Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගමහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විත්ති කූඩුවට නංවා ගෝඨාභය ඇමරිකාවෙන් ‘නිදහස්’ වීම – ගාමිනී වියන්ගොඩ

මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විත්ති කූඩුවට නංවා ගෝඨාභය ඇමරිකාවෙන් ‘නිදහස්’ වීම – ගාමිනී වියන්ගොඩ

by

සිය පියා වන ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මේ වසරේ ජුලි 15 වැනි දා ඇමරිකාවේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ නඩුවක් පවරා තිබුණි. එම නඩුවේ විත්තිකරු වශයෙන් නම් කොට තිබුණේ, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කෙරෙන අවස්ථාවේ ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂයි.

මේ ඝාතනය සිදුවන අවස්ථාවේ, එනම් 2009 ජනවාරි 8 වැනි දා, ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙකි. එසේම, පසුගිය දා ඔහුගේ ද්විත්ව පුරවැසි භාවය පිළිබඳ රිට් පෙත්සම විභාග කළ අපේ අභියාචනාධිකරණයේ විනිශ්චය මගින් පෙන්වා දී ඇති පරිදි, ඒ වන විට ඔහු ශ‍්‍රී ලංකාවේද පුරවැසියෙකි. එනම්, මේ අපරාධය සිදුවන අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ, පළමුව ඇමරිකානුවෙකුද, දෙවැනුව ලාංකිකයෙකුද වූ බවයි.

අහිම්සාගේ චෝදනාව ගොනුකොට තිබුණේ, සිය පියා ඝාතනය කළ, කොළඹ මරදානේ ‘ටි‍්‍රපොලි’ මධ්‍යස්ථානයේ හමුදා ඝාතක ඛණ්ඩයකට අනුබද්ධ පුද්ගලයන් අයත්ව සිටි ‘හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය’ ගෝඨාභය රාජපක්ෂගේ නිල අධීක්ෂණය යටතේ එදා ක‍්‍රියාත්මක වූ බවත්, ඒ නිසා සිය පියා ඝාතනය කැරැවීමේ සාපරාධී ක‍්‍රියාව ගෝඨාභයගේ අනුදැනුම, ආධාරය, අනුග‍්‍රහය සහ උසිගැන්වීම සහිතව සිදුවූ බවත් ය. ඊළඟට, ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ ක‍්‍රියාවලිය නිසියාකාරයෙන් සිදු කිරීම එදා ගෝඨාභය රාජපක්ෂ වැළැක්වූ බවත් අහිම්සා සිය පැමිණිල්ලෙන් කියා සිටියාය.

මේ පැමිණිල්ල වීසි කර දමන ලෙස ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාවේ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඊට හේතු වශයෙන් ඔහු දක්වා සිටියේ, එකී පැමිණිල්ල විභාග කිරීමට කැලිෆෝනියා දිසා අධිකරණයට බලයක් නැති බවයි. එසේ අධිකරණ බලයක් ඊට නැත්තේ, මේ අපරාධය සිද්ධ වන අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ නිලධාරියෙකු වශයෙන් කටයුතු කිරීමත්, ඒ හේතුකොටගෙන ඔහුට විදේශ රාජ්‍ය තාන්ත‍්‍රික මුක්තිය තිබී ඇතැයි කියන නිසාත් ය.

රාජ්‍ය තාන්ත‍්‍රික මුක්තිය යනු, යම් රටක රාජ්‍ය නිලධාරියෙකු ස්වකීය නිල බලය දරණ කාලය තුළ කරන වරදකට වෙනත් රටකදී වැරදිකරු කිරීමට ඇති නොහැකියාවයි. (මේ රාශ්ටී‍්‍රය සම්ප‍්‍රදාය, විශේෂයෙන් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, විශාල වෙනස්කම්වලට සහ නොයෙක් කොන්දේසිවලට යටත් කොට ඇති බව, මේ කාරණය සම්බන්ධයෙන් දැනට අදාළ නොවේ). කෙසේ වෙතත්, මේ කියන රාජ්‍ය තාන්ත‍්‍රික මුක්තිය (නිදහස) ලබා ගැනීම සඳහා, අදාළ පුද්ගලයා අයත් රටේ ආණ්ඩුවෙන් ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් කළ යුතුය. එනම්, ගෝඨාභය රාජපක්ෂට රාජ්‍ය තාන්ත‍්‍රික මුක්තිය ඇති බව ලංකාවේ ආණ්ඩුව විසින් ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට දන්වා සිටිය යුතුය. ලංකාවේ ආණ්ඩුව එවැනි ඉල්ලීමක් කර නැත.

