Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගජනපති සටන: අපි නාමු ගිලීලා! – සුනන්ද දේශප්‍රිය

ජනපති සටන: අපි නාමු ගිලීලා! – සුනන්ද දේශප්‍රිය

by

මොහිදීන් බෙග් ‘කරුණා මුහුදේ නාමු ගිලීලා’ ගීය ඇදලා පැදලා ආරම්භ කරනවාටත් වඩා මා ආසා කළ ගැයීමක් ඊළගට තිබුණි. ඒ රාජ ලක්ෂ්මී කියන මේ ඛන්ඩය යි; ‘ අහා! කරුණා මූදේ නාමු ගිලීලා’.

ප්‍රේම මනෝහර ගීත ගයාලා’ යැයි බෙග් හඩ අවධි කරන්නේ එවිට ය.

දැන් අැසෙන්නේ මෙසේ ය: ‘ පොරොන්දු මුහුදේ නාමු ගිලීලා’ . ඒ ගෝටාගේ හඩ ය. ඊළගට රස කෑල්ල සජිත් ගෙනි. ‘ අහා! පොරොන්දු මුහුදේ නාමු ගිලීලා’. අනතුරුව සමූහ ගායනය ඇරඹේ. කොල්ලා් කුරුට්ටෝ දඟර නැටුම් දමත්. ගැහැණූ පිරිමි තාලයට අඩි තියමින් ‘නාමු ගිලීලා’ යනුවෙන් අත්වැල් අල්ලති. ශ්‍රී ලංකාව එකම පාරාදීසයකි. සංදර්ශණයකි. සුකිරි බටිල්ලන්ට අපමණ සැපයකි. පොරොන්දු කිරි පැණියෙහි මහා ජනයා නොගිලෙනවා පමණ ය. අනුර කුමාර ද අකමැත්තෙන් හෝ මහා පොරොන්දු තරඟයට දුවන්නට සූදානම පෙන්වයි.

ගෝඨාභය රාජපක්ෂ වී ගොවීන්ට පොහොර නොමිලයේ දෙන බව කීවේ ය. ඊට උත්තර බදිමින් සජිත් ප්‍රේමදාස කීවේ වී ගොවියන්ට පමනක් නොව සැම ගොවියකුට ම තමා යටතේ පොහොර නොමිලයේ දෙන බව ය. වී ගොවියන්ගේ සිට තේ ගොවියන් දක්වා මෙරට ගොවි ප්‍රජාව අනේකාකාර වනවා පමණක් නොව ඔවුන් පාවිච්චි කරන පොහොර වර්ග ද විවිධාකාර ය. නමුත් දෙන්නාගෙන් එක් අයෙක්වත් සිය නොමිලයේ පොහොර පොරෙන්දුව විස්තීර්ණ ලෙස දක්වා නැත.

ගෝඨාභය තේ කම්කරු දිනක වැටුප රුපියල් දහසක් කරන බවට පොරොන්දු විය. සජිත් ඇරියේ නැත. තමා තේ කම්කරු වැටුප රු. 1.500ක් කරන බවට පොරොන්දු විය.

සජිත් සියළු පෙර පාසැල් වියේ දරුවන්ට නොමිලයේ පාසල් සහ ‘සෙල්ලම් පාසැල්’ ලබා දෙන බව පොරොන්දු විය. ගෝටා අරින්නේත් නැත. උසස් පෙළ සමත් සියළු ශිෂ්‍ය ශිෂ්‍යාවනට සරසවි වරම් ලබා දෙන බවට ඔහු පොරොන්දු විය. දැන් මක්කයි අසා ගත් සජිත් සියළු පාසල් සිසු සිසුවියන්ට නොමිලයේ පෝෂ්‍යදායක ආහාර වෙලක් ලබා දෙන්නෙමැයි ගෝරනාඩු පෑයේ ය.

පෙර පාසල් ලබා දෙන්නට පෙර යෝග්‍ය ගොඩනැගිළි ද පුටු මේස ද ක්‍රීඩා භාණ්ඩ ද තිබිය යුතු ය‍. ගුරුවරියන්ට යෝග්‍ය පුහුණූවක් ලබා දිය යුුතුය. නමුත් අප මේ ප්‍රශ්ණ අහන්නේ නැත. එනමුත් අත්ල රතුවන තුරුම අත්පුඩි තලමු. මා දන්නා තරමට නම් සජිත් ප්‍රේමදාස විසින් විවෘත කරන ලද උදාගම්වල හෝ පෙර පාසල් දරැවන්ට එවැනි කිසිදු පසුකමක් නැත.

ගෝටා, මා ජනපති වී දවසින් අත් අඩංඟුවේ සිටින සියළු යුද සෙබළුන් නිදහස් කරන බව කීවේ ය. සජිත් කියන්නේ තම දිවි හිමියෙන් රණවිරුවන් ඔවුන්ගේ ජීවිතාන්තය දක්වා රකින බවයි.

