Sri Lanka Brief
පුවත්විවරණවිහාරාධිපති ආදාහනය සහ මුලතිව් ගුරුකන්ද විහාරයේ සිදු වූයේ කුමක්ද? – දුලාන් දසනායක

විහාරාධිපති ආදාහනය සහ මුලතිව් ගුරුකන්ද විහාරයේ සිදු වූයේ කුමක්ද? – දුලාන් දසනායක

by

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති අපවත් වී වදාළ කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය විහාර භූමියේ පැවැත්වීම අධිකරණ නියොගයක් මගින් වළකාලීම පසුගිය දින කීපයේ මහත් ආන්දෝලනාත්මක පුවතක් විය. ඒකී අධිකරණ නියෝගය නොතකා ඊයේ දිනයේදී කොළඹින් වැඩමකල ගලගොඩඅත්තේ ඥානසාර ඇතුළු භික්ෂූන් පිරිසකගේ මෙහෙයවීමෙන් ආදාහන කටයුතු අපිළිවෙලට විහාර භූමියේදීම සිදු විය. ඥානසාර භික්ෂුවගේ පැරණි වික්‍රමාන්විත කාතා යළි අසන්නට ලැබුණි. අධිකරණයට වඩා සංඝ නීතිය ලොකු බව අන්වහන්සේ මාධ්‍ය ඉදිරයේ ප්‍රකාශ කරනු දක්නට ලැබුණි. අධිකරණ අපහාස කිරීමේ වරදට සිරගතව සිටි ඥානසාර භික්ෂුවට ප්‍රබුද්ධ මිනිසුන්ගේ විරෝධය මත තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් ජනාධිපති සමාව ලබා දෙමින් අධිකරණ නියෝග තුට්ටුවකට මායිම් නොකර කටයුතු කිරීමට උන්වහන්සේට ජනාධිපතිවරයා අවස්ථාව ලබා දී ඇත.

ඉතිහාසය

මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහ විහාරයට බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස ඉතා දීර්ඝ ඉතිහාසයක් පවතින අතර බුද්ධ වර්ෂ 244 දී ඒයට දළඳා වහන්සේද වැඩමවා ඇති බවටද සටහන් විහාරස්ථානයේ පවතින බවත් එහි වැඩ වාසය කරන භික්ෂූන් ගේ අදහසයි. ඒමෙන්ම වර්ෂ 2013 අගෝස්තු 16 වන දින නිකුත් කර ඇති 1823/13 දරණ ගැසට් නිවේනය ප්‍රකාරව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අක්කර 93ක භූමියක් මෙම විහාරස්ථානයට වෙන් කර දී ඇත. මෙම විහාරස්ථාන භූමියේ ගණ දෙවි කෝවිලක්ද පවතී. හින්දු පාර්ශවයේ මතයට අනුව මෙම ගණ දෙවි කෝවිලටද ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබේ.

කෙසේ වෙතත් යුද්ධය පැවැති වකවානුව තුළ මෙම ස්ථානයේ විහාරස්ථානයක් නොතිබුනු අතර ගණ දෙවි කෝවිල පමණක් ඉතිරිව පැවතුණි. එයට ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රදේශයේ වෙසෙන දෙමළ ජනයා විසින් වැදුම් පිදුම් කරන ලදී. යුද්ධය නිමා වීමත් සමග මෙම විහාරස්ථානය ආරක්ෂක හමුදාව විසින් ඉදි කර ඇත. එසේ ඉදිකිරීමෙන් පසු අපවත් වී වදාළ කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් මෙම ස්ථානයට වැඩ වාසය කිරීමට පැමිණ ඇත.

විහාරස්ථාන තුළ හින්දු පූජනීය ස්ථාන : අරුමයක්ද?