එසේ ඉල්ලීමක් ලැබී නැතොත්, අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් මුක්තියක් ඇත්දැයි, වෙනත් ආකාරයකින් දිසා අධිකරණය සලකා බලනු ලබයි. එනම්, අදාළ ක‍්‍රියාව (අපරාධය) සිදු කොට ඇත්තේ, අදාළ පුද්ගලයා තමන්ගේ රටේ (ලංකාවේ) රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් අභ්‍යාස කළ නිල කර්තව්‍යය ක‍්‍රියාවලියක් තුළද යන්නයි. සරලව ගත් විට, යමෙකුගේ ක‍්‍රියාවක් එම තැනැත්තාගේ ආණ්ඩුවේ අනුමැතිය/විධානය යටතේ සිදු කොට ඇත්නම්, එහි වගකීම පැවරෙන්නේ අදාළ රටේ ආණ්ඩුවට මිස අදාළ පුද්ගලයාට නොවන බව එහි අදහසයි. එවිට එම පුද්ගලයාට ‘මුක්තිය’ ලැබේ. මන්ද යත්, අදාළ පුද්ගලයාට මුක්තිය නොදී ඔහුව වැරදිකරු කළොත්, ඔහු නියෝජනය කළ රටේ ආණ්ඩුවද වැරදිකරුවෙකු කළ යුතු බැවිනි. රටක් සතුව ඇති ස්වෛරීත්වය නිසා, සාමාන්‍යයෙන් යම් රටක් තමන්ගේ අධිකරණයක් මාර්ගයෙන් වෙනත් රටක් වැරදිකරුවෙකු වශයෙන් විනිශ්චය කරන්නේ නැත. දැන්, ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩුව වීසි කරන්නේ, ඔහු වැරදිකරු කොට ඒ හරහා ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවත් වැරදිකරුවෙකු කිරීමට අධිකරණමය බලයක් හෝ පැවරුමක් කැලිෆෝනියා දිසා අධිකරණයට නැති නිසා යැයි කියන නිසා මිස, ගෝඨාභය රාජපක්ෂ නිවැරදිකරුවෙකු වන නිසා නොවන බව පැහැදිලි විය යුතුය. තවත් විදිහකින් කිවහොත්, ‘රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය’ යනු, වැරැද්දක් හෝ අපරාධයක් සිදු කොට ඇති පුද්ගලයෙකු, නඩු ක‍්‍රියාමාර්ගයකට ඇතුළත් කර නොගෙන, අදාළ සිද්ධිය ගැන අධිකරණයකින් විනිශ්චයක් නොගෙන, ‘ගොඩින්ම නිදහස් කොට හැරීමේ’ ජාත්‍යන්තර සම්ප‍්‍රදායයි. එය, රාජ්‍ය තාන්ත‍්‍රීය (රට රටවල් අතරේ) යහසබඳතාව ආරක්ෂා කර ගැනීම සඳහා ලෝකයාගේ එකඟත්වයෙන් ඇති කරගෙන තිබෙන ජාත්‍යන්තර සම්මුතියක් මිස, අදාළ වැරදිකරුවා නිදොස් කොට අහිංසකයෙකු බවට පත්කෙරෙන යාන්ත‍්‍රණයක් නොවේ.

ගෝඨාභය සම්බන්ධ ඇමරිකානු දිසා අධිකරණ නඩු තීන්දුවේ මෙසේ සඳහන් වෙයි:

‘‘විත්තිකරු (ගෝඨාභය රාජපක්ෂ) ක‍්‍රියාකොට ඇත්තේ ශ‍්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන්, ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ නිල බලය යටතේය යන්න පැමිණිලිකාරිය (අහිම්සා වික්‍රමතුංග) ප්‍රතික්ෂේප නොකරයි. ඇත්ත වශයෙන්ම, විත්තිකරු (මේ අපරාධයේදී) ලසන්තට විරුද්ධව කිසි ‘සෘජු’ ක‍්‍රියාකාරීත්වයක නියුතුව සිටි බවක්ද පැමිණිලිකාරිය නොකියන නිසා, ඇගේ චෝදනාව මගින් ඔහුගේ ක‍්‍රියාකාරීත්වය බැර කෙරෙන්නේ, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් ඔහු ඉටු කළ ඔහුගේ නිල කාර්ය භාරයටයි. එය, විදේශීය රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කෙනෙකුට මුක්තියක් ලැබීමට සුදුසුකමක් වශයෙන් පිළිගනු ලබන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මුක්තිය පිළිබඳ ප්‍රතිපත්තියට අනුකූල වෙයි.’’ (අවධාරණය සහ වරහන් තුළ ඇතුළත් කිරීම් මගේ).

