Sri Lanka Brief
පුවත්විවරණජනාධිපතිවරණ නිමේෂයෙහි සැබෑ ජනතාවාදී විකල්පයකට ඉඩක් තිබේද? – අසංක අබේරත්න

ජනාධිපතිවරණ නිමේෂයෙහි සැබෑ ජනතාවාදී විකල්පයකට ඉඩක් තිබේද? – අසංක අබේරත්න

by

ඡායාරූපය ලංකා ට්රුත් වෙතිනි.

විසිඑක් වැනි සියවසේ දෙවන දශකය කෙමින් කෙමින් අවසානය කරා ඇදෙන විට 2019 දින දර්ශනයට අනුව නොවැම්බර් 16 වන දිනය මීළග දශකයේ ලංකා රාජ්‍යයේ ගමන්මග තීරණය කරන දිනයක් වනු ඇති බවට බොහෝ අය මත පලකර සිටී. විවිධ මාතෘකා අතර දේශපාලනය ප්‍රශ්න කිරීම ජනතාවගේ පොදු මාතෘකාව බවට පත්ව තිබේ. විශේෂයෙන්ම එලබෙන ජනාධිපතිවරණය පිළිබඳව මේ දැන් කරන ප්‍රකාශයක් හෝ ක්‍රියාවකින් ඉතා සුළු මොහොතක වෙනස්ම ප්‍රතිඵලයක් ඇති කිරීමට හැකියාව ඇති තරමට දේශපාලනය ගතිකයන්ගෙන් ගහන ජනප්‍රියවාදී මොහොතක් බවට පත්ව තිබේ. එවැනි මොහොතක තරමක් වෙනස්ව යමින් දේශපාලන අනතුරුදායකත්වයන් හඳුනාගත් සැබෑ ජනතාවාදී දේශපාලන විකල්පයකට මේ ජනප්‍රිය මොහොතේ ඉඩක් තිබේද? ඒ පිළිබඳව විමසීම මෙම ලිපියේ අරමුණ වේ.

මම කැමතියි අපි කාටත් පොදු අත්දැකීමකින් මාතෘකාවට ප්‍රවේශ වෙන්න. ඒ තමයි හොරාපොලිස්. මේක සෙල්ලමක්. අපි කවුරුත් ළමා කාලයේ එක් වතාවක් හෝ කර තිබෙන සෙල්ලමක් වේ නම්, ඒ හොරා පොලිස්. එක කණ්ඩායමක් පොලිස් ලෙසත් අනෙක් කණ්ඩායම හොරු ලෙසත් දෙකට බෙදෙනවා. පොලිස් කණ්ඩායම ඇස් දෙක පියාගෙන “හෝ.. දහය, විස්ස, තිහ, …..” ගණිමින් සෙල්ලම ආරම්භ කරනවා. සියයට ගණින්න කලින් හොරු කණ්ඩායම පැන යනවා. පොලීසියට කොටු වෙන හොරු (යාලුවෝ) සෙල්ලමේ තව දුරටත් රදවා ගැනීම මේ සෙල්ලම අතරේ විශේෂත්වයක්. ඒ නිසා කොටුවන හොරාව පොලිස් පිළට එකතුකර ගන්නවා. එවිට පරණ හොරා අලුත් පොලිස් කාරයෙකු වී හොරු අල්ලන්න යනවා. එහෙමයි හොරා පොලිස් සෙල්ලම කරන්නේ. දෙවන වටයේදී සෙල්ලම පටන් ගන්නකොට මේ කණ්ඩායම් දෙක මාරු වෙනවා. කලින් හොරු දැන් පොලිස්, කලින් පොලිස් දැන් හොරු.

