Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගදහසක් දෙනා මැද හිට්ලර් ආචාරය නොකළ තනි මිනිසා – සුනන්ද දේශප්‍රිය

දහසක් දෙනා මැද හිට්ලර් ආචාරය නොකළ තනි මිනිසා – සුනන්ද දේශප්‍රිය

by

දහස් ගණනාවක් ජර්මානුවන් ‘හිට්ලර්ට ජයවේවා’ යන නාසි ආචාරය පුද කරත්දී එක් මිනිසකු දෑත් බැඳගෙන එම ආචාරය නොකර සිටියේ ය‍. කවරකු විසින් ගත්තේදැයි නිහ්චිත නැති ඒ ඡායාරූපයට දැන් අසූ වියැති ය. එනමුත් වටිනාකම මඳකුදු අඩුව ගොස් නැත. ඊටත් වඩා ඒම ඡායාරූපය සිය හෘදය සාක්ෂියට සවන් දීම පිළිබඳ සාදාකාලික ආදර්ශයක් බවට පත්ව තිබේ.

මන්ද යත් අද පවා එවැනි මිනිසුන් සිටින නිසා ය. ඒකාධිපතිවාදී දේශපාලනඥයින් සමඟ සටන් කිරිම ලෙහෙසි නැත. සමහර විට කෙළවර වන්නේ සටන්කරුවාගේ මරණයෙනි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළම සමහර විටෙක ඒකාධිපතියෝ සිටිති. ලංකාවෙහි 2005 – 2010 කාල පරිච්ජේදය සිය හෘද සාක්ෂියට සවන් දී යුද්ධය වෙනුවට සාමය අපේක්ෂා කළ, වහල්භාවය වෙනුවට නිදහස අපේක්ෂා කළ එවැනි නිර්භීත මිනිසුන්ගෙන් ද ඔවුන්ගේ මරණයන්ගෙන් ද ලක්ෂිත වී තිබුණි.

මරණ තර්ජන

ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලංකා පුරවැසිබව අභියෝගයට ලක් කරමින් අධිකරණය හමුවට ගිය චන්ද්‍රගුප්ත තේනුවර මහ ගාමිනී වියන්ගොඩ යන දෙදෙනාට එරෙහිව සමාජ ජාලයන්හි පැතිර යන වෛර සහ මාරක ප්‍රචාර මගින් පෙන්නුම් කරන්නේ එකළ තිබූ මරණයේ දේශපාලනය යළි හිස ඔසවමින් ඇති සැටි ය.

තමන්ට එල්ල වූ මරණ තර්ජන දින දෙකතුනකින් අවසන් වනු ඇතැයි තමන් කල්පනා කළ අඩුවක් නොවී දිගින් දිගටම වර්ධනය වන වර්ධනය වන බව තේනුවර ප්‍රකාශ කරයි. මර්ධනකාරී දේශපාලනයක් ක්‍රියාත්මක වන්නේ ඉහළ සිට පහළටම නොවේ. පහළින්ද එය ක්‍රියාත්මක වෙයි. ඇත්ත වශයෙන්ම නම් භයානක තර්ජනය එළඹිය හැක්කේ මෙම නන්නත්තාර ප්‍රචන්ඩ දේශපාලන කල්ලි වලිනි. සෑම මර්ධනකාරී දේශපාලනඥයකුම එවැනි කණ්ඩායම්වලට අනුබල දෙයි. එය ජේ.ආර්. ජයවර්ධනගේ පිලිවෙක විය. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ පිළිවෙත ද එයම විය හැකි ය.

ප්‍රසිද්ධියේම ගාමිණි වියන්ගොඩට මරණ තර්ජන කළ මධුමාධව අරවින්ද සිය දේශපාලන කවයෙන් ප්‍රසිද්ධිට පමණක් හෝ ඉවත් කිරීම වැදගත් ය. එය පොදු ජන පෙරමුණ විසින් සිය අනුගාමිකයින් විසින් කරගෙන යන අතෝරක් නැති වෛර ප්‍රකාශ වැළැක්වීම කරා ගෙන නොයන්නේ නම් ඉන් වැඩක් නැත.මන් ද යත් එසේ නොවුනහොත් අප සමාජයේ විසංවාදායට ඇති අවකාශය අහෝසි වී යා හැකි නිසා ය.

