Sri Lanka Brief
පුවත්විවරණකොඩිය වැනීම: ජාතික කොඩි පිළිබඳ කියැවීමක් -චාර්ල්ස් පොන්නුතුරෙයි සර්වාන්

කොඩිය වැනීම: ජාතික කොඩි පිළිබඳ කියැවීමක් -චාර්ල්ස් පොන්නුතුරෙයි සර්වාන්

by

පෙරවදන:
දරුවෙකුට උපතේදී දෙමාපියන් දෙන නම, ඔවුන්ගේ හැඟීම්, ප්‍රාර්ථනා සහ ආශා නිරූපණය කරයි. රටක ජාතික කොඩි සම්බන්ධයෙන් ගත්තත්, විශේෂයෙන් රටක් නිදහස දිනා ගැනීමේදී සපයාගන්නා ජාතික කොඩි සම්බන්ධයෙන් ගත්තත් තත්වය එයමයි. එසේ වෙතත්, සමහර ජාතික කොඩි රටක ඉතිහාසයක් ඔස්සේ පරිණාමය වී තිබේ. 1801 සිට පැවතෙන බි්‍රතාන්‍යයේ ‘යූනියන් ජැක්’ කොඩිය ඊට උදාහරණයකි. එම කොඩියෙන්, එංගලන්තය, ස්කෝට්ලන්තය සහ අයර්ලන්තය නිරූපණය කෙරේ. ‘කොඩිය වැනීම’ යන යෙදුමට විවිධ අර්ථකථන තිබේ. ‘හැඟීම්වලට හිතාමතාම ඇමතීමෙන් ගැඹුරු ජාතික හැඟීම් ජනනය කැරැවීම’, ‘රටක් කෙරෙහි වන හැඟීම් හඬනගා හෝ අතිශයෝක්තියට නගා ප්‍රකාශයට පත්කිරීම’, ‘විටෙක හමුදාමය අභිලාෂද පෙරදැරිව, රටක් කෙරෙහි වන ප්‍රබල හැඟීම් පළකිරීම’ ආදිය ඉන් සමහරකි. (පෙරවදන අවසන්)

එක්සත් ජාතීන්ගේ සංගමය මගින් පිළිගත් ලෝකයේ ජාතික කොඩි ගැන මෑතකදී පළකළ පොතක් මා ළඟ තිබේ. හරියටම ඒ කොඩි සංඛ්‍යාව ගැන මතභේද තිබිය හැකිය. උදාහරණයක් වශයෙන්, වතිකානුවේ කොඩිය ජාතික කොඩි ගණනට ඇතුළත් කරන්නේද? කෙසේ වෙතත්, මේ පොතේ ජාතික කොඩි 196 ක් ගැන සඳහන් වෙයි. එයින් හතරෙන් පංගුවක් සමන්විත වන්නේ විවිධ වර්ණවලිනි. ඔස්ටි්‍රයාව, බෙල්ජියම, කොලොම්බියාව, ඉක්වදෝරය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඉතාලිය, නෙදර්ලන්තය, නයිජීරියාව, රුසියාව, පෝලන්තය, තායිලන්තය සහ තවත් රටවල ජාතික කොඩි ඒ ගණයට වැටෙයි. ඉන්දියානු කොඩියටත් පාට තුනක් තිබේ: ඝන කහ, සුදු සහ කොළ. එහෙත් ඒ මධ්‍යයේ ගරාදි 24 ක් සහිත ‘අශෝක චක්‍රයක්’ ද තිබේ.

මෙවැනි වර්ණ සමග මෝස්තරයක් හෝ වෙනත් යමක් ඇතුළත් තවත් ජාතික කොඩිද තිබේ. කැනඩාවේ ජාතික කොඩියේ, දෙපැත්තේ රතු තීරු දෙකක් මැදින් සුදු තීරුවක් ඇත. ඒ මැදින් අග්ගිස් 11 ක් සහිත මේපල් කොළයකි. ජපාන කොඩිය සුදු ය. ඒ මැද්දේ, නැගෙන හිරුගේ දේශය සංකේතවත් කෙරෙන, රතු බෝලයකි. ඊශ්‍රායල් කොඩියත්, තිරස් අතට ගිය නිල්පාට තීරු දෙකක් සහිත විශාල සුදු මැද තීරුවකින් සමන්විතයි. යුදෙව් යාච්ඤා සාළුව, නිල් පාට තීරු දෙකෙන් නිරූපණය කෙරෙන අතර, මැද සුදු අවකාශය මැද්දේ ‘දාවිත් තරුව’ පිහිටා ඇත. ආර්ජන්ටිනාවේ ජාතික කොඩිය වර්ණ තුනකින් සමන්විතයි. නිල්, සුදු සහ නිල් වශයෙනි. එහෙත් ඒ මැද්දේ හිරු (නිදහසේ?) පිහිටා තිබේ.

