Sri Lanka Brief
පුවත්විවරණමහවිරු සහ රනවිරු- හමුදා වන්දනීකරණය සහ ප්‍රජාතන්ත්‍රවාදය – රංජිත් හේනායකආරච්චි

මහවිරු සහ රනවිරු- හමුදා වන්දනීකරණය සහ ප්‍රජාතන්ත්‍රවාදය – රංජිත් හේනායකආරච්චි

by

පැවති සිවිල් යුද්ධයෙන් පසු ලංකා සමාජය විශාල වශයෙන් හමුදාවන් වන්දනීය කරන තත්ත්වයට පත්කරන ලද සමාජයක් බවට පත්වී හමාරය. එය උතුරේත් දකුණේත් දෙදිශාවේම එකම ආකාරයට සමාජගතවී ඇති අතර උතුරේදී එය මහ විරුවන් ලෙසත්, දකුණේ එය රණවිරුවන් ලෙසත් සමාජගත කර ඇත. මොනයම්ම සමාජයක් හෝ හමුදාකරණයට යටවීම, එසේ නැත්නම් හමුදාවන් උතුම් ත්ත්වයට පත්කිරීම හොඳ දෙයක් නොවේ. ඒ අන් කිසිවක් නිසා නොව හමුදාවක් යනු අණකට කීකරු වන මිනිසුන් කණ්ඩායමක් පමණක් මිස ස්වාධීන  මිනිසුන්ගෙන් සැදුන සමාජයක් නොවන බැවිනි. එවැනි සමාජයක විවිධත්වයට ඇති ඉඩ අත්‍යන්තයෙන්ම වලකා ලන බැවිනි.

හමුදාවක සිදුවන්නේ එකම ආකාරයක ක්‍රියා දාමයකට, එකම ආකාරයක අණකට යටත්, එකම ආකාරයක ඇඳුමකට, එකම ආකාරයක පැවැත්මටත් හුරුකර වූ මිනිස් කණ්ඩායමක් ඇති කිරීම වන නිසාවෙනි.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. ‍ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ප්‍රධානම කාර්යය වන්නේ විවිධත්වයට එහි ඇති ඉඩකඩයි. විවිධත්වයට ගරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ප්‍රධානම ගුණාංගයකි. අනෙකාගේ මතයට එසේ නැත්නම් අනෙකාට මතයක් දැරීමට ඇති අයිතියට ගරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයෙහි ඇති තවත් ප්‍රධාන වටිනාකමකි. නමුත් හමුදාවක් තුළ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩක් නොමැත. එහි ක්‍රියාත්මක වන්නේ ඒකාධිපති ක්‍රමයයි. හමුදාවක් යනු එකම මතයකට එකට ක්‍රියාත්මක විය යුතු කණ්ඩායමකි. යම් ආකාරයකින් සමාජයක් හමුදාකරණයට යටත් වූ විට, එසේ නැත්නම් හමුදා ආධිපත්‍යට යටත් වූ විට සිදු වන්නේ එම සමාජය තුළ පවතින විවිධත්වය මරා දැමීමයි. විවිධත්වය මරා දැමීම යනු ‍ප්‍රජාතන්ත්‍රවාදය මරාදැමීමයි.

රටක් හමුදාකරණයට ලක්වීම එකවර සිදු නොවේ. විශේෂයෙන්ම කාලයක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට ආසන්න හෝ එවැනි ක්‍රමවේදයන්ට යටත්ව ක්‍රියාත්මක වූ සමාජයක් එකවර හමුදාකරණයට ලක් කළ නොහැක. එයට දිගු කාලයක් ගත වනු ලබයි. උදාහරණයකට අප ලංකා සමාජය ගතහොත් 1960 ගනන් හැත්තෑ ගණන් වන විට ලංකා සමාජය තුල හමුදාවන් කෙරේ පැවතුණ අඩුවටිනාකමක් දෙන මානසිකත්වයකි. එසේ නැත්නම් හමුදාවන් කෙරෙහි සමාජයේ සැලකීමත් නොතිබුණ තරම්ය. නමුත් අද වන විට රනවිරුවන් යනු එහි වන්දනීය ස්ථානයක වැජඹෙන්නන් කොටසකි. ලංකා සමාජය තුල ණවිරුවන් ප්‍රශ්න කිරීම, රණවිරුවන් කළ අපරාධයන් ප්‍රශ්න කිරීම, ඔවුන් නීතිය ඉදිරියට ගෙන ඒම, අපරාධයක් ලෙස, සාපරාධී ක්‍රියාවක් ලෙස ගැනෙන තරමට සමාජය තුළ මතයක් ස්ථාපිත කර හමාරය. මෙය එක දිනකින් සිදු වූ දෙයක් නොවේ. කාලාන්තරයක් තිස්සේ ක්‍රමානුකූල සමාජය තුලට රංගවූ දෙයකි. ඇත්තෙන්ම ඉන් පිලිඹිඹු වන්නේ සමාජය තුල ප්‍රජාතන්ත්‍රවාදයේ ගරාවැටීමයි.

