Sri Lanka Brief
පුවත්විවරණපවුලක් හඩවපු අලුත්ගම ව්‍යාජ ඒඩ්ස් භීතිකාව

පවුලක් හඩවපු අලුත්ගම ව්‍යාජ ඒඩ්ස් භීතිකාව

by

විදේශගත රැකියාවක සිට පැමිණි සොයුරියට චර්ම රෝගයක් වැලදී තිබීම හේතුවෙන් එම පවුලේ කුඩා දැරියන් තිදෙනාට අකුරු කිරීමට අකැප වූ පුවතක් අලුත්ගම ප්‍රදේශයෙන් වාර්ථා වේ.

“මම ඉස්කෝලෙට යනකොට මැඩම්ලා ඔක්කොම ඇවිත් ඇහුවා ඔයගොල්ලන්ට මෙහෙම ලෙඩක් තියේද කියලා. මම කීවා අපිට නෑ අපේ අක්කට තියෙනවා, මගෙ අතෙත් පොඩ්ඩක් තියෙනවා කියලා. ඊටපස්සේ ඒගොල්ලෝ කීවා ඔයා දැන් ඉස්කෝලෙන් යන්න. අනිත් ළමයින්ටත් බෝවෙන්න පුළුවන් කියලා. මැඩම්ලා ළමයි ඔක්කොමලා ඉස්සරහා එහෙම කීවේ. ලෙඩේ හොඳ වෙලා එන්න කියලා. මැඩම්ලා, ළමයි මාත් එක්ක කතා කලේවත් නෑ, ඔක්කොමලා මට හිනා වුණා.”

ගලේවෙල අලුත්ගම නීරංගමුව විද්‍යාලයේ අකුරු කෙරූ දිනිති මධුෂිකා (අවුරුදු 14), දිලිනි කෞශල්‍යයා (අවුරුදු 13), කිත්මි හිමායා (අවුරුදු 8) යන දියණියනට මෙම අසාධාරණය සිදු වූ බව ඔවුන් පවසන්නේ හැඩූ කඳුලිනි.

“හරි දුකයි. යාළුවෝ කොන් කරනවා. වෙන ඉස්කෝලයකට යන්න කැමතියි. ලොකු සර් පවා ඔක්කොමලා ඉන්න තැන ලෑජ්ජා කරලා එලවලා දැම්මා.”

මවයි පියයි නොමැතිව ඇති දැඩි වන මෙම සොයුරියන් සය දෙනා දරිද්‍රතාවයේ පතුළටම ගිලී ඇත. මීට වසර අටකට පෙර පියා ළිඳකට වැටී මියගොස් ඇත. මව විදේශගතව එවන සොච්චම් වැටුපෙන් තරුණ කෙල්ලන් සයදෙනෙකු නඩත්තු කල නොහැකි නිසා යන්තම් අවුරුදු 17 සපිරුණු ගමන්ම පවුලේ දෙවන දියණිය, ශලනි පියතිස්ස විදේශ රැකියාවක් කිරීමට යන්නීය. ඒ ජෝර්දානයේ ඈඟලුම් කම්හලක සේවයටයි. ඇය එහි වසර එක හමාරක පමණ කාලයක් සේවය කරමින් සිටියදී ඇයට චර්ම රෝගයක් වැලදී ඇත. බෙහෙත් ලබාගැනීමට ලංකාවට ඒමට අවසර ඉල්ලුවද වසර තුනක කාලයක් සේවය කිරීමට ගිවිසුමක් අත්සන් කළ බැවින් එසේ එවීමට නොහැකි බවට ඇඟලුම් කම්හලේ නිලධාරීන් පවසා ඇත. ඇය නැවතත් ලංකාවට පැමිණි විට සිදුවූයේ කපුටු පිහාටුවක් උඩට වමනය කිරීම කපුටන් සත්දෙනෙකු වමනය කලායැයි ප්‍රචාරය වීමටත් වඩා බරපතල දෙයකි. ඒ චර්ම රෝගය ඒඩ්ස් රෝගය බවට ගම්මුන් අතර කට කතා පැතිරීමයි.

“පවුලේ ගෑණු ළමයි 6යි. අම්මා රට. මාත් රට ගියා දුප්පත්කම නිසා. අවුරුදු 17දී මුලින්ම රට ගියේ. ගෙදරට කන්න බොන්න දෙන්න. ජෝර්දාන් ගාමන්ට් එකක වැඩ කළේ. අවුරුදු එක හමාරක් ඉද්දී මට සනීප නැතිවුණා. මම කීවා මට එන්න දෙන්න කියලා. අවුරුදු තුනකට අත්සන් කරපු නිසා යන්න දෙන්න බෑ කීවා. ඒඩ්ස් කියලයි ගමේ පැතිරුණේ, දොස්තරලා නෑ කියනවා.”

කුඩා නිවසක ජීවත්වන මෙම ගැහැණු ළමුන් තිදෙනාට නිදාගැනීමටවත් තැනක් නොමැත. නිවසටම ඇත්තේ එක කාමරයකි. නිදාගන්නේ බිමය. හදිස්සියේ විපතක් සිදු වුවොත් උදව්වටවත් කිසිවෙක් නැත. මෙසේ ඉතා දුක සේ දිවි ගෙවන මේ දියණියන්ට අසරණ වූ අවස්ථාවේදී අත දෙනවා වෙනුවට සමාජය කළ දෙයින් ඔවුන් කබලෙන් ලිපට වැටුණි.

