Sri Lanka Brief
පුවත්බදු කැපීම ආර්ථිකයට තල්ලුවක්ද? වියදම් කැපීම දැන් තීරනාත්මකයි!

බදු කැපීම ආර්ථිකයට තල්ලුවක්ද? වියදම් කැපීම දැන් තීරනාත්මකයි!

by

රජයකට ආර්ථිකයට මැදිහත්වීමට මූලික ප්‍රතිපත්ති දෙකක් තිබේ. එකක් නම් මූල්‍ය ප්‍රතිපත්තියයි. අනෙක පිස්කල් ප්‍රතිපත්තියයි. පිස්කල් ප්‍රතිපත්තියට මූලික ක්‍රමවේද දෙකකි. එකක් නම් බදු ප්‍රතිපත්තිය හරහා ආර්ථික කටයුතුවලට මැදිහත්වීමයි. අනෙක නම් රාජ්‍ය වියදම් වැඩි කිරීම හරහා රටේ සමස්ත ඉල්ලුම හෙවත් සමහාර ඉල්ලුම වැඩි කිරීමට මැදිහත්වීමය. එසේ බලද්දී නව රාජපක්ෂ රජය බදු කපා හැරීම හරහා ආර්ථික කටයුතු විශාල ලෙස බිඳ වැටී, ආර්ථිකය මන්දගාමී වූ විට ගනු ලබන පියවරකට අවතීර්ණ වී තිබේ.

තල්ලු ස්ටාට්එක හරි යයිද?

මන්දයත් රජයේ වියදම් වැඩි කිරීමට අදාළව ගතහැකි පියවරවල ඇත්තේ අතිශය සීමාකාරී පරිසරයක් වන බැවිණි. ආණ්ඩුව එමඟින් මූලිකවම අපේක්ෂා කරන්නේ මෙම සමහාර ඉල්ලුමේ ඉහළ නැන්වීමකි. උදාහරණයක් මඟින් පැහැදිලි කරන්නේ නම් මෙය අපට සමාන කළ හැක්කේ පණ ගැන්වෙන්නේ නැති රථයක් තල්ලුවක් දමා පණ ගැන්වීමට උත්සාහ කිරීමක් හැටියටය. එසේ තල්ලු ස්ටාට් කිරීමකින් පසු නිශ්චිත කාලයකින් අනතුරුව ඇතැම් බදු සහන පෙර තත්ත්වයට ගෙන ඒම ආණ්ඩුවේ අපේක්ෂාව යැයි සිතිය හැකිය. එහි වරදක් ද නැත.

වැට් එකතු කළ අගය මත අය කරනු ලබන බදු සහනය පාරිභෝගික ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව ඉහළ නංවන්නකි. සුළු හා මධ්‍ය පරිමාණ මට්ටමේ ව්‍යාපාරවලට එල්ල වී තිබූ බදු බර අඩුවීම හරහා ඔවුන්ගේ කටයුතු යම්කිසි ආකාරයක සක්‍රීයවීමක් වැඩිදියුණුවීමක් අපේක්ෂා කළ හැකිය. අනෙක් අතට උපයන විට අය කරනු ලබන බද්ද අහෝසි කර තිබේ. අහෝසි කර ඇතැයි කීව ද වඩා නිවැරැදි වන්නේ මාසික ආදායම ලක්ෂ දෙකහමාරකට වඩා උපයන්නන් ඍජු බදු ගෙවන කාණ්ඩයට අයත් කිරීමය. පෙර පැවැති තත්ත්වය වූයේ මාසයට රුපියල් ලක්ෂයට වඩා උපයන්නන් උපයන විට ගෙවන බද්දට යටත් කිරීමය. ඉහළ වැටුප් ලබන කණ්ඩායම් සිය පරිභෝජන කටයුතුවලට වඩා ආයෝජන කටයුතු හා ව්‍යවසායක කටයුතු ගැන බර තබන බව අපි දනිමු. මෙසේ උපයන විට ගෙවන බදු කපා හැරීමෙන් මහා පරිමාණ නව ආයෝජනවලට දිරියක් ලැබෙනු ඇතැයි සිතිය හැකිය. එය ධනාත්මක පියවරකි. ආයෝජන සිදු නොවුණත් අනෙක් අතට ඉතිරි කිරීම් ඉහළ දැමීමට එය හේතු වනු ඇත.

