Sri Lanka Brief
පුවත්විවරණශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති සහ ප්‍රජාතන්ත්‍රවාදය- රංජිත් හේනායකආරච්චි

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති සහ ප්‍රජාතන්ත්‍රවාදය- රංජිත් හේනායකආරච්චි

by

දැන් නැවතත් ල‍ංකාව ජනාධිපතිවරණයකට සූදානම් වන බව දේශපාලන කතිකාවතුලත්‍, මාධ්‍යයෙහි ප්‍රධාන මාතෘකාව බවට පත් වීම තුලිනුත් පෙන්නුම් කරයි. විධායක ජනාධිපති ක්‍රමය ඇති කළ දා පටන් මේ වන තුරුම එයට එරෙහිව විවිධ දේශපාලන පක්ෂ, දේශපාලන නායකයින් සහ සමාජ බලවේග සෑම එකක් ම පාහේ දිගින් දිගටම කරුණු ඉදිරිපත් කරනු ලැබීය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහාම තමන් වෙත බලය දෙනලෙස ඉල්ලූ ජනාධිපතිවරුන් අඩුම තරමින් තුන් දෙනෙක් තමන් බලයට පත් වූ පසු තමන්ගේ පොරොන්දු ඉටු කරනවා වෙනුවට එම ජනාධිපති තනතුර තදින් වැළඳගත් අතර එය අහෝසි කිරීමට එරෙහිව කි‍රියාත්මක විය. මේ තරම් අර්බුද ඇති කරන මෙම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ උවමනාවෙන් පෙළෙන දේශපාලන බලවේගයන්හි නායකයින් එම බලය තමා අතට පත් වූවාට පසු එයට එරෙහි වන්නේ ඔවුන්ට එම බලය ඒකාධිපති බලයක් ලෙස තමන් වටා ගොනු වන බව පෙනීම හේතු කරගෙනයි. බලය අතහැරීම වෙනුවට ඔවුන් බලය බදාගනිති.

ඒකාධිපති පාලනයක්!

ලංකාව‍ ප්‍රජාතන්ත්‍රවාදය මුල්කරගත් පාර්ලිමේන්තු දේශපාලන ක්‍රමයක් සතු, ඒකාධිපති  දේශපාලන ක්‍රමයක් අනුමත නොකරනු ලබන රටකි. වචනාර්ථයෙන් එය එසේ වුව ද, ප්‍රජාතන්ත්‍රවාදය ගැන බොහෝ කටමැත දෙඩුව ද, ලංකා ජනතාවගෙන් බොහෝ දෙනකුත්, ලංකා දේශපාලනයේ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ වලින් වැඩි ප්‍රමාණයකුත් ක්‍රියාත්මක වන්නේත්, ප්‍රාර්ථනා කරන්නේත් ඒකාධිපති පාලනයක් බව විමසා බැලීමේදී පෙන්නුම් කරයි.

ලංකාවේ දේශපාලන පක්ෂ වල අභ්‍යන්තර ව්‍යුහය කිසිම ආකාරයකින් ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව පෙනෙන්නට තිබෙන ප්‍රධාන ලක්ෂණයයි. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පක්ෂයක් තුල නැති තැන, කිසියම් පවුලක හෝ යම්කිසි ප්‍රභූ කණ්ඩායමක වුවමනාව පමණක් ඉටු කරන පක්ෂ ලෙස මේවා ක්‍රියාත්මක වෙන තාක් කල්, ‍ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගීමට, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් ක්‍රියාත්මක කිරීමට මෙම පක්ෂවලට හැකි නොවනු ඇත. ඒ වාගේම රටේ ජනගහණයෙන් විශාල ප්‍රමාණයක් දේශපාලන බලය සඳහා පක්ෂයකට ඡන්දය දෙනු ලබන්නේ ඔවුන් ලවා තමන්ගේ ඉතා පටු වුවමනාවන් ඉටු කර ගැනීම මුල්කරගෙනයි. රටෙහි පාලන සහ සමාජ ව්‍යුහය ප්‍රජාතන්ත්‍රවාදී කරණයට, නීතිය මත පාලනයක් ඇති කර සැමට පොදු නීති ක්‍රමයක් රට තුළ ක්‍රියාත්මක වනවාට, බලය ඇති අය බලය නැති අය යටපත් කරනවාට එරෙහිවීමට, සෑම ජන සහ ආගමික කන්ඩායම් වලට ඒකාකාරයෙන් සලකනවාට, ආදී මෙකී නොකී ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ලක්ෂණ ඇති කිරීමට රටේ ජනතාවගෙන් බොහෝ දෙනෙකු පැහැදිලිවම පෙනී නොසිටී. ඒවාගේම මෙම දේශපාලන පක්ෂවල  නායකත්ව මණ්ඩල වල ස්ත්‍රියක් නියෝජනය වන්නේ ඉතා කලාතුරකිනි. මෙම පක්ෂ විසින් ඉදිරිපත් කරන පක්ෂ ලැයිස්තුවල කලාතුරකින් ස්ත්‍රියක් සිටියා වුවත් ඔවුන්ගේ නම් තිබෙන්නේ ඉතා පහළින් ය. ඇත්ත තත්වය නම් දේශපාලන නායකත්වයට ස්ත්‍රියක් පත්වීම (පවුල් පදනම් හේතු නොවුනානම්) මෙම පක්ෂවල එකම පක්ෂයක වත් දකින්නට නොලැබෙන ලක්ෂණයකි.