බියක් නොදුටු ලන්ඩ්මෙසර්

අපි යළි ඒ 1936 වර්ශයේ ජූනි 13දා කරා යමු. එහි පැවැතියේ හැම්බර්ග් නැව් තටාංගනයේ තනන ලද නෞකාවක් දියත් කැරෙන උත්සවය යි. . එම උත්සවයට හිටලර් පැමිනීම මහත් උද්දාමයට කාරණයක් වූ බවින් මෙම ආචාර පුද කිරිම සංවිධානය කෙරුණි. එම ජායාරූපයෙහි නාසි ආචාරය දක්වන විශාල සෙනෙගක් මැද තනිව එම ආචාරය නොදක්වා සිටින්නේ මිනිසා එකල මෙම නැව් තටාංගනයේ සේවය කළේ ය.

එකළ නාසිවාදය අති ජනප්‍රිය වී තිබුණි. හිට්ලර්ද එලෙසින්ම ජනප්‍රිය ජරිමානු දේශපාලන නායකයා වී තිබුණි. එවැනි අවස්ථාවක උඩු ගං බලා පිහිනූ මෙම මිනසාගේ සිතේ කුමන හැගීමක් තිබෙන්නට ඇත්ද?

පසුකාලීන සොයා බැලිම් මගින් මෙම පුද්ගලයා අවුගුස්ට් ලන්ඩ්මෙසර් August Landmesser බවට තහවුරු විය. ඔහු ද නාසිවාදී දේශපාලන රැල්ලට හසුව 1931 වර්ශයේ දී නාසි පක්ෂයේ සාමාජිකත්වය ගෙන තිබූ බව කියනු ලැබේ.

නාසිවාදීන් බලයට පත් වුයේ 1930 ගණන්හි ජර්මනිය මුහුන දුන් ආර්ථික කඩා වැටීම සහ පාර්ලිමේන්තුවෙහි වූ අස්ථාවර බව ප්‍රයෝජනයට ගනිමිනි. එකළ රැකියාවක් ලබා ගැනීමට නම් නාසි පක්ෂ සාමාජීකත්වය අමතර වාසියක් බවට පත්ව තිබුණි. එමෙන්ම එකෙුදුත් හිට්ලර් කුමණාකාර මිනිස් ඝාතයකු වනු ඇත්දැයි හරියටම එළිදරව් වී ද නොතිබුණි.

පැසිස්ට්වාදයට හිස නොනැමීම

එනමුත් එකළ පවා හිට්ලර් අභියස ආචාර නොකර සිටීම මරණය කැඳවා ගැනීමක් හා සමාන විය. ලන්ඩ්මෙසර් දෑත් බැඳගෙ සිටියේ බොහෝ දුරට ම නාසිවාදය සමඟ තමන්ට එකඟ විය නොහැකි නිසාය. මෙම සිදුවීමට වසරකට පෙර ඔහු නාසි පක්ෂයෙන් ඉවත් කරනු ලැබ තිබුණි. ඒ ඔහු යුදෙවි ජාතික තරුණියක හා විවාහ වීමට ගිවිසගෙන සිටි නිසා ය. නාසිවාදීන් සිය පරම සතුරන් ලෙස සැලකුවේ යුදෙව්වන් ය.

හරියට ගෝඨාභයවාදී මධුමාධව අරවින්දට සහ සමාජ ජාල අරක්ගෙන ඇති එවැනි පිරිස්වලට මුස්ලිම් ජනයා වැනි ය. සමාජ ජාලයේ සංසරණය වන මධුමාධව අරවින්ද වීඩියෝවක කියවෙන්නේ හිසට මොට්ටැක්කිලි පෙරවාගෙන යන මුස්ලිම් ස්ත්‍රීන් යනු මුස්ලිම් පිරිමින් හා විවාහ වූ සිංහල ස්ත්‍රීන් බවයි. වසර සිය ගණනනාවකට පෙර සිදු වූ සිදුවිමක් ඔහු ගෙනහැර පන්නේ අද ඊයේ සිදුවූ දෙයක් මෙනි. එය හුදෙක් මාධුමාධවගේ් මතයක් නොවේ. ගම්මන්පිලගේ දේශපාලනය හරහා දුවන දැක්මද එය බව වෛද්‍ය සාෆී සිදුවීම අවස්ථාවෙහි දැක්ක හැකි විය.

