Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගජනාධිපතිවරණය සහ ජනමාධ්‍ය – සුනන්ද දේශප්‍රිය

ජනාධිපතිවරණය සහ ජනමාධ්‍ය – සුනන්ද දේශප්‍රිය

by

මෙම ජනාධිපතිවරණ සමයෙහි ජනමාධ්‍යයේ හැසිරීම පිළිබඳව වැදගත් සංවාදයන් මෙන්ම මතුපිට අත ගා බලන විිචාරයන් ද දැක්නට හැකි විය. මෙම විවේචනයන් වැඩි හරියක්ම පැන නැගුණේ රාජපක්ෂවාදී දේශපාලන ප්‍රචාරයක නිරත වන ‘දෙරණ’ සහ ‘හිරු’ යන රඋපවාහිනී නාලිකා දෙක පාලනය කිරීමට මැතිවරණ කොමිසම අසමත්වීම සම්බන්ධයෙනි. ඒ කොතෙක් ද යත් එම නාලිකා දෙක පාලනය නොකරන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කුපාඩියකු යැයි පෝද්දල ජයන්ත ලීවේ ය.

ජනමාධ්‍ය ඕනෑම සමාජයක මත ගොඩ නැගීමට දායකත්වයක් සපයන අතර මැතිවරණ සහ සමාජ නැගීටිම් කාලයන්හිදී එම බලපෑම වඩා උත්සන්න වෙයි. එනයින් නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා යහපත් ජනමාධ්‍ය උපමානයන් ද භාවිතයන් ද උපකාරිවන බව නොකිව මනා ය.

එසේ නමුත් කරුණූ පූජනීය වන අතර විග්‍රහය නිදහස් ය යනුවෙන් ඇත්ත කරුණූ සහ එ් මත කැරෙන විග්‍රහය වෙන්කොට තිබූ සම්මත ආචාර ධර්මීය මාධ්‍ය භාවිතය අද බොහෝ දුරටම වේදිකාවෙන් බැස ගොස් තිබේ. අද ජනමාධ්‍ය ද අයත් වන්නේ පශ්චාත්සත්‍යයේ යුගයට ය. අප ඉගෙන ගත් මාධ්‍ය ආචාර ධර්ම අද අවලංගු වූ කාසියක් වැන්න.

පශ්චාත් සත්‍යයේ යුගය’ යනු අද අප ජීවත්වන මෙම කාලය යි. පශ්චාත්සත්‍යයේ සමයෙහි ඇත්ත සහ බොරුව අතර, අවංකබව සහ කපටිකම අතර, ප්‍රබන්ධය සහ අප්‍රබන්ධය අතර බෙදුම් රේඛාව බොඳවී අනුන් රැවටීම අභියෝගයක්, ක්‍රීඩාවක් සහ අවසානයේ දී පුරුද්දක් බවට පත්වන්නේ යැයි රැල්ප් කේයිස් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන පfක්ෂපාතීත්වයක් නැති ජනමාධ්‍ය ආයතනයක් නැති තරම් ය. මුද්‍රිත මාධ්‍ය හිමිකරුවන් බොහොමයක් දේශපාලන පක්ෂවලට සම්බන්ධය. රූපවාහිනී ආයතනයන්හි දේශපාලන පක්ෂග්‍රාහීත්වය මෙන්ම ඒවා කෙරෙහි ඇති දේශපාලන පක්ෂග්‍රාහීත්වයද ඉතා ප්‍රසිද්ධ ය.

සජිත් ප්‍රේමදාස වෙනුවට එජාප අපේක්ෂයා බවට කරු ජයසූරියගේ නම යෝජනා වූ වහාම මහාරාජා රූපවාහිනිය කරු ජයසූරියට පහර දෙන්නට පටන් ගත්තේ ය. සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේෂකයා වනු ඇතැයි බියවූ ශාන් වික්‍රමසිංහ සිය නාලිකාව වූ ටිඑන්එල් හරහා සජිත් ප්‍රේමදාසට පහර දෙන්නට පටන් ගත්තේ ය. මේ මෑත උදාහරණ දෙකක් පමණි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කිරීමට දෙරණ නාලිකාව කර ගැසූ තරමටම සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කිරීමට මහාරාජා නාලිකාව කර දුන්නේ ය. අංචි ඇද්දේ ය.

