Sri Lanka Brief
පුවත්විවරණසංස්කෘතිය, ප්‍රජාතන්ත්‍රවාදය, නව ලිබරල් වාදය, ලිබරල්වාදය සහ වම.- රංජිත් හේනායකආරච්චි

සංස්කෘතිය, ප්‍රජාතන්ත්‍රවාදය, නව ලිබරල් වාදය, ලිබරල්වාදය සහ වම.- රංජිත් හේනායකආරච්චි

by

 

සෑම සමාජ සංස්කෘතියක් තුළම ඉදිරිගාමී සහ පසුගාමී සංස්කෘතික ලක්ෂණ ගැබ්ව ඇත. සෑම විටම, එසේ නැත්නම් නිරන්තරයෙන්ම මේ දෙක අතර පවතින්නේ අරගලයකි. මෙම ඉදිරිගාමී සහ පසුගාමීත්වය අතර අරගලයෙන් වරක ඉදිරිගාමීත්වයත් වරෙක පසුගාමීත්වයත් සමජයේ වැජඹෙන පිලිබිඹුව ලෙස මතුව පෙනෙන නමුත් අවසාන විග්‍රහයේදී ඉදිරිගාමීබව ජයගී. සමාජ සංවර්ධනය ලෙස හැඳින්වෙනුයේ මෙම ක්‍රියාදාමයට ය.

ඉදිරිගාමී දේශපාලනය විසින් සමාජය ඉදිරියට ගමන් කරවීම ශක්තිමත් කිරීමට කළ යුතු වන්නේ මෙම සංස්කෘතික ලක්ෂණ වල තිබෙන ඉදිරිගාමී සංස්කෘතික ලක්ෂණයන් වෙනුවෙන් පෙනීසිටීමයි. සමාජය ඉදිරියට ගමන් කිරීමට එරෙහි වන පසුගාමී කොටස් සෑමවිටකම අල්ලා ගන්නා ප්‍රධානම ලක්ෂයන් වන්නේ මේ පසුගාමී සංස්කෘතික කාරණයන්ය. ඔවුන් තම දේශපාලන පසුගාමීබව වසාගැනීමේ කඩතුරාව ලෙස මෙම පසුගාමී සංස්කෘතිය ගෙනහැරපායි. එනිසාවෙන් දේශපාලන තර්කයන් හිදී සංස්කෘතිය යන කාරණය යොදාගන්නා දේශපාලනය ගැන අප පරිස්සම් විය යුතුය.

සංස්කෘතියේ එල්ලීම

මෙහිදී ප්‍රධානම කාරනයක් වන්නේ, සංස්කෘතිය යන්න එක තැන පවතින දෙයක් නොව පවතින සමාජ තත්ත්වයන්, ආර්ථික තත්වයන් සමග සමාජය තුල වෙනස් වෙමින් ගමන් කරන ක්‍රියාදාමයන් පද්ධතියක් බවයි. නමුත් පසුගාමී මිනිසුන් සෑම විටම මෙම කාරණයේදී අල්ලා ගනු ලබන්නේ ඕනෑම සංස්කෘතියක තිබෙන මෙම පසුගාමී ලක්ෂණ ටික පමණි. ඒවා හුවා දක්වමින් ඒවා උලුප්පා පෙන්වමින් අපේ රටට, අපේ ජනතාවට මේ අලුතින් එන දේශපාලන මත සහ ක්‍රියාදාමයන් නොගැලපේ යන්න සහතික කිරීමට ඔවුන් උත්සාහ කරන්නේ “අපේ සංස්කෘතියට මේව ගැලපෙන්නෙ නෑ” කියමිනි. නැතිනම් “අපේ සංස්කෘතිය විනාශ වේවි” කියමිනි. කිසියම්ම සංස්කෘතියක් විනාශ නොවන අතර ඒවා ඒ ඒ අවදීන්ට අනුව පෝෂනය වෙමින් ඉදිරියට ගමන් කරයි. එසේ යන ගමනේදී යල්පැනගිය පසුගාමී දේ ඉවත ලෑමද එයටම අයත් ලක්ෂනයකි. අන් සංස්කෘතීන් සමග මිශ්‍රවී පෝෂනය නොවන සංස්කෘතීන් එකතැන පල්වී අභාවයට යයි. සමාජ සංවර්නධයේදී අනෙකුත් ජන හා සජස්කෘතීන් සමග මිශ්‍ර නොවුන ජන කන්ඩායම් පසුගාමීත්වය තුල ගිලී ක්‍රමයෙන් අභාවයට යයි. ලොව බොහෝ ආදිවාසි ජන කන්ඩායම් මෙම ඉරණමට ගොදුරු වී ඇති බව අප දනිමු.