බොහෝ අවස්ථාවන්හි දී අපට බුද්ධිමතුන්ගෙන් අසන්නට ලැබෙන තර්කයක් වන්නේ එංගලන්ත සුදු අධිරාජ්‍යවාදීන් විසින් අප වෙත තෑගි කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී ව‍යූහයන් නිසාවෙන් අප රට හමුදා පාලන බලයට යටත් කරගත නොහැකි බවයි. හැට ගණන් වල සිදූ වූ කුමන්ත්‍රණ දෙකක් අසාර්ථක වීමට මෙය හේතු වූ බව පෙන්වමින් ඔවුන් එයට කරුණු ගෙන ගෙනහැර පායි. ඇත්තෙන්ම එදාට සාපේක්ෂව එය සත්‍යයකි. නමුත් එය අදටත් වලංගුද. අද වන විට ජනාධිපතිවරණ අපේක්ෂකයින් ලෙස හමුදා නිලධාරීන් තරඟ කරති. බොහෝවිට රාජපක්ෂ පරම්පරාවේ ගෝඨාභය රාජපක්ෂ වැනි හමුදා සෙබලෙකු ජනාධිපතිවරයා ලෙස පත් වීමට පවා ඉඩ තිබේ. ඒ ලංකා සමාජය තුල අද වනවිට හමුදා ක්‍රියාදාමයකට අවශ්‍ය නම් ඉඩ ඇති ආකාරයයි.

සෑම හමුදා පාලනයක්ම හමුදා කුමන්ත්‍රණයකින් ම බලයට පත්විය යුතු නැත. බොහෝ විට හමුදා පාලනයන් අද වන විට සිදු වන්නේ නියෝජිත ඡන්ද ක්‍රම තුළින් බලයට එමෙන්ය. නමුත් එසේ හමුදාමය බලයක් ස්ථාපිත වීමට ඉන් පෙර ඒ සඳහා සකස් වූ සමාජ මානසිකත්වයක් ගොඩනැගී තිබීම අත්‍යාවශ්‍යය. අප පිළිගත්තත් නැතත් අද වන විට ඒ සඳහා අවශ්‍ය මානසිකත්වය අප සමාජය තුළ ගොඩනැගී හමාර ය. එය ඉතා ඉහළම ආකාරයකින් සිදුවී හමාරය. අප සමාජයේ බොහෝ දෙනෙක් හමුදාවන් වන්දනී කරණය කරන තත්වයට පත්ව ඇත.

එවැනි තත්ත්වයක් ඇතිවීමට ලංකා සමාජයට හෝ වෙන යම් සමාජයකට හේතුවන්නේ කුමන කාරණා ප්‍රධාන කරගෙන ද?

එක් ප්‍රධාන කාරණයක් වන්නේ රට තුළ දීර්ඝකාලීනව යුද්ධයක් පැවතීමය. එය වෙනත් රටක් සමග කරන යුද්ධයක් වේවා, සිවිල් යුද්ධයක් වේවා යුද්ධය තුලින් ඉස්මතු වන්නේ හමුදාවන් සහ යටපත් කිරීමේ සංස්කෘතියයි. යුද්ධය ජය ගත් විට එය වඩාත් තහවුරු වේ.

 අනිකුත් කාරණය වන්නේ ‍ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පවතින පාලනය අන්තයට ම ජරාජීර්ණ වී, සමාජ සුරක්ෂිතතාව නැති මට්ටමකට සමාජය පත් වී, රාජ්‍ය දේපල දූෂණය තුළ විනාශ වන තත්ත්වයට පත්වීම වැනි කාරණාවන් වලට රටක් නතු වීමයි. එවැනි තත්වයකදී මිනිසුන් පතනුයේ ශක්තිමත් පාලනයක් රටට අත්‍යවශ්‍ය යන්න ය. එවැනි අවස්ථාවක හමුදාමය පාලනයක් පිළිබඳ බොහෝ දෙනෙකු සිහින දකිති. ඒ ඔවුන් හමුදාමය පාලනයක් යන්න ශක්තිමත් පාලනය යන්න සමග පටලවා ගැනීමෙනි. අනෙක ඔවුන් හමුදා පාලනය යන්න කුමක්ද හැබෑවටම නොදන්නා හෙයිනි.

