Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගජනාධිපතිවරණයට එහා බැල්මක්! – සුනන්ද දේශප්‍රිය

ජනාධිපතිවරණයට එහා බැල්මක්! – සුනන්ද දේශප්‍රිය

by

 

ඡායාරූපය: සජිත්ගේ පොස්ටර් පරණ පොස්ටර් උඩ ඇලවෙන්නේ කාගේ පෝස්ටර් විය හැකිද?

‘2020ට අපෙන් සජිත්’ පොස්ටර් දැන් ටිකක් පරණය. මංගලටවත් කියා අලුත් සටන් පාඨයක් හදා ගන්නට කල් හරි ය. සමහර විට එහි සිටින අලියා ගලවන්නටත් වෙන්න පුළුවන.  කරු ජයසූරියට පරණ පෝස්ටරයේ ඉතිරි වූ ඒවා ම අලවා ගත හැක. එහි කියැවුණේ ‘ආවොත් කරු- පායයි හිරු’ කියා ය. ඒ ජයසූරිය කොළඹ නගර සභාවට තරඟ කළ අවස්ථාවෙහි ඇල වූ ඒවා ය. රනිල් අලවා ගන්නට වෙන්නේ අකිල විරාජ් කාරියවසම්ගේ මුහුණ ය.

රනිල් දැනට තරඟයෙන් ඉවත් වී ගොසිනි. රනිල්වාදී යහපාලන සිවිල් සමාජකරුවෝ ජයසූරිය උස්සා ගත්තේ රනිල්, සජිත්ට පරදින බව පෙනෙන්නට තිබූ නිසා ය. ඔවුන්ට ජයසූරිය මතක් වුණේ ඒ නිසාම පමණය. නැතිව ජයසූරිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඔවුුන්ට සිටින හොඳම තරඟකරුවා නිසා නොවේ. එසේ වූවේ නම් සජිත්ගේ පෝස්ටර් වලට ප්‍රතිවිරුද්ධව කරු ආවොත් හිරු පායන බවට ව්‍යාපාරයක් කල් තියා දියත් කරන්නට තිබුණි. ජයසුරිය ගෙනඒමේ ප්‍රචාරය වික්‍රමසිංහගේ අනුමැතියෙන් දියත්වූවකි.

කරු දුර්වලම අශ්වයා ය

මගේ තේරුම අනුව නම් කරු ජයසුරිය එජාපයට අද සිටින දුර්වල ම අශ්වයා ය. ඔහුට සාමාන්‍ය ජනයා අතර ප්‍රතිරූපයක් නැත. හොඳ මහත්මයකු වන නමුත් ඔහු දක්ෂ කතිකයකුද නොවේ. ජවාධික ද නැත. වරක් ගම්පහ දිස්ත්‍රික්කයේදී ඔහු තරුණ නිලියකට දෙවැනි වීමෙන් පෙන්නුම් කැරුණේ එජාප පාක්ෂිකයා අතර පවා ඔහුට ඉහළ ජනප්‍රියත්වයක් නොතිබූ බවයි.

අනෙත් අතට හුදෙක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය උඩ තරඟ වදින අපේක්ෂකයකුට ගෝඨාභය රාජපක්ෂට තරඟයක් දීම අපහසු ය. මන්ද යත් අද මෙරට සමාජ – දේශපාලන සාකච්ඡාවෙහි ප්‍රධාන ප්‍රශ්න දෙකම ඇත්තේ ඉන් බැහැර  නිසා ය. එනම් ජාතික ආරක්ෂාව සහ ආර්ථික දුෂ්කරතාවයන් යන්නයි.