මෙරට ජන වර්ගයන් අතර බේද ඇති කිරීම සිය සංස්කාරක පිළිවෙත බවට පත් කරගෙන ඇති පුවත්පත් ගණනාවක්ම පැහැදිළිව ගෝඨාභය රාජපක්ෂගේ පාර්ශවයේ ය. රාජ්‍ය‌ෛට අයත් එනමුත් සදාචාරමය සහ නීතිමය වශයෙන් මහජන සේවා ජනමාධ්‍ය වියයුතු විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ගොන්නම එක්සත් ජාතික පක්ෂය ප්‍රවර්ධනය කිරීම සිය සංස්කාරක පිළිවෙත බවට පත් කරගෙන සිටියේ ය. ඒවායෙහි සංස්කාරකවරුන්/වරියන් යනු එජාපය විසින් දෙන ලද දේශපාලන පත්වීම් ය. එබැවින් එළෙස කඩේ නොගොස් බැරි ය. මේ හැම දෙනාම වාගේ ආත්මීය වශයෙන්ම එජාප පාක්ෂිකයින් ය. මේ අතින් ගත් විට පුද්ගලික අංශයේ ජනමාධ්‍ය සහ රාජ්‍ය අංශයේ ජනමාධ්‍ය අතර එතරම් වෙනසක් නැත.

මේ බව පෙන්නුම් කැරෙන අපූරු සටහනක් වෙරිටේ රිසච් මගින් පළ කර තිබේ. ඔක්තෝම්බර් 21 – 25 දක්වා රූපවාහිනී නාලිකාවන්හි සිංහල ප්‍රවෘත්ති සම්බන්ධ නිරික්ෂණයන් එහි දැක්වේ. කාලය තප්පර වලිනි. ඒ අනුව ‘දෙරණ’ සහ ‘හිරු’ නාලිකා දෙක ගෝඨාභයට 10,000ක් දෙනවිට සජිත් ප්‍රේමදාසට ලැබුණේ 3750 තරම් ය‍. ‘මහාරජා’ සජිත්ට 3250 දෙන විට ගෝඨාභයට ලැබුණේ 1000ක් පමණි. ‘ස්වර්නවාහිණිය’ දෙදෙනාටම 2250 බැගින් දුන්නේ ය. ‘අයිටීඑන්’ සහ ‘රැපවාහිනිය’ සජිත්ට 7000ක් තරම් දෙන විට ගෝඨාභයට ලැබුණේ 3000කි. මේ අනුව මෙම කාල පරිිච්ජේදය තුල ගෝඨාභයට සහ සජිත්ට ලැබී ඇති සිංහල රූපවාහිනී පුවත් තප්පර ප්‍රමාණය සමානය. එනම් 16250කි! (එජාපයට වැඩි බරක් ඇති ටීඑන්එල් සහ සියත රැපවාහිනී නාලිකා මෙම සමීක්ෂනයට අදාළ කර ගෙන නැත.)

මෙැවැනි හුදු සංඛ්‍යාත්මක සමීක්ෂණයක් අපට පෙන්වන්නේ දළ රෑපයක් පමණි. මන්ද යත් කැමරා කෝණ සහ ශබ්දය, රැස්වීම්හි සෙනග පෙන්වන අන්දම සහ වාර්තාවෙහි අඩංඟුව අනුව මෙම තත්වය තවත් වෙනස් විය හැකි නිසා ය. තවද එකිනෙක නාලිකා සතු ප්‍රේක්ෂක සංබ්‍යාවද තවත් වැදගත් දර්ශකයකි. ඇත්ත වශයෙන්ම නම් ‘දෙරණ’ සහ ‘හිරු’ නාලිකා සම්බන්ධ විවේචනයට හේතුව එම නාලිකා දෙකේ ජනප්‍රියත්වයයි. උදාහරණයක් වශයෙන් ටීඑන්එල් හෝ රන්ගිරි නාලිකා කුමන නැටුමක් නැටුවද එය කවරකුවත් ගණන් ගන්නේ නැත‌.

දැන් රාජපක්ෂ සමය සිහිගන්වමින් මෙම ජනාධිපතිවරණය තුළද රාජ්‍ය පාලිත මාධ්‍ය සිය සංස්කාරක සටහන් මගින් පවා සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන්ට පටන් ගෙන තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකු වන රත්න ජීවන් හූල් නම නොකියා ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ජන්දය පාවිච්චි කරන ලෙස යාපනයේ දී කරන ලද ප්‍රකාශයක් රාජ්‍ය පාලිත ‘ඩේලි නිව්ස්’ පුවත්පත පළ උජාරුවෙන් පළ කර තිබුණි. මා මේ සටහන ලියන අගහරුවාදා උදෑසන ‘දිනමිණ පුවත්පතෙහි විද්‍යුත් පිටපතෙහි ඇති පුවත් සියයට සියයක්ම ගෝඨාභය රාජපක්ෂට අවාසිදායක ඒවා ය.

