Sri Lanka Brief
පුවත්විවරණශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපති විධායකත් නොවෙයි. හුදු නාමිකත් නොවෙයි – මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා

ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපති විධායකත් නොවෙයි. හුදු නාමිකත් නොවෙයි – මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා

by

ජනාධිපතිවරණය එළඹෙන නොවැම්බර් 16 දින පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් දින නියම කර ඇත. මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ අටවන ජනාධිපතිවරණයයි. මෙයට පෙර 1982, 1988, 1994, 1999, 2005, 2010 සහ 2015 යන වර්ෂවලදී ජනාධිපති තනතුර සඳහා සුදුස්සකු තෝරා පත්කර ගැනීම පිණිස ජනාධිපතිවරණ හතක් පවත්වා ඇත.

එම ජනාධිපතිවරණවලින් ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග, මහින්ද රාජපක්‍ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන හත් දෙනා ජනාධිපති තනතුරට තේරීපත් වූහ. මේ හත් දෙනාට අමතරව 1993 මැයි 01 දින සිට 1994 නොවැම්බර් 12 දින දක්වා ඩී.බී. විජේතුංග ජනාධිපති ධුරය හෙබ වූ අතර ඔහු ජනාධිපති තනතුරට පත්වූයේ 1993 මැයි 01 දින එවකට එම තනතුර හොබවමින් සිටි ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා ත්‍රස්තවාදී කොටි සංවිධානයේ බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත්වීම හේතුවෙන්ය. මේ අනුව මෙතෙක් ජනාධිපති තනතුරට පත් වූ පුද්ගලයන් අතුරින් ජනාධිපතිවරණයකින් එම තනතුරට තේරී පත් නොවුණ එකම පුද්ගලයා ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රකාශිත මුළු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් අඩකට වඩා ලබාගත යුතුය. එසේ නොවුව හොත් දෙවන මනාපයද, එයිනුත් අවශ්‍ය ඡන්ද ප්‍රමාණය යම් අපේක්‍ෂකයකු ලබා නොමැත්තේ නම් තුන්වන මනාපය ද ගණන් කිරීමට සිදු වේ. ඉහත දක්වා ඇති අවස්ථා හතෙහිදීම ජයග්‍රහණය කළ අපේක්‍ෂකයන් ප්‍රකාශිත මුළු වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 50%කට වඩා ලබාගත් හෙයින් මනාප ගණන් කිරීමේ අවශ්‍යතාව පැනනැඟුණේ නැත.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති අපේක්‍ෂකයන් සංඛ්‍යාව 35 කි. එසේවූවද ජනාධිපතිවරණ බල අරගලයේ ඉදිරියෙන් සිටින්නේ අපේක්‍ෂකයන් දෙදෙනකු පමණක් බව මැතිවරණ පොර පිටිය දෙස බලන විට පෙනී යන්නේය. ඒ වූ කළී එක්සත් ජාතික පෙරමුණේ අපේක්‍ෂකයා ලෙස හංසයා ලකුණින් ඉදිරිපත් වී සිටින, එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක, නිවාස හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ එක්සත් පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වී සිටින ගෝඨාභය රාජපක්‍ෂ යන දෙදෙනාය. අනෙක් අපේක්‍ෂකයන් අතුරින් මැතිවරණ වේදිකාව තුළ යාන්තමින් හෝ නම් සඳහන් වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක සහ ජාතික ජනතා ව්‍යාපාරයේ අපේක්‍ෂක හිටපු හමුදාපති මහේෂ් සේනානායක යන දෙදෙනා ගැන පමණි.
අනෙක් සියලුම අපේක්‍ෂකයන් ගැන ජනතාව තැකීමක් නොකරන බව මාගේ මතයයි. සමහර මැතිවරණවලදී දේශපාලනය හා සම්බන්ධ එක් කූඨ උපක්‍රම ද ක්‍රියාත්මක වෙයි. එනම් ඩමි අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමය.

බොහෝ විට ඔවුන් ඉදිරිපත් කරන්නේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ විසිනි. අරමුණ ප්‍රතිවාදී අපේක්‍ෂකයන්ගේ ඡන්ද කැඩීමය. මෙයට අමතරව මැතිවරණ අපේක්‍ෂයන් සඳහා වෙන්කරන ගුවන් හා රූපවාහිනී නාළිකා කාලය ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට අනියම් ආකාරයෙන් ලබා ගැනීමට හැකිවීම සහ රජයෙන් සපයන වෙනත් පහසුකම් එනම් නොමිලේ සැපයෙන තැපැල් පහසුකම් වැනි අනුග්‍රාහක සේවා පහසුකම් ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට හිමිකර ගැනීම සැඟවුණ වෙනත් අරමුණු වේ.

