Sri Lanka Brief
පුවත්විවරණජනාධිපතිවරණ සහ ජනතාව ඉදිරියේ ඇති විකල්ප තේරීම් – සිකුරාදා මණ්ඩපය

ජනාධිපතිවරණ සහ ජනතාව ඉදිරියේ ඇති විකල්ප තේරීම් – සිකුරාදා මණ්ඩපය

by

ඡායාරෑපය; ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ය. ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන්, පක්ෂයක් විසින් නොව පවුලක් විසින් ප්‍රසිද්ධියේ නිර්දේශ කොට ‘අභිෂේක’ කරනු ලැබූ පුද්ගලයෙකු ලංකාවේ ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් කෙරෙන පළමු අවස්ථාව මෙයයි.

ජාතියේ ඉදිරිමග පෙන්වන දේශපාලනික නායකත්වය පිළිබඳ තීරණ ගැනීමේ අවස්ථාව තව මාස කිහිපයකින් මෙරටට උදාවනු ඇත. මෑත අනාගතය තුළ අපේ රට ඉදිරියට යන දිසාව සහ ආකාරය සම්බන්ධයෙන් ගත් විට එය තීරණාත්මක අවස්ථාවක් වන්නේය.

1. සන්දර්භය

අප අර්බුද ගණනාවකට මුහුණදී සිටීම, ඒවා විසඳා ගැනීමට තරම් වන කැපවීමක්, සෘජු භාවයක් සහ නිපුණත්වයක් සහිත දේශපාලනික නායකත්වයක් නොමැති වීම මේ අවස්ථාවේ යථාර්ථයක් වශයෙන් අප ඉදිරියේ ඇති බව පිළිගත යුතුව තිබේ. අප මේ වන විට ආගමික සහ වාර්ගික භේදභින්නවීම් තුළ පැටලී සිටිමු. එය රටේ සාමයට සහ ස්ථාවරත්වයට බරපතල ප්‍රශ්න ඇති කරවයි. මහජන දේපොළ අපයෝජනය කිරීමටත්, දේශපාලඥයන් සහ නිලධාරීන් තර කිරීමටත් එක පැත්තකින් ඉවහල් කරගත හැකි, මෝඩ සහ ප්‍රතිපත්ති විරහිත මූල්‍ය ප්‍රතිපත්තිද, මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි දක්වන දුර නොදකින ආකල්පද නිසා, රටේ ආදායම් තත්වය නරක අතට හරවා තිබේ. අඥාන සහ අදක්ෂ අන්දමින් විදේශ ප්‍රතිපත්තිය හැසිරවීම හේතු කොටගෙන, මෑතකදී අප්‍රිකාව සහ දකුණු ඇමරිකාව මුහුණදුන් ආකාරයේ යටත්විජිතවාදී නව ආකෘතියේ ගොදුරක් බවට පත්වීමේ අවදානම සහිත කුඩා රටක් බවට අපිත් පත්ව සිටිමු. නීතිය හා සාමය පිළිබඳ තත්වයන් කඩාවැටෙන සැටි අප අප දැක තිබේ. නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ යුක්තිය පසිඳලීමේ ආයතනවල සාර්ථකත්වය කෙරෙහි පවතින විශ්වාස මේ වන විට බිඳී තිබේ. ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම් පිළිබඳව ප්‍රමාණවත් පරිද්දෙන් දැනුවත් වීමටත්, රටේ උපරිම උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීම සඳහා පත්කරගෙන සිටින දේශපාලඥයන්ගේ වගවීම ඉල්ලා සිටීමටත්, පුරවැසියන් වශයෙන් අපි අපොහොසත්ව සිටිමු.

තත්වයන් එසේ තිබියදීත්, ආණ්ඩු වෙනස් කිරීමටත්, අතීත වැරදි නිවැරදි කරගැනීමේ ක්‍රියාවලියක් හරහා යළි රට ගොඩනැගීමට උරදීමටත් තමන්ට ඇති අයිතිය ශ්‍රී ලාංකීය පුරවැසියන් මේ දක්වා නිරතුරුව භාවිත කොට තිබේ.

