Sri Lanka Brief
පුවත්විවරණයහපාලනයේ අඩුපාඩු නිසා අධිකාරීවාදියෙකුගේ තුරුළට අප වැටිය යුතු නැත – මනිලාල් දිසානායක

යහපාලනයේ අඩුපාඩු නිසා අධිකාරීවාදියෙකුගේ තුරුළට අප වැටිය යුතු නැත – මනිලාල් දිසානායක

by

පුරවැසියන් කෙලින් සිටගත යුත්තේ සහ තීරණාත්මක විය යුත්තේ ව්‍යසනකාරි කාලයන්හිදී ය. අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය එක්තරා සන්ධිස්ථානයකට පැමිණෙමින් සිටින බවක් පෙනේ. එය, අඳුර රජයන උපද්‍රවකාරී මංසන්ධියකි. එහිදී සියලු පුරවැසියෝ නැගී සිටිය යුත්තෝය. ඉරණම සියතට ගත යුත්තෝය.

අතිශය බරපතල මර්දනකාරී රාජ්‍ය යන්ත‍්‍රයක් යටතේ පීඩාවට පත්ව සිටි පුරවැසියන් 2015 ජනවාරියේදී එසේ කෙලින් සිටගෙන ස්වකීය බලය සංඛ්‍යාත්මකවත් පෙන්නුම් කළ බව කවුරුත් දනිති. ඒ එදා රාජ්‍ය තන්ත‍්‍රයේ නුහුලන දූෂණ සහ මානව හිමිකම් උල්ලංඝණයන් ඉදිරියේ නැගී සිටිමින් ආණ්ඩු වෙනසක් ඇති කර ගැනීමට පෙරමුණ ගැනීමෙනි.

එතැන් පටන් අවුරුදු පහක් ගෙවී ගොස් ඇත. නැවත වරක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් නැගී සිටීමේ අවශ්‍යතාවක් ජනතාවගේ පැත්තෙන් මතුව තිබේ. ඒ, තවත් ජනාධිපතිවරණයක් එන තත්වයක් තුළ කළ යුතු තේරීම, 2015 දී තරම්ම රටේ පැවැත්ම සම්බන්ධයෙන් බරපතල අවස්ථාවක් බවට මේ අවස්ථාවේත් පත්කොට ඇති නිසා ය.

එහෙත් ගත වූ වසර පහක කාලයේ අත්දැකීම් විසින් නීරස අත්දැකීම් සමුදායක් ද ඉතිරි කොට තිබේ. බොහෝ ඡන්දදායකයන්ට එය පෙනෙනු ඇත්තේ ඒ කාලයේ කළ අත්හදාබැලීම්වල අසාර්ථකත්වයක් නිසා තමන්ට නැවත වරක් දැරීමට සිදුව ඇති බරක් වශයෙනි.

මේ ආණ්ඩුව දූෂිතයන්ව නීතිය ඉදිරියට පැමිණවීමට ප‍්‍රතිඥා දුන්නේය. එහෙත් ඒ දූෂිතයන් සියල්ලන්ම පාහේ තවමත් නිදැල්ලේ සිටිනු පෙනේ. 2015 ප‍්‍රධාන ප‍්‍රතිඥාව වුණේ දූෂණයෙන් තොර පාරදෘෂ්‍ය (විනිවිද පෙනෙන) රාජ්‍ය පාලනයක් වුවත්, අද වන තෙක් දූෂණය දුරලා නැත. ඒ ප‍්‍රශ්න සමහරක් සඳහා දිය හැකි සාධාරණ පිළිතුරුද තිබේ. දූෂතයන් නීතිය ඉදිරියට පැමිණවීම නතර කිරීමට ආණ්ඩුවේ සාමාජිකයන් කිහිප දෙනෙකු කි‍්‍රයා කළ බවට සැකයක් නැත. එහෙත් ඒ සමගම, පසුගිය රජයේ ප‍්‍රධාන පෙළේ පුද්ගලයන්ගේ අකටයුතුකම්වලට අදාළ බොහෝ තොරතුරු සහ සාක්ෂි සොයා ගැනීමට මේ ආණ්ඩුව යටතේ නීතිය ක‍්‍රියාත්මක කිරීමේ අංශ සමත්ව ඇති බවත් පිළිගත යුතුය. එකී දූෂිතයන් තමන්ගේ ගැලවීම සඳහා අති විශාල සම්පත් සම්භාරයක් පාවිච්චියට ගනිමින්, තමන්ගේ නඩුවලට අදාළ අනේකවිධ කල්ගැනීම්, අභියාචනා සහ ප‍්‍රතිශෝධන පාවිච්චියට ගනිමින් යුක්තිය ක‍්‍රියාත්මක වීම කල්දමා ගැනීමට සමත්ව තිබේ.