ජනාධිපති ධුරයට අලුතෙන් තේරී පත්වන තැනැත්තා ධුරයේ නිල වශයෙන් වැඩ කටයුතු ආරම්භ කළ යුත්තේ කවදාද? ඒ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31.4 () වගන්තියේ සඳහන් වන්නේ මෙයාකාරයටය. “ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීමකදී එවකට ධුරය දරන ජනාධිපතිවරයා අපේක්‍ෂකයකු නොවන්නා වූ හෝ නැවත තේරී පත් නොවන්නා වූ හෝ අවස්ථාවක, ඔහුගේ ධුර කාලය, ඒ ඡන්ද විමසීමේ ප්‍රතිඵල ප්‍රකාශ කරනු ලැබූ දිනයේදී අවසන් වූවාක් මෙන් සැලකිය යුත්තේය. ඒ ඡන්ද විමසීමේදී ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගන්නා ලද තැනැත්තා අප්‍රමාදව එහෙත් ඒ දිනයේ සිට සති දෙකක් ඉක්මවීමට පෙර ධුරය භාරගත යුත්තේය”. ධුරය නිල වශයෙන් භාර ගන්නේ කෙසේද යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32.1 වගන්තියේ සඳහන් වන්නේ මෙයාකාරයටය. “ජනාධිපති ධුරයට තෝරා පත් කර ගනු ලබන තැනැත්තා හෝ අනුප්‍රාප්ත වන තැනැත්තා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරවරයා ඉදිරිපිට හෝ ඒ අධිකරණයේ වෙනත් යම් විනිශ්චයකාරවරයකු ඉදිරිපිට ශ්‍රී ලංකාවේදී හතරවන උපලේඛනයේ දැක්වෙන ප්‍රතිඥාව දී ඊට අත්සන් තැබීමෙන් හෝ දිවුරුම දී ඊට අත්සන් තැබීමෙන් හෝ ධුරය භාරගත යුත්තේය”.

මෙයින් මුල් වගන්තියෙන් කියවෙන ආකාරයට ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත්කළ දිනට පසුව එළඹෙන දිනයේදී ජයග්‍රාහී අපේක්‍ෂකයාට ජනාධිපති ධුරයේ වැඩ භාරගත හැක. එසේ නැතිනම් ඉදිරියට ඇති සති දෙකක කාලය තුළ ඕනෑම දිනක වැඩ භාරගත හැක. ඉහත දැක්වූ ආකාරයට ජනාධිපතිවරණයෙන් තේරී පත් වන තැනැත්තා නොවැම්බර් 17 දින වැඩ භාර ගතහොත් මේ වනවිට එම ධුරය දරමින් සිටින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට එම තනතුර හෙබවිය හැක්කේ එක් මාසයක කාලයක් පමණි. එසේ නොවුව හොත් අවම වශයෙන් ලබන දෙසැම්බර් 01 දින දක්වා තනතුර දැරිය හැකි වේ. එහෙත් එය තීරණය වන්නේ ජනාධිපති තනතුරට අලුතින් තේරී පත්වන තැනැත්තා ධුරයේ වැඩ භාර ගන්නේ කවදාද යන කරුණ මතය.

අලුතෙන් තේරී පත් වන ජනාධිපතිවරයාගේ තත්ත්වය, බලතල හා කාර්යන් මොනවාද යන කරුණ කෙරෙහි මීළඟට අවධානය යොමුකළ යුතුය. හේතුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සෑම අපේක්‍ෂකයකුම පාහේ ඡන්දදායකයන්ට අද්භූතජනක හා විස්මයජනක පොරොන්දු දෙමින් “ආණ්ඩුව තනි මම වේයැයි” යන මවා ගත් ව්‍යාජ විශ්වාසයක් පෙරදැරි කරගෙන මැතිවරණ සටනේ නියුක්ත වීමය.

මේ කිසිදු අපේක්‍ෂකයකු 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති තනතුරේ බලතල හා කාර්යයන් සම්බන්ධයෙන් කරන ලද වෙනස්කම් පිළිබඳව අවබෝධ කරගෙන නොමැති බව පමණක් නොව ආණ්ඩුව හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත මූලික විධිවිධාන ගැන පවා අවබෝධයක් නොමැති බව ඔවුන් කරන කථාබහවලින් සහ කරන ප්‍රකාශවලින් ඉතාම හොඳින් පැහැදිලි වේ.