දේශපාලනයේ විෂම චක්‍රය

දේශපාලනයේදීත් හොරා පොලිස් සෙල්ලම් නොකඩවා සිදු වූ ඉතිහාසයක් අපට තිබෙනවා. නමුත් එහි යථාර්ථය නම් පොඩි කාලේ කරපු හොරා පොලිස් සෙල්ලම වගේ සුන්දර නෑ. ජන සමාජයක් විදිහට අපි මේ මොහොතේ අත්දකිමින් සිටින දේශපාලනයත් ඒ වගේ චක්‍රයක්. සාම්ප්‍රදායික දේශපාලනයේ ඒකමිතික විසම්බන්ධයක්. 1977 විවෘත ආර්ථිකය නමින් නව ලිබරල්වාදය හඳුන්වා දුන්නේ රාජ්‍ය බලය ව්‍යාප්ත කරන අතරේ දේශපාලන නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සීමා කිරීම යන මූලෝපාය සමගය. “ධාර්මිෂ්ඨ සමාජයක්” නිර්මාණය කිරීම දේශපාලනයේ අපේක්ෂාව වූ බැවින් දක්ෂිණාංශිකය ජනතාවාදී වී ජනරජයේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ජනාධිපතිවරණයකින් තොරව තේරී පත් විය. ප්‍රතිඵලය නම් ඒකාධිපති රෙජීමයකින් ලංකාවේ අඛණ්ඩ හා බලගතු ආඥාදායක දේශපාලන ගමනට ආරම්භය වැටීමයි. ඉන් පසුව 1994 “විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණුවරක්” මැයෙන් කුමාරතුංග මැතිණියගේ සම්ප්‍රාප්තිය සිදු වනවා. නමුත් ඒ ඇතුලෙ තිබුණේ නූල් පන්දුවක් වගේ පැටලුණු විවෘත ආර්ථිකයේ අමානුෂික දිගුවක්.

විසිවන සියවසේ අවසන් දශකයේ උදාව ලෝක පරිමාණව දේශපාලනයේ එක්තරා ඓතිහාසික කඩයිමක්. 1990 දශකය ආරම්භ වන්නේ ගෝලීය ධනවාදයේ එක්තරා පිම්මකින්. සෝවියට් සංගමය විසුරුවා හැරීම, නැගෙනහිර යුරෝපානු සමාජවාදී රාජ්‍යයවල පසුබෑම, ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ධනේශ්වර දේශපාලන කදවුර විසින් රුසියාව ප්‍රමුඛ සමාජවාදී කදවුර බිද දමමින් එක්සත් ජනපදය ලෝකයේ පොලිස් රාජ්‍යය බවට පත් විය. ලෝක දේශපාලනයේ මෙම තීරණාත්මක වෙනස්කම් කෙරෙන් නව ලිබරල්වාදයේ දෙවෙනි ඉනිම ආරම්භ කෙරිණි. ඒ සඳහා වූ දෘෂ්ටිවාදී ව්‍යාපෘතිය ප්‍රැන්සිස් ෆුකුයාමා ගේ ‘අවසන් මිනිසා සහ ඉතිහාසයේ අවසානය’ අදහස මගින් ඉදිරිපත් කෙරිණි. එය නව ලිබරල්වාදයේ දෙවෙනි ඉනිමෙහි තේමා පාඨය බවට විය.

කෙසේනමුත් 2002 “යළි පුබුදමු ශ්‍රී ලංකා”, 2005 “මහින්ද චින්තනය”, 2010 “සුබ අනාගතයක්”, 2015 “මෛත්‍රී පාලනයක්”, “යහපාලනය” යන දෘශ්ටිවාද ලංකාවේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ බිද වැටීමට කලින් කලට දිය හැකි සමාන පද යැයි කෙනෙකු තර්ක කරයි නම් එහි ඇති වරදක් නැති තරම්ය. 2009 වසර ශ්‍රී ලංකාව රාජ්‍යයක් ලෙස ලද පරිවර්තනයක් සිදු වූවේ නම් එය පශ්චාත් යටත් විජිත රාජ්‍යයක සිට පශ්චාත් යුධ රාජ්‍යයක් බවට වූ පරිවර්තනයකි. අඩ සිය වසකටත් වැඩි කාලයක් පුරා ආර්ථිකය හා ජාතිය ගොඩ ගැනීමට අසමත් වුවද දක්ෂිණාංශික ආඥාදායකත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට සමත් වී තිබේ.