අද ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත්ව සිටින හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා, තමන් සම්බන්ධයෙන් දියත්ව ඇති අපරාධ විමර්ශනයකට අදාළව තමාව අත්අඩංගුවට පත්වීම, පෙර නොවූ විරූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මාර්ගයෙන් ලබාගත් අතුරු සහනයක් ඔස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය ලවා අත්හිටුවා ගැනීමට සමත් විය. අත්අඩංගුවට පත්වීම වළක්වාලන මේ අතුරු සහනය ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට ලබා දුන්නේ 2015 දී ය. එදා පටන් ඔහුගේ එම නඩුව විභාගයට ගැනීමට නියමිතව සිටි අවස්ථාවන්හිදී එය ඇසීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හතර දෙනෙකුම මේ වන විට ඉවත් වී තිබේ. ඒ හතර දෙනාගෙන් එක් කෙනෙක්, ඔහුව අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු සහනය ඔහුට සපයා දුන් තැනැත්තියකි. ඔහුගේ නඩුව ඇසීමට තමන්ට නොහැකි බව පසුව කියා සිටි මැය ඔහුට සහනය ලබාදීමට ඊට කලින් අවස්ථාවේ පසුබට වී නොතිබුණි.

මේ ඡන්ද කාලයේ හෙළිදරව් වී ඇති කරුණු අනුව, යුක්තියේ මෙවැනි පමාවීම්වල හේතුව, අපරාධ පරීක්ෂණවලට ලක්ව සිටින පුද්ගලයන්ගේ හෙංචයියන් ආණ්ඩුවේ සහ රාජ්‍යයේ නීති යාන්ත‍්‍රණයේ විවිධ තැන්වල තවමත් අරක්ගෙන සිටීම බව අනාවරණය විය. හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුව ගැනීම තමන් මැදිහත්ව වැළැක්වූ බවට, අවුරුදු තුනක් අධිකරණ අමාත්‍ය ධුරය දැරූ පුද්ගලයා මේ ළඟදී කයිවාරු ගැසුවේය. ඔහු එසේ කර ඇත්තේ එකී පුද්ගලයාව අත්අඩංගුවට ගත යුතු බවට නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරිපත් කොට තිබූ නිර්දේශ පවා නොතකමිනි.

එසේම, 2015-2016 කාලයේ හිටපු සොලිසිටර් ජෙනරාල්වරයෙකු තමන් පොදුජන පෙරමුණට සහ ගෝඨාභය රාජපක්ෂට සහාය දක්වන බව පසුගිය දා ප‍්‍රසිද්ධියේ කියා සිටියේය. ඒ අතර, 2015-2019 කාලයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු දූෂණ සිද්ධියකට සම්බන්ධ බවට කරුණු හෙළිදරව් විය. ඔහුගේ පවුලේ සාමාජිකයන් ශ‍්‍රී ලංකාව තුළ සහ ඇමරිකාව තුළ කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමක නිරතව ඇත. ගෝඨාභය රාජපක්ෂ මතවාදයට හිතවත් රූපවාහිනී නාලිකා දෙකක් ඔස්සේ ඔහු පසුගිය දා කියා සිටියේ රාජපක්ෂ පවුලට එරෙහි දඩයමක් මේ ආණ්ඩුව යටතේ වසර හතරක් තිස්සේ ක‍්‍රියාත්මක වූ බවයි. මේ කියන නියෝජ්‍ය පොලිස්පතිවරයා, පැරණි ආණ්ඩුවේ සාමාජිකයන් සමග, විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ සමග මිතුරු සන්ධානයක සිටි බවට කලක් තිස්සේ නැගෙමින් තිබූ චෝදනාව ඒ මාර්ගයෙන් නිශ්චිතව සනාථ කෙරුණි. ඔහුගේ ඒ රාජපක්ෂ මිතුරන්ගෙන් බොහොමයක් දෙනා ඔහුගේම පොලිස් මූල්‍ය අපරාධ අංශය මගින් සිදු කෙරෙමින් පැවති අපරාධ විමර්ශනවල සැකකරුවන් වීම විශේෂයකි.

