Sri Lanka Brief
පුවත්විවරණසංක්‍රමණික ධීවරයා අහිමි කරවන උතුරේ ධීවරයාගේ රැකියා කිරීමේ අයිතිය – මෙලනි මානෙල් පෙර්රා

සංක්‍රමණික ධීවරයා අහිමි කරවන උතුරේ ධීවරයාගේ රැකියා කිරීමේ අයිතිය – මෙලනි මානෙල් පෙර්රා

by

ජායාරූපය: සංක්‍රමණික ධීවරයා අහිමි කරවන උතුරේ ධීවරයා මුහුණ දෙන ප්‍රශ්ණ ගැන…

ඔව්හු යුද්ධයකට මුහුණ දෙමින් යුද්ධයෙන් බැට කෑවෝය. මහා පරිමාන අවතැන් වීම්, ඒ නිසාම උන් හිටි තැන් අහිමි විම, ගොඩබිමෙත් දියඹෙත් රැකියා බිම් අහිමි වීම හේතුවෙන් යුද්ධය නිමාවුව ද, මිනිසා විසින් මිනිසා උදෙසා එල්ල කරන පීඩාව නිසා “ජීවත් වීමදැවැන්ත අරගලයක් නැතිනම් තවත් යුද්ධයක්” ලෙසට උතුරේ පුරවැසියා තවමත් තමන්ට එල්ලවන පීඩාවෙන් සංග්‍රහ ලබති. ගොවිතැන් සහ විෂම භෝග වගා කළ පුරවැසියාට තවමත් සිය ඉඩම අහිමිය. , ආරක්‍ෂක අංශ විසින් යුධ සමයේ දී අල්ලාගත් ඇතැම් ඉඩම් නැවත ලබාදී නොමැති නිසාත් තවත් ඉඩම් වල ආරක්‍ෂක මුලස්ථාන හෝ කඳවුරු ඉඳිකර ඇති නිසාත්ය. ධීවරයාට සිය මුහුද අහිමි වී ඇත. , උතුරට පහතින් ඇති පළාත්වල සිට සංක්‍රමණය වන ධීවරයින් විසින් උතුරේ මුහුද ආක්‍රමණයකර ඇති නිසා ය.

සංචාරක සටහන , පින්තූර සහ වීඩියෝ දසුන – මෙලනි මානෙල් පෙර්රා විසිනි.

දශක තුනක සිවිල් යුද්ධය සමස්ත ශ්‍රීලංකාව තුළ ව්‍යාප්තව පැවතිය ද, එහි දරුණු ම සහ ඛේදනීය තත්ත්වයන් ඇතිවුයේ ද බහුතරය අනිටු ඵල ශේෂ වුයේ ද ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් තුළය. සන්නද්ධ කල්ලියක් මෙල්ල කිරීම හැරුණු කොට එදා යුද්ධයේ ඉපැයීම වුයේ එහි භූමියෙත් , වස්තු සම්පත් වලත්, මිනිස් ජීවිත වලත් විනාශය පමණි. අවි හරඹ මැද, පුපුරා යන බෝම්බ වරුසාවන් මැද, දින ගණන් නොව වසර ගණන් තැනින් තැන අවතැන් වෙමින් යාන්තමින් රැකගත් හුස්ම පොද යළි ජීවත් කරවීමේ දැවැන්ත ම මෙහෙයුමට , අපහසු ම කාර්යයට ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවිය. එසේ වුයේ සියල්ල සුනුවිසුණු වී ගිය සුන්බුන් මතින් බිංදුවේ සිට පටන් ගන්නට සිදුවීමයි.

එහෙත්, “බිංදුවේ ඉඳලා ජීවිතේ පටන් ගන්න වලිකන අපිට, නිදහසේ අපේ මුහුදේ මාළු ටික අල්ලගෙන රැකියාව කරන්න අපිට පුළුවන් කමක් නැහැ. යුද්දෙ දි නැතිවෙච්ච දේවල් බොහෝමයි. ඒවා ගැන අපහසුවෙන් වුනත් හිත හදාගන්න වුනා, යුද්දෙකට අපි මුහුණ දුන්නා කියලා. ඒත් එච්චර දුක්විඳලා සියලු දේවල් නැතිවෙලා , ආයෙමත් හුස්ම ගන්න සටනක් කරන්න සිද්ධවෙලා තියෙන අපිට ඇයි මේ අමානුෂීක විධියට පහර ගහන්නේ ?”යැයි ප්‍රශ්න කළේ යාපනය, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් යන උතුරේ ප්‍රදේශ කිහිපයක සිට පැමිණි ධීවර නායකයින් ය.

