Sri Lanka Brief
පුවත්විවරණසමාජය ඉදිරියට යන්‌නෙ පිරිිමි මූලික කරගෙන නොවෙයි, දෙපාර්ශවයේම අදහස් සම සමව ගැටෙමින් – අනුර කුමාර දිසානායක

සමාජය ඉදිරියට යන්‌නෙ පිරිිමි මූලික කරගෙන නොවෙයි, දෙපාර්ශවයේම අදහස් සම සමව ගැටෙමින් – අනුර කුමාර දිසානායක

by

අද අපේ රටේ කාන්තාවන් මුහුණ දී ඇති ගැටලු පැන නැගීමට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අපි සමාජයක් විදිහට මුහුණ දී ඇති අර්බුදයන්ගේ පීඩාව. ඒ පීඩාවෙන් කාන්තාවන් පෙළෙමින් ඉන්නවා. අනෙක් පැත්තෙන් කාන්තාවන් වීම නිසාම මුහුණදෙන ගැටලු රැසකුත් තියෙනවා. ඒ පීඩාවේ ස්වභාවයනුත් දෙකක් තියෙනවා. තමන්ගෙ අයිතිවාසිකම් පිළිබඳ ගැටලුව ඉන් එකක්. දෙවෙනි එක තමයි තමන්ගේ පීඩාව පිළිබඳ ගැටලුව.

රටක් විදිහට අපේ රටේ තීන්දු තීරණවලට කොපමණ කාන්තාවන් ප්‍රමාණයක් සහභාගි වෙනවද? ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩලයට කොපමණ කාන්තාවන් ඉන්නවද? පුවත්පත්වල කර්තෘවරියන් කී දෙනෙක් ඉන්නවද? රාජ්‍ය ආයතනවල, ඒවායේ තීන්දු තීරණ ගන්න අධ්‍යක්ෂ මණ්ඩල තුළ කොපමණ කාන්තා නියෝජනයක් තියෙනවද?

දේශපාලන ව්‍යාපාරයන් තුළ, පාර්ලිමේන්තුව තුළ කාන්තාවන්ගේ නියෝජනය කොපමණද? මේ ගැන හිතල බැලුවොත් ඉතාමත් අල්ප කාන්තා නියෝජයක් තමයි තියෙන්නෙ. ඒත් රටේ ජනගහනයෙන් සියයට පනස් එකක් ඉන්නෙ කාන්තාවන්.

ඒකෙන් අදහස් වෙන්නෙ පිරිමින් මූලික කරගනිමින් සමාජයක් ඉදිරියට යන්න ඕනෙ කියන එකද? නැහැ. දෙපාර්ශ්වයෙන්ම අදහස් සම සමව එකට ගැටෙමින් තමයි සමාජයක් ඉදිරියට යන්න ඕනෑ.

ඒත් අඩුම තරමින් කාන්තාවන්ට විශේෂ වූ ගැටලු නිර්මාණය වෙන තැන්වලවත් ප්‍රමාණවත් කාන්තා නියෝජනයක් තියෙනවද? උදාහරණයක් විදිහට ගමනාගමන මණ්ඩලය ගත්තොත් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ කාන්තාවන් කිසිවෙක් නැහැ. වතුකරයේ වෘත්තීය සමිති වතුවල හාම්පුතුන් එක්ක සාකච්ඡා කරනකොට ඒ සාකච්ඡා ඇතුළෙ කාන්තාවන් කී දෙනෙක් ඉන්නවද? ඒ තැන්වල කාන්තා නියෝජනය කිසිසේත්ම යුක්ති සහගත නැහැ. පාර්ලිමේන්තුව ඇතුළෙ වුණත්, පියා මිය යාම විසින්, ස්වාමිපුරුෂයා මිය යාම විසින්, එහෙමත් නැත්නම් පියාගේ අඩි පාරෙ මිසක්, සමාජය තුළ ගැටෙමින්, සමාජ අත්දැකීම්වලින් සහ සමාජයට නායකත්වය ලබා දීමෙන් ලබා ගන්නා පෞරුෂයන් විසින් පාර්ලිමේන්තුවට ආපු කාන්තාවන් දකින්න නැහැ.