දක්ෂිණාංශික ජනතාවාදය

2014 වන විට ඒකාධිපතිවාදයෙන් වියරු වැටුණු දේශපාලන සමාජයක ඒකාධිපතිවාදයට එරෙහිව ජනමතය අවධි විය. 2015 ජනාධිපතිවරණය සංධිස්ථානයක් වන්නේ විරුද්ධ දේශපාලන පක්ෂ, වාමාංශික ව්‍යාපාරය, සිවිල් සමාජ සංවිධාන, ජනමාධ්‍යවේදීන් හා නොයෙකුත් අංශවල සමාජ ක්‍රියාකාරිකයන් දේශපාලන නිදහස සොයාගිය අරගලකාරී නිමේෂයක් නිසාය. තවත් අතකින් ව්‍යවස්ථානුකූලවාදය, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය යන සම්ප්‍රදායික ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන්ගේ නිමේෂයක් විය. එම ඒකාධිපති වියරුවට එරෙහි ගොඩ නැගුණු දක්ෂිනාංශික ජනතාවාදී බලවේගය ලිබරල්කරණය වී අවසානයේ දේශපාලනයේ මතුපිට වෙනසක් බවට බෞතිස්ම විය. නව දෘෂ්ටිවාද මනෝ මූලික පරමාදර්ශ ආරුඪයෙන් මහජන පරිමණ්ඩලයෙහි සංසරණය කළ මාධ්‍ය, බුද්ධිමතුන්, ආගමික නායකයන්, කලාකරුවන් සමාප්තිවෙමින් තිබූ සංක්‍රාන්ති කාලයේ සිවිල් සමාජ ක්‍රියාකාරිත්වයට නායකත්වය සපයන ලදි. පරමාදර්ශ මඟින් (1977 සිට මේ දක්වා) දෘෂ්ටිවාදය කළමනාකරණය කරමින් නායකත්ව වන්දනය, බලහත්කාරයට අමතරව වසගය නිර්මාණය කරමින් දක්ෂිණාංශය පෝෂණය කරීමට දක්ෂිණාංශික ජනතාවාදීන් විවිධ උපක්‍රම යෙදා ගන්නා ලදි. 2015 ජනාධිපතිවරණය දක්ෂිනාංශික ජනතාවාදයේ උච්ච අවස්ථාවක් ලෙස අපට අත්දැකීමට ලැබෙන්නේ ඒ නිසාවෙනි.

මෙවැනි දේශපාලන විසම්බන්ධයන් විසින් ඉතිහාසය නැවත නැවත අප ඉදිරියේ ප්‍රති නිර්මාණය කිරීම ඉතාම අභාග්‍ය සම්පන්නයි. එහෙත් මනෝ මූලික දේශපාලන පරමාදර්ශ බිද වැටුණු පසුගිය වසර හතර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ අභාවයේ යුගය ද මෙයම බව නැවත සනාථකර තිබේ. දූෂිතයින් ආරක්ෂා කිරීම, වින්දිතයින් හට යුක්තිය ඉටු නොකිරීම, වංචා, දූෂණ සහ අක්‍රමිකතා, නිලධාරිවාදය සහ ගජමිතුරුවාදය නිසා ඔවුන් ගෙනා පරමාදර්ශ අවසානයේ ඔවුන් විසින්ම කෙලෙසා දැමීය. එවැනි අවස්ථාවක සමාජයෙන් එල්ල වන ආණ්ඩු විරෝධය භාවිත කරමින් මාරුවෙන් මාරුවට ඒකාධිපති ඉල්ලුමක් ඇති කරීමට දක්ෂිණාංශික විපක්ෂ කටයුතු කරන නිසා ක්‍රමය අර්බුදයට පත්ව තිබුණද දක්ෂිණාංශික ජනතාවාදයන් ඒ සෑම තැනකදීම ජයග්‍රහණය කිරීමට සමත්ව තිබෙන බව ඉතිහාසය අපට උගන්වයි. ආර්ථික ඝාතන හා දේශපාලන කොල්ලකෑම් නිසා පරමාදර්ශ බිද වැටී නැවත වරක් ඒකාධිපතිවාදය අයැද සිටින විරුද්ධාභාසයකට සමාජය තල්ලු කරනුයේ මෙම දක්ෂිනාංශික ජනතාවාදයේ ප්‍රබල ක්‍රියාකාරිත්වය නිසාය. ඒකාධිපත්‍යයට, වංචාවට, දූෂණයට විරුද්ධව බලයට පත් වන ආණ්ඩු එහිම තවත් දිගුවක් බවට පත් වන්නේ ඇයි? මෙවර ජනාධිපතිවරණ සටනෙහි එකී ප්‍රධාන ආඥාදායක සංඥා දෙකක් අප ඉදිරියෙහි ඇත.