අපේ මුහුද” යැයි ඔවුන් කීවේ ඔවුන්ගේ ගම්බිම් නගර සීමා සිසාරා පැතිර පවතින උතුරු නැගෙනහිර මුහුදු ප්‍රදේශයන්ට ය. ඒවා ඔවුන්ගේ පාරම්පරික රැකියා භුමී ප්‍රදේශ වන අතර එකී මුහුදේ රැකියාව සිදුකර යුද්ධයට පෙර ඉතා සස්ශ්‍රීක දිවි ගතකළ බව ත්, ඒ නිසා කිවෙකුට අත නොපා නිදහසේ ජීවත් වු බවත් කීවෝ ය.

ඒත් දැන් මොකද වෙලා තියෙන්නේ ?”

ඔවුන් ගෙනහැර පෑවේ ඉතාම ඛේදනීය වූ කථාවකි. “අපි වෙනත් කර්මාන්තයක් , රැකියාවක් කරන්න දන්නෙ නැහැ. දන්න එකම දේ තමයි මූදූ රස්සාව. අපි මහ බෝට්ටුකාරයොත් නෙවෙයි, අවුරුදු ගණනාවක ඉතිහාසයක් තිබෙන පාරම්පරික සුළුකර්මාන්ත ධීවරයෝ. නමුත් අද අපේ කර්මාන්තය අනතුරට පත්වෙලා. සංක්‍රමණික ධීවරයෝ නිසා අපිට අපේ මුහුදේ රැකියාව කරන්න බැරිවෙලා තියෙනවා. කොටින්ම, සුළුපන්න ධීවරයාගේ රැකියාව අහිමි වෙලා කිව්වොත් තමා වඩාත් ම නිවරැදි. ඒ නිසා උතුරේ සුළුපන්න ධීවරයා දැවැන්ත ආර්ථීක ප්‍රශ්න වලට මුහුණ දෙමින් තමයි ජීවත් වෙන්නෙ. එදිනෙදා ගෙදර දොරේ ප්‍රශ්න වැඩි වෙලා, ඒවලට පිළිතුරු හොයන්න ආර්ථීකය ශක්තිමත් වෙන්න ඕනෙ. ඒත් ගහෙන් වැටුණු මිනිහට ගොනා ත් ඇන්න වගේ දෙයක් තමයි අපිට වෙලා තියෙන්නේ.” යැයි ධීවර නායකයෝ කීහ.

ඇයි, එහෙම වෙන්න හේතුව කුමක්ද ?

පිට පළාත්වලින් එන ධීවරයෝ අති බුහුතරයක් අපේ මුහුදෙ මාළු සම්පත අල්ලා ගන්නවා. ඒ නිසා තමයි අපේ ජීවනෝපාය අපිට නැතිවෙලා තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි, ඒ ගොල්ල තහනම් පන්න භාවිතා කරලා තමයි මාළු අල්ලන්නෙ. ඒ නිසා මාළු හැදෙන මත්ස්‍ය නිධි යි මුහුදු ශාඛයි මුහුදු සම්පත් ටිකයි මුහුදු වෙරළයි ඔක්කෝම විනාශ කරලා තමා යන්නේ. ඒ විතරක් නෙවෙයි, පාරම්පරිකව මිනිස් ශ්‍රමය දාගෙන , මිනිස්සුනගේ දැතින් කරපු මාදැල් පාඩුව දැන් කරන්නෙ ට්‍රැක්ටර් දාලා. මුහුදත් ඉවරයි, මූහුදු වෙරළත් ඉවරයි.”