අවසාන වරට පැවති 2015 ඡන්දය, ඒකාබද්ධ විපක්ෂය විසින් මහජන රැස්වීම්වලදී බොහෝ විට පරිහාසයෙන් ප්‍රතික්ෂේප කරනු දක්නට ලැබේ. අපත්, විශේෂයෙන්ම පළමු වරට ඡන්දය පාවිච්චි කරන තරුණ පිරිසත්, 2018 දී ව්‍යවස්ථානුකූල නොවන ආකාරයකින් සහ නීති විරෝධී ආකාරයකින් ආණ්ඩු බලය ඩැහැගැනීමට ගිය එවැනි පිරිසක් කියන දේශපාලනික වාගාලාපවලින් නොමග යා යුතු නැත. 2015 දී ආණ්ඩු වෙනසක් සඳහා පාවිච්චි කෙරුණු ඡන්දය වනාහී, ඊට කලින් දස වසරක පමණ කාලයක් තිස්සේ දක්නට ලැබුණු බල අපයෝජනය, පැහැරගෙන යාම් සහ ඝාතනය කිරීම්, අධිකරණය ඇතුළු වෙනත් ආයතනවලට කරන ලද අනවශ්‍ය අතපෙවීම් ආදියට විරුද්ධව රටේ බහුතරයක් ජනතාව සිය නිගමනය ප්‍රකාශයට පත්කිරීමකි. එබැවින්, 2015 ඡන්දය යනු, වෙනසක අපේක්ෂාවක් දල්වන ලද අවස්ථාවකි.

වර්තමාන ආණ්ඩුවේ අසාර්ථකත්වයන් කෙරෙහි අප තුළ පවතින අපේක්ෂාභංගත්වය සහ කෝපය, ගත වූ වසර පහක කාලය තුළ අත්කරගෙන තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයේ සුළු පරිමාණ හෝ ජයග්‍රහණයන් ප්‍රතික්ෂේප කිරීමකට තුඩුදිය යුතු නැත. එහිදී, ජාතික ආරක්ෂාව අරභයා ඇති වූ ආණ්ඩුවේ අසමත්භාවය කෙරෙහි අප තුළ පවතින සන්තාපය, සමස්ත ප්‍රජාතන්ත්‍රවාදයම ප්‍රතික්ෂේප කිරීමට කොහෙත්ම හේතුවක් කරගත යුතු නැත. ජාතික ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ නාමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතීන් බැහැර කරන දේශපාලනික නායකත්වයක්, අපේ ඡන්දය හරහා බලයට පත්කරගත යුතු නැත. ලෝක ඉතිහාසයත්, අපේම මෑත කාලීන ඉතිහාසයත් පෙන්වා දෙන පරිදි, ශක්තිමත් නායකත්වයක මුවාවෙන් මර්දනය සහ රාජ්‍ය බලය අයුතු ලෙස පාවිච්චි කිරීමෙන් සිදුවන්නේ, තව තවත් ප්‍රචණ්ඩත්වයට සහ ගැටුම්කාරී තත්වයන්ට රටවල් පත්කිරීමත්, එකී රටවල ආර්ථිකයන් අස්ථායී කිරීමට සහ සාමය සහ ප්‍රගතියට බාධා පැමිණවීමත් ය. ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ගෞරවයක් නැති, නීතියේ ආධිපත්‍යය සහ ජනතාවක් වශයෙන් අප සතුව ඇති සරු විවිධත්වය කෙරෙහි ගෞරවයක් නැති ‘ශක්තිමත් නායකත්වයක්’, රටේ ආර්ථික සංවර්ධනය සඳහාවත්, රටේ අභ්‍යන්තරික සමාජ සහ දේශපාලනික ගැටුම් නිරාකරණය කරගැනීම සඳහාවත් උපස්ථම්භක වන්නේ නැත.