ශ්‍රී ලංකාවේ විහාරස්ථාන තුළ හා ඒ් අසළ හින්දු පූජනීය ස්ථාන බිහි කිරීම ආරම්භ වන්නේ රාජ්‍ය අනුග්‍රහය සහිතව පොළොන්නරු යුගයේදීය. ගම්පොළ යුගයේදී ඒම තත්වය වර්ධනය විය. පුරා විද්‍යාත්මක සාක්ෂි ඒ් සඳහා ඇති තරම් තිබේ. අතීතයේ තත්වය මෙන්ම වර්තමානයේ තත්වයද වෙනසක් නැත. වර්තමාන බෞද්ධ විහාරස්ථාන ගණ දේවාල, විෂ්ණු දේවාල ඇතුළු දේවාල ඉදිකර ඇති අයුරු දැකිය හැක. මෙම ස්ථානයේද ඒ් ආකාරයට ගණ දේවාලයක් ඉදිකරන්නට ඇත. ගැටලුකාරී තත්වයක් නොමැතිව මෙම විහාරස්ථානය හා කෝවිල යුද්ධයට ප්‍රථම පවතින්නට ඇත. නමුත් 30 අවුරුදු යුද්ධයේ වාර්ගික බෙදුම් රේඛාව දරුණුය. එය නැති කර දැමීමට අප සමත් නොවී ඇති බව ගුරුකන්ද විහාරය ආශ්‍රිත වත්මන් ප්‍රශ්න මාලාවෙන් පෙනෙයි.

ගැටලුව ආරම්භ වීම – අන්තවාදය හා දේශපාලන අවස්ථාවාදය

මෙම පන්සල ඉදිකිරීමේ සිටම යම් කසුකුසුවක් සමාජයේ තිබුණත් බහුතර ජනයා පන්සල සමගත් සහයෝගයෙන් කටයුතු කර ඇත. පසුගිය ජනවාරි 14 වනදා තෛපොංගල් උළෙලක් මෙම පන්සල තුළ සැමරීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් ඇතුළු පිරිසක් කටයුතු කර ඇත. භික්ෂූන් වහන්සේගේ චෝදනාව වූයේ ඒහි ඔවුන් කෝවිලක් ඉදි කිරීමට කටයුතු කිරීමට උත්සාහ දැරූ බවය. මෙම විහාරස්ථානය හා කෝවිල සම්බන්ධ ගැටලුවට මෙම දේශපාලන නායකයන් සම්බන්ධ වන්නේ ඉතාම පටු ලෙසය. විහාරස්ථානයට බලපෑමක් කර තමන්ගේ ප්‍ර්ජාවගේ කැමැත්ත වැඩි කර ගැනීම පටු දේශපාලන අවස්ථාවාදය ඉන් ප්‍රකට විය.

අධිකරණයේ මැදිහත්වීම

මෙම විහාරස්ථානයේ ගැටලුවට අධිකරණය මැදිහත් වූයේ අද ඊයේ නොවේ. සිංහල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙම සිදුවීම වාර්තා කලේ දෙමළ විනිසුරුවරුන් සිටින අධිකරණයටද සිංහල ජනයාගේ අප්‍රසාදය ඇතිවන ආකාරයටය. ඔවුන් මෙම අදාහනය සම්බන්ධ සිදු වීම වාර්තා කලේ ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතියේ කොටසක් ලෙසට බව බැලූ බැල්මට පෙනුනි. ඉදිරි ජනාධිපතිවරනයේ සිංහල ඡන්ද වැඩි වැඩියෙන් ලබා ගැනීමට මෙවැනි සිදුවීම් ඉල්ලම්ය. ඥානසාර භික්ෂුව අගමැතිවරයාට චෝදනා එල්ල කලේ උන්වහන්සේගේ ගැලවුම්කාර ජනපති වෙනුවෙන් විය හැක. නමුත් උත්ප්‍රාසජනක කරුණ නම් ‌පොලීසිය භාර ඇමතිවරයා ජනපති වීමත් රටේ සේනාධිනායකයා ලෙස මෙම සිදුවීම් හි වැඩි වගකීම් ඇත්තේ ජනාධිපතිවරයා වීමය.