එසේ නම් අද වන විට ලංකාව හමුදා පාලනයකට නතු විය නොහැකිද?

අප සමාජය අද වන විට පත් වී තිබෙන තත්ත්වය දෙස බලන විට ලංකාවේ හමුදා පාලනයකට අවශ්‍ය මානසික වාතාවරණය ඕනෑවටත් වඩා තිබෙන බව මගේ වැටහීමයි. නමුත් ඇත්තෙන්ම ලංකාව වැනි රටක් අද වන විට හමුදා පාලනයකට යටත් කිරීම අත්‍යවශ්‍ය නැත. ඒ රට තුළ පවතින සමාජ මානසිකත්වය හමුදාකරණය ඉල්ලා සිටී නම්, වැඩි දෙනෙකුගේ ඉල්ලීම එය වේ නම්, අපහසුවකින් තොරව යටපත් කිරීමේ රාජ්‍ය යන්ත්‍රය තුලින් රට ඔවුන්ගේ වුවමනාවන් අනුව අපහසුවකින් තොරව කළ හැකි වන බැවිනි.

බොහෝ විට හමුදා කුමන්ත්‍රණ තුළින් හමුදාවන් බලය අල්ලන්නේ රට තුළ විවිධ විමුක්තිකාමී බලවේගයන් ශක්තිමත් ආකාරයෙන් ඉස්මතු වී රාජ්‍ය බලය ඔවුන් අතට ගන්නා මට්ටමින් තර්ජනය මතු වී තිබූ අවස්ථාවන්වල පමණි. එසේ නැතිනම් හමුදා ආණ්ඩු ගැහීමක් බලහත්කාරයෙන් කිරීමක් සිදු වන්නේ නැත. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ පවතින සමාජයක පවතින විවිධ ‍ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් සහ අයිතීන් යටපත් කිරීම සිවිල් රජයක් ලෙස පවත්වා ගනිමින් කළ හැකි අවස්ථාවන්හිදී හමුදා ආණ්ඩුවක් ඇති කිරීම අවශ්‍ය කාරණයක් නොවන හෙයිනි.

අද වන විට රට ළංවී ඇති ජනාධිපතිවරණයේදී රාජපක්ෂ දිනුවා යැයි අප උපකල්පනය කරමු. ඒ එසේ වුවොත් ලංකා සමාජය, ලංකා දේශපාලනය දීර්ඝකාලීන හමුදා කරනයකට යටත් වීමේ තර්ජනයක් පවතින බව මගේ වැටහීමයි. මම ඉදිරිපත් කරන අදහසට බොහෝ අය එකඟ වූවා හෝ නො වූවා මෙසේ සිදුවිය හැකි බව මම අනුමාන කරමි.

හමුදා නිලධාරියෙකු වන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත් වුවහොත්, දැනටමත් ඔහුගේ ළඟම අනුගාමිකයින් ලෙස ක්‍රියාත්මක වන හමුදා නිළධාරීන් කණ්ඩායම දේශපාලන බලයේ හිණිපෙත්තේ වැජඹෙන බව පැහැදිලිය. මෙය මෙසේ මා අදහස් කරන්නේ එදා ගෝඨාභය රාජපක්ෂ දේශපාලන බලය හිමි නැති, තම සහෝදරයාගේ දේශපාලන බලය තුළින් බලයෙන් දේශපාලන බලය අතට අරගෙන තම හමුදා සගයින් එදා දේශපාලන කරළියේ විවිධ තැන්වල ක්‍රියාත්මක කරවූ ආකාරය අපට අමතක නැති හෙයිනි. නමුත් අද ඔහු බලයට එන්නේ මහින්ද රාජපක්ෂ මෙන් ‍ප්‍රජාතන්ත්‍රවාදය ගැන, මානව හිමිකම් ගැන, සුළුජන අයිතීන් ගැන වචනයක්වත් කතා නොකරමින්, ඒ වෙනුවට ශක්තිමත් විනයානුකූල රටක් හදනවා යන කාරණාවන් පෙරට දමමිනි. (සක්තිමත් ආරක්ෂාසහගත රටක් ඇති වන්නේ මිනිස්අයිතීන් තහවුරුවූ, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරුවූ දේසපාලනයක් රටක ඇත්නම්ය.) දැනටමත් ඔහුගේ අනුගාමිකයින් ලෙස ක්‍රියාත්මක වන්නේ, ඔහුගේ සහචරයන් ලෙස ක්‍රියාත්මක වන්නේ, හිටපු හමුදා නිලධාරීන් සහ හමුදා කණ්ඩායම්, සිංහල ජාතිවාදයෙන් හිස් තෝන්තු කරගත් සිංහල ජාතිවාදීන්, සහ විවිධ මැර කණ්ඩායම් ලෙස ක්‍රියාත්මක වන නන්නත්තාර කොටස්වල අනුගාමිකත්වයයි.