අපේ සංස්කෘතියට මේව ගැලපෙන්නෙ නෑ: යන පාඨයට මුවා වන අයගේ මේ කියමන කොතරම් සාවද්‍යද? මේ කාරණය පිළිබඳව සිතා බැලීමට පොඩ්ඩක් ඉතිහාසයට ගොස් බලන්න. අප හොඳින් දන්නා පරිදි ඈත අතීතයේ මිනිසුන් හම්කෑල්ලකින් විලිවසා ගනු ලැබුණි. පිරිමින් අමුඩය පමනක් ගසාගෙන සිටි අතර ඉන වටා පමණක් රෙදි කඩක් ඇඳගෙන විශේෂයෙන්ම ගැහැණු අය තමන්ගේ දෙතන එළියේ දමාගෙන ජීවත් වුණි. එදා සංස්කෘතියට අනුව එදා පැවතුනු සමාජ ආර්ථික තත්වයට අනුව එය කාට හෝ ප්‍රශ්නයක් නොවීය. නමුත් අද සිතා බලන්න, එදා සංස්කෘතිය මේ විදියයි කියා අපි ආපස්සට ගොස් අද ලංකා සමාජයේ සිටින තරුණියෝ රෙදිකඩක් පමණක් ඇඳගෙන තන් දෙක එළියේ දමාගෙන සිටියොත් ඇති වන තත්ත්වය කුමක්ද? එනිසාම සංස්කෘතිය යන්න ඒ ඒ අවධීන් වල ඒ ඒ තත්ත්වයන්ට අනුව වෙනස් වෙමින් ඉදිරියට ගමන් කරන ක්‍රියාදාම පද්ධතියක් මිස සදා නිමවූ නොවෙනස්ව පවතින සංසිද්ධි පද්දතියක් නොවේ.

සංස්කෘතිය ‌නොවේ නිවැරදි ‌දේ ‌වෙනුවෙන්  

බොහෝ වමේ කන්ඩායම් පවා මෙම සංස්කෘතිය යන්න ඉදිරියට දමමින් සැබෑ දේශපාලන ක්‍රියාදාමයන්හි නිරත වීමට මැලිවෙති. අප රට බහු සංස්කෘතික බහු වාර්ගික රටකි යන්න කීමට පවා සමහරු බියවෙති. පසුගාමී සංස්කෘතික දේ ඉවතදමා අලුත් ජීවන රටාවන් හඳුන්වා දී සමාජ ඉදිරිගමනට මඟ පෙන්වීම ඉදිරිගාමී දේශපාලනයේ කාර්ය්‍ය මිස පසුගාමී සංස්කෘතිය තුල ගිලී සමාජය එතුල පල්වීමට ඉඩහැරීම ඉදිරිගාමී දේශපාලනය නොවේ. එනිසා වම බිය නොමැතිව නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටිය යුතුය.

රට කාගෙද?

