම් අනතුරට ලක්කර ඇත.

එහෙත් ප්‍රායෝගිකව මෙම අනතුරට මුහුදෙන අතරේදීම දක්නට ලැබෙන විශේෂත්වයක් වන්නේ මානව අයිතිවාසිකම්වල ජනප්‍රියභාවය යුරෝපයට පමණක් සීමා නොවීමයි. අඩු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල පවා මානව අයිතිවාසිකම්වලට ජනප්‍රියත්වයක් සහ ඉල්ලුමක් ලැබී තිබේ. විශේෂයෙන් අධ්‍යාපන ආයතන ආශ්‍රිතව අදවන විට මානව අයිතිවාසිකම් විෂයයට වැදගත්කමක් ලැබී ඇතත් ශාස්ත්‍රීය ශික්ෂණයක් ලෙස මානව අයිතිවාසිකම් සම්බන්ධ දිගු ඉතිහාසයක් පෙරදිග සමාජවලින් හමු නොවේ. මානව අයිතිවාසිකම් ජාත්‍යන්තරකරණීය වන්නේ ද 20 වන ශතවර්ෂයේදීය. පාසල් විෂය නිර්දේශයට පවා මානව අයිතිවාසිකම් පාඩම ඇතුලු වූයේ ඉතා මෑතකදීය.

එබැවින් මෙම සමාජවල මානව අයිතිවාසිකම් පිළිබඳ ශාස්ත්‍රීය ශික්ෂණය ප්‍රවර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවක්ව පවතී. නමුත් එහිදී සැලකිළිමත් වියයුතු දෙයක් නම් අධ්‍යාපන ආයතන ආශ්‍රිතව මානව අයිතිවාසිකම් පිළිබඳ ශ්‍රාස්ත්‍රීය ශික්ෂණය වැඩි දියුණු කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. අධ්‍යාපනික ආයතන හැරුණු කොට මානව අයිතිවාසිකම් හා බැදී පවතින ව්‍යවහාරික අවබෝධය සහ භාවිතයන් නැවත සකස් කළ යුතුව තිබේ. ව්‍යවහාරික දැනුමෙහි අඩංගු මානව අයිතිවාසිකම් ආශ්‍රිත දුර්මත නිවැරදි කිරීමේ අවශ්‍යතාවයද හඳුනාගැනීම වැදගත්ය. මානව අයිතිවාසිකම් පිළිබඳ ඉදිරිදර්ශනය හා මානව අයිතිවාසිකම් ආශ්‍රිත ව්‍යවහාර සහ භාවිත මෙන්ම මානව අයිතිවාසිකම්වලට ගරු කරන ආයතනික ව්‍යූහය ගොඩනගා ගැනීමේ අභියෝගය හැත්තෑ එක් වසරකටත් පසුව ඉතිරිව තිබේ.

අසංක අබේරත්න, මානව අයිතිවාසිකම් අධ්‍යයන කේන්ද්‍රය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය, 0710454988

Back to Top