Sri Lanka Brief
පුවත්විවරණයුද්ධයට සහ ගැටුම් සඳහා රුකුල් දුන් දේශපාලන පක්ෂ

යුද්ධයට සහ ගැටුම් සඳහා රුකුල් දුන් දේශපාලන පක්ෂ

by

ඡායාරූපය: මෙරට ජනවාර්ගික ගැටුම උත්සන්න කිරීමට ජවිපෙ ද වගකිව යුතුය.

ශ්‍රී ලංකාව සිංහල, දෙමළ, මුස්ලිම් හා ඊට අමතරව බර්ගර් හා මැලේ ජන කොටස් ජීවත් වෙන බහුජාතික රාජ්‍යයක් වශයෙන් හඳුනා ගත යුතුව ඇත. 1948 නිදහස ලැබුණු දා පටන් අද වන තුරු අවුරුදු 72ක් වූ ඉතිහාසය දෙස බැලූ කල අපට දැකගත හැක්කේ ගැටුම්කාරී තත්වයන් වේ. ලංකාවේ ජාතික ගැට‍ළුව නිර්මාණය වීම සඳහා එය බහු ජාතික රාජ්‍යයක් වීම විශේෂයක් වූවා මෙනම ඒ සඳහා ලංකාවේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතිකත්වයන්ගේ ඓතිහාසික විකාශනය සැකෙවින් විමසා බැලිය යුතුය.

මේවාට හේතු වශයෙන් බොහෝ දෙනා නොයෙක් මති මතාන්තර තර්ක ගෙන හැර පෑවත්, ගැටුම් සහ ජනවාර්ගික අර්බුද උග්‍ර කිරීම සඳහා ඇතැම් දේශපාලන පක්ෂ වලින් ලැබුණු සහයෝගය විමසා බැලීම වැදගත් වනවා සේම ගැටුම් සහ ජනවර්ගික අර්බුද නිවා දැමීමට ඇතැම් දේශපාලන පක්ෂ ගත් උත්සාහයන්ද විමසා බැලීම වැදගත් වේ.

ලංකාවේ ජාතික ව්‍යාපාරය අසල්වැසි ඉන්දියාවේ ජාතික ව්‍යාපාරයට ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකවද වෙනස් විය. ලංකාවේ ජාතික ව්‍යාපාරයේ ආරම්භයේ දී සිංහල, දෙමළ හා මුස්ලිම් නායකයින් එක්ව කටයුතු කරණු දක්නට ලැබිණි. විශේෂයෙන් පොන්නම්බලම්, අරුණාචලම්, සිද්ධි ලෙබ්බේ වැනි අය කැපී පෙනුනි. එහෙත් පසුව මෙම පොදු හැඟීම අභිබවමින් ජාතිකත්ව මානසිකත්වයක් වර්ධනය වූ බව පෙනේ. එනිසා ශ්‍රී ලංකාවේ ජාතික ව්‍යාපාරය ඉක්මනින්ම ජාතික ව්‍යාපාරයක පොදු ශක්‍යතාවයෙන් මිදුනා වූත්, ජාතිකත්වයන් එකතැන් කරනවා වෙනුවට ඒවා අතර අසමගිය වර්ධනය කරන්නා වූත්, පොදු ජාතික මානසිකත්වයක් ගොඩ නගනවා වෙනුවට පටු පාර්ශවීය ජාතිකත්ව හා වෙනත් වුවමනාවන් තුළට ජනතාව ඇද දමනු ලැබුවා වූත්, පසුගාමී ලක්ෂණයන්ගෙන් යුක්ත විය.

1948න් පසු බලයට පත් බොහෝ ආණ්ඩු මෙන්ම එම ආණ්ඩුවලට සම්බන්ධ වූ සෑම සුළු පක්ෂයක්ම ජාතික ගැට‍ළුව අද පවත්නා තත්වයට වර්ධනය කිරීමට දායක වී ඇත. 48 නිදහසින් පසුව, විශාල ලෙස වාර්ගික විෂමතා ඉස්මතු විය. විශේෂයෙන් 1956න් පසුව ලංකාවේ දේශපාලනය ක්‍රියාත්මක වන දෘෂ්ටිවාදය වූයේ වාර්ගිකත්වය මත ගොනු වූ දේශපාලනය යි. දමිළ ජනතාවගේ ඉල්ලීම්වලට නිවැරදි දේශපාලන පිළිතුරු දෙනු වෙනුවට අප කළේ මහ ජාතියේ චණ්ඩිකාරකම් හරහා මර්දනය දියත් කිරීමය. මේ සඳහා එවකට සිටි ඇතැම් දේශපාලන චරිත යොමු වූයේ හුදෙක් මහ ජාතීන්ගේ ජන්ද තුළින් බලය ලබා ගැනීම සහ බලය රඳවා පවත්වා ගැනීමටයි. 1956 ගෙන ආ භාෂා පනත මේ බුර බුරා වසර ගණනාවක් ඇවිළෙන ගින්නට අති ප්‍රභල සාධකය විය. මෙතුළින් සිංහල භාෂාව පරිපාලනමය භෂාව බවට පත් කරද්දී අනෙකුත් සුළු ජාතීන් නොසළකා හැරීමක් සිදු විය. මෙතුළින් රට පුරා විරෝධතා මතු වූ අතර සිංහල හා දෙමළ ජාතීන් අතර හොඳ හිත මෙමඟින් පළුඳු විය. භාෂා ගැටලුව ඉස්මතු කෙරු දේශපාලන නායකයින් අනෙකුත් ජාතීන්ගේ ඉල්ලීම් පාගා දැමීය.