ඉහත කී ජනවාරි 14 සිදුවීමෙන් පසු මුලතිව් පොලීසිය මුලතිව් අධිකරණයේ නඩු පැවරූ අතර ඒහිදී ආදාහන පූජෝත්සවය පිළිබඳ නියෝගය ලබා දුන් විනිසුරුවරයාම මෙම විහාරස්ථානයේ ඉදිකිරීම් සිදු කිරීම පෙබරවාරි 12වනදා දක්වා අත්හිටුවන ලදී. ඒමෙන්ම මෙම අධිකරණයේ පැවැති ඒක් නඩුවක තීන්දුව ලබා දෙමින් මෙම එස්. ලෙනින් කුමාර් මැතිතුමා මෙම විහාරස්ථාන භූමියේ ඇති ගණපති විෂ්ණු හා කතරගම දේවාලය කෝවිලක් ලෙස ඒනම් නීරාවි පුල්ලෙයාර් කෝවිල ලෙස නම් කරන ලෙස නියෝග කරන ලදී.

එකම දෙවියන් : නම් දෙකට ගැටලුවක්

පන්සලේ ඇත්තේ දේවාලයයි. හින්දූන් කියන්නේ කෝවිල කියාය. නමුත් දෙගොල්ලන්ම වැදුම් පිදුම් කරන්නේ එකම දෙවියන්ටය. විහාරස්ථානයේ දායක සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රෝහණ තල්පාවිල මහතා අධිකරණයට දැන්වූයේ බෞද්ධ සිද්ධස්ථානයන්හි දේවාල පැවතුණද කිසිම බෞද්ධ සිද්ධස්ථානයක කෝවිල් නොමැති බවයි. ඒ් අන්ව මෙසේ පන්සලක් තුළ පවතින දේවාලයකට කෝවිලක නම්ක් යෙදීම නොපිළිගන්නා බවයි.

මේ ආකාරයට ගැටුම්කාරී තත්වයක් වර්ධනය වෙමින් පැවතියදී මෙම ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ අපවත් වීම සිදු විය. ඒහි ආදාහන පූජෝත්සවය පැවැත්වීමේදී නවතම ගැටලුකාරී තත්වය වාර්තා විය.

ආදාහන පූජෝත්සවයේ ගැටලුව

විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය විහාරස්ථාන භූමියේම පැවැත්වීමට දායක සභාව තීරණය කල අතර ඒ් සම්බන්ධයෙන් වාරණ නියෝගයක් ගරු අධිකරණයෙන් ලබා ගැනීමට හින්දු කෝවිලට සම්බන්ධ පිරිස් කටයුතු කරනු ලැබීය. ඔවුන්ගේ තර්කය වූයේ අදාහන කටයුත්තක් සිදු කිරීමෙන් ඔවුන්ගේ ආගමික විශ්වාසය අනුව කෝවිල් භූමිය අපවිත්‍ර වන බවයි. මෙම අදහස හින්දු සමාජයේ පමණක් නොව බෞද්ධ සමාජයේත් තිබෙන විශ්වාසයක්. මිළග දින විහාරස්ථානය වෙනුවෙන් නීතිඥ රෝහණ තල්පාවිල මහතා ඇතුළු විශාල පිරිසක් කරුණු දක්වූ අතර අනුරාධපුර අධිකරණයේ සේවය කරන නීතිඥවරුන් පිරිසක් ඒ සඳහා සහභාගී වීමට අධිකරණයට පැමිණ තිබුණි.

සියලු කරුණු සලකා බැලූ ගරු විනිසුරු එස්. ලෙනින් කුමාර් මැතිතුමා විහාරස්ථාන භූමියේ නොවන විහාරස්ථාන භූමියට ඉදිරිපසින් වෙරළ අසල පැරණි යුද හමුදා කඳවුරක් පිහිටි හිස් භූමියේ ආදාහන කටයුතු සිදු කිරීමට අවසරය ලබා දෙන ලදී. කණගාටුවට කරුණ නම් සිය දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් සිංහල ජනයා කුපිත කරනු වස් දකුණේ සිංහල මාධ්‍ය මෙය වාර්තා කළේ මුලතිව් විහාරාධිපති හිමියන්ගේ ආදාහනය මුලතිව් වෙරළේ සිදු කරීමට නියෝග කල බවටයි.

