Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගශ්‍රී ලංකා දේශපාලන කලු කුහරය සහ ජනාධිපතිවරණය – සුනන්ද දේශප්‍රිය

ශ්‍රී ලංකා දේශපාලන කලු කුහරය සහ ජනාධිපතිවරණය – සුනන්ද දේශප්‍රිය

by

කලු කුහරයක් කියන්නේ අවට තියන හැමදෙයක්ම උරා ගන්න, නැත්නම් තමා දෙසට ඇදලා ගන්න පුලුවන් තරම් විශාල ගුරුත්වාකර්ශන බලයක් තියන අව්කාශයේ පවතින ස්ථානයි. මේවා කොතරම් ප්‍රභලද කියනවනන් මේවට පුලුවන් ආලෝකය පවා මෙය තුලට ඇදලා ගන්නමේ කලු කුහර වලින් ආලෝකය උරා ගැනීම නිසා අපට කවදාවත්ම මෙය දැකගැනීමට නම් නොහැකියි. මොකද අපිට වස්තුවක් දකින්න නම් එහි වැදිලා පරාවර්තනය වෙල එන ආලෝකය අවශ්‍ය වන නිසා.නමුත් මෙයින් කවදාවත් ආලෝකය පරාවර්තනයක් නම් වෙන්නේ නෑ.’ – තාරකා විද්‍යාව සිංහලෙන් නම් වෙබ් අඩවිය.

Black Hole යන ඉංග්‍රිසි යෙදුමින් හැදින්වෙන කලු කුහරයට ඇදී යන කිසිවක් ආපසු ඒන්නේ නැත. ඊටත් වඩා ආලෝකය පවා ඒ් තුලට උරා ගන්නා නිසා අපට එය දැක ගැනීමට ද නොහැක. විද්‍යාඥයින් කලු කුහර අධ්‍යනය කරන්නේ ඒ් වටා ඇති තාරකා සමූහයන් නිරීක්ෂනය කිරීම වැනි ක්‍රම මගිනි.

මෙරට දේශපාලනයේ කලු කුහරයද එවැනි ය. ඊට හසුවන කිසිවකු ආපසු එම ස්වරෑපයෙන් ඒන්නේ නැත. මෙම කලු කුහරයට හසු නොවුණූ මෙරට දේහපාලනඥයින් ඇතොත් ඒ් අතලොස්සක් පමණි.

ශ්‍රි ලංකා දේශපාලන කලු කුහරය නම් සමස්ත සමාජ දේශපාලන දේහය පුරා පැතිර ඇති වංචාව සහ දූෂණය යි.

යහපත් පරමාර්ථ ඇතිව, සාමාන්‍ය ජනයා අතුරින් පැමිණි දේශපාලනඥයින් මෙම කලු කුහරයට ඇදි ගොස් අන්ත දූෂිත සහ භීෂිත දේශපාලනඥයින් වනු අප කොතරම් නම් දැක ඇත්ද? එසේ තිබියදීත් එළෙස ඔවුන් දූෂිතයින් සහ භීෂිතයින් බවට පත් වන්නේ ඇයි දැයි අප කල්පනා කර ඇත්ද? මෙම කලු කුහරය ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සහජ ළකුණක් ද? එසේත් නැතිනම් අවකාශයේ පහළ වන්නාක් මෙන් පසු කළෙක පහළ වූ එකක් ද?

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින රාජපක්ෂ, දිසානායක සහ ප්‍රේමදාස යන තිදෙනාම ගායනා කරන තනුවක් වන්නේ තමන් දූෂිතයකු නොවන බවයි. රාජපක්ෂ නම් දූෂිතයකු බවට බොහෝ චෝදනා නැගී තිබේ. ප්‍රෙමදාසට පසුගියදා ඒක් චෝදනාවක් එල්ල විය. දිසානායකට එවැනි චෝදනාවක් තවම එල්ල වී නැති අතර පොදු වශයෙන් ගත් කල ප්‍රේමදාසට ද එවැනි චෝදනා නැත.