පාරිභෝගික ජනතාව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, ඉහළ වැටුප් ලබන සේවකයන් ආදී විවිධාකාරයේ කණ්ඩායම්වලට මෙම බදු කප්පාදුවෙන් සහන ලැබුණ ද අප අවධානය යොමු කළ යුතු තවත් අංශයක් පවතී. එය නම් බදු ආදායමයි. සංවර්ධනය වෙමින් පවතින රටවල සාමාන්‍යයෙන් රාජ්‍ය බදු ආදායම පවතින්නේ 17-18%කය. ලංකාවේ මෙය 2012, 2014 කාල සීමාවල පැවැතුණේ 11-12%ක මට්ටමේය. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට රාජ්‍ය ආදායම 20%ක වැනි අගයක නොවෙනස්ව පවතින විට මේ තත්ත්වය තුළ අවසාන වශයෙන් සෑමවිටම සිදුවුණේ ඇතිවන අයවැය පරතරය පියවීමට ණය ගැනීමය. මෙම බදු වෙනස් කිරීමට ප්‍රථම රජයේ බදු ආදායම ප්‍රමාණවත් වුණේ ණය වාරික හා පොලී ගෙවීම සඳහා පමණි. මේ ආකාරයට බදු කප්පාදුවක් කළ විට අත්‍යවශ්‍යයෙන්ම තවත් පහළට ගමන් කරන්නේ ආණ්ඩුවේ සීමිත ආදායමය. රටක ආර්ථිකයකට මෙය හොඳ ලක්ෂණයක් නොවේ. ණය ගැනීම් පාලනයට රජයේ ආදායම් වැඩි දියුණු කිරීම දෙසට අනිවාර්යයෙන්ම ගමන් කළ යුතු වේ. යහපත් රාජ්‍ය සේවයක් යටතේ සුබසාධන සේවා සැපයිය හැක්කේ එවැනි මඟකින් පමණි. මෙම බදු කපා හැරීම සමග කිසියම් ආකාරයකට ආණ්ඩුව වියදම් කපා හැරීමකට ද ගමන් නොකළහොත් නරක ප්‍රතිඵල ඇති කිරීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය.

වියදම් කළමණාකරණය තීරනාත්මකයි

කාර්ය මණ්ඩල හා ආරක්ෂක වියදම් අඩු කිරීම ආදිය ගැන ජනාධිපතිවරයා අගමැතිවරයා හා විවිධ ඇමැතිවරුන් ප්‍රකාශ කර තිබිණ. ඒ කියන අයුරින්ම ආණ්ඩුව ඵලදායී නොවන වියදම් අවම කර වංචාව දූෂණය නතර කර මනා වියදම් කළමනාකරණයකට ගමන් කළහොත් බදු කපා හැරීමෙන් එසේ මුහුණදීමට සිදුවන නරක ප්‍රතිඵල මගහැරගත හැකි වනු ඇත. එය එසේ නොවී ආණ්ඩුව තවදුරටත් එම වියදම් එපරිද්දෙන්ම කිරීමට අපේක්ෂා කරන්නේ නම් මෙම කෙටිකාලීන සහනය දිගුකාලීන වශයෙන් විසල් ආර්ථික පීඩනයක් බවට පත්වීමට ඇති ඉඩ ද වැඩිය. ඊට හේතුව ආදායම් හා වියදම් අතර ඇතිවන පරතරය පියවා ගැනීමට නිසැකයෙන්ම ණය ගැනීමට සිදුවන හෙයිනි. අහිමි වන ආදායම බදු නොවන මූලාශ්‍ර හරහා පියවා ගැනීමට තමන් කටයුතු කරන්නේ යැයි ආණ්ඩුව සඳහන් කර තිබිණි. රජයේ ගොඩනැගිලි හා ඉඩම්වලින් අය කරන ගාස්තු මේ වනවිට තිබෙන්නේ ඉතාම පහළ මට්ටමක බැවින් ඒවායේ අගය ඉහළ දැමීමෙන් මෙසේ අහිමි වන ආදායම් කිසියම් ප්‍රමාණයකින් උපැයිය හැකි බව ආණ්ඩුව පවසයි.

