Sri Lanka Brief
පුවත්විවරණබලහත්කාරී අතුරුදහන් කිරීම්: ඊයේ දවස නැවත කිසි දවසක එපා!

බලහත්කාරී අතුරුදහන් කිරීම්: ඊයේ දවස නැවත කිසි දවසක එපා!

by

ඡායාරූපය: අතුරුදහන්වවූවන් සඳහා වූ අන්තර් ජාතික දිනයෙහි තාවකාලික අනුස්මරණ පුවරුවක සිය සටහන තබන පියෙක්. © Sunanda Deshapriya

බලහත්කාරී අතුරුදහන් කිරීම්වල වින්දිතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය අගෝස්තු 30 වැනිදාට යෙදී තිබුණි. ලංකාවේ උතුරු, නැගෙනහිර සහ දකුණු පෙදෙස්වල අතුරුදහන් වූවන් සිය ගණනක් පිළිබඳ පරීක්ෂණ තවම සිදුවෙමින් පවතින තත්වයක් යටතේ, එම ජාත්‍යන්තර දිනය අපේ බලධාරීන්ගේ විශේෂ අවධානයට යොමු විය යුතුව තිබේ. අතුරුදහන් වූ තමන්ගේ ආදරණීයයන් පිළිබඳ සත්‍යය සොයමින් සහ යුක්තිය ඉල්ලා සිටිමින් උතුරේ පවුල් රාශියක් දින 900 කටත් වැඩි කාලයක් තිස්සේ මහපාරේ වාඩිලාගෙන සිටිත්. ඒ පිළිබඳ ජාත්‍යන්තර දිනය අරමුණු කරගනිමින් එම පවුල් කොළඹ බොහෝ ක්‍රියාධරයන්ද සහභාගී කරගෙන 30 වැනි දා මහා විරෝධතාවක් පැවැත්වූහ. උතුරේ පමණක් නොව, දකුණේ පවා අතුරුදහන් වූවන් පිළිබඳ විමර්ශන තවමත් අවසානයකින් තොරව විවිධ අදියරවල පැවැත්වෙමින් තිබේ. කාටූන් ශිල්පියෙකු සහ ලේඛකයෙකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ එසේ අතුරුදහන් වූ දකුණේ පුද්ගලයන් අතර ප්‍රමුඛයි. එහෙත් මෙකී අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් අධිකරණයක් ඉදිරියේ කරුණු ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තවම සොයාගැනීමට හැකි වී නැත.

මයුරී ඉනෝකා 2019 සැප් 02 දින නිහඩ විරෝධතාවයක් පැවැත්වූයේ සිය සැමියා පැහැර ‌ගෙන ‌ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධධයෙන් යුක්තිය ඉටු කරන ‌ලෙස ඉල්ලමිනි. © Sunanda Deshapriya

මෙසේ අතුරුදහන් කෙරුණු දකුණේ තවත් පුද්ගලයෙකු වන මධුෂ්ක හැරිස් ද සිල්වා පමණක් නොව, ඔහු වෙනුවෙන් හඬ නැගූ ඔහුගේ බිරිඳ වන මයුරී ඉනෝකා ද 2014 නොවැම්බර් 1 වැනි දා පැහැරගෙන ගොස් පසුව නිදහස් කෙරුණි. ඒ එඩිතර කාන්තාව, අද දිනයේ (2) හවස 4 සිට 8 දක්වා කොළඹ ගෝල්ෆේස් පිටියේදී විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට නියමිත ය. මෙවැනි තවත් සිය ගණනක් අතුරුදහන් කිරීම් සහ ඉන්පසුව ඝාතනය කිරීම් සිදුකළ අවස්ථා රාශියක් 1987-1989 භීෂණ කාලයේ දක්නට ලැබුණි. ඒවා ඒ අදාළ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ට මිස අනිත් කාටත් මේ වන අමතක වී ඇති ගානයි. එසේ වෙතත්, ඒ කාලය ලංකා ඉතිහාසයේ බිහිසුණුම පරිච්ඡේදයක් වශයෙන් සැලකිය හැකිය.

එක්සත් ජාතීන්ගේ සංගමය පෙන්වා දෙන පරිදි, බලහත්කාරී අතුරුදහන් කිරීම් නිතරම පාහේ පාවිච්චියට ගැනෙන්නේ සමාජයක් පුරා භීතිය වැපිරීමේ උපායමාර්ගයක් වශයෙනි. එසේ කිරීමෙන් සමාජයක් තුළ ඇති කෙරෙණු ලබන අනාරක්ෂාව පිළිබඳ හැඟීම, අතුරුදහන් කරවූවන්ගේ පවුල්වලට පමණක් නොව, ඔවුන්ගේ මුළු මහත් ප්‍රජාවට සේම සමස්ත සමාජයටත් බලපාන්නේය.