“මෙයා දවසක් කඩේට යනකොට කඩේ මුදලාලි කඩේ වහලා ඈතුලට ගිහිල්ලා. රටේ මිනිස්සු පාරේ යද්දී අරං මනං කියනවා. වෙනදා කතාකරපු අය කවුරුත් දැන් කතා කරන්නේ නෑ. හැමෝම කියනවා සමාජ රෝගලු.”

“හැමෝමම අපි දිහා කැත විදිහට, නපුරු විදිහට බලන්නේ. අපිට කඩේකින් බඩුවක් දෙන්නෙ නෑ, කිසිම දෙයක් අල්ලන්න එපා, සල්ලිවත් අල්ලන්න එපා කියනවා. වාහනයක යන්න දෙන්නෙ නෑ, ගමේ ගෙදරකටවත්, ළිඳක් ගාවටවත් එන්න එපා කියලා කියන්නේ. හැමෝවම අපිව ඒ තරමටම කොන් කරනවා. “

සමාජයෙන් තමන්ට එල්ලවෙන පීඩනය දරාගැනීමට නොහැකි තැන ශලනි දියණිය සියදිවි නසාගැනීමටද උත්සහ දරා ඇති අතර දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන්ගේ දක්ෂතාවය නිසා ඇගේ දිවි ගලවාගැනීමට හැකිවිය. සමාජයට මුහුණ දීමට නොහැකිව ඇය පමණක් නොව පවුලේ සය දෙනාම සියදිවි නසාගන්නට සිතාගෙන සිටි බව ඇය පැවසුවාය.

පාසලෙන්, සමාජයෙන් පීඩාවට ලක් කළ මෙම දියණියන්ට අඩුම තරමේ පවුලේ උදවියගෙන්වත් කිසිදු පිළිසරනක් ලැබී නැත. විවාහක වැඩිමහල් දියණියගේ තෙහැවරිදි දියණියටද මෙම චර්ම රෝගය වැලදුණු නිසා ඇගේ සැමියා ඇයව අතහැර ගොස් ඇත.

“අක්කගේ මහත්තයා දාලා ගියා ලෙඩේ හින්දා. මොකද බබාටත් ආවනේ. ඒ නිසා මහත්තයා අක්කව දාලා ගිහින් මාස එක හමාරක් විතර වෙනවා. ඔක්කොම මේ සමාජ රෝග කියලා. පවුලටම ඒඩ්ස් කියලා තමයි කියන්නේ.”

ශලනි දියණිය ඒඩ්ස් පරීක්ෂණයක් සිදු කර ඇති අතර ඇයට එම රෝගය නොමැති බවට පරීක්ෂණ වලින් සනාත කර තිබේ. මෙම රෝගය සමාජ රෝගයක් පමණක් වන බවත් සුවපත් කළ හැකි බවත් දඹුල්ල රෝහලේ වෛද්‍යවරු පවසති.

චර්ම රෝගයක් අවසානයේ ඒඩ්ස් රෝගය බවට පරිවර්ථනය කිරීමෙන් සමාජයේ සමාජ රෝග පිළිබඳව ඇති නොදැනුවත් බාවය මනාව පැහැදිලි වේ. මෙපමණ දියුණු ලංකාවක “සුළගිනුත් ඒඩ්ස් පැතිරෙනවා” වැනි අඥාන කතා කුලියාපිටියෙන්ද වාර්ථා වූ අතර එම කුලියාපිටියේ දරුවාට හා ගලේවෙල ප්‍රදේශයේ දැරියකටද මෙබඳුම ගැටලුකාරී තත්වයක් උද්ගත විය. අධ්‍යාපනය මූලික අයිතිවාසිකමකි. කුමක් හෝ ලෙඩක් ඇතැයි සැක පිට අකුරු කිරීමේ අයිතියට වැට බැදීම මිනිස්කමට නිගාවක් නොවේද ?

“ඒ දරුවන්ගේ අක්කා කෙනෙක් රට ඉදලා ඇවිත් තියෙනවා. එයාට යම් රෝගී තත්වයක් තියෙනවා කියලා අපිට ආරංචි වුණා. අනිත් ළමයින්ට රෝගය පැතිරීමේ අවධානමක් තිබෙන නිසා මම එයාලට ප්‍රතිකාර අරං පසුව පැමිනෙන්න කීවා. මම ඒ අයට ඒඩ්ස් තියෙනවා කියලා කීවේ නෑ. මම එහෙම දැනුවත් කලේ PHI මහත්තයාට කියලයි. ”
නීරංගමුව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමා පැවසුවේය.

ඒඩ්ස් යනු සුළගින්වත්, ස්පර්ශයෙන්වත්, සෙම, සොටු මගින්වත් බෝවන රෝගයක් නොවේ. අඩුම තරමේ එකට ආහාර ගත්තද එකම තුවාය පාවිච්චින් කළද ඒඩ්ස් බෝවන්නේ නැත. ඒඩ්ස් බෝවිය හැකි ප්‍රධාන ආකාර සතරකි. ඒවානම් රුධිරය, යෝනි මාර්ගය, ශුක්‍රාණු හා මවු කිරි වේ.

මවු කිරි මගින් වුවද ඒඩ්ස් බෝවීමේ සම්භාව්‍යතාවය 5%ක් වැනි සුළු අගයක් ගනියි. HIV ශරීරගත වන්නේ ශේෂ්මල පටක හරහා පමණි.

-සිළුමිණ

Back to Top