ප්‍රජාතන්ත්‍රවාදය සර්වජන ඡන්දයද?

ඒවාගේම මෙම පක්ෂ තුළ සුළු ජන කණ්ඩායම් වල කොටස් වලට නායකත්වය හිමිවන්නේ ද ඉතා කලාතුරකිනි. බොහෝ වෙලාවට පක්ෂවල අයිතිකරුවන් සිටිනා අතර පක්ෂ අභ්‍යන්තරයෙහි මත ඉදිරිපත් කිරීම දේශපාලන සියදිවි නසා ගැනීමකට හේතු කරනු ලබයි. ප්‍රතිපත්ති මුල්කරගත් පක්ස වෙනුවට පුද්ගලයින් වටා රොක්වූ පිරිස මේ බොහෝ පක්ෂ වල පක්ෂ ව්‍යුහයයි. ඇත්තෙන්ම අල්ෆා සතකු සහ රැළ මෙනි. මෙසේ එකින් එක ගන්නවානම් ලංකා දේශපාලන පක්ෂවල ව්‍යූහයන් ගොඩ නැගී ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයකින්ය. ඉතින් මෙවැනි දේශපාලන වාතාවරණයක් සහ පක්ෂ තියෙන රටක ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ඇති දේශපාලනයක් බලාපොරොත්තු වීම ද දුෂ්කරය.

ලංකා දේශපාලනයට සර්වජන ඡන්දය ලැබීම පමණක්  ප්‍රජාතන්ත්‍රවාදය ලෙස සමාජය හඳුනාගෙන ඇත. ඇත්ත තත්වය නම් මෙම සර්වජන ඡන්දය පවා ලංකා සමාජයට හිමි වන්නේ ඔවුන්ගේ උවමනාව නිසාවෙන් කළ අරගල තුලින් හෝ ඒ සඳහා කල සටන් තුළින් නොව යුරෝපීය අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක්ව පැවතීම හේතු කරගෙන එම යටත්විජිතවල ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඇතිවන අරගලයන් හේතුවෙනි. ඇත්තෙන්ම බොහෝවිට ලංකා සමාජය අද ඉල්ලා සිටින්නේ රජ කෙනෙකු විය හැක. ඒ නිසා අපට චන්දය ඒපා කියා චන්දය දෙන ජනතාවක් අපසතුය. සමහරවිට සුදු අධිරාජ්‍යවාදීන් විසින් ලංකාවේ රජ පැලැන්තිය බලයෙන් විනාශ කර දැමීම නිසා අපට රජවරුන් නැතුවා මිස ලංකා සමාජය විසින් රජවරුන්ගේ ආධිපත්‍යට , ඒකාධිපති බවට, රදළයින්ගේ ආධිපත්‍යයට එරෙහිව සටන් වැද ඒවා අහෝසිකළ කර නොමැත. මේ  හේතුවෙන්ම බාගවිට අප සමාජය රජෙකු හා සමාන බලයක් ඇති පුද්ගලයකු සොයනවා විය හැක.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහනය

මෙම කාරණය නිසාම විධායක ජනාධිපතිවරයෙකු අප සමාජයේ බොහෝ දෙනෙකුගේ ප්‍රාර්ථනාව වනවා විය හැක. ඇත්තෙන්ම විධායක ජනාධිපති ක්‍රමය ඇති කර ගැනීම ලෝක ඉතිහාසය තුල සිදුවන්නේ පැවැති රාජාණ්ඩු වෙනුවට අලුතින් ඇතිකරගන්නා  රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයන් වලට (බොහෝවිට රජකු වෙනුවට) ආදේශ කරගත් පුද්ගලයායි. නමුත් අද විසි එක්වෙනි සියවස වන විට පෙන්නුම් කරන ලක්ෂණයක් වන්නේ විධායක ජනාධිපති ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයට දුරින් පවතින බවත්, ‍ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා රටකට වඩාත් සුදුසු වන්නේ පාර්ලිමේන්තු බලයට යටත් වූ නායකයකු පත්කරගැනීම බවයි. එය බටහිර දියුණු රටවල් වල පවා මේ වන විට පෙන්නුම් කරමින් පවතින කාරණයකි. ඇමරිකා එක්සත් ජනපදයෙහි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහනයෙන් පසු මෙය වඩාත් පැහැදිලිව පෙන්නුම් කරමින් පවතී.

වහලා තම වහල්බැමි වලට ප්‍රේමකිිිිිිරීම

බොහෝවිට රාජාණ්ඩු පෙරලා දැමීමෙන් පසු ඇතිකරගන්නා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඉතා සරල පහසු සමාජ ක්‍රමයක් ඇති කරනු නොලබයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තුළින්ම සමාජ විවිධත්වයට ඉඩ තැබීමට රජයක් බැඳී පවතින හේතුවෙනි. ඒ වාගේම පුද්ගලයා තනි ඒකකයක් ලෙස තමාගේ කටයුතුවලට වගකියන එමෙන්ම සෑම කටයුත්තකදීම තමා විසින්ම තීරණ ගැනීමට ඔවුනට පවරා ඇති හෙයිනි. රාජාණ්ඩුවක හෝ ඒකාධිපති රාජ්‍යයක ජීවත්වෙන පුද්ගලයෙකුට තමාගේ ජීවිතය පිළිබඳව තීරණ ගැනීමට අයිතියක් නොමැත. ඔවුන් වෙනුවෙන් තීරණ ගනු ලබන්නේ ඉහළින් පවතින අධිකාරිය විසිනි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක  සෑම පුද්ගලයෙක්ම තමාගේ ක්‍රියාදාමයන් සහ ජීවිත පිළිබඳ තීරණ ගත යුතුව ඇත. ඇත්තෙන්ම මනසින් නිදහස් පුද්ගලයින්ට හැරුණ විට එසේ තීරණ ගැනීමට සිදුවීම පහසු දෙයක් නොවේ. මෙයට හොඳ උදාහරනයකි ජර්මනිය. නාට්ෂි ඒකාධිපති ජර්මනිය පරාද කලායින් පසු නැගෙනහිර ජර්මනිය තුල පැවතුනේ (සමාජවාදී) ඒකාධිපති රජයකි. බටහිර ජර්මනිය තුල ප්‍රජාතන්ත්‍රවාදී රජයකි. මේවන විට ඒක්වී ඇති ජර්මනිය තුල මැතිවරන වලදී පැරනි නැගෙනහිර ජර්මන් පෙදෙස්වල වැඩිඡන්ද ප්‍රමානයක් ෆැෂිස්ට් පක්ෂ හෝ ඒකාදිපති පක්ෂ වලට දෙනු ලබයි. කාලයාගේ ඇවෑමෙන් වහලා තම වහල්බැමි වලට ප්‍රේමකරයි කියා පවසන්නේ ඒබැවිනි.

ඉතින් ලංකා සමාජය විධායක ජනාධිපති ක්‍රමය සහ බැඳී පවතින්නේ, සමහර කොටස් එයට පෙම් කරන ආකාරයක් පෙන්නුම් කරන්නේ, ඔවුන් නිදහස් පුරවැසියන් ලෙස තීරණ ගැනීම පිළිබඳ ඇති අඩු අවබෝධය සහ නොහැකියාව මුල්කරගෙන බව මගේ වැටහීමයි. ඒ නිසාම බොහෝ විට උසස් අධ්‍යාපනයක් ලද උන් පවා මෙම අධිකාරිවාදී රජකුගේ ස්වභාවය ඇති විධායක ජනාධිපති ක්‍රමයට ඇලුම් කරයි. ලංකා සමාජය ‍ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිළිබඳව වටහා ගෙන ඇති ප්‍රමාණය  පෙන්නුම් කරන ප්‍රධාන ලක්ෂණය වන්නේ දේශපාලන පක්ෂවල ඇති, මා ඉහත සඳහන්කල අභ්‍යන්තර ව්‍යුහයයි. සර්වජන ඡන්දය පාවිච්චි කිරීම තුළින් රටෙහි බලය ලබාගන්නේ මේ පක්ෂයන් විසිනි. ඉතින් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී නොවන්නේ නම් එම පක්ෂය බලය ගත්තායින් පසු ඔවුනට ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයකට අවශ්‍ය දේශපාලන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ හැකිද? අද වන විට ලංකා සමාජයේ ප්‍රගතිශීලී කොටස් එක් වී සාකච්ඡා කළ යුත්තේ, දේශපාලන වැඩ පිළිවෙළක් සකස් කළ යුත්තේ මෙන්න මේ අගාධයෙන් රට ගොඩ ගැනීමේ අරමුණින් ඒ සඳහා වැඩපිලිවෙලක් සකස්කර ගැනීම අරභයායි.

