Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගජනාධිපතිවරණය: මොකද වුණේ? – සුනන්ද දේශප්‍රිය

ජනාධිපතිවරණය: මොකද වුණේ? – සුනන්ද දේශප්‍රිය

by

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසු මම මෙම තීරුවෙහි මෙසේ ලීවෙමි.

එජාපය ඇත්ත තත්වයට මුහුණ දිය යුතුය. එනම් යුද්ධ ජයග්‍රහණය මත පදනම් වූ ස්වකීය පුද්ගලාභිවාදනය දේශපාලනය කරගෙන ඇති රාජපක්ෂවරුන් මෙරට සිංහල බෞද්ධ සමාජය මත මතවාදී ආධිපත්‍යක් පවත්වා ගෙන යන බවයි. රනිල් වික්‍රමසිංහගේ කොලඹ කේන්ද්‍රීය ප්‍රභූ දේශපාලනය විසින් එම ආධිපත්‍ය තවත් තහවුරු කළා මිස අභියෝගයට ලක් කළේ නැත. මෙරට බහුතරය වන සිංහල බෞද්ධ ජන්ද දායකයා අතර අවම වශයෙන් සියයට35- 40ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි නම් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම එජාපයට ඉතා දුෂ්කර ය. එය හුදෙක් අංක ගණිතමය කාරණයක් නොව රටක් පාලනය කරන්නට අවශ්‍ය වන දේශපාලන සුජාතභාවය පිළිබඳ කාරණයක් ද වෙයි.’

2015 ජනාධිපතිවරණයෙහි දී පොදු අපේක්ෂයා ලබා ලත් ඡන්ද ලක්ෂ 62න් ජවිපෙ සහ සිරිසේන විසින් එයට එකතු කරන ලද ඡන්ද ප්‍රමාණය ආපසු ගිය විට ලක්ෂ 62ක රාජපක්ෂ ලබා ගත් ලක්ෂ 57ට පහළ බසින බවත් එයට මසකට පෙර මම මෙම තීරුවෙහිම සටහන් කළෙමි. එම අංක ගණිතමය සමීකරණය විජ ගණිතමය සමීකරණයක් බවට පත් වන විට පාස්කු ඉරිදා ප්‍රහාරය විසින් අැති කළ මහජන භීතිය ද එක්වනු ඇතැයි ඊට එක් කළෙමි.

පසුගිය 16වනදා ජනාධිපතිවරණ ජන්ද විමසීම අවසන් වූ වහාම ලියූ ට්විටර් පණිවිඩයක මා සටහන් කළේ සජිත් ප්‍රේමදාසට සිය ජනාධිවරණ ව්‍යාාපාරය සංවිධානය කර ගැනීමට අඩුම වශයෙන් වසරක් හෝ තිබුණි නම් ජය ගැනීම සඳහා ඔහුට තිබු අවස්ථාව ඉහළ යා හැකිව තිබූ බවයි. එමෙන්ම රනිල් සිරිසේන ආණ්ඩුවෙහි දැවැන්ත අසාර්තකත්වය ද ඔහුගේ දෙපයෙහි බැදුණූ යදමක් හා සමාන වූ බවයි. ඉතා හොදින් සංවිධානය වූ ප්‍රචාරක යාන්ත්‍රණයක්, මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය සහ සිංහල බෞද්ධ ජාතිකවාදි මතවාදයේ බලපෑමත් විසින් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරා ගෙන යනු ඇතැයි ද එම අවස්ථාවෙහිම ටීවිටර් ජාලයෙහි මම සටහන් කළෙමි.

සජිත්ගේ පරාජය ලියැවී තිබුණි

එනයින් සජිත් ප්‍රේමදාසගේ පරාජය කල්තියා දැකිය හැකිව තිබුණි. නැත්නම් අඩුම වශයෙන් ප්‍රසිද්ධ රැස්වීම් නම් සබන් බෝලයෙන් මායාවට පත් නොවිය යුතුව තිබුණි. දේශපාලන වශයෙන් ගත් විට ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය මනාව සැළසුම් කරන ලද එකක් විය. ඊට ප්‍රතිවිරුද්ධව සජිත් ප්‍රේමදාසගේ ව්‍යාපාරය මා, මා විසින්, මා නිසා, මා කෙරෙහි, මා කරණකොට ගෙන යනාදී ලෙස තමාම වරනඟා ගැනීමක් විය.

