Sri Lanka Brief
පුවත්විවරණබදු ගෙවන්නාගේ මුදල් දේශපාලඥයන් කාබාසිනියා කරන්නේ කෙසේද යත්.. (2)

බදු ගෙවන්නාගේ මුදල් දේශපාලඥයන් කාබාසිනියා කරන්නේ කෙසේද යත්.. (2)

by

ඡායාරූපය: වජාර අබේවර්ධන විසි්හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 421 දෙනෙකුට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා දීම සඳහා අවසර පතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම නින්දාසහගත ය.

සංජීව ජයවීර‍‍.

මේ ලිපිය ලියන අවස්ථාව වන විට, නෙළුම් කුලුන විවෘත කරමින් ජනාධිපතිවරයා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කොට තිබේ. නෙළුම් කුලුන ගොඩනැගීම සඳහා ලංකා රජය චීන සමාගමකට ගෙවූ රුපියල් බිලියන 2 මුදලක් ආගිය අතක් නැති බව කී ඔහු එම සමාගමත් මේ වන විට අතුරුදහන්ව ඇතැයි කීවේය. මේ බව සොයාගෙන ඇත්තේ 2016 දී වෙතත්, බදුගෙවන ජනතාවගේ මුදල් මෙසේ වංචා කළ සිද්ධියට අදාල පුද්ගලයන්ට එරෙහිව කිසි පියවරක් තවම ගෙන නැත.

2017 දී රුපියල් බිලියන 87 ක් වශයෙන් පැවති රාජ්‍ය ව්‍යවසාය ආයතන 16 ක අලාභය 2018 වන විට රුපියල් බිලියන 157 දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් ඇමතිවරයා මෑතකදී අනාවරණය කෙළේය. එහි අදහස වන්නේ එවැනි අලාභයක් වළක්වා ගැනීම සඳහා මේ වන තෙක් පියවර ගෙන නොමැති බව ය. තමන්ගේ බදු මුදල්වලට සිදුවන මේ අපරාධය සමහරවිට ජනතාවගෙන් වැඩි දෙනෙක් නොදන්නවා විය හැකිය. දන්න අය පවා ඒ ගැන තැකීමක් නොකොට, එය අපේ රාජකාරියක් නොවෙතැයි සිතනවා විය හැකිය. එහෙත් එය අපේ දරුවන්ගේද අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් වන බව කිව යුතුය.

පෞද්ගලික ස්වාධීන බුද්ධි මණ්ඩලයක් වන ‘ඇඞ්වොකාටා ආයතනය’ විසින් “පද්ධතිමය අව-කළමනාකරණය” මැයෙන් වූ පර්යේෂණ පත්‍රිකාවක් මෑතකදී ප්‍රකාශයට පත්කෙළේය. මා සිතන පරිදි, මෙය ලංකාවේ සෑම ඡන්දදායකයෙකුම අනිවාර්යයෙන් කියැවිය යුතු අගනා පත්‍රිකාවකි. වසර ගණනකට සැරයක් අප විසින් තෝරා පත්කර ගනු ලබන පුද්ගලයන් විසින් මේ රට පාලනය කරනු ලබන සැටි ඒ මගින් චිත්‍රණය කොට ඇති ආකාරය කෙනෙකු තුළ කම්පාව දනවන සුළු ය.

එසේම, ඒ ගැන අප කවුරුත් වගකිව යුතු බවත් කිව යුතුය. වසර ගණනක් තිස්සේ සිදු කෙරී ඇති මෙවැනි දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්ව තිබියදීත්, අප එකම හොරු කණ්ඩායමක් නැවත නැවතත බලයට පත්කරමින් සිටිමු.

‘ඇඞ්වොකාටා’ පත්‍රිකාවට අනුව, රාජ්‍ය ව්‍යවසාය ආයතන 527 අතුරින් 55 ක් හෙවත් සියයට 10 ක් අත්‍යාවශ්‍ය වැදගත්මකින් යුත් ආයතන වශයෙන් මහ භාණ්ඩාගාරය හඳුනාගෙන තිබේ. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලිබල මණ්ලය, ලංකා ගමනාගමන මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම, 2006-2017 කාලයේ ලබා ඇති සමුච්චිත පාඩුව රුපියල් බිලියන 580 ක් වන බව එම වාර්තාව පෙන්වා දෙයි.