මේ සම්බන්ධයෙන් දිය හැකි ආසන්නම නිදර්ශනය වන්නේ පසුගිය 15 දින ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සහ මහින්ද රාජපක්‍ෂ දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා පළකරනු ලැබූ ප්‍රකාශයයි. ඔහු කියා සිටියේ ගෝඨාභය රාජපක්‍ෂ ජයග්‍රහණය කළහොත් දිවුරුම් දුන් වහාම පවතින ආණ්ඩුව විසුරුවා හැර නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගතව තිබෙන බවත්ය. මෙයින් පෙනී යන්නේ බලයේ සිටින අගමැතිවරයකු තනතුරෙන් ඉවත්කොට කැබිනට් මණ්ඩලය විසුරුවා හැර නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත ව්‍යවස්ථාමය ප්‍රතිපාදන සම්බන්ධයෙන් මේ දෙදෙනාට නිරවුල් දැනුමක් හා අවබෝධයක් නොමැති බව මගේ හැඟීමය.

සෑම ජනාධිපතිවරණ අපේක්‍ෂකයකුම රටේ මූලික නීතිය හෙවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල නීතිය පිළිබඳව අවබෝධ කර ගැනීම අවශ්‍ය වන්නේය. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් වැදගත් වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපති තනතුර සම්බන්ධයෙන් කරන ලද වෙනස්කම් අවබෝධ කර ගැනීමය. 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති ධුරය හා සම්බන්ධව කරන ලද වෙනස්කම් කොටස් තුනක් යටතේ සලකා බැලිය හැක. මෙයින් එකක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.1 වගන්තිය සම්බන්ධයෙන් කරන ලද වෙනස්කම්ය. එම වගන්තියේ දැක්වෙන ආකාරයට, “ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේය. ජනාධිපතිවරයා රජයේ ප්‍රධානයා ද විධායකයේ ප්‍රධානයා ද ආණ්ඩුවේ ප්‍රධානයා ද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයා ද වන්නේය”. ජනාධිපතිවරයා ආඥාදායකයකුගේ තත්ත්වයට පත්වීම කෙරෙහි ප්‍රධාන වශයෙන්ම බලපෑවේ සංවරණය කිරීමකින් තොරව මෙම වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පවරා දුන් අසීමිත විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලතල සමූහයයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් කළේ 30.1 වගන්තියේ ව්‍යුහාත්මක පදනම එසේම තිබියදී එහි දැක්වෙන විධායකයේ නායකයා සහ ආණ්ඩුවේ නායකයා යන බලතල කාණ්ඩ දෙකට අයත් බලතල විශාල වශයෙන් කප්පාදු කිරීමය. මේ අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර විධායකයේ නායකයා වශයෙන් තම අභිමතානුසාරී බලය යටතේ කරන ලද පහත දැක්වෙන පත්කිරීම් ජනාධිපතිවරයා කළ යුත්තේ එක්කෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ කිරීම්වලට යටත්වය. නැතිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමත කිරීමට යටත්වය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ අනුව කළ යුතු පත්කිරීම්

(). මැතිවරණ කොමිෂන් සභාව
(
). රාජ්‍ය සේවා කොමිෂන් සභාව
(
). ජාතික පොලිස් කොමිෂන් සභාව
(
). විගණන සේවා කොමිෂන් සභාව
(
). ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
(
). අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව
(
). මුදල් කොමිෂන් සභාව
(
) සීමා නීර්ණය කොමිෂන් සභාව
(
) ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව කළ යුතු පත්කිරීම්

() අග්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්
(
) අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් (. සහ ආ. පත් කිරීම් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අග්‍රවිනිශ්චයකාරවරයාගේ අදහස් ලබාගත යුතුය).
(
) අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙක් සාමාජිකයන්
(
) නීතිපතිවරයා
(
) විගණකාධිපතිවරයා
(
) පොලිස්පතිවරයා
(
) ඔම්බුඩ්ස්මන්වරයා
(
) පාර්ලිමේන්තු මහ ලේකම්වරයා


මෙයින් පෙනී යන්නේ විධායකයේ නායකයා හැටියට අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, ජනාධිපති ලේකම්, අගමැති ලේකම්, කැබිනට් මණ්ඩලයේ ලේකම් සහ පරීක්‍ෂණ කොමිෂන් සභා සාමාජිකයන් වැනි තනතුරු කිහිපයක් හැරුණ විට ජනාධිපතිවරයාට තම අභිමතානුසාරී බලය යොදවා කළ හැකි වෙනත් විධායක මට්ටමේ පත් කිරීමක් ඇත්තේම නැති තරම් බවය.