2. අපේක්ෂකයන්

රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ වැදගත් තනතුරුවලට පුද්ගලයන් පත්කරන විට ඔවුන්ගේ විශ්වසනීයත්වය පරිස්සමින් සොයා බැලීම සාමාන්‍ය සිරිතයි. අපත්, රටක පුරවැසියන් වශයෙන් අනුගමනය කළ යුත්තේ ඒ සිරිත නොවේද? එසේ නම්, අපේ ඡන්දය ඉල්ලා සිටින සහ රටට නායකත්වය සැපයීමට සිටින ජනාධිපති අපේක්ෂකයා අපේ දැඩි පරීක්ෂාවකට ලක්කර ගැනීම අපේ අයිතිය සහ වගකීම නොවන්නේද?

(අ) ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකුම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් දරණ ස්ථාවරය අප දැනගත යුතුය. මෙය එක දිගටම ජනාධිපතිවරණවලදී ජනතාව නැවත නැවතත් ඉල්ලා ඇති සහ නායකයන් පොරොන්දු වී ඇති ප්‍රධාන කාරණයකි.

(ආ) ජනාධිපති සිරිසේන වසර හතරකට වැඩි කාලයක් එම ධුරය හොබවා ඇත. 2015 දී විශිෂ්ඨ ජයග්‍රහණයෙක් අත්කර ගැනීමෙන් පසුව, ඔහුගෙන් බලාපොරොත්තු වූ නායකත්වය ඔහු රටට දී තිබේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔහු විසින් උල්ලංඝණය කරනු ලැබීම සහ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු ඔහු විසින් නොතකා හරිනු ලැබීම අප සලකන්නේ කෙසේද? අනාගතයේදී ඊට වෙනස් ආකාරයකින් ඔහු කටයුතු කරතියි අපට විශ්වාස කළ හැකිද? ඇරත්, තවත් වාරයක් ඉල්ලා සිටීමට තරම් ඔහු සුදුස්සෙකු යැයි අප විශ්වාස කරන්නේද?

(ඇ) පසුගිය වසර හතරක කාලය තිස්සේ රටට ප්‍රතිලාභයක් වූ ඇතැම් වෙනස්කම් සඳහා රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දුනි. එහෙත්, ඔහු අගමැති ධුරයට පත්වීමේදී ලද වරම ප්‍රකාරව කටයුතු කිරීමට ඔහු සමත් වී ඇත්ද යන්න අප පරීක්ෂාවට ලක්කළ යුතුව තිබේ. 2018 වසරේ අවසාන භාගයේදී රටේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද විනිශ්චයෙන්, ප්‍රජාතන්ත්‍රීය පාලන ක්‍රමයේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කෙරුණි. දෙන ලද පොරොන්දු ඉෂ්ට කිරීමට ඉන්පසු ඔහුට තවත් අවස්ථාවක් උදාකර දෙන ලදි. එහෙත් එයින් පසුව පවා, ආණ්ඩුකරණය තුළ සිදුවිය යුතු වෙනස්කම් සිදුවීද? විවිධ කොමිෂන් සභා පත්කොට ඇති මුත්, ඒවායේ වාර්තා කොතෙකුත් ඇති මුත්, ‘බැඳුම්කර වංචාව’ සම්බන්ධයෙන් ඔහුගේ හැසිරීම ගැන ජනතාව තවමත් ප්‍රශ්න කරති. අර්ජුන මහේන්ද්‍රන් හෝ අමාත්‍ය රවි කරුණානායක සමග පැවති ඔහුගේ ගනුදෙනු ගැන තවම ඔහු රටට පැහැදිලි කොට නැත. අර්ජුන ඇලෝසියස් සමග රවි කරුණානායකගේ සම්බන්ධතාව පරීක්ෂණ කොමිෂන් සභාවල දැඩි දෝෂදර්ශනයට ලක්වූ මාතෘකාවකි. ජාතික ආරක්ෂාව, දූෂණය සහ අපරාධ යුක්ති විනිශ්චය යන කරුණු සම්බන්ධයෙන් අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ දක්වා ඇති ප්‍රතිචාර ගැන අපි සෑහීමකට පත්වෙමුද? ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කළ නායකත්වය ඔහුගෙන් සැපයුණිද? පක්ෂ නායකයා වශයෙන් මේ තීරණාත්මක මොහොතේ තමාගේ වගකීම් ඔහු ඉටු කරමින් සිටීද? එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් වන පොදු එකඟතාවක් ඇති කර ගැනීමට, ප්‍රජාතන්ත්‍රීය තේරීම් ක්‍රමයක් හරහා ඔහු කටයුතු කරමින් සිටීද?