එහෙත් සැබැවින්ම එවැනි හැකියාවක් පවතී දැයි අප පරෙස්සමින් විමැසිය යුතුය. මගේ දැනුම අනුව නම් ආණ්ඩුවකට බදු නොවන මූලාශ්‍ර හරහා ලබාගත හැකි ආදායම, බදු කපා දැමීම මඟින් අහිමි වන මුදල පියවා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවේ. එමඟින් මා නැවත අවධාරණය කරන්නේ ආණ්ඩුව මෙවැනි කප්පාදුවක් සමග වියදම් කළමනාකරණයට යොමුවීමේ අවශ්‍යතාවයි.

ආර්ථිකය යම් ආකාරයකට සමහන් වූ පසුව පවා වක්‍ර බදු මෙම ආකාරයෙන්ම පවත්වාගෙන ගියත් උපයන විට අය කරනු ලබන බදු වැනි ඍජු බදු ඉහළ දැමිය යුතුය. මධ්‍යකාලීනව දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට රටේ බදු ආදායම 16-17% මට්ටමකට ගෙන යා හැක්කේ එවිටය. නොඑසේම දිගුකාලීනව මෙම බදු කප්පාදුව දැරීමට රජයට හැකි නොවනු ඇති අතර ජනතාව අපේක්ෂා කරන සුබසාධන කටයුතුවලට අවශ්‍ය අරමුදල් සොයා ගැනීමට ද රජයට හැකි නොවනු ඇත. එනිසා බදු කපා දැමීම තාවකාලික ප්‍රපංචයක් වන්නේ නම් හොඳය. කෙසේ වෙතත් ආර්ථික කටයුතු දිරිගැන්වීමට අනුගමනය කළ හැකි වෙන උපක්‍රමයක් මේ මොහොතේ මා දකින්නේ ද නැත. එනිසා ආණ්ඩුව කර ඇත්තේ රජයකට කළ හැකි එකම මැදිහත්වීම බව මගේ ද විශ්වාසයයි.

ආණ්ඩුවල ඵලදායී නොවන නාස්තිකාර වියදම් බොහෝය. වංචා දූෂණ හැටියට කොල්ලකන මුදල් ද බොහෝය. එකී නාස්තිකාර අනවශ්‍ය වියදම් කපා දැමීමට මේ ආණ්ඩුව තීරණාත්මක ලෙස කැපවන්නේ නම් එයින් වාසියක් ගත හැකිය. විශේෂයෙන්ම බදු කපා දැමීමෙන් අහිමි වන රාජ්‍ය ආදායම සොයා ගැනීම සඳහා නැවත ණය ලබා ගන්නා තැනකට තල්ලු නොවී සිටින්නට එම පියවර හේතු වනු ඇත.

එමනිසා අප බදු කපා හැරීමේ සමස්ත ආර්ථික ප්‍රතිඵලය විග්‍රහ කිරීමේදී රාජ්‍ය වියදම් කළමනාකරණය කරන්නේ කෙසේද යන්න ඒ බරින්ම ආමන්ත්‍රණය කිරීම වටිනේය. අහිමි වන බදු ආදායම සොයා ගන්නා ආකාරය ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න කරද්දී ඇමැතිවරුන් විවිධ පිළිතුරු දෙන ආකාරය අපි දකිමු. බදු නොවන ආදායම් මූලාශ්‍ර වෙත යොමුවීමත් වියදම් පාලනයත් ඒ පිළිතුරුවලින් ප්‍රමුඛය. එහෙත් ඒවා යථාර්ථවාදීව ඒ කියන ආකාරයෙන්ම ක්‍රියාවට නැඟෙන්නේ දැයි විමසා බැලීමට නම් ආණ්ඩුව ඒ ගැන සංයුක්ත පිළිතුරක් දිය යුතුවේ. නොඑසේම රාජ්‍ය වියදම් කළමනාකරණ රටාව ගැන පැහැදිලි චිත්‍රයක් ඇඳ ගැනීමට රටට හැකියාවක් නැත.