මෙවැනි බලහත්කාරී අතුරුදහන් කැරැවීම් සුවිශේෂී කලාපයකට පමණක් සීමා නොවන අතර මේ වන විට එය ජගත් ප්‍රශ්නයක තත්වයට වර්ධනය වී ඇත. කාලයක් මේවා දකින්ට තිබුණේ විශේෂයෙන් හමුදා ආඥාදායකත්වයන් පවතින රටවල ය. එහෙත් අද වන විට, අභ්‍යන්තර ගැටුම්කාරී තත්වයන් පවතින තැන්වල ඉතා සංකීර්ණ තත්වයන් යටතේ එම චර්යාව ක්‍රියාවට නැගේ. විශේෂයෙන්, දේශපාලනික විරුද්ධවාදීන් මර්දනය කිරීමේ අවියක් වශයෙන් එවැනි තැන්වල එය පාවිච්චියට ගැනෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. වැඩියත්ම, මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින්නන්ට, වින්දිතයන්ගේ නෑයන්ට, සාක්ෂිකරුවන්ට සහ බලහත්කාරී අතුරුදහන් කැරැවීම් පිළිබඳ සත්‍යය සොයා ගැනීම සඳහා අධිකරණ ඉදිරියේ පෙනී සිටින නීතිඥයන්ට එරෙහිව එය ක්‍රියාවට නැංවෙයි. ඇතැම් රටවල් තමන්ගේ ප්‍රති-ත්‍රස්ත ක්‍රියාන්විතයන්ද, වගකීම් පැහැර හැරීම සහ බලහත්කාරී අතුරුදහන් කැරැවීම්වල වගවීමෙන් මගහැරයාම සඳහා පහසු අවසරයක් වශයෙන් පාවිච්චි කරයි.

2010 දෙසැම්බර් 2 වැනි දා, එක්සත් ජාතීන්ගේ සංගමය ලෝකයේ විවිධ තැන්වල මෙවැනි බලහත්කාරී අතුරුදහන් කැරැවීම් වර්ධනය වෙමින් තිබීම විශේෂ සැලකිල්ලට ගත්තේය. අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම් සහ පැහැරගෙන යාම් එහිදී විශේෂ අවධානයට ලක්විය. එසේම, වධහිංසා පැමිණවීම, නරක ලෙස සැලකීම සහ අතුරුදහන් වූවන් පිළිබඳ සාක්ෂිකරුවන් හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් බිය ගැන්වීමත් ඔවුන්ගේ තියුණු සැලකිල්ලට යොමු විය.

ඒ තත්වය තුළ, බලහත්කාරී අතුරුදහන් කැරැවීම්වලින් පුද්ගලයන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියක් ඇති කර ගැනීමේ යෝජනාවක් පිළිගත් එක්සත් ජාතීන්ගේ සංවිධානය, 2011 වසරේ සිට, බලහත්කාරයෙන් අතුරුදහන්කරවූවන්ගේ වින්දිතයන් පිළිබඳ ජාත්‍යන්තර දිනය වශයෙන් අගෝස්තු 30 සැමරෙන බව ප්‍රකාශයට පත්කෙළේය.

1999 සිට කොසෝවෝ දේශයේ 6000 කට වැඩි පිරිසක් අතුරුදහන්ව සිටිති. කොසෝවෝ හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයත්, කොසෝවෝ හි එක්සත් ජාතීන්ගේ අන්තර්වාර පරිපාලන කාර්යලයත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යලය සමග එක්ව ‘අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ සම්පත් මධ්‍යස්ථානයක්’ පිහිටුවීමට පියවර ගෙන තිබේ.

© Sunanda Deshapriya

පුළුල් බලතල සහිත අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් ගිය වසරේ ශ්‍රී ලංකාවේත් පිහිටුවීය. එය මේ වන විට ඒ අංශයෙන් සක්‍රීය දායකත්වයක් සපයමින් සිටී. එහෙත් ඒ සඳහා යොදාගැනෙන පටිපාටිය පැටලිලිකාරී ගතියක් පෙන්නුම් කරයි. ඇත්තෙන්ම වින්දිතයන් ඉල්ලා සිටින්නේ ක්ෂණික ප්‍රතිඵල ය. තව මාස කිහිපයකින් ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇති තත්වයක් තුළ, දකුණේ සිදු වූ අතුරුදහන් කිරීම්වලට අදාළ අධිකරණ පරීක්ෂණ බලධාරීන් විසින් මේ වන විට වේගවත් කොට තිබේ. එහෙත් ජනාධිපතිවරණයෙන් පසුව ඒවාට කුමක් සිදුවේදැයි විචාරකයෝ ප්‍රශ්න කරති. ඒ සියල්ල අස්සේ වින්දිතයන්ගේ තත්වය අතිශය කණගාටුදායක බව කිව යුතුය. ඒ නිසා, නැවත නම් එවැනි අතුරුදහන් වීම් ඇති නොවන තැනට ලංකාව වගබලාගත යුතුව තිබේ.

2019 අගෝස්තු 31 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Enforced Disappearances: Never Again Yesterday නමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top