අනුර කුමාර දිසානායක

(ඈ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ය. ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන්, පක්ෂයක් විසින් නොව පවුලක් විසින් ප්‍රසිද්ධියේ නිර්දේශ කොට ‘අභිෂේක’ කරනු ලැබූ පුද්ගලයෙකු ලංකාවේ ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් කෙරෙන පළමු අවස්ථාව මෙයයි. එවැනි තත්වයක්, අප සම්බන්ධයෙන් මෙන්ම ඔහුගේ දේශපාලනික නායකත්වය සම්බන්ධයෙන්ද අනාගතයේ බලපානු ඇත්තේ කවරාකාරයකින් විය හැකිද?

තවද, ශ්‍රී ලංකාවේ සහ ඇමරිකාවේ නඩු ගණනාවක් ඇති පුද්ගලයෙකු ලංකාවේ ජනාධිපති අපේක්ෂකයෙකු වන පළමු වතාවත් මෙයයි. රටවල් දෙකේම ඔහුට විරුද්ධව පවතින නඩු සිවිල් නඩු ය. එහෙත් ඒවා පදනම් වන්නේ, ඔහු මෙරටේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වශයෙන් සිටි කාලයට සම්බන්ධ, දූෂණය සහ බලඅපයෝජනය, වධහිංසා පැමිණවීම සහ මිනිස් ඝාතනවල අපසහායකත්වය වැනි බරපතල චෝදනා මත ය. වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් වෙඩි තබා ඝාතනය කිරීම සහ (රිය අනතුරකින් සිදුවූ මරණයක් වශයෙන් එදා සැලකුවද, මේ වන විට, වධහිංසාවට පත්කොට බිහිසුණු අන්දමින් ඝාතනය කරන ලද බවට පැහැදිලි සාක්ෂි ඉදිරිපත්ව ඇති) තාජුඩීන් ඝාතනය සිදු වුයේ ඔහු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වශයෙන් සිටියදී ය. ඛේදජනක පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ සිටි පොලිස්පතිවරයාව සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාව මේ වන විට අපි ප්‍රශ්න කරමු. ඒ ආකාරයෙන්ම, ගෝඨාභය රාජපක්ෂ මහතාවත් අප ප්‍රශ්න කළ යුතු නැත්ද? ශ්‍රී ලාංකීය පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඔහු ඉල්ලුම් කර ඇති ආකාරය සහ 2005 ජනාධිපතිවරණයේදී ඔහු ලංකාවේ ඡන්දය පාවිච්චි කොට තිබීම පිළිබඳ සිද්ධි මේ වන විට මැතිවරණ වංචා සහ නීති රෙගුලාසි උල්ලංඝණය කිරීම් වශයෙන් අභියෝගයට ලක්ව තිබේ. තේරීපත්වන ජනාධිපතිවරයෙකුට ලැබෙන පුළුල් මුක්තිය තුළ, ඔහු සම්බන්ධයෙන් මේ වන විට කෙරීගෙන යන සියලු නීතිමය කටයුතු එවිට නතර කෙරෙනු ඇත. රටේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම මගින් එකී සියලු සිද්ධීන් නොතකා හැරීමට සිදුවෙයි නම් එය, මෙරටේ යුක්තිය පසිඳලීමේ සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය කෙරෙහි ඇති විශ්වාසයට බරපතල හානියක් වනු ඇත.