සිරිසේනගේ ඔක්තෝම්බර් කුමන්ත්‍රණය හමුවෙහි ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට එඩිතරව පෙරමුණ ගැනීම මගින් ජයසූරිය දේශපාලන තලයෙහි ඉහළ සදාචාරාත්මක මට්ටමක් අත්පත් ගත්තේ ය. එම පදනම ප්‍රයෝජනයට ගනිමින් ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර ප්‍රතිරෑපය ගොඩ නැගීම ආරම්භ කළ යුතු වූයේ පසුගිය ජනවාරියේ ය. එසේ වූයේ නම් ප්‍රේමදාසගේ කරණම්වලට අවස්ථාවක් නැති වන්නටත් තිබුණි.  එසේ නමුත් වික්‍රමසිංහගේ යකඩ සපත්තුවට පෑගි තිබෙන එජාපය තුළ එවැනි සාකච්ඡාවකටවත් ඉඩක් තිබුණේ නැත. පොදුජන පෙරමුණේ අපේක්ෂකයා රාජපක්ෂ පවුලෙන් කෑම මේසයේ දී තීරණය කැරෙන පරිද්දෙන්ම එජාපයේ අපේක්ෂකයා තීරණය කළ යුතු වුයේ වික්‍රමසිංහගේ තනි තීරණයෙනි. එසේ නොවී වසර මුල සිට ජයසූරිය ඉදිරියට ගෙන එන ලද්දේ නම්  ජනාධිපතිවරණ දේශපාලන ගතිකත්වයන් බොහෝ දුරටම වෙනස් වන්නට තිබුණි.

ප්‍රේමදාස රැල්ල

එනමුත් දැන් තත්වය වෙනස් ය.  ප්‍රේමදාස රට පුරා පුළුල් ජනප්‍රියත්වයක් ගොඩ නඟාගෙන තිබේ.  ජයසූරියට ප්‍රේමදාසගේ ප්‍රචාරක ව්‍යාපාරය සමඟ හැරෙන්නවත් බැරි ය. මේ නිසාම ප්‍රේමදාසගේ අභියෝගය හමුවෙහි ජයසූරිය තරඟයෙන් ඉවත්වීමට ඇති ඉඩ වැඩිය. එවිට සිය හැන්දෙන්ම බෙදාගැනීමට වෙනත් නමක් වන එජාප විධායක කමිටුවේ අනුමැතිය ඉල්ලා වික්‍රමසිංහ ඉදිරිපත්වීමට ඇති ඉඩද වැඩිය. 1994 ජනාධිපතිවරණය තරඟයෙහි දී ගාමිණි දිසානායකට පැරදුණු පරිදි ඔහු විධායක කමිටුවෙහි දී ප්‍රේමදාසට පරදින්නටත් ඉඩ තිබේ.  අහම්බෙන් හෝ නොපරිදින්නටත් ඉඩ තිබේ.

වික්‍රමසිංහ හෝ ප්‍රේමදාස යන තරඟකරුවන් දෙදෙනාගෙන් කවරකු තරඟ කළත් නැත්නම් ජයසූරිය තල්ලුකරගෙන හෝ වේදිකාවට ගෙන ආවද එක්සත් ජාතික පක්ෂයට එකාවන්ව එලඹෙන ජනාධිපතිවරණයට මුහුණ දීමට දැන් හැකියාවක් නැත. මේ තිදෙනාගෙන් කවරකු ඉදිරිපත් වුවත් කකුලෙන් අදින බලවේග දැන් එජාපය තුල මුල් බැස ගෙන තිබේ. මේ වනාහී වික්‍රමසිංහගේ යටිකූට්ටු සහ ගජමිතුරු දේශපාලනයේ කූටප්‍රාප්තිය යි.

නලින්ද සිල්වාගේ බය

මේ අතර, කවුරු තීරණය නොකළත් ‘අපේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂය’යි කියා මහින්ද රාජපක්ෂට අභියෝග කළ නලින් ද සිල්වා සිරිසේන – රාජපක්ෂ සන්ධානයක් අත්‍යවශය බවට දැන් තර්ක කරන්නට පටන්ගෙන තිබේ. සිය මුහුණු පොතක ලියමින් ඔහු කියන්නේ සිරිසේන සහ මහින්ද එක් නොවුනහොත් සිංහලයාට අබසරණ බවයි. මේ වනාහී මෑත දිනවල සිරිසේන විසින් මුදාහරිමින් සිටින රාජපක්ෂ විරෝධී මිසයිල ප්‍රහාරයන්ගේ ප්‍රතිඵලයකි.  නලින් ද සිල්වාගේ එම ප්‍රකාශයෙන් පෙනෙන්නේ සිරිසේනගේ වාග් චතූර්ය මගින් දූෂණ කන්දක් උඩ වාඩිවී සිටින රාජපක්ෂවරුන්ට යම් තරමක හානියක් සිදු කළ හැකි බවයි.