1994 චන්ද්‍රිකා කුමාරතුංග බලයට පත්වූයේ ද නිකැලැල් දේශපාලන චරිතයක් ලෙස ය. නමුත් ඇය වයඹ පළාත් සභා ජන්ද කොල්ලයෙන් භීෂිත ඔටුන්න පැළන්දාය. රාජ්‍ය බලයෙන් බැස යන විට දූෂණය අතින්ද ඇයට චෝදනා අඩුවක් නොවුනි. අද ඇය අවලංගු කාසියකි.

රනිල් වික්‍රමසිංහට කීවේ ‘ මිස්ට කලීන්’ කියා ය. නමුත් 2015 අගමැති බවට පත් වූ වහාම ගජ මිතුරු දේශපාලනයේ එරී බැදුම්කර වංචාවෙන් හත් පොලේ ගා ගත්තේ ය.

සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ වහාම තමා සතුව තිබූ පාවිච්චි නොකරන ලද ඉන්ධන වවුචර ආපසු දි තමා සුද්ධවන්තයෙක් බව පෙන් වූයේ ය. නමුත් ඔහු සුද්ද දාන සුද්ධවන්තයෙක් බව ඉක්ණින්ම පෙන්නුම් කරමින් සිය සහෝදරයකුට මිලියන ගණනින් වැටුප් ලබන ආණ්ඩුවේ රස්සාවක් දුන්නේ ය‍. අනෙක් සහෝදරයා පරිසරය විනාශ කරමින් හෝටල් හදන්නට ගත්තේ ය. දෝණී පරාක්‍රම සමුදුයේ වැව් තාවුල්ලද සූරා කැවේ ය.

ලොකු රාජපක්ෂ විපක්ෂයේ සිටියදී සාමාන්‍යයකු විය. විදි සටන්කරුවකු විය. බලයට පැමිණි පසු පවුලට උලා කෑම පිනිස රට ම බෙදා දුන්නේ ය. දූෂණය දේශපාලන පංතියේ පළටම ගෙන ගියේ රාජපක්ෂවරුන් විසිනි. ඩේසි ආච්චිගේ මැණික් මල්ල මෙන්ම කැළණි ගං මිටියාවතේ අයිතිකරුවකු නැති රාජපක්ෂ බංගලාව ඒකි දූෂණ හිම කන්දේ මතුපිට පමණි.

1994 පොදු පෙරමුණූ දේශපාලන භූමියේ මා ළගින් දැන සිටි තරුණ දේශපාලනඥයින් ගණනාවක්ම වූහ. ඔවුන්ගේ අභිලාශය වූයේ ජනතා සේවය යි. රට ගොඩ නැගීමයි. අද ඔවුන්ගෙන් ඒක් අයකු හැර අන් සියලු දෙනා අන්ත දූෂිතයින් බවට පත්ව සිටිති. එදා ඒ් සමහරකුට එදා වේල පවා සරි කර ගැනීමට අමාරු විය. පසුව ඔවුන්ගේ දරුවන් මිලියන ගණනින් වැය කරමින් එතෙර අධ්‍යාපනයට යැවිමට තරම් නීච ධනවතුන් බවට පත්විය.

කුරුණෑගල මා ජිවත් වූ මැතිවරණ ආසනයේ මංත්‍රීවරයා බවට ද පත් වූ දේශපාලනඥයාට ඔහු මහජන පක්ෂයේ දේශපාලනයට පිවිසි අවධියේ නිදා ගැනීමට සෙවණක් හෝ තිබුණේ නැත. ඔහුගේ යතුරු පැදියට තෙල් ගැසුවේ අප වැනි අයයි. පසුව ඔහු ඉඩම් හිමි ධනවතකු බවට පත් විය. උදරය නෙරා ආවේ ය. ආර්යාවක් ද බිහිවුණි.

මේ වනාහී මෙරට පාලනය කර ඇති දේශපාලන පක්ෂ දෙකෙහිම නූතන දේශපාලනඥයින්ගේ පොදු ලකුණයි. අතලොස්සක් හැර ඒ් සියල්ලෝම දූෂණයේ කලු කූහරයට බිලිවී ඇත. වංචා දූෂණ මෙන්ම දේශපාලන අයුතු වාසි ලබා ගැනීම අද මෙරට දේශපාලන පංතියේ ජීවන රටාවය.