සජිත් ප්‍රේමදාස මැතිවරණ ව්‍යාපාරය තුළම අගමැති වික්‍රමසිංහ තමාගේ දේශපාලන සැළැස්මෙන් ඉවත් කර තිබුණි. තමා විසින් පත් කරනු ලබන්නේ ප්‍රථම වරට අගමැති වන අයෙකැයි ඔහු විසින් කරන ලද ප්‍රකාශය මරණීය විපාක ඇති කරනු ඇතැයි ද මම ටවිටර් ජාලයෙහි සටහන් කළෙමි. එළෙස වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ හෙළාදුටු ප්‍රේමදාස දැන් තමාගේ පරාජයට වික්‍රමසිංහ විසින් කකුළෙන් ඇදීම ද හේතු වූ බව කීම අප්‍රබංශයකි. වික්‍රමසිංහ සහ පිරිවර ප්‍රේමදාස පරාජය වනු දකින රිසියෙන් සිටි බව සැබෑ ය. ප්‍රේමදාස යුගයක් යළි ඇති කිරීම සඳහා හෝ සජිත් මැජික් එකක් යැයි හෝ ඡන්දයක් මෙරට නැති බව දැන් තේරුම් ගැනීම වැදගත් ය. දේශපාලනය බිම් මට්ටමේ සිට කිරීමට නම් දැන් හෝ 2015 පරාජයෙන් පසු රාජපක්ෂවරුන් වෙහෙස වූ හැටි බැලීම වටී.

සජිත් ප්‍රේමදාසගේ පරාජයට නැත්නම් ගෝඨාභය රාජපකෂගේ ජයග්‍රහණයට මගේ අදහසේ හැටියට ප්‍රධාන හේතු තුනක් තිබේ. 1. යහපාලන ආණ්ඩුවේ සමස්ත අසාර්ථකත්වය ( ජීවන වියදම ඉහළ යෑම, රනිල් සිරිසේන ගැටුම, දූෂිත සහ හීෂිත දේශපාලඥයින්ට දඩුවම් නොකිරීම, බැදුම්කර වංචාව යනාදිය) 2. රාජපක්ෂවරුන් විසින් ගෙන යන ලද සිංහල බෞද්ධ අන්තවාදී දේශපාලනය 3. පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට නොහැකිවීම.

2015 කාගේ ප්‍රාතිහාර්‍යක්ද?

යහපාලන දේශපාලනය පෙරටු කරගත් 2015 ජනවාරි වෙනස සිදුවූයේ සිරිසේනගේ හෝ වික්‍රමසිංහගේ ප්‍රාතිහාර්යක් නිසා නොවේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන වෙනසක් සදහා පශ්චාත්යුද්ධ සමාජදේශපාලන මතවාදයක් ගොඩනැගී තිබූ නිසා ය. එම මතවාදයේ තීරණාත්මක සංකේතය බවට මාදුළුවාවේ සෝභිත හිමි පත් වුණි. එම මතවාදය ගොඩ නැගීමට දේශපාලන මෙන්ම සිවිල් සමාජය ද දායක වී තිබුණි.

ඊට සම්පුර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධව ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය පසුපස ඇති සමාජ දේශපාලන බලවේගය සිංහල බෞද්ධ ජාතිකවාදය සහ තදබල පාලනයක් ඉල්ලා සිටින එකකි. ගෝඨාභය රාජපක්ෂ සියයට 65ක් ඡන්ද ප්‍රතිශතය ඉක්මවූ ගාල්ල, මාතර, හම්බන්තොට සහ මොණරාගල යනු සිංහල ජන අනුපාතය සියයට 95 ඉක්මවූ දිසාවන් ය. ඔහු සියයට 20ට අඩුවෙන් ඡන්ද ලබා ගත්තේ සියයට 80 – 99ක් තරම් සුලුතර ප්‍රජාවන් ජිවත්වන උතුරු නැගෙනහිර දී ය.

2015 ජයග්‍රහණය විසින් යම් යම් ව්‍යුහාත්මක ප්‍රජාතන්ත්‍රවාදී වෙනස් කම් ඇති කැරැණේ එයට පසුපස වූ සමාජ දේශපාලන බලවේගයන් නිසා ය. නමුත් ඉක්මණින්ම වික්‍රමසිංහත් සිරිසේනත් එම සමාජ දේශපලන බලවේග නොසළකා හැරීමට පටන් ගත්හ. 2015 ජයග්‍රහණය සාමූහික එකක් බව වික්‍රමසිංහ සැළකුවේ නැත. ඔහුගේ දේශපාලනය පදනම් වන්නේ දේශපාලන මතවාද සහ මහජන බලවේග ගොඩ නැගීම මත නොව උපාමාරු මගින් දේශපාලනය හැසිරවිය හැකියැයි යන මිථ්‍යාව මතය‍. සිරිසේනට පිස්සු වැට්ටුවේ ද ඔහු ය.