ක්‍රිස්තියානි බහුතරයක් වෙසෙන ඩෙන්මාර්කය, පින්ලන්තය, ග්‍රීසිය, අයිස්ලන්තය සහ ස්විට්සර්ලන්තය වැනි රටවල ජාතික කොඩිවල කුරුසයක් ද තිබේ. ඩෙන්මාර්ක කොඩියේ රතු පසුබිමේ සිරස් අතට යන සුදු කුරුසයක් තිබේ. පින්ලන්තයේ සුදු පසුබිමේ නිල් කුරුසයකි. අයිස්ලන්තයේ, නිල් පසුබිම මැද්දේ අභ්‍යන්තර සුදු පසුබිමක, තිරස් රතු කුරුසයකි. ග්‍රීසියේ සහ ස්විට්සර්ලන්තයේ ජාතික කොඩිවලද කුරුසය දැකගත හැකිය. ඒ කුරුසය එක්තරා දුරකට කඩුවකටත් සමාන වන බව ඇත්ත. එය, ක්‍රිස්තියානිය වෙනුවෙන් සටන් කිරීම සඳහා වන සූදානමක සංකේතයක් වශයෙන්ද තේරුම්ගත හැකිය.

මුස්ලිම් බහුතරයක් ජීවත් වන රටවල ජාතික කොඩිවල ඉස්ලාම් දහමට සම්බන්ධ කොළ පාට දැකිය හැකිය. ඒ සමගම අඩසඳ රූපයත් තිබේ. කොළ පාටින් පාරාදීසය සංකේතවත් කෙරෙන අතර මහම්මත්තුමාගේ ප්‍රියතම වර්ණයද එය වෙයි. එතුමා වැඩිපුර ඇන්දේ එම වර්ණයේ ඇඳුම් ය. එහෙත් වැඩිම මුස්ලිම් ජනගහනයක් වෙසෙන ඉන්දුනීසියාවේ තත්වය වෙනස් ය. ඔවුන්ගේ ජාතික කොඩිය, රතු සහ සුදු පාටින් යුත් පුළුල් තීරු දෙකකින් සමන්විතයි. ඊජිප්තු ජාතික කොඩියේද කොළ පාට නැත. එහි ඇත්තේ රතු, සුදු සහ කළු වර්ණවලින් යුත් තිරස් අතට විහිදෙන තීරු තුනකි. ඒ සමග, සලා උඞ් ඩීන් ගේ රාජාලි ලාංඡනයත් ඒ මැද්දේ තිබේ. ඉරාක කොඩියේත් කොළ පාට නැති අතර එහි ඇත්තේ රතු, සුදු සහ කළු තීරු තුනකි. එහෙත් ඇල්ජීරියාව සහ පාකිස්ථානය වැනි මුස්ලිම් බහුතරයක් වෙසෙන වෙනත් රටවල කොඩි තුළ කොළ පාට තිබේ. ඉස්ලාම් ආගමේ ශුද්ධ වූ පූජාබිම් දෙකේ භාරකාර රට වන සෞදි අරාබියේ ජාතික කොඩිය තනිකර කොළ පාට ය. කොඩිය මැද්දේ ඉස්ලාම් ඇදහීම පිළිබඳ හේතුපාඨයක් සහ ඊට යටින් කඩුවක් තිබේ.

