Sri Lanka Brief
පුවත්විවරණඋතුරේ ඡන්දය හා ජාතික මැදිහත් වීම – අහීලන් කදිරගාමර්

උතුරේ ඡන්දය හා ජාතික මැදිහත් වීම – අහීලන් කදිරගාමර්

by

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගැනීම තුළ උතුරේ ඡන්දය වටහා ගන්නේ කෙසේ ද ? රටේ ජනගහනයෙන් සියයට 5 ක් පමණ නියෝජනය වන යාපනය හා වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයන්ට ඉතාම කිට්ටු තරගයක් පවතින අවස්ථාවක දී හැර මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරිමේ ලා දැක්විය හැකි දායකත්වය ඉතා සීමිතය. නමුත් සිවිල් යුද්ධයකට මැදිව තිබූ රටක් හැටියටත්, දශක ගණනාවක් පුරා ජාතික මැතිවරණ දේශපාලනයට සම්බන්ධ විය නොහැකිව තිබූ කලාපයක් ලෙසත්, උතුරේ ඡන්දය යුද්ධයෙන් බැටකෑ මිනිසුන්ගේ වෙනස්වන දේශපාලනය පිළිබද පිළිබිඹුවකි.

2019 ජනාධිපතිවරණය උතුරට අපහසු එකක් විය. 2015 ආණ්ඩු පෙරළියෙන් ඇති වූ බලාපොරොත්තු ඉටුකරලීමට අපොහොසත් විම පිළිබද මෛත්‍රී –රනිල් ආණ්ඩුව කෙරෙහි තිබු කළකිරිම හා සුලුතර වාර්ගික අපේක්ෂාවන් ආමන්ත්‍රණය සම්බන්ධයෙන් කිසිදු ශක්තිමත් දර්ශනයක් යූඑන්පී අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙතින් ඉදිරිපත් නොවීම හේතුවෙන් ජනතාව ඒකරාශී කිරිම අපහසු විය. මෙම උභතෝකොටිකය හේතුවෙන්ම දමිළ ජාතික සන්ධානය ද මැතිවරණය ආසන්න වන තෙක්ම සජිත් ප්‍රේමදාසට සහයෝගය ප්‍රකාශ කිරිම ප්‍රමාද කරන ලදී. අවස්ථාවාදී පටු දමිළ ජාතිකවාදීන් මෙම අවස්ථාව උපයෝගී කර ගනිමින් ජන්ද වර්ඡනයකට ජනතාව පෙළඹවීමට උත්සාහ කළහ.

සත්‍යය නම් උතුරේ ජන්දදායකයා මේ මැතිවරණයේ දී කිසිවෙකුගෙන් මගපෙන්වීමක් ලබා ගත්තේ නැත. දමිළ ජාතික සන්ධානය තම තීරණය ගැනීමටත් පෙර ඔවුහු සජිත්ට සහාය දැක්වීමට තීරණය කළෝය. උතුරේ ජන්දය පෙර පැවති රාජපක්ෂ පාලනයේ හමුදාකරණය හා පීඩාකාරි දේශපාලනය ප්‍රතික්ෂේප කිරිමකි. එමෙන්ම ජන්ද ප්‍රකාශ කිරිමේ ඉහළ ප්‍රතිශතය ජන්දය වර්ජනය කිරිමට තිබූ ඉල්ලීම හා දමිළ ජාතිකවාදී කණ්ඩායම්වල ආන්තීකරණ දේශපාලනය ද ප්‍රබල ලෙස ප්‍රතික්ෂේප කිරිමකි. මාගේ තර්කය අනුව නම්, උතුරේ ප්‍රකාශීත ඡන්දය යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල මතුවෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ හා ජාතික දේශපාලනය සමග සම්බන්ධ වීමට ඇති සූදානමේ පිළිඹිබුවකි.

ඉලක්කම් කියන කථාව

උතුරේ බහුතර ඡන්දය සජිත් ලබාගැනීම සෑම විටම අපේක්ෂා කරන ලද්දකි. නමුත් මෙවැනි බහුතර ජන කොටස විසින් ප්‍රතිඵලය තින්දු කරන මැතිවරණයක් සදහා ඡන්දය ලබාදීමට උතුරේ ජනතාව කෙතරම් උනන්දු වනු ඇත්දැයි යන්න සැක සහිත විය. ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරිම සදහා කෙතරම් උනන්දුවක් ඇති වනු ඇත් ද ? ඡන්දය වර්ඡනය කිරිම සදහා තිබූ ඉල්ලීම ඔවුන්ව කෙතරම් අවිනිශ්චිතභාවයට පත් කරනු ඇත් ද ?

මැතිවරණ රැළි කිහිපයක් පැවැත්වූවත්, ජනතාව සංවිධානය කිරිම සම්බන්ධයෙන් එතරම් දෙයක් සිදුවූයේ නැත. නමුත්, ඡන්දය ප්‍රකාශ කරන ලද ප්‍රතිශතය 2015 ජනාධිපතිවරණයට ද වඩා ඉහළ වූ අතර දකුණේ ප්‍රකාශිත ප්‍රතිශතයන් තරමටම සමාන විය. දශක ගණනාවක ආයුධ සන්නද්ධ දේශපාලනයෙන් හා සමාජීය බිදවැටීම් හා අවතැන්විම්වලින් පසු ජාතික මැතිවරණ දේශපාලන උතුරේ ස්ථාපිත වීම ආරම්භ වී ඇත.