මිලිටරිවාදී ජාතික ආරක්ෂණ ආඥාදායකත්වය

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වීමෙන් සුලු මොහොතකට පසුව මුහුණු පොතේ මා මෙසේ සටහනක් තැබුවෙමිJust started the next presidential election campaign with a black Sunday’  (කලු ඉරිදාවක් සමඟ මීළග ජනාධිපතිවරණ ප්‍රචාරණය ක්ෂණිකව ආරම්භ විය). අප ඉදිරියට පැමිණ තිබෙණ දක්ෂිණාංශික ජනතාවාදයේ එක් වේශයක් :් රෙැබ‘හ* වන්නේ මිලිටරිවාදී ජාතික ආරක්ෂණ ආඥාදායකත්වයයි. පාස්කු ප්‍රහාරය එල්ල වීමත් සමඟ බොහෝ සමාජ ජාලා මාධ්‍ය මගින් “අහවලා හිටියනම් අද මෙහෙම වෙන්නෙ නෑ” යන ප්‍රකාශය සංසරණය වෙන්න පටන් ගත්තා. එය ඉතා සංවිධානාත්මකව සිදු කළ මැතිවරණ පූර්ව ප්‍රචාරණයක් හා ඉගියක් බව ඉතා හොඳින් පැහැදිළි වන්නේ ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ සිය තීරණය දැනුම් දීමේදී “අන්තවාදය තුරන් කිරීමට මම මීළග ජනාධිපතිවරණයට එනවා” යනුවෙන් ප්‍රකාශ කළ අවස්ථාවේය. මිලිටරිවාදී ජාතික ආරක්ෂණ ආඥාදායකත්වය දෘෂ්ටිවාදයක් ලෙස ජනාධිපතිවරණ කරලියට ගෙන ආවේ ගෝඨාභය සහ ඔහු සමඟ අත්වැල් බැදගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. විවිධ උපායන් මගින් මෙම දෘශ්ටිවාදය ප්‍රචාරණය කොට මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමටත් ප්‍රථමව මහජන අවකාශය ආක්‍රමණය කරමින් නායක ආධිපත්‍යය ගොඩනැගීමට උත්සාහ ගන්නා ලදි. මහජන අවකාශයේ නායක ආධිපත්‍ය නිර්මාණයකර ගැනීමට සමත් වන අපේක්ෂකයාට මැතිවරණයට පූර්වයෙන් ජනාධිපතිකම ආරුඨ වෙනවා. දක්ෂිණාංශික ජනතාවාදයේ එක් ආවේශයක් වන මිලිටරිවාදී ජාතික ආරක්ෂණ ආඥාදායක පිල පාස්කු ප්‍රහාරයේ භීතිකාව දේශපාලන උපක්‍රමය ලෙස ගෙන ආඥාදායකත්වය නැවත පිරිපහදු කරමින් සිටී.