අප දන්නා පරිදි ලංකා ඉතිහාසයේ විවිධ ජන කණ්ඩායම් සමග ලංකා ජනතාව මිශ්‍ර වී ඇති බව නොරහසකි. ඉන්දියාවෙන් වරින් වර පැමිණි ජන කණ්ඩායම් සමග, ඒවා අරාබියෙන් හෝ මැලේසියාව, ඉන්දුනීසියාව හෝ ජාවා දූපත් වලින් පැමිණි ජන කොටස් අපේ රටේ සමාජයේ කොටස් බවට පත්වී ඇත. පෘතුගීසීන්ගෙන්, ලන්දේසින්ගෙන්, ඉංග්‍රීසින්ගෙන් ආදී මෙකී නොකී විවිධ ජන කණ්ඩායම් සමග මිශ්‍ර වූ ජන සමාජයක් අපට පවතින අතර ආගමික හා වෙනත් චාරිත්‍ර වාරිත්‍ර මිශ්‍ර වූ සමාජයක අපි ජීවත් වෙමු.

අද ‌දේශප්‍රේමී සිංහල බෞද්ධයන් යැයි කියාගන්නා එක්තරා කණ්ඩායමක් මෙම රට අයිති වන්නේ සිංහල බෞද්ධයාට පමණයි, අපේ සංස්කෘතිය සුපිරිසිදු යයි නන්දොඩති. පිටින් එන අනිකුත් සියලුම සංස්කෘතීන්ගෙන් අපේ සංස්කෘතිය ආරක්ෂා කර ගත යුතු යැයි කියමින් හඬ තලති. නමුත් අප හොඳින් දන්නා පරිදි අප රට තුළ තිබෙන සියලුම සංස්කෘතික ලක්ෂනයන් සකස් වී ඇත්තේ විවිධ ජන කණ්ඩායම් වල සහ ආගමික කණ්ඩායම් වල සම්මිශ්‍රණයක් තුළින් බව සහතිකය. අපේ භාෂාවේ කොතරම් වචන දෙමළ, සංස්කෘත, පුතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, අරාබි, ආදී විවිද භාෂාවලින් උකහාගෙන තිබේද? මේවායින් එම විවිද දේ එකතුකර නොගත්තානම් අප සංස්කෘතිය කොතරම් දුප්පත්ද? ඒ නිසා සුපිරිසිදු නොමිශ්‍ර සංස්කෘතීන් නොමැති අතර සෑම සංස්කෘතියක්ම මනුස්ස සංහතියේ ජීවන රටාවකි.

වමේ දේශපාලනය ‍සහ ප්‍රජාතන්ත්‍රවාදය

ප්‍රජාතන්ත්‍රවාදය යන චනය පිළිබඳව සහ එම ක්‍රියාදාමය පිළිබඳව ලංකා සමාජය තුල කතා කරනවා වුවත් බොහෝ දෙනකුට ඒ පිළිබඳව ඇති වැටහීම ඉතා අල්පබව පැහැදිලිව පෙනේ. ප්‍රජාතන්ත්‍රවාදී උවමනාවන්, මෙහිදී මා අදහස් කරන්නේ ‍ප්‍රජාතන්ත්‍රවාදය සමග බැඳුණු නිදහස්වාදී (ලිබරල්) වුමනාවන්, සහ අයිතීන් පිළිබඳව ලංකා සමාජ‌යේ බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ, වටහාගන්නේ තම සමාජය තුළ ඒ ක්‍රියාදාමය භාවිතාවේ යෙදෙන ප්‍රමානය අනුවයි. එහි දේශපාලනය තුළ එය ක්‍රියාත්මක වන භාවිතාවේ ප්‍රමාණය අනුවයි. ඊට එහා ගිය රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් ගැන පොතපතින් කියවූවා වුවත්, දේශපාලනික මත වශයෙන් ඒවා තේරුම් ගෙන සිටියා වුවත්, බාවිතාව පිළිබඳ කාරණයේදී බොහෝ දෙනකු වටහා ගන්නේ රට තුළ ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදය යන වැඩපිලිවෙලේ ප්‍රමානය තුලම සිරවෙමිනි.