කෝප් කමිටුව සහ විගණකාධිපතිවරයා සොයාගෙන ඇති පරිදි, රාජ්‍ය ආයතනවල වාණිජමය සහ මූල්‍යමය අක්‍රමිකතාවන්ට අමතරව බරපතල වංචා සිදුව ඇති අවස්ථා ගණනාවක් එම වාර්තාව මගින් අවධාරණයෙන් යුතුව පෙන්වා දෙයි. ඒ සියල්ල අතිශය නින්දිත ය. කෙසේ වෙතත්, ඉන් කිහිපයක් පමණක්, අපේ රටේ දේශපාලනික අවභාවිතයේ තරම මැන ගැනීම සඳහා මම මෙහි සඳහන් කරමි.

කුණු ගඳ ගහන දූෂණ

ඉන් එක් අවස්ථාවක් වන්නේ, 2014-2016 කාලය තුළ රුපියල් බිලියන 27 ක වියදමින් සතොස මගින් හාල් මෙටි්‍රක් ටොන් 257,559 ක් ආනයනය කිරීමයි. එයින් මෙටි්‍රක් ටොන් 233,807 ක් විකුණා ඇති අතර එයින් ලබාගෙන ඇත්තේ රුපියල් බිලියන 11.8 කි. එනම්, බිලියන 15 ක් පාඩු සිදු කරගෙන ඇති බවයි. විගණකාධිපතිවරයාගේ වාර්තාවකට අනුව, හාල් මෙටි්‍රක් ටොන් 7947 ක් ආගිය අතක් නැත. ඊට අමතරව, තවත් මෙටි්‍රක් ටොන් 23,751 ක් විවිධ ගබඩාවල විකුණාගත නොහැකිව ගොඩගසා තිබේ. එනම්, ආනයනය කිරීමෙන් මාස 19 ක් ගතවීමෙන් පසුව පවා ඒවා විකුණාගත නොහැකි වී ඇති බවයි.

විගණකාධිපතිවරයාගේ තවත් වාර්තාවකට අනුව, 2009-2016 අතර කාලය තුළ නොරොච්චෝලේ බලාගාරය සඳහා ලබාගෙන ඇති ගල්අඟුරුවලින් ලබා ඇති පාඩුව රුපියල බිලියන 4 කි. තවද, මහජන බැංකුව ‘කැන්ඩි සිටි සෙන්ටර්’ නමින් ව්‍යාපාරයක් පටන් ගැනීම සඳහා එක් පුද්ගලයෙකුට රුපියල් මිලියන 395 ක ණයක් සපයා තිබේ. එයින් මිලියන 245 ක් බැංකු අයිරාවක් වශයෙනි. ඉතිරි මිලියන 150 දීර්ඝ කාලින ණය මුදලක් වශයෙනි. එසේ තිබියදී, මාස තුනක් ඇතුළත ඒ මුළු මුදලම ආපසු ගෙවිය නොහැකි ණයක් බවට හැරී තිබේ. අදාළ ණයකරුවා ඉන් අනතුරුව පොරොන්දු වී ඇත්තේ මිලියනය බැගින් කොටස් වශයෙන් ගෙවීමට ය. එනම්, දුන් ණය මුදල පියවා ගැනීමට මහජන බැංකුවට තව අවුරුදු 62 ක් බලා සිටීමට සිදුවන බව ය. අවසානයේ මහජන බැංකුව ගෙවිය යුතුව ඇති කුලී මුදලක් වෙනුවෙන් මේ ණය මුදල කපා හැරීමට බැංකු කළමනාකරණය තීරණය කොට තිබේ.

රාජ්‍ය ව්‍යවසාය ආයතන සියල්ලේම අධීක්ෂණය ඉහළ නැංවිය යුතු බව ඉහත සඳහන් පර්යේෂණ වාර්තාව පෙන්වා දෙයි. දේශපාලඥයන් සහ ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ වංචනිකත්වය සහ වගවීමක් නැතිකම ආදියට අමතරව, ක්‍රමවත් විධික්‍රම සහ ක්‍රියාපටිපාටිවලට අනුගත නොවීම නිසා, බදු ගෙවන්නන්ගේ බදු මුදල් විශාල වශයෙන් නාස්ති වී ගොස් තිබේ. එසේ නාස්ති කොට ඇති මුදල් ඉතා පහසුවෙන් අධ්‍යාපනය, සෞඛ්‍ය සහ යටිතල සංවර්ධන ව්‍යාපෘති සඳහා යෙදවිය හැකිව තිබුණි.

මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා දේශපාලනික අනුග්‍රහයක් වශයෙන් රාජ්‍ය අංශය සේවකයන්ගෙන් පුරවන තරම, රාජ්‍ය අංශයේ වෛද්‍ය නිලධාරීන් 19,612 ක් සහ හෙදියන් 32,399 ක් සිටින විට කාර්යාල සහායකයන් (පියන්ලා) 166,588 ක් සහ රියැදුරන් 25,645 ක් සිටීමෙන් පෙන්නුම් කෙරේ.

බදු නොගෙවා පැහැර හරින වෘත්තිකයන් සහ වෙනත් පිරිස් පස්සේ හඹා යාමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන ඇති ක්‍රියා මාර්ගයට රට ගැන සිතන සියලු පුරවැසියන් සහාය දිය යුතුය. බදු නීති යනු, පුද්ගලයන්ගේ තරාතිරම අනුව වෙනස් නොවී තදින් ක්‍රියාත්මක කළ යුතු කටයුත්තකි.

සෘජු බදු අය කර ගැනීම අයාලේ යන තවත් ක්‍රමයක් වන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ට ලබා දෙන තීරුබදු රහිත වාහන බලපත්‍ර ඔවුන් විසින් විකුණා ගැනීම ය. කැබිනට් ඇමතිවරුන්ද ඇතුළු බොහෝ මන්ත්‍රීවරු විශාල ලාබයක් තබාගෙන තමන්ගේ වාහන බලපත්‍ර විකුණති. එය කෙලින්ම රජයේ ආදායම් අඩු කරවන්නකි. එසේ තිබියදී, අමාත්‍ය වජිර අබේවර්ධන පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීම් දෙකකදීම, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 421 දෙනෙකුට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා දීම සඳහා අවසර පතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම නින්දාසහගත ය. එහිදී මුදල් ඇමතිවරයා ඊට විරෝධය පෑම අගේ කළ යුතුය. එහෙත් නැවත වරක් වජිර අබේවර්ධන එම ඉල්ලීම නොකර සිටීවිද?

ජනතා මතය කෙරෙහි දේශපාලඥයන් මෙතරම් අසංවේදී වන්නේ කෙසේද යන්න පුදුම සහගත ය. එයින් පෙන්නුම් කරන්නේ මහජන මතය ඔවුන් තුට්ටුවකටවත් ගණන් නොගන්නා බවයි. මා සිතන පරිදි, තීරුබදු රහිත වාහන බලපත්‍රයක් විකුණන්නේ නම් එය බද්දකට යටත් වන්නේය. ඒ ආකාරයන් පසුගිය දශකයක කාලය තුළ මන්ත්‍රීවරුන් තමන්ගේ බලපත්‍ර විකුණා ඒවා සඳහා රජයට බදු ගෙවා ඇත්ද, එසේ නම් ඒ කොපමණද යන්න, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සොයා බැලිය යුතුය.

බදු ගෙවන්නන්ගේ මුදල් මෙසේ විශාල වශයෙන් නිස්කාරණේ නාස්ති කිරීම ගැන ජනතාව පාලකයන්ව වගවීමෙන් බැඳ ගත යුතුය. ඔවුන්ව ජනතාව විසින් මැතිවරණවලදී ප්‍රතික්ෂේප කළ යුතු අතර, ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙස, ඔවුන්ට දඬුවම් කරන ලෙස සහ ඔවුන්ගේ දේපළ තහනම් කොට එම මුදල් අය කරගන්නා ලෙස ඉල්ලා සිටිය යුතුය. මෙය, ඒවාට උපකාර කරන සහ තමන්මත් ඒ අපරාධ සිදු කරන, වෙනත් සියලු රජයේ නිලධාරීන්ටත් බලපැවැත්විය යුතුය.

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ දැඩි තීරණ ගැනීමේ හැකියාව ඇති, අවශ්‍ය පමණට වඩා පිම්බී තිබෙන රාජ්‍ය අංශය ප්‍රමාණවත් පරිද්දෙන් කප්පාදු කළ හැකි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීම නතර කළ හැකි කාටද යන්න, ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඡන්දදායකයන් සැලකිල්ලට ගත යුතුව තිබේ.

2019 සැප්තැම්බර් 21 වැනිදා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ How Politicians Squander Tax Payer’s Money (2) නමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

 

Back to Top