මෙම බදු ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සුළු කාල පමාවකින් ක්‍රියාවට නැඟෙනු ඇති බව සිතිය හැකිය. අයවැයකින් පසුව නිකුත් කරන ගැසට් මඟින් ක්ෂණිකව භාණ්ඩ මිල ඉහළ යන ආකාරයෙන්ම මෙම බදු කප්පාදුවෙන් භාණ්ඩ මිල අඩුවීම ද ක්ෂණිකව සිදුවනු ඇත. වැට් වැනි බදු 16-15% සීමාවක සිට 8% දක්වා අඩු වී ඇති අතර ඒවා ඉතාම කෙටි කාලයකින් අඩු විය යුතුය. ඉහළ මිල ගණන්වලට භාණ්ඩ විකුණන වෙළෙඳුන් වැටලීම සඳහා පියවර ගන්නේ යැයි දැනටමත් ආණ්ඩුව ප්‍රකාශ කර තිබෙන්නේ ඒ නිසාය. සහන සැලැසීම කෙටි කාලයකින්ම සිදුවීම ආණ්ඩුව අපේක්ෂා කරන බව එයින් පෙනේ.

තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රය වර්තමානය වනවිට හඳුනාගෙන ඇත්තේ මානව සම්පතට ඉහළ ප්‍රවේශයක් ඇති පුළුල්ව ප්‍රසාරණය කළ හැකි ක්‍ෂේත්‍රයක් හැටියටය. එවැනි පරිසරයක තොරතුරු තාක්ෂණ බදු කපා හැරීම හා විදුලි සංදේශ බදු පහළ හෙළීම ඉතා ධනාත්මක කරුණකි. මන්දයත් එකී ක්‍ෂේත්‍රවලට ආයෝජන ගලායාම වේගවත් වීමට මෙම පියවර මගපාදන බැවිනි. මෙම බදු පහත හෙළීම මෙන්ම ඊට අදාළ කාලසීමාවක් ගැන ද ආණ්ඩුව සඳහන් කරන්නේ නම් තවත් වටී. මන්දයත් ලංකාවේ බදු සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්ති නිතර නිතර වෙනස් වන නිසා ආයෝජන කිරීමට ආයෝජකයන් බිය වන බැවිනි.

එනිසා තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයෙහි ආයෝජන මඟින් ආර්ථිකයට විශාල තල්ලුවක් දැමීමට බදු කප්පාදුවේ කාල සීමා පැහැදිලිව සඳහන් කිරීම වැදගත් වනු ඇත. සුළු හා කුඩා පරිමාණ, තනි පුද්ගල ව්‍යාපාර ආදී සියලු ජන කණ්ඩායම් ආර්ථික කටයුතුවල නිරතවෙද්දී බහුල ලෙස භාවිත කරන සේවාවක් හැටියට විදුලි සංදේශ හැඳින්විය හැකිය. උදාහරණයකට අධ්‍යාපන, සෞඛ්‍යය වැනි අංශවලට මෙමඟින් සැපයෙන සේවය අතිමහත්ය. එවැනි තත්ත්වයකදී විදුලි සංදේශය බදු පහළ හෙළීම යනු නිෂ්පාදන පිරිවැය පහළ හෙළීමකි. එසේ නිෂ්පාදන පිරිවැය පහළ හෙළීම ව්‍යාපාරිකයන්ට දිරිදීමක් වනවා සේම මිල පහළ යෑමේ වාසිය පාරිභෝගිකයන්ට ලැබෙනු ඇත.