මේ ආකාරයෙන් මත්ස්‍ය සම්පත ත් මත්ස්‍ය නිධි ත් අනෙකුත් මුහුදු සම්පත් ද මුහුදු වෙරළ ද විනාශකරමින් සංක්‍රමණික ධීවරයා විසින් උතුරේ ත් නැගෙනහිර ත් සිදුකරමින් සිටින “සාගර සූරාකෑම” පෞද්ගලීකව ධීවරයා ආර්ථීක වශයෙන් බිමහෙළීමක් වන අතර පොදුවේ ගත්කළ එය උතුරේ ධීවර කර්මාන්තයට කරනු ලබන මහා අපරාධයක් , මහා විනාශයක් බව ඔවුන් පෙන්වා දුණී.

ධීවර සහ ජලජ සම්පත් සංවර්ධනය කිරීමේ අමාත්‍යංශයට අනුව 2016 වසරේ පෙබරවාරි මස 21 වෙනිදා ලංකාවේ මුහුදේ විනාශකාරි ඇතැම් ධීවර පන්න භාවිතා කිරීම සපුරා තහනම් කළේය. ඒ අනුව, උතුරේ මෙන් ම දකුණේ මුහුදේ ද පාවිච්චිය තහනම් කර ඇති විනාශකාරි ධීවර පන්න වන ලයිට් කෝස්, ලයිලා සහ සුරුක්කු දැල් භාවිතය නිසා, එකී විනාශයේ ප්‍රතිඵලය වන්නේ මත්ස්‍ය සම්පත පමණක් නොව, අනාගතයේ වසර ගණනාවක් තුළ සරු අස්වැන්නක් ලබාදීමට හැකිවන මාළුන්ගේ උපත සිදුවන මත්ස්‍ය නිධි එහෙමපිටින් ම විනාශවී යාම සහ ජලජ පෑලැටි විනාශවී යාම නිසා උතුරු මුහුදේ සුළුපන්න ධීවර කර්මාන්තය ගැන කිසිඳු ආකාරයක අනාගත බලාපොරොත්තුවක් තැබිය නොහැකි බව උතුරේ ධීවර නායකයෝ දැඩි කණස්සල්ලෙන් යුතුව ප්‍රකාශ කළහ.

පාරම්පරිකව, ගැඹුරු මුහුදේ නොව නොගැඹුරු මුහුදේ මත්ස්‍ය කර්්මාන්තයේ නියැලෙමින් දෛනික ආදායමක් උපයාගත් මෙකි සුළුපන්න ධීවරයින්ගේ බාල පරම්පරාව ධීවර ක්‍ෂේත්‍රයේ ම නියැලෙන්නට අපේක්‍ෂාකරන්නේ නම්, වර්තමානයේ දි සිදුවෙමින් පවතින මෙකී මහත් විනාශයක් හමුවේ ඔවුනට ඉඩක් නොලැබෙනු ඇත.

ධීවර කර්මාන්තයේ අනාගතය දෙස බලා, මුහුදත් එහි සම්පත් සියල්ලත් ආරක්‍ෂාකර ගැනීම සඳහා තහනම් පන්න භාවිතයට විරුද්ධව රජය නීති පනවා තිබුණ ද සංක්‍රමණික ධීවරයින් විසින් එම නීති සියල්ල උල්ලංඝණය කරමින් තහනම් පන්න භාවිතයේ යෙදීම තුළ රජයේ නීතිවලින් කිසිඳු පලක් නොවන බව ඔවුන් කියති.

උතුරු මුහුදේ රැකියාව කරන ධීවරයින් ගැන තීන්දු තීරණ ගන්න අපේ ධීවර කමිටු වලින්වත් ධීවර සම්මේලනයෙනුත් වැඩක් නැහැ, මොකද, සමහර දේශපාලනඥයිනුත් ධීවර අමාත්‍යංශයට සම්බන්ධ ඉහළ නිළධාරීනුත් තමන්ගේ බලය පාවිච්චි කරලා මේ පනවලා තියෙන නීති උල්ලංඝණය කරනවා සංක්‍රමණික ධීවරයින්ව ආරක්‍ෂාකරන්න. නීති විරෝධී පන්න වලින් රැකියාව කරන්න ඔවුන්ට ඉඩ සකස්කරල දෙන්න. ඒ හය්ය අරගෙන තමයි සංක්‍රමණික ධීවරයෝ ඇවිත් අපේ මුහුද විනාශ කරලා යන්නේ.”

මුහුදත් , මුහුදු සම්පතත් , සිය රැකියාවත්, ආරක්‍ෂා කරගැනීම පරම අවශ්‍යතාවයක් සේ සළකන උතුරේ ධීවරයා යම්කිසි සංයමයකින් යුතුව පනවා තිබෙන නීති රීති වලට සම්පුර්ණයෙන් ම අවනත වී රැකියාව කරන විට පිට පළාත් වලින් පැමිණෙන ධීවරයින් දේශපාලනඥයින්ගෙ සහ ධීවර නිළධාරින්ගේ රැකවරනය ලබාගනිමින් කිසිඳූ නීතියකට අවනත නොවී තහනම් පන්න භාවිතා කරමින් රැකියාවේ නිරත වන බවට උතුරේ ධීවර නායකයෝ චෝදනා කරති.

උතුරේ ධීවර නායකයින්ට අනුව, 2009 වසරේ, යුද්ධය අවසන් වු පසුව ධීවර අමාත්‍යංශයේ අනුමැතිය මත සංක්‍රමණික ධීවරයින් 32 නෙකු ලියාපදිංචි වී උතුරු මුහුදේ රැකියා කරන්නට අවසර ලබාදී තිබුණි. කෙටි කාලයකදී එම සංඛ්‍යාව ධීවරයින් 72 දක්වා වර්ධනය වී පසුව කාලයාගේ ඇවැමෙන් යම් යම් කොන්දේසිවලට යටත්ව ධීවරයින් 150 දක්වා උතුරු මුහුදේ රැකියාව කරන්නට අනුමැතිය ලබාදී තිබිණි. එහෙත් වර්තමානයේ දී, ලියාපදිංචි සංක්‍රමණික ධීවරයින් 260 දෙදෙනෙක් ද ලියාපදිංචි නොවු සංක්‍රමණික ධීවරයින් 250 දෙදෙනෙක් ද අතුළුව ධීවරයින් 500 කට අධික සංඛ්‍යාවක් නිත්‍ය වශයෙන් සංක්‍රමණික ධීවරයින් ලෙස උතුරු මුහුදේ රැකියාවේ නිරතව සිටිති.

මේ සංක්‍රමණික ධීවරයින් කොහේ සිට පැමිණෙන්නේ ද ?

උතුරේ සුළුපන්න ධීවරයාගේ රැකියා කිරීමේ අයිතිය අහිමිකරවන පිටස්තර පළාත්වලින් උතුරට සංක්‍රමණය වන ධීවරයින් අති බහුතරය මීගමුව, හලාවත, මහවැව, වෙන්නප්පුව , පුත්තලම, කල්පිටිය ප්‍රදේශවලින් පැමිණෙන අතර තවත් අතලොස්සක් ගාල්ල , මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල සිටි පැමිණ උතුරු මුහුද ආක්‍රමණය කරන බැව් ධිවර නායකයින් කීහ.

මෙය සැබෑවකි. සංක්‍රමණික ධීවරයින් අති විශාල වශයෙන් මුලතිව්, වඩමාරච්චි, තාල්අඞ්ඩි සහ අලම්බිල් යනාදි ප්‍රදේශ ප්‍රමුඛව තවත් ප්‍රදේශවල මුහුදු වෙරළේ වාඩිලා සිටිනු අපට ද නිරීක්‍ෂණය කළ හැකි විය. ඔවුන්ගෙන් බහුතරය සිංහල ජාතිකයින් වන අතර මුස්ලිම් සහ දමිළ ජාතිකයින් ද වන බව ධීවර නායකයෝ කීහ.

හලාවත සහ වෙන්නප්පුව සිට පැමිණ රැකියාවේ නිරතව සිටි සිංහල පවුල් කිහිපයක් හා කථා කිරීමේ දී ඔවුන් ඉතා සැහැල්ලුවෙන් ප්‍රකාශකර සිටියේ “අපිට නම් ඉතිං අවුරුද්දේ හැමදාම රස්සාව තියෙනවා. එහේ වාරකං එද්දි අපි මෙහෙට එනවා. මෙහෙට වාරකං එද්දි අපි එහාට යනවා.” මේ “එහාට” යනුවෙන් ඔවුන් ප්‍රකාශ කළේ තමන්ගේ ගමට ගොස් රැකියාව කරන බවයි. ඒ අනුව සංක්‍රමණික ධීවරයාට අවුරුද්දේ සෑම දා ශක්තිමත් ආර්ථීකයක් සමඟ ජීවත් වීමට හැකියාව ලැබී ඇති අතර, උතුරේ දමිළ ධීවරයා හට තමන් ජන්මලාභය ලැබූ භූමියේ මුහුදේවත් රැකියාව කිරීමේ අයිතිය අහිමිවී ගොස් ඇත.

ඒ ආකාරයෙන් සංක්‍රමණික ධීවර පවුල්වල ආර්ථීක ශක්තිය හා සතුට රැඳී පවතින්නේ උතුරේ පාරම්පාරික සුළුපන්න ධීවරයාට රැකියාව කරන්නට ඇති ඔවුන්ගේ නිත්‍යාණූකුල අයිතිය, උඳුරා ගැනීම තුළය. පාරම්පරික උතුරේ ධීවරයා, තමන්ට කෙතෙරම් හිංසා පාඩු සිදුවුණි ද ඒවා ගැන විසඳුම් ඉල්ලා කොතෙකුත් බලධාරීන්, නිළධාරීන් සහ දේශපාලඥයින්ගේ සහය , බලපෑම ඉල්ලා සිටිය ද ඉන් කිසිඳු සරණක් නොලබා ඒ වෙනුවට ධීවර නිළධාරීන්ගේ අනිසි බලපෑමට ගොඳුරුව සංක්‍රමණික ධීවරයාගේ ආක්‍රමණයට නතු වී තමන්ගේ රැකියා නිජ බිම් දෙස බලා සුසුම්ලමින් සිටින බව ඔව්හු කියති.

ඒ ගොල්ල ඇවිත් හොඳම මාළු ප්‍රමාණය අල්ලගෙන ගියාට පස්සේ තමයි අපි ගිහිං මාළු සොච්චමක් සොයාගෙන එන්නෙ. ඒකෙන් අපේ දරුපවුල්වලට ජීවත් වෙන්න හරිම අමාරුයි. තවදුරටත් අපි කාගෙන් ද මේ ප්‍රශ්නයට පිළිතුරු බලාපොරොත්තු වෙන්නෙ කියල තෙරෙන්නෙ නැහැ.” ඒ ඔවුන්ගේ අවසාන අපේක්‍ෂා භංගත්වයේ ප්‍රකාශයයි.

මාදැල් පන්නය ට්‍රැක්ටර් පන්නය බවට පත්වීම

මසුන් මැරීමේ වෘත්තිය ආරම්භයේ පටන් මිනිස් ශ්‍රමය පමණක් යොදාගෙන දියත් කළ මාදැල් පන්නය (මාදැල් වලින් මාළු ඇල්ලීමේ ක්‍රමය) සංක්‍රමණික ධීවරයින් විසින් ට්‍රැක්ටර් භාවිතා කරමින් සිදුකිරීම ද උතුරේ ඉතා ජනප්‍රිය මසුන් ඇල්ලීමේ ක්‍රමයක් බවට ව්‍යාප්තවී ඇති අතර, ඒ හේතුවෙන් මීට පෙර මාදැල් පන්නයෙන් දිවි සරිකරගත් ධීවරයින් සහ කුලී කරුවන් (පිරිමි සහ කාන්තාවන්) 30ත් 40ත් අතර සංඛ්‍යාවකට (එක් මාදැලක ශ්‍රම ශක්තිය) රැකියා අහිමිවී ඇති බව ධීවර නායකයෝ පෙන්වා දුණී.

වඩමාරච්චි උතුරු මුහුදු සීමාවේ පමණක් එවැනි ට්‍රැක්ටර් 26ක් භාවිතා කරන අතර 50කට ආසන්න ට්‍රැක්ටර් මාදැල් පන්නය මගින් උතුරේ මුහුදු වෙරළ තීරය ආක්‍රමණය කර ඇති බව ඔවුන් පැවසීය. සංක්‍රමණික ධීවරයින් විසින් ආරම්භකර ව්‍යාප්ත කර ඇති මෙම ට්‍රැක්ටර් භාවිතාව දැන් දැන් ඇතැම් දමිළ ධීවරයින් ද ආරම්භකර ඇති බව ද පැවසූ ධීවර නායකයින් දිවි ගැටගසා ගැනීමට ඔවුන්ට ඇති එම අවස්ථාවට විරෝධතාවක් දක්වන්ට හැකියාවක් නැතැයි පැවසීය. නාරා ආයතනය විසින් සිදුකළ සමීක්‍ෂණයකට අනුව ද මෙවැනි තහනම් පන්න ක්‍රම භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශයේ මත්ස්‍ය සම්පතේ ප්‍රමාණය අවම වී ඇතැයි ද අනතුරු හඟවා ඇත.

අප මානව සමාජයක් තුළ ජීවත්වන්නේ නම්, මනුෂ්‍යත්වය වෙනුවෙන් මානව සිත් අවදි වීම සහ ඒ වෙනුවෙන් මානූෂීය මැදිහත්වීම අත්‍යවශ්‍ය කාරණාවක් බව තේරුම් ගැනීම අප විසින් අමතක නොකළ යුතුය. තවත් කෙනෙකුගේ ජීවත්වීමේ අයිතිය, රැකියාව කිරීමේ අයිතිය , අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වැනි ප්‍රධාන , මූලික අයිතීන් උල්ලංඝණය කරන්නට බුද්ධිමත් මිනිසුන් ජීවත්වන , මනුෂ්‍යත්වයෙන් පිරිණූ හදවත් ඇති සමාජයක් කිසිසේත් ඉඩ දෙනු නොමැත. එසේනම් ඒ පැසුණු බුද්ධිය සහ මනුෂ්‍යත්වය ගොඩනැගීම වර්තමාන සමාජය ඉදිරියේ ඇති විශාල අභියෝගයකි. එය ගොඩනැගුණු දිනෙක අයිතීන් අහිමි කරවීම් සහ ශ්‍රමය සූරාකෑම සහ ජීවත් වීම සඳහා ඇතිකරගන්නා අනවශ්‍ය තරගය නිමාවනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදි අවකාශයක් තුළ ධීවර අයිතින් තහවුරු කරමින් සාමය හා එකමුතුකම වර්ධනය කරමු යන තේමාව ඔස්සේ , නොවැම්බර් 09 වෙනිදා (2019.11.09-සෙනසුරාදා) මාතර බෞද්ධ විද්්‍යාලීය කුලරත්න ශාලාවේදි පැවැත්වෙන ලෝක ධීවර දින දී ද මෙම සංක්‍රමණීක ධීවර අර්බුදය සාකච්ඡාවට ගැනීමට නියමිත බව ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය (නැෆ්සෝ) ප්‍රකාශ කළා.

ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපරය විසින් උතුරේ සුළු පන්න ධීවරයින් මුහුණපා සිටින මෙම සංක්‍රමණික ධීවර අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුලතිව් , වඩමාරච්චි , තාල්ලඩි , ආලම්බිල් යන ධිවර ප්‍රදේශ වල සංචාරය සංවිධානය කළ අතර එහිදී උතුරු පළාතේ ධීවර නායකයින් වන ශිවකුමාර්, ප්‍රසන්තන්, වර්ණකුලසිංහම්, අන්නරාසා, වී. රජිතා , වසන්තාලී සහ ජේ. ජිනසරන් යන අය සමඟ සාකච්ඡා කරන්නට අවස්ථාව ලැබිණි.

දෙමළ සිංහල පරිවර්ථනය සහ ට්‍රැක්ටර් භාවිතයෙන් දියත් කරනු ලබන මාදැල් පන්නය සම්බන්ධයෙන් කථා කිරීම ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ උතුරුදකුණු සංවාදයේ සම්බන්ධීකාරක ඇන්තනි ජේසුදාසන් විසිනි.

සංචාරක සටහන , පින්තූර සහ වීඩියෝ දසුන – මෙලනි මානෙල් පෙර්රා

Back to Top