සිරිසේන කියන තරමටම ඔහු සහ ඔහු නායකත්වය දෙන ශ්‍රීලනිපයට එළඹෙන ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය විය නොහැකි ය. සිරිසේනගේ රාජපක්ෂ විරෝධී කතා හාදවීම සඳහා කරන කේවල් කිරීමකි. ඔහුට අවශ්‍ය මහා මැතිවරණයෙහිදී සිය පක්ෂයේ බලය ගොඩ නගා ගැනීමය.

රාජපක්ෂගේ පොදු ජන පෙරමුණ සමඟ හාදවීම හැර සිරිසේනට ඇති දේශපාලන විකල්පය නම් ප්‍රේමදාස සමඟ සන්ධාන ගත වීමයි. එසේ වුවහොත් ප්‍රේමදාසට අබ සරණය.  අනෙක් අතට ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සිරිසේනගේ ශ්‍රිලනිපයට ශක්තියක් නැත. එසේ ඉදිරිපත් වුවහොත් ඔහුගේ ශ්‍රිලනිපය, ජවිපෙටත් වඩා පහළ බැසීමට ඉඩ තිබේ.

සිරිසේන – අද්භූත දේශපාලන අශ්වයා

සිරිසේන වනාහී කිසිවකුට පුරෝකථනය කළ නොහැකි අත්භූත දේශපාලන සත්වයෙකි. ඔහුට, අද රාජපක්ෂට දෙසා බා හෙට ඔහු සමඟ ආලවට්ටම් පෑ හැකි ය. සිරිසේනගේ දේශපාලනයට ඇත්තේ අද පමණකි. ඊයේ හෝ හෙටක් හෝ නැත. හෙට ඔහුට තවත් අද දවසක් පමණි. ඊයේ ඔහුට අමතක ය.

එක අතකට බැලූ විට බාගයක් හෝ ඇත්ත කියන්නේ ගෝඨාභය රාජපක්ෂ පමණය. ඔහු මානව හිමිකම්, සංහිදියාව, ජනවාර්ගික ප්‍රශ්ණය යනාදිය ගැන කට අරින්නේ නැත. ඒ වෙනුවට තමන් ජනාධිපති වූ විට විනය ගරුක ප්‍රජාතන්ත්‍රවාදයක් පිහිටුවන බවත්, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට තාක්ෂනවේදීන් (මෙම කාණ්ඩයට හිටපු හමුදා නිලධාරීන්ද අයත් ය) ගෙන එන බවත්, ආණ්ඩුවට විරෝධය පෑම නිසි කළට මැතිවරණ පැවැත්වීම මගින් තහවුරු කරන බවත් අපට කියයි.

ගෝඨාභය රාජපක්ෂ දැනටමත් පෙන්නා සිටිමින් ඉන්නේ තමන් මහින්ද රාජපක්ෂගේ සෙවනැල්ලක් නොවන බවයි. ඔහුට ඔහුගේම වූ දේශපාලන අරමුණක් තිබේ. එනම් සීරුවෙන් සිටින සමාජයක් ගොඩ නැගීම මගින් ආර්ථික සංවර්ධනය ඇති කිරීමයි.

ගෝඨාභය කියන ඇත්ත

අද අප මුහුණ දෙන භයානකම ඇත්ත කියන්නේ ගෝඨාභය රාජපක්ෂය. 1977 දී තමන් විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කරන බව කියා හයෙන් පහක බලයක් ලබා ගත් ජේ.ආර්.ජයවර්ධන මෙන් මේ රාජපක්ෂද බලය ඉල්ලන්නේ අප සිරුවෙන් සිටුවා, වම් දක් ගමනේ යා කියා  පා ගමනේ යොදවන්නට ය.

මෙම තත්වය යටතේ අප කල්පනා කළ යුත්තේ අද ගැන පමණක් නොවේ. හෙට ගැනත් ය. අප සිරුවෙන් සිටුවීමට යත්න දරන ‘හිට්ලර්’ පන්නයේ පාලනයක් ඇති වුවහොත් විරුද්ධකම් පෑ හැකි බලවේගයන් හදුනා ගැනීමටත් එළඹෙන ජනාධිපතිවරණයෙහි දී  සහ අනතුරුව එළඹෙන මහා මැතිවරණයේ දී එම බලවේග ශක්තිමත් කිරීමටත් ය.

