Sri Lanka Brief
පුවත්විවරණලංකාවේ ළමා හිංසන සහ අපයෝජනය කෙසේද කොයිබද යත් – දේදුනු සංවාද

ලංකාවේ ළමා හිංසන සහ අපයෝජනය කෙසේද කොයිබද යත් – දේදුනු සංවාද

by

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 1998 අංක 50 දරන පනත මඟින් ළමා හිංසනය වැළැක්වීමේ සහ එවැනි හිංසනයක වින්දිතයන් වූ ළමයින්ට ආරක්ෂාව හා ප්‍රතිකාර ලබා දීමේ අරමුණින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිහිට වූවා. එහි කාර්යභාරයන්ගෙන් විශේෂිතම එකක් වන්නේ ළමයින්ට එරෙහිව සිදුවන හිංසනයන් වාර්තා කිරීම හා ඒවාට නිසි පියවර ගැනීමයි. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සෑම වසරකම එම දත්ත මහජනයාට විවෘත කරනවා. නමුත් ඔවුන් තම වෙබ් අඩවියේ දක්වා ඇති පරිදිම ඒ දත්ත ශ්‍රී ලංකාවේ සිදුවන මුළු ළමා හිංසනයන්ගේ දත්ත නොවේ. ඒ වැඩි වශයෙන් ඔවුන්ට පැමිණිලි ලැබෙන ඔවුන්ගේ ‘1929’ ළමා දුරකථන සේවය මාර්ගයෙන් ලැබුණු පැමිණිලිද, ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණ වාචිකව ඉදිරිපත් කළ පැමිණිලිද, තැපැල් මඟින් ලිඛිතව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ලැබුණු පැමිණිලිද මඟින්.

දිසා අනුව ලද පැමිණිළි

2018 වසරේ දත්ත සළකා බැලීමේදී ළමා හිංසනය පිලිබඳ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට දිවයිනේ මුළු දිස්ත්‍රිරික්ක 25න්ම ලැබුන පැමිණිලි සංඛ්‍යාව 9,512ක්. ඒ අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. සංඛ්‍යාවක් ලෙස එය 1330ක් (14%) වන අතර ගම්පහ 1,066ක් (11%), කුරුණෑගල 823ක් (9%), ගාල්ල 617ක් (6%), කළුතර 540ක් (6%), රත්නපුර 537ක්ද (6%) යනාදී වශයෙන් වාර්තා වෙනවා. අවම සංඛ්‍යාවක් වන 69ක් (0.7%) පැමිණිලි මන්නාරම දිස්තක්කයෙන්ද, මුලතිවු 98ක් (1%), කිලිනොච්චි 104ක් (1%), වවුනියා 131ක් (1.3%), ත්රිකුණාමලය 137ක් (1.4%), නුවරඑළිය 168ක්ද (1.7%) යනාදී වශයෙන් සඳහන්. සරලවම බැලූ බැල්මට නාගරික ප්‍රදේශවලින් වැඩි ප්‍රතිශතයක් හා ග්‍රාමීය ප්‍රදේශවලින් අඩු ප්‍රතිශතයක් ලෙස වාර්තා වීම මඟින් ළමා හිංසන වැඩි වශයෙන් සිදුවන්නේ නාගරික ප්‍රදේශවල බව කෙනෙකුට විග්‍රහ කරන්නට පුළුවන්. නමුත් පැමිණිලි වාර්තා වී ඇති දිස්ත්‍රික්ක ගත් කල පෙනී යන්නේ උතුරු හා නැගෙනහිර දිස්ත්‍රික්කවල අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කරන බවයි. නමුත් ඒ දිස්ත්‍රික්ක අතර නුවරඑලිය දිස්ත්‍රික්කයද වනවා. එබැවින් පෙනී යන්නේ දෙමළ භාෂාව බහුතරයක් භාවිතා කරන  ප්‍රදේශවල ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව අඩු අගයක් බවයි.

පැමිණිළි කිරීමට දන්නේ නැහැ

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ශ්‍රී ලංකාව පුරා අගය කළ යුතු සේවාවක් ඉටු කරන අතරම ඉහත දත්තවලින් විග්‍රහ කෙරෙන යටි කරුණක් වන්නේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ක්‍රියාකාරීත්වය හා ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ළමා හිංසන පිලිබඳ පැමිණිලි කළ හැකිද හෝ කළ හැක්කේ කෙසේද යන්න මෙම අඩු ප්‍රතිශත සහිත දිස්ත්රික්කවල ජනයා නොදන්නා බවයි. එනම් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සේවාව උතුරු හා නැගෙනහිර පලාත්වල මෙන්ම අඩු ආදායම් ලබන වතු කම්කරු ජනයා වෙසෙන නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවලද ප්‍රචලිත හා කාර්යක්ෂම විය යුතු බවයි. මෙහිදී ඔවුන්ගේ දැනුවත්භාවය වැඩි කිරීමට සාමාන්‍ය දියුණු නාගරික ප්‍රදේශවල දියත් කරන ප්‍රචාරණය වෙනුවට ඒ ප්‍රදේශවලට සරිලන පරිදි සිදු කිරීම වඩාත් උචිත බව අප සිතනවා. මෙම තත්ත්වය 2017, 2016 යනාදී වශයෙන්ද එක ලෙස දැකිය හැකි තත්ත්වයක්.