සුබසාධනකාමී ආඥාදායකත්වය

දක්ෂිණාංශික ජනතාවාදය වැලදගෙන සිටින ආඥාදායකත්වයේ අනෙක් පිල සුබසාධනවාදී වේශය ගෙන තිබේ. විශේෂයෙන්ම ආණ්ඩු පාලනයේ පසුගිය වසර හතර ඉතාමත් නොහික්මුණු ලෙස ජනතාව මත බදුබර පැටවූ කාලයක් බව අමතක නොකළ යුතුය. එහෙත් මැති ඇමතිවරුන්ගේ වැටුප් හා දීමනා දෙගුණ කළේ ජනතාව බදු බරින් හා ස්වභාවික විපත්වලින් දැඩි පීඩාවට පත්ව සිටි අවස්ථාවකය. 2017 වර්ශයේ ගාල්ල, මාතර, රත්නපුර, කොළඹ, ගම්පහ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල සිදු වූ ගංවතුර ගැලීම්වලින් පීඩාවට සහ හානියටපත් ජනතාව වෙනුවෙන් සමස්ත වන්දි මුදල ලෙස කෝටි 2ක් වෙන් කළ ආණ්ඩුව තම ඇමතිවරුන් සදහා සුපෝකභෝගී මොටරථ ආනයනය කිරීම වෙනුවෙන් රපියල් කෝටි 20ක් වෙන් කළේය. අතුරුදහන් වූවන් පිළිබඳ ගැටලුව, දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය, විරැකියාව, සෞඛ්‍ය ගැටලුව, අධ්‍යාපන ප්‍රශ්ණය, වංචා හා දූෂණ වලින් සමාජ බහුතරය ඉතා දුක්ඛිත තත්ත්වයකට පත්ව සිටින මොහොතක එවැනි ආණ්ඩුවක් හදිසියේම සුබසාධනවාදී වේශයක් ගනු ලබන්නේ ඇයි? ලංකා ඉතිහාසයේ මේ පිළිබඳව අපට අත්දැකීම් තිබේ. ජාතික මැතිවරණයක් ඉදිරියේ ආණ්ඩු පක්ෂය තමන්ගේ අසමත්භාවය වසන් කිරීමට යොදා ගන්නා අතකොලුවක් බවට සමාජ සුබසාධනවාදය පත්කර ගෙන තිබේ. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින දක්ෂිණාංශිකයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සුබසාධනකාමී වේශයකින් පෙනී සිටී. එහෙත් මෙය නිතැතින්ම ආඥාදායක ස්වරූපයද ගනී. මෙහි භයානක ප්‍රතිඵලය නම් සමාජ අවශ්‍යතාවන් නොමිලේ සපයයිනම් පාලකයා කොතරම් ඒකාධිපතියෙක් වුවත් කම් නැත යන අන්තයට ජන්ද දායකයන් පත් වීමයි. එබැවින් මිලිටරිවාදී ජාතික ආරක්ෂණ ආඥාදායක පිල සේම සුබසාධනකාමී ආඥාදායක පිල ද ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ, නිදහස, සමානත්මතාව, යුක්තිය සහ සාධාරණත්වය, නීතිය ඉදිරියේ සමානත්මතාව යනාදී සමාජ දේශපාලන අගයන් සහ වටිනාකම් පිළිබඳව ලබාදෙන තක්සේරුව කුමක්ද? මහා පරිමාණ සුබසාධනවාදී මැතිවරණ පොරොන්දු බොහෝ දුරට අවසන් වන්නේ ගල් අරක්කු සහ බත් පැකැට්ටුවක් සමග මොනර කොළයකිනි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොව මීට අවුරුදු කිහිපයකට උඩදී යම් බලාපොරොත්තුවක් තිබූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධක රාජ්‍යයේ යුගයත් දැන් අවසන් වී තිබේ. සුබසාධනවාදය අඩු දියුණු රටවල් නගා සිටුවිය හැකි දේශපාලනාර්ථික මොඩලය බවට පිළිගැනීමක් තිබුණද බොහෝමයක් පශ්චාත් යටත් විජිතවල සහ යුද්ධ අවසන් කළ රාජ්‍යයන්වල පවා එය ආඥාදායකත්වයේ ගොදුරක් බවට පත් විය. ගෝලීය ප්‍රාග්ධනය ජාතික රාජ්‍යයන් තුළ තව දුරටත් සර්වජන සුබසාධන ආණ්ඩු හෝ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මඟින් සමාජය හරි ගැස්විය හැකි බවට තිබූ විශ්වාසය දැන් අවසන්ව තිබෙනවා. එහෙත් ගැටලුව වන්නේ ක්‍රමය දිනෙන් දින අර්බුදයට ගියද දක්ෂිණංශික ජනතාවාදය හැම තැනම දිනන්නේ ඇයි?