අප බෙදී ගිය සමාජයක් වන බැවින් මෙම විරුද්ධකම් පෑමේ ශක්‍යතාවය ඇති දේශපාලන සහ සිවිල් රටාවන් ද ජනවාර්ගික වශයෙන් බෙදී ගොස් තිබේ. අප යළි යළි අත්දැක ඇති පරිදි කඳුරට සහ මුස්ලිම් දේශපාලන පක්ෂ බලය ඇති පක්ෂයට සහාය දෙනු ඇත. ඔවුහු රාජපක්ෂගේ 18 වන සංසෝධනයට අත ඉස්සූ පරිදි 19වන ව්‍යවස්ථා සංසෝධනය වෙනස් කිරීමට හිට්ලර්වාදී සංසෝධනයක් ගෙන ආවද එයට පවා සහය දීමට ඉඩ තිබේ.

අප කැමැති වුවත් නැතත් දිග හැරෙමින් ඇත්තේ ඒකාධිපති හෝ අඩුම වශයෙන් දරදඬු පාලනයක් සඳහා පසුබිමකි. ශ්‍රීලනිපයත් එජාපයත් අභ්‍යන්තර ආරවුල් මගින් දුර්වල වී තිබේ. සිවිල් සමාජය දේශපාලන පක්ෂවල අතකොලු බවට පත්ව ඇත. ජනමාධ්‍ය බහුතරයක් වර්ගවාදී මහජාතිවාදය වපුරති. සමාජය වාර්ගික වශයෙන් බෙදී ගොස් තිබේ.

මෙම සන්දර්භය තුල වැදගත්ම ප්‍රශ්ණය වන්නේ විරුද්ධකම් පෑමේ හිඩැස පියැවීමට ජවිපෙ සහ ජාතික ජන බලවේගය සමත්වනු ඇත්ද යන්නයි. හුදු මැතිවරණ ව්‍යාපාරයක් බවට පත් නොවී මහජනයාගේ එදිනෙදා ජීවිතයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කිරීමට පෙරමුණක් වශයෙන් එය සමත් වනු ඇත්ද?  ජවිපෙ ඉතිහාසයෙන් නම් එවැනි භූමිකාවක් සොයා ගත නොහැක. මන්ද යත් එහි දේශපාලනය තවමත් විජේවීරගේ බොක්සිං න්‍යාය අනුව ක්‍රියාත්මක වන නිසා ය.

ඒ අනුව යමින් 1977න් පසු විජේවීර කළේ ජේ. ආර්. ජයවර්ධන සමඟ හැප්පෙනු වෙනුවට ‘ශ්‍රීලනිපයේ ගමනක අවසානය’ නමින් දේශණ පවත්වමින් රට පුරා යෑමය. සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය  අහෝසි කිරීමට ජේ. ආර්.ට සහය වීමය. බොක්සිං තරඟයකදී මුලින්ම පහර දෙන්නේ තමන්ගේ දුර්වලම අනෙකාටය. දැවැන්තයා සමඟ සටනට පෙර අන් සියළු ප්‍රතිවාදීන් පරාජය කළ යුතුය. 1989- 90 සමයෙහි ජවිපෙ විසින්, වාම සහ ප්‍රගතිශීලි පිරිස් ඝාතනය කරන ලද්දේ ද එම න්‍යාය අනුව ය. පෙරටුගාමී පක්ෂය ලෙස තම පක්ෂයෙන් ඉවත්ව ගිය පිරිස්වලට පහර දෙන ලද්දේ ද ඒ අනුව ය.

ජවිපෙ එම පැරණි මාවතින් පිටතට ගෙන පුළුල් මහජන ව්‍යාපාරයක් බවට පත් කරන්නට එය සමඟ හවුල්ව සිටින බලවේග සහ පිරිස්වලට හැකියාවක් ඇතොත් පමණක්, පශ්චාත් ජනාධිපතිවරණ සමයෙහි විරුද්ධකම් පෑමේ මූලිකත්වය ගැනීමට ජාතික ජන බලවේගය සමත්වීමට ඉඩ තිබේ. යම් බලාපොරොත්තුවක් තබා ගත හැකි තැන, එම වෙනස සිදුවන්නේ නම් එතැන පමණය.

 

 

Back to Top