ගෝටාට නිදහස් කරන්නට තරම් යුද සෙබළුන් හිර ගෙවල්වල නැත. ගෝටාට පෙර සිරිසේන ඒ වැඩේ කළේ ය. වැදගත් වන්නේ ඒ පොරොන්දුව නොව ඒ පිටුපස ඇති ‘නීතිය මමයි’ යන ඒකාධිපති කතාව ය‍. නිදහස් කරන්නට රාජ බලයක් තිබේ නම් ඇතුලට දාන්නටත් ඒ බලය යොදා ගත හැක. ගෝටා කළේ වක්‍ර තර්ජනයකි.

ගෝටා ආදායම් බදු අඩුකරන බව කියයි. තමා රටේ බහුතරය ආදායම් බදු වලින් සදා නිදහස් කරන බව සජිත් දැන් කිව යුතුය. නැතනම් ඔහු තරඟයෙන් පරදී.

මේ ලැයිස්තුව අපට ලැජ්ජා හිතෙන තරමට දිග ය. අප දන්න කාලයේ සිට මෙරට දේශපාලඥයින් කළේ බොරු කියා ජනයා රැවටීම ය. 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සිට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හොදම දේශපාලන බොරු පොරොන්දුව බවට පත් විය. මෙවර නම් ඒ මහා බොරුව ඇසෙන්නේ නැත. ගෝටා ද සජිත් ද විධායක බලයට ලොල් ය.

සිරිමා බණ්ඩාරනායක කීවේ හදෙන් හෝ හාල් ගෙනැවිත් දෙන බව ය. පසුව එය උඩයට පෙරළා කීවේ තමා හදවතින් හාල් ගෙනැවිත් දෙන බවයි කියා ය. නමුත් ආවේ හාල් පොලු ය. ජේ.ආර්. අැට වර්ග අටක් ම නොමිලයේ දෙන බව කීවේ ය. පසුව ඔහු අපේ ඇට දෙකට නොකෙළියා විතර ය.

මේ පොරොන්දු බජව්ව අස්සෙන් ජනපති අපේක්ෂකයකු ලෙස හරයක් ඇති කතාවක් අසන්නට ලැබෙන්නේ අනුර කුමාර දිසානායකගෙන් පමණකි. ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග අරභයා සැලකිල්ලෙන් සකස් කරන ලද ප්‍රතිපත්ති මාලාවක් ඇත්තේ ද ජාතික ජන බලවේගයට පමණි. නමුත් කණගාටුවකට මෙන් පොරොන්දු තරඟයෙන් ඉවත්ව සිටීමට ඔහුට ද හැකිව නැත. ඔහු සිය අනුගාමිකයිනට දෙන ලොකුම ළනුව 17වනදා තමා ජනාධිපතිවන බවය. මේ වනාහී ශ්‍රී ලංකාවේ මැතිවරණ දේශපාලනයේ ඛේදවාචකය යි. එනම් ඇත්ත කීමට බයවීම යි.

අඩුම වශයෙන් ජාතික ජන බලවේගයේ සියයට 75ක් පිරවෙනු ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද වලිනි. ජනතා විමුක්ති පෙරමුණේ මතවාදී පදනම මුල පටන්ම ජාතිකවාදි වූ අතර 1983න් පසු යුදවාදී සහ සිංහල ජාතිවාදී අදහස්වලින් ද එය පිරී ගියේ ය. 2005 ජනාධිපතිවරණයේ දී එය මහින්ද රාජපක්ෂගේ් යුදවාදී දේශපාලනයේ කසකරුවා බවට පත් විය. පසුගිය වසර කිහිපය පුරා ක්‍රමයෙන් එකි සිංහල අන්තවාදයෙන් මිදීමට ජවිපෙ උත්සාහ ගත්ත ද එහි බිම් මටිටමේ සාමාජික සාමාජිකාවන් කොතරම් දුරට එම අන්තාවාදී අදහස් වලින් මිදී සිටිනවා දැ යි කීම දුෂ්කරය.

ජාතික ජන බලවේගය ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයට අඩු බහුතර ඡන්දකින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුවහොත් සහ එහි දෙවන මනාප ගෝඨාභයට විරුද්ධව පාවිච්චි වී නොතිබුණ හොත් ජාතික ජන බලවේගය දුෂ්කර දේශපාලන අඩිියකට වැටෙනවා ඇත.

සති අන්ත ඉංග්‍රිසි පුවත්පතකට ලියමින් ජයදේව උයන්ගොඩ තර්කකර තිබුණේ ජාතික ජන බලවේගය සහ මහේෂ් සේනානායක ඡන්ද සියයට 5ක් ලබා ගතහොත් ප්‍රජාතන්ත්‍රවාදයට සතුරු අපේක්ෂකයා ජය ගනු ඇති බවයි. මෙම මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදය සහ ඒකාධිපතිවාදය අතර සටනක් බව කියන ඔහු රාජපක්ෂවරුන්ගේ පාලනය නව –දක්ෂිනාංශික සහ නව කොන්සවටිව් මතවාදී එකක් වනු ඇති බව යි. එය භයානක දුෂ්සංයෝගයකි.