මෙසේ පොදු වර්ගීකරණයකට ගත නොහැකි ජාතික කොඩි ද තිබේ. මොසැම්බික් රටේ ජාතික කොඩියේ, ඒ.කේ.47 රයිපලයක්, බයිනෙත්තුවක් සහ ඒ හරහා යන කෙටේරියක් තිබේ. මාක්ස්වාදයේ ‘මිටිය සහ දෑකැත්තට’ එය තරමක් සමානයි. භූතාන කොඩියේ පාරිශුද්ධත්වය නිරූපණය කරන සුදු පාට මකරෙක් සිටී. මෙක්සිකානු ජාතික කොඩියේ, සර්පයෙකු හොටෙන් රැගෙන යන රාජාලියෙක් සිටී. ඇල්බේනියානු ජාතික කොඩියේ, රතු පසුබිමේ කළු පාට, ඔළු දෙකක් සහිත රාජාලියෙක් සිටී. ඇල්බේනියානු ජාතිකයන්ගේ ආදිතමයා රාජාලියෙකු බවට ජනකතාවේ කියැවේ. ඒ ආකාරයෙන්ම, සිංහල බෞද්ධයන්ගේ සොඳුරු මිථ්‍යා විශ්වාසයට අනුව, සිංහලයා පැවත එන්නේද තිරිසනෙකුගෙනි. වැඩි වශයෙන් කිවහොත්, සිංහයෙකුගේ සහ මිනිස් ගැහැනියකගේ ලිංගික සංයෝගයක ප්‍රතිඵලයක් වශයෙනි. (පශු මෛථුන්‍යය යනු අති ඝෝර සහ ජුගුප්සාජනක සිද්ධියකි). ඊට අමතරව, සිංහලයාගේ ප්‍රභවයට, එකී පශු මෛථුන්‍යයට අමතරව, පීතෘ ඝාතනයත් ඇතුළත් වෙයි. ඒ, සිංහයාව උගේ මිනිස් පුත්‍රයා විසින්ම ඝාතනය කරන බැවිනි. (ජනකතාවට අනුව, පුතා විදින පළමු හීයෙන් සිංහ පියාට තුවාල නොවේ. හේතුව, පුතා කෙරෙහි සිංහ පියා තුළ ඇති දාරක ආදරයයි. දෙවැනි වරටත් හීය විදින විට සිංහ පියා තුළ කෝපය හටගනී. පුතාගේ හීයේ ගොදුර බවට සිංහ පියා පත්වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මෙය මා දකින්නේ, කෝපය විසින් ඇති කරනු ලබන ස්වයං-අනර්ථය පිළිබඳ උපමා කතාවක් වශයෙනි).

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සරල එකක් නොවේ. එය විස්තර කෙරෙන්නේ, රන්වන් සිංහයෙක්, දුඹුරට හුරු රතු පසුබිමක, උගේ ඉදිරිපස දකුණු කකුලේ නියෙන් කඩුවක් දරාගෙන සිටින, හතර කොණේ රන් බෝ පත් හතරක් සහිත කොඩියක් වශයෙනි. (බෝධි යනු සම්බෝධියයි). ඒ වටේ රන්වන් තීරුවක් වෙයි. ඊට වම් පසින්, කොළ පාට සහ තැඹිලි පාට සමාන ප්‍රමාණයේ සිරස් තීරු දෙකක් තිබේ. සිංහයා සහ පසුබිමේ දුඹුරු-රතු වර්ණය, සිංහලයා නියෝජනය කරන අතර, කහ තීරුව සහ බෝ කොළ, බුද්ධාගම සහ චතුරාර්ය සත්‍යය නියෝජනය කරයි. දුඹුරු තීරුව දෙමළ ජනතාවත්, කොළ පාට තීරුව ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාවත් නියෝජනය කරයි.

ධර්මය සහ ආගම අතර ඇති පැහැදිලි වෙනස අවබෝධ කර ගැනීම මෙහිදී අතිශයින් වැදගත් ය. ආගම යනු, විවිධ අභිචාර, සමාචාර, ධූරාවලි, ජනශ්‍රැති සහ මිථ්‍යා විශ්වාස සහිතව කෙනෙකු අදහන සහ සැබෑ ජීවිතයේදී ප්‍රකාශයට පත්කරනු ලබන දෙයකි. ධර්මයට ඇත්තේ, දිව්‍යමය හෝ අර්ධ-දිව්‍යමය ප්‍රභවයකි. එසේත් නැතහොත්, උත්කෘෂ්ට හෝ අති විශිෂ්ට පුද්ගලයෙකුගෙන් උපන් ධර්මයක් වශයෙන් එය සැලකිය හැක. මෙය සරලව ගතහොත්, ධර්මය දිව්‍යමය වන අතර, ආගම යනු මිනිස් ගොඩනැංවීමක් යැයි කිව හැකිය. ඇත්ත වශයෙන්ම කෙනෙකු සැබවින් අදහන ආගම, ධර්මය යන්නට සපුරා ප්‍රතිවිරුද්ධ දෙයක් විය හැකිය. ශ්‍රී ලංකාවේ බෞද්ධයෝ මේ රට ‘ධර්ම ද්වීපයක්’ වශයෙන් ගනිති. එනම්, බුදුන්ගේ ධර්මය සංරක්ෂණය වී ඇති ස්ථානය වශයෙනි. එහෙත් එම ධර්මය ආගමක් වශයෙන් ඒ රටේ ප්‍රකාශයට පත්වන්නේ කෙසේද? එසේ වන්නේ බලහත්කාරයෙන්ද, පැටවීමෙන්ද? නැතහොත්, පිරිත්, යාච්ඤා සහ පෙරහැර ආදියෙන් සමන්විත බෞද්ධ ව්‍යුහයන් මාර්ගයෙන්ද? එසේ නම්, බුද්ධාගම යනු බුද්ධ ධර්මය උල්ලංඝණය කිරීමක් නොවන්නේද?

