Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගසිරිසේනගේ දිනුම, දේශපාලන පංතිය, ඇල්පිටිය සහ සිංහල ඡන්දය – සුනන්ද දේශප්‍රිය

සිරිසේනගේ දිනුම, දේශපාලන පංතිය, ඇල්පිටිය සහ සිංහල ඡන්දය – සුනන්ද දේශප්‍රිය

by

කාටූනය ‌ඩේලි මිරර් අනුග්‍රහයෙනි.

දැනටම එක් ජනාධිපතිවරණ ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත්ව තිබේ.

එනම් සරළ ජනාධිපති ලෙස පොළොනනරුවේ පරණ තාප්ප කෑලි උඩ වාඩිවෙන, සිංගප්පූරුවේ පාර අයිනේ තේ කඩයක පේල්න්ටියක් ගහන ඡායාරූප පළ කරගත් පල්ලෙවත්ත ගමරාලගේ මෛත්‍රීපාල යාපා සිරිසේන නොහොත් මෛත්‍රීපාල සිරිසේනගේ ජන්ද ප්‍රතිපලයයි.

නොවැම්බර් 17වනදායින් සැප සහසු ජිවිතයක් සහතික කරන විශ්‍රාම ලොතරුයිය ඔහුට ඇදුණේ ය. ජනාධිපති සිරිසේන මෙම සිය පදිංචිය සඳහා ඉහළ පෙළේ දේශපාලනයන්ට තාවකාලිකව ලැබෙන කොළඹ 07 මහගම සේකර මාවතේ නිවාස දෙකක් එකක් බවට පත් කරගත්තේ කෝටි ගණනාවක් මහජන මුදල් වැය කරමිනි. දැන් එම නිවස ඔහුගේ සහ ඇඹේනියගේ ජීවිත කාලය සඳහාම නොමිලයේ ලැබී තිබේ. මා කලින් වතාවක ලියූ පරිදි ශ්‍රී ලංකාවේ මැතිවරණ දේශපාලනය යනු අවසානයක් නැති කලු කුහරයකි. ඊට අසුවන දේශපාලනඥයින් එළියට එන්නේ දූෂණයෙන් විකෘති වූ ගන්දස්කාර දේශපාලනඥයින් ලෙස ය.

ජේ. ආර්. ජයවර්ධනගේ 1978 ව්‍යවස්ථාවට අනුව හිටපු ජනාධිපතිවරුන්ට පමනක් නොව ඔවුන්ගේ වැන්දඹු පාර්ශවයන්ට ද අසීමිත වියදමක් ඇතිව නිවාස, ආරක්ෂාව සහ අනෙක් පහසුකම් ද සැළසිය යුතු ය. මේ වනාහී දේශපාලන පංතියයේ සුඛවිහරණය වෙනුවෙන් මහජන අරමුදල් කොල්ලකෑමට ජේ.ආර්.ජයවර්ධන විසින් පැලපදියම් කළ දුෂ්ඨ සැළස්මකි. සිරිසේන ජනාධිපති ධුරයේ සිටියදී ඉටු කළ යුතු වූ කිසිදු රාජකාරියක් නොවැම්බර් 16දායින් පසු ඔහුට නැත. එසේ තිබියදිත් ඒසා විසල් මැදුරක් ඔහුට කුමටද? පංතියේ වැජඹීම පිනිස පමණය.

හිටපු ජනාධිපතිවරුන් විසින් පමණක් නොව පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ද භුක්ති විදින විශ්‍රාම වැටුප් සහ අනෙක් වරදාන ද අහෝසි කරන බවට ජනාධිපති අපේක්ෂකයන් අතුරින් පොරොන්දු දී ඇත්තේ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක පමණි. තමා ජනාධිපති මන්දිරයට නොයන බවටත් පිට පළාත් හි නිමවා ඇති ජනාධිපති මන්දිර තාක්ෂනික අධ්‍යාපන ආයතන බවටත් පත් කරන බවටත් පොරෙන්දු දෙන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙහි සජිත් ප්‍රේමදාස මෙරට දේශපාලන පංතිය භුක්ති විදින ඉහත කී වරදාන අහෝසි කරන බවට පොරොන්දුවක් දෙන්නට සූදානම් ද? මේ වනාහී සජිත් ප්‍රේමදාස මුහුණ දෙන තීරණාත්මක අභියෝගයක් බවට අප පත් කළ යුතු ය. මන්ද යත් මෙරට දේශපාලන සංස්කෘතිය පිිරිසිදු කිරීම ආරම්භ කළ යුත්තේ මැතිවරණ දේශපාලනය ඉක්මණින් ධනවත්වීමේ කුට සැළැස්ම පරාජය කිරිම මගින් නිසා ය.