දෙවනුව වැදගත් වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආණ්ඩුවේ නායකයා වශයෙන් ජනාධිපතිවරයා බුක්ති විඳිමින් සිටි බලතල සම්බන්ධයෙන් කරන ලද කප්පාදු කිරීම්ය. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට ප්‍රථමයෙන් ආණ්ඩුවේ නායකයා හැටියට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ නායකයා විය. මේ යටතේ බහුතර කැමැත්ත හැසිරවිය හැකි පුද්ගලයා යන කොන්දේසියට යටත්ව අගමැති පත් කිරීම, අවශ්‍ය නම් පමණක් අගමැතිවරයා විමසීමෙන් අනතුරුව අමාත්‍යවරුන් පත් කිරීම, ඔවුන්ට විෂයන් පවරා දීම, ඒවා වෙනස් කිරීම, තනතුරුවලින් ඉවත් කිරීම පිළිබඳ බලය හිමිවූයේ අගමැතිවරයාටය.

එමෙන්ම තමන් යටතේ ඕනෑම අමාත්‍යාංශ සංඛ්‍යාවක් තබා ගැනීමට, අවශ්‍ය අවස්ථාවකදී ඕනෑම අමාත්‍යාංශයක් තමන් යටතට පවරා ගැනීමට, අමාත්‍යාංශවලට මෙහෙයුම් නියෝග නිකුත් කිරීමට සහ ඕනෑම අමාත්‍යාංශයක ලියකියවිලි ගෙන්වා පරීක්‍ෂා කර බැලීමට ජනාධිපතිවරයාට බලය හිමි විය. එහෙත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පෙර පරිදිම බහුතර කැමැත්ත කොන්දේසියට යටත්ව අගමැතිවරයා පත්කිරීම හැරුණ විට අනෙක් සෑම බලයක්ම ජනාධිපතිවරයා ක්‍රියාවට නැංවිය යුත්තේ අගමැතිවරයාගේ උපදෙස් සහ කැමැත්තට යටත්වය.

වෙනකක් තබා ව්‍යවස්ථාවේ 43.2 වගන්තියට අනුව ජනාධිපතිවරයාට කැබිනට් අමාත්‍ය ධුරයක් පවා දැරිය නොහැක. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ නායකයා වූවද එහි රැස්වීම්වලට සහභාගි විය යුත්තේ නිකමකු හැටියට විනා රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ තීන්දු තීරණ ගතහැකි බලධාරියකු වශයෙන් නොවේ. තුන්වනුව වැදගත් වන්නේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව තිබූ බලය කප්පාදු කිරීමය. කලින් අලුතෙන් තේරී පත්වුණ පාර්ලිමේන්තුවක් වසරක් ගත වූ විට විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමි වූවද 19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් එම කාල සීමාව වසර හතර හමාර දක්වා වෙනස්කොට පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කොට ඇත.

ඉහත දැක්වූ කරුණුවලින් පෙනී යන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපති තනතුර පූර්ණ විධායකයක් නොවන එමෙන්ම නාමික විධායකයක් ද නොවන අතරමැදි තත්ත්වයකට පත්කර තිබෙන බවය. ජනාධිපතිවරයාට යමක් කළ හැකි වන්නේ එකම දේශපාලන පක්‍ෂයකින් ජනාධිපතිවරයා, අගමැති සහ කැබිනට් මණ්ඩලය සමන්විත වනවාට අමතරව පාර්ලිමේන්තුවේ ද බහුතරය ජනාධිපතිවරයාට තිබෙන්නේ නම් පමණි. පවතින තත්ත්වය තුළ ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් අතුරින් මෙම වාසිය භුක්ති විඳීමේ හැකියාව වැඩියෙන්ම තිබෙන්නේ සජිත් ප්‍රේමදාස අපේක්ෂකයාටය. හේතුව අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය එක්සත් ජාතික පක්‍ෂයේ අයවීමත් පාර්ලිමේන්තුවේ බහුතරය එක්සත් ජාතික පක්‍ෂයට හිමිව තිබීමත්ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය එම්... ද සොයිසා / ලංකාදීප

Back to Top