ලෝකයා බුද්ධ ධර්මය හඳුනාගන්නේ, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ආදියත්, දාර්ශනික විරාගය, ස්වයං-විනය සහ අතහැරීම වැනි උත්තුංග සාධු ධර්මතාවනුත් ඇතුළත් දර්ශනයක් වශයෙනි. බෞද්ධයෙකු නොවුණත් මා බුද්ධ ධර්මය සලකන්නේ, අඥේයවාදී සහ පුද්ගල වගකීම පිළිබඳ සාංදෘෂ්ටිකවාදී අදහස්වලින් සමන්විත, ලෝකයේ ඇති වඩාත් ප්‍රඥාවන්ත සහ නිවුණු ධර්මය වශයෙනි. ශ්‍රී ලංකාව බුද්ධාගමේ ප්‍රධාන බලකොටුව වශයෙන් බොහෝ දෙනා උඩ දමන නිසා, රටක් වශයෙන් අපව සංකේතවත් කෙරෙන ප්‍රධාන මුද්‍රාව දෙස ලෝකයා බලනු ඇත. එනම්, ජාතික කොඩිය දෙස ය. එහෙත් අවාසනාවකට, බෞද්ධ දර්ශනය එහි නැති ගානයි. කොඩිය පුරා රජයන්නේ, කට ඇරගෙන සිටින සිංහයෙකි. ඒ මදිවාට, තර්ජනය තවත් තීව්‍ර කරමින් ඌ එක අණ්ඩකින් කඩුවක්ද දරා සිටියි. බුද්ධාගම වැනි ආගමක් අදහන රටක කොඩියක් තුළින් කෙනෙකු බලාපොරොත්තු වන්නේ, සාමකාමී, ඊටත් වඩා, ප්‍රශාන්ත භාවයකි. එහෙත් අපේ කොඩියේ තනිකරම ඇත්තේ, බලය සහ ආටෝපයයි (රන් වර්ණය). බලය සහ ආධිපත්‍යයි. ආක්‍රමණකාරීත්වය සහ ප්‍රචණ්ඩත්වයයි. කොටින් කිවහොත්, බුදුන් වහන්සේ පිලිකුළෙන් ප්‍රතික්ෂේප කළ සියල්ල එහි තිබේ. එය, ආගමක් අනර්ථදායී ලෙස දේශපාලනීකරණය වීමටත් නිදර්ශනයකි. කාල් මාක්ස් එක්තරා සන්දර්භයක් තුළ මෙසේ කියා තිබේ: මාක්ස්වාදය යනු මෙය නම්, මම මාක්ස්වාදියෙකු නොවෙමි. ක්‍රිස්තුස් වහන්සේද එසේ කියනු ඇතැයි කෙනෙකුට සිතිය හැකිය. ‘පරම කරුණාවේ ප්‍රතිමූර්තිය’ වූ බුදුන් වහන්සේත්, බුද්ධාගම යනු මෙය නම් මම බෞද්ධයෙකු නොවෙමි යැයි කියනු ඇත. කෙනෙකු සමහරවිට (අවංකව හෝ වංකව) ඓතිහාසික සහ දාර්ශනික ආකාරයකින් ජාතික ධජය අර්ථ දැක්වීමට උත්සාහ කළ හැකිය. ඒ අනුව, සිංහයාගේ වලිගයේ දක්නට ලැබෙන කේශර අට, ආර්යඅෂ්ඨාංගික මාර්ගය නිරූපණය කරතියි පෙන්වා දෙනු ඇත. එහෙත්, බුදුන් වහන්සේගේ ආර්යඅෂ්ඨාංගික මාර්ගය නිරූපණය කිරීමට සිංහයෙකුගේ වලිගයක් තෝරාගත්තේ මන්ද යන පැනය තවත් කෙනෙකු තුළ ඇති විය හැකිය.