රාජපක්ෂ පවුලෙන් නම් දේශපාලන පංතියේ දූෂණය සහ භීෂනය අහෝසි කිරීම පිළිබඳ කිසිදු පොරොන්දුවක් අපේක්ෂා කල නොහැකි ය. ඒ ඔවුන්ගේ පරම අපේක්ෂාව වන්නේ දූෂිත දේශපාලන පංතිය සිය වහලුන් ලෙස තබා ගනිමින් රාජපක්ෂ රජ පෙළපත මෙරට පිහිටුවීම නිසා ය.

මෙකී රාජපක්ෂ රජ පෙළපත ඉබේ ඇතිවන සංකල්පයක් නොව හිතාමතා සැළසුම් කරනු ලබන දේශපාලන ව්‍යාපාතියකි. පසුගිය දිනක පොදු ජන පෙරමුණේ ප්‍රධානීන් බෙෘද්ධ ආගමික මෙහෙවරක නිරත වන ජායාරූපයක් රාජපක්ෂවරුන් විසින්ම ප්‍රසිද්ධ කරන ලදී. එම ඡායාරූපයේ ඉදිරිපස චමල්, මහින්ද, බැසිල් සහ ගෝඨාභය යන රාජපක්ෂ සහෝදරයින් ඉදිරියෙන් තැබූ පුටු හතරක වාඩි වී සිටියහ. පොදු ජන පෙරෙමුණෙහි අන් සියළු නායකයින් වැදගෙන සිටින්නේ පසුපසට වී හිටගෙන ය. දේශපාලන සංකේතයක් වශයෙන් මෙවැනි ඡායාරූප රාජපක්ෂ අනුගාමිකයිනට දෙන පණිවිඩය නම් රාජපක්ෂ රජ පෙළපතට අනෙක් නායකයින් තුළ ඇති පිළිගැනීමයි. එම ඡායාරූපයේ හිටගෙන සිටින සිටින පිරිස අතර ගෝඨාභයට සහ බැසිල්ට වඩා ජේෂ්ඨ දේශපාලනයින් ගණනාවක්ම සිටිති.

රාජපක්ෂවරුන් විසින්ම ප්‍රසිද්ධ කරන ලද තවත් එවැනි ඡායාරූපයක ගෝඨාභය රාජපක්ෂගේ නාම යෝජනා පත්‍රයට පොදු ජන පෙරමුණේ නායකයයෝ වැඳගෙන සිටිති. එවැනි සංකේත මගින් ජනිත කරන්නේ රාජපක්ෂවරුන් සහ බුද්ධාගම අතර ඇති මිත්‍යාමය සම්බන්ධතාවයත් අන් සියළු දෙනා ඊට ගරු කළ යුතු ආකාරයත් ය. හිටපු වාමාංශිකයකු වූ වාසුදේව නානායක්කර මෙන්ම කට හැකරයකු වූ මර්වින්ද සිල්වා දෙකට නැවී රාජපක්ෂවරුන්ට වන්දනාමාන කිරීම දක්වන ජයාරූප ප්‍රචාරය කිරීමද රජ පෙළපත පිළිබඳ ඉඟි ය. වැඩමහල් ජනයා විසින් රාජපක්ෂවරුන්ට බිමවැටි නමස්කාර කරන ඡායාරූපය සුලභ ය. එමෙන්ම රාජපක්ෂ පුතුන්ගේ විවාහ මංගල්‍ය පවත්වන ලද්දේ ද සියගණන් ජායාරූප අන්තර් ජාලයට මුදා හරිමින් පෙන්නුම් කරන ලද්දේ ද රජ පෙළපතක සෙයියාවයි.