මා දේශපාලනයට උනන්දුවක් දක්වන්නට පටන් ගත් 1960 ගණන් මුල් කාලයේ, අප ජිවත් වූ අම්බලන්ගෝඩ වටා මංත්‍රීවරු කිහිප දෙනෙකුම වූහ. පී. . එස්. කුලරත්න ශ්‍රීලනිපයෙනි. දොස්තර සද්ධාසේන සහ රයිටර් තිලකසේකර එජාපයෙනි. එල්.සි. ද සිල්වා සම සමාජයෙනි. එම්. ජි. මැන්ඩිස් කොමියුනිස්ටි පක්ෂයෙනි. මේ කිසිවකුට වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා නැගුනේ නැත. ඔවුන්ගේ නිවෙස්වල රැකියා දිමේ පෝලිම් තිබුනේ නැත. පාසල්වලට දරුවන් ඇතුලත් කර ගැනීමට ලියුම් ඉල්ලා පැමිණි යාචක මාපියන් සිටියේ නැත.

එකල පාර්ලිමේන්තු මංත්‍රිවරයකු වීම ධනවත් විමේ කූටෝපායක් නොවී ය. දේශපාලනයෙන් හම්බකර ගැනීම, අද පවත්නා කලුකුහරයට ඇදී යන ප්‍රධාන චුම්බකය යි. මේ කලුකුහරය ගොඩ නඟන ලද්දේ මෙරට ප්‍රථම විධායක ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන විසිනි. මංත්‍රීකම, වරදාන ලැබෙන ගරානාවක් බවට පත් කළේ ඔහුය. ලොව කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක දක්නට නැති පරිදි මංත්‍රීවරුන්ට, පලාත් සභා මංත්‍රීවරුන්ට, වෛද්‍යවරුන්ට, පරිපාලන නිලධාරින්ට, ආගමික පූජකයින්ට සුඛෝපභොගී වාහන ලබා දිම ආරම්භ කළේ ඔහු ය. මෙම වාහන බලපතු විකිණීම මගින් ක්ෂණයකින් කෝටිපතියකු වීමේ වාසනාව අද ඒ් සියල්ලන්ටම තිබේ. මේ බහුතරය වාහන බලපත්‍ර ලබා ගන්නේ ඒවා විකුණා කෝටිපතියන්වීමට ය.

එපමණක් නොවේ. පාර්ලිමේන්තු සැසිවාරයන්ට සහභාගි විමට වරදාන, පවුලේ ඥාතින්ට ලේකම්කම්, සුපිරි කෑම වේල් තුට්ටු දෙකට, මහජන මුදලින් රට සවාරි, කොමිස් ගැහීමට මුදල්, වසර පහෙන් විශ්‍රාම වැටුප් යනාදී දූෂණ වළල්ලක්ම දේශපාලනඤයින් වටා ආරක්ෂිත දැළක් ලෙස අද පවත්වා ගෙන යයි. හොරු සහ මිනිමරුවන් පවා අපේක්ෂකයන් බවට පත් වන්නේ මේ වංචා දූෂණයේ කිදා බැසිමට ය.

ජනාධිපතිකම හෝ මංත්‍රීකම හෝ මහජන මුදලින් වරදාන ලබා ගැනිමේ යාන්ත්‍රණයක් ලෙස පවතින තාක් මෙරට දේශපාලනයට ඇතුල්වන යහපත් පිරිමින් සහ ගැහැණුන් දූෂණ කලු කුහරයට ඇදී යාමෙන් වැලැක්විය නොහැකි ය.

මෙම කලු කුහරය නිර්මානය කරන ලද්දේ ජේ.ආර්. ජයවර්ධන විසින් නම් ඒ් සඳහා අවශ්‍ය සමාජ ගැතිබාවය ඇති කරන ලද්දේ 1970 – 77 දක්වා රට කරවූ සිරිමා බණ්ඩාරනායක සහ සමගි පෙරමුණු නායකත්වය විසිනි. මෙරට තිබූ ස්වාධීන පරිපාලන සේවය දේශපාලනයට යට කිරිම ආරම්භ කරන ලද්දේ ඇයගේ ඊනියා සමාජවාදී ආණ්ඩුකරණය මගිනි.