ඉහත කී සාධක අපට පෙන්වන්නේ මෙම ජනාධිපතිවරණය තුළ මාධ්‍ය භාවිතය පිළිබඳ ප්‍රශ්ණය හුදෙක් ‘දෙරණ’ සහ ‘හිරු’ නාලිකා සම්බන්ධ ප්‍රශ්ණයක් නොවන බවයි. එම නාලිකා දෙකෙහි පාර්ශවීය වාර්තාකරණය හේතුවක් කොට ගෙන රාජ්‍ය පාලිත මාධ්‍ය ද පාලනය නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගත යුතු යැයි සමාජ ජාලයන්හි බොහෝ දෙනා අදහස් පළ කළහ. දැන් පෙනෙන විදිහට සිදුවන්නේ එයයි. මැතිවරණ කොමිසම සම්පුර්ණයෙන්ම වාගේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් සිය අත සොදා ගෙන තිබේ. රාජපක්ෂවරුන් බලයට පැමිණයහොත් මෙම තර්කය අනුව පුද්ගලික මාධ්‍ය පමණක් නොව රාජ්‍ය පාලිත මාධ්‍ය ද එළඹෙන පලාත් සභ සහ මහා මැතිවරණයන්හිදී තනිකරම රාජපක්ෂ බූදලයක් බවට පත් වනු ඇත. එවිට මේ උද්ඝෝෂකයින් කුමක් කියනු ඇත්ද?

දැන් මැතිවරණ කොමිෂන් සභාවේ මෙම උපමානය දෙස බලමු. ‘02. සෑම රූපවාහිනී මාධ්‍යයක්ම, ගුවන්විදුලි මාධ්‍යයක්ම සහ මුද්‍රිත මාධ්‍යයක්ම යම් මැතිවරණයක් සම්බන්ධයෙන් වාර්තා කිරීමේ දී මධ්‍යස්ථ සහ අපක්ෂපාතී විය යුතු වන අතර, තරඟ කරනු ලබන යම් දේශපාලන පක්ෂයකට, ස්වාධීන කණ්ඩායමකට හෝ අපේක්ෂකයකුට අසාධාරණයක් සිදු නොවන පරිදි හා විශේෂ වාසියක් ඇති නොවන පරිදි දේශපාලන පක්ෂයකට, ස්වාධීන කණ්ඩායමකට හෝ අපේක්ෂකයකුට ගුවන්විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ගුවන් කාලය ලබා දීම හෝ ප්‍රවෘත්ති පත්‍රයක ඉඩ වෙන්කර දීම කළ යුතු වේ.’

මේ වනාහී කිසිසේත්ම කළ නොහැකි දෙයකි. උදාහරණයක් වශයෙන් ගෝඨාභය සමඟ දේශපාලන රුස්විම් වලට යන දිලිත් ජයවිර පාලනය කරන දෙරණ නාලිකාවෙන් හෝ ගෝඨාභය පරාජය කිරීම පිිනිස මහජන රුස්වීම් අමතන ජනරංජන සංස්කාරකත්වය දරන ‘අනිද්දා’ පුවත්පතින් හෝ ( 1994 – සුනන්ද දේශප්‍රිය සංස්කරණය කළ යුක්තිය පුවතපතින් හෝ) යාපනයේ ඩගලස් දොවානන්ද ටීවී නාලිකාව මගින් හෝ එවැනි වාර්තාකරණයක් අපේක්ෂා කළ හැකි ද?

පුද්ගලික අංශයේ ජනමාධ්‍යන්ට දේශපාලන පක්ෂයන්ට සහාය දීමට ඉඩ දීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යි. එංගලන්තයේ සිට ඉන්දියාව දක්වා සිදු වන්නේ එසේ ය. ඉන්දියානු මැතිවරණ කොමිසම ජන මාධ්‍ය සඳහා නිකුත් කර ඇති මෙම නිර්දේශය බලන්න.

කොමිෂන් සභාව මාධ්‍ය හසුරුවන්නේ නැත. .. (3.2.1.) පක්ෂයක් හෝ අපේක්ෂකයකු කෙරෙහි ඇති කවර හෝ දේශපාලන බැදීමක් වෙතොත් ප්‍රවෘත්ති නාලිකා ඒ බව ප්‍රසිද්ධ කළ යුතු ය. ප්‍රසිද්ධියේ කවර හෝ පක්ෂයක් හෝ අපේක්ෂකයකු හෝ අනුමත කරන බව ප්‍රසිද්ධ කර නැති ප්‍රවෘත්ති නාලිකාවන්ට, විශේෂයෙන්ම මැතිවරණ වාර්තාකරණයේ දී සමබර සහ අපක්ෂපාතීවිමට යුතුකමක් තිබේ.

විද්‍යුත් නාලිකා පොදු දේපලක් බැවින් සියළු රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා සමබර විය යුතු යැයි නීතියක් එහි හෝ වෙනත් රටවල ද නැත.