අද ශ්‍රී ලංකාව මුහුණ දෙන දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී අභියෝගයන් අතර මෙම නූතන සිංහල බෞද්ධ රාජපක්ෂ රජ පෙළපත පිළිබඳ ප්‍රශ්ණය, දේශපාලන පංතියේ වරදාන කප්පාදුව ආසන්නයටම එයි. මෙරට පාලනය කළ අන් කවර දේශපාලන නායකයකුට වඩා මහින්ද රාජපක්ෂ සිය පෙළපත ගැන මහත් උන්නදුවක් දක්වයි. ඔහුගේ නමින් තරම් පාසැල්, ක්‍රීඩාංගන, රජයේ ආයතන නම් කරන ලද වෙනත් කිසිදු පාලකයකු මෙරට සිට නැත. ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපාතිය ද එයම ය. රාජපක්ෂවරුන් අතට මෙරට දේශපාලන බලය මාරු වී ගියහොත් යළිත් මෙරට පාලනය තනි පවුලක් අතට පත්වන ඇති බව දැනටමත් පෙනෙන්නට තිබේ. අප කැමැති වුවත් නැතත් මෙම දේශපාලන ව්‍යාපෘතියට සිංහල බෞද්ධ බහුතරයක සහයෝගය ලැබෙන බව පසුගියදා පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් දැක ගත හැකි විය.

එම ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් රාජපක්ෂවරු ජයග්‍රහණය කරනු ඇති බව මුල සිටිම පෙනෙන්නට තිබුණි. එසේ නමුත් එක්සත් ජාතික පක්ෂය මෙතරම් පරාජයක් ලබනු ඇතැයි සිතීම දුෂ්කර විය. මන්ද යත් 2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණයන්ගෙන් ලද පරාජයේ පාඩම් ඉගෙන ගෙන යළි සිය දේශපාලන පදනම් ශක්තිමත් කර ගැනීමට පියවර ගන්නා බවට එජාපය යළි යළි කී බැවිනි. එසේ නමුත් සියයට 24 ඡන්ද ප්‍රමාණය අභිබවා යෑමට එයට නොහැකි විය.

ඇල්පිටියෙහි එජාපය ලද පරාජය හුදෙක් බෙන්තරඇල්පිටිය එජාප පාර්ලිමේන්තු මංත්‍රීවර ගයන්ත කරුණාතිලකගේ දුර්වලතා නිසා ඇති වූ බවට තර්ක කරන පිරිස් ද සිටිති. එනමුත් ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ 2018 පළාත් පාලන මැතිවරණයෙහි දී මුලු රටෙහිම එ්හා සමාන ප්‍රතිඵලයක් ලැබුණේ එම මැතිවරණය සම්පූර්ණයෙන්ම ගයන්ත කරුනාතිලක විසින් මෙහෙයවූ එකක් නිසා ද කියා ය. එදා ඇල්පිටියට ආසන්න කරන්දෙණිය ප්‍රාදේශීය සභාවෙහි එජාපය ලබා ගත්තේ ඡන්ද 20% පමණි.

එජාපය ඇත්ත තත්වයට මුහුණ දිය යුතුය. එනම් යුද්ධ ජයග්‍රහණය මත පදනම් වූ ස්වකීය පුද්ගලාභිවාදනය දේශපාලනය කරගෙන ඇති රාජපක්ෂවරුන් මෙරට සිංහල බෞද්ධ සමාජය මත මතවාදී ආධිපත්‍යක් පවත්වා ගෙන යන බවයි. රනිල් වික්‍රමසිංහගේ කොලඹ කේන්ද්‍රීය ප්‍රභූ දේශපාලනය විසින් එම ආධිපත්‍ය තවත් තහවුරු කළා මිස අභියෝගයට ලක් කළේ නැත. මෙරට බහුතරය වන සිංහල බෞද්ධ ජන්ද දායකයා අතර අවම වශයෙන් සියයට 35- 40ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි නම් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම එජාපයට ඉතා දුෂ්කර ය. එය හුදෙක් අංක ගණිතමය කාරණයක් නොව රටක් පාලනය කරන්නට අවශ්‍ය වන දේශපාලන සුජාතභාවය පිළිබඳ කාරණයක් ද වෙයි.

එළෙස සිංහල ජන්ද බහුතරයක් නැතිව වුවද දෙමළ සහ මුස්ලිම් ඡන්ද ලබා ගැනීම මගින් සමහර විට ජනාධිපතිවරණයක් දිනාගත හැකි ය. ඒ දෙමළ සහ මුස්ලිම් ජනයා සමස්තයක් වශයෙන් එකී අපේක්ෂකයාට සිය කැමැත්ත පළ කරන්නේ නම් පමණි. එසේ වීත් සරත් පොන්සේකාට 2010 ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැකි විය. ඒ රාජපක්ෂවරුන් යුද ජයග්‍රහණයේ වාසිය තමන් අතට ගැනීමට සමත්ව සිංහල බෞද්ධ ඡන්ද තොග පිටින් ලබා ගත් නිසා ය. නමුත් සිරිසේනට එම තත්වය යම් දුරකට වෙනස් කරගැනීමට හැකිවිය.