වමේ කණ්ඩායම් විසින් මෙම ප්‍රජාතන්ත්‍රවාදය හැඳින්වීමේදී, නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය නම් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, වෙනුවට වචනය වශයෙන්ම පාවිච්චි කරන්නේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙනි. එයට හේතු ඉතිහාසය තුළ ධනේශ්වර ක්‍රමය වර්ධනය, වැටුප් ශ්‍රමිකයා බිහිවීම, ප්‍රවේණි දාසයා නිදහස් මිනිසකු වීමත් ආදී කරුනු ඇතුලත් වන කාරනා සමගම ඇතිවන නිදහස් චින්තන ආදී බොහෝ කරුනු ආර්ථික කාරනයට පමණක් සීමා කරගෙන ඇතිකර ගන්නා සිතිවිල්ලක් තුල සිටිමින් මෙය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හඳුන්වයි. ඒ නිසා දේශපාලන වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය හා සමගාමීව නිදහස සහ අයිතීන් සඳහා ඇතිවන නැගිටීම් එතුල අමතක කර ඇත. ඇත්තෙන්ම නිදහස්වාදී මත සමාජය තුළ බිහිවන්නේ විවිධ හේතුන් එනම් ආර්ථික සංස්කෘතික, චින්තන ආදී කාරණා මුල් කරගෙනය. එකම අවධියක රාජ ආණ්ඩු පෙරළා දැමීම සඳහා අරගල කරන මිනිසුන් ඒ අවධියේම පුද්ගලයාගේ නිදහස පිළිබඳව සටන් කරයි. එනිසාම නිදහස පිළිබඳව ඇතිවන සංකල්පය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍්‍ය ක්‍රමයක පාලනයක් උදෙසා ඇතිවන අරගලයක ම තවත් කොටසක් බවට පත්වේ.

මෙසේ සිදු වන ක්‍රියාදාමය විවිධ පැතිවලින් කෙටි කර හඳුනාගෙන තිබීම ලංකා සමාජය තුල ඇති දුර්වලකමක් හෝ අඩුවක් බව මගේ වැටහීමයි. බොහෝවිට ලංකා සමාජයේ වැඩි දෙනෙකු ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හඳුනාගෙන තිබෙන්නේ ඡන්දය පාවිච්චි කිරීමෙන් පාලන බලය සඳහා නියෝජිතයින් පත්කර ගැනීමට ඇති අයිතිය පමණකි. ඒ වාගේම එය වැඩිදෙනාගේ කැමැත්ත පමනක් ලෙසද ලඝුකරගෙන ඇත. එනිසාවෙන්ම ‍ප්‍රජාතන්ත්‍රවාදය යන කාරණයේ දී එය හා බැඳී පවතින නිදහස, සමානාත්මතාවය සහ අයිතීන් යන මතවාදයන් අමතක කරනු ලබයි. අනිත් කාරණය වන්නේ විශේෂයෙන් ම බොහෝ වමේ කොටස් ලිබරල් වාදය හඳුනාගන්නේ ප්‍රතිගාමී එකක් ලෙසිනි. ඇත්තෙන්ම ලිබරල් වාදය යනු සමාජයේ ඉදිරිගාමී ම ක්‍රියාදාමකි. මෙයට ඇතුළත් වන පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍ය නැත්නම් නීතිය ඉදිරියේ හැමෝම එක හා සමානය යන්න, ආදී මිනිස් අයිතීන් තහවුරු කිරීම කිසියම් යුගයක නරක දෙයක් යැයි කාට නම් කිව හැකිද?