එක පැත්තකින් මේ වැඩපිළිවෙළ ඇතුළෙ තියෙනවා මැතිවරණයකදි කාන්තාවන් 50%ක් හෝ අවම වශයෙන් ඉදිරිපත් කළ යුතුයි කියලා. අපි ලෑස්තියි ඒකට. ඒත් කාන්තාවන් සූදානම්ද? එතැනත් ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතු තමයි ඇයගේ පවුලට තියෙන සම්බන්ධතාවය, ඇයට ඇති වී තිබෙන වගකීම්, ඇය එවැනි කටයුතු නියැලීම සම්බන්ධයෙන් තිබෙන සමාජ ආකල්ප ඊට බලපෑම් කරනවා.

2018 වසරේ මාතෘ සිය දිවි නසාගැනීම් 38ක් වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නෙ දරුවා බිහි කොට දින හතළිස් දෙකක් ඇතුළත මව්වරුන් 38 දෙනෙක් සියදිවි නසාගෙන. දරුවා බිහි කළාට පස්සෙ ඇති වෙන විශාදය සහ ගෘහස්ථ හිංසනය තමයි ඒවට හේතු විදිහට හොයාගෙන තියෙන්නෙ. ඊටත් වඩා භයානකම දේ තමයි ලංකාවේ අස්වාභාවිකව මරණයට පත් වන කාන්තාවන්ගෙන් 36%ම මරණයට පත් වෙන්නෙ තමන්ගේ ස්වාමිපුරුෂයා නැත්නම් තමන්ගේ සමීපතම සහකරු අතින්. ඒකෙන් පැහැදිලි වෙන්නෙ ලංකාවේ කාන්තා මරණවලින් සැලකිය යුතු පංගුවකට පුරුෂයා විසින් ඇති කරන පීඩනය හේතුවක් වෙලා තියෙනව කියන එක.

ඒ වගේම ලංකාවේ වසරකට ගබ්සාවන් දෙලක්ෂ හතළිස් දාහක් සිදු වෙනවා. ඒ වාර්තාගත සංඛ්‍යාලේඛන පමණයි. ඒ අනුව දවසකට හයසිය තිස් අටකට ආසන්න සංඛ්‍යාවක් සිදු වෙනවා. ඒ අතරින් 90%ක්ම විවාහක කාන්තාවන් තුළ තමයි සිදු වෙන්නෙ. මේ ගබ්සාවන්ට හේතු කිහිපයක් තියෙනවා. පළමු දරුවා බිහි වී ප්‍රමාණවත් කාලයක් ගත නොවීම, දරුවන් අපේක්ෂා නොකරන වෙලාවක සිදු වන ගැබ් ගැනීම් මේ අතර තියෙනවා. ඒ අතරින් බරපතළම ඛේදවාචකය තමයි විදෙස් රැකියාවකට යාම සඳහා කර ගන්නා ගබ්සා කර ගැනීම්. මේ රහසිගත ගබ්සාවන් නිසා ඇති වෙන සෞඛ්‍ය ගැටලු රැසක් තියෙනවා.

කොහොම වුණත් මෙතැන ඉන්න කවුරුවත්, කුමන හෝ කලලයක් විනාශ කරන්න එකඟ වෙයි කියල මම හිතන්නෙ නැහැ. මනුස්සයෙක් හැටියට, මානවවාදියෙක් හැටියට අපිට ඒකට එකඟ වෙන්න බැහැ. ඒත් මේ ගබ්සාවන් ගැන තීරණ ගන්නෙ කවුද? තමන්ගේ ආර්ථික හැකියාව මත පිරිමියාද? ආර්ථික දුෂ්කරතා නිසා විදෙස්ගත වීමට සිදු වීමද? තමන්ගෙ දරුගැබ විනාශ කරන්න පිටස්තර කෙනෙක් හරි පිටස්තර හේතුවක් හරි හේතු වෙනවනම් ඒක යුක්තිසහගතද? අපි විශ්වාස කරන්නෙ ඒ දරුගැබ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය තියෙන්නෙ ඒ ගැබ දරා සිටින කාන්තාවට කියලයි. ඒක ඇයගේ අයිතියක්.