අද තත්වය ඊටත් වඩා වෙනස් ය. දෙමළ ජාතික සන්ධානය ද ඇතුළු ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂ පහක් එක්ව දැන් ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. මෙරට අද පවතින සමාජ දේශපාලන වාතාවරණය යටතේ සිංහල ජනයාගේ ඡන්ද අපේක්ෂා කරන කවර හෝ ප්‍රධාන දේශපාලන පක්ෂයක් එම යෝජනාවාලියට එකඟ වීම සිය දිවි නසා ගැනීමක් වනු ඇත. මන්ද යත් එම යෝජනා අතර පෙඩරල් ක්‍රමයක් ඇති කිරීම, ශ්‍රී ලංකාවේ සිදුවූ බවට කියැවෙන යුද්ධ අපරාධ අන්තර් ජාතික යුද අධිකරණය වෙත ඉදිරිපත් කිරීම, යුද සමයේ මානව හිමිකම් කෙළෙසීම් පරීක්ෂා කර විභාග කිරිමට අන්තර් ජාතික යාන්ත්‍රණයක් ඇති කිරීම යනාදිය පවතින බැවිනි.

පොදු ජන පෙරමුණ සහ ගෝඨාභය රාජපක්ෂ දැනටමත් මෙම යෝජනා ප්‍රතික්ෂේප කර තිබේ. ජාතික ජන බලවේගය ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ද එම යෝජනා පිළිගන්නවා ඇතැයි සිතිය නොහැකි ය.

දැනටමත් ජනාධිපතිවරණය වර්ජනය කළ යුුතු බවට එක් දෙමළ පක්ෂයක් ප්‍රකාශ කර තිබේ. ඇත්ත වශයෙන්ම නම් මෙම යෝජනා මාලිව මගින් සිදුකර ඇත්තේ දකුනේ ප්‍රධාන දේශපාලන පක්ෂ සහ දෙමළ දේශපාලන පක්ෂ අතර සන්ධානයක් මෙම ජනාධිපතිවරණය සඳහා ඇතිවීම වැලැක්වීමයි. යහපාලන ආණ්ඩුව දෙමළ ජනයාට දුන් පොරොන්දු ඉටු නොකීරිම සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සමාජය ද සිටින්නේ මහත් කළ කිරීමකිනි. මෙම වර්ධනයට හේතුව එයයි. එබැවින් ගෝඨාභය කෙරෙහි ඇති බිය නිසා දෙමළ ජනයා ඔහුට විරුද්ධ ප්‍රබලතම අපේක්ෂකයාට ඡන්දය දෙනු ඇතැයි සිතීම දුෂ්කර වී තිබේ.

දැනට ඇති වර්ධනයන් අනුව පෙනෙන්නට ඇත්තේ මෙම ජනාධිපතිවරණය කවරදාටත් වඩා සිංහල ඡන්ද දායකයා විසින් මූලික වශයෙන් තීරණය කරනු ඇති මැතිවරණයක් වන බවයි. එනයින්ම මෙරට දෙමළ දේශපාලන‍යේ තීරණාත්මක කඩඉමක් බවට මෙම ජනාධිපතිවරණය පත්වීමට ඉඩ තිබේ. මන්ද යත් ගෝඨාභය රාජපක්ෂගේ පසුගිය පුවත් පත් සාකච්ජාවෙන් ද පෙනී ගිය පරිදි, සිංහල බෞද්ධ ඡන්ද පදනමකින් බලයට පත්වන ජනාධිපතිවරයකු සුළුතර ජන ප්‍රජාවන්ගේ දේශපාලන ඉල්ලීම් නොසළකා හැරීමට ඉඩ වැඩි නිසා ය‍. සමහර විට අප අත් දකිනු ඇත්තේ අධිකාරීවාදී දේශපාලනයකට ස්තෝත්‍ර ගයමින් රජ පෙළපත කරින් ගෙන යන රැධිර පිපාසිත වහලුන්ගේ සංදර්ශණයකි. වඩා භයානක විය හැක්කේ එකී වහල් බල සේනාවන් ය.

Back to Top