නැව් තටාංගනයේ හිට්ලර් ආචාරය පුද නොකිරිමට ලන්ඩ්මෙසර් තීරණය කරන්නට ඇත්තේ එ වන විටත් ඔහු සිය පෙම්වතිය සහ දිණියක ද සමඟ දිවි ගෙවමින් සිටි නිසා ය. සිය බිරිඳ සහ දියණියට බිය ජනක අනාගතයක් උරුම කරන්නට යන පාලකයකුට ආචාර කර එදිනම සවස නිවෙසට ගොස් ඔහුගේ ගොදුරු වන්නට යන බිරිඳ හා දරුවන් සිප වැලද ගන්නේ කෙසේ දැයි ඔහු සිතන්නට ඇත. එම උපකල්පනය අනුව නම්, ලන්ඩ්මෙසර් මෙම මහත් අනතුර ගත්තේ ආත්ම අභිමානය වෙනුවෙනි. තම බිරිදගේ සහ දියණියගේ ආදරය හිටලර්ට පාවා දීමට ලන්ඩ්මෙසර් සුදානම් වූයේ නැත.

ලන්ඩ්මෙසර්ට ඉර්මා එක්ලර් මුණ ගැසුණේ 1934 හි දී ය. දෙදෙනා අතර ඉක්මනින් ම ගැඹුරු ප්‍රේමයක් ලියලා ආවේ ය‍. ඔහු නාසි පක්ෂයෙන් නෙරපා දමන ලද්දේ ඇය හා විවාහ ගිවිසගත් නිසා ය. විවාහ වීමට කරන ලද ඉල්ලීම අලුත සම්මත කර තිබූ ජර්මානු සුපිරිසිදු බව පිළිබඳ නීති යටතේ ප්‍රතික්ෂේප කරන ලදී. ඉක්මණින්ම ඔවුනට දියණියක උපන්නේ ය. තත්වය නරක අතට හැරෙමින් පැවති නිසා 1937 දී ඩෙන්මාර්කයට පළායාමට ඔව්හු උත්සාහ කළහ. දේශසීමා භට පිරිස් විසින් අත් අඩංඟුවට ගන්නා ලදුව ලෑන්ඩ්මෙසේර් කෙටි කලකට සිර ගත කෙරැණි.

යුදෙව් විරෝධී උමතුව

ඇත්ත වශයෙන්ම නම් ඉර්මා එක්ලර් ක්‍රිස්තියානි පොතෙස්තන්ත ආගම යටතේ බෞතීස්ම කර තිබූණාය. ඇයගේ මා පියන් ද මිශ්‍ර විවාහයක් වූ අතර ඔවුන්ගේ මා පියන්ද මිශ්‍ර පවුලක් විය. කෙසේ වෙතත් වර්ගවාදයෙන් මුසපත්ව සිටි පළිගැනීම දර්ශනය කරගෙන සිටි හිට්ලර්ගේ බළ ඇණි මාසයක් ගතවීමට පෙර ලන්ඩ්මෙසර් යළි අත් අඩංඟුවට ගෙන මාස තිහක බරපතල දඩුවමකට යටත් කරන ලදී. අනතුරුව ඔහුට සිය ආදරය වූ ඉර්මා යළි කිසි දවසක දැක ගන්නට ලැබුණේ නැත.

මේ අතර ජර්මානුවන් හා විවාහ වූ යුදෙව් ජාතිකයින්ට දඩුවම් පැමිණවීමේ නිතියක් සම්මත කරන ලදුව ඉර්මා ද අත් අඬංඟුවට ගනු ලැබුණා ය. ඇය සිරගෙදර දීී ඔවුන්ගේ දෙවැනි දියණියට උපත දුන්නා ය. දියණියන් දෙදෙනා ම මවගෙන් උදුරා ගෙන ළමා නිවාසයන්ට යවන ලදී. හිතවතුන් විසින් ආරක්ෂා කරන ලදුව ඔවුන් දෙදෙනා ම දිවි ගලවා ගැනීමට සමත් වූහ.

ඉර්මා වධ කඳවුරෙන් වධ කඳවුරකට යවන ලදුව සිය දියණියන් හෝ ආදරවන්තයා පිළිබඳ කිසිදු තොරතුරක් නැතිව, 1942 දී බෙරන්බර්ග් වධ කඳවුරෙහි ගෑස් කුටියකට දමා මරා දමන ලදී. ඇය සිය මවට ලියූ අවසන් ලිපිය ඒම වසර මුලදී තැපැලට දමා තිබුණි.