ඒ වගේම කාන්තාවන් පොදු ප්‍රවාහනයේදී 90%ක් කවර හෝ ආකාරයක ලිංගික අඩම්තේට්ටම්වලට ලක් වෙනවා. එයිනුත් 70%ක් ශාරීරික ලිංගික හිංසනයට මුහුණ දෙනවා. කාන්තාවන්ට එවැනී පීඩාවක් එල්ල කරන එක සාධාරණද? ඒ නිසා විශාල අරගලයක්, විශාල මැදිහත්වීමක් අවශ්‍ය වෙනවා මේ තත්ත්වය වෙනස් කරන්න. ඒ මැදිහත්වීම කරන්න අපි සූදානම්.

මේ ඇති වී තිබෙන සමාජය පීඩනයේ, සමාජ ඛේදවාචකයේ වැඩිපුරම වින්දිතයන් වී තියෙන්නෙ කාන්තාවන්. අද උතුරු පළාතෙ යුද වැන්දඹුවන් හතළිස් පන්දාහක් පමණ ඉන්නවා. දකුණේ, ස්වාමියා යුද සොල්දාදුවෙක් වීම නිසා වැන්දඹුවන් වූ කාන්තාවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අද යාපනයේ වේගයෙන්ම ව්‍යාප්ත වෙමින් යන වෘත්තිය බවට ගණිකා වෘත්තිය පත් වෙමින් තියෙනවා. ස්වාමියා අහිමි වීම නිසා ජීවත් වීම වෙනුවෙන් ඔවුන්ට ශරීරය විකුණන්න වෙන තත්වයට අද ඔවුන්ව පත් කර තියෙනවා. ඒ නිසා මේ යුද වැන්දඹුවන්ගේ ප්‍රශ්නය කියන්නෙ විශේෂ මැදිහත්වීමක් කළ යුතු ක්ෂේත්‍රයක් බවට අපි අඳුනගෙන තියෙනවා. ඒ වගේම තමයි අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය. ඒ බිරින්දෑවරුන්ට, ඒ අම්මාවරුන්ට තමන්ගේ ස්වාමිපුරුෂයා, දරුවා ගැන තොරතුරක් දැන ගන්න අයිතියක් නැද්ද? ඒ අයිතිය තහවුරු කරන්න වේගවත් මැදිහත්වීමක් කරන්න ඕනෙ කියලා අපි අදහස් කරනවා.

මේ සමාජයෙ තිබෙන ආර්ථික පීඩනයෙන් වැඩිම පීඩාවක් විඳින්නෙ කාන්තාවන්. හොඳම උදාරහණයක් තමයි ධීවර කර්මාන්තය. ධීවර කර්මාන්තය ගැන කියද්දි අපිට මතක් වෙන්නෙ ධීවරයා. කවි ලියවෙන්නෙ, චිත්‍රපටි හැදෙන්නෙ ධීවරයා ගැන. ඒ පිටුපස ඉන්න කාන්තාව සමාජය විසින්ම සඟවලා. කෘෂිකර්මාන්තයේදිත් එහෙමයි. අපේ චිත්‍ර පොතේ ඉඳන් අපේ මනසේ හදලම තියෙන්නෙ කඨෝර පොළොව එක්ක හැප්පෙන ගොවියා විතරයි. ගෙවිලිය ගැන කතාවක් නැහැ. ගෙවිලිය ගැන කියන්නෙ කතාව ලස්සන කරන්න විතරයි. ඒ වුණාට හැම ක්ෂේත්‍රයකම ප්‍රධාන පාර්ශ්වකරුවෙක් සහ බර උසුලන්නෙක් විදිහට කාන්තාව පත් වී තියෙනවා.