(ඈ) ජනතා විමුක්ති පෙරමුණු අපේක්ෂකයා වන්නේ අනුර කුමාර දිසානායක මහතා ය. ඔහුගේ මැතිවරණ ප්‍රකාශනය, විශේෂඥ කමිටුවක සහාය ඇතිව ඉවරයක් කෙරෙමින් පවතින බව කියනු ලැබේ. එය සාධනීය කාරණයකි. එහෙත් මෑතකදී ජනතා විමුක්ති පෙරමුණම ගෙනා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අරභයා ඔවුන්ගේ වර්තමාන ස්ථාවරය කුමක්දැයි අප දැනගත යුතුය. එසේම, රටේ ආර්ථිකය කළමනාකරණය ඔවුන්ගේ පාලනයක් යටතේ සිදුවන්නේ කෙසේද යන්න ගැන පැහැදිලි කිරීම්ද අපට වශ්‍ය කෙරේ. මීට ඉහත වකවානුවක දක්නට ලැබුණු, විසම්මුතික අදහස් නොඉවසන මර්දනකාරී සහ ප්‍රචණ්ඩකාරී ස්වභාවය, මුළුමණින්මත්, සදහටමත් ඔවුන් අතහැර තිබේද?

ඊළඟ ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමේදී මේ සියලු දේවල් ගැන අපේ සැලකිල්ල යොමු විය යුතුය. අපේ මතකය අවහිර කරවන සාමූහික විස්මෘතියකට යට වීම, පුරවැසියන් වශයෙන් අපට කළ හැක්කක් නොවේ. එසේම, හිස් දේශපාලනික ප්‍රතිඥාවන් නොව, අපට ඒත්තු යන ආකාරයේ ප්‍රතිපත්තිමය සංයුක්ත කැපවීම් සහ වැඩපිළිවෙලවල් ඉදිරිපත් කිරීමට දේශපාලන පක්ෂවලට හැකියාව තිබිය යුතුය. ඡන්ද බලය සහිත මේ දේවල් ගැන ඇස ගසාගෙන සිටින ජනතාවක් ශ්‍රී ලංකාවේ තවමත් සිටින බව ඔවුන් දැනගත යුතුය.

මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර
චන්ද්‍රා ජයරත්න
(ආචාර්ය ජී. උස්වත්තආරච්චි, ප්‍රියන්ත ගමගේ, ෆයිස් උර්-රහමන්, මනෝරී මුත්තෙට්ටුවෙගම, ආචාර්ය ඒ. සී. විස්වලිංගම්, පූජ්‍ය ආචාර්ය ජයසිරි පීරිස්, මහාචාර්ය ගමිලා සමරසිංහ, ශාන්ති ඩයස්, සංජයන් රාජසිංහම්, තිස්ස ජයතිලක, මහාචාර්ය අර්ජුන අළුවිහාරේ, මහාචාර්ය කමෙනා ගුණරත්න, බිෂොප් දුලිප් ඩි. චිකේරා, ප්‍රශාන් ඩී. විසේර්, ඩී. කාසිචෙට්ටි, මහාචාර්ය ගනනාථ ඔබේසේකර සහ මහාචාර්ය රන්ජනී ඔබේසේකර)
“ෆ්‍රයිඬේ ෆෝරම්”

2019 සැප්තැම්බර් 2 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ Presidential Elections & Peoples’ Options නමැති ‘ෆ්‍රයිඬේ ෆෝරම්’ ප්‍රකාශනයේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top