දක්ෂිණාංශික ජනතාවාදය ද? රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය ද?

ඉහත සියල්ල පමණක් නොවේ සත්‍යය. මෙවැනි ජනප්‍රියවාදී මොහොතක වෙනස්ම ආකාරයේ විකල්පයකට විභවයක් පවතින බවට බොහෝ ඉඟි තිබෙනවා. බොහෝ විට ජීවිතයේ මරණාසන්න මොහොතේ වුවද දීර්ඝ කාලයක් එල්බගෙන සිටි දැඩි හා සම්ප්‍රදායික තීරණවලින් වෙනස්ව මිනිසුන් ඔවුන්ගේ ජීවිතවල රැඩිකල් තීරණ ගනු ලබනවා. සැබවින්ම ඒ ජීව ගුණය විප්ලවීය යි. දේශපාලනයේ ජනප්‍රිය වූ මෙවැනි මොහොතක ද විකල්පය සැබෑවක් කිරීමට විකල්පය විකල්පයේ අභ්‍යන්තරයෙන්ම ප්‍රසාරණයවීම වඩාත් ඵලදායක වෙනවා. එහිදී පළමුව අවශ්‍යය වන්නේ අත්‍යන්ත වශයෙන්ම සමාජ හා දේශපාලන වෙනසක් තිබිය යුතුය යන විශ්වාසය විශ්වාස කිරීම හා එය විවෘතව ප්‍රකාශ කිරීමයි. නපුරින් අඩු ආඥාදායකයා තෝරා පරමාධිපත්‍ය බලය ඔහුට පවරා නැවත පැත්තකට වනවා වෙනුවට හෘද සාක්ෂියේ ගැස්මට ඉඩ තබා බුද්ධිමත්ව තීරණයක් ගැනීම කළ යුතව තිබෙනවා. දේශපාලන ආර්ථිකයේ හෝ සමාජ තත්ත්වයන්, ආයතන, මනසේ පුරුදු ආදියෙහි මූලික වෙනස්කම් ඇති කිරීමට තිබෙන නැඹුරුව රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය දෙසට වන පළමු හැරවුමයි. ඒ දෙසට සමාජය පෙළ ගැස්වීමට නම් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින දක්ෂිණ කදවුරේ ප්‍රධාන පිල් දෙක වන මිලිටරිවාදී ජාතික ආරක්ෂණ ආඥාදායක පිල සහ සුබසාධනකාමී ආඥාදායක පිල විසින් ඇතිකරන දක්ෂිණාංශික ජනතාවාදී අනතුර පරාජය කිරීම වෙනුවෙන් විකල්ප බලවේග කදවුරු බැදිය යුතුය. එවිට දක්ෂිණාංශික ජනතාවාදී ආඥාදායකයන් පරාජය කළ හැකිය යන විශ්වාසය හා වැඩපිළිවෙල සමාජගත කළ හැකිය.

අසංක අබේරත්න
මානව අයිතිවාසිකම් පිළිබඳ අධ්‍යයන කේන්ද්‍රය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

0710454988
aberathne991@gmail.com

Back to Top