ආපසු හැරවීමේ යුගය

දැන් එළඹ ඇත්තේ 2015 විසින් ඇති කරන ලද වෙනස්කම් ආපසු හැරවීම ඉල්ලා සිටින දේශපාලන යුගයකි. මෙරට ස්වාධීන ආයතන පද්ධතියක් ඇති කල, ජනාධිපති ධූරය සඳහා සීමාවන් පැනවූ සහ විධායක ජනාධිපති ධූරයේ බලතල සිමා කළ 19 වන ව්‍යවස්ථා සංසෝධනය අහෝසි කරන බවට රාජපක්ෂවරු දැනටමත් ජයසක් පිඹිති. දේශපාලන විසදුමක් සහිත නව ව්‍යාවස්ථානට සහය දැක් වූ පිරිස් ඝාතනය කොට ඔවුන්ගේ සිරුරු දනහිසෙන් පහළට එසවීම තහනම් කළ යුතු බව ප්‍රසිද්ධ සභාවක ප්‍රකාශ කළ විශ්‍රාමික ජෙනරල්වරයා දැන් ආරක්ෂක ලේකම් දූරය හොබවයි. දේශපාලන විරුද්ධවාදින් නරින්ට කෑමට දැමීමටවත් යෝග්‍ය නැති බැවින් ඊටත් වඩා යමක් කළ යුතු බව ලියූ හිටපු ජෙනරල්වරයකු තනතුරු පෝලිමේ ඊළගට සිටින බව කියැවේ. ආණ්ඩුවේ කිසිදු තනතුරක් නොදිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කල ජයසුන්දර දැන් ජනාධිපති ලේකම් ය. ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී නැති ආරක්ෂක ඇමැති ධූරය ගෝඨාභය මුල් දිනයේ දී ම පවරා ගත්තේ ය.

රනිල් සිරිසේන පරාජය වූයේ යහපාලන දේශපාලන අභියෝගය හමුවෙහි ය. දැන් ගෝඨාභය රාජපක්ෂ මුහුණ දෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් අභියෝගයකට ය. එනම් විරුද්ධවාදීන් මර්දනය කල යුතු, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හකුළා දැමිය යුතු, සිවිල් සමාජය තලා පෙළා දැමිය යුතු, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් දෙවැනි තුන්වැනි තැනට දැමිය යුතු රාජපක්ෂ පවුල මූලික කරගත් බලහත්කාරයේ දේශපාලනයක් ස්ථාපිත කිරීමේ අභියෝගයට ය. එමෙන්ම මේ සියලූ පියවර රඳා පවතින්නේ ආර්ථික ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇති කිරීමට ඔහු සමත් වන්නේ නම් පමණි.

ජයාරූප එල්ලන්නේ ද නැත්ද, පාරවල් නම් කරනවාද නැත්ද යනු එම අභියෝගයට අයත් නැති එනමුත් සරැව පිත්තල ආවරණයක් ලබා දෙන කාරණා පමණ ය. සිරිසේන ද පටන් ගත්තේ එළෙසම ය.

තුනෙන් දෙක ගනිද?

ශ්‍රී ලංකාවෙහි මාර්කෝස් වර්ගයේ එ්කාධිපතිත්වයක් ඇති කළ නොහැකි ය. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ ද සිවිල් දේශපාලනඥයකු ලෙස පමණක් සිය බලය පරිස්සමෙන් නමුත් තීරණාත්මක සහ අධිකාරි ලෙස පාචිච්චි කරනු ඇතැයි අනුමාන කිරීමේ වරදක් දැනට නැත. ඔහුගේ ජනාධිපති පාලනය කුමන මට්ටටමක අධිකාරිවාදයක් වනු ඇත්දැයි කීමට අප ඉක්මන් විය යුතු ද නැත. තවම පටන් ගත්තා පමණක් වන නිසා ය. තවද තවම රාජපක්ෂ පවුල සුක්කානම හරියටම අල්ලා ගෙන ද නැති නිසා ය. ආණ්ඩුවේ ප්‍රධානියා වනු ඇත්තේ මහින්ද රාජපක්ෂ ද ගෝඨාභය රාජපක්ෂ ද යන්න ද තවමත් විසදී ද නැති නිසා ය. ඊටත් වඩා පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීමට රාජපක්ෂවරු සමත්වනු ඇත්දැයි කීමට ද තවම බැරි නිසා ය. ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිශතයන් දෙස බැලූ විට නම් රාජපක්ෂවරුන්ට ලැබෙනු ඇත්තේ ආසන 124ක් පමණි. තුනෙන් දෙකේ බලයක් යනු ආසන 150කි. මෙය අනාවැකියක් නොවේ.

Back to Top