ගෘහ ජීවිතයේ එදිනෙදා කටයුතුවල සිට සමස්ත සමාජ කඩා වැටීමේම ප්‍රධාන වින්දිතයා බවට කාන්තාව පත් වී තිබුණට ඒ සාකච්ඡාව සමාජය තුළ නැහැ. සමාජය තුළ නැහැ විතරක් නෙමෙයි, කාන්තාව එය තේරුම් අරන් තියෙන්නෙත් තමන්ට අත්පත් වී ඇති උරුමය විදිහට. ගෘහස්ථ හිංසනය උරුමය විදිහට තමයි තේරුම් අරගෙන ඉන්නෙ. සතියකට දෙපාරක් විතර අඬන එක, ස්වාමිපුරුෂයාගේ පීඩාවට ලක් වීම උරුමය විදිහට තේරුම් අරගෙන ඉන්නෙ. කාන්තාව කියන්නෙ කාගෙවත් පීඩාවට ලක් විය යුතු කෙනෙක් නෙමෙයි. කාන්තාව විතරක් නෙමෙයි, කිසිවෙක් තවත් කිසිවෙකුගේ පීඩාවට ලක් විය යුතුයි කියල අපි විශ්වාස කරන්නෙ නැහැ.

ලෝකෙ කොහේ හරි රටක කෙනෙක් අපි දන්නවනම් ඒ ඒ රටවල්වලට ආවේණික දේවල් ගැන අපි අහනවා. ස්විට්සර්ලන්තෙ ඉන්න කෙනෙක්ගෙන් අපි අහනවා චොක්ලට් ගැන. කොරියාවෙ ඉන්න කෙනෙක්ගෙන් අහනවා ෆෝන් එකක්වත් එවන්න බැරිද කියල. චීනෙ ඉන්න කෙනෙක්ට කියනවා සෙල්ලම් බඩුවක් එවන්න කියල. ඒ වගේ ලංකාවෙ කෙනෙක්ගෙන් වෙන රටක කෙනෙක් අහන්නෙ, ගෙදර වැඩ කරන්න කාන්තාවක් එවන්න බැරිද කියලා. ඒ නිසා අපි රටක් විදිහට ලේබල් වෙලා තියෙන්නෙත් ගෘහ සේවයට කාන්තාවන් පටවන රාජ්‍යයක් විදිහට. ඒ ගැන අපි වගකීමෙන් කියනවා, සහතික වශයෙන්ම අපි ඒක නතර කරනවා. ඒක නූතන වහල් ක්‍රමයේ අලුත් ආකෘතියක්. ඒක අපි කිසි සේත්ම පිළිගන්නෙ නැහැ.

ඒ නිසා අපි විසින් සකස් කරන සියලුම ප්‍රතිසංස්කරණයන්ගේ සහ යළි ස්ථාපිත කිරීමේදී කාන්තාවන්ට මේ සමාජය තුළ සමාන පිළිගැනීමක් සහ අයිතියක් සහිත සමාජ සත්වයෙක් හැටියට ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම ප්‍රධානම අරමුණක් බවට පත් වෙනවා.


ජාතික ජන බලවේගයේ ස්ත්‍රී පඥප්තිය එළි දැක්වීම 20 දින පෙරවරුවේ කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්විණි

ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රභා මනුරත්න මහත්මිය, ආචාර්ය සරෝජා පෝල්රාජ්, ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ බිරිඳ නිර්මලා ද අල්විස් මහත්මිය, නීතීඥ කෞෂල්‍යා ආරියරත්න, රිශාන් හිමාස් මහත්මිය, සුභාෂිණී කමලනාදන් මහත්මිය, කලෙයිචෙල්වි ශෙල්වි මහත්මිය ඇතුළු කාන්තා සංවිධාන ගණනාවක නියෝජිතයින් ඊට එක්වී සිටියහ. එහිදී අනුර කුමාර දිසානායක පැවැත් වූ කතාව ලංකා ට්රුත් වෙබ් අඩවියෙනි.

Back to Top