පාර්ලිමේන්තු මංත්‍රීවරයා ව්‍යවස්ථා සම්පාදකයකු වෙනුවට රස්සා දෙන, නිලධාරීන්ට ඉහළින් දේශපාලන ඇඟිලි ගැසීම් කරන යාන්ත්‍රණයක කොටස්කරුවකු කරන ලද්දේ එම සමගි පෙරමුණු ආණ්ඩුවයි. අද සෑම දෙයකටම මංත්‍රීවරයාගෙන් ලියුම් ලබා ගැනීමට සිඟාකෑමේ යන වහල් සමාජයක් නිර්මාණය වූයේ නැත්නම් සවිමත් වූයේ එමගිනි.

මෙම දූෂණයේ කලු කුහරයට ඇදි යන්නේ දේශපාලනඥයින් පමණක්ම නොවේ. දේශපාලන පංතිය මෙන්ම ඒ් හා බැදුණූ වෘත්තිකයින්ගේ සහ ජාවාරම්කරුවන්ගේ ස්ථරයින් ද අද දූෂණයේ ගැලි ජිවත් වෙති. යහ පාලන සිවිල සමාජයේ සමහරැන් ගැන පසුගිය කාලෙය් අසන්නට ලැබුණු වරදාන ද අයත් වන්නේ ඒ් ඝනයටමය. රුපියල් දස දහසක අල්ලසක් ගත්තේ යැයි පාසල් ගුරුවරයකු පස් වසරකට හිරේ යවන මුත් කෝටි ගණන් වංචා කළ දේශපාලනඥයින් නිදහස්වන පරිදි හිඩැස් නඩු පවරන අල්ලස් සහ දූෂණ කොමිසම ගැන වෙන මොනවා කියන්නද? ඊටත් වඩා ‘ අනේ මං ඔයා ගැන දන්නවා නම් නඩු දාන්නේ නැනේ’ යැයි කූඨ ජාවාරම්කරුවන්ට තොදොල් බස් කියන නියෝජ්‍ය නීතිපතිනියක් ගැන වෙන මොනවා කියන්නද? හැමෝම කැරකෙන්නේ දූෂණයේ ශ්‍රී ලංකික කලු කුහරයේ ය.

අඩුම වශයෙන් ජනාධිපතිවරයා භුක්තිවිදින වරදානවල සිට පාර්ලිමේන්තු සහ පලාත් සභා මංත්‍රීවරුන් භුක්ති විදින වරදාන නතර කරන බවට, කවර හෝ ජනාධිපති අපේක්ෂකයකු පොරොන්දු වනු ඔබ අසා තිබේ ද?

ශ්‍රි ලංකාවේ දේශපාලනයේ ඇති මෙම කලු කුහරය වසා නොදමා දේශපාලනයේ ද සමාජයේ ද ඇති දූෂණය සහ වංචාව නැති කළ නෙැහැක. නිකමට සිතන්න. මංත්‍රීවරුන්ට ලැබෙන කෝටි ගණන් වටිනා වාහන බලපත්‍ වල සිට ලක්‍‍‍‍‍‍‍‍ෂ ග‍ණනින් ලැබෙන සංවර්ධන අරමුදල් දක්වා වරදාන සහ දූෂණ අවස්ථා නතර කරන කළ හොත් අද මංත්‍රීකමට තියෙන පොරය එළෙසම තිබේවිද කියා?

ජනාධිපති සහ මැති ඇමැතිවරුන්ට, මහජන මුදලින් ඉදි කැරෙන ගොඩනැඟිළි විවෘත කිරීම තහනම් කළොත් මොනවා වෙයි ද? පැසලක් විවෘත කිරීම පිනිස අගමැති මැති ඇමැති පිරවරාගෙන් මහජන මුදලින්ම යාපනයට යා යුත්තේ ඇයි?

ටිකක් කල්පනා කර බලන්න, අප ජනාධිපතිවරණ වේදිකාවට මෙවැනි ප්‍රශ්ණ අරගෙන යන්නේ කෙසේ ද කියා.

Back to Top