1956 රාජ්‍ය භාෂා පනතට වූ සාමකාමී විරෝධතා මර්දනය කරන ලදි. අවම භාෂාත්මක ඉල්ලීම් ඇතුළත් වූ බණ්ඩාරනායකචෙල්වනායගම් ගිවිසුම සිංහල ජාතිවදී බලපෑමෙන් ඉරා දමන ලදි. අධිකරණ කටයුතු සිංහලෙන් පමණක් බවට වූ පනතට වූ සාමකාමී සත්‍යග්‍රහය මර්දනය කරන ලදි. ඩඞ්ලි – චෙච්ල්වනායගම් ගිවිසුම කඩකර, වඩා භයානක ලෙස භාෂාව පදනම් කරගත් ප්‍රමිතිකරණය හරහා දෙමළ සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වූ අවස්ථා අහිමි කරන ලදි.

ආචාර්ය කොල්වින් ආර්. සිල්වා අසන්නේ, අපට අවශ්‍ය වන්නේ එක භාෂාවක් සමඟ ජාතීන් දෙකක්ද, නැත්නම් භාෂා දෙකක් සමඟ එක ජාතියක් ද?”. මෙයින් සතුරු ජාතීන් දෙකක් බිහිවන බවත් එය ලාංකිකයන් ලෙස විශාල පසුබෑමකට මඟ පාදන බවත් එතුමා අර්ථ දැක්වීය.

සිංහල දෙමළ කෝලහාල රට ගිනියම් කරද්දී ජවිපෙ කෝලාහල මිනිසුන් අන්ත අසරණ බවට ඇද දමන ලදී. ශ්‍රී ලංකාවේ අනෙක් විශාලතම ගැටුම් සමුදායට ජවිපෙ දායකවීම සහ තරුණ ජිවිත විශාල වශයෙන් විනාශයට පත් කිරීම ඉතා ඛේද ජනකය.

ආරම්භයේ සිට මේ දක්‌වා ජවිපෙ කැරලි දෙකකට නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල වූ 1971 අප්‍රේල් 5 කැරැල්ල මර්දනය කිරීමේදී සිරිමා බණ්‌ඩාරනායකගේ ආණ්‌ඩුව මගින් ඝාතනයට ලක්‌වූ කැරලිකරුවන්ගේ සංඛ්‍යාව 5,000කට ආසන්නය. ජවිපෙ දෙවන කැරැල්ල 1986න් ඇරඹී 1990 සැප්තැම්බර් මස අවසාන වූ අතර ඒ මගින් ඝාතනයට ලක්‌වූ හෝ අතුරුදන්වූ පිරිස 41,813කි. ඉන් 34,017ක්‌ ජවිපෙ සාමාජිකයින්, හිතවතුන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ඥාතීන් වේ. නිල නොවන වාර්තා කියන්නේ දෙවැනි කැරැල්ලේ මියගිය සංඛ්‍යාව 60,000ක්‌ පමණ වන බවය. මෙලෙස රට ලේ විලක් කිරීමට ජවිපෙ දශක දෙකක් තුළ ක්‍රියාත්මක විය.

ජවිපෙ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් චරිත (තම දේශපාලන චරිත ගොඩ නඟා ගැනීම උදෙසා) ඇති කරන ලද ගැටුම් මේ කුඩා දූපත ගැටළු රාශියකට ඇද දැමීය. ආර්ථිකමය වශයෙන් සමාජීය වශයෙන් රට දුර්වල තැනකට ඇද දැමීමට මෙම පක්ෂ දෙකේම ක්‍රියාකාරිත්වය විශාල වශයෙන් බලපෑ බව ඉතිහාසය දෙස හැරී බලන්නෙකුට පැහැදිළි වනු ඇත. ඉතිහාසය නැවත නැවත ක්‍රියාත්මක නොවීම උදෙසා තම කතිරය භාවිත කිරීමේ වගකීම ඔබ සතුය.

නිර්නාමික විසිනි.

Back to Top