ලංකාව වැනි ‍සමාජය තුල ප්‍රජාතන්ත්‍රවාදය මුහුකුරා නොගිය රටකට, විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ නොමැති තැනකට, රජ කමකට සමාන ජනාධිපති ක්‍රමයක් විශාල විනාශයක් කරන බව පසුගිය වසර 40ක පමණ දේසපාලන ක්‍රියාදාමයන් තුලින් පැහැදිලි කරනු ලබයි. රටතුල සහ පක්ෂ තුල පැවතුනු සුළු හෝ ප්‍රජාතන්ත්‍රවාදය පවා විනාශ කර ගනිමින් එකිනෙකා කුළල් කා ගන්නා රජකම ලබාගැනීමට පොරකන තත්ත්වයක් මෙම පක්ෂ තුළ සහ සමාජය තුළ ඇතිවෙමින් පවතී. ලංකා ඉතිහාසය දෙස බැලීමේදී රජකම සඳහා තම සහෝදරයා මරා දැමූ තම පියා මරා දැමූ එසේ නැත්නම් දිගින් දිගටම රජකම වෙනුවෙන් තමන්ගේ එකම ලේ නෑයා වදදී මරා දැමූ ඉතිහාසයකට අප හිමිකම් කියන වග අප අමතක නොකල යුත්තෙමු. මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී සමාජ මානසිකත්වයක් නැති සමාජ තත්වයක් රටේ පවතින බව පෙන්වන විසාල කන්ඩායමක් ඒ අධිකාරී බලය වෙනුවෙන් ප්‍රසිද්දියේ පෙනීසිටී. ඒමෙන්ම ඒකාධිපති බලයක් සඳහා එසේ නැත්නම් රජකුගේ බලයක් සඳහා විධායක ජනාධිපති වීමට  පොරකන පුද්ගලයින් සහ එම රජුන්ගේ අනුගාමිකයන්වී බලයේ කොටස්කරුවන්වී ප්‍රාදේසීය අදිපතියන් වීමට පොරකන අනුගාමික කණ්ඩායමක් බිහි වී සිටී. ඔවුන් උත්සාහ කරන්නේ තමන්ගේ නායකයා රජ කරවා ඒතුලින් තමන්ද බලයේ කොටස්කරුවකු වී සුපුරුදු ආකාරයෙන් බලය අපයෝජනය කිරීමටයි. ඔවුන් අතර පවතින්නේ තමා බලය ගත්තායින් පසු තමාගේ පසමිතුරන් විනාස කිරීමට ඔවුන්ගෙන් පලි ගැනීමට සැදී පැහැදී සිටින බලවේගයන් අතර තරගයකි. මමයි රජා කියා ගන්නා කී දෙනෙක් නම් අද ලංකා සමාජය තුළ අපට දකින්නට සිටිද. මට බලය දුන්නොත් මම සියලු ප්‍රස්න විසඳනවායි කියන කීදෙනෙක් සිටීද. තනි පුද්ගලයකු රටක සංකීරන ප්‍රස්න වලට විසඳුම් දෙනවායි කීමම යල්පැනගිය මතයක් බව මගේ වැටහීමයි. අපට අද අවශ්‍ය ඒකාධිපති රජුන් නොව ප්‍රජාතන්ත්‍රීය ලෙස සාමූහිකව ප්‍රස්නවලට විසඳුම් සොයන නායකත්වයකි. ඒසේ නම් මෙම (ඒකාධිපති) විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීමට ක්‍රමයක් සොයා ගැනීම ලංකා දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදය දෙසට හැරවීමට අත්‍යාවශ්‍ය සාධකයකි. නමුත් ඒය කෙසේ කරන්නේ ද යන්න සාකච්ඡා කිරීම සමාජයේ බුද්ධිමතුන්ගේ සහ දේශපාලන ප්‍රගතිශීලීන්ගේ ප්‍රධානම කාර්යය බව මගේ වැටහීමයි.

 

 

 

Back to Top