ඒකාධිපතිවාදයේ ඉඟි දැනටමත් පැතිරෙයි. තිදෙනෙකුට මරණ තර්ජනය. 17වන දිනම තමා අගමැතිවන බවට රාජපක්ෂගේ ප්‍රකාශය කියන්නේ ව්‍යාවස්ථාව නොසළකන බව ය. රාජපක්ෂ ජනාධිපතිවරණ ප්‍රචාරය එන්න එන්නම අන්ත සිංහල ජාතිකවාදය සහ යුද්ධ උන්මාදය කරා ඇදී යයි.

සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය තුළද ඒකාධිපතිවාදයක සෙවැනැල්ලක් තිබේ. ඔහුගේ පියා වූ ජනාධිපති ප්‍රේමදාස නීතියේ පාලනයට ගරු කළේ නැත. ඔහුගේ පාලනය තුල අර්ධඒකාධිපතිත්වයක යක්ෂාරෑඩය තිබුණි. සජිත්ගේ ඒකාධිපති ආසාව තුලනය කළ හැකි බලවේග නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තුළ තවමත් තිබේ. රාජපක්ෂ කදවුරෙ එකාවන්ව පවුල් බලය සහ ඒකාධිපති පාලනයකට බරය.

අපි මුහුණ දෙන අභියෝගය මෙය යි. ප්‍රේමදාසගේ දේශපාලනයට ඈදෙන්නේ නැතිව, රාජපක්ෂවරුන්ගේ ඒකාධිපති වියරුව පරදවන්නේ කෙසේ ද යන්න යි. තමන් ජනාධිපති වී ගෝටා පරදවන බවට දවල් හීන නොපෙන්වා මෙම ප්‍රශ්ණයට යථාර්තවාදී පිළිතුරක් සැපයීම මත, ජාතික ජන බලවේගයේ අනාගතය රදා පවතී. එය මහම උභතෝකෝටිකයකි.

යහපාලන සංධානය බලයට සහ දූෂණයට වහ වැටී කොට කා කොට ගන්නේ නැතිව සිය පොරොන්දුවලින් වැඩි කොටසක් ඉටු කර තිබුණේ නම් මෙම ඒකාධිපති වියරුව ලෙහෙසියෙන්ම පරදවන්නටත් සිරිසේනට දෙවැනි වතාවටත් ජනාධිපති සටන ජය ගන්නටත් තිබූණි. 2018 පලාත් පාලන ඡන්දයේ දී පොදු ජන පෙරමුණ නොහොත් රාජපක්ෂවරුන් ලබා ගත්තේ ප්‍රකාශිත ඡන්ද වලින් 40.47%ක් පමණි. රාජපක්ෂවාදී දෙමළ කණ්ඩායම් 1.5% ලබා ගත්තේ ය. එජාපය 29.42%ක් ලබා ගත් අතර ශ්‍රිලනිපය නොහොත් සිරිසේන පිළ 12.10% ක් ජවිපෙ 5.75% ද දෙමළ සන්ධානය 2.73%ක් ද එජාප හිතවාදී මුස්ලිම් පක්ෂ 1‍.5%ක් ලබා ගත්තේ ය. 2015 ජනාධිපතිවරණයෙහි පැවැති යහපාලන සන්ධානය 2018 පලාත් පාලන මැතිවරණයේ දී ප්‍රකාශිත ජන්දවලින් සියයට 55% තරම් ලබා ගත්තේ ය‍.

සිරිසේනගේ ඔක්තෝම්බර් කුමන්ත්‍රණයෙන් පසු ඒ වන විටත් කුණු වී තිබූ සිරිසේනවික්‍රමසිංහ සන්ධානය නැති භංගස්ථාන විය. එනයින් බැලු කළ අගමැතිකම බාර ගැනීම මගින් රාජපක්ෂ කරන ලදදේ ඥානාන්විත ක්‍රියාවකි. මන්ද යත් එමගින් සිරිසේනරනිල් සන්ධානය යළි ගොඩ නැගීමට බැරි තරමටම පුපුරා ගිය හෙයිනි. එජාප ය උපායහීලිව කල්පනා කොට සිරිසේනගේ ආරධනය පිළිගෙන සජිත් ප්‍රේමදාසට අගමැතිකම බාර ගන්නට ඉඩ හැරියේ නම් තත්වය අනෙක් පැත්තට හැරෙන්නට ඉඩ තිබුණි.

මා කලින් ලිපියෙහි ද කී පරිදි මෙම ජනාධිපතිවරණයේ ජය පරාජය තීරණය වන්නේ උතුරු නැගෙනහිරදී නොව රටේ අනෙක් පෙදෙස් වලදී ය. එහිලා තීරනාත්මක සාධක දෙකක් වන්නේ ශ්‍රීලනිප සහ ජවිපෙ ජන්ද පදනම හැසිරෙන අන්දම යි. අප ගිලි ගිලී නා ගනිමින් සිටින පොරොනේදු වඩදිය මගින් නොවේ. 16වනදාට පසු මේ වඩදිය බාදිය බවට පත්ව අතුරුදහන් වනවා ඇත.

Back to Top