දේශපාලනික පද්ධති ජාලය තූළට මේ වන විට කිඳාබැස ඇති දූෂණය නමැති පිළිලය එක රැයකින් දුරලිය හැකි නොවේ. එම ක‍්‍රියාවලිය ඇරැඹෙන්නේ, මුලින්ම අදාළ දූෂිත පුද්ගලයන් වගවීමට බඳවා ගැනීමෙනුත්, අනතුරුව, නීතිරීති උල්ලංඝණය කිරීම දඬුවමකින් තොරව නිදහසේ කළ නොහැකි දෙයක් බවට පත්කිරීමෙනුත් ය.

කිසිවෙකු වැඩියෙන් කතා නොකරන එක් සත්‍යයක් තිබේ. එනම්, (පොලීසිය වැනි) රාජ්‍ය ආයතනවල ක‍්‍රියාධරයන්ට නොබියව විමර්ශන කටයුතු කරගෙන යා හැකි නිදහසක් මේ ආණ්ඩුව යටතේ ලැබී තිබෙන බවයි. ඉතා ‘බලගතු’ පුද්ගලයන් සම්බන්ධයෙන් පවා කටයුතු කිරීමේ ශක්තියක් ඒ තත්වය තුළ එකී රාජ්‍ය නිලධාරීන්ට ලැබී තිබේ. එය ඊට පෙර දකින්නට නොතිබුණු තත්වයකි. ජනාධිපති කාර්යාල ප‍්‍රධානියා අල්ලසක් ලබා ගන්නා අවස්ථාවේම අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ කොමිසමට හැකියාව ලැබුණේ ඒ තත්වය යටතේ ය. ඔහු සමගම දැව සංස්ථාවේ සභාපතිවරයාවත් අත්අඩංගුවට ගැනුණි. මේ පුද්ගලයන් දෙන්නාම ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබ සිටි නිලධාරීන් වීම විශේෂිතයි.

එපමණක් නොව, ඉතා බරපතල දේශපාලනික විරෝධයන් පවා නොතකා, රටේ ඉහළම හමුදා නිලධාරියා වන ත‍්‍රිවිධ හමුදා ප‍්‍රධාන මාණ්ඩලික නිලධාරියාවත් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හයිය තිබුණි. ඒ, කප්පම් ලබා ගැනීම සඳහා මිනිසුන් පැහැරගෙන ගිය, නාවුක හමුදා ඝාතක කල්ලියක සාමාජිකයෙකුට සහාය වීමේ සහ අනුබල දීමේ චෝදනාව මත ය. එසේම, මේ වන විට කැබිනට් ඇමතිවරුන් පවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ විවිධ පරීක්ෂණවල ඉලක්ක බවට පත්ව ඇත. ආණ්ඩුවට එරෙහිව එල්ල වන දූෂණ චෝදනා සොයා බැලෙන ජනාධිපති කොමිෂන් සභා දෙකක් සහ ජීවිත 258 ක් අහිමි කළ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීම පිළිබඳ සොයා බැලෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉදිරියේ ප‍්‍රසිද්ධියේ සාක්ෂි දීමට අගමැතිවරයාට සිදුවිය. මුලදී මොන තරම් විරෝධතා පෑවත් අවසානයේදී ජනාධිපතිවරයා පවා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්ෂි දීමට ගියේය. ඒ සියල්ල එසේ වුණේ, පාරදෘෂ්‍යභාවය සහ ආණ්ඩුවේ වගවීම පිළිබඳ අලුත් සංස්කෘතියක්, විටෙක ඉතා වේදනාකාරී ඉබි ගමනින් මුත්, පසුගිය අවුරුදු පහ තිස්සේ මේ ආණ්ඩුව යටතේ ස්ථාපිත වීම නිසා ය.