බෞද්ධ භික්ෂූන් විහාරස්ථාන භූමියේම ආදාහනය කිරීම බෞද්ධ සම්ප්‍රදායද

මෙම ආදාහන කටයුත්තේ අර්බුදය අවස්ථාවේ කොළඹීන් පැමිණි ඥානසාර හිමි ප්‍රමුඛ භික්ෂූන් කියා සිටියේ පන්සලේ වැඩ වාසය කරන භික්ෂුව පන්සලේම ආදාහනය කිරීම‌ බෞද්ධ සම්ප්‍රදායක් බවත් එය කාලාන්තරයක් තිස්සේ පැවත ඒන බවත්ය. නමුත් අපේ දැනීමේ හැටියට නම් බෞද්ධ භික්ෂූන් අපවත් වුනු පසු ආදාහනය කරන්නේ පන්සලේම නොව වෙනත් ක්‍රීඩාංගණයක හෝ වෙනත් එළිමහන් ස්ථානයක ගරුකටයුතු ලෙසයි. විහාරස්ථානයක් තුළම භික්ෂුවකගේ ආදාහන පූජෝත්සවයක් පැවැත්වීමක් මෙම ලියුම්කරුනම් අසා නොමැත.

අධිකරණ නියෝගය වැරදිද?

අධිකරණය විසින් ආදාහනය කිරීමට නියම කල ස්ථානය විහාරස්ථානයටත් ඉතා සමීප එමෙන්ම භික්ෂුවකගේ ආදාහනයකට ගැළපෙන ඉතා ගරු කටයුතු ලෙසින් එම ආදාහන පූජෝත්සවය පැවැත්විය හැකි ස්ථානයකි. එය තවදුරටත් තහවුරු කරමින් එම නඩු තීන්දුව මාධ්‍ය හමුවේ ඒ් අවස්ථාවේදිම අගය කිරීමටද විහාරස්ථාන පාර්ශවය වෙනුවෙන් ගරු අධිකරණයේ පෙනී සිටි නීතිඥ රෝහණ තල්පාවිල මහතා කටයුතු කරන ලදී. බීබිසී සිංහල සේවයට අනුව ඔහු එය ඉතාම සුවිශේෂී අවස්ථාවක් බවට කරුණු දක්වා ඇත. නීතිඥ රෝහණ තල්පාවිල මහතා අධීකරණ තීන්දුවෙන් පසුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කල අදහස් බීබීසී සිංහල‌ සේවය මෙසේ වාර්තා කරයි.

“අපේ පාර්ශවය ඇරෙන්න අනෙක් පාර්ශවයන් ඉදිරිපත් කළේ අවසාන තීන්දුවට සම්පූර්ණයෙන්ම වෙනස් ස්ථාවරයක්. නමුත් ගරු මහේස්ත්‍රාත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවේ සඳහන් පරිදි බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතුය යන සංකල්පය මත පිහිටලා තමයි මෙම තීන්දුව ලබා දුන්නේ. මොකද පැමිණිලිකාර පාර්ශවය හා ප්‍රාදේශිය සභාව කරුණු දැක්වුවේ මේ තීන්දුවට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ කරුණු”

මෙම අදහස් වලින් ප්‍රකාශ වන්නේ විහාරස්ථානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ලෙස ඔහු ඒම තීන්දුව ගැන සෑහීමකට පත් වන බවත් ඒමෙන්ම පැමිණිලි පාර්ශවයේ හා ප්‍රාදේශීය සභාවේ කරුණු නොසලකා වගඋත්තරකාර පාර්ශවයේ කරුණු සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ලබා දුන් බවයි.

විහාරස්ථානයේ නීතිඥයාට අනුව නිවැරදි නඩු තීන්දුව විහාරස්ථානයේදී වැරදි එකක් වෙයි.