රාජ්‍ය හිමිකාරකම් සහිත ඉන්දිය මාධ්‍ය ගැන එය මෙසේ කියයි: මැතිවරණ සම්බන්ධ පුවත් සහ විශ්ලේෂන්හිදී මහජන සේවා විකාශණ සේවා නිර්පාක්ෂිකත්වය සහ විශය මූලිකත්වය මෙන්ම විවිධ ආචාර ධර්ම අනුගමන කිරීමෙහිලා ආදර්ශයෙන් මඟ පෙන්විය යුතු ය‍’‌

මෙරට රාජ්‍ය මාධ්‍ය වනාහී බලයේ සිටින දේශපාලන පක්ෂයේ හොරණෑවන් ය!

පුද්ගලික අංශයේ මාධ්‍ය මැතිවරණ සමයකදී අපක්ෂපාතී විය යුතුය යන තර්කය මාධ්‍ය නිදහසේ මූලධර්ම කෙළෙසීමකි. ලොව කිසිම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක මා දන්නා තරමට එවැනි නීතියක් නැත. පොදුවේ පිළිගත් මාධ්‍ය ආචාර ධර්ම මැතිවරණ සමයක දී පමණක් නොව සෑම විටම පිළිපැදිය යුතුය.

නමුත් ඉන්දියානු මැතිවරණ කොමිසම කියා සිටින පරිදි සිය පක්ෂග්‍රිහිත්වය සිය පාඨකයිනට හා ප්‍රේක්ෂකයිනට කියා සිටීම වැදගත් උපමානයකි. මෙරට නම් එවැන්නක් සිදු වන්නේ නැත.

මැතිවරණය සහ මාධ්‍ය ගැන මෙමරට මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය මෙසේ කියයි. ‘ මාධ්‍ය ක්ෂේත්‍රය හෝ වේවා වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක පෞද්ගලික අංශයේ විශාල බලපෑමක් තිබෙනවාපෞද්ගලික මාධ්‍ය ආයතනයක් පිළිබද තිබිය යුත්තේ ස්වයං නියාමනයක්. දැනට පවතින තත්ත්වය අනුව මැතිවරණ කොමිෂන් සභාවකට කරන්න පුළුවන් හොඳම දේ මේ උපමාන මොන ආකාරයෙන්ද මේ එක් එක් ආයතනවලින් උල්ලංඝණය වෙන්නෙ කියලා දැනුම් දෙන එක. යම්කිසි නාලිකාවක් විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයක් යම් පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටිනවා නම් එයින් ජනතාවට විශාල අසාධාරණයක් සිදුවෙනවා සහ රටේ අනාගතයට විශාල බලපෑමක් වනවා. මැතිවරණ කොමිසම් සභාවට, මානව හිමිකම් කිසිම ආයතනයකට වගකීම් පවරනවා වෙනුවට ප්‍රබලව ජනතා ක්‍රියාකාරිත්වයක් ගොඩනැගිය යුතුයි.’ (අද පුවත්පත).

මෙම ජනාධිපතිවරණයෙහිලා මැතිවරණ කොමිෂන් සභාව සහ එහි සභාපතිවරයා මීට වඩා සක්‍රීය කාර්යභාරයක් ඉටු කළ යුතුව තිබුණි. ‘දෙරණ’ නාලිකාව අතිශයින්ම පක්ෂග්‍රාහීය කටයුතු කරන බව නොකියා කියමින් එය සමඟ ජනාධිපතිවරණය ගැන සකච්ජාවකට සහභාගිවීමත් එම ප්‍රශ්ණය එහිදී මතු නොකිරීමත් යෝග්‍ය නැත. මා සිතන අන්දමට නම් මැතිවරණ සමයන්හි මැතිවරණ කොමිෂම ජනමාධ්‍ය සමඟ කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ද උපමාන තිබිය යුතුය. එහිලා මූලික විය යුත්තේ මැතිවරණ අධ්‍යාපනය සහ අත්‍යවශ්‍ය මැතිවරණ කාරණා දැනුම් දීම් ය.

මැතිවරණ සහ ජනමාධ්‍ය සම්බන්ධයෙන් දැනටමත් කෙරි ගෙන යන සාකච්ජාව ඉදිරියට ගෙන ගොස් වඩා නිරවුල් උපමාන සහ භාවිතයන් ගොඩ නඟා ගැනීම අප හමුවේ ඇති අභියෝගයක් බව දැනට ලියා තබමි. මෙම සාකච්ජාවට වඩා විස්තීර්න ලෙස යළි අවතිර්ණවීම පසුවට තබමි

Back to Top