මෙයින් කියැවෙන්නේ කුමක් ද?

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීමේ වගකීම එදා ශ‍්‍රී ලංකාවේ නීත්‍යානුකූලව පිහිටුවා තිබූ ආණ්ඩුවට නොපවරා ගෝඨාභය රාජපක්ෂ වැරදිකරුවෙකු කළ නොහැකි බවයි. ලංකාව නමැති ස්වෛරී රාජ්‍යයට, ජාත්‍යන්තර සබඳතා ජාලය තුළ ‘මුක්තියක්’ තිබේ. ඒ මුක්තිය එම රාජ්‍යය වෙනුවෙන් නිල වශයෙන් කටයුතු කළ ඕනෑම පුද්ගලයෙකුටත් තිබේ.

මේ කාරණය කැලිෆෝනියා අධිකරණය ඉදිරියේ සනාථ කිරීම සඳහා ගෝඨාභයගේ නීතිඥවරයා ඉදිරිපත් කළ පූර්වාදර්ශය පිළිබඳ යම් හැඳිනීමක් ඇති කර ගැනීම අපේ කාරණය තේරුම් ගැනීම සඳහා ප‍්‍රයෝජනවත් විය හැකිය. එම පූර්වාදර්ශ නඩු තීන්දුව හැඳින්වෙන්නේ, ‘ඩෝගන් එදිරිව බරාක්’ යනුවෙනි. සිද්ධිය මෙසේ ය:

පලස්තීනුවන්ගේ ගාසා තීරය ප‍්‍රදේශය ඊශ‍්‍රායල රාජ්‍යය විසින් එක් අවස්ථාවකදී මුහුදෙන් වටලා තිබුණි. මේ මුහුදු වටලෑම බිඳගෙන යාමට එක් නාවුක බලඇණියක් තැත් කෙළේය. එහිදී ඇති වූ ගැටුමෙන්, ඇමරිකානු පුරවැසියෙකු වූ නාවික සෙබළ ෆුර්කාන් ඩෝගන් ජීවිතක්ෂයට පත්විය. ඔහුගේ දෙමාපියෝ සිය පුතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ‍්‍රායලයේ එවක සිටි ආරක්ෂක අමාත්‍යවරයා වූ එහුඞ් බරාක් විත්තිකරු කොට ඇමරිකාවේ අධිකරණයක් ඉදිරියේ නඩු පැවරූහ. එම නඩුව අධිකරණය වීසි කෙළේය. ඒ අධිකරණ විනිශ්චය සඳහා පදනම් වුණේ එකම කාරණයකි. එනම්, ඊශ‍්‍රායල් ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහි තීන්දුවක් දුන්නොත්, එය ඇමරිකානු රාජ්‍යය ඊශ‍්‍රායල රාජ්‍යයට විරුද්ධව තීන්දුවක් ප‍්‍රකාශයට පත්කිරීමක් බවට පත්වන හෙයින්, එවැනි තත්වයකට නොගොස් ඊශ‍්‍රායල් විදේශ අමාත්‍යවරයාට ‘මුක්තිය’ හිමි කරදෙන බවයි. හෙවත්, ඊශ‍්‍රායල් ආරක්ෂක අමාත්‍යවරයා එකී මරණය ඇත්තෙන්ම සිදුකොට ඇතත්, එය සිදුකොට ඇත්තේ, ස්වෛරී රාජ්‍යයක නිල බලධාරියෙකු වශයෙන් නිසා, අදාළ චෝදනාවෙන් ගැලවීම සඳහා ‘මුක්තිය’ වශයෙන් ඔහු පාවිච්චි කෙළේ, ඊශ‍්‍රායල් රාජ්‍යයේ නිලධාරියෙකු වශයෙන් තමාට සැපයී තිබූ එම ආරක්ෂාවයි.

දැන් අපි මේ සමස්ත කතාව මෙසේ පෙළගස්වා ගමු.

ලසන්ත වික්‍රමතුංග,ප්‍රගීත් එක්නැලිගොඩ, වසීම් තාජුඞීන් සහ ලලිත්කුගන් වැනි දකුණේ පුද්ගල ඝාතන සහ අතුරුදහන් කිරීම් ද, කටුනායක, වැලිවේරිය සහ හලාවත ජනරාශී තුළ සහ වැලිකඩ බන්ධනාගාරයේදී සිදු කෙරුණු සමූහ ඝාතන ද, පෝද්දල ජයන්ත සහ කීත් නොයාර් වැනි මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් වධබන්ධනයට පාත‍්‍ර කිරීම ආදී සියලූ අපරාධ ද සිදු කෙරුණේ එදා රාජ්‍ය අනුග‍්‍රහය යටතේ ය. ඒ කිසිවක් එදා රාජ්‍ය බලය තුළ විභාග නොකෙරුණි. යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ තරම් උසාවි ගානේ රස්තියාදු වූ වෙන කිසි රාජපක්ෂවාදියෙකු නැති බවත් මුළු රටම දනී.