මේ අතර අවුගුස්ට් ලන්ඩ්මෙසර් 1941 දී තිස් මසක සිර දඩුවමින් නිදහස් විය. නාසිවාදින් විසින් පැහැරගෙන ගොස් ළමා නිවාස වලට දමන ලද සිය දරුවන් දෙදෙනා සොයා ගැනීමට ඔහුට කිසි දිනෙක අවස්ථාවක් ලැබුණේ නැත. තාවකාලික රැකියාවක නිරත වූ ලන්ඩ්මෙසර් 1943 දී අනීවාර්ය නාසි යුද සේවයට බලයෙන් බඳවා ගන්නා ලදී. ජර්මනිය යුද්ධයෙන් පරාජය විමට මාස 06කට පෙර ක්‍රෝෂියානු යුද පෙරමුණෙහි දී ලන්ඩ්මේසර් අතුරුදහන් විය.

යුද බිමෙහි ඔහු මිය ගිය බවට 1949 දී පශ්චාත් යුද්ධ ජර්මානු ආණ්ඩුව සහතිකයක් නිකුත් කළේ ය. 1951 දී ලන්ඩ්මෙසර් හා ඉර්මා එක්ලර්ගේ විවාහය හම්බර්ග් නගර ආණ්ඩුව විසින් නීත්‍යනුකූල බවට සහතික කරන ලදී. ඔවුන්ගේ දියණියන් දෙදෙනා මවගේ සහ පියාගේ නම් බෙදා ගත්හ‍ වැඩිමහල් දියණිය පියාගේ නම ද බාල දියණිය මවගේ නම ද ගත්තා ය. පසුව වැඩිමහල් දියණිය වූ ඉන්ග්‍රිඩ් ලැන්ඩ්මෙසර් සිය පවුල මුහුණ දුන් ඛේදවාචකය ‘ A family torn apart by “Rassenschande”: Political persecution in the Third Reich.” (හිටිලර් පාලන තන්ත්‍රයේ දේශපාලන පළිගැනීම් නිසා බිදී විසිරී ගිය පවුලක්)‍ නමින් පොතක් ද ලියා පළ කළා ය.

යුද්ධ වින්දිතයිනට සැලකිය යුත්තේත් සැබෑ මානුශිය සංහිදියාවක් පිනිස සමාජයකට අවස්ථාව ලැබිය යුත්තේත් එළෙස ය.

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන ඩබ්. ඒ්. විජේවර්ධන මැත පළ කරන ලද ලිපියක එන මෙම අදහස විසංවාදය සඳහා සමාජයක තිබිය යුතු අවකාශය නැතිව යාමෙන් ඇති විය හැකි විපාක සංකේතවත් කරයි.

ශ්‍රී ලංකාවේ ඉතිහාසයෙහි මේ හෝරාවෙහි, එහි ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ ආණ්ඩුකරණය ඇත්තේ මං සන්ධියක ය. සමාජයේ එක් කොටසකට නිතිය අතට ගැනීම ඉඩ සැළසීම මගින් දේශපාලන නායකත්වය රට ආපසු හැරවිය නොහැකි අවනීතිය රජකරන, ඔවුන්ගේ ලැදියාවන් සපුරා ගැනෙන වගවිමක් නැති අධිකාරීවාදී පාලනයක් පිහිටුවමින් සිටී.’

මෙම අදහසට ඌන පුරණය පොහොට්ටු පක්ෂයේ සභාපතිවර ජී.එල්.පිරිස් පුවත් පතකට කියා තිබුණි.

ලෝකය පුරා ශක්තිමක් පාලකයෝ ඉල්ලනවා. ගොඨාභය රාජපක්ෂ මෙරට නීතිය වෛශ්‍යා වෟත්තියේ යෙද වූ සියල්ලන්ටම විරුද්ධව පියවර ගනීවි. එය අපේ මූලිකත්වයක්’

ශ්‍රී ලංකික ලන්ඩ්මෙසර්ලාට ගොඨාභය රාජපක්ෂ පාලනයක් විසින් උරුම කරන ඉරණම ගැන අන් කුමණ කතාද?

Back to Top