නව ලිබරල් වාදය සමග ලිබරල්වාදය පටලවාගැනීම

අද ප්‍රචලිත ලෙස ප්‍රචාරය වන නව ලිබරල් වාදය යන වචනය, එසේ නැත්නම් නව ලිබරල් වාදය සමග ලිබරල්වාදය පටලවාගැනීම බොහෝදෙනෙකු තුළ සිදු වන වැරැද්දක් බව මගේ වැටහීමයි. නව ලිබරල්වාදය යන වචනය ගෝලිකරණය සමාජගත කිරීමේදී ජාත්‍යන්තර ධනපති පන්තිය විසින් එයට ඇතුල් කළ වචනයකි. ඇත්ත වශයෙන්ම නව-ලිබරල්වාදය යන වචනය වෙනුවට එතනට එක්විය යුතු වූයේ “නව ‌කොන්සර්වටිවු” වාදය යන්නයි. නැතිනම් “නූතන පසුගාමී භාවය” යන්නයි. වඩා පහසුවෙන් වටහා ගැනීමට ‍ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල්වාදයේ නිදහස සමඟ, නිදහ‌සේ වර්ධනය සමඟ බටහිර රටවල ඇතිවන අයිතීන් පිළිබඳ අරගලය නිසාවෙන් ඇතිවන සීමාමායිම් දැමීම නිසා ජාතික රාජ්‍යන් තුළ කොටුවන ප්‍රාග්ධනයට එතෙක් තිබූ නිදහස අහිමි වෙයි.

විශේෂයෙන්ම අධිරාජ්‍යවාදී යුගයේදී නිදහසේ ලෝකය පුරා ගමන් කර ලෝකය සූරාකෑමට තිබූ අයිතීන් වලට පැනවෙන සීමා බැඳුම් හේතුකරගෙන එයට එරෙහිව නමුත් ඉතා සූක්ෂම ආකාරයෙන් ලිබරල් ක්‍රමයක් යන අදහස ඇතුලත් කරමින් නව ලිබරල් වාදය ලෙස ලෝකය තුළ ප්‍රාග්ධනයට සීමාමායිම් නැතුව සූරාකෑම සඳහා ගමන් කිරීමට ඇති අයිතිය ලබාගැනීමට ඇති කළ ක්‍රමය නම් නව ලිබරල් වාදයයි. නමුත් ඇත්ත තත්වය නම් මෙයින් සිදුවන්නේ ලිබරල් වාදයට එරෙහිව ඇතිකරන නව කොන්සර්වටිව් වැඩපිලිවෙල සමාජගත කිරීමයි. නමුත් බොහෝවිට යම්කිසි වචනයක් සමාජගත වූවායින් පසු එය හැම කෙනෙකුම පාවිච්චි කරන්නට ගැනීම තුළින් අවසානයේදී එම යෙදුම හඳුන්වන ප්‍රධාන වචනය ලෙස ගැනෙන තත්ත්වයකට එම වචන පත්වෙති. එතුළින් බොහෝවිට වැරදි අර්ථකථනයක් පවා සමාජගත වීමට එය හේතුවිය හැක. කෙසේ වුවත් ලිබරල්වාදය සහ නවලිබරල්වාදය යන්න අතර ඇති වෙනස අහස පොළොව මෙන් වෙනස් බව මතක තබා ගැනීම වමේ දේශපාලනයට වැදගත් ය. එසේ නොවුණොත් ප්‍රගතිශීලී දේශපාලනයක් වෙනුවට ඔවුන් නොදැනීම ප්‍රගතිශිලීත්වය ට එරෙහි දේශපාලනයක යෙදෙනු ඇත. එනිසා මෙම යෙදුම් යොදා ගන්නා විට ඒවායෙහි ඇති සැබෑ අර්ථය ඒවා පාවිච්චි වන්නේ කුමන හේතූන් මතද යන්න හරියට වටහා ගෙන මේ දේවල් පාවිච්චි කිරීම ඉදිරිගාමී දේශපාලනයකට ඉතා වැදගත්ය.

 

Back to Top