ඔහු බලයට පැමිණිය හොත් සමාජය හමුදාකරණයට යටත් වන්නේ ඉතා සෙමෙන් නමුත් ඉතා පහසුවෙන් වටහා ගත හැකි මේ ආකාරයෙනි. පලමු වටයෙන්ම සියලුම අමාත්‍යංශයන්හි ඉහළ නිලධාරීන් බවට හමුදා කොටස් පත්විය හැක. සියළුම රාජ්‍ය ආයතන වල අධීක්ෂණ කණ්ඩායම් ලෙස ඔහුගේ හිතවතුන් අධීක්ෂකයන් ලෙස ක්‍රියාත්මක කරවනු ඇත. (එදා දුින්ද සිල්වලා, සචින් වාස්ලා මෙන්) මේ සියල්ල කරනුයේ විනයානුකූල රටක් හැදීම යන කඩතුරාවේ දවටමිනි. ඒවාගෙම ඊළඟ මහ මැතිවරණයේදී රට ගලවා ගත් රණවිරුවන් ලෙස හමුදා නිලධාරීන්, හමුදා සෙබළුන් විවිධ තරාතිරමේ දේශපාලන බලය සඳහා මැතිවරණ යන්හි තරඟ වදිනු ඇත. ලංකා සමාජය හුරු වී ඇති ආකාරයටත්, බලය ඇති එකා සමග සහවාසයට පෙම් කරන සමාජයක් වන හෙයිනුත්, වැඩවසම් සමාජ මානසික මට්ටමක් හිස් මත දරා ගත් විශාල ජන කණ්ඩායමක් රටතුළ තාම ජීවත් වන හෙයිනුත් මෙසේ තරඟ කරන හමුදා නිලධාරීන් බොහෝ දෙනෙක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට, පළාත් සභාවලට සහ ප්‍රාදේශීය සභාවලට තේරී පත්වීමට බොහෝ විට ඉඩ ඇත. එවිට දැන් අප තෝරාගෙන ඇත්තේ අප විසින්ම තෝරාගත් හමුදා ආණ්ඩුවක්, එසේ නැත්නම් හමුදා රාජ්‍යයක් බව අපටත් නොතේරීම සිදුවී හමාරය.

එවැනි සමාජයක මිනිස් අයිතීන්, ප්‍රජාතන්ත්‍ර අයිතීන්, යන කාරණාවන් වලට ඉඩක් ඇත්නම් ඇත්තේ වචන ලෙස පමණි. ඒ රට තුල ප්‍රජාතන්ත්‍රවාදය යන ක්‍රියාදාමය, වෙනස් මත දැරීමට ඇති අයිතිය වැනිදෑ සුදු වෑන්වලින් පැහැරගෙන යාමට ලක්වීම නොවැලැක්විය හැක. දැන් අප ඉදිරියේ ඇත්තේ මෙන්න මේ තත්ත්වයට පත්වීමට ඉඩ ඇති රටක් ඇතිවීම හෝ එය වලක්වා ගැනීම අතර පවතින ජනාධිපතිවරණයකි. ඊළඟ ජනාධිපතිවරණයේදී, ඊළඟ මැතිවරණයේදී අපගේ ඡන්දය මෙම හමුදාකරණය පරාද කිරීමට සිහිබුද්ධියෙන් පාවිච්චි නොකලානම් පමාවී ඒ ගැන පසුතැවීමෙන් ප්‍රයෝජනයක් නොමැතිබව මගේ වැටහීමයි

 

Back to Top