ඒ අනුව, මම ඉතා සරල ප්‍රශ්ණ දෙකක් මතු කරමි. එකක් වන්නේ, මේ බොහෝ සිදුවීම් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ නමැති පුද්ගලයාම විත්තියට භාජනය වී ඇත්තේ මන්ද යන්නයි. මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ වැනි තව බොහෝ රාජපක්ෂවරුන් අතුරින් ගෝඨාභය රාජපක්ෂ පමණක්ම අපරාධ වැළක් සම්බන්ධයෙන් සමාජය ඉදිරියේ සහ අධිකරණය ඉදිරියේ චූදිතයෙකු වන්නේ මන්දැයි මා අසන විට කෙනෙකු මෙසේ කිව හැකිය: එනම්, යුද්ධය සම්බන්ධ තත්වයට සෘජුව මුහුණදී සිටියේ රාජපක්ෂ පවුලෙන් ඔහු පමණක් ය යන්නයි. එසේ නම් මගේ දෙවැනි ප‍්‍රශ්නය වන්නේ, ඔහුටත් වඩා සෘජුව ඊට මුහුණදුන්නේ යැයි දැන් ඔහුම කියන ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාට එවැනි අවනඩු නැත්තේ මන්ද යන්නයි. (ඊටත් වඩා, ඉහත කී අපරාධ බොහොමයක් සිදුව ඇත්තේ යුද්ධය නිමා වීමෙන් පසුව නොවේද යන්න වෙනම ප‍්‍රශ්නයක)*. කෙසේ වෙතත්, ඒ චෝදනා අධිකරණය ඉදිරියේ නිරවුල් කර ගැනීමට ලැබුණු සෑම අවස්ථාවක්ම මේ දක්වා ගෝඨාභය රාජපක්ෂ පාවිච්චි කොට ඇත්තේ, තමාගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීම සඳහා නොව, නීතිමය තාක්ෂණික කරුණු උපයෝගී කර ගනිමින්, ඊළඟට තමන් බලයට පැමිණෙන තෙක්, නඩු ඇසීම වැළැක්වීමට හෝ නඩු වාර කල් දමා ගැනීමට ය.

දැන් අහිම්සා වික්‍රමතුංග දියණිය තම පියා ඝාතනය කෙළේ ගෝඨාභය රාජපක්ෂ යැයි කියන විට ඇමරිකාවේ අධිකරණය ඉදිරියේ ගෝඨාභය රාජපක්ෂ කියා සිටින්නේ තමා එවැන්නක් නොකළ බව නොව, එවැන්නක් කළත් ඒ සඳහා තමාට ‘මුක්තියක්’ ඇති බව ය. ඒ කාසියේම අනිත් පැත්ත වන්නේ, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙළේ ශ‍්‍රී ලංකාවේ එදා පැවති රාජ්‍යය විසින් බවයි. ඔහුට ඇමරිකානු අධිකරණය ‘මුක්තිය’ ලබාදෙන්නේ ඒ පදනම මතයි. තවත් විදිහකින් කිවහොත්, ශ‍්‍රී ලංකා රාජ්‍යය විත්ති කූඩුවට නංවා, ගෝඨාභය නමැති ඇමරිකානු පුරවැසියා ඇමරිකානු අධිකරණයකින් මේ අවස්ථාවේ ‘මුක්තියක්’ ලබාගෙන ඇති බවයි.

අවසානයේදී ගෝඨාභය රාජපක්ෂ අපට කියාදෙන පාඩම මෙයයි:

‘‘ඔය කියන සියලූ අපරාධ මා විසින් සිදු කළාය යන්න ඔප්පු වුවත්, එහි වගකීම භාරගත යුත්තේ මා නොව, මගේ අයියා වන මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවයි. හරියට, සුදු කොඩි ඔසවාගෙන යටත් වීමට ආ දෙමළ කැරලිකරුවන් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වගකීම භාරගත යුත්තේ මා නොව, යුද්ධයට නායකත්වය දුන් සරත් ෆොන්සේකා වන්නා සේ ය.’’

Back to Top