අප පොදුවේ සිතන්නේ සෙනග වැඩි වශයෙන් ගැවසෙන නාගරික ස්ථානවල ළමා හිංසන වැඩි වශයෙන් සිදුවිය හැකි බවයි. නමුත් ළමා හිංසන ජනයා අඩු, ළමයින් හුදකාලා වන, ළමයාගේ භාරකාරීත්වය පවුලේ කෙනෙකු හැර වෙනත් කෙනෙකු දරන ස්ථානවලද බොහෝ ලෙස සිදු වන්නට පුළුවන්. උදාහරණයක් ලෙස ළමුන් ගෙදර තබා කුඹුරේ හෝ තේ වත්තේ වැඩට යන දෙමවුපියන් තම දරුවන් ගෙදරදීම අපයෝජනයට ලක්වෙනවා කියා දන්නේ නැහැ. ගෙදර යනු සුරක්ෂිත තැනක් නිසා ඔවුන් සිතන්නේ ළමයා ගෙදර තබා යෑම ප්‍රශ්නයක් නොවන බවයි. එබැවින් ඔබ ළමුන් කෙරෙහි අවධානය යොමු කළ යුත්තේ සෙනග ගැවසෙන ස්ථානවල පමණක් නොව, ළමයා සුරක්ෂිතයි කියා ඔබ සිතන ස්ථානවල පවා. කෙටියෙන්ම කිවහොත් ළමයාගේ ආරක්ෂාව ස්ථානය පිළිබද නොසිතා සැම විටම, සැම තැනම එක ලෙස තිබිය යුතු වෙනවා.

ළමය්න තුළ අනවබෝධය  නිසා 

බොහෝවිට ළමා අපචාර සිදු වන්නේ මෙම ළමුන් එය ඔවුන්ට සිදුවන හිංසනයක් බවද නොදැනීම මඟිනුයි. ළමා හිංසන පිලිබඳ වාර්තා නොවීමට විශාල ලෙස මෙය බලපානවා. ළමා හිංසනය පිලිබඳ අප පාසැල්වලද උගන්වන්නේ නැහැ. තවද කණගාටුවට කරුණ වන්නේ පාසැල් තුල ළමුන් අධික ලෙස ශාරීරික හා මානසික හිංසනයට ලක්වීමයි. ළමයා යනු වැඩිහිටියන්ට අවශ්‍ය ලෙස සකසා ගත යුතු මෙවලමක් ලෙස සිතීම ඒ ළමයාගේ ජීවිතයට ඇති අයිතිවාසිකම දැඩි ලෙස උල්ලංඝනය කිරීමක්. තවද විනයගත කිරීම යන සංකල්පයෙන් ළමුන් අධික ලෙස වැඩිහිටියන් අතින් හිංසනයට ලක් වෙනවා. මෙම සිද්ධීන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට හෝ පොලිසියට වාර්තාවන්නේ ඉතා අඩුවෙන්. එසේ වාර්තා වුවත් එය සිදු වන්නේද නාගරික ප්‍රදේශවලින්. ළමුන්ට ළමා හිංසනය පිලිබඳ කියා දෙනවා සේම, වැඩිහිටියන්ට ළමුන් ධනාත්මක විනයගත කිරීමකට යොමු කරන්නේ කෙසේද යන්න ඉගැන්විය යුතු වෙනවා. මන්ද වැඩි වශයෙන් ළමා හිංසනය සිදු කරන පුද්ගලයින් තමන් කුඩා කළද එවැනි හිංසන’ ලක් වූ අයයි. එබැවින් ඔවුන් සැමවිටම සිතන්නේ නිවැරදි ක්‍රමය ‘හිංසනය’ ලෙසයි.

තවදුරටත් තමන්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවන්හිදී ළමයින්ටම පැමිණිලි කරන්න පුළුවන් වුණත් ඒ ගැන අවබෝධය ද ලංකාවේ එතරම් ගොඩ නැගී නැහැ. බොහෝ විට ළමා ආරක්ෂණ අධිකාරියේ ඇති ක්ෂණික ඇමතුම් අංකය වන 1929 ඇමතීමටවත් බොහෝ විට ළමුන්ට පහසුකම් සපයා නැහැ.

ළමා හිංසන අවම කිරීමට අප සැමටම උදවු වෙන්නට පුළුවන්. ඒ ඒවා හැකි තාක් වාර්තා කිරීම මඟිනුයි. තමන්ගේ ළමයාට පමණක් නොවේ වීදියේ සිටින ළමයෙකුට පවා හිංසනයක් සිදුවෙනවා නම් එය වාර්තා කිරීම ඔබේ යුතුකමක් වෙනවා. ඒ සඳහා පහසුම ක්රමය ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ඒ වෙනුවෙන් ඇති ක්ෂණික ඇමතුම් අංකය වන ‘1929’ ඇමතීමෙන්. තවද හැකි තාක් දුරට මෙම අංකය අනෙක් පුද්ගලයින්ට මතක් කර දීමෙන්.

ඔබ කුඩා කල ලක් වූ හිංසනයන් ඔබේ දරුවන්ට නොකරන්න. වැඩිහිටියෙකු ලෙස ඔබ වෙනස් වන්න. දරුවන් යනු මිනිසෙකු බවත්, ඔවුන්ටද අයිතිවාසිකම් ඇති බවත් නිතර මතක තබා ගන්න. ළමුන්ට අවශ්ය ඔබේ ආදරය හා රැකවරණයයි. ඔබේ හිංසනය නොවේ.

ළමා අපයෝජන වර්ග හා ඒ පිලිබඳ 2018 දත්ත වාර්තා වෙනත් පොස්ටුවකින් බලාපොරොත්තු වන්න.

👫 ළමුන් ධනාත්මක විනයගත කිරීමට – https://www.facebook.com/pg/dedunu.sanwada/photos/?tab=album&album_id=1959182254390360

දේදුනු සංවාද
2019 සැප්තැම්බර් 05

උපුටා ැනීීීම නම් දේදුනු සංවාද – Dedunu Sanwada  ‌පෙස් බු් පිටුවෙනි)

Back to Top