බදු සහන තාවකාලික විය යුතුය

විදේශ විනිමය සම්බන්ධයෙන් ගත් කල ශ්‍රී ලංකාව සිටින්නේ ලොකු අර්බුදයකය. පසුගිය කාලයේදී ඩොලරයට සාපේක්ෂව රුපියල විශාල වශයෙන් අවප්‍රමාණ විය. මේ නිසා අපට විදේශ විනිමය ලබාගැනීමට හැකි මාර්ග විවෘත කිරීම අතිශය වැදගත්ය. විශේෂයෙන්ම එහිදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් උපයන ආදායම මෙරටට ගෙනඒම දිරිමත් කළ යුතුය. එහෙත් අපේ ආනයන වියදම් විශාල වශයෙන් ඉහළ යද්දී අපනයන ආදායම් තිබෙන්නේ කඩාවැටුණු තත්ත්වයකය. ඍජු විදෙස් ආයෝජන ද පහළ වැටුණු පරිසරයක විදේශ විනිමය මෙරටට ගෙනඒමේ උපක්‍රමයක් හැටියට විදෙස් විනිමයට බදු නිදහස ප්‍රදානය ඉතාම වටී.

එසේ ගෙන එන විදෙස් විනිමය කිසියම් හෝ ආකාරවලින් ආයෝජනය කෙරෙන්නේ ද මේ රටේමය. ඒ අර්ථයෙන් ගත් කල විදෙස් විනිමය මත ඍජුව බදු පැනවීමට වඩා එසේ ගෙන එන විදෙස් විනිමය රටෙහි ආයෝජනය කර කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කරන අවස්ථාවේදී බදු ආදායම ගැනීම හොඳ පියවරක් බව මගේ ද අදහසයි.

පොදුවේ අප කවුරුත් පිළිගන්නා දෙයක් නම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය වැටෙන්නට ඇති පහළම අඩියට වැටී ඇති බවය. දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයෙන් දකුණු ආසියාවේ ඇෆ්ගනිස්ථානයට ආසන්න තැනකට වැටෙන්නට අපට සිදුවිය. එලෙස ආර්ථික තත්ත්වය පහළම තැනකට වැටෙන්නට බල පෑ ප්‍රමුඛ හේතුවක් වූයේ අධික බදු බරය. විශේෂයෙන්ම පෙර පැවැති යහපාලන ආණ්ඩුව ආර්ථික කටයුතු කෙරෙහි ඒ තරම් සැලකිල්ලක් නොදක්වා විශාල වශයෙන් බදු වැඩි කිරීම හරහා ආදායම් උපද්දවීමට ගත් උත්සාහයේ වක්‍ර ප්‍රතිඵලය වූයේ ආර්ථික කටයුතු අඩපණ වීමය. එසේ අඩපණ වූ ආර්ථිකයට මෙම බදු කප්පාදුවෙන් විශාල සහනයක් ලැබී තල්ලු ස්ටාට් එකක් ලැබේ යැයි අපි අපේක්ෂා කරමු.
එහෙත් පෙර කී පරිදිම රාජ්‍ය ආදායම අතින් අප සිටින්නේ රටක් හැටියට ඉතාම නරක තැනක බව අවධාරණය කළ යුතුය.

එනිසා මධ්‍යකාලීන හා දිගුකාලීන වශයෙන් බදු ආදායම වැඩි කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයකි. රටවැසියන්ට බදු සහන ලබා දී තිබෙන්නේ එවැනි පරිසරයක බව අමතක කළ යුතු නැත. එහෙයින් වටින්නේ ලබාදුන් බදු සහන තාවකාලික බදු සහන වන්නේ නම්ය. එසේ නොවන තත්ත්වයක් තුළ ආණ්ඩුවට සිය පාලනය පවත්වා ගැනීම දුෂ්කර වනු ඇත.

සටහන
බිඟුන් මේනක ගමගේ / ලංකාදිප ( අදහස් දැක්වූ මහතාගේ නම් ලිපියෙහි සඳහන් ව නැත)

Back to Top