නීතිඥවරයා එලෙස ප්‍රකාශ කලද කොළඹින් පැමිණී භික්ෂූන්ද කොළඹ මාධ්‍යද හැසිරුණේ එයට ඉදුරා වෙනස් ආකාරයටය. මේ ක්‍රියාත්මක වූයේ කොළඹ සිට මෙහෙය වූ සම්පූර්ණ දේශපාලන ව්‍යාපෘතියක් බවට සිදුවීම සුපරීක්ෂාකාරීව නිරීක්ෂණය කරන්නකුට පෙනෙයි. කොළඹ සිට පැමිණී භික්ෂූන් සටන අතට ගත් අතර ඔවුන් මෙම අධීකරණ තීන්දුව විවේචනය කර අධිකරනයේ තීන්දු සංඝ සභාවට අදාළ නැතැයි කියන්නට වූහ. සංඝ සභාවේ තීරණයක් අනුව අධීකරණ තීන්දුව නොසළකා විහාර භූමියේ ආදාහනය සිදු කරන බව ප්‍රකාශ කරන ලදී.

මේ තත්වය අනුව අධිකරණයෙන් මොන තීන්දු දුන්නද සංඝ සභාව ඊට ඉහළින් සිට ඒ්වා තුට්ටුවකට මායිම් නොකරන මට්ටමක් බිහි කර ගත හැකිය. අධිකරණ කටයුතු වලදී දැකිය හැකි කාරණාක් නම් භීක්ෂූන් වහන්සේලා බොහෝ සෙයින් අධීකරණයේ පිහිට පැතීමට පැමිණෙන බවයි. භීක්ෂූන් වහන්සේලා හා භීක්ෂූන් වහන්සේලා අතර මෙන්ම භීක්ෂූන් වහන්සේලා හා සිවිල් පුද්ගලයන් අතරත් නඩු හබ ඇති තරම් තිබේ. මේවා සම්බන්ධ කුමන තීන්දු ලබා දුන්නද ඥානසාර භික්ෂුවට අනුව සංඝ සභාවට ඒ්වා අභිබවා තීරණ ගත හැකිය.

අවසානයේ මහා කලබගෑනියකින් පසු කිසිදු ගෞරවනීය භාවයක් ඇති නොවන පරිද්දෙන් විහාරාධිපති හිමියන්ගේ ආදාහනය විහාර භූමියේදීම අධිකරණ නියෝග නොතකා සිදු කරන ලදී. අධීකරණයේදී විහාරස්ථානය වෙනුවෙන් පෙනී සිටි පාර්ශවය තීන්දුව මගින් සතුටු වුවද ඇත්ත වශයෙන්ම දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන් ඒම සිදුවීම පාවිච්චි කිරීම සාර්ථකව අවසන් කර ගැනීමට කොළඹින් පැමිණි භික්ෂු පිරිසටත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන කිහිපයකටත් හැකි විය.

අද දින ඔවුන් සියලු දෙනා කොළඹ බලා පැමැණෙනු ඇති අතර විහාරස්ථානයේ භීක්ෂූන්වහගන්සේලා කිහිප දෙනෙක් හා දායකයන් ඉතුරු වනු ඇත. මෙම පිරිස කොළඹ යන්නේ බරපතළ වෛරයක් මෙම විහාරස්ථානය පිළිබඳ හින්දු ජනයාගේ හිත් තුළ ඇති කරවමිනි. මොවුන්ගේ අවශ්‍යතාවයද එයයි. දෙමළ අන්තවාදීන්ද මෙම සිදුවීමෙන් සතුටු වනු ඇති අතර ඔවුන්ට දෙමළ ජනයා ඒකතු වන්නේ මෙවන් සිදුවීම් හරහාය. දෙමළ අන්තවාදීන්ගේ බලාපොරොත්තුවද ඒයයි. ඒකම කාසියක දෙපැත්ත වන මෙම සිංහල හා දෙමළ අන්තවාදයන් ඇතුළු සියලු අන්තාවාදයන් පරාජය කිරීමට පොදු ජනයා අවබෝධයෙන් යුතුව පෙරට ආ යුතුය.

24 සැප් 2019

(ස්තුතිය අයිතිය ‌වෙබ් අඩවියට)

Back to Top