ඒ කෙසේ වෙතත්, සිංහලයන් නොවන, වැඩියත්ම සිංහල-බෞද්ධයන් නොවන කෙනෙකු මෙය දකිනු ඇත්තේ කෙසේද? ඊට පිළිතුරක් වශයෙන්, ප්‍රදීප් ජෙගනාදන්ගේ ‘වෝටර්ස් එජ් හිදී’ නමැති කෙටිකතා සංග්‍රහයේ ‘ඉදිරි පේළිය’ කෙටිකතාවට හැරෙමි. මෙය මගේ “ශ්‍රී ලංකාව: සාහිත්‍ය රචනා සහ කටුසටහන්” නමැති කෘතියෙන් උපුටා ගැනීමකි. (පිටුව: 151): ‘ආධ්‍යාත්මිකව’ දුර්වල අඩියක හුදෙකලා වී සිටින දරුවාට, පංතියේ ඉදිරිපස එල්ලා ඇති කොඩිය, ප්‍රචණ්ඩත්වය සහ ක්‍රෑරත්වයේ තර්ජනය කියාපායි. ‘රුදුරු’ සිංහයෙක්, ‘ලේ රතු රෙද්දක්’, ‘නග්න අසිපතක්’.. අඩු බරකින් සහ අනියම් ආකාරයෙන් එහි කියැවෙන පරිදි, කොඩිය දෙස ඇස ගසාගෙන සිටි ක්‍රිෂ්ණා හිත එකලස් කරගැනීමට බැලුවේය. ඒ දෙස බලන තරමට ඔහුගේ ඇදුම රෝගය පෙරට වඩා වැඩියෙන් උත්සන්න වන බව ඔහුට හැඟුණු සැටියක් අපට කියැවෙයි.

‘පාරාදීස දීපයේ’ අන්ත දූෂණය (විශේෂයෙන් සමාජයේ ඉහළම තැන්වල) සහ වාර්ගික සහ දේශපාලනික හිංසනය පිරී තිබේ. මහජන අවකාශයේත්, පුද්ගල අවකාශයේත් ඒ හිංසනය දැකිය හැකිය. උදාහරණයක් වශයෙන්, ‘ශ්‍රී ලංකාවේ හිංසනයේ දීර්ඝ ඉතිහාසය ගැන (නිව්යෝර්ක් ටයිම්ස්- 21 අප්‍රේල් 2019) සහ ‘ශ්‍රී ලංකාවේ වධ හිංසාව ආයතනගතව ඇත්තේ කෙසේද’ (ද ඩිප්ලොමැට්- 20 සැප්තැම්බර් 2019) බලන්න. එයින් එක් උපුටා ගැනීමක් මෙසේ ය: “වධ හිංසාව ශ්‍රී ලංකාවේ ආයතනගතව ඇත්තේ කෙසේද යන්න, ‘ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතිය’ මගින් ප්‍රකාශිත පිටු 68 කින් සමන්විත වාර්තාව පෙන්වා දෙයි. එය, 1978 ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ ලංකාවේ එක දිගටම භාවිත කිරීම හරහා සෘජුව ඇති කරනු ලැබූ තත්වයක් බව එම වාර්තාව කියා සිටී. එම වාර්තාව ‘ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම’ විසින් 1984 දී හඳුන්වන ලද්දේ ‘ශිෂ්ට සම්පන්න රටක ව්‍යවස්ථාවලියක් තුළ දැකගත හැකි අශෝභන කැළලක්’ වශයෙනි.. වධ හිංසා පමුණුවා ලබාගන්නා ‘පාපොච්චාරණයක්’ එම පනත යටතේ සාක්ෂියක් වශයෙන් පිළිගනු ලැබේ.”

අවසානයේ හැරී බලන විට, ශ්‍රී ලංකාවේ ජාතික ධජය, අවාසනාවන්ත ලෙස, ඊට උචිත භාවයක් අත්පත් කරගෙන තිබේ. ලෝකයේ රටවල් 196 ක ජාතික ධජ අතරින් වඩාත් ආක්‍රමණශීලී සහ වඩාත් හිංසාකාරී ධජය බවට පත්වීමේ ආඩම්බරය ‘ධර්ම ද්වීපයට’ තිබේ.

2019 සැප්තැම්බර් 24 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Waving the Flag: A Reading of National Flags නමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top