ධ්‍රැවීකරණ සංවාදය

මැතිවරණ ප්‍රතිඵල හා උතුරු නැගෙනහිර හා දකුණේ ප්‍රතිඵලවල වෙනස සිංහල හා දමිළ ජාතිකවාදී සංවාදයට හොද තෝතැන්නක් වනු ඇත. මේ ප්‍රතිඵල එකිනෙකාව වාර්ගික ජාතිවාදී පදනම මත පරාජය කරමින්, තමන්ගේ ධ්‍රැවීකරණ දේශපාලනය සදහා යොදාගැනීමට දෙපසේම ජාතිකවාදීන් උත්සාහ දරනු ඇත. සත්‍ය වශයෙන්ම මෙම මැතිවරණය වාර්ගික සුලුතර කොටස් විසින් ප්‍රතිඵලය තීන්දු කරන මැතිවරණයක් වීමට ඉඩක් නොතිබුනි. එය දකුණේ සටන් වැදුනු ඡන්දයක් වන අතර 2015 පරාජයෙන් පසු ඉතාම තදින් වැඩකරන ලද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී තමන්ගේම වූ පක්ෂයක් සාදාගැනීමේ අවධානම පවා ගන්නා ලද, මනාව සංවිධානය වූ දේශපාලන යාන්ත්‍රණයක් විසින් ජයගන්නා ලද මැතිවරණයකි. ශ්‍රී ලංකාවේ මැතිවරණ දේශපාලනය තුළ ඉතාම සුලභ ලක්ෂණයක් වූ පවතින පාලනයට විරුද්ධ ඡන්දයේ සිට, රජයේ ආර්ථික අසාර්ථකත්වයන් හා පාස්කු ප්‍රහාර ඛේදවාචකයට මග පෑදූ දැවැන්ත ආරක්ෂක ප්‍රමාද දෝශයන් ඔවුහු ඉතාම හොදින් තමන්ගේ වාසියට භාවිතා කළහ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විසින් තමන්ගේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ප්‍රමාද කිරිම හා දුර්වල කිරිම නිසාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගොඩනගන ලද මෙම දේශපාලන ගම්‍යතාවයට කිසිදු බරපතල අභියෝගයකට මුහුණ දීමට සිදුනොවීය. ජවිපෙ හා අනෙකුත් පාර්ශවයන් වෙනම ගමනක් යෑමට තීරණය කිරිම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සටනක් දීමට අවශ්‍ය වූ විපක්ෂයේ දේශපාලන සන්ධානය ගොඩනගා ගැනීමට ද නොහැකි විය. විවිධ පාර්ශවයන්ගේ දේශපාලන නායකත්වයේ මේ විනාශකාරි අසාර්ථකත්වයන්ගේ වරද ජනතාව පිට නොපැටවිය යුතුය. තවද, ප්‍රධාන මැතිවරණ වෙනස්කම් පෙන්වන්නේ ජනතාව තුළ පවතින ආර්ථික, සමාජීය හා දේශපාලනික අසහනයන්ය. අවාසනාවකට, මෙවැනි අසහනයන් වඩාත්ම හොදින් ප්‍රයෝජනයට ගන්නේ ධ්‍රැවීකරණීය ජාතිවාදී බලවේගයන්ය. රට පුරා සිටින ප්‍රගතිශීලින්ගේ මේ මොහොතේ කාර්යය වන්නේ සහජිවනය සදහා වන සන්නිවේදන මාධ්‍යයන් හරහා මේ අනිවාර්ය ධ්‍රැවීකරණයට මුහුණ දීමයි.

ප්‍රජාතන්ත්‍රවාදය හා සහයෝගිතාවය

ජනාධිපතිවරණයට පෙර තුන්වන බලවේගයක් ගොඩනැගීම සදහා කාලානුරූපී නොවන තීන්දුවක් ගත් මාගේ දකුණේ මිත්‍රවරුනි, තුන්වන බලවේගයක් සෑදීමට දැන් කාලය පැමිණ ඇත. තුන්වන බලවේගය එක් ජනවර්ගයකින් පමණක් ඇති විය නොහැක්කකි. එය සෑම ජනවර්ගයකම අන්තර්ගත පාංතික ස්වභාවය හා පන්තිය, ජනවර්ගය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා කුළය අතර ඇති අන්තර් සම්බන්ධය හදුනා ගන්නා ප්‍රගතිශීලි දේශපාලනයක් මත පදනම් විය යුතුය.

තමන්ගේ අනාගත අභිලාෂයන් ඉතාම සුලුවෙන් නියෝජනය වූ මැතිවරණයක් සමගත් සම්බන්ධ වීමට යුද්ධයෙන් පීඩාවට පත් උතුරේ ග්‍රාමීය ජනයා සූදානම් නම්, සියලු ජනවාර්ගික කොටස්වල පරිධයේ සිටින ජනතාවගේ අපේක්ෂාවන් මත පදනම් විය හැකි ජාතික විකල්පයකට ඇති ඉඩකඩ සිතා බලන්න. මැතිවරණ දේශපාලනයේ විග්‍රහයන් මත පදනම් වන බුද්ධිමය අශුභවාදය වෙනුවට ආර්ථික සාධාරණත්වය හා දේශපාලන නිදහස සදහා සංවිධානය වීමේ ශුභවාදී අපේක්ෂාව ඇති කර ගත යුතුය. මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ගැඹුරු කිරිමේ හා රට පුරා සහයෝගිතාවයේ පාලම් ගොඩනැගිමේ කාලයයි.

අහිලන් කදිර්ගාමර් විසින් 2019 නොවැම්බර් 18 දින ඬේලි මිරර් පුවත්පතට ඉංග්‍රීසි භාෂාවෙන් මුලින් ලියන ලද ‘ Northern Vote and National Engagement’ නම් ලිපිය සදුන් තුඩුගල විසින් සිංහලට පරිවර්තනය කරනු ලදී.

විකල්ප වෙබ් අඩවියෙනි.

Back to Top