2015 න් පසු ඇති වූ ව්‍යුවහාත්මක ප‍්‍රතිසංස්කරණ

2015 න් පසු ඇති කරන ලද ප‍්‍රතිසංස්කරණ ප‍්‍රමාණවත් නොවන මුත්, සහතික වශයෙන්ම, ඒවා වැදගත්කමින් අනූන ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සමග ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ හඳුන්වා දෙනු ලැබුණි. එය, රාජ්‍යකරණයේ පාරදෘෂ්‍යභාවයත්, දූෂණයට එරෙහි සංග‍්‍රාමයත් පහසු කරවන වැදගත් මෙවලමක් වී තිබේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින්, විධායක බලය අවභාවිත කිරීමට එරෙහි ආරක්ෂණ විධික‍්‍රම හඳුන්වා දෙන ලදි. ජනාධිපතිවරයාගේ මුක්තිය සීමා කරන ලදි. ඇමතිවරුන් පත්කිරීම අරභයා එතෙක් ජනාධිපතිවරයා සතුව පැවති අසීමිත බලය කප්පාදු කරන ලදි. 2018 ඔක්තෝබරයේ සිදුවූ ආණ්ඩු විරෝධී කුමන්ත‍්‍රණය ව්‍යර්ථ කරගත හැකි වුණේ සහ ඒ කාලයේ සිදු කළ ජනාධිපති ක‍්‍රියාකාරකම් ව්‍යවස්ථා විරෝධී බව අධිකරණය හරහා විනිශ්චය කර ගැනීමට හැකි වුණේ එබැවිනි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ‘ව්‍යවස්ථා සභාවක්’ හඳුන්වා දෙන ලදි. ඒ අනුව, ආණ්ඩුවේ ඉහළ තනතුරුවලට සහ අධිකරණ සේවාවේ ඉහළ නිලතලවලට පුද්ගලයන් පත්කිරීම ජනාධිපතිවරයාගේ හිතුමතේට සිදු කිරීමට එතෙක් තිබූ ඉඩකඩ නැති කෙරුණි. 2015 පටන්, විශේෂයෙන් 2018 ආණ්ඩු විරෝධී කුමන්ත‍්‍රණයේ පටන්, අධිකරණවලට සහ ස්වාධීන කොමිෂන් සභාවලට කෙරෙන අක‍්‍රමික පත්කිරීම් වළක්වන බාධකයක් වශයෙන් මේ ‘ව්‍යවස්ථා සභාව’ කටයුතු කොට ඇත. එසේම ජනාධිපති බලතල කෙරෙහි තුලන සහ සංවරණ ක‍්‍රමයක් පවත්වා ගැනීමටත් එය ඉවහල්ව ඇත.

මේ අතර, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ විවිධ ‘ස්වාධීන කොමිෂන් සභාද’ පත්කෙරුණි. තවත් කොමිෂන් සභාවල ස්වාධීනත්වය පෙරට වඩා තර කෙරුණි. අල්ලස් කොමිසම සහ මානව හිමිකම් කොමිසම ඊට අගනා උදාහරණ සපයයි. එසේම පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටු පිහිටුවීම මගින් පාර්ලිමේන්තුවේ විපරම ශක්තිමත් කෙරුණි. ඒ මගින් ආණ්ඩුවේ ආයතන කෙරෙහි පාලනයක් පවත්වා ගැනීමට හැකියාව ලැබුණි. මේ ‘ආංශික අධීක්ෂණ කමිටු’ සමහරක සභාපතිත්වය දරන්නේ විපක්ෂ මන්ත‍්‍රීවරුන් වීමද විශේෂත්වයකි. එය, දූෂණයටත්, බල අපයෝජනයටත් තවදුරටත් වැට බඳින යාන්ත‍්‍රණයක් වී ඇත.

ඒවාට අමතරව, මානුෂීය මෙහෙයුම් අභ්‍යාසයන් වශයෙන්, ‘අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයක්’ සහ ‘හානිපූරණ අධිකාරියක්’ ස්ථාපිත කෙරුණි. අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට තමන්ගේ අතුරුදහන් වූ නෑසියන්ගේ තොරතුරු සහ ඔවුන්ට අත්වූ ඉරණම පිළිබඳ තොරතුරු මේ මගින් දැනගැනීමේ අවස්ථාවක් ලැබුණි. ලංකාවේ අවාසනාවන්ත මේ ඉතිහාසය තුළ අතුරුදහන් වූ පුද්ගලයෝ විශාල සංඛ්‍යාවක් සිටිති. ඒ අතර, පොලීසියේ සහ වෙනත් සන්නද්ධ සේවාවන්හි රාජකාරියේ නියුතුව සිටි, මේ වන තෙක් ආගිය අතක් නොදන්නා 5000 කට අධික පිරිසක්ද වෙත්.

රටේ ආර්ථිකයේ තත්වය

ආර්ථිකය ගරාවැටී ඇතැයි විපක්ෂය චෝදනා කරයි. වර්තමාන ආණ්ඩුව රටේ ආර්ථිකය වැරදියට කළමනාකරණය කොට ඇතැයි චෝදනා කරයි. ආණ්ඩුවේ මූල්‍ය මූලෝපායික සැලසුම් තුළ සෑහීමකට පත්විය හැකි සාර්ථකත්වයක් අත්කරගෙන නොමැති බව ඇත්තයි. රටේ ආර්ථිකය නිවැරදි මාවතක ගෙන යාම සඳහා එක්සත් ජාතික පක්ෂයේ දක්ෂතාවක් ඇතැයි දීර්ඝ කාලයක් තිස්සේ සිතා සිටියත් පසුගිය වසර කිහිපය තුළ ඒ අංශයෙන් දක්නට ලැබෙන්නේ එකී අපේක්ෂාවට තරම් නොවන ප‍්‍රතිඵලයකි.

එහෙත් එය, විශාල කතාන්තරයක කුඩා අතුරු කතාවක් පමණි. රාජපක්ෂ ආණ්ඩුව යටිතල ගොඩනැගීම් සඳහා විශාල මුදලක් ආයෝජනය කෙළේය. ඒ යටිතල ව්‍යාපෘති තෝරාගැනීමේ නිර්ණායක ඉතා ප‍්‍රශ්නකාරී ය. එවැනි තේරීම් තුළ රටට දක්නට ලැබුණේ, පාවිච්චියකට නොගැනෙන සහ අත්‍යාවශ්‍ය නොවන වරායවල්, ගුවන් තොටුපොළවල්, ක‍්‍රීඩාංගන ආදී සුදු අලින් ය. ඒවා සඳහා දරණ ලද වියදම, එය අති විශාල ය. ඒ මගින් ගොඩගැසුණු ණය කන්දරාව ඊටත් වඩා විශාල ය.

මේ ගොඩගැසුණු ණය කන්ද පියවීම සඳහා, තව තවත් විදේශ ණය ලබා ගැනීමට, 2015 දී බලයට පත් යහපාලන රජයට සිදු විය. මහබැංකු වාර්තා පෙන්වා දෙන පරිදි, 2015 න් පසු බලයට පත් ආණ්ඩුවේ වියදමට වැඩි ආදායමක් පසුගිය කාලය තුළ වාර්තා කොට තිබේ. එබැවින්, 2015 න් පසු තවත් විදේශ ණය ලබා ගැනීමට මුළුමණින්ම අවශ්‍ය කෙළේ, එතෙක් ගොඩගැසී තිබූ රාජපක්ෂ ණය කන්ද කොටස් වශයෙන් පියවීම සඳහාම බව පැහැදිලි ය.

මොන තරම් විවේචන මධ්‍යයේ වුවත් මේ ආණ්ඩුව, එකී රාජපක්ෂ සුදු අලි ව්‍යාපෘති නිවැරදිව කළමනාකරණය කර ගැනීම අරභයා, විවිධ පාර්ශ්ව සමග නව ගිවිසුම් ඇති කරගත්තේය. ඒ මගින්, ඉහතින් කී ණය කන්දේ කොටස් පියවා ගැනීමටත්, එකී ව්‍යාපෘති ලංකාවේ රාජ්‍යයේ අයිතිය යටතේ තබා ගැනීමටත් මේ වන විට හැකියාව ලැබී තිබේ.

ඒ අනුව, ‘කොළඹ වරාය නගරය’ වැනි තවත් ව්‍යාපෘති පිළිබඳව අලුතෙන් සාකච්ඡා පටන් ගැනීමටත් මේ ආණ්ඩුව පියවර ගත්තේය. උදාහරණයක් වශයෙන්, එදා රාජපක්ෂ ආණ්ඩුව විදේශ ආයෝජන ණය පස්සේ පන්නමින් සිටියදී, ‘කොළඹ වරාය නගරයේ’ අක්කර 500 ක් චීනයට විකිණීමට ගිවිසුම් ගසා පොරොන්දු වී තිබුණි. එසේ විණි නම්, කොළඹ වරායට තදාසන්නයේ මූලෝපායික වැදගත්කමකින් යුත් ඉතා වැදගත් බිම් තීරුවක ස්වෛරී අයිතිය චීනයට හිමි වීමට ඉඩ තිබුණි.

එහෙත් රාජපක්ෂ ආණ්ඩුව චීනය සමග ඇති කරගෙන තිබූ එම ගිවිසුමේ සඳහන් එකී වගන්තිය, වර්තමාන ආණ්ඩුව යළිත් චීනය සමග සාකච්ඡාවට ගත්තේය. ඒ අනුව, එය බදු අයිතියක් වශයෙන් පමණක් චීනයට පවරා, සින්නක්කර අයිතිය ශ‍්‍රී ලංකා රජය යටත් තබා ගැනීමට අද අපට හැකි වී තිබේ. එපමණක් නොව, ඒ නිසාම, මේ කියන ‘වරාය නගරයේ’ පූර්ණ අධිකරණ බලයත්, ශ‍්‍රී ලංකාවේ නාවුක හමුදාවේ සහ ශ‍්‍රී ලංකා වෙරළාරක්ෂක අංශය යටතේ තබා ගැනීමට අපට හැකි වී තිබේ.

නිදහසම දංගෙඩිය මත

කෙසේ වෙතත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල වන විශාලතම තර්ජනය හමුවේ, ආර්ථිකය පිළිබඳ ප‍්‍රශ්න සහ දූෂණය පිළිබඳ ප‍්‍රශ්න ද්විතීයික වැදගත්කමක් ගනී. ශ‍්‍රී ලංකා රාජ්‍යයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මුහුණදී සිටි අතිශය බරපතල වූත්, හුදු පැවැත්මට කෙලින්ම අදාළ වූත් කාරණය වුණේ, 2005-2015 දශකයේ රාජපක්ෂ පාලනයේ නිල මුද්‍රාව වශයෙන් පැවති ප‍්‍රචණ්ඩත්වය සහ තිරශ්චීනත්වයයි. ප‍්‍රචණ්ඩත්වයේ යෙදෙන්නන් කෙරෙහි එදා බලපැවැත්වූ දණ්ඩමුක්තියේ වරප‍්‍රසාදයයි. එනම්, නීතියේ දැළට හසු නොවී අපරාධ කිරීමට තිබූ හැකියාවයි. එය රාජපක්ෂ පාලන සමයේදී පමණක් නොව, ඔවුන් විසින් රාජ්‍ය මර්මස්ථානයන්හි තමන්ගේ කාලයේ ස්ථානගත කොට තිබූ පරිවාර අනුග‍්‍රාහක ජාල හරහා ඉන්පසුවත් බලපැවැත්වීය.

දේශපාලනිකව උසිගැන්වුණු ප‍්‍රචණ්ඩත්වය

ඒ සම්බන්ධයෙන් වන, විවාදයකින් තොර සිදුවීම් කිහිපයක් මෙසේ ය:

1. විශිෂ්ඨ රගර් ක‍්‍රීඩකයෙකු වන වසීම් තාජුඞීන් ඝාතනය
2. කීර්තිමත් ජනමාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය
3. කාටුන් ශිල්පී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම
4. ඉංග‍්‍රීසි මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම
5. සිරස මාධ්‍ය ජාලයට තාඩනපීඩන කිරීම

තවත් බොහෝ සිදුවීම්වලට අමතරව, මේ සියල්ල, රාජපක්ෂ ප‍්‍රචණ්ඩත්වයේ ප‍්‍රතිමූර්තීන් ය. පුද්ගලයන් පැහැරගෙන යාම එදා රාජපක්ෂ පාලනයේ ඇබ්බැහියක් බවට පත්ව තිබුණි. ‘සුදු වෑන් රථය’, භීතියේ සංකේතයක් බවට පත්කෙරුණි. පවුල් සීසීකඩ කෙරුණි. ‘සුදු වෑන් චාරිකාව’ යනුවෙන් ඉංග‍්‍රීසි භාෂාවට අලුත් යෙදුමක් හඳුන්වා දීමෙන් ලංකාවේ වෙන කිසි පාලන තන්ත‍්‍රයක් නොලද නාමයක් රාජපක්ෂලා අත්කරගෙන තිබුණි.

(ඉතිරි කොටස ඊළඟට)

*2019 ඔක්තෝබර් 29 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Price of Freedom: Yahapalana Failures must not Drive Us